දුරේක්ෂයක් හදමු

මෙම ලිපියේ pdf ගොනුවක් මෙම ස්ථානයෙන් බාගත කලහැකිය.

** අනතුරු හැඟවීමයි – දුරේක්ෂයක් හෝ කිසිම ආකාරයකින් කාච භාවිතයෙන් හෝ කිසිවිටකත් සූර්යයා හෝ ඒ ආසන්නය හෝ දෙස බැලීමෙන් වළකින්න. ඔබ සදාකාලික ලෙස අන්ධ භාවයට පත්විය හැකිය. **

තාරකාවිද්‍යාවට අවතීර්ණ වන නවක ඔබට කළ හැකි මූලිකතම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වනුයේ දුරේක්ෂයක් තැනීම ය. මෙලෙස ඉතා විශාල වර්තක සේම පරාවර්තක දුරේක්ෂ පවා නිවසේදීම තැනිය හැකි නමුත් නිවසේදී සාදන දු‍රේක්ෂ, ප්‍රමාණයෙන් විශාල වන තරමට ඒවායේ නිවැරදිතාව අඩු වීමට ඉඩ ඇත.

මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ නවකයෙකුට ඉතා පහසුවෙන් සහ අඩු මුදලින් වර්තක වර්ගයේ දුරේක්ෂයක් සාදා ගත හැකි ආකාරයයි. මේ සඳහා කාච, PVC නල, කඩදාසි නල, රෙජිෆෝම් යන මාධ්‍ය භාවිතා කෙරේ. තවද යොදාගන්නා මිනුම් ඔබ දුරේක්ෂය සඳහා පාවිච්චි කරනු ලබන කාච මත තීරණය වේ.

කාච තෝරාගැනීම

මේ සඳහා යොදාගන්නා කාච උත්තල වර්ගයේ ඒවා විය යුතු ය. උදාහරණයක් ලෙස අප මෙහිදී ගෙන ඇති දුරේක්ෂයේදී අවනෙතෙහි විශ්කම්භය සෙ.මී. 5ක් පමණ වන නාභිය දුර සෙ.මී. 50ක් වන කාචයක් භාවිතා වේ. අප නිර්මාණය කරන දුරේක්ෂයේ දිග තීරණය වන්නේ දුරේක්ෂය සඳහා භාවිතා වන අවනෙතෙහි නාභිය දුරයි. ඒ අනුව දුරේක්ෂයේ දිග විය යුත්තේ සෙ.මී. 50+කි.

උපනෙත සඳහා සෙ.මී. 2ක විශ්කම්භයකින් යුතු සහ සෙ.මී. 4ක පමණ නාභිය දුරක් සහිත කාචයක් භාවිතා වේ. මේ සඳහා ඔරලෝසු කාර්මිකයන් භාවිතා කරන ඇසේ පලඳින කාචයක් භාවිතා කර ඇත.

 

කාච රැඳවීම

මුලින් ම කාච රැඳවීමට භාවිතා කරන කොටස් තනා ගනිමු. රෙජිෆෝම් මගින් පහත සඳහන් ආකාරයේ හැඩතල කපාගන්න. ඔබ භාවිතා කරන කාච වල සහ දුරේක්ෂයේ ප්‍රධාන ටියුබය ලෙස භාවිතා වන PVC නලයේ විශ්කම්භය අනුව භාවිතා වන මිමි වෙනස් විය යුතු බව සලකන්න.

මෙම කොටස් PVC නලය සමඟ තදින් සම්බන්ධ විය යුතුය. කෙසේ වෙතත් උවමනාවට වඩා තදිනු තෙරපුනහොත්, කාචය ඇද වී තැන්පත් වීමෙන් අපැහැදිලි දර්ශන ඇති විය හැකිය. කපාගත් රෙජිෆෝම් කොටස් අතරට කාචය රඳවා කම්බි මගින් සිරකරගන්න. මේ සඳහා ඕනෑම වර්ගයක කම්බි විශේෂයක් යොදාගත හැක.

ටියුබය සහ අනෙක් රැඳවුම් කොටස් සකස් කිරීම

දුරේක්ෂයේ ප්‍රධාන ටියුබය ලෙස අඟල් 3.5ක පමණ විශ්කම්භය සහිත PVC නලයක් භාවිතා කෙරේ. අප සාදන දුරේක්ෂයේ දිග තීරණය වන්නේ අවනෙතෙහි විශ්කම්භය අනුව බව ඉහත ප්‍රකාශ කලෙමි. එම නිසා PVC නලය කපාගැනීමේදී නාභිය දුරට තවත් සෙ.මී. 5-6ක් පමණ වැඩියෙන් කපා ගන්න. එම අමතර දුර පිළිබඳව ඉදිරියේදී පැහැදිලිකෙරේ. මෙහිදී භාවිතා කර ඇති කුඩා නලයේ දිග සෙ.මී. 20ක් පමණ වේ.

රෙජිෆෝම් භාවිතා කරමින් රූපයේ දැක්වෙන ආකාරයේ හැඩතල දෙකක් කපාගන්න. මෙම කොටස් වල ඝනකම වැඩිවන තරමටම, දුරේක්ෂයේ උපනෙත සවිකරන නලය එහාමෙහා කිරීමේදී හැකිතරම් සෙලවීම් අඩුකරගත හැකිය.

මී ළඟට සිදුවිය යුත්තේ, මෙම කොටස් දෙකින් එකක ඇතුලු වටප්‍රමා‍ණය, කුඩා නලයේ ප්‍රමාණයට වඩා මඳක් අඩුවීම සහ අනෙකේ පිටත වටප්‍රමාණය විශාල නලයට වඩා මඳක් අඩුවීමය. මින් බලාපොරොත්තු වන්නෙ රෙජිෆෝම් වළල්ල අදාල නලය සමඟ පමණක් තදින් සම්බන්ධ වී සිටිමින් අනෙක් නලය සමඟ පිහිල්ව පැවතීමයි. කුඩා නලය පහසුවෙන් එහා මෙහා කිරීමට මෙය බලපායි.

රෙජිෆෝම් වළලු වල ප්‍රමාණය අඩු කිරීමට, කුඩා ගැටිති සහිත වැලි කඩදාසියක් භාවිතා කල හැකිය. මෙම කාර්ය කිරීමේදී වරින් වර වළලු, අදාල නල සමඟ නිවැරදිව සවිවනවාදැයි පරීක්ෂා කරගන්න. වළලු සහ නල අතර තෙරපුම ඕනෑවට වඩා වැඩි වුනහොත් හෝ උවමනාවට වඩා ලිහිල් වුවහොත් නිරීක්ෂන කටයුතු කිරීමේදී, නාභිගතකිරීමේ අපහසුතා ඇතිවිය හැක.

කොටස් එකලස් කිරීම

මුලින්ම අවනෙත සහිත රෙජිෆෝම් කොටස දුරේක්ෂයේ එක් කොනකින් ඇතුලු කරන්න. එය සෙ.මී. 5-6ක් පමණ ඇතුලට වන්නට සවිකරගන්න. මෙසේ කරන්නේ අවනෙත වෙත ලැබිය හැකි අනවශ්‍ය ආලෝක කිරණ වැලැක්වීමටයි.

දුරේක්ෂයේ එකඳු කොටසක් හෝ සවි කිරීමේදී මැලියම් භාවිතයෙන් වැළකිය හැකිනම් වඩාත් යහපත් ය. ඊට හේතුව වන්නේ ඔබ භාවිත කරන මැලියම් යම්හෙයකින් කාච මත වැටුහොත් එමඟින් ඒවාට හානි විය හැකි නිසා. අනෙක නම් පසුකලෙක ඔබට රෙජිෆෝම් කොටස් වලට කිසිඳු හානියකින් තොරව නැවත දුරේක්ෂයේ කොටස් ගලවාගත හැකි වන නිසාය.

අනෙක් රෙජිෆෝම් වළලු දෙකින් කුඩා නලයේ ප්‍රමාණයට ගැලපෙන වළල්ල කුඩා නලයට සවිකරගන්න. සමහරවිට මෙහිදී ඔබට මැලියම් භාවිතා කිරීමට සිදුවනවා විය හැකිය. ඔබ මැලියම් භාවිතා කලේ නම් නලය දුරේක්ෂයට සවිකිරීමට ප්‍රථම හොඳින් වේලෙන්නට හරින්න.

දැන් එම කොටස සහ ඉතිරි රිජිෆෝම් වළල්ල විශාල නලයට සවිකරගන්න. අවසාන වශයෙන් උපනෙත සඳහා භාවිතා කරන කාචය එහි ඇළුමිනියම් කොටසද සමඟ කඩාදාසි නලයට සම්බන්ධ කරගන්න. මෙහිදී අප කඩදාසි නලයක් හිතාමතාම භාවිතා කරඇත්තේ PVC නලයකට වඩා පහසුවෙන්, උපනෙත කඩදාසි නලයට සවිකල හැකි නිසාය.

{youtubejw}KlK4BMV3OfI{/youtubejw}

ඔබේ දුරේක්ෂය සාදා අවසන් ය. රාත්‍රී කාලයේදී එළිමහන් ස්ථානයකට ගොස් දුරේක්ෂය යොමුකර මෙතුවක්කල් ඔබ නොදුටු දේ දැකගන්න. අප මෙහි දක්වා ඇති විශාලන බලයක් සහිත දුරේක්ෂයකින් චන්ද්‍රයා නිරීක්ෂණය පමණක් නොව ඡායාරූපකරණය පවා කල හැකිය.

ඔබට කල හැකි වෙනත් දෑ

  • දුරේක්ෂය රැඳවීමට ත්‍රිපාදයක් සාදාගන්න
  • රිජිෆෝම් කොටස් සහ නලවල ඇතුලත කලු පැහැති මැට් වර්ගයේ තීන්ත ආලේප කරගන්න. මේ මගින් අනවශ්‍ය පරාවර්තනය වීම් වලක්වාගත හැක.
  • වෙනස් නාභියදුර සහිත කාච උපනෙත සඳහා භාවිතා කර බලන්න. උපනෙතෙහි නාභියදුර වෙනස් වන විට විශාලන බලය වෙනස් වේ. එකිනෙකට වෙනස් විශාලනබල සහිත උපනෙත් කට්ටලයක් සකසාගන්න.

** අනතුරු හැඟවීමයි – දුරේක්ෂයක් හෝ කිසිම ආකාරයකින් කාච භාවිතයෙන් හෝ කිසිවිටකත් සූර්යයා හෝ ඒ ආසන්නය හෝ දෙස බැලීමෙන් වළකින්න. ඔබ සදාකාලික ලෙස අන්ධ භාවයට පත්විය හැකිය. **

Read More

දුරේක්ෂය සඳහා ආධාරකයක් සාදමු

මෙම ලිපියේ pdf ගොනුවක් මෙම ස්ථානයෙන් ලබාගත හැක.

මෙම ලිපිය මගින් කරනුයේ දුරේක්ෂයක් සාදමු යන ලිපියේදී සාදන ලද දුරේක්ෂයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස ආධාරකයක් නිර්මාණය කිරීමයි. ආධාරකය භාවිතයෙන් ඔබේ දුරේක්ෂය පහසුවෙන් රඳවාගත හැකිවන නිසා වැඩි වේලාවක් නිරීක්ෂණ කටයුතුවල නියැලිය හැකිය.

මේ සඳහා විවිධ ප්‍රමාණවල ලී පටි, පාපැදිවල රෝදවල යොදාගන්නා හබ් එකක්, සහ විවිධ ප්‍රමාණ වල බෝල්ට් ඇණ භාවිතා කෙරේ. දුරේක්ෂයේ කොටස් දෙකකි. ඉහල කොටස තොටිල්ල (cradle) ලෙස හැඳින්වේ. පහල කොටස රඳවනය (legs) ලෙස හඳුන්වමු.

ඉහළ කොටස නිර්මාණය කිරීම (cradle)

දුරේක්ෂ ආධාරකයේ වැදගත්ම කොටස වන්නේ මෙහි දක්වා ඇති ෂඩාස්‍රාකාර තැටි යුගලයි. අපි මේ සඳහා ෂඩාස්‍රාකාර තැටිම භාවිතා කර ඇත්තේ ඒවා ලී මගින් කපා ගැනීමට ඇති පහසුව නිසා ය. ඔබ සතුව නිවැරදි උපකරණ ඇත්නම් වෘත්තාකර තැටි කපාගත හැකි අතර ඒ මගින් වැඩි අලංකාරයක් ලැබෙන ඇත. තැටි යු‍ගලේම මධ්‍යයේ බයිසිකල් හබ් එක සවිකිරීම පිණිස එහි ඇක්සලයේ ප්‍රමාණයට සමාන සිදුරු විද ගත යුතුය.

ඉහලින්ම ඇති සිරස් ලී පටි වල උස දුරේක්ෂයේ දිගින් බාගයක දිගට සමාන විය යුතුය. අප පසුව දුරේක්ෂය සවිකරනු ලබන්නේ මෙම ලී පටි වලට ය. ඒවා අග බෝල්ට් ඇණ භාවිතයෙන් දුරේක්ෂය රැඳවීම පිණිස වන සිදුර බැගින් විදගත යුතුය. සිදුරු විදගත් ලී පටි යුගල ඉහල තැටියේ පහත ආකාරයට සවිකරගන්න. ලී පටි අතර දුර දුරේක්ෂයේ ප්‍රධාන නලයේ විශ්කම්භයට සමාන වියුතුය.

පහළ කොටස නිර්මාණය කිරීම (legs)

පහළ කොටසෙහි පාද තුන මුලින්ම නිර්මාණය කරගැනීම වඩාත් පහසුය. පාද සඳහා භාවිතා වන ලී පටි හයෙහි දිග මීටරයක් පමණ විය යුතුය. ඒ සෑම ලී පටියකම අග්‍රවල බෝල්ට් ඇණ දැමීම පිණිස වන සිදුරු තිබිය යුතුය.

පහත දැක්වෙන ආකාරයට දිගින් සෙ.මී. 10ක් පමණ වන ලී කුට්ටි 3ක් පහළ තැටියෙහි සවිකරගන්න. ඒවා අග බෝල්ට් ඇණ දැමීමට සුදුසු සිදුර බැගින් විද ගන්න.


පහල තැටියට හබ් එකෙහි පිටත කොටස සවිකරගන්න. ස්පෝක් කම්බි යෙදීමට භාවිතා කරන සිදුරු මගින් එය ලීය සමඟ තදින් සවිකරගන්න.

ඉහත සකසා ගත් ලී පටි හයම බෝල්ට් ඇණ මගින් ලී කුට්ටි තුනට සවිකරගන්න. මෙහිදී ඇණ සමඟ වොෂර් යොදාගන්නේ නම් වඩාත් යහපත් ය. එවිට ඇණ වල තෙරපීම නිසා ලී වලට හානි වීම අඩුවේ. පාද සඳහා යොදන දිගු බෝල්ට් ඇණ ඕනෑවට වඩා තද කිරීමෙන් වළකින්න. ඒවා සාමාන්‍ය ප්‍රමාණයට තදවීම හොඳටම ප්‍රමාණවත්ය. පාද වල පහල ඇති සිදුරු වලටද බෝල්ට් ඇණය බැගින් යොදාගන්න.

ඉතිරි කොටස් සවි කිරීම

දුරේක්ෂ ආධාරකයේ පහළ කොටස සාදා අවසන් බැවින් ඉහල කොටසද එය එක් කර නට් එකකින් තද කරගන්න. මී ළඟට දුරේක්ෂය සවිකළ යුතුය. මෙ සඳහා දරේක්ෂයෙ ප්‍රධාන නලයේ මධ්‍යයෙන් සිදුරු කරගන්න. මෙහිදී හැකිනම් දුරේක්ෂයේ සියලුම කොටස් ඉවත් කල හැකි නම් වඩාත් යහපත්ය. එමගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගත හැකිය. ටියුබය ආධාරකයට සවිකරගත් පසුව නැවත කාච සහ අනෙකුත් දෑ දුරේක්ෂයට සවිකරගන්න. ඔබේ දුරේක්ෂ ආධාරකය සාදා අවසන් ය.

Read More

හිරු තැටියක් සාදමු

මෙම ලිපිය Andre E. Bouchard විසින් රචිත ලිපියක අනුවාදනයකි. මෙහි ඇති ඡායාරූප ද එම ලිපියෙන් උපුටාගන්නා ලද ඒවා ය.
මෙම ලිපියේ pdf ගොනුවක් මෙම ස්ථානයෙන් බාගත කල හැක.

හිරුගේ සෙවනැල්ලෙන් වේලාව මැණීමට පොළොව මත රිටක් සවි කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. දින කිහිපයක් යන විට සෙවනැල්ල පිහිටන ස්ථානය වේලාව එක සමාන වුවද වෙනස් වේ.මෙම ගැටළුවට පිළිතුර වනුයේ ඛගෝල අක්ෂයට සමාන්තර ලෙස තබන ලද ත්‍රිකෝණාකාර හැඩයකින් වේලාව මැණීම ය.

අප සාදන හිරු තැටියෙන් වේලාව කියවෙන්නෙ සූර්ය පැය වලිනි. එය අප සාමාන්‍යයෙන් භාවිතා කරන ඔරලෝසුවල දක්වන වේලාවට වඩා වෙනස් ය. හිරු පැය භාවිතා කිරීමට හේතුව වන්නේ වසරක් තුල සූර්යයා එකම වේලාවේදී අහසේ පෙනෙන ස්ථානය කලින් කලට වෙනස් වන නිසා සහ හිරු නැග ඒම සහ බැස යාමද වෙනස් විය හැකි නිසා ය. මෙම හේතුව නිසා විනාඩි 16ක් දක්වා කාලයක් වේලාව වෙනස් විය හැකි ය.

සූර්ය තැ‍ටිය නිර්මාණය කිරීම

1. සූර්ය තැටිය නිර්මාණය කිරීම සඳහා ඔබ කැමති මාධ්‍යයක් භාවිතා කල හැක. සූර්ය තැටිය එළිමහන් ස්ථානයක තැන්පත් කරන්නේ නම් ඒ සඳහා සුදුසු දිගුකල්පවතින මාධ්‍යයක් භාවිතා කරන්න.

2. රූප සටහනේ දැක්වෙන අන්දමට ත්‍රිකෝණාකාර කොටසක් කපාගන්න. එහි සූර්ය තැටිය හා සම්බන්ධ වන කොනෙහි කෝණය පෘථිවිය තුල ඔබ සිටිනා ස්ථානයේ අක්ෂාංශයට සමාන විය යුතු ය. ශ්‍රී ලංකාව සඳහා නම් මෙම අගය අංශක 7කි.

3. ඝනැති කාඩ්බෝඩ් කැබැල්ලක් මත අර්ධ වෘත්තයක් ඇඳ එය කෝණමානයක් භාවිතයෙන් අංශක 15 කොටස් වලට බෙදා ගන්න.

4. ත්‍රිකෝණාකාර කොටස සූර්ය තැටියේ පහළ කොටස සමඟ සම්බන්ධ කරගන්න.

5. ත්‍රිකෝණාකාර කොටසටම කුඩා නලයක් සවි කරගන්න.

6. අර්ධවෘත්තාකාර කාඩ්බෝඩ් කැබැල්ල සවිකරගන්න. නලයෙහි අගට නූලක් සවි කර එය අර්ධවෘත්තයේ ඇති අංශක 15 රේඛා සමග තබාගන්න. අංශක 15 රේඛා ඡේදනය යා වන ස්ථාන ලක්ෂ්‍ය වලින් ලකුණු කරගන්න. ඇතැම් රේඛා ලකුණුකරගැනීමට තාවකාලික රේඛා අවශ්‍යවනු ඇත. වෘත්තාකාර කොටස ඉවත් කර කෝදුවක් භාවිතයෙන් ත්‍රිකෝණාකාර කොටසේ බෑවුම අග සහ පෙර ලකුණු කරන ලද අංශක 15 ලක්ෂ්‍ය යාකරගන්න.

7. හිරු තැටිය සදා අවසන් ය. මාලිමාවක් භාවිතයෙන් හිරුතැටිය දිශාගන්වන්න. නලය සහිත පැත්ත උතුරු දිශාවට තැබිය යුතු ය. වෙලාව කියවීම සඳහා පහත රූපසටහන භාවිතා කරන්න.

 

Read More

ක්‍රියාකාරකම – සූර්ය ලප චක්‍ර සෙවීම

සූර්යයාගේ මතුපිට ලප ඇතිවන අතර ඒවායේ ප්‍රමාණය කලින් කලට වෙනස් වේ. ඒ අනුව සෑම වසර 11කට වරක්ම සූර්ය ලප ප්‍රමාණයේ වර්ධනයක් දක්නට හැක. මෙම ක්‍රියාකාරකමෙහි අරමුණ වන්නේ වසර ගණනාවක් පුරා ලබා ගන්නා ලද එවන් සූර්ය ලප ගණනය කිරීම් ඇසුරින් ප්‍රස්ථාරයක් නිර්මාණය කොට එම ප්‍රස්ථාරය ඇසුරින් සූර්ය ලප චක්‍රයක් කොපමණ කලක් පවතිනවාද යන්න සෙවීම යි.

ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වන වසර 308ක සූර්ය ලප ගණනය කිරීම්වල දත්ත මේ හා සම්බන්ධ කර ඇති ගොනුවෙහි සඳහන් වන අතර එහි පිටපත් කණ්ඩායම් වලට ලබාදිය හැකි ය. එක් කණ්ඩායමකට එක් ප්‍රස්ථාර පිටුවක වසර 308ක දත්ත ලකුණු කිරීමට අපහසු බැවින් කණ්ඩායම් අතර අගයන් ඛෙදා දිය හැකිය. ඒසේත් නැතිනම් 1850සිට වර්තමානය දක්වා පමණක් වන අගයන් මේ සඳහා යෙදාගත හැකි ය.

ප්‍රස්ථාරයෙහි X සඳහා වර්ෂයද Y අක්ෂය සඳහා සූර්ය ලප සංඛ්‍යාවද යොදා ගනිමින් ප්‍රස්ථාරය නිර්මාණය කරගන්න. සූර්ය ලප වල එකතුව වසර අනුව ලකුණු කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු අතර එය හැකි පමණ නිරවද්‍ය විය යුතු ය. ප්‍රස්ථාරය නිර්මාණයේදී පැන්සල් භාවිතා කිරීමෙන් විය හැකි වැරදීමකදී නැවත ඉක්මනින්ම එය නිවැරදි කළ හැකි ය.

ප්‍රස්ථාර නිර්මාණය කිරීමෙන් අනතුරුව සූර්ය ලප ගණනය කිරීම් අඩුවන කාල (සූර්ය අවමයන්) අතර පරාසය ගණනය කළ යුතුය. එම සියලුම අගයන් වල සාමාන්‍ය අගය 11කට එනම් සූර්ය ලප චක්‍රයකට ආසන්න අගයක් උසුලයි. මෙම ප්‍රස්ථාරයේ සියලු අගයන් භාවිතා කලේ නම් සාමාන්‍ය අගය 10.84ක් වනු ඇත.

 

මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය සියලු දත්ත මෙම ස්ථානයෙන් නොමිලේ බාගත කරගන්න. ඒ සඳහා skylk සාමාජිකයෙකු විය යුතු බව සලකන්න.

http://skylk.com/index.php?option=com_jdownloads&Itemid=22&task=view.download&cid=20

රයිස් විශ්වවිද්‍යාලය විසින් සම්පාදිත ක්‍රියාකාරකමක් ඇසුරින් සකස් කරන ලදී.

Read More