අහස නිරීක්ෂණය සඳහා උදව් වන පරිඝනක මෘදුකාංග

තාරකාවිද්‍යාව ඉගෙනගන්න පොත් පත් කියවල විතරක් හරියන්නේ නෑනෙ. පොත්පත් වලට අමතරව දැනුම සහ අවබෝධය ලබාගන්න පුළුවන් ක්‍රම විශාල ප්‍රමාණයක් තියනව. මේ අතරින් පරිඝනක මෘදුකාංගවලට විශේෂ තැනක් හිමිවෙනවා. මේ ලිපියේ අරමුණ ඒ වගේ වැදගත් පරිඝනක මෘදුකාංග කීපයක් හඳුන්වල දෙන එක. මේ අතරින් වැඩි ප්‍රමාණයක් අහසේ තරු රටා බලාගන්න භාවිතා වෙන ඒව. මේ ලිපියේ එන සියළුම මෘදුකාංග නොමිලේ ලබාදෙන ඒවා.

 

ස්ටෙලාරියම් Stellarium
මේක නං නොදන්න කෙනෙක් නැතුව ඇත. skylk එකේ අපි මේක සිංහලටත් පරිවර්තනය කරල තියනව. ඉංග්‍රීසියෙන් කියවන්න ටිකක් අමාරු වචන තියන තැන් පහසුවෙන් සිංහලෙන් කියවගන්න දැං පුළුවං. අපිට ඕනි දවසක, වෙලාවක තරු තියන තැන් විතරක් නෙමේ ග්‍රහලෝක වල පිහිටීම්, චන්ද්‍රිකාවල පිහිටීම්, ග්‍රහක සහ වල්ගාතරු වල පිහිටීම බොහෝ දුරට නිවැරදිව බලාගන්න ස්ටෙලාරියම් භාවිතා කරන්න පුළුවන්. මේකෙ තියන තවත් වටින දෙයක් ග්‍රහණ සහ සංක්‍රාන්ති නිවැරදිව සිමියුලේට් කරන්න පුළුවන් කම. ඉදිරියෙදි වෙන්න තියන තාරකාවිද්‍යාත්මක සිදුවීම කල්තියා නිවැරදි වෙලාවන් වලින් දැනගන්න මේක ඉතාමත් වටිනවා.

 


ස්ටෙලාරියම් බාගත කරගන්න

සෙලෙස්ටියා Celestia
ස්ටෙලාරියම් වලින් පුළුවන් පෘථිවියේ සිට පෙනෙන අහස බලන්න විතරයි. ඒත් එතනින් එහාට ගිහින් අපේ සම්පූර්ණ ක්ෂිරපථයම නිරීක්ෂණය කරන්න ‍සෙලෙස්ටියා වලින් පුළුවන්. ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට, තරුවෙන් තරුවට, අභ්‍යවකාශ යානයෙන් යානයට අලෝකයේ වේගයට වඩා වේගයෙන් ගිහිං හොඳින් තේරුම්ගන්න මේක හොඳ මෘදුකාංගයක්. සෙලෙස්ටියා සඳහා ප්ලගින (Plugin) විශාල ප්‍රමාණයක් නොමිලේ බාගත කරගන්නත් පුළුවන්.



සෙලෙස්ටියා බාගත කරගන්න

සෙලෙස්ටියා ප්ලගින

SkyChart / Cartes du Ciel
මේක ගොඩක් දුරට ස්ටෙලාරියම් වගේ. නමුත් ඔබ රොබෝටික් දුරේක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කරනවානම් හෝ දුරේක්ෂ මගින් ඡායාරූප ගන්නවානම් මේ මෘදුකාංගය ඉතා වැදගත් වේවි. මෙහි ඇති තවත් අමතර මෘදුකාංගයක් මගින් විචල්‍ය තරු වල ආලෝක වක්‍ර ගණනය කිරීමට සහ දැනගැනීමට පුළුවන්.

SkyChart / Cartes du Ciel බාගතකරගන්න

හෝම්ප්ලැනට් Home Planet
පෘථිවියට ඉහලින් ඇති චන්ද්‍රිකා දැන් තිබෙන්නේ කොතනද? මේ මෘදුකාංගයෙන් ඒ දේ ඉතා ලේසියෙන් බලාගන්න පුළුවන්. චන්ද්‍රිකා පමණක් නෙමේ හබල් සහ XMM දුරේක්ෂය වැනි ප්‍රසිධ දුරේක්ෂ දැන් ඇති තැනුත් නිවැරදිව බලාගන්න පුළුවන්. ඊට අමතරව සූර්යයාගේ සිට හෝ චන්ද්‍රයාගේ සිට පෘථිවිය පෙනෙන ආකාරයත් සිමියුලේට් කරන්න පුළුවන්.

හෝම්ප්ලැනට්  බාගත කරගන්න

c2a
ස්ටෙලාරියම් වලට බොහෝ දුරට සමානයි. දුරේක්ෂයක් හැසිරවී‍මේ හැකියාවට අමතරව ඡායාරූප ගැනීමේ සහ ඡායාරූප සැකසීමේ හැකියාවනුත් සතුයි.

c2a බාගතකරගන්න

Google Earth/Sky/Moon/Mars
ගූගල් සමාගමෙන් ‍ලබාදෙන ගූගල් අර්ත්,ස්කයි,මූන් සහ මාර්ස් පාවිච්චි කරල ඒ ඒ ග්‍රහවස්තූන්ගේ විස්තරාත්මය සිතියම් බලාගන්නට පුළුවන්. ඊට අමතරව ගූගල් ස්කයි මගින් අහසේ තරු සිතියම් බලන්න පුළුවන්. අභ්‍යවකාශ යානා සහ රෝවරයන් ඒ ඒ ග්‍රහවස්තුවල දැන් සිටින ස්ථානයන් සහ කාලයත් සමඟ ඒවායේ ගමන් රටා අධ්‍යයනය කරන්න මේ මෘදුකාංගය උපකාරීකරගන්න පුළුවන්.

ගූගල් අර්ත් බාගත කරගන්න

PP3
මේ මෘදුකාංගය ඩොස් කමාන්ඩ්ලයින් වර්ගයේ එකක්. ලබාදෙන විධානය අනුව අවශ්‍ය රෙසලූෂන් ප්‍රමාණයේ තරු සිතියම් ජනනය කරන්නට භාවිතා කරන්න පුළුවන්. skylk තරු සිතියම නිර්මාණයට මම භාවිතාකලේත් මේ මෘදුකාංගයම යි.

PP3 බාගත කරගන්න

Read More