චන්ද්‍රග්‍රහණ සිදු වන්නේ මෙහෙමයි..


චන්ද්‍රයා පෘථිවියේ සෙවනැල්ලෙන් වැසී යාමේ සංසිද්ධිය සරලව චන්ද්‍රග්‍රහණයක් ලෙස හදුන්වයි. මෙසේ සිදුවන්නේ චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා සරල රේඛීයව හො‍් ආසන්න වශයෙන් සරල රේඛීය ආකාරයෙන් පිහිටන විටය.

මේ නිසා චන්ද්‍රග්‍රහණ සිදුවන්නේ චන්ද්‍රයා පූර්ණ කලාවෙන්(full moon) දිස් වන විටදී පමණි. චන්ද්‍රග්‍රහණය කුමණ ආකාරයක එකක්ද හා චන්ද්‍රග්‍රහණ සිදුවන කාලය තීරණය වන්නේ එහි පිහිටීම අනුවය.

චන්ද්‍රග්‍රහණ ආකාර
සූර්යයාලෝකය හේතුවෙන් පෘථිවියෙන් ගොඩනැගෙන සෙවනැල්ල කොටස් දෙකකට බෙදෙයි. ඒ ‘පූර්ණ චායාව'(umbral) හා ‘උප චායාව'(penumbral) වශයෙනි.

 

චන්ද්‍රග්‍රහණයක් සිදුවන විටදී පෘථිවිය, චන්ද්‍රයා හා සූර්යයා පිහිටන ආකාරය ඉහත රූපයෙන් දැක්වේ.


උපචායා චන්ද්‍රග්‍රහණ(penumbral lunar eclipses)

මේ ආකාරයේ චන්ද්‍රග්‍රහණ ඇති වන්නේ චන්ද්‍රයා පෘථිවියේ උප චායාව හරහා පමණක් ගමන් කරන අවස්ථා වලදීය. මේ ආකාරයේදී, චන්ද්‍ර මුහුණතේ විශාල වෙනසක් සිදු නොවන අතර චන්ද්‍රයා යාන්තමින් අදුරු වීමක් පමණක් සිදුවෙයි. චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පෘථිවියේ උප චායාවට හසුවී පවතින අවස්ථාව ‘පූරණ උපචායා චන්ද්‍රග්‍රහණයක්'(total penumbral eclipse) ලෙස හදුන්වයි. මෙවැනි ආකාරයේ චන්ද්‍රග්‍රහණ දුර්ලභ වන අතර මෙවැනි චන්ද්‍රග්‍රහණයකදී පූර්ණ චායාව දෙසට යොමුව පවතින චන්ද්‍රයාගේ මුහුණත තරමක් වැඩියෙන් අදුරු වී පෙනෙනු දැකගත හැකිය.

පෘථිවි චායාව හරහා චන්ද්‍රයාගේ ගමන් මාර්ගය

උපචායා චන්ද්‍රග්‍රහණයක් දිස් වන අයුරු


අර්ධ චන්ද්‍රග්‍රහණ(partial  lunar eclipses)

චන්ද්‍ර මුහුණතේ කොටසක් පමණක් පෘථිවියේ පූර්ණ චායාවෙන් වැසී යන ආකාරයෙන් සිදුවන චන්ද්‍රග්‍රහණ ‘අර්ධ චන්ද්‍රග්‍රහණ’ ලෙස හදුන්වයි.

පෘථිවි චායාව හරහා චන්ද්‍රයාගේ ගමන් මාර්ගය

අර්ධ චන්ද්‍රග්‍රහණයක් දිස් වන අයුරු


පූර්ණ චන්ද්‍රග්‍රහණ (Total lunar eclipses)

චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පෘථිවියේ පූර්ණ චායාවට හසු වී පවතින පරිදි සිදුවන චන්ද්‍රග්‍රහණ මෙනමින් හදුන්වයි. නමුත් මේ අවස්ථාවේදී චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම අදුරු නොවන අතර අදුරු රතු පැහැයකින් දර්ශණය වීමක් සිදුවෙයි. මෙසේ වන්නේ පෘථිවිය සතුව පවතින ගණ වායුගෝලය හේතුවෙනි.  සූර්යයාලෝකය පෘථිවි වායුගෝලය හරහා යාමේදී හිරු කිරණ වර්ථනය වීම හේතුවෙන් සුදු ආලෝකයේ උප වර්ණ වලට වෙන් වී පෘථිවියේ සෙවනැල්ල නිර්මාණය වීම සිදුවෙයි. පෙර සදහන් කල පෘථිවි සෙවනැල්ල නිර්මාණය වන්නේ මේ ආකාරයෙනි.  වර්තනය හේතුවෙන් නිර්මාණය වන පෘථිවි සෙවනැල්ලේ චන්ද්‍රයා මතට වැටෙන කොටස නිර්මාණය වී ඇත්තේ රතු ආලෝකයෙන් වන අතර පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා රතු පැහැයෙන් දිස් වීමට හේතු වන්නේ මෙයයි.

පෘථිවි චායාව හරහා චන්ද්‍රයාගේ ගමන් මාර්ගය

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දිස් වන අයුරු

 

සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පවතින කාලය දල වශයෙන් පැය 3.8 කි. චන්ද්‍රයාගේ කක්ශීය වේගය දල වශයෙන් 1km/s කි. මේ අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පෘථිවියේ පූර්ණ චායාවෙන් වැසී පවතින කාලය දල වශයෙන් 107min කි.

චන්ද්‍රග්‍රහණයක් සිදුවන විට එය පෘථිවියට දර්ශණය වන ප්‍රදේශ හා වේලාවන් ආදිය දක්වා චන්ද්‍රග්‍රහණ සිතියමක් නිර්මාණය වේ. එවැනි ආකාරයේ සිතියමක් පහත පිවිසුමෙන් දැක බලාගත හැක.

http://www.eclipse.org.uk/eclipse/1622009/L2009Dec31.pdf

 

Pictures from:

http://www.eclipse.org.uk

http://eclipse.gsfc.nasa.gov/lunar.html

 

Read More

විශ්වයේ අලංකාර රටා මවනා වළාකුලු

රාත්‍රී අහසේ දිස් වන නොගෙනිය හැකි තරම් වන තාරකා එකිනෙක අතර පවතින්නාවූ අවකාශය ගැන කතා කිරීමේදී එය හුදෙක් හිස් අවකාශයක් විය යුතු යැයි ඔබට එක් වරම සිතෙනු ඇත. නමුත් සැබවින්ම එය එසේ නොවේ.

මෙම අවකාශය බොහෝ විට විශේෂ වූ මාධ්‍යයකින් සමන්විත වන අතර එය ‘අන්තර් තාරීය මාධ්‍යය’ ලෙස හදුන්වනු ලබයි. මෙම මාධ්‍යය නිර්මානය වී පවතින්නේ දුහුවිලි අංශු හා විවිධ වායු වර්ග වලින් වන අතර මෙම ද්‍රව්‍යය හැදින්වෙන්නේ ‘අන්තර් තාරීය පදාර්ත’ නමිනි.

පෘථිවියේ සිට රෑ අහසේ දිස් වන තාරකා වලට පවතිනුයේ ආලෝක වර්ෂ තරම් වන දුරවල් බව ඔබ අසා ඇති. අපට ලගම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චරි තාරකාවට ඇති දුරද ආලෝක වර්ශ 4.2 පමණ වන අගයකි. මේ අයුරින් රෑ අහසේ අපට පෙනෙන අනෙකුත් තාරකා කොතරම් දුරින් පිහිටන්නේද යන්න පිළිබදව ඔබට දළ අදහසක් ලබාගැනීමට හැකිය. මෙවැනි වූ අති විශාල දුර පරාසයන් නිසාවෙන් පෘථිවියේ සිට බලන විට ඉහත සදහන් කල අන්තර් තාරීය මාධ්‍යය අපට දිස් වන්නේ වලාකුලක් මෙන් එක්තරා අංශුමය පොදියක් ලෙසිනි.

තාරකා අතර පැතිරී ඇති වළාකුලක් මෙන් දිස් වන මේ විශේෂ වූ මාධ්‍යය තමා විසින් තාරකා මෙන් ආලෝකය නිපදවා ගන්නා වස්තූන් නොවේ. නමුත් මෙවැනි වළාකුලකට ඉතා ආසන්නයෙන් තාරකාවක් පැවති විට තාරකාවේ ආලෝකය හෙතුවෙන් මෙම මාධ්‍යය ආලෝකමත් වේ. අන්තර් තාරීය මාධ්‍යය අපට දිස් වන්නේ මෙවිටය. නිහාරිකාවක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතා සරලව මෙම සංසිද්ධියයි.

නිහාරිකා හැදින්වෙන ඉංග්‍රීසි වදන වන ‘Nebula’ යන්න ලතින් භාෂාවට අයත් වදනකි. ලතින් භාෂාවෙන් ‘Nebula’ යන්නෙහි අර්ථය වළාකුල යන්නයි. ප්‍රභල දුරේක්ශ නොතිබුණු ඈත අතීතයේදී (19 වන සියවසට පෙර ) රෑ අහසේ නිවැරදිව හදුනා නොගත් වස්තූන් සියල්ලක්ම වාගේ හදුන්වා ඇත්තේ නිහාරිකා ලෙසිනි. උදාහරණයක් ලෙස ඔබ හොදින් අසා ඇති අන්ඩ්‍රොමීඩා මන්දාකිනිය පවා අතීතයේදී හදුන්වා ඇත්තේ ‘Andromeda Nebula’ ලෙසය. නමුත් පසු කලෙක තාක්ශණයේ දියුණුවත් සමග අභ්‍යවකාශ වස්තූන් නිවැරදිව හදුනාගැනීමෙන් පසු නිහාරිකා ලෙස අද අප හදුන්වන්නේ ඉහත සදහන් කල ආකාරයේ අභ්‍යවකාශයේ ඇති විශේෂ වළාකුලු වැනි වියුහයන්ය. 

නිහාරිකා නිර්මානය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන්, හීලියම් වායු දෙවර්ගයෙනුත්, දුහුවිලි අංශු හා අයනීකරණය වූ පරමාණු  (Plasma) ආදියෙනි. මීට අමතරව නිහාරිකා වර්ගය අනුව එහි අන්තර්ගත වායු වර්ගයන් වෙනස් විය හැකිය. නිහාරිකා නිර්මානය වී ඇති අන්තර් තාරීය මාධ්‍යය තුල පදාර්ත පැතිරී ඇත්තේ ඉතාමත් අඩු ඝණත්වයක් සහිතවය. මේ ආකාරයට මෙම ඉතාමත් අඩු ඝණත්වයකින් යුතුව පවතියත් මෙය වළාකුලක් ලෙස දිස් වන්නේ පෘථිවියේ සිට ඇති අති විශාල දුර නිසාවෙනි.

නිහාරිකා ලෙස හැදින්වෙනුයේ ඇත්තෙන්ම තාරකා අතර අවකාශය පිරී පවතින අන්තර් තාරීය මාධ්‍යටය. නමුත් විශ්වය පුරා විසිරී ඇති සෑම අන්තර් තාරීය මාධ්‍යයක්ම නිහාරිකාවක් නොවේ. මෙවැනි කලාපයන් නිහාරිකා ලෙස හැදින් විය හැක්කේ ඒවා අපට දිස් වන්නේ නම් පමණි.

අපට දිස් වන ආකාරය අනුව නිහාරිකා වර්ග කිහිපයකි. මේ සියලුම ආකාරයේ නිහාරිකා මූලික වර්ග 3 ක් යටතේ දැක්විය හැකිය. ඒවා නම් විමෝචක, පරාවර්ථක හා අදුරු නිහාරිකා යන මූලික වර්ග තුනයි.

විමෝචක නිහාරිකා (Emission Nebula)

මෙවැනි ආකාරයේ නිහාරිකා ආලෝකමත් වන්නේ ලග පිහිටි තාරකාවක් හේතුවෙන් වායු අණු අයනීකරණයට භාජනය වීමෙනි. නිහාරිකාව දිස් වන වර්ණය එහි අන්තර්ගත වායු වර්ගය අනුව වෙනස් වේ.


උතුරු අමෙරිකානු නිහාරිකාව (North America Nebula) මේ වර්ගයට අයත් වේ.

පරාවර්ථක නිහාරිකා (Reflection Nebula)

මෙවැනි ආකාරයේ නිහාරිකා ආලෝකමත් වන්නේ ලග තාරකාවෙන් ලැබෙන ආලෝකය පරාවර්ථනය කිරීමෙනි. තාරකාවෙන් ලැබෙන ශක්තිය වායු අණු අයනීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නමුත් ප්‍රකිරණය නමැති සංසිද්ධිය ඔස්සේ නිහාරිකාව ආලෝකමත් කිරීමට තරම් ප්‍රමාණවත් වේ. මෙවැනි ආකාරයේ නිහාරිකා ප්‍රකිරණ ක්‍රියාවලිය හේතුවෙන් නිල් පැහැයෙන් දර්ශණය වේ.

Witch Head Nebula මේ වර්ගයට අයත් වේ.

අදුරු නිහාරිකා (Dark Nebula)

මෙවැනි ආකාරයේ නිහාරිකා දිස් වන්නේ අදුරු වළාකුලු ලෙසිනි. මෙහිදී අදාල නිහාරිකාව පිහිටනුයේ තාරකා කිහිපයක් හෝ තවත් දීප්තිමත් නිහාරිකාවක් ඉදිරියට වන්නටය. මේ නිසා ඊට එපිටින් එන ආලෝකය නිහාරිකාව දෙපසින් ගමන් කොට ඒ හරහා ගමන් නොකරන විට අදුරු නිහාරිකා නිර්මාණය වේ.


ඔරායන් තාරකා රාශියේ අශ්ව හිස නිහාරිකාව (Horse Head Nebula)මේ ආකාරයේ නිහාරිකාවකි.

ග්‍රහ නිහාරිකා (Planetary Nebula)

තාරකාවක් මියයාමේදී පත්වන එක් අවධියක් වන රතු යෝධ අවස්ථාවට(Red Giant state) පත් වන සමහර තාරකා, තාරකාවේ ප්‍රභලත්වය මත පිටත වායු කලාපය අභ්‍යාවකාශයට මුදා හරිනු ලබයි. ඉතිරිවන මධ්‍යය අවසානයේ සුදු වාමන තාරකාවක් ලෙස හැදින්වෙන තත්වයට පත් වෙයි. මෙම සුදු වාමන තාරකාව පවතින්නේ විශාල වායු වලාකුලක් මධ්‍යයේ පවතින්නක් ලෙසය. සුදු වාමන තාරකාවෙන් පිට කරන විකිරණ මගින් අවට වායූන් අයනීකරණය වීමේ ක්‍රියාවලිය මත මෙවැනි ආකාරයේ නිහාරිකා නිර්මාණය වේ. ග්‍රහ නිහාරිකා විමෝචක නිහාරිකා ඝණයට අයත් වේ.


Eskimo nebula මේ ආකාරයේ නිහාරිකාවකි.

ඉහත සදහන් කල ආකාරයේ නිහාරිකා ග්‍රහ නිහාරිකා ලෙස හැදින්වූවත් මේ සදහා ග්‍රහලෝක වල කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පැහැදිලිව දැක්විය යුතුය. මෙවැනි ආකාරයේ නිහාරිකා මුල් වරට හදුනාගත් 18 වන සියවස තරම් වන ඉතා ඈත අතීතයේ, එකල පැවති දුරේක්ශ ආදිය එතරම් ප්‍රභල නොවීම හේතුවෙන් මෙවැනි නිහාරිකා දිස් වී ඇත්තේ යෝධ ග්‍රහයින් මෙනි. ග්‍රහ නිහාරිකා යන නම ලබීමට හේතුව වන්නේ මෙයයි. අප සූර්යයාද අවසානයේ නමන්ගේ ජීවන කාලය අවසන් කරනුයේ සුදු වාමන තාරකාවක් බවට පත් වීමෙනි. මේ අනුව අප සූර්යයාද අවසානයේ  ග්‍රහ නිහාරිකාවක් බවට පත් වෙයි.

අන්තර් තාරීය මාධ්‍යය හා තාරකාවල පරිණාමය අතර පවතිනුයේ ප්‍රභල සම්බන්ධතාවයකි. තාරකා නිර්මාණය වන්නේ අන්තර් තාරීය පදාර්ථ ගුරුත්වාකර්ශණය ඔස්සේ එකට එක් වීමෙනි. තාරකාවක් ආලෝකමත් වී බැබලෙමින් පවතිනුයේද මෙම මාධ්‍යය තුලමය. තාරකාවක් මිය යනුයේද මෙම මාධ්‍යය තුලමය. විශේෂයෙන් තාරකා මිය යාමේ එක් ආකාරයක් වන සුපර්නෝවා පිපුරුමකින් පසු අදාල සුන්බුන් කොටස් එක් වන්නේද මෙම මාධයටමය. උදාහරණයක් ලෙස ‘Crab Nebula’ නම් නිහාරිකාව නිර්මාණය වී ඇත්තේ සුපර්නෝවා පිපුරුමක ප්‍රථිපලයක් ලෙසිනි. තවද මේ වන විට විද්‍යාඥයින් නිහාරිකා කිහිපයක නව තාරකා නිර්මාණය වෙමින් පවතින ස්ථාන බොහොමයක් හදුනා ගෙන තිබේ. විශේෂයෙන්ම ඔරායන්  තාරකා රාශිය තුල පිහිටි, ඔරායන් සහ අශ්ව හිස නිහාරිකා තුලද මෙවැනි ස්ථාන බොහොමයක් පවතී. අප ජීවත් වන පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලයද නිර්මාණය වී ඇත්තේ මෙවැනි ආකාරයේ නිහාරිකාවක් තුලින් බව විශේෂයෙන් සදහන් කල යුතුය.

විවිධ ආකාරයේ හැඩයන්ගෙන් දිස් වන ඉතාමත් අලංකාර අපූරු නිහාරිකා බොහොමයක් මේ වන විට තාරකා විද්‍යාඥයින් විසින් හදුනාගෙන ඇති අතර ඒවා දිස් වන ආකාරය අනුව බොහොම අපූරු නම් වලින් හදුන්වයි. ඔබ තාරකා විද්‍යාව පිළිබද ලියැවුණු පොත් පත් හෝ අන්තර්ජාලය භාවිතයෙන් සොයා බලන්නේ නම් මෙහි උදාහරණ ලෙස දැක්වූවාට අමතරව අලංකාර හැඩයන්ගෙන් යුත් තවත් නිහාරිකා විශාල ප්‍රමාණයක් හදුනාගනීමට හැකි වේවි. 

Read More

පූර්වායනය

භ්‍රමණය වෙමින් පවත්නා වස්තුවක භ්‍රමණ අක්ශයේ පිහිටීම වෙනස් වීම සරලව සහ පොදුවේ පූර්වායනය(Precession) ලෙස හැදින්වේ. තාරකා විද්‍යාවේදී පූර්වායනය යනුවෙන් හැදින්වෙනුයේ තමා වටා භ්‍රමණය වෙමින් පවත්නා ග්‍රහ වස්තුවක භ්‍රමණ අක්ශයේ පිහිටුම වෙනස් වීමටය(Axial precession). මෙයින් පෘථිවි භ්‍රමණ අක්ශයේ වෙනස් විම වැදගත් කමක් ගනී.

පෘථිවිය තමා වටා භ්‍රමණය වන බවත් භ්‍රමණ අක්ශය අංශක 23 1/2 ක ඇලයකින් යුතුව පවතින බවත් අපි දනිමු. පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් එහි සමකාසන්න ප්‍රදේශය මදක් පිටතට නෙරා පිහිටයි(equatorial bulge). පෘථිවියේ සමකාසන්න විශ්කම්භය ධ්‍රැවාසන්න විශ්කම්භයට වඩා 0.3% ප්‍රමාණයක් වැඩි වී පවතී. මේ නිසා පෘථිවිය යනු නියම ගෝලාකාර වස්තුවක් නොවේ.

 

රූපය-1

සමස්ත සෞරග්‍රහ මන්ඩලය තුල පෘථිවිය සැලකීමේදී සෙසු වස්තූන් වල පැවැත්ම පෘථිවි පැවැත්ම කෙරෙහි බලපායි. එනම් ඉතා ප්‍රභල ලෙස ලගින්ම පිහිටන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය, චන්ද්‍රයා තරම් ප්‍රභල නොවූවත් සූර්යයාගේ ගුරුත්ව බලය හා ඉතා සුළු ප්‍රමාණයකින් සෙසු ග්‍රහවස්තු වල ගුරුත්ව බලපෑම පෘථිවි equatorial bulge මත ක්‍රියාකරනු ලබයි. මෙලෙස equatorial bulge මත ක්‍රියාකරන ගුරුත්ව බලය අංශක 23 1/2 ක් ඇලව පවතින පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලවීම වෙනස් කිරීමට උත්සහ දරයි. 
නමුත්(gyroscope මූලධර්මයට අනුව ) පෘථිවිය තමා වටා වේගයෙන් භ්‍රමණය වීම හේතුවෙන් බාහිර බලපෑම් පැවතුනත් තමාගේ අක්ශයේ ඇලවීම වෙනස් නොකර ගන්නා අතර ඒ වෙනුවට අක්ශයේ පිහිටීම වෙනස් කර ගනී. රූපය-1 අධ්‍යනය කිරීමේදී ඔබට මෙය පැහැදිලි වනු ඇත. පෘථිවියේ පූර්වායනය සිදුවනුයේ මේ ආකාරයෙනි. 

මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් වෙයි. එනම් පූර්වායනය යනු පෘථිවි භ්‍රමණ අක්ශය ඇල වී ඇති ප්‍රමාණය වන අංශක 23 1/2 ක අගය වෙනස් නොවීමකි. මෙහිදී සිදු වනුයේ භ්‍රමණ අක්ශයේ පිටීම වෙනස් වීම පමණි. මෙය ඉතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර භ්‍රමණ අක්ශයේ වෙනස සම්පූර්ණ වටයක් සලකුණු කිරීම සදහා ආසන්න වශයෙන් අවුරුදු 25,800 පමණ ගතවනු ඇත. සමහර පොත් පත් වල මෙය අවුරුදු 26000 ලෙසද සදහන් වේ. පූර්වායනය සදහා ප්‍රභල ලෙස බලපානුයේ අන් කිසිවක් නොව අපට ලගින්ම පිහිටි චන්ද්‍රයාය.

පෘථිවි පූර්වායනය හේතුවෙන් ඛගෝලය තුල පෘථිවියේ පිහිටුම වෙනස් වේ. මෙහි ප්‍රථිපලය වන්නේ සමක පද්ධතිය (Equatorial System) වෙනස් වීමයි. සරලව දක්වතොත් තරකා රාශි වල පිහිටුම කලින් කලට වෙනස් වේ. (මේ පිළිබදව ඉදිරියේදී සවිස්තරාත්මකව වෙනත් ලිපියකින් සාකච්චා කරනු ඇත)

Nutation

(Image from: http://www.starrynighteducation.com/sntimes/2009/june/wwwgfx_cur/Precession_Nutation.png )

පෘථිවි පූර්වායනය ඒකාකාරීව සුමටව සිදු වන්නක් නොවේ. පූර්වායනය සිදු වීමත් සමගම පෘථිවි භ්‍රමණ අක්ශය ඉතා සුලු වශයෙන් සෙලවීමකට ලක් වේ(ඉහත රූපයේ මෙන්). Nutation ලෙස හැදින්වෙනුයේ මෙයයි. පෘථිවිය මත ගුරුත්ව බලපෑමක් ඇති කරන සූර්යයා සහ චන්ද්‍රයාගේ පිහිටීම් කලින් කලට වෙනස් වීම මේ සංසිද්ධිය ඇති වීම කෙරෙහි හේතු වේ. මෙය චක්‍රීයව සිදු වන්නකි. එක් චක්‍රයක කාලය අවුරුදු 18.6 කි. එක් චක්‍රයක් තුලදී භ්‍රමණ අක්ශය +9” සහ -9” අතර ප්‍රමාණයකින් වෙනස් වේ. පූර්වායනය මෙන් මේ ක්‍රියාවද ඛගෝලය තුල පෘථිවි පිහිටුම වෙනස්  කිරීමට හේතු වේ. නමුත් පූර්වායනය සමග සැලකීමෙදී මේ ක්‍රියාව නොගෙනිය හැකි තරම් වන අගයකි.

පූර්වායනය හේතුවෙන් සිදු වන තාරකා හා තාරකා රාශි වල පිහිටීමේ වෙනස් වීම මුල් වරට හදුනාගනු ලැබූවේ ක්‍රි.පූ. දෙවන සියවසේ විසූ ග්‍රීක ජාතික තාරකා විද්‍යාඥයෙකු වන හිපාකස්(Hipparchus) විසිනි. නමුත් ඔහුට එකල පූර්වායනය නමැති සංසිද්ධිය පිළිබදව කිසිදු වැටහීමක් නොතිබුණි. පූර්වායනය පැහැදිලි කරගනු ලැබූවේ පසු කාලයකය.

පෘථිවි පූර්වායන ක්‍රියාවලිය සමහර පොත්පත් හා ලිපි වල කරකැවෙමින් පවතින බඹරයක් මගින් ආදර්ශණය කොට දක්වා තිබේ. සමහරවිට ඔබද මීට පෙර මෙලෙස දැක ඇති. භෞතික විද්‍යාවේදී පූර්වායනය යන්න යෙදෙනුයේ කරකැවෙමින් පවතින වස්තුවක පෘථිවියේ මෙන් සිදු වන භ්‍රමණාක්ශයේ වෙනස් වීමටය. නමුත් අපට දක්නට ලැබෙන සාමාන්‍ය, එදිනෙදා ජීවිතයේදී හමුවන බඹරයකින් පූර්වායනක් සිදු කල නොහැක. සාමාන්‍ය බඹරයක් යොදා ගෙන පූර්වායනය වීම සිදු කිරීමට යාමෙන් ඔබටම මෙය පැහැදිලි වේවි. පූර්වායනය පෙනවා දිය හැකි වන්නේ කරකැවෙමින් පවතින වස්තුවක් විශේෂිත ආකාරයකට සකස් කොට ගැනීමෙන් පමණි. Gyroscope ලෙස හැදින්වෙනුයේ එවැන්නකි. Gyroscope යනු කුමක්ද හා එයින් පූර්වායනය වීම පෙන්වන්නේ කෙසේද යන්න දැන ගැනීමට පහත වීඩියෝව නරබන්න. කෙසේ වෙතත්, පෘථිවි පූර්වායනය හා භ්‍රමණ වස්තුවක සිදු වන පූර්වායනය එකිනෙකට වෙනස් සංසිද්ධීන් දෙකක් බව පැහැදිලිව තේරුම් ගත යුතුය.

{youtube}cquvA_IpEsA{/youtube}

පූර්වායනය සිදු වන යාන්ත්‍රණය දැන ගැනීමට:
http://hyperphysics.phy-astr.gsu.edu/hbase/top.html

 

Read More

හිරු මුහුණතේ ඇති කළු පැල්ලම්

සූර්යයා දෙස පියවි ඇසින් එක මොහොතක් වත් එක එල්ලේ බැලිය නොහැකි බව ඔබ හොදින් අත් දැක ඇති කරුණකි. ඒ සූර්යයා සතු ප්‍රභල දීප්තිය හේතුවෙනි. අහසේ දිස් වන දීප්තිමත්ම ආකාශ වස්තුව වන්නේද සූර්යයාය. නමුත් විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීමේදී, සමහර කාල වලදී හිරු මුහුණතේ කළු පැහැති පැල්ලම් වැනි යමක් දිස් වේ.

මේවා තාරකා විද්‍යාවේදී හැදින්වෙන්නේ හිරු ලප(Sunspots) යනුවෙනි.

හිරු ලප වල ඉතිහාසය ක්‍රි.පූ. යුගය තරම් ඈතකට දිව යන්නකි. සූර්යය ලප පලමු වරට නිරීක්ශණය කරනු ලැබූ පුත්ගලයින් සම්බන්ධව ඇති තොරතුරු අවිනිශ්චිත නමුත් මේ පිළිබදව ඇති පැරණිතම සටහන් ලෙස දැක්විය හැක්කේ ක්‍රි.පූ. 28 දී  චීන තාරකා විද්‍යාඥයින් හිරු මුහුණතේ ඇති කළු පැල්ලම් වැනි යමක් දැක ඇති බවට වන තොරතුරුය. ක්‍රි.ව. 4 වන සියවසේදී  ග්‍රීක දාර්ශණිකයින් හිරු ලප නිරීක්ශණය කොට ඇති බවටද තොරතුරු හමුවේ. සූර්යයා අපහසුවකින් තොරව පියවි ඇසින් බැලිය හැකි සමහර අවස්ථාවන් වලදී, එනම් සූර්යයා ඝණ මීදුමෙන් වැසී පවතින අවස්ථා වලදී, දුහුවිලි වලින් වැසී පවත්නා විට සහ හිරු බැස යාමේදී, ඔවුන් සූර්යය ලප නිරීක්ශණය කොට ඇත.

සූර්යයා පැහැදිලිව ඉතා ගැබුරින් අධ්‍යනය කිරීම ඇරබෙන්නේ 17 වන සියවසේදී තාරකා විද්‍යා ක්ශේත්‍රයේ විශාල පෙරළියක් ඇති කල  දුරේක්ෂයේ  නිපදවීමත් සමගය.  මේ යුගයේදී තාරකා විද්‍යාඥයින් දුරේක්ෂය භාවිතයෙන්(ප්‍රක්ශේපණ ක්‍රමය භාවිතයෙන්) සූර්යය ලප ඇති වීම, ඒවායේ ව්‍යාප්තිය, කාලයත් සමග ඒවායේ හැඩය වෙනස් වීම ආදිය  පිළිබදව තොරතුරු සටහන් කර ගැණුනි.  මෙකල විසූ බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වූයේ හිරු ලප යනු සූර්යයා ඉදිරියෙන් ගමන් කරනා සූර්යයාගේ උපග්‍රහයින් හෝ ග්‍රහයින් විය හැකි බවයි. නමුත් සූර්යය ලප කාලයත් සමග වෙනස් වන ආකාරය ගැබුරින් අධ්‍යනය කල මහා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ මතය වූයේ හිරු ලප සූර්යයා මතුපිට ඇතිවන්නක් බවයි. මේ අනුව හිරු ලප සූර්යය මුහුණත හරහා ගමන් ගන්නා බැවින්, සූර්යයා තමා වටා කරකැවෙමින් පවතින බවත්, එහි භ්‍රමණ කාලයත් ඔහු විසින් නිර්නය කෙරිණි. මෙතැන් සිට 20 වන සියවස දක්වා වූ අවුරුදු 300ක් තරම් වූ කාලය පුරාවට බොහෝ දෙනා සූර්යය ලප පිළිබදව දැන සිටියේ මෙපමණකි. සූර්යයා මතුපිට දිස් වන මේ අත්භූත අදුරු පැල්ලම් පිළිබද ඉතා පැහැදිළි හෙළිදරවු කිරීමක් සිදු වන්නේ 20 වන සියවසේ දී තාරකා විද්‍යා ක්ෂේත්‍රයට එක් වන නව තාක්ෂණික මෙවලම් සමගය.

හිරු ලප ඇති වීමේ යාන්ත්‍රණය

සූර්යය ලප යනු ඉතා සරලව සූර්යය මුහුණතේ ඇති උෂ්ණත්වයෙන් අඩු ස්ථානයන්ය. සූර්යයා මතුපිට සාමන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,500 පමණ වේ. සාමාන්‍යය හිරු ලපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 3,700ක් පමණ වන අගයකි. මෙම ස්ථාන අදුරු ලෙස පෙනීමට හේතුව මේ විශාල උෂ්ණත්ව වෙනසයි. උදාහරණයක් ලෙස දීප්තිමත් පසුබිමක් ඉදිරියෙන් ඇති වස්තුවක් හෝ පුත්ගලයෙකු ගැන සිතන්න. එම වස්තුව හෝ පුත්ගලයා ඔබට දිස් වනු ඇත්තේ පසුබිමට සාපේක්ෂව අදුරුවය. තවත් පැහැදිලිව දකවතොත් ඔබ දකිනුයේ අදාල වස්තුව හෝ පුත්ගලයාගේ ඡායාවය. සූර්යය මුහුනතේ ඇති අඩු උෂ්ණත්ව කලාප අදුරු ලෙස දිස් වීමට හේතුව වන්නේද මෙයයි. ගැටලුව වන්නේ අධික උෂ්ණත්වයකින් හෙබි සූර්යය මුහුණත මත මෙතරම් අඩු උෂ්ණත්ව කලාප ඇති වීමේ හේතුව කුමක්ද යන්නයි.

හිරු ලප නිර්මාණය වී ඇති ප්‍රදේශ වල සූර්යයාගේ චුම්භක ක්ශේත්‍රය ඉතා ප්‍රභලය(සාමාන්‍ය අගය මෙන් 1000 ගුණයක් තරම්). ප්‍රභල චුම්භක ක්ශේත්‍රයක් පවතින ප්‍රදේශ වල, ඒ අවට පවතින උණුසුම් වායූන් ඉවත් කරනු ලබයි. සූර්යයා යනු අති විශාල වායුමය පද්ධතියකි. එහි එක් ප්‍රදේශයක පවතින අධික උෂ්ණත්වයකින් යුත් වායූන් ඉවත්ව ගිය විට එතැන නිර්මාණය වනුයේ අඩු උෂ්ණත්ව කලාපයකි.

සූර්යය අභ්‍යන්තරය මූලික කොටස් දෙකකින් යුක්ත වේ. එනම් ‘විකිරණ කලාපය’ හා ‘සංවහන කලාපය’ යනුවෙනි. විකිරණ කලාපය තුල නිපදවෙන සූර්යය ශක්තිය මතුපිට දක්වා ගෙන එනුයේ සංවහන කලාපය තුල සිදුවන වායූන්ගේ සංවහන ක්‍රියාවලිය තුලිනි. තවදුරටත් පැහැදිලි කලහොත් මෙම කලාපය අඩියේ වායූන් උණුසුම් වන අතර උණුසුම් වූ වායූන් පිටත කලාපය දක්වා පැමිණෙයි. මෙලෙස පිටත කලාපය දක්වා පැමිණෙන වායූන් වල උෂ්ණත්වය අඩු වූවායින් පසුව නැවත අඩිය කරා ගමන් කරයි. මෙය චක්‍රාකාරව සිදුවන්නකි. සූර්යය චුම්භක ක්ශේත්‍රය නිර්මාණය වනුයේ මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිපලයක් ලෙසිනි. සූර්යයාගේ භ්‍රමණය, සංවහන ක්‍රියාවලියත් සමග එකතු වූ පසු අයනීකරණය වූ එසේත නොමැති නම් ප්ලස්මා අවස්ථාවේ පවතින වායූන්ගේ ඉහල පහල යාමත් සමගින් විද්යුත් ධාරා නිර්මාණය වන අතර ඒ හේතුවෙන් සූර්යය චුම්භක ක්ෂේත්‍රය නිර්මාණය වේ.  

සූර්යයා යනු වායුමය වස්තුවක් වන නිසාවෙන් එහි භ්‍රමණ වේගය ඒකාකාරී නොවේ. සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශය ධ්‍රැව ප්‍රදේශ වලට වඩා වේගයෙන් කරකැවෙයි. සූර්යය භ්‍රමණයේ ඇති මේ වෙනස චුම්භක ක්ෂේත්‍රය සැම තැනම ඒකාකාරී ලෙස පැතිර නොතිබීමට බලපායි. සූර්යයගේ සමහර ස්ථාන වල චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රභලත්වය වැඩි වීමට හේතු වන්නේ මෙයයි.

හිරු ලප වල ලක්ෂණ

සූර්යය ලපයක ප්‍රමාණය 300km සිට 100 000km දක්වා පරාසයක විහිදෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ සූර්යය ලපයක් පෘථිවිය තරම් විශාලය. ඕනෑම සූර්යය ලපයක් කළු කුඩා තිතක් ලෙස ආරම්භ වී පසුව කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වේ. හොදින් වර්ධනය වූ සාමාන්‍ය සූර්යය ලපයක් ඉතා තද අදුරු බවකින් යුත් මධ්‍යය කොටසක්(umbra) හා ඊට එපිටින් සාමාන්‍ය අදුරු බවකින් යුත් පිටත කොටසකින්(penumbra) යන මූලික කොටස් දෙකක එකතුවක් ලෙස(රූපය-1) හදුනාගත හැකිය. මෙහි මධ්‍යය කොටසේ උෂ්ණත්වය  සූර්යය මතුපිටට වඩා 1600K පමණ සිසිල් වන අතර හිරු ලපයේ මුලු ප්‍රදේශයෙන් 70% පමණ වන පිටත කොටසේ උෂ්ණත්වය 500K පමණ අගයකින් සිසිල් වේ.

රූපය-1
විශාල හිරු ලප වල පැවැත්ම මාස 6ක් දක්වා දිගු විය හැකි අතර කුඩා ප්‍රමාණයේ ලප වල පැවැත්ම සමහර අවස්ථා වලදී පැය කිහිපයකට පමණක් සීමා වේ. සූර්යය ලප ඇති වන්නේ බොහෝ විට සූර්යය අක්ශාංෂ(උතුරු සහ දකුණු) අංශක 5 හා 40 අතර ප්‍රදේශ වලය. ඉහල අක්ශාංෂ වලදී ආරම්භ වන සූර්යය ලප කාලයත් සමග වර්ධනය වෙමින් සූර්යයාගේ සමක ප්‍රදේශය කරා ගමන් කරයි.  හිරු ලප සූර්යයා මත පවතිනුයේ යුගලයක් ලෙස හෝ පොකුරක් ලෙසිනි. යුගලයක් ලෙස පවතින විට ඒවායේ චුම්භක ක්ශේත්‍ර වල දිශාවන් එකිනෙකින් වෙනස්ව පිහිටයි.

හිරු ලප චක්‍රය

සූර්යය ලප යනු නිතර ඇති වන සංසිද්ධියක් නොව සමහර කාල වලදී පමණක් දිස් වන්නකි. හිරු මුහුණතේ දිස් වන මේ අදුරු ලප යම ආකාරයක රටාවකට අනුව සිදු වන බව බොහෝ කාලයක් පුරාවට සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් විද්‍යාඥයින් හදුනාගෙන තිබේ. මේ විශේෂ රටාව ‘සූර්යය ලප චක්‍රය’ ලෙස හදුන්වයි. එක් චක්‍රයක කාලය අවුරුදු 11 වන අතර කුඩා ලප සංඛ්‍යාවකින්(solar minimum) ඇරබෙන එක් චක්‍රයක්(රූපය-2) එහි උපරිම අවස්ථාවට(solar maximum) පැමිණ නැවත සූර්යය ලප වල අවම අවස්ථාවෙන් අවසන් වෙයි.  සූර්යය ලප බහුලව පවතින කාලවලදී සූර්යයාගේ ප්‍රභලත්වයද ඉතා ඉහල වේ. එනම් මෙවැනි කාල වලදී සූර්යය සුලග, සූර්යය ගිණිදළු සහ සූර්යය විකිරණ වල ප්‍රභලත්වයද ඉහල යයි. මෙ නිසා සූර්යය ලප වල බහුලත්වය සූර්යයාගේ ප්‍රභලත්වය නිර්ණය කරන සාධකයක් ලෙසද පෙන්වා දිය හැකිය.

කාලයත් සමග සූර්යය ලප වල ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කලහොත් ලැබෙනුයේ රූපය-3 ආකාරයේ ප්‍රස්ථාරයකි. සූර්යය චක්‍රයක් ආරම්භයෙදී ඉහල අක්ශාංෂ වල කුඩා සංඛ්‍යාවකින් පටන් ගන්නා සූර්යය ලප ව්‍යාප්තිය උපරිම අවස්ථාවට එලැබී නැවත සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශයෙදී හීන වී යන ආකාරය මෙහි මැනවින් දැක් වේ. හිරු ලප වල ව්‍යාප්තිය දැක්වෙන මේ විශේෂ ප්‍රස්ථාරයේ හැඩය හේතුවෙන් විද්‍යාඥයින් මෙය හදුන්වන්නේ ‘butterfly diagram’ ලෙසයි.

1645 සිට 1715 දක්වා කාලය සූර්යය ලප ඉතා අඩුවෙන්ම දක්නට ලැබුණු යුගයකි. අතීත දක්ත පිරික්සා බැලීමෙන් මෙම විශේෂ කාල පරාසය මුල් වරට හදුනාගනු ලැබූ ‘වෝල්ටර් මවුන්ඩර්’  නම් තාරකා විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස මෙම කාලය හැදින්වෙනුයේ ‘මවුන්ඩර් අවමය'(Maunder minimum) යනුවෙනි.

සූර්යය ලප නිරීක්ෂණය

සූර්යයා එක එල්ලේ නිරීක්ෂණය කරනවා නම් වඩාත්ම ආරක්ෂිත හා පහසුම ක්‍රමය ලෙස දැක්විය හැක්කේ පෑස්සුම් කන්නාඩි(welding glasses) භාවිතයෙන් නිරීක්ෂණයයි. මෙහිදී අනුමත අදුරු බවින් යුතු එනම් shader# 12,13,14 වර්ගයේ කන්නාඩියක් පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය. නමුත් මේ ආකාරයෙන් සූර්යයා නිරීක්ෂණයේදී නම් බොහෝවිට හිරු ලප දර්ශණය නොවේ. හිරු ලප නිරීක්ශණය සදහා විශේෂ සූර්යය පෙරණයක් යෙදූ දුරේක්ෂයක් තුලින් හෝ සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය කල යුතුය. 

ප්‍රක්ශේපණ ක්‍රමය සදහා දුරේක්ශයක් හෝ දෙනෙතියක් (binocular) භාවිතයෙන් එය සූර්යයා දෙසට යොමු කොට එහි චායාව තිරයක් මතට ලබා ගැනීමෙන් හිරු ලප නිරීක්ශණය කල හැකිය. මීට අමතරව සූර්යය පෙරණ යෙදූ දෙනෙතියක් භාවිතයෙන්ද සූර්යයා(හිරු ලප) නිරීක්ශණය කල හැකිය. දුරේක්ශයකට වඩා දෙනෙතිය හැසිරවීම පහසු වීම සහ නාභිගත කිරීම පහසු වන බැවින් මෙය ඉතා පහසු ආරක්ශිත ක්‍රමයකි. තවද දෙනෙතිය ඉදිරියෙන් යොදන සූර්යය පෙරණ සදහා හොද ආදේශකයක් ලෙස ඉහත සදහන් කල ආකාරයේ දෙනෙතියට, සරිලන විශාලත්වයෙන් යුත් පෑස්සුම් කන්නාඩි දෙකක් උවද භාවිතා කල හැකිය.  මෙහිදී අදාල කන්නාඩි දෙක දෙනෙතියේ ඉදිරිපස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි හොදින් සවි වී තිබිය යුතුය.

සූර්යයා පියවි ඇසින් හෝ විද්‍යාඥයින් අනුමත නොකරන අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිරීක්ශණය කිරීම ඔබේ දෙනෙත් සදහටම අන්ධ භාවයට හෝ වෙනත් දුර්වලතාවයන්ට පත් වීමට හේතු විය හැක. මේ නිසා සූර්යය නිරීක්ශණය සදහා අදාල අනුමත ක්‍රම පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය.

www.spaceweather.com යන වෙබ් අඩවිය සූර්යයා සහ සූර්යය ලප පිළිබදව නිතරම අලුත් වෙමින් පවතින තොරතුරු සපයයි. සූර්යය ලප දිස් වන කාලයන් පිළිබද දක්ත මේ හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

ඉතා දුර්ලභ දසුනක් වූ, මේ වසරේ ජනවාරි 15 වන දින දිස් වූ වළයාකාර සූර්යග්‍රහණය ඔබට දුරේක්ශයක් භාවිතයෙන් නිරීක්ශණය කිරීමට අවස්ථාව ලැබුනා නම් සමහරවිට ඔබ මෙවැනි ආකාරයේ හිරු ලපයක්, සූර්යයාගේ උතුරු අර්ධ ගෝලයේ තිබෙනු දැක ගන්නට ඇති.

තාරකා ලප(starspots)

සූර්යය ලප අප සූර්යයා මතුපිට පමණක් නොව අනෙකුත් තාරකා මතද පවතියි. විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ විද්‍යාඥයින් අනෙකුත් තාරකා මත පවතින තාරකා ලප අධ්‍යනය කරනු ලබයි. තාරකා ලප, අදාල තාරකා වල ප්‍රභලත්වය සහ එහි ලක්ෂණ පිළිබද වැදගත් තොරතුරු සපයන බැවින් තාරක ලප අධ්‍යනය සූර්යය ලප අධ්‍යනය තරමටම වැදගත්කමක් උසුලයි.

 

{jcomments off}

Read More

රොකට් තාක්ෂණයේ අතීත පියසටහන් (2 වන කොටස)

ක්‍රිස්තු වර්ෂ 1977

නාසා ආයතනය විසින් වෝයේජර් නම් යානා දෙකක් අභ්‍යාවකාශ ගත කරයි එම යානා දෙකෙන් එකක් බ්‍රහස්පතී,සෙනසුරු යන ග්‍රහයින්ගේ තොරතුරු සෙවීමටද අනෙක් යානය යුරේනස් සහ නෙප්චුන් ග්‍රහයින් ගේ තොරතුරු සෙවීමටද අහ්‍යාවකාශගත කරනලදී.

 

ක්‍රිස්තු වර්ෂ 1981

අභ්‍යාවකාශ යුගයේ ආරම්භයේ සිට පැවති රොකට් යානා වෙනුවට නවතම අභ්‍යාවකාශ යානා වර්ගයක් හඳුන්වා දෙයි.ඒවා “ෂටල” යානා ලෙස හඳුන්වයි. රොකට් මෙන් නොව මේවා නැවත  නැවතත් භාවිතයට ගත හැකිය,එය ෂටල යානාවල විශේෂත්වයි. ප්‍රථම ෂටලය වන්නේ කොලොම්බියා ෂටලයයි. බාහිර ඉන්ධන ටැංකිය,ඝන ඉන්ධන රොකට් බූස්ටර සහ ඔබිටර් යන  කොටස්වලින් සමන්විත මෙම ෂටල යානා දැවැන්ත මෙහෙයුම් සඳහා බෙහෙවින් යොදා ගැනේ.

ක්‍රිස්තු වර්ෂ 1983

තාරකාවිද්‍යාවට තවත් නව තාක්ෂණික  අංගයක්  එක්විය. එය අධෝරක්ත තාරකාවිද්‍යාවයි. අධෝරක්ත කිරණ විශ්ලේෂණය මගින් තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ කිරීම මේ අයුරින් හදුන්වයි. 1983 දී  අධෝරක්ත විශ්ලේෂණය කළ හැකි ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත  විය. එය IRAS (Infrared Astronomical Satellite) චන්ද්‍රිකාවයි.මෙම චන්ද්‍රිකාව මගින් විශ්ලේෂණය කරණු ලබන්නේ අධෝරක්ත නම් විශේෂිත වූ තාපජනක කිරණයක් බැවින් මෙම යානය නිතරම ඉතාමත් ශීතවිය යුතුය නැතහොත් අදාල විශ්ලේශණ අසාර්ථකවේ. එහෙයින් මෙම යානය ශීතල කිරීම සඳහා ද්‍රව හිලියම් යොදාගෙනඇත. මෙම යානය මගින් දින 900 ත් 1000ත් අතර කාලයක්  පුරාවටම විශ්ලේෂණයන් කර නවතම තොරතුරු රාශියක් සොයාගෙන ඇත.

ක්‍රිස්තු වර්ෂ 1986

යුරෝපය,රුසියාව සහ ජපානය යන රටවල් මගින් හැලීගේ ධූමකේතුව නිරීක්ෂණයට යානා කීපයක් අභ්‍යාවකාශ ගත  කරයි. යුරෝපය මගින් අභ්‍යාවකාශ ගත කල “ජියෝටෝ” යානය ඉතාමත් සාර්ථකව එම ධූමකේතුවේ කොමාව යන කොටස හරහා ගමන් ගෙන එහි න්‍යෂ්ටිය හා අභ්‍යන්තරය ජායාරූපයට ගෙන ඇත. රුසියාව හා ජපානය මගින් අභ්‍යාවකාශ ගත කල යානා එතරම් සාර්ථක නොවීය.

1986 දී සිවූ තවත් වැදගත් සංසිද්ධියක් වන්නේ චැලෙන්ජර් ෂටල අනතුරට පත්වීමයි. කාර්මික දෝෂයක් හේතුවෙන් චැලෙන්ජර් ෂටලය අනතුරට පත්වූබව සැලකේ. එතැන් පටන් නාසා ආයතනය ෂටල යානා අභ්‍යාවකාශ ගත  කිරිම නැවැත්වූ අතර ඉන් වසර 3කට පසු නැවතත් ෂටල අභ්‍යාවකාශ ගත කිරීමේ කටයුතු අරඹනලදී. මෙයට ප්‍රධානතම හේතුව වූයේ අනතුරෙන් පසු නිපදවූ සියලු ෂටල යානා විශේෂ විශ්ලේෂණයකට ලක්කිරීමෙන් පසු අභ්‍යාවකාශ ගත කිරීමයි.

ක්‍රිස්තු වර්ෂ 1990

1990 වර්ෂයේදී තාරකා විද්‍යාව සදහටම වෙනස් විය, ඒ හබල් දුරේක්ෂය අභ්‍යාවකාශ ගතවීමත් සමඟය.ෂටලයක් මගින් පෘථිවිය වටා කක්ෂගතකල  හබල් දුරේක්ෂය  අභ්‍යාවකාශයේ ඇති ඇසක් බඳුය. ඉතිහාසයේ ප්‍රසිද්ධම දුරේක්ෂයක් වන හබල් දුරේක්ෂයේ දර්පණයේ විශ්කම්භය මීටර 2.4 ක් වන අතර පෘථිවියෙන් එපිට පිහිටා ඇති නිසා හබල් දුරේක්ෂය වෙතින් ලැබෙන දර්ශණ ඉතා පැහැදිලිය. මෙම හබල් දුරේක්ෂයේ  විශේෂත්වය වන්නේ අධෝරක්ත කිරණ සහ පාරජම්බුල කිරණ ග්‍රහණය කර ගත හැකිවීමයි. හබල් දුරේක්ෂයේ පැවති දර්පණ දෝෂය 1993 දී නැවත් ප්‍රතිසංස්කරණය කරනලදී. හබල් දුරේක්ෂය මෙතෙක් දැක නොතිබූ විශ්වයේ නිහාරිකා, තාරකා,මන්දාකිණි රැසක්ම ඡායාරූපගත කිරීමට සමත්විය.මෙම හබල් දුරේක්ෂය තාරකා විද්‍යාවේ රසය තවතවත් වැඩි කිරිමට සමත්ය.

තවද 1990 වර්ෂයේදී නාසා ආයතනය මගින් ‘මැගලන් ‘ නැමති යානය අභ්‍යාවකාශ ගතකරයි.මෙම මැගලන් නම් යානය සිකුරු ග්‍රහයාවටා කක්ෂගතකර වසර තුනක්පමණ කාලයක් සිකුරු ග්‍රහයා ගේ ඡායාරූප සහ නවතම තොරතුරුද පෘථිවිය වෙත එවන ලදි.මෙම මැගලන් යානය ප්‍රධානතම අරමුණ වී ඇත්තේ ග්‍රහලෝක තරණය කිරීමයි. මැගලන් සමඟ තවත් සෙසු යානා 2ක් අභ්‍යාවකාශ ගත කෙරිණ.    මෙම යානා වලින් ගැලීලියෝ යානය බ්‍රහස්පතී ග්‍රහයා වෙතටද, කැසිනි යානය සෙනසුරු ග්‍රහයා වෙතටද ළගාවිය.මෙම යානා මගින් බොහෝමයක් නවතම තොරතුරු ලබාගැනීමට නාසා ආයතනය සමත්විය.

ක්‍රිස්තු වර්ෂ 1992

කොස්මික් බැක්ග්‍රවුන්ඩ් එක්ස්ප්ලෝරර් (Cosmic Background Explorer- COBE) නම් යානය අභ්‍යාවකාශ ගතවිය. මෙම යානය අභ්‍යාවකාශ ගත  කිරීමේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ විශ්වයේ ඇති අන්තරීක්ෂ පසුබිම් විකිරණ විශ්ලේෂණය කිරිමයි. මහා පිපිරුමෙන් පසුව විශ්වයේ ඉතිරි වූ පසුබිම් විකිරණය විශ්ලේෂණය කොට එය සිතියම් ගත කිරීමට මෙම යානය සමත් විය.

ක්‍රිස්තු වර්ෂ  1998

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධයස්ථානයේ වැඩ අරඹන ලදී.මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා කක්ෂගත කරයි. ජාතීන් කීපයක එකමුතුවෙන් වැඩ අරඹන ලද මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල එක වරකට අභ්‍යාවකාශ ගාමීන් සත් දෙනකුට පර්යේෂණ කටයුතු කල හැකි  අතර පෘථිවිය මත සිදුකල නොහැකි අවදානම් පර්යේෂණ කටයුතු මෙම මධ්‍යස්ථානය තුල සිදුකිරිමට හැකිය.මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ප්‍රමාණයෙන් පාපන්දු පිටියක් තරම් විශාලය.

ක්‍රිස්තු වර්ෂ 2004

අගහරු  ග්‍රහයා පිළිබඳ තොරතුරු සෙවීමට “මාර්ස් එක්ස්ෆෝලරේෂන්” රෝවරය අගහරු වෙත යවන ලදී. මෙම යානයේ උපයානා දෙක වන “ස්පිරිට්” සහ “ඔපට්‍යුනිටි” යන රෝවර දෙක අගහරු ග්‍රහයාගේ පෘෂ්ඨය මතට පතිත කර අගහරු ග්‍රහයාගේ නවතම තොරතුරු රැසක්ම හෙලිකර ගැනීමට ඇමරිකාව සමත් විය.

ක්‍රිස්තු වර්ෂ 2005

ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් “ටෙම්පල් 1” නම් වූ ධූමකේතුව නිරීක්ශණය කර තොරතුරු  සෙවීමේ අරමුණ ඇතිව “ඩීප් ඉම්පැක්ට්” යානය අභ්‍යාවකාශ ගත කරයි. එම යානාව ධූමකේතුවේ ඝට්ටනය වීමට සලස්වා එමගින් නවතම තොරතුරු රැසක් වාර්තාකරන ලදී.

ක්‍රිස්තු වර්ෂ  2006

මෙතෙක් අප සෞරග්‍රහ මණ්ඩලයට අයත්ව පැවති ග්‍රහයි නවදෙනාගේ සංඛ්‍යාව අටක් දක්වා පහල වැටුණි. “ජාත්‍යන්තර තාරකා විද්‍යා සම්මේලනය” මගින්  ගනු ලැබූ තීරණයක් මත මෙසේ සිදුවිය. මෙයට හේතුව වූයේ ප්ලූටෝ යනු වාමන ග්‍රහයකු හෙවත් ක්ෂුද්‍ර ග්‍රහයක් ලෙසට නම් කිරීමයි. එහිදී ග්‍රහලෝකයේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඇත. අනෙක් ග්‍රහලෝකහා සසඳන කල ප්ලුටෝට ග්‍රහලෝවක් වීමට සැලකියයුතු තරම් විශාලත්වයක් නොමැත. ප්ලූටෝද ,සෙඩ්නා චාරෝන් සෙරස්යන වාමාන ග්‍රහ තත්වයට පත්වුණි.

ක්‍රිස්තු වර්ෂ 2007

චන්ද්‍රයා පිළිබඳ අධ්‍යනය සඳහා ජපානයෙන් යානයක් අභ්‍යාවකාශ ගත  කරයි.ජපානයේ Tanegashima දූපතෙන් H-2A රොකට්ටුවෙන් මෙම යානය අභ්‍යාවකාශ ගතකරනලදී.මෙම යානය “කගුයා”(Kaguya) නම් වේ. මෙම යානය අභ්‍යාවකාශ ගත කිරී‍මේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ චන්ද්‍රයාගේ උපත, පැවැත්ම හා චන්ද්‍රයාගේ සංයුතීන් පිළිබඳ අධ්‍යනය සඳහාය.

ක්‍රිස්තු වර්ෂ 2008

ඉන්දියානුවන්ද චන්ද්‍ර ගවේෂණ කටයුතු සඳහා යානයක් අභ්‍යාවකාශ ගතකරයි. එය”චන්ද්‍රයාන්-1″ නම් වේ. චන්ද්‍රයාන්-1 යානය චන්ද්‍රයා වටා කක්ෂ්‍ය ගතකොට චන්ද්‍රයාගේ නවතම ඡායාරූප සහිත තොරතුරු රැසක් ලබා ගැනීමට ඉන්දියාව සමත්විය.

මීට අමතරව වට ඉතා දිගුඅතීතයක් ඇත.නමුත් මෙම ලිපි පෙළෙහි අඩංගු වන්නේ එම දිගු අතීතයේ විශේෂ අවස්ථාවන් වේ.

Read More

රොකට් තාක්ෂණයේ අතීත පියසටහන් (1 වන කොටස)

ක්‍රිස්තු වර්ෂ 1957
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට කෘතීම චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස පෘථිවිය වටා කක්ෂගත කරමින් ලෝක අභ්‍යාවකාශ යුගය ආරම්භ විය.”ස්පූට්නික් 1″ යනුවෙන් නම්කල මෙම කෘතීම චන්ද්‍රිකාව රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙහෙයවනු ලැබීය.

තවද රුසියාව හා ඇමරිකාව සඳ තරණයට යානා නිපදවීය. ඇමරිකාවේ නාසා ආයතනය ක්‍රියාත්මක කල ‘පයිනිය‍ර්’ ව්‍යාපෘතිය අසාර්ථක වූ අතර රුසියාවේ ලූනා ව්‍යාපෘතිය සාර්ථක විය.සැප්තැම්බර් මාසයේදී ලූනා-2 යානය සඳමත පතිතවූඅතර ඔක්තෝම්බර් මාසයේදී “ලූනා-3” යානය සදේ ඡායාරූප රැගෙන පෘථිවියට ලගාවිය. මේ අනුව පළමුවරට සඳ තරණයට හිමි ගෞරවය රුසියාවට හිමිවිය.

ප්‍රථමකෘතීම චන්ද්‍රිකාව වන “ස්පූට්නික් 1”

ලූනා-2 යානය

ක්‍රිස්තු වර්ෂ 1958
ඇමරිකාවද අභ්‍යාවකාශ යුගයට මුල පුරනු ලැබීය.”එක්ස්පෝරර්-1″ නම් කෘතිම චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවිය වටා කක්ෂගතකරනු ලැබූ අතර මෙම චන්ද්‍රිකාවේ උපකාරයෙන් අප පෘථිවිය වටා ඇති අධි ආරෝපිත ආරක්ෂක වළලු පද්ධතියක් හදුනා ගැනීමට සමත්විය.ආචාර්ය වෑන් ඇලන් විසින් මෙම සොයාගැනීමට සමත් වූ අතර ඔහුගේ නමින් එනම් “වැන් ඇලන් කිරණ පද්ධතිය ” ලෙස මෙම වළලු පද්ධතිය හදුන්වයි.


එක්ස්ප්ලෝරර්-1

ක්‍රිස්තු වර්ෂ 1962
වෙනත් ග්‍රහලොවක් තරණය කල ප්‍රථම යානය ලෙස ඇමරිකාවේ ‘ මැරීනර් 2 ‘ යානය ඉතිහාසගතවිය.සිකුරුග්‍රහයාවටා ‘මැරීනර්-2’ යානය කක්ෂගත කෙරිණ.ඉන් පසු ‘මැරීනර් 4’ යානය 1965 දී අහගහරු කරා ලගාවීමට සමත් විය.


මැරීනර් 2

ක්‍රිස්තු වර්ෂ 1963
60වන දශකයේ ආරම්භයේදී හදුනා ගැනීමට ලක්වූ තරුවකට සමාන රේඩියෝ ප්‍රභවයක් වන ක්වේසාරයකින් නිකුත්වන කිරණ ආශ්‍රයෙන් වර්ණාවලියක් ලබාගෙන ඒ ඇසුරින් ක්වේසාර සක්‍රීය චක්‍රාවාට බවද ඒවා ආලෝකවර්ෂ ඉතාවිශාල ගනනාවක් ඈතින් පිහිටා ඇතිබවද ඕලන්දජාතික රේඩියෝතාරකා විද්‍යාඥ මාටින් ෂ්මිඩ් පෙන්වාදී ඇත.

ක්‍රිස්තු වර්ෂ 1965
ආනෝ පෙන්ස්සියාස් සහ රොබට් විල්සන් විසින් අභ්‍යාවකාශයේ සිට පැමිණෙන් රේඩියෝ තරංග විශේෂයක් හඳුනා ගත්හ.එම තරංගලැබෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -270 ක් වන වස්තුවකින් බව ඔවුන් නිගමනය කර ඇත.නමුත් වැඩිදුර පරීක්ෂණ කරන මොවුන් පවසා ඇත්තේ එම රේඩියෝ තරංග පැමිණෙන්නේ වස්තුවකින් නොව මීට වසර බිලියන 13 කට පෙර විශ්වය නිර්මාණය වූ මහා පිපිරුමෙන් පසු ඉතිරිව ඇති විකිරණ වලින් බවයි.

ක්‍රිස්තු වර්ෂ 1967
පල්සාර සොයාගැනීමට ලක් විය. සුපර් නෝවා පිපිරුමකින් පසු ඉතිරිවන අධික චුම්බක කේෂ්ත්‍රය හේතුවෙන් අධික වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරුලෙස අද මෙම පල්සාර් හැදින්වේ.ජොසලින් බෙල් සහ ඇන්ටනී හෙවිෂ් විසින් දීර්ඝ කාලයක් රේඩියෝ තරංග අධ්‍යනය කරමින් පල්සාර සොයාගන්නා ලදී.

ක්‍රිස්තු වර්ෂ 1969
ලෝක ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන්වූ මෙම යුගයේ මිනිසා සඳමත පාතබනු ලැබීය.මෙසේ ලෝක ඉතිහාසයේ අභ්‍යාවකාශ යුගයේ ආන්දෝලනයකට ලක්කිරීමට ඇමරිකාව සමත්විය.ඒ ඇපලෝ 11 අභ්‍යාවකාශගත කිරීමත් සමඟය. ජුලි මාසයේදී 21 වනදින අජටාකාශගාමී නීල්.ඒ.ආම්ස්ට්‍රෝන් විසින් ප්‍රථමව සඳට පාතබමින් මෙසේ පැවසීය “මෙය මිනිසෙකුගේ එක් කුඩා පියවරක් පමණය ,නමුත් මෙය මිනිස් සංහතියේම ඉදිරියට තැබූ යෝධ පිම්මක් වනු ඇත”. නීල් ආම්ස්ට්‍රෝන් සඳමත පාතබා පැයකට පමන පසු එඩ්වි ඕල්ඩරින් ද චන්ද්‍රයාගේ ගවේෂණ කටයුතු වල නිරතවී ඇත.මෙම ව්‍යාපෘතියෙන් පසු තවත් ව්‍යාපෘති කිහිපයක් මගින්ම සඳමතට මිනිසුන් රැගෙනගිය අතර එහිදී ඇතැම් යානා සතුව මිනිසුන් ප්‍රවාහනය කලහැකි රෝවරද තිබිණ.


ඇපලෝ 11 අභ්‍යාවකාශගතකරන අවස්ථාව

ක්‍රිස්තු වර්ෂ 1970
තාරකාවිද්‍යා නිරීක්ෂණ ක්ෂේත්‍රයට අලුත් අංගයක් එක විය එනම් X කිරණ තාරකාවිද්‍යාවයි.Xකිරණ ආශිතව ගැඹුරු අහස නිරීක්ෂණය මෙහි ප්‍රධාන කාර්යයි.මේ සඳහා තැනුණ X කිරණ චන්ද්‍රිකාවක් වන යුහුරු(Uhuru)චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කෙරිණි.යුහුරු මගින් කිරණ ප්‍රභව 300ක් අධීක්ෂණයට ලක්කරයි.


යුහුරු(Uhuru)X කිරණ චන්ද්‍රිකාව

ක්‍රිස්තු වර්ෂ 1971
රුසියාව මගින් ප්‍රථම අභ්‍යාවකාශ මධ්‍යසාථානය කක්ෂගත කෙරිණි.මෙය ‘සැල්යුට්-1’ (Salyut-1) නම් වේ. අනතුරුව ‘මීර්’ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයද රුසියාව විසින් කක්ෂගත කෙරිණි.පෘථිවි කක්ෂය මත පිහිවන මෙවැනි අභ්‍යාවකාශ මධ්‍යස්ථාන පරීක්ෂණ සිදුකිරීමටද,අභ්‍යාවකාශයේ ඇති විවිද අභ්‍යාවකාශ උපකරණ අලුත්වැඩියා කිරීම් කටයුතුවලදී ගඟනගාමීන්ගේ නවාතැන් ලෙසද වැදගත් වේ.

සැල්යුට්-1 (Salyut-1) අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

ක්‍රිස්තු වර්ෂ 1972
“පයනියර්10” ගුවන් ගත කෙරිණි.ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව ගුවන් ගතකල “පයනියර්10″මගින් ප්‍රධාන වශයෙන් අරමුණවීඇත්තේ ඈතින් පිහිටි ග්‍රහයින්ගේ තතුසොයා බැලීමයි.බ්‍රහස්පතී,සෙනසුරු,යුරේනස්,යන ග්‍රහයින්ගේ කක්ෂහරහා ගමන්ගත් මෙය අප සෞරග්‍රහමණ්ඩලයේ ඈතටම ගිය ප්‍රථම යානයයි.

ක්‍රිස්තු වර්ෂ 1975
රුසියනු අභ්‍යාවකාශ යානයක් වන “මිනෝරා”සිකුරු ග්‍රහයාමතට පතිත්විය.ප්‍රථම වරට සිකුරු පෘෂ්ඨයට ඡායාරූපගත කිරීමට මෙම යානයට හැහකිවිය.නමුත් අවාසනාවකට මෙන් මෙම යානය සිකුරු පෘෂ්ඨයට ගොඩ බැස පැය කීපයක් ඇතුලත දැවී විනාශවිය.

ක්‍රිස්තු වර්ෂ 1976
නාසා ආයතනය විසින් අගහරු ග්‍රහයා නිරීක්ෂණයට “වයිකිං-1″යානය සහ “වයිකිං-2″යානය අගහරු වටා කක්ෂගත කෙරිණි.මෙම ව්‍යාපෘතියට අනුව තවත් යානයක් අගහරු මත ගොඩබැස අගහරුගේ පාෂාණ විෂ්ලේෂණය කර ඇත. මෙමඟින් අගහරු ග්‍රහයාගේ සංයුතිය පිළිබඳ ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය.

“වයිකිං-1″යානය

Read More

තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (5 කොටස)

(තාරකා විද්‍යාවේ අතීත පියසටහන් පසුගිය කොටස හා සම්බන්ධවීමට)

ක්‍රිස්තු වර්ෂ 1916

තරුවක් නිශ්චිත ප්‍රමාණයට වඩා සංකෝචනය වූවිට එම තරුවේ ඇති ගුරුත්වාකර්ෂණ බලය ඉතා ප්‍රබල බවත් කිසියම් වස්තුවකට හෝ විකිරණයකට  එයින් ගැලවී ගමන්කල නොහැකි බවත් මේ අවස්ථාව කළු කුහර (Black hole) බිහිවීමක් බවත් ඇල්බට් අයින්ස්ටයින් සහ කාල් ෂ්වොස්විල්ඩ් නම් භෞතික විද්‍යාඥයින් විසින් සාපේක්ෂතාවාදය ඇසුරු කරගනිමින් මතවාදයක් ගොඩනැගීය.

ක්‍රිස්තු වර්ෂ 1917

ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥ හාලෝ ෂාප්ලි විසින් ක්ෂීරපථය පිළිබඳ නිවැරදි අදහසක් එළිදැක්වීය. එවකට “ක්ෂීර පථය හරිමැද අපගේ සූර්යයා පිහිටා තිබේයයි” මතයක් පැවති අතර එම මතය වැරදි බවත් ක්ෂීරපථයේ මධ්‍යයේ සිට ආලෝකවර්ෂ 30,000ක් ඇතින් ඇති බාහුවක අපගේ සූර්යයා පිහිටා ඇති බවත් ඔහු විසින් පෙන්වාදී ඇත.

ක්‍රිස්තු වර්ෂ 1923

ඇමරිකානු ජාතික එඩ්විඩ් පවල් හබල් විද්‍යාඥයා ඇන්ඩ්‍රොමීඩා නිහාරිකාවේ ඇති විචල්‍ය තරුවක් හඳුනාගනී. තවද ක්ෂීරපථය තුල සියලුම මන්දාකිනි ඇති බවට තිබූ මතය වැරදිබවද එම චක්‍රාවාට අප ක්ෂීරපථයෙන් ආලෝකවර්ෂ ගනනාවක් ඉතා ඈතින් පිහිටා ඇති බවත්  පෙන්වාදීමට යෙදුනි.1925 වනවිට ඔහු චක්‍රාවාට වර්ගීකරණය කරනලදී. එම වර්ගීකරනය හබල්ගේ “සරසුල මන්දාකිනි වර්ගීකරනය” ලෙස හදුන්වයි.

 

හබල්ගේ සරසුල මන්දාකිනි වර්ගීකරනය

හබල්

ක්‍රිස්තු වර්ෂ 1926

රොකට්ටුවක් නිර්මාණය කර ගුවන්ගත කිරීම සිදුවිය.ද්‍රව ඉන්දන යොදාගැනුණු මෙම රොකට්ටුව රික්තකයක් තුලින්ද ගමන් කල හැකිය. මෙම රොකට්ටුව රොබට් ගොඩාඩ් විසින් නිර්මාණයකල අතර පසුව ඔහු විසින් නිපදවූ  අනෙක් රොකට්ටුව ශබ්දයේ වේගය ඉක්මවා යයි.වර්තමානයේ භාවිතා වන රොකටුද මොහුගේ රොකට් පිළිබඳ නියමයට අනුව නිපදවයි.

රොබට් ගොඩාඩ් ඔහු නිර්මාණය කල රොකට්ටුව සමඟ

ක්‍රිස්තු වර්ෂ 1929

චක්‍රාවාට එකිනෙකින් ඈත්වන බවත් .එනම් විශ්වය ප්‍රසාරණය වනබවත් ඇතින් ඇති චක්‍රාවාට වඩා වේගයෙන් අපෙන් ඉවතට ගමන් ගන්නා බවද එඩ්විඩ් පවල් හබල් සොයාගත්හ.එය හබල් නියතය ලෙස ලොවට හදුන්වාදුනි. හබල් විසින් මේ පිළිබඳව වැඩිදුරටත් වර්ණාවලිය මගින් අධ්‍යනයේ යෙදුන අතර විශ්වයේ ආයු කාලය වසර බිලියන 15 ක් පමණවන බව ප්‍රකාශකර ඇත.ඉන් වසර දෙකකට පසුව   විශ්වයේ ප්‍රසාරණයෙහි මුල මහා පිපිරුමක් බව ජෝර්ජ්ස් ලෙමයිටේ විසින් පෙන්වාදෙයි. ඒ ඇසුරෙන් මහා පිපුරුම් වාදය ගොඩ නැගින.

ක්‍රිස්තු වර්ෂ 1930

දසවැනි ග්‍රහලොව එනම් ප්ලූටෝ සොයා ගැනීමේ ඓතිහාසික සංසිද්ධිය සිදුවිය. ඇමරිකානු ජාතික කලයිඩ්ස් ටොම්බා විසින් අරිසෝනාහි ඇති ලොවෙල් නිරීක්ෂණාගාරයේදී   ප්ලූටෝ සොයාගැනීමට සමත් විය.නමුත් වර්තමානයේ ප්ලුටෝ ග්‍රහලොවක් ලෙස සලකණු ලබන්නේ නොමැත.එය වාමාන ග්‍රහ තත්වයේ පවතින අතර ප්ලූටෝ වාමාන ග්‍රහයා ලෙස නම්කරයි.


කලයිඩ්ස් ටොම්බා

සුබ්‍රමනියන් චන්ද්‍රසේකර් නම් වූ ඉන්දීය තාරකා විද්‍යාඥයා තරුවක වාමාන අවස්ථාව හඳුන්වා දුනි.කිසියම් තරුවක ස්කන්ධය 1.44ට වඩා වැඩිවූවිට එම තරුව පිපිරී අවසානයේ සුදු වාමාන තරුවක් බවට පත්වන බවට ඔහු විසින් ප්‍රකාශකර ඇත. 1933 දී සිදුවූ මෙවැනි පිපිරුමක් ඇසුරින් නියුට්‍රෝන තරුවක් බිහිවන බව වෝල්ටර් බාඩී සහ ෆරීට්ස් ස්වික් විසින් ප්‍රකාශකර ඇත.

ක්‍රිස්තු වර්ෂ 1932

රේඩියෝ තාරකා විද්‍යාව කාල් ජැන්ස්ක් නම් විද්‍යාඥයකු විසින් ලොවට හදුන්වා දෙයි.මොහු විසින් අභ්‍යාවකාශයේ සිට  පැමිනෙණ  රේඩියෝ තරංග ප්‍රථම වරට හදුනා ගෙන ඇත.සුර්යයාගෙන් පැමිණෙන රේඩියෝ තරංගද මොහු විසින් හදුනාගත්හ.ඉන් වසර 7කට පසුව කැබ් නිහාරිකාව ,M 87 හා සෙන්ටෝරස් A යන වස්තූන්ගෙන්ද පැමිණෙන රේඩියෝ තරංගද මොහු විසින් හදුනා ගැනීමට සමත්විය.

ක්‍රිස්තු වර්ෂ 1938

ජර්මන් ජාතික තාරකා භෞතික විද්‍යාඥ හෑන්ස් බීත් විසින් තරුවක ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් ඉදිරිපත්කරයි. තරුවක් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් සිදුකරන බව පෙන්වාදුන් අතර  හඩ්‍රජන් හීලියම් බවට පත්වීමේදී විශාල ශක්තියක්ද නිකුත් කරන බව සොයාගෙන ඇත.මෙහිදී තරුවකට අවුරුදු බිලියන ගණනාවක් පුරා ශක්තිය නිපදවිය හැකි බවද ඔහු පෙන්වාදුනි.

ක්‍රිස්තු වර්ෂ 1944

ප්‍රථම බැලැස්ටික මිසයිලය  නිපදවනු ලැබීය.V2 ලෙස මෙය හැදින්වු අතර මේ සඳහා රොකට් තාක්ෂණය යොදාගත්හ. මෙය වර්නර් බ්‍රෝන් ප්‍රමුඛ පරමාණු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිපදවූහ.මේ කණ්ඩායම දෙවන ලෝක යුද්ධයෙන් පසු අත් අඩංගුවට ගැනුණු අතර ඇමරිකානු හා රුසියානු රොකට් තාක්ෂණ කටයුතු සංවර්ධනයට මොවුන්ව යොදාගෙන ඇත.


V2 රොකට්ටුව

ක්‍රිස්තු වර්ෂ 1948

ලොව විශාලතම දුරේක්ෂයවන හේල් දුරේක්ෂය කැලිෆෝනියාවේ පැලෝමර් කන්දෙහි ක්‍රියාත්මක කෙරිණ.මෙම දුරේක්ෂයේ දර්පණය මීටර 5.1 විශ්කම්භයකින් සමන්විතවන අතර මෙහි උස මීටර 1713 වේ.


හේල් දුරේක්ෂය

Read More

තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (4 කොටස)

(තාරකා විද්‍යාවේ අතීත පියසටහන් පසුගිය කොටස හා සම්බන්ධවීමට)

ක්‍රිස්තු වර්ෂ 1868

සූර්යය ග්‍රහණ අවස්ථාවකදී සූර්යයාගේ වායුගෝලය නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥයෝ පිරිසක් විසින් වර්ණාවලීක්ෂයේ දීප්ත විමෝචන රේඛාවක් සොයාගත්හ.

මෙම රේඛා කිසියම් මූල ද්‍රව්‍යක් නිසා ඇතිවන බවත් මෙම මූල ද්‍රව්‍ය පෘථිවිය තුල එතෙක් සොයාගෙන නැති බවත් බ්‍රිතාන්‍ය ජාතික නොවර් ලොකියෝ පවසා ඇත.මොහු විසින් මෙම මූල ද්‍රව්‍ය ග්‍රීක බසින් “හිරු” යන අර්ථය ඇතිව “හීලියම්” ලෙස නම් කර ඇත.

ක්‍රිස්තු වර්ෂ1872

තරුවක වර්ණාවලිය ඡායාරූපයට ගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. වේගා තරුවේ වර්ණාවලිය ඡායාරූපයට ගත කරමින් ඇමරිකාවේ හෙන්රි ඩ්‍රෙපර් විද්‍යාඥයා විසින් තරුවක් තැනී ඇති රසායනික සංයුතිය වර්ණාවලියේ දිස්වන අශෝෂණ රේඛා මඟින් පෙන්වා දී ඇත.මේ හේතුවෙන් බොහෝ විද්‍යාඥයෝ තරු වල පරිණාමය කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට වර්ණාවලිය යොදාගෙන ඇත.විලියම් හයිගින්ස් නම් තාරකා විද්‍යාඥයා මෙවැනි අවශෝෂණ රේඛා ඇසුරින් තරුවක රක්ත විස්ථාපනය(red shift) හැදෑරීමෙන් තරුවක් කෙතරම් වේගයෙන් චලිත වෙනවාදැයි සෙවීමට උත්සාහ කර ඇත.

ක්‍රිස්තු වර්ෂ1877

ඉතාලි ජාතික ජියෝවානි විසින් අගහරු ග්‍රහයා පරීක්ෂාකරමින් සිටියදී අගහරුමත ඇති විශේෂ රේඛා විශේෂයක් හඳුනා ගෙන ඇත.ඔහු විසින් මෙම රේඛා “කැනාලී” ලෙස හදුන්වාදුනි.නමුත් මොහොගේ ලිපි ලේඛන හා සිතුවම් පිළිබඳ අධ්‍යනය කල බොහෝ දෙනා සිතනු ලැබුවේ මෙම රේඛා යම් පිරිසක් විසින් කෘතිමව නිර්මාණය කර ඇති ඇල මාර්ග පද්ධතියක් බවයි.එහෙයින් අගහරු මත කිසියම් බුද්ධිමත් ජීවීන් කොටසක් වෙසෙන බව බොහොදෙනාගේ මතය විය.

ක්‍රිස්තු වර්ෂ1884

ඇමරිකාවේ වොෂින්ටන් හි එක් රැස්වූ තාරකා විද්‍යාඥයින් කාලගුණ විද්‍යාඥයි හා භූ විද්‍යාඥයින් ඇතුලු ලොව රටවල් රැසක විවිධ නිලධාරීන් විසින් ජාත්‍යන්තර වේලාව මැනීමට එංගලන්තයේ ග්‍රීනිවිච් මධ්‍යන රේඛාව යොදා ගැනීමට සම්මත කෙරිනි.

ක්‍රිස්තු වර්ෂ1891

අහස පිළිබඳ අධ්‍යනයේ යෙදුනු මැක්ස් වුල්ෆ් විසින් අහසේ ඡායරූප ලබා ගනිමින් නව ග්‍රහක රැසක් හදුනාගත්හ. එමගින් නව ග්‍රාහක බොහෝ සංඛ්‍යාවක් සොයා ගැනීමට මඟපෑදුනි.

ක්‍රිස්තු වර්ෂ1895

අදියර කිහිපයක් යටතේ අභ්‍යාවකාශ යානා පිළිබඳව මුලින්ම සිද්ධාන්ත ඉදීරිපත් කිරීමේ ගෞරවය කොන්ස්ටන්ටින් සිඔල්කොව්ස්කිටය.මෙහිදී ඔහු ගේ විශිෂ්ඨතම සොයා ගැනීම වන්නේ රික්තකයක් තුළින් වූවද ප්‍රචාලනය විය හැකි රොකට්ටුවකි.

 

කොන්ස්ටන්ටින් සිඔල්කොව්ස්කි

සිඔල්කොව්ස්කි රොකට්ටුවේ ආකෘතියක්

ක්‍රිස්තු වර්ෂ1901

තරු පිළිබඳව තොරතුරු අඩංගුකොට හෙන් රිඩ්‍රේප්‍ර නාමාවලිය එළිදැක්වීය.මෙලෙස එළිදැක්වීමේදී තරුවල වර්ණාවලි අනුව තරු වර්ගීකරන ක්‍රමයක් යොජනා කරන ලද්දේ ජ්ම් කැනන් නම් විද්‍යාඥයා වීසිනි.මෙම නාමාවලි වර්තමානයේද භාවිත වේ.

ක්‍රිස්තු වර්ෂ1905

ජර්මන් ජාතික මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් විසින් තාරකා විද්‍යාවේ මහත් විප්ලවයකට තුඩුදුන් අවකාශ කාලය අලලා සාපේක්ෂතාවාදය හෙලිකරන ලදී.තවද E = mc²යන සුප්‍රසිද්ධ සමීකරණය මගින් ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාවක් පෙන්වාදුන්හ. මෙම සමීකරණය සාපේක්ෂතා වාදය හේතුවෙන් බිහි වූවක් ලෙස සැලකේ.

ක්‍රිස්තු වර්ෂ1906

තරුවක නිරපේක්ෂ දීප්තිය මැනීමට ක්‍රමයක් සොයාගැනීම සිදුවිය. මේ අනුව අපගේ ක්ෂීරපථයේ ඇති තරුවලින් සියයට අනූවකම නිරපේක්ෂ දීප්තිය හා වර්ණය අතර සම්බඳකමක් ඇතිබවද පෙනවාදී ඇත.මෙම සොයා ගැනීම එජ්නර් හට්ස්ප්‍රන්ග් විසින් ඉදිරිපත් කළ අතර 1913 දී හෙන්රි රසල් විසින් තවදුරටත් රූපසටහන් මගින් පෙන්වාදී ඇත.

මතු සම්බන්ධයි.

Read More

තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (3 කොටස)

(තාරකා විද්‍යාවේ අතීත පියසටහන් පසුගිය කොටස හා සම්බන්ධවීමට)

ක්‍රිස්තු වර්ෂ 1800

සූර්ය ආලෝක කිරණ ප්‍රිස්මයක් හරහා යවා ප්‍රිස්මය තුලින් වෙන්වන එක් එක් වර්ණ වලට අදාළ ප්‍රදේශවල උෂ්ණත්වමාන තබා එම වර්ණ වලට අදාල උෂ්ණත්වය මැන වර්ණාවලිය හැදෑරූ ප්‍රථම අවස්ථාවයි.

මෙලෙස විලියම් හර්ෂල් නම් විද්‍යාඥයා විසින් නියම කරණු ලැබූයේ තරුවක පිටවන ආලෝක වර්ණාවලියයි.එහිදී රතු අනන්තයට ඔබ්බෙන් ශක්තියෙහි ක්ෂනික වැඩිවීමක් දුටු ඔහු ඒ අතර අදෘශ්‍යමාන අධෝරක්ත කිරණ පවතින බව සොයාගෙන ඇත.

 

ක්‍රිස්තු වර්ෂ 1801

පෙර සියවසයක්දී ගුයිසෙප් පියාසි විසින් අගහරුත්,බ්‍රහස්පතීත් අතර පිහිටි වස්තුවක් සොයාගෙන එය සෙරස් ග්‍රහයා ලෙස නම්කර ඇත.එහෙත් කි.මි 320 ක් විශ්කම්භයක් ඇති මෙය කිසිසේත් ග්‍රහලොවක් නොහැකි බව විලියම් හර්ෂල් විසින් පෙන්වා දී ඇත. ඔහු විසින් එය ග්‍රහකයක් ලෙස නම් කර ඇත.ඉන් අනතුරුව මේ කලාපයේ තිබී ග්‍රහක රැසක්ම සොයා ගැනිණි.නමුත් වර්තමානයේදී සිදුකර ඇති ගණනය කිරීම් අනුව සෙරස්ගේ සැබෑ විශ්කම්භය කි.මි932ක් වේ.නමුත් එය ග්‍රහලොවක් ලෙස සැලකීමට ප්‍රමාණවත් විශ්කම්භයක් නොවේ.

ක්‍රිස්තු වර්ෂ 1814

ලොව ප්‍රථම  වර්ණාවලීක්ෂය

ලොව ප්‍රථම නිවැරදිම වර්ණාවලිමානය හෙවත් වර්ණාවලීක්ෂය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ජෝෂප් වෝන් ෆ්‍රරෝන්හොෆර් නම් විද්‍යාඥයාටයි.මොහු මෙම වර්ණාවලිමානය මගින් හිරුඑළියේ ඇති වර්ණ හදාරන විටදී වර්ණාවලිය තුල අදුරු පැහැ රේඛා සියයකට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගත්හ.මෙම රේඛා පිළිබඳ වැඩි දුර අධ්‍යයනය කල මොහු මෙම රේඛා මඟින් සූර්යයාගේ වායුගෝලයේ ඇති මූල ද්‍රව්‍ය නිරූපනයවන බව1859 දී සොයාගැනින. මෙම වර්ණාවලීක්ෂය මඟින් තරුවක ඇති සංයුතිය හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.

ක්‍රිස්තු වර්ෂ 1838

තරුවකට ඇති දුර ආසන්න වශයෙන් සෙවීමට හැකි ක්‍රමයක් සොයා ගැනීම මෙම වර්ෂයේදී සිදුවිය.ෆෙඩ්‍රිරිච් බෙස්ල් නම් විද්‍යාඥයා විසින් සොයාගත් මෙම ක්‍රමයෙන් සිග්නි 61 නම්වූ තරුවකට ඇති දුර ගණනය කර ඇති බව සඳහන් වේ.

ක්‍රිස්තු වර්ෂ 1843

සූර්යය ලප චක්‍රයක් ඇතිබව මෙම වර්ෂයේ හෙළිවිය.හෙන් රිච් ෂේවෝබ් නම් ජර්මන් ජාතික ආධුනික තාරකා විද්‍යාඥයා විසින් වසර 17ක් පුරා මෙලෙස සූර්යයා නිරීක්ෂනය කරමින් සූර්යය ලප චක්‍රයක් ඇතිබවත් එම සූර්යය ලප වැඩිවිමින් අඩුවෙමින් නැවත් වැඩිවෙමින් යන චක්‍රයක් ආකාරයට සිදුවන බවත්.මෙලෙස වසර 17 කට පසු නැවත වරක් මෙම චක්‍රයට සූර්යය ලප දැකිය හැකි බවත් ඔහුවිසින් සොයා ගෙන ඇත.මෙම සොයා ගැනීමේන් සූර්යයාට අභ්‍යන්තරයක් ඇති බවද හෙළිවිය.

ක්‍රිස්තු වර්ෂ 1845

තාරකාවිද්‍යා ඡායාරූපකරනයේ (Astrophotography) උපත 1845 දී සිදුවිය.ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයන් වූ ජීන් ෆෝකෝල්ට් සහ ආමන්ඩ් ෆිසෝ විසින් ප්‍රථම වරට හිරුගේ පෘෂ්ඨය ඡායාරූප ගත කෙරින.දුරේක්ෂයක් ආධාරයෙන් ගනුලැබූ හිරුගේ මෙම සවිස්තරාත්මක ඡායාරූපය ලොවපුරා ප්‍රසිද්ධව ඇත.ඊට පසු ගතවූ පස්  වසර තුල තාරකා විද්‍යාඥයින් විසින් සඳෙහි ඡායරූප ලබාගැනීමටද සමත්ව ඇත.නමුත් එම වකවානුවේ තිබූ දළ සේයාපටල සංවේදීකමින් අඩු බැවින් තාරකා සහ අනෙක් ගැඹුරු ආකාශවස්තු ඡායරූප ගත කිරිමට නොහැකිවී ඇත.

ක්‍රිස්තු වර්ෂ 1846

යුරේනස් ග්‍රහයාට පිටුපසින් තවත් ග්‍රහලොවක් ඇතිබවට ප්‍රංශයේ සිටි අර්බයින් ලිවේරියර් සහ ජෝන් සී ඇඩම්ස් විසින් ගණිතානුසාරයෙන් පෙන්වීමත ජර්මන් ජාතික තාරකා විද්‍යාඥයකු වූ ජොහාන් ගොඩ්ෆ්‍රීඩ් ගෝල් විසින් නෙප්චූන් නම් ග්‍රහයා සොයා ගැනීමට සමත්විය.

ක්‍රිස්තු වර්ෂ 1864

විලියම් හර්ෂල් විද්‍යාඥයාගේ පුතෙකු වූ ජෝන් හර්ෂෙල් විසින් නිහාරිකා සහ තරු පොකුරු 5,000 වැඩි ප්‍රමාණයක් ඇතුලත් තාරකා නාමාවලියක හඳුන්වාදී ඇත.

4වන කොටස

Read More

තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (2 කොටස)

(තාරකා විද්‍යාවේ අතීත පියසටහන් 1 කොටස හා සම්බන්ධවීමට)

ක්‍රිස්තු වර්ෂ 1610

මෙම වකවානුවේදී ගැලීලියෝ ගැලීලි ඔහු විසින්ම මහත් වෙහෙසක් දරා වර්ධනය කරගත් දුරේක්ෂය උපයෝගීකර ගනිමින් සිදුකල නිරීක්ෂණ වැදගත් ස්ථානයක් ගනී. ගැලීලියෝ ගැලීලිට පෙර ඕලන්ද ජාතික හැන්ස් ලිපර්ෂේ විසින් කාච තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතයට ගෙන දුරේක්ෂ නිර්මාණය කර ඇත.

නමුත් මොවුන් මේ දුරේක්ෂ තාරකා විද්‍යා නිරීක්ෂණ සඳහා එතරම් යොදාගෙන නොමැත.ගැලීලියෝ ගැලීලි තම දුරේක්ෂය උපයෝගී කරගනිමින් මෙතෙක් කිසිවකුත් දැක නොතිබූ විශ්වීය විභූතිය ලෝකයා වෙත දිග හරිනු ලැබීය.ගැලීලියෝ තම දුරේක්ෂය භාවිතයට ගනිමින් මෙතෙක් පියවී ඇසින් දැක නොතිබූ තාරකා රැසක්ම හදුනාගත්හ.තවද එවකට විශ්වාස කල ඈත අහසේ වලාකුලක් මෙන් පෙනෙන තාරකා පොකුරු වාළාකුල් නොව ඒ ආකාරයට පෙනෙන්නේ තාරකා දස දහස් ගණනක එකතුවක් බවත් ඔහු පෙන්වාදී ඇත.ග්‍රහලෝක නිරීක්ෂණය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වු මොහුගේ ප්‍රථම අවධානය යොමුවී ඇත්තේ අපගේ චන්ද්‍රයාටය. ඇරිස්ටෝටේලියානුවන්ගේ පරිශුද්ධ ගෝල සංකල්පයට අනුව සඳයනු සුමුදු මතුපිටක් ඇති ගෝලයක් බවට විශ්වාස කලද ගැලීලියෝ සඳයනු සුමුදු පෘෂ්ඨයක් ඇති ගෝලයක් නොව කඩතොළු ආවාට වලින් පිරි පෘථිවිය බඳුවූ ගෝලයක් බවපෙන්වාදී ඇත.ගැලිලියෝගේ මිළග අවධානය යොමුවී ඇත්තේ බ්‍රහස්පතීග්‍රහයා වෙතයි.ඔහු බ්‍රහස්පතීග්‍රහයාට චන්ද්‍රයින් සතර දෙනෙක් ඇති බව සොයාගත්හ. එපමණක් නොව හිරුට සමීපව ඇති බුධ ග්‍රහයාගේ චලිතය පිළිබඳවද ඔහු විසින් අධ්‍යයනය කර ඇති බව සඳහන්වේ.තවද හිරු ලප හඳුනාගත් මොහු එම හිරු ලප වසරේ එක් එක් කාලයන්හිදී දැකිය හැකිබව නිගමනය කර ඇත.පසු කලෙක ගැලීලියෝ අන්ධ භාවයට පත්වී ඇත්තේ දුරදක්නය මගින් සූර්යා එක එල්ලේ නිරීක්ෂනය කිරීම හේතුකොට ගෙන බව සැලකේ.

 

ගැලිලියෝ ගැලිලි

ගැලීලියෝ සිතියම් ගත කළ සූර්යය ලප

ගැලීලියෝ සිතියම් ගත කළ චන්ද්‍රයා

ගැලීලියෝ දූරේක්ෂය

ක්‍රිස්තු වර්ෂ 1655

සෞරග්‍රහමණ්ඩලයේ අලංකාර ග්‍රහයකු වන සෙනසුරුග්‍රහයාගේ වලලු පද්ධතියක් ඇති බවට මෙම වර්ෂයේදී සොයාගෙන ඇත. ක්‍රිස්ටියන් හයිජන් නම් විද්‍යාඥයා විසින් මෙලෙස සෙනසුරු වලලු පද්ධතිය සොයාගෙන ඇත.තවද සෙනසුරුගේ ප්‍රධාන උපග්‍රහයාවන ටයිටන්ද මොහු විසින් සොයාගත්තකි.මෙය දුරේක්ෂ තාක්ෂණයේ දියුණුව පිළිබඳ සාක්ෂිදරයි.

ක්‍රිස්තු වර්ෂ 1663

ප්‍රථම පරාවර්තක දුරේක්ෂය නිර්මාණය වීම ක්‍රිස්තු වර්ෂ 1663 දී සිදුවිය.ස්කොට් ජාතික විද්‍යාඥ ජේම්ස් ගෙගරි විසින් මෙලෙස පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කර ඇත.විශාල විවරයක් සහිතව උපරිමයෙන් ආලෝකය ග්‍රහණයවන අයුරින් සකස් කර ඇති මෙම දුරේක්ෂය කාච වෙනුවට දර්පණ භාවිතාකර ඇත.ඊට පසු පස් වසරක් තුලදී මෙම දුරේක්ෂය අයිසෙක්ට් නිව්ටන් විසින් වැඩි දියුණුකර ඇති බවට සැලකේ.මෙලෙස දියුණු කර ඇති දුරේක්ෂය “නිව්ටෝනියානු” දුරේක්ෂය ලෙස ලොවට හදුන්වා දුන්හ.

නිව්ටෝනියන් දුරේක්ෂය

ක්‍රිස්තු වර්ෂ 1705

මෙම වර්ෂයේ දී එඩ්මඩ් හැලී නම් විද්‍යාඥයා වල්ගා තරු හෙවත් ධූමකේතු පිළිබඳව සංඛ්‍යාලේකන එක් රැස් කිරීම සිදුකරනලදී.මේ අනුව මෙම ධූමකේතු අවුරුදු 76 කට වරක් දිස්වන බවත්,1456 සහ 1682 යන වර්ෂයන් දෙකෙහි දිස්වූයේ එකම වල්ගාතරුවක් බවත් එඩ්මඩ් හැලී විසින් ලොවට ප්‍රකාශ කොට ඇත.එසේම 1758 දී දිස්වූ වල්ගාතරුව “හැලීගේ ධූමකේතුව” ලෙස නම් කර ඇත.

ක්‍රිස්තු වර්ෂ 1750

නිකලස් ඩී ලැක්යිලේ විසින් සිතියම් ගතකල තාරකා සිතියම

ප්‍රංශ ජාතික විද්‍යාඥ නිකලස් ඩී ලැක්යිලේ විසින් දකුණු අහස් කුස සිතියම් ගතවිය.ඔහු දකුණු අහසෙහි ඇති තාරකා දස දහසකට අධික ප්‍රමාණයක් නම් කර නව තරු නාමාවලියක් හදුන්වා දුන්හ.තවද හැලි සහ තවත් විද්‍යාඥයින් පිරිසක්ද මෙලෙස දකුණු අහස පිළිබඳ එලි දැක්වූ නාමාවලි ද බොහෝදුරට අංගසම්පූර්ණවේ.මෙම නාමාවලියේ අඩංගු ඇතැම් තාරකා වර්තමානයේද භාවිතා කරන නාමාවලියේ අඩංගුව ඇත.

ක්‍රිස්තු වර්ෂ1781

පියවී ඇසට නොපෙනෙන ග්‍රහලොවක් සොයා ගැනීම ක්‍රි.ව1781 දී සිදුවිය.එය විලියම් හර්ෂෙල් නම් විද්‍යඥයා විසින් තම දුරේක්ෂය ආධාරයෙන් සොයාගෙන ඇත.මෙම ග්‍රහලොව යුරේනස් ග්‍රහලොවයි.යුරේනස් ග්‍රහලොව ප්‍රථමයෙන් ඔහු ධූම කේතුවක් යැයි සැලකූවද පසුව ඔහු විසින් එය ග්‍රහලොවක් බව සාක්ෂි සහිතව හදුන්වා දුන්හ.

ක්‍රිස්තු වර්ෂ1784

ප්‍රථම වරට තරු පොකුරු සහ නිහාරිකා අඩංගු කොට නාමාවලියක් එළිදැක්වීම මේ වර්ෂයේදි සිදුවිය. චාල්ස් මෙසියර් විසින් එළිදැක්වූ මෙම නාමාවලිය මෙසියර් නාමාවලිය ලෙස හැදින්වේ.මෙම නාමාවලිය ලොවපුරා ඉතාමත් ප්‍රසිද්ධ වූ අතර මෙය 21 වන සිය වසේදී තරු පොකුරු සහ නිහාරිකා පිළිබඳ අධ්‍යනයට යොදාගනී.

තෙවන කොටස

Read More