තාරකා විද්‍යා ප්‍රශ්ණ තරඟයක් පරදින්නේ කෙසේද? How to Lose an Astronomy Quiz Competition

බැලූ බැල්මටම ඉතා මෝඩ ප්‍රශ්ණයක් ලෙස පෙනුනද, සෑම ප්‍රශ්ණ තරඟයකදීම එක් කණ්ඩායමක් හැර, අනික් සියල්ලටම පරාජය පිළිගන්න සිදු වෙනවා. ප්‍රශ්ණ තරඟයකට සහභාගි වෙන හැමෝම හිතන්නේ තමුන්ට දිනුම ලැබෙයි කියල. ඒත් එහෙම නොවෙන්නේ ඇයි? සමහරු පිට පිට අවුරුදු ගණන් තරඟ දිනද්දී, තවත් අයට කිට්ටුවටවත් එන්න බැරි ඇයි?

 

 

මේ සටහන තාරකා විද්‍යා තරඟ පැරදීම ගැන අත්වැලක්. මේවා පිළිපැද්දොත්, අනිවාර්යයෙන් පරාජය ලඟාකර ගන්න ඔබට හැකි වෙනවා.

සැලසුම කිරීමට අසමත් වීම, අසමත් වීමට සැලසුම් කිරීමකි (Failing to plan is planning to fail)

ප්‍රශ්ණ තරඟයක් තිබෙන බව දැනදැනත්, ඒ ගැන මොකුත් නොකර සිටීමෙන් ඔබට ඉතා පහසුවෙන් ඔබේ ඉලක්කය වෙත (පරාජය වෙත) ලඟා වෙන්න පුළුවන්. තරඟයකට සූදානම් වෙන්නේ කෙසේද කියා දැන ගෙන ඒ කිසිවක් නොකර සිටීමත්, තරඟ පැරදීමේ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයකි.

තාරකා විද්‍යා පොත පත නොකියවීම, තාරකා විද්‍යා පුවත් නොකියවීමෙන් මෙන්ම අන්තර් ජාලයේ සමාජ වෙබ් අඩවි ඔස්සේ තාරකා විද්‍යා ලිපියක් දුටුවද, නොදැක්කා මෙන් සිටීම සාර්ථක ප්‍රතිඵල ළඟාකර දෙයි.

තරඟ නීති රීති (Rules and Regulations) වැරදීමකින් වත් කියවන්න එපා

එක් වරක් වත් තරඟ නීති රීති කියවීම මදි පුංචි කමක් නම්, ඔබ පරාද වීමට උපන් හපනෙකි. නීති රීති උල්ලංගනයෙන් ඔබට සහ ඔබේ කණ්ඩායමට තරඟයට සහභාගි නොවීමට, තරඟය අතරමැද ඉන් ඉවත් කරනු ලැබීමට හෝ රැස් කරගත් ලකුණු අහිමි කරගැනීම වැනි ඕනෑම ආකාරයකට තරඟ පරාජයට ලක් වෙන්න පුළුවන්.

වැරදිලාවත් ඔබ අතින් නීති රීති කියවුනොත්, වහාම එය අමතක කර දැමීමෙන් සහ තරඟයට එය රැගෙන නො ඒමෙන්, ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල නෙලා ගත හැක.

පුහුණු වෙන්නේ මෝඩයෝ

Practice makes perfect කියල සුද්දා කිවුවේ නිකං කට කහනවට. වැරදිලාවත් තරඟෙට කලින් පුහුණු වෙන්න එපා, නැත්තං කොහොමද පරදින්නේ? මලල ක්‍රීඩකයෝ තත්පර කීපයක තරඟෙට අවුරුදු ගනන් පුහුණු වෙන්නේ දිනන්න බලාගෙනනේ. පුහුණු නොවීම පරාජයට ඇති කෙටිම පාරකි.

ප්‍රශ්ණ තරඟ වලට පුහුණු වෙන වෙනත් අයට හිනා වෙන ගමන්, පුහුණු වෙන්න විදියක් නෑ කියන එකත් අපේ මේ කාර්යයට වැදගත්. මෙන්න මේවා තමයි නොකර ඉන්න අවශ්‍ය,

  • තාරකා විද්‍යා පොත් වල ඇති ප්‍රශ්ණ (Review questions) නොකිරීම
  • කණ්ඩායමේ අනික් අයගෙන් ප්‍රශ්ණ නෑසීම
  • අන් අය අසන ප්‍රශ්ණ ගණන් නොගැනීම
  • පසුගිය ප්‍රශ්ණ පත්‍ර (Past papers) පරිශීලනය නොකිරීම
  • අන්තර් ජාලයේ සජීවී ප්‍රශ්ණ (online quizzes) නොකිරීම
  • සිද්ධාන්ත අමතක කර කරුණු පමණක් මතක තබා ගැනීම (Facts vs Concepts)

කරුණ මතක තියාගන්න එක යමක් තේරුම් ගන්නවට වඩා ලේසියි නේ. ඉතින් කරුණු විතරක් මතක තියාගන්න. තාරකා විද්‍යාව කියන්නේ විද්‍යාවක්. ඒක නිසා බොහෝ කරුණු වලට පසුබිම් වන හේතුවක් තියෙනවා. ධූම කේතුවකට (Comet) වලිග දෙකක් තියෙන්නත් හේතුවක් තියෙනවා. ධූලි (Dust)සහ වායු (Gas) අංශු වෙන වෙනම වල්ග දෙකක් හදනවා. ධූලි අංශු බර වැඩි නිසා කක්ෂයේම නවතිනවා, කක්ෂය වක්‍රාකාර නිසා ධූලි වල්ගයත් වක්‍රාකාරයි. ධූලි අංශු බර නිසා සූර්ය සුළඟෙන් වැඩි බලපෑමක් නෑ. වායු අංශු සැහැල්ලුයි. අයණීකරනය වූ මේවා සූරිය සුළඟට (Solar wind) පහසුවෙන් ගසා ගෙන යයි. ඒ නිසා වක්‍ර වීමකුත් නෑ. කරුණ වෙන වෙනම මතක තියාගන්න ගියා නම් එතනම කරුණු කීයක්ද?

සිද්ධාන්තය මතක නම් ප්‍රශ්ණ කොහොම කරකවල ඇහුවත් උත්තර තියෙනවා. ඒත් කරුණු පාඩම් කලොත් ඒ කරුණම ඒ විදියට ඇහුවොත් ගොඩ, නැත්තන් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ.

කරුණු පාඩම් කිරීමේ අනිත් වාසිය ඒවා ඉතා පහසුවෙන් අමතක වීම සහ, කලබලෙන් මතක් කරන විට පටලැවීම. ඒ නිසා පරදින්න කැමති අය කරුණු විතරක් පාඩම් කරන්න.

සාර්ථකත්වයට කෙටි මං නැතත්, අසාර්ථකත්වයට ඕනෑ තරම් කෙටි මං ඇත

There are no short-cuts to success! ඒත් ඉතින් පරදින්න ඕනේ නිසානේ මේ සටහන මෙච්චර දුර කියෙව්වේ. මහන්සි නොවී තරඟ දිනන්න සිහින මැවීම පරාජයට අත වැනීමකි. ඉහත කරුණු හොඳින් පිලිපැද්දේ නම් තරඟය පටන් ගන්නා මොහොත වන විටම පරාජයේ දොරටුව ඔබට විවර වී අවසානයි. ඕනෑම තරඟයක් දිනීමට වාසනාවත් යම් පමණකට උපකාර වෙනවා. ඒත් කියමනක් තියෙනවා, වාසනාව යනු සූදානම් වූ පුද්ගලයාට ලැබෙන අවස්ථාව කියල (Luck is what happens when preparation meets opportunity)

පැරදීමේ රහස් දන්නා නිසා, දැන් ඔබට අවස්ථාවක් ලැබුනද, තාරකා විද්‍යා ප්‍රශ්ණ තරඟයකින් පරාජය වීම ඔබට ඉතා පහසු කාර්යයකි.

ඒ වගේම පැරදුනාට පස්සේ, ප්‍රශ්ණ හදපු අයට, දිනපු කණ්ඩායමට වගේම අවාසනාවටත් දොස් පරවන්න අමතක කරන්න එපා.

 

Read More

පෘථිවියේ පැවැත්මට චන්ද්‍රයාගේ බලපෑම

පෘථිවියට ලගින්ම ඇති ආකාශ වස්තුව වන්නේ චන්ද්‍රයාය. සෞරග්‍රහ මන්ඩලයේ අනෙකුත් ආකාශ වස්තු අතුරෙන් වැඩිපුරම විද්‍යාඥයින් අධ්‍යනය කොට ‍ඇති ආකාශ වස්තුව වන්නේද චන්ද්‍රයාය. විවිධ කාල වලදී විවිධ කලාවන්ගෙන් දිස් වන චන්ද්‍රයා රෑ අහසට එක් කරනුයේ අමුතුම අලංකාරයකි.

රෑ අහසේ ඉතා පහසුවෙන් හදුනාගත හැකි, ඕනෑම අයෙකුට බොහොම සුපුරුදු ආකාශ වස්තුව වන සද තවත් එක් ආකාශ වස්තුවක් ලෙස හැදින් වීම සුදුසුද? පෘථිවි සමබරතාවට චන්ද්‍රයාගේ බලපෑම කෙබදුද? ජීවීන්ගේ පැවැත්මට චන්ද්‍රයාගේ බලපෑමක් තිබේද? පෘථිවි කාලගුණය කෙරෙහි චන්ද්‍රයා බලපානු ලබයිද? විද්‍යාඥයින් උනන්දු වන වැදගත් ගැටලුවක් වන පෘථිවිය සතුව චන්ද්‍රයෙකු නොතිබුනා නම් කුමක් සිදුවේද? යන ගැටලු පිළිබදව මදක් සොයා බැලීම වටී.

චන්ද්‍රයාගේ බිහිවීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් මත 4ක් ඉදිරිපත් කරන අතර එයින් වඩාත් පිලිගැනෙන්නේ ‘මහා ගැටුම් කල්පිතය’ යන මතයයි. මෙමගින් පෘථිවිය බිහිවෙමින් පැවති යුගයේ අගහරු ප්‍රමාණයේ වූ වස්තුවක් පැමිණ පෘථිවිය සමග ගැටී, එයින් අවකාශයට මුදාහල කොටස් වලින් චන්ද්‍රයා නිර්මාණය වූ බව කියැවේ. අහම්බෙන් මෙන් සිදු වූ මේ සුවිසල් ගැටුම නොවන්නට පෘථිවිය සතුව චන්ද්‍රයෙකු නොතිබෙන්නටද ඉඩ තිබුණි. එසේ වූවා නම් අද යුගයේ පෘථිවිය පවතිනුයේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකිනි. සමහරවිට පෘථිවියේ ජීවයක් හට නොගැනීමටද ඉඩ තිබුනි.

මෙවැනි සුවිශේෂී වූ වැදගත්කමක් ඇති මෙම ගැටුමට පෙර පැවති පෘථිවිය විද්‍යාඥයින් හදුන්වනුයේ Earth mark-1 ලෙසයි. පෘථිවිය හා ගැටුනු වස්තුව Orphius ලෙසත් ගැටුමෙන් පසු අද යුගය දක්වා පරිණාමය වූ පෘථිවිය Earth mark-2  ලෙසද හදුන්වනු ලබයි.

පෘථිවිය හා චන්ද්‍රයා පද්ධතිය නිර්මානය වෙමින් පැවති මුල් යුගයේ පෘථිවි භ්‍රමණ වේගය ඉතා විශාල අගයක් වූ අතර එකල පෘථිවි දිනයක කාලය පැය 4ක් වැනි ඉතා කෙටි කලකට සීමා වී පැවතිනි. චන්ද්‍රයා පැවතියේ පෘථිවියට ඉතා සමීපවය. නමුත් කාලයාගේ අවෑමෙන් චන්ද්‍රයා තම මවු ග්‍රහයාගෙන් ඈත් වීමට පටන් ගත් අතර පෘථිවි භ්‍රමණ වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වී අවසානයේ අද පවතින අගය දක්වා පරිණාමය වී පවතී. නමුත් චන්ද්‍රයා පෘථිවියෙන් ඈත්වීම තවමත් නතරකර නොමැත. එය දිගටම පෘථිවියෙන් ඈත් වෙමින් පවතී. චන්ද්‍රයාගේ මේ ඈත් වීම පෘථිවිවාසීන් වන අපට නොපෙනෙනුයේ එය ඉතාමත්ම සෙමින් සිදුවන ක්‍රියාවක් හේතුවෙනි.

ඇපොලෝ විපෘතිය යටතේ සද මතට ගිය ඇපොලෝ සදගාමීන් එහි සිදුකල ක්‍රියාකාරකම් වලින් එකක් ලෙස සද මතුපිට පරාවර්තක(Reflectors) සවි කිරීම සිදු විය. අද යුගයේ පවා ක්‍රියාත්මකව පවතින මේ පරාවර්තක වෙත විශේෂ අවධානයක් යොමුව පවතිනුයේ ටෙක්සාස් හි මැක්ඩොනල්ඩ්(McDonald) නිරීක්ශණාගාරයේ විද්‍යාඥයන්ය. ඔවුන් තම නිරීක්ශණාගාරයේ සිට අතිවිශාල ලේසර් ධාරාවක් චන්ද්‍රයා මත පිහිටුවා ඇති පරාවර්තක වෙත යොමු කරනු ලබයි. නැවත පරාවර්තනය වී පැමිණෙන ලේසර් ධාරාව ලබාගෙන ඒ අනුව එම අදාල මොහොතේ පෘථිවියේ සිට චන්ද්‍රයාට පවතින දුර ගණනය කරනු ලබයි. මෙලෙස බොහෝ කාලයක් පුරාවට සිදුකල ගණනය කිරීම් නිරීක්ශණය කල විට පැහැදිලි වන්නේ පෘථිවිය හා චන්ද්‍රයා අතර පවතින සාමාන්‍යය දුර එක් වසරකදී අගල් 1 1/2 පමණ වන අගයකික් දිගු වන බවයි. 

සූර්යග්‍රහණ ඇති වන්නේ ඉතා සරලව චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත වසා දැමීම නිසා බව ඔබ දනී. පූර්ණ සූර්යග්‍රහණයකදී සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වැසී යයි. නමුත් තව බොහෝ කාලයකට පසු පෘථිවිවාසීනට පූර්ණ සූර්යග්‍රහණ දැක බලා ගැනීමට නොහැකි වනු ඇත.මන්ද යත් චන්ද්‍රයාගේ ඈත් වීම නිසා සූර්යය මුහුණත එයට සම්පූර්ණයෙන්ම වැසී නොයන හෙයිනි.

උදම් බලපෑම

චන්ද්‍රයා සහ සූර්යයාගේ ගුරුත්ව බලයන් හේතුවෙන් පොලොව යම් ආකාරයක ඇදීමකට(Tidal force) ලක්වේ. පොලොවේ මේ ඇදීමට වැඩි වශයෙන් දායක වන්නේ චන්ද්‍රයා වන අතර මෙම සංසිද්ධියේ වැඩි බලපෑමක් පවතිනුයේ සාගර ජලය උස් පහත් වීමටය. ‘වඩදිය’ හා ‘බාදිය’ ලෙස අප හදුන්වනුයේ මෙයයි.

පොලොව තමා වටා භ්‍රමණය වනුයේ උදම් බලපෑමත් සමගය. ප්‍රධාන වශයෙන් චන්ද්‍රයා, මුහුදු ජලය තමා දෙසට ඇද බැද තබා ගැනීමට උත්සහ දරයි. නමුත් මේ බලපෑමත් සමග පෘථිවිය භ්‍රමණය වීම හේතුවෙන් සාගර ජලය හා සාගර පතුල්(Ocean floors) අතර සියුම් ඝර්ශණයක්(Tidal friction) නිර්මාණය වේ. මේ ඝර්ශණය නිසා පෘථිවි භ්‍රමණයට විරුද්ධව ගොඩනැංවෙන බලය, භ්‍රමණ වේගය හීන කිරීමට හේතු වේ.

අවුරුදු මිලියන 600කට පෙර පෘථිවි දිනයක අග‍ය පැය 22කට මදක් අඩු අගයක්ව පැවත ඇත. පැරණි සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ වාර්ථා අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ මීට අවුරුදු 2000කට පමණ පෙර, දිනයක අගය අද පවතින පැය 24 වන අගයට වඩා කුඩා ප්‍රමාණයක් අඩුව පැවති බවයි. මේ ආකාරයට තවත් බොහෝ කාලයකට පසු පෘථිවි දිනයක අගය පැය 24 කට වඩා වැඩි වනු ඇත.

පූර්වායනය

ඉතා ඈත අතීතයේ එනම් ක්‍රි.පූ. දෙවන සියවසේදී විසූ ග්‍රීක ජාතික තාරකා විද්‍යාඥයකු වන හිපාකස්(Hipparchus) තාරකා විද්‍යා ඉතිහාසයේ සටහන් වන ඉතා වැදගත් පුත්ගලයෙකි. පෘථිවියේ පිහිටුම දැක්වීමට ප්‍රථම වරට අක්ශාංෂ දේශාංෂ ක්‍රමය හදුන්වා දීම, ප්‍රථම වරට තාරකා නාමාවලියක් සකස් කිරීම, තාරකා වල දීප්තිය සදහා ප්‍රථම වරට මිනුම් දන්ඩක් ඉදිරිපත් කිරීම, ඔහු විසින් සිදුකල ක්‍රියාකාරකම් වලින් කිහිපයකි.

හිපාකස් තමාගේ නිරීක්ශණ මත පදනම් වෙමින් ඔහුගේම තරු සිතියමක් නිර්මාණය කිරීමට යෙදුණි. ඔහු තමා විසින් නිර්මාණය කල සිතියම මීට අවුරුදු 150කට පමන පෙර නිර්මානය වූ තරු සිතියමක් සමග සංසන්දනය කර බැලීමේදී පැහැදිලි වූයේ ඒවායේ පැහැදිලි වෙනසක් නිරීක්ශණය වන බවයි. එනම් මේ සිතියම් දෙකෙහි පැය වටයන්(Right Ascension)වල පිහිටීම තරමක් දුරට වෙනස්ව පැවතීමයි. මේ වෙනසේ විශාලත්වය මත, එය තම නිරීක්ශණ දෝශ හේතුවෙන් සිදු නොවූවක් බවට නිගමනය කල හිපාකස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පැය වටයන් කාලයත් සමග වෙනස් විය හැකි බවයි. නමුත් ඔහුට මෙලෙස සිදු වීමට හේතුව පිලිබදව කිසිදු අදහසක් නොතිබුණි.

මෙම ක්‍රියාවලිය සියලු දෙනාට අවබෝධ කර ගැනීම පිණිස තවත් සරලව දක්වතොත්, හිපාකස් යුගයේ භාවිතා කල තරු සිතියමේ තාරකා රටා පිහිටි ස්ථාන අද අප භාවිතා කරන තරු සිතියමේ තාරකා රටා පිහිටන ස්ථාන වලින් මදක් වෙනස් වේ. මේ වෙනසට හේතුව පසුකාලීනව විද්‍යාඥයින් පූර්වායනය(Precession) නමැති සංසිද්ධිය හේතුවෙන් සිදු වන්නක් බව හදුනාගෙන ඇත.

 

රූපය-1

පෘථිවිය තමා වටා භ්‍රමණය වන බවත් භ්‍රමණ අක්ශය අංශක 23 1/2 ක ඇලයකින් යුතුව පවතින බවත් අපි දනිමු. සමස්ත සෞරග්‍රහ මන්ඩලය තුල පෘථිවිය සැලකීමේදී සෙසු වස්තූන් වල පැවැත්ම පෘථිවි පැවැත්ම කෙරෙහි බලපායි. එනම් ඉතා ප්‍රභල ලෙස ලගින්ම පිහිටන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය, චන්ද්‍රයා තරම් ප්‍රභල නොවූවත් සූර්යයාගේ ගුරුත්ව බලය හා ඉතා සුළු ප්‍රමාණයකින් සෙසු ග්‍රහවස්තු වල ගුරුත්ව බලපෑම පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලවීම වෙනස් කිරීමට උත්සහ දරයි. නමුත්(gyroscope මූලධර්මයට අනුව ) පෘථිවිය තමා වටා වේගයෙන් භ්‍රමණය වීම හේතුවෙන් බාහිර බලපෑම් පැවතුනත් තමාගේ අක්ශයේ ඇලවීම වෙනස් නොකර ගන්නා අතර ඒ වෙනුවට අක්ශයේ පිහිටීම වෙනස් කර ගනී. රූපය-1 අධ්‍යනය කිරීමේදී ඔබට මෙය පැහැදිලි වනු ඇත. පූර්වායනය ලෙස හදුන්වනුයේ මෙයයි.  

මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් වෙයි. එනම් පූර්වායනය යනු පෘථිවි භ්‍රමණ අක්ශය ඇල වී ඇති ප්‍රමාණය වන අංශක 23 1/2 ක අගය වෙනස් නොවීමකි. මෙහිදී සිදු වනුයේ භ්‍රමණ අක්ශයේ පිටීම වෙනස් වීම පමණි. මෙය ඉතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර භ්‍රමණ අක්ශයේ වෙනස සම්පූර්ණ වටයක් සලකුණු කිරීම සදහා ආසන්න වශයෙන් අවුරුදු 26,000 පමණ ගතවනු ඇත. එකල හිපාකස් පෙන්වා දුන් වෙනසට හේතුව ඉහත සංසිද්ධියයි. පූර්වායනය සදහා ප්‍රභල ලෙස බලපානුයේ අන් කිසිවක් නොව අපට ලගින්ම පිහිටි චන්ද්‍රයාය.

චන්ද්‍රයා නොතිබුණහොත්…

Dr. Jacques Laskar

ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වන ආචාර්‍යය ජැක් ලැස්කා (Dr. Jacques Laskar) පෙන්වා දෙන පරිදි පූර්වායනය සදහා(භ්‍රමණ අක්ශයේ පිහිටීම වෙනස් කිරීමට ) චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපෑවත් භ්‍රමණ අක්ශයේ ඇලය වන අංශක 23 1/2 ක් වන අගය නියතව පවත්වා ගැනීම සදහාද චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපානු ඇත. ඔහුගේ ගණනය කිරීම් අනුව චන්ද්‍රයා නොමැතිව පෘථිවිය පමණක් සලකා බැලීමේදී එහි භ්‍රමණ අක්ශය කාලයත් සමග ඉතා විශාල වශයෙන්, අංශක 0 සිට 90 දක්වා පරාසයක් තුල වෙනස් වීමට ලක්වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.  

අගහරු ග්‍රහයා සැලකීමේදී එය සතුව පවතිනුයේ බොහෝ දුරට ග්‍රහකයන් ලෙසට හැදින් විය හැකි කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකි. පෘථිවියේ මෙන් විශාල උපග්‍රහයෙකු නොපැවතීම හේතුවෙන් අගහරුගේ භ්‍රමණ අක්ශයේ ඇලවීම කාලයත් සමග ක්‍රමයෙන් වෙනස් වේ.

ආචාර්‍යය ලැස්කා පවසන පරිදි චන්ද්‍රයා නොතිබුණා නම් පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලය කලින් කලට වෙනස් වනු ඇත. මෙම තත්වය පෘථිවි දේශගුණය විශාල වශයෙන් වෙනස් වීම කෙරෙහි බලපායි. විද්‍යාඥයින් සදහන් කරන පරිදි භ්‍රමණ අක්ශයේ ඇලවීම ඉතා කුඩා ප්‍රමාණයකින් උවද වෙනස් වීම දේශගුණය සැලකිව යුතු ප්‍රමාණයකින් වෙනස් වීම කෙරෙහි බලපානු ඇත.

පෘථිවිය මත ජීවය

 

Dr. Norman Sleep

Stanford විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යය නෝර්මන් ස්ලීප්(Norman Sleep) ප්‍රකාශ කරන ආකාරයට පෘථිවි ජීවයේ ආරම්භය සදහා චන්ද්‍රයා බිහිවීම සදහා බලපෑ සුවිසල් ගැටුම ඉතා ප්‍රභල ලෙස හේතු වී තිබේ. මේ ගැටුම සිදු නොවූවා නම් අද යුගයේ පවතිනුයේ Earth mark-1 ලෙස හැදින්වෙන පෘථිවියයි. මෙම පෘථිවිය අද අප ජීවත් වන පෘථිවිය මෙන් නොව සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී පැවතීමට ඉඩ තිබූ බවත් මේ අනුව ජීවයට සුදුසු පරිසරයක් නිර්මාණය නොවීමට ඉඩ තිබූ බවත් ඔහු පවසයි.

Earth mark-1 හා Orphius අතර සිදු වූ ගැටුම පෘථීවිය මත බිහිවෙමින් පැවති මුහුදු වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් වාශ්ප කර දමන්නට හේතු වී ඇත. ඉන් පසුව අද යුගය දක්ව පරිණාමය වී ඇති Earth mark-2   පෘථිවිය මත ජීවයට සුදුසු පරිසරයක්(ජීවයක් නිර්මාණය වීමට අවශය කරන සාධක ) නිර්මාණය වූයේ මේ ගැටුම හේතුවෙනි.

සෞරග්‍රහ මන්ඩලය මෙන් අනෙකුත් තාරකා වටා පැවතිය හැකි ග්‍රහමන්ඩල සෙවීම කෙරෙහි විද්‍යාඥයින් මහත් උනන්දු වෙයි. මෙවැනි පද්ධතීන් අතරින් පෘථිවිය වැනි ජීවය පවතිය හැකි ආකාරයේ ග්‍රහලොවක් හදුනා ගැනීම ප්‍රභල සොයා ගැනීමක් වනු නිසැකය. නමුත් ජීවයක් පැවතිය හැක්කේ අදාල ග්‍රහලොව මත අවශ්‍ය කරන සාධක නිර්මාණය වී ඇත්නම් පමණි. පෘථිවියේ පැවත්මට චන්ද්‍රයාගෙන් එල්ල වනුයේ දැඩි බලපෑමකි. මේ අනුව පෘථිවිය වැනි පිටස්තර ග්‍රහයෙකු සෙවීමේදී එහි ස්ථාවර පැවැත්ම කෙරෙහි පෘථිවියේ මෙන් විශාල චන්ද්‍රයෙකු පිහිටීමේ වැදගත්කම පිලිබදවද සලකා බැලිය යුතුය. මේ වන තෙක් මේ ආකාරයේ පද්ධතියක් හදුනාගෙන නම් නැත.

පූර්වායනය පිළිබද වැඩිදුර තොරතුරු..

Read More

ශ්‍රී ලංකාවට චන්ද්‍රපාෂාණ ගෙන ආ දිනය

ලොවම මවිත කරමින් මිනිසා ප්‍රථමවරට සද මත පා තැබීමේ ඓතිහාසික මොහොත සිදු වූයේ මීට අවුරුදු 40කට පෙර අද (ජූලි 20) වැනි දිනයකය.

1969 වසරේ ජූලි මස 16 වන දින දැනට ලෝකයේ නිපදවා ඇති විශාලතම රොකටය වන ‘සැටර්න්-5’ රොකටයේ නැගී නීල් ආම්ස්ට්‍රෝංග්, මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමීන් තිදෙනා පෘථිවි ගුරුත්ව බලපෑමෙන් මිදී අභ්‍යාවකාශ ගත වන්නේ සද මතට ගොඩ බැසීමේ බලාපොරොත්තුවෙනි. එතැන් සිට දින 4කට පසු එනම්, ජූලි 20 වෙනිදා අජටාකාශගාමීන් තිදෙනා චන්ද්‍රයා වටා කක්ෂ්‍යගත වීම සිදුවිණි. එදිනම මෙහෙයුම් මොඩුයුලයේ පාලනය මයිකල් කොලින්ස් හට භාර කරමින් චන්ද්‍රයානය වෙත පිවිසෙන නීල් ආම්ස්ට්‍රෝංග් හා එඩ්වින් ඕල්ඩ්‍රින් චන්ද්‍ර පෘෂ්ටය මතට ගොඩ බසිනු පිනිස මෙහෙයුම් මොඩුයුලයෙන් වෙන්වීම සිදුවෙයි. පෙර සැලසුම් කල ආකාරයට චන්ද්‍රයාගේ ‘The sea of Tranquility’ ලෙස හැදින්වෙන ප්‍රදේශයට ගොඩ බැසීමෙන් පසු චන්ද්‍ර යානයෙන් පිටතට පැමිණෙන නීල් ආම්ස්ට්‍රෝංග්, සද මතට ගොඩ බසින්නේ සද මත පා තැබූ ප්‍රථම මිනිසා වීමේ සුවිශේෂී වූ ගෞරවය හිමිකර ගනිමිනි.

වමේ සිට, නීල් ආම්ස්ට්‍රෝංග්, මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩ්‍රින්

ලොවම නොඉවසිල්ලෙන් බලා සිටි මේ ඓතිහාසික අවස්ථාවේ 40වන සංවත්සරය මෙම ජූලි මාසයේදී සමරණු ලබයි. එදා සිට අද දක්වා අවුරුදු 40ක කාලයක් ගෙවී ගොස් තිබුණත් මිනිස් ඉතිහාසයේ සටහන් වන විශ්මයජනකම සිදුවීම මෙය වනවා නිසැකය. එවන් වූ වැදගත්කමක් උසුලන සද ගමන අවුරුදු 40කට පෙර වකවානුව තුලදී ශ්‍රී ලංකාවටද වැදගත් සිදුවීමක් මෙන්ම නොමැකෙන මතකයක් ලෙස සටහන් වන්නේ සද ගමනේදී ලබාගත් චන්ද්‍රපාෂාණ වලින් කුඩා කොටසක් ලංකාවටද තිළිණයක් ලෙස ලැබුණු බැවිනි.

කොහොමද මේ තිළිණය ලැබුණේ?

ප්‍රථම සද ගමන සිදු වූ ‘ඇපොලෝ-11’ මෙහෙයුමේ සාර්ථක අවසානයෙන් පසු එම මෙහෙයුම අතරතුරදී එකතු කරගත් චන්ද්‍රපාෂාණ වලින් ඉතා කුඩා ප්‍රමාණයක් තවත් රටවල් කිහිපයකට විශේෂ තිළිණයන් ලෙස ඇමෙරිකානු රජය විසින් ලබාදෙන ලදි. ශ්‍රී ලංකාවට මේ විශේෂ තිළිණය ලැබීම සිදු වූයේ මීට අවුරුදු 40කට පමණ පෙර වකවානුවේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිව සිටි ඇන්ඩෲ වී. කොරී මහතා සිටි යුගයේදී ඇමෙරිකානු තානාපති කාර්යාලයටය. ලංකාවට හිමි වූ මේ කුඩා පාෂාණ කැබලි කිහිපය ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා විය. තරමින් ඉතා කුඩා වූවත් රූපවාහිණී නොතිබුණු මේ අවදියේ ගුවන් විදුලියෙන් හා පුවත් පත් වලින් ඊට ලැබුණු ප්‍රචාරය හේතුවෙන් සියලු දෙනාගේ අවධානය මේ කුඩා ආගන්තුක ගල් කැබලි වෙත යොමු වන්නට විය.

මහජන ප්‍රදර්ශණය

චන්ද්‍රපාෂාණ මහජනයා සදහා ප්‍රදර්ශණය වූයේ කොළඹ සහ මහනුවර යන ප්‍රධාන නගර දෙකේදීය. 1969 දෙසැම්බර් 17 සිට දින 3ක් පුරාවට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේදී මෙය මහජනයා සදහා විවෘතව පැවතිණි.

ඉහත රූපයේ දැක්වෙනුයේ එලෙස ප්‍රදර්ශණය වෙමින් පැවති අවස්ථාවකි. ආගන්තුක පාෂාණ කොටස් දැක බලා ගැනීම සදහා කුතුහලයෙන් යුතුව පැමිණෙන විශාල ජනකායක් මෙහි දැක්වේ. රූපයේ ඉදිරියෙන්ම පෙනෙන්නට තිබෙන විශාල වීදුරු ගෝලයක් තුල ආරක්ෂාකාරී ලෙස තබා ඇත්තේ චන්ද්‍රපාෂාණ කොටසයි. ඊට මදක් පිටුපසට වන්නට තවත් කුඩා ගෝලයක් මෙන් දිස්වනුයේ චන්ද්‍රයාගේ ආකෘතියකි.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙනුයේ තවත් එවැනිම මහජන ප්‍රදර්ශණයක් මහනුවර නගරයේ පැවති අවස්ථාවකි. එකල 175,000 පමණ ශ්‍රී ලාංකීය ජනතාව මෙය සියැසින් දැකබලා ගත් බවද සදහන් වෙයි.

නීල් ආම්ස්ට්‍රොංග් මහතා ලංකාවට පැමිණෙයි

චන්ද්‍රපාෂාණ මහජනයා සදහා විවෘතව පැවති කාලය අතරතුරදී නීල් ආම්ස්ට්‍රෝංග් මහතා ඇමරිකාවේ සිට හොං-කොං දක්වා පියාසර කරමින් සිට ඇත. මෙම දිගු ගුවන් ගමනේ එක් සන්ධිස්ථානයක් වූයේ ලංකා ගුවන් තොටුපලයි. ඔහු ගමන් ගත් ගුවන් යානය ලංකා ගුවන් තොටුපලට ගොඩ බස්වා, නැවත ගමන් අරබන තෙක් කාලය අතරතුර තේ කෝප්පයක් පානය කිරීමේ අවශ්‍යතාවයෙන් යුතුව නීල් ආම්ස්ට්‍රෝංග් මහතා ගුවන් තොටුපලේ භෝජනාගාරය වෙත ගමන් කොට ඇත. මේ බව එවකට ගුවන්තොටුපලේ ලංකාදීප පත්‍රයේ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල ආර්.බී.එම් සුමනදාස මහතාට සැලවීමත් සමග හදට ගොඩ බැසූ මේ පළමු මිනිසාගේ ලංකා ගමන පිළිබදව ඔහුගේ ඡායාරූපයක්ද සහිතව ලංකාදීප පත්‍රයේ පල කිරීමට අහම්බෙන් මෙන් අවස්ථාව උදා කර ගැණුනි. පෙර නොසිතූ පරිදි සිදු වූ නීල් ආම්ස්ට්‍රෝංග් මහතාගේ මේ අහබු පැමිණීම එකල ලාංකීය ජනතාවගේ විමතිය තවත් වැඩිකිරීමට හේතු වූවාට නිසැකය.

චන්ද්‍රපාෂාණ වල වර්තමාන තත්වය

මහජන ප්‍රදර්ශණය පැවති කාලයෙන් පසුව ලංකාවට හිමි වූ මේ සුවිශේෂී තිළිණය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත්කොට තැබිණි. චන්ද්‍ර පාශාණ වල ඉතිහාස වතගොත දැනගැනීමෙන් පසු එහි වර්තමාන තත්වය සොයා බැලීමේ අශාවෙන් යුතුව මා දිනක් කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ගියෙමි. මෙම තිළිණය අද පවතිනේ කෞතුකාගාරයට අයත් ස්වාභාවික විද්‍යා කෞතුකාගාර කාර්යාලයේය. එය ඍජුවම මහජන ප්‍රදර්ශණය සදහා විවෘතව නොමැත. ඉහත ඡායාරූපවල දැක්වෙන්නාක් මෙන් විශාල වීදුරු ගෝලයක් මෙන් දැක්වෙන ආකෘතියද වර්තමානයේ නොපවතී. ඒ වෙනුවට අද අපට මේ චන්ද්‍රපාෂාණ දැක ගත හැකි වන්නේ විශේෂ ආකාරයකට සැකසූ කුඩා ආකෘතියකට(කුසලානයක් මෙන් හැඩය ඇති) සම්බන්ධකොට පවතින්නක් ලෙසය. පාෂාණ කිහිපය තැන්පත් කොට ඇත්තේ වීදුරු පලිගුවක් තුලය. මෙම ආකෘතියේම කුඩා ප්‍රමාණයේ ශ්‍රී ලංකා ජාතික ධජයක්ද සම්බන්ධ කොට තිබේ. එහිද විශේෂත්වයක් පවතී. එනම් සද ගමන සනිටුවහන් කිරීම සදහා විවිධ රටවල ජාතික ධජද ‘ඇපොලෝ-11’ සදගාමීන් රැගෙන ගොස් තිබේ. බොහෝවිට ඔබ දැක ඇත්තේ චන්ද්‍රයා මත සිටවූ ඇමෙරිකානු ධජය පමණි. නමුත් අනෙක් රටවල ධජයන්ද චන්ද්‍ර පෘෂ්ටය මත තබා නැවත ඔවුන් පෘථිවියට එන ගමනේ රැගෙන විත් තිබේ. මේ ආකෘතියට සම්බන්ධකොට ඇත්තේ එලෙස සද මතට ගෙන ගොස් නැවත අපට ලැබුණු ධජයයි.

ඔබට චන්ද්‍රපාෂාණ බැලීමට අවස්ථාවක් ලද හොත් සමහරවිට ඔබට එහි ඇති මෙතරම්ම වූ වැදගත්කම කුමක්ද යැයි සිතේවි. මන්දයත් මෙම පාෂාණ කැබලි එතරම්ම කුඩා ප්‍රමාණයේ ඒවා වන හෙයිනි. නමුත් එහි ඇති වැදගත්කම එහි තරමින් මැනිය නොහැක. මිනිසා සද මත පා තබන්නේ එක් වරම ක්‍රියාත්මක වූ අභ්‍යාවකාශ මෙහෙයුමක් ලෙස නොවේ. එය සිදු වන්නේ, 1957 වසරේදී අභ්‍යවකාශ ගත වන ‘ස්පුට්නික් -1’ චන්ද්‍රිකාවෙන් ඇරබෙන අභ්‍යාවකාශ යුගයත් සමගම දියත් කරන මර්කියුරි, ජෙමිනි ආදී දැවැන්ත ව්‍යාපෘති වලින් ගොඩ නැගෙන මූලික අත්තිවාරම මත ක්‍රියාත්මක වූ යෝධ ඇපලෝ ව්‍යාපෘතියේ අග්‍රගණ්‍යය ප්‍රතිඵලයක් ලෙසය. ශ්‍රී ලංකාවට හිමි වූ මේ විශේෂ තිළිණය තුල ඒ අති දැවන්ත මිනිස් ශ්‍රමය, සද ගමන පිළිබද ශ්‍රී ලාංකිකයන්ගේ මතකය යනාදී සියලු දේ ගැබ්ව පවතී. මෙහි වටිනාකම වන්නේ මෙයයි. මෙම නියම වටිනාකම පෙණෙනුයේ මෙවන් වූ අමරණීය අතීතය දන්නා කෙනෙකුට පමනක් බවද සදහන් කල යුතුය.

විශේෂ ස්තූතිය

චන්ද්‍රපාෂාණ වල ඉතිහාස කථාව සහ එහි මහජන ප්‍රදර්ශණය සිදුවූ අවස්ථාව දැක්වෙන ඉහත ඡායාරූප දෙකද මා වෙත සැපයූ, රාජ්‍යය සම්මාන දිනූ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාටත්, කොළඹ ජාතික කෞතුකාගාරය තුල තැන්පත් කොට ඇති එහි වර්තමාන ආකෘතිය මා හට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුන්, ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රධානී වජිත් අබේසිංහ මහතාටත්, skylk කන්ඩායම වෙනුවෙන් මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.

Read More

හිරු පවුලේ වාමනයෝ

 

විසිවන සියවසේ මුල් භාගයේදී අප සෞරග්‍රහ මන්ඩලයේ නෙප්චූන් ග්‍රහයාගේ චලිතය පිළිබදව තාරකා විද්‍යාඥයින්ට පැවතියේ ගැටලු සහගත තත්වයකි. නෙප්චූන් ග්‍රහයා තම කක්ෂයේ නිවැරදි ආකාරයෙන් ගමන් නොකිරීම එයට හේතුවයි. මේ සදහා තවත් යම් අභ්‍යාවකාෂ වස්තුවක ගුරුත්ව බලපෑමක් අනිවාර්යයෙන් පැවතිය යුතු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මෙම හදුනා නොගත් අත්භූත ආකාෂ වස්තුව අප සෞරග්‍රහ මන්ඩලයේම තවත් සාමාජිකයෙක් නැතහොත් තවත් ග්‍රහයෙක් වීමට බොහෝ ඉඩ ඇති බැවින් එය Planet-X ලෙස නම් කෙරිණි.

Planet-X නම් ග්‍රහයා නිශ්චිතවම පවතී නම් එය නිවැරදිව තහවුරු කරගත යුතුය. එසේ තහවුරු වන්නේ එය අහසේ හදුනාගත හොත් පමණි. මේ අනුව තාරකා විද්‍යාඥයෝ Planet-X නම් ග්‍රහයා අහසේ හදුනාගැනීමට උත්සුක විය. මෙම කාල වකවානුවේදී, එනම් 1930 වර්ෂයේදී ලොවෙල් නිරීක්ෂණාගාරයේ (Lowell Observatory) වැඩ කරමින් සිටි, 23 හැවිරිදි ක්ලයිඩ් ටොම්බෝ ( Clyde Tombaugh) නමැති තාරකා විද්‍යාඥයාට ඈත පිහිටි තාරකා වලට සාපේක්ෂව අහසේ ගමන් කරන්නාක් මෙන් පෙනෙන විශේෂ වස්තුවක් සොයාගැනීමට හැකිවිය. පසුව කල නිරීක්ශණ වලින් එය සූර්යයා වටා කක්ෂගතව පවත්නා බව පෙනෙන්නට වූ අතර ටොම්බෝ විසින් සොයාගනු ලැබූ ආකාෂ වස්තුව අන් කිසිවක් නොව තාරකා විද්‍යාඥයින් සොයාගැනීමට වෙහෙසෙන Planet-X නම් ග්‍රහයා බව අවසානයේදී තහවුරු විණි. Planet-X ලෙස ඉහත සදහන් කල වස්තුව නම් කිරීමට යෙදුනේ එය කුමන ආකාරයක වස්තුවක් දැයි තාරකා විද්‍යාඥයින් ඒ වනවිට නොදැන සිටි බැවිනි. නමුත් එය සෞරග්‍රහ මන්ඩලයේ තවත් සාමජිකයෙකු ලෙස හදුනාගැනීමෙන් අනතුරුව ඒ සදහාද අනෙකුත් ග්‍රහයින්ට පවතින්නාක් මෙන් සුවිශේෂී වූ නාමයක් ලබා දීමට සිදුවිය. මේ සදහා එකල විවිධ ආකාරයේ නාමයන් බොහොමයක් යෝජනා විනි. නමුත් අවසානයේ සෞරග්‍රහ මන්ඩලයේ මේ අලුත් සාමාජිකයා සදහා ස්ථීර කර ගැණුනේ 1930 වර්ෂයේදීම වෙනිෂියා බර්නි (Venetia Burney)නම් 11 හැවිරිදි කුඩා පාසල් දැරිය විසින් යෝජනා කල ප්ලුටෝ(Pluto) නම් නාමයයි. සෞරග්‍රහ මන්ඩලයේ 9වන ග්‍රහයා ලෙස අප කලක් හැදිනගෙන සිටි ප්ලූටෝගේ සොයාගැනීම සිදු වුයේ මේ ආකාරයෙනි.

 

ක්ලයිඩ් ටොම්බෝ

 

වෙනිෂියා බර්නි

ප්ලූටෝගේ සොයාගැනීමෙන් පසු, තාරකා විද්‍යාඥයෝ ප්ලූටෝ අවට හා ඊට එපිටින් ඇති අභ්‍යාවකාශය පිළිබද තොරතුරු සෙවීමට උත්සුක විය. මෙහි ප්‍රතිපලයක් ලෙස 1978 ජූනි 22වන දින ජේම්ස් ක්‍රිස්ටි(James Christy) විසින් මේ වන තෙක් තනි ග්‍රහයෙකු ලෙස හදුනාගෙන තිබූ ප්ලූටෝගේ තවත් සගයෙකු සොයාගැනීමට යෙදුනි. ඒ අන් කිසිවක් නොව ප්ලූටෝගේ චන්ද්‍රයෙකු ලෙස අප හදුන්වන චාරෝන්ය(Charon). මේ චාරෝන් චන්ද්‍රයායේ සොයාගැනීමත් සමගම ප්ලූටෝ පිළිබදව අප ඒ වන තෙක් දැන සිටි කරුණු ප්‍රමාණයද දෙගුණ තෙගුණ වන්නට විය. වර්ථමානය වන විට ප්ලූටෝට අයත් චන්ද්‍රයින් ගණන 3ක් දක්වා වැඩි වී තිබේ. අලුතින් සොයාගත් චන්ද්‍රයින් දෙදෙනා චාරෝන්ට සාපේක්ෂව ඉතා කුඩා වන අතර ඒවා හයිඩ්‍රා(Hydra) සහ නික්ස්(Nix ) ලෙස නම් ලබා ඇත.

පසුව කෙරුණු නිරීක්ෂණ වලින්(විශේෂයෙන්ම 1992 වර්ෂයේ සිට) එහි පිහිටීමට යාබදව පවතින තවත් ඊට වඩා කුඩා වස්තූන් රැසක්ද විද්‍යාඥයින්ට සොයාගැනීමට හැකිවිය. මේවා ප්ලූටෝට වඩා බෙහෙවින් කුඩා වූ බැවින් ඒවා ග්‍රහක හෝ දූමකේතු ලෙස සැලකිණි. මෙලෙස හදුනාගැනීමට යෙදුනු මෙම කුඩා වස්තූන් බ්‍රහස්පති හා අගහරු අතර පවතින ග්‍රහක වළල්ල මෙන් නෙප්චූන්ට එහායින් ග්‍රහක වළල්ලක් ආකාරයට පිහිටා තිබේ. මෙම ග්‍රහක වළල්ල කුයිපර් පටිය (Kuiper belt) ලෙස හදුන්වයි. නව සොයාගැනීම් අනුව කුයිපර් පටියට එපිටින් ඇති තවත් වස්තූන් සොයාගෙන ඇත. මේ අනුව නෙප්චූන්ගේ කක්ෂයට එපිටින් ඇති සියලු අභ්‍යාවකාෂ වස්තූන් පොදුවේ Trans-Neptunian objects (TNO) ලෙස හදුන්වයි. කුයිපර් පටියද මේ TNO කලාපයට අයත් වන්නකි.

කුයිපර් පටියේ අවසාන මායිම පිහිටනුයේ ප්ලූටෝ සූර්යයාට දුරින්ම පිහිටන මායිමේය. ප්ලූටෝ සූර්යයාට ලංවම පවතින පිහිටුම පවතිනුයේ නෙප්චූන්ගේ කක්ෂයටද මෙහායිනි. මේ නිසා සමහර කාල වලදී ප්ලූටෝ සෞරග්‍රහ මන්ඩලයේ 8 වන ග්‍රහයා බවටද පත්වෙයි. ප්ලූටෝගේ මේ අස්වාභාවික චලිතයට හේතු වන්නේ එහි අධික ඉලිප්සාකාර කක්ෂයයි. මෙහිදී ඇත්තටම සිදු වන්නේ ප්ලූටෝ ග්‍රහයා කුයිපර් පටිය හරහා ගමන් කිරීමකි. තවත් සරලව දක්වතොත්, ප්ලූටෝ ග්‍රහයා සෞරග්‍රහ මන්ඩලයේ අනෙකුත් ග්‍රහයින් මෙන් තනිව පවතින වස්තුවකට වඩා කුයිපර් පටියේම සාමාජිකයෙකු ලෙස හැදින්විය හැකිය. නමුත් ප්ලූටෝ, කුයිපර් පටියේ තමන්ගේ අනෙකුත් සගයින් අභිබවා ඉතා දැවැන්තව වැඩුණු ග්‍රහයෙකි. එබැවින් ප්ලූටෝ ග්‍රහයෙකු ලෙස ලබා තිබූ තනතුරට තාරකා විද්‍යාඥයින් හට ගැටලු සහගත තත්වයක් පැවතුනත් ඒ සදහා කුයිපර් පටියේ නව සොයාගැනීම් බාධාවක් නොවිනි. නමුත් ප්ලූටෝගේ අනාගත ඉරණම වෙනස් වන්නේ මේ අලුත් සොයාගැනීම් නිසා නම් නොවේ.


සෞරග්‍රහ මන්ඩලයේ 10 වන ග්‍රහයා

2005 වර්ෂයේදී පැල්මා නිරීක්ෂණාගාරයේ(Palomar Observatory), මයික් බ්‍රොවුන්(Mike Brown) ප්‍රමුඛ තාරකා විද්‍යාඥයින් කන්ඩායමක් විසින් ප්ලූටෝට වඩා විශාල ඊට බොහෝ ඈතින් පිහිටි(TNO කලාපයට අයත් වන්නකි), සූරයයා වටා කක්ෂගතව පවතින අභ්‍යවකාශ වස්තුවක් සොයාගැනීමට යෙදිනි. නිවැරදිව හදුනා නොගත් මෙම වස්තුව මුලදි නම් කරනු ලැබුවේ 2003UB313 ලෙසය. පසුව මෙහි වැඩිදුර තොරතුරු නිරීක්ශණය කිරීමෙන් අනතුරුව එහි ග්‍රහයකුගේ ලක්ෂණ පවතින බැවින් එය සෞරග්‍රහ මන්ඩලයේ 10 වන ග්‍රහයා ලෙස නම් කෙරිණි. 2003UB313 ලෙස කලින් නම් ලබා තිබූ මෙම වස්තුව එය හදුනාගත් කාලයේ පටන්ම සීනා (Xena) යන ආරූඩ නාමයෙන්ද හැදින් වූ අතර පසුව එය ඊරිස්(Eris) ලෙස නිල වශයෙන් නම් කෙරිණි.

 

මයික් බ්‍රොවුන්

මෙම ආන්දෝලනාත්මක 10 වන ග්‍රහයාගේ සොයාගැනීමත් සමගම ලොව පුරා තාරකා විද්‍යාඥයින්ට ග්‍රහයින් යනු කුමන ආකාරයක වස්තූන්ද යන්න පිලිබදව නැවත සිතන්නට සිදුවිය. එනම් ඊරිස් ආකාරයේ තවත් වස්තූන් අනාගතයේදී හදුනාගැනීමට බොහෝ ඉඩකඩ තිබීමත් ඒ අනුව ඒ වස්තූන්ද ග්‍රහයින් ලෙස නම් කල යුතු වන බැවිණි. මෙහි ප්‍රතිපලය වන්නේ සෞරග්‍රහ මන්ඩලයේ ග්‍රහයින්ගේ සංඛ්‍යාව විශාල අගයක් දක්වා වැඩි වීමකි. තවද එලෙස අනාගතයේදී සොයාගැනීමට යෙදෙන වස්තූන් බොහොමයක් ප්ලූටෝ මෙන් කුයිපර් පටියේ සාමාජිකයන් විය හැකිය. මේ අනුව බලන විට ප්ලූටෝට අත් වන ඉරණම කුමක්ද? ඉදිරියේදී මෙලෙස සොයාගැනීමට යෙදෙන සියලුම වස්තූන් ග්‍රහයින් ලෙස නම් කරනවාද? වැදගත්ම ප්‍රශ්නය වන ග්‍රහයෙකු ලෙස අප හදුන්වන්නේ ඇත්තටම කුමන ආකාරයක වස්තූන්ද? ආදී ප්‍රශ්ණ වලට ලොව පුරා තාරකා විද්‍යාඥයින්ට පිළිතුරු සෙවීමට සිදුවී තිබිණි.

මේ අනුව තාරකා විද්‍යා ක්ශේත්‍රයේ දැනට ලොව ඇති විශාලතම සංගමය වන ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) මගින් එහි සාමාජික විද්‍යාඥයින්ගේ මතයන්ද සොයා බලා තාරකා විද්‍යා ඉතිහාසයේ ප්‍රථම වතාවට ග්‍රහයෙකු යනු කුමන ආකාරයක වස්තුවක්ද යන්න පිළිබදව නියම අර්ථ දැක්වීමක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට යෙදිණි. මෙහිදී ඔබට ඇතිවිය හැකි ගැටලුව වන්නේ මීට පෙර ග්‍රහයෙකු ලෙස නම් කරනු ලැබුවේ කුමන ආකාරයක පදනමක් මත පිහිටාද යන්නයි. ඇත්තටම, මීට පෙර ග්‍රහයෙකු සදහා නියම අර්ථ දැක්වීමක් නොතිබිණි. ග්‍රහයෙකු ලෙස බොහෝ විට හැදින්වූයේ ප්‍රමාණයෙන් ඉතා විශාල (ස්කන්ධය ඉතා අධික) සූර්යයා වටා ඉලිප්සාකාර පථයක ගමන් ගන්නා වස්තූන් ලෙසය. කුයිපර් පටියේ සාමාජිකයෙකු වන ප්ලූටෝ 9 වන ග්‍රහයා ලෙස නම් කරනු ලැබුවේද බොහෝ දුරට මේ පදනම මත පිහිටාය.

ග්‍රහලොවක නව අර්ථ දැක්වීම

 

International Astronomical Union

IAU මගින් ස්ථීර කරගත් ආකාරයට අද අප ග්‍රහලොවක් ලෙස හදුන්වන්නේ පහත දැක්වෙන කරුණු කිහිපයට යටත් වන අභ්‍යාවකාශ වස්තුවකි.

1. සූර්යයා වටා කක්ෂගතව පැවතීම.
2. තම ස්වකීය ගුරුත්වාකර්ෂණය මගින් ගෝලාකාර ස්වභාවයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ස්කන්ධයකින් යුතු වීම.
3. අනෙකුත් අභ්‍යාවකාෂ වස්තුවල බලපෑමකින් තොර කක්ෂයක ගමන් කිරීම.

ඉහත දැක්වෙන කරුණු දෙස බැලීමේදී ප්ලූටෝ ග්‍රහයා ඉහත මුල් කරුණු දෙක යටතට අයත් වූවද අවසාන කරුණට එකග නොවන බව පෙනෙයි. එමෙන්ම ප්ලූටෝ දක්වා ඇති පෘථිවියද ඇතුලු අනෙකුත් ග්‍රහයින් 8 දෙනා දෙස බැලීමේදී ඒවා ඉහත කරුණු සියල්ලටම එකග වන බවද ඔබට පැහැදිලි වේවි. තවද අලුතින් සොයාගනීමට යෙදුනු ඊරිස් ග්‍රහයාද ප්ලූටෝ මෙන් ඉහත අවසාන කරුණට එකග නොවන බවද ඔබට එහි දක්ත පිරික්සීමෙන් පැහැදිළි වේවි. මේ අනුව 1930 වසරේ සිට මේ වන තෙක් ග්‍රහයෙකු ලෙස සෞරග්‍රහ මන්ඩලයේ මායිමේ සිටි ප්ලූටෝ හා අලුතින් හදුනාගත් සෞරග්‍රහ මන්ඩලයේ 10 වන ග්‍රහයා ලෙස සැලකීමට යෝජනා වූ ඊරිස් ග්‍රහයාද ග්‍රහලොවක් යන තනතුරින් ඉවත් කෙරිණි.

මෙලෙස ඉවතට තල්ලු කල ප්ලූටෝ හා ඊරිස් වෙනමම ආකාරයේ ග්‍රහ පද්ධතියක් ලෙස නම් කිරීමට විද්‍යාඥයින් තීරණය කරන්නේ මේ ආකාරයේ වස්තූන් ග්‍රහක හෝ ධූමකේතු ලෙස එක්වරම පහල දැමීම සුදුසු නැති බැවිණි. අලුතින් නිර්මාණය කිරීමට යෙදුනු මේ විශේෂ ග්‍රහ පද්ධතිය වාමන ග්‍රහයින් (Dwarf Planets) ලෙස හදුන්වයි.

වාමන ග්‍රහයෙකුගේ අර්ථ දැක්වීම

IAU මගින් ස්ථීර කරගත් ආකාරයට වාමන ග්‍රහයින් ලෙස අප හදුන්වන්නේ පහත දැක්වෙන කරුණු කිහිපයට යටත් වන වස්තූන්ය. වාමන ග්‍රහයින් යන වදන මීට පෙර තාරකා විද්‍යා ක්ශේත්‍රය තුල භාවිතා නොවූවකි. වාමන මන්දාකිණි යන වදන (Dwarf Galaxies) මීට පෙර සිටම භාවිතයේ පැවතියත් වාමන ග්‍රහයින් යන වදන තාරකා විද්‍යා ක්ශේත්‍රයට එක් වන්නේ මෙතැන් සිටය.

1. සූර්යයා වටා කක්ෂගතව පැවතීම.
2. තම ස්වකීය ගුරුත්වාකර්ෂණය මගින් ගෝලාකාර ස්වභාවයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ස්කන්ධයකින් යුතු වීම.
3. අනෙකුත් අභ්‍යාවකාෂ වස්තුවල බලපෑමක් සහිත කක්ෂයක ගමන් කිරීම.
4. උපග්‍රහයෙකු නොවීම.

ඉහත අර්ථ දැක්වීමට අනුව ප්ලූටෝ හා ඊරිස්, අලුතින් අර්ථ දැක්වීමට යෙදුණු වාමන ග්‍රහ පද්ධතියේ සාමාජිකයින් බවට පත් විණි. 2006 අගෝස්තු 24 වන දින IAU මගින් නිළ වශයෙන් වාමන ග්‍රහයින් තිදෙනෙකු නම් කෙරිණි. තුන් වන වාමනයා අගහරු හා බ්‍රහස්පති අතර ග්‍රහක වළල්ල තුල පිහිටි සෙරස්ය(Ceres). 4 වන වාමන ග්‍රහයා ලෙස මේක්මේක් (Makemake) නම් කෙරිණි. හවුමියා (Haumea) 5වන වාමන ග්‍රහයා ලෙස නම් කෙරිණි. එතැන් සිට අද දක්වා කිසිදු වෙනත් අභ්‍යවකාශ වස්තුවක් වාමනයෙක් ලෙස නිල වශයෙන් නම් කොට නැත. මේ අනුව අද අප හදුනාගෙන තිබෙන මුලු වාමනයින් සංඛ්‍යාව පහකි. නමුත් තවත් අලුතින් හදුනාගත් අභ්‍යවකාශ වස්තූන් කිහිපයක්ම වාමනයින් ලෙස නම් කිරීමට යෝජනා වී ඇති බව මෙහිලා විශේෂයෙන් සදහන් කල යුතුය.


ප්ලූටෝ-චාරෝන් පද්ධතිය පිළිබද ගැටලු

චාරෝන් යනු ප්ලූටෝගේ චන්ද්‍රයෙකු බව ඔබ දැනටමත් දන්නා කරුණකි. නමුත් ප්ලූටෝ-චාරෝන් පද්ධතිය පිළිබදව පසුව කෙරුණු නිරීක්ශණ වලින් හෙළි වී ඇත්තේ චාරෝන් සතුව උපග්‍රහයෙකුගේ ලක්ෂණ නොමැති බවය. ප්ලූටෝ වටා චාරෝන්ගේ චලිතය චන්ද්‍රයා පෘථිවිය වටා සිදුකෙරෙන චලිතයට වඩා බොහෝ වෙනස් ආකාරයක් ගනී. ප්ලූටෝ-චාරෝන් පද්ධතිය පිළිබදව කථා කිරීමට පෙර අපි උපග්‍රහයෙකු යනු කුමන ආකාරයක වස්තුවක්ද යන්න සොයා බලමු.

 

උපග්‍රහයෙකු ලෙස හදුන්වන්නේ එහි මවු ග්‍රහයාගේ හා උපග්‍රහයාගේ පොදු ස්කන්ධ කේන්ද්‍රය මවු ග්‍රහයා තුල පවතින පරිදි මවු ග්‍රහයා වටා කක්ෂගතව පවතින අභ්‍යාවකාෂ වස්තුවකටය. තාරකා විද්‍යාවේදී මෙම පොදු ස්කන්ධ කේන්ද්‍රය Barycenter ලෙස හදුන්වයි.

මවුග්‍රහයෙකු හා උපග්‍රහයෙකු ඇති පද්ධතියකදී සිදුවන්නේ උපග්‍රහයා මවුග්‍රහයාගේ ස්කන්ධ කේද්‍රය වටා කක්ෂගතවී පැවතීමක් නොවේ. මෙවැනි පද්ධතියක ඇත්තටම සිදු වන්නේ මවුග්‍රහයා හා උපග්‍රහයා යන වස්තූන් දෙකම එහි පොදු ස්කන්ධ කේන්ද්‍රය(Barycenter) වටා ගමන් කිරීමකි. උදාහරණයක් ලෙස අප පෘථිවිය-චන්ද්‍රයා පද්ධතිය සැලකීමේදී චන්ද්‍රයා පෘථිවියේ ස්කන්ධ කේන්ද්‍රය වටා ගමන් නොකරන අතර සිදුවන්නේ චන්ද්‍රයා හා පෘථිවිය යන වස්තූන් දෙකම එහි පොදු ස්කන්ධ කේන්ද්‍රය වටා ගමන් කිරීමයි. මෙම පද්ධතියේ පොදු ස්කන්ධ කේන්ද්‍රය පෘථිවිය තුල පිහිටයි(ඉහත රූපයේ මෙන්). එම නිසා චන්ද්‍රයා ආසන්න වශයෙන් පෘථිවියේ ස්කන්ධ කේන්ද්‍රය වටා ගමන් කරන ලෙස සැලකිය හැකිය.

ප්ලූටෝ-චාරෝන් පද්ධතියේ පොදු ස්කන්ධ කේන්ද්‍රය පවතිනුයේ ප්ලූටෝ ග්‍රහයා තුල නොව ඉන් පිටතය. මේ නිසා මෙම පද්ධතියේ පවතිනුයේ චන්ද්‍රයා-පෘථිවිය පද්ධතියෙන් ඉතා වෙනස් අමුතුම ආකාරයේ චලිතයකි. මේ නිසා චාරෝන් තවදුරටත් ප්ලූටෝගේ උපග්‍රහයෙකු ලෙස හැදින්විය නොහැකි බව පෙන්වා දිය යුතුය. තවද චාරෝන් සතුව වාමන ග්‍රහයෙකුගේ ලක්ෂණද පවතී. මේ බව චාරෝන්ගේ දක්ත පිරික්සීමෙන් ඔබට පැහැදිළි වේවි. ඒ අනුව චාරෝන්ද වාමන ග්‍රහයෙකු ලෙස නම් කල යුතුය. තවද ප්ලූටෝ-චාරෝන් පද්ධතිය හැදින්විය හැකි නිවැරදි හා වඩාත් සාධාරණ ආකාරය වන්නේ ද්විත්ව වාමන ග්‍රහ පද්ධතියක් ලෙස හැදින්වීමය. නමුත් තවමත් චාරෝන්, ප්ලූටෝගේ උපග්‍රහයෙකු ලෙස හදුන්වන අතර නුදුරු අනාගතයේදී මෙම පද්ධතිය ද්විත්ව වාමන ග්‍රහ පද්ධතියක් ලෙස නිළ වශයෙන් නම් කරනු ඇති බවද සදහන් කල යුතුය.

 

වැඩිදුර විස්තර:

http://www.iau.org/public_press/themes/pluto/

 

Read More

සාරෝස් චක්‍රය

යම් වසරකදී සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදු වූවා යැයි සිතමු. මෙවැනි ග්‍රහණයක් සිදුවී අවුරුදු 18, දින 11, පැය 8 කට පසු නැවතත් එවැනි ආකාරයේම ග්‍රහණයක් ඇති වීමට ඉඩකඩ පවතී.

ඉහත සදහන් කල කාලයට පසු ඇති වන ග්‍රහණය පෙර ඇති වූ ආකාරයේම වේ. උදාහරණයක් ලෙස වළයාකාර සූර්යග්‍රහණයක් සිදු උවහොත් නැවත ඇති වන්නේද වළයාකාර සූර්යග්‍රහණයකි. නමුත් පසුව ඇති වන ග්‍රහණය ඊට පෙර ග්‍රහණය දර්ශණය වූ ප්‍රදේශ වලටම බොහෝ විට නැවත හසු නොවෙයි. එසේ වන්නේ දින 11, පැය 8 ක් යන කාලය ඊට එක් වීම හා එම නිසා පෘථිවි භ්‍රමණයේ බලපෑමෙන් සිදු වන වෙනස් වීමයි. උදාහරණයක් ලෙස 2010 වර්ෂයේ සිදුවන සියලු ග්‍රහණ සලකමු. ඉහත පැහැදිලි කිරීම අනුව මෙම ග්‍රහණ වලට වඩාත් සමාන තව එවැනිම ග්‍රහණ ප්‍රමානයක් 2028 වර්ෂයේදී ඇති වේ. 2028 වර්ෂයේ ඇති වන ග්‍රහණ වලටද වඩාත් සමාන ග්‍රහණ ප්‍රමාණයක් 2046 වර්ෂයේදී ඇති වේ. මෙලෙස ග්‍රහණ ඇති වීම යම් චක්‍රයක් නැතහොත් රටාවක් අනුව සිදු වේ. සාරෝස් චක්‍රය(Saros series) ලෙස හැදින්වෙන්නේ මෙම චක්‍රයයි.

මේ අනුව බලන විට සියලුම ග්‍රහණ එක්තරා සාරෝස් චක්‍රයක සාමාජිකයෙකි. සාරෝස් චක්‍ර විවිධ අංක වලින් නම් කරනු ලබයි. උදාහරණයක් ලෙස 2010 ජනවාරියේදී ඇති වීමට නියමිත සූර්යග්‍රහණය ‘සාරෝස් 141’ ලෙස හැදින්වෙන සාරෝස් චක්‍රයේ සාමාජිකයෙකි. කිසියම් සාරෝස් චක්‍රයක් සදාකාලිකවම පවතින්නක්ද නොවේ. මෙවැනි චක්‍රයකට ආරම්භයක් හා අවසානයක් පවතී. එසේ වන්නෙ පෘථිවි හා චන්ද්‍ර කක්ශයන් වල කාලය සමග ක්‍රම ක්‍රමයෙන් සිදු වන වෙනස් වීම් නිසාවෙනි. මේ අනුව ඉහත උදාහරණයක් ලෙස දැක් වූ  චක්‍රයද අවුරුදු 18න් 18ට ග්‍රහණ උදා කර බොහෝ කාලයකට පසු එලෙස එම රටාවට අනුව ග්‍රහණ ඇති කිරීමෙන් ඉවත් වනු ඇත. 

යම් වසරක චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයක් සිදු වීමෙන් පසු නැවත එවැනිම ආකාරයේ ග්‍රහණයක් ඇති විය හැක්කේ කිනම් දිනයකද හා පෘථිවියේ කුමන ප්‍රදේශයකටද යන වග සාරෝස් චක්‍රය භාවිතයෙන් සොයා ගත හැකිය. මේ අනුව ග්‍රහණ පිලිබද අනාවැකි පල කිරීම සදහා මේ සාරෝස්  චක්‍රය ඉතා වැදගත් වන බව පෙන්වා දිය හැකිය. ඈත අතීතයේදි ග්‍රහණ පිලිබද අනාවැකි පල කරන ලද්දේ බොහෝ විට මෙම සාරෝස් චක්‍රය අසුරු කර ගෙනය. නමුත් නූතන යුගයේ ග්‍රහණ අනාවැකි සදහා සාරෝස් චක්‍රය භාවිතා නොවන අතර ඒ වෙනුවට පෘථිවි හා චන්ද්‍රයාගේ කක්ශීය චලිතයන් හා පරිගණක තාක්ශණය උපයෝගී කරගෙන වඩාත් නිරවද්‍යතාවයකින් යුතුව ග්‍රහණ වලට අදාල වේලාවන්(ආසන්න තත්පර දශමස්ථානයට) හා ප්‍රදේශ දක්වනු ලබයි.

සාරෝස් චක්‍රයේ ආරම්භය නැතහොත් එවැනි චක්‍රයක් පලමු වරට හදුනා ගැනීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි සටහනක් නොමැති වූවත් බොහෝ දෙනා විශ්වාස කරන පරිදි සාරෝස් චක්‍රයේ ආරම්භය සිදු වී ඇත්තේ බැබිලෝනියානුවන්ගෙනි. ලොව පැරණිතම ශිෂ්ඨාචාරයක් වන බැබිලෝනියානුවන් බොහෝ කාලයක් පුරාවට ග්‍රහණ අධ්‍යනය කිරීමේ නිරත වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස සාරෝස් චක්‍රය හදුනා ගත් බවත් ඉතිහාසයේ සදහන් වේ. තවද, මෙම චක්‍රයේ ආරම්භය බැබිලෝනියානුවන්ගෙ කාලයේ සිදු වුවත්, එය සාරෝස් යනුවෙන් නම් කර ඇත්තේ, හැලී ධුමකේතුව හදුනාගත්, ‘එඩ්මන්ඩ් හැලී’ විසිනි.

 

උදාහරණයක් ලෙස සාරෝස් 145 ට අදාල ග්‍රහණ පහත පිවිසුමෙන් ලබා ගත හැක.

http://eclipse.gsfc.nasa.gov/SEsaros/SEsaros145.html

වැඩිදුර තොරතුරු සදහා:

http://eclipse.gsfc.nasa.gov/SEsaros/SEsaros.html

 

Read More