තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (1 කොටස)

“සමන්පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට” යනුවෙන් වර්ණනාවට ලක්වූ රාත්‍රී අහසේ ග්‍රහ තාරකා හා වෙනත් ආකාශවස්තු පිළිබඳ කවි ඔබ අසා ඇතුවාට සැකයක් නැත. රෑ අහස මේ ආකාශ වස්තු මවන අසිරිය නෙත් සිත් පිනවයි. මේ අහස කෙතරම් ආශ්චර්යය වත්ද.

මානව ශිෂ්ඨාචාරයේ මුල් යුගයේ සිටම අහස හා ආකාශවස්තු මිනිස් වර්ගයාගේ විමසිල්ලට ලක් වීය.මේ ආකාශවස්තු පිලිබඳ වූ විද්‍යාව තාරකා විද්‍යාව බවට නොදන්නෝ නොවෙති.තාරකා විද්‍යාව යනු ලොව ඉපැරණිතම විද්‍යාවයි.නමුත් මෙතරම් පෞරානික වූ තාරකා විද්‍යාව පිලිබඳ ඇල්මක් ඇති අප මොහොතක්වත් මෙය ආරම්භවූයේ කෙසේ දැයි සොයා බැලුවාද? එසේනම් අපි තාරකා විද්‍යාව ප්‍රවර්ධනය හා එහි ඉතිහාසයට යමු.

 

තාරකා නිරීක්ෂණ පිලිබඳ නිරීක්ෂණ වාර්තා ලිඛිතව එනම් මැටි ඵලකතුල සටහන් කරමින් ක්‍රී.පූ1500 දී පමණ කාලයේ සිට බැබිලෝනියාවෙන් තාරකා විද්‍යාව ආරම්භවී ඇතැයි සැලකේ. බැබිලෝනියානු ශිෂ්ඨාචාරය විසින් බටහිර ලෝකය වෙත කරන ලද මහත්ම බල පැමක් ලෙස තාරකා විද්‍යාව සැලකිය හැකිය.කාලය මනින පැය,දින,සති,මාස ක්‍රමය අප අතරට ලැබුනේ බැබිලොනියාවෙනි. ග්‍රහලෝකවල නමින් දිනයන් නම් කිරීම බැබිලෝනියාවේ තාරකා විද්‍යා දැනුම පිලිබඳ හොඳම නිදසුනයි.බැබිලෝනියානුවෝ චන්ද්‍රයාට මුල් තැනක් දුන්හ.ඔවුන්ගේ වර්ෂය දින තිහක චන්ද්‍ර මාස දොළහකින් යුත් දින 360 කින් සමන්විත විය.මෙහිදී ඇතිවූ ගැටලුවලට පිළියම් වශයෙන් හැම හයවැනි වර්ෂයකටම වැඩිපුර චන්ද්‍ර මාසයක් එක් කළහ.

බැබිලෝනියානු තාරකා විද්‍යාව ජෝතිශ්යමය  ස්වරූපයක් ගත්තකි. ක්‍රි.පූ 668-625 දී පමණ ඇසිරියාවේ විසූ අසුර්ඛනිපාල් රජු විසින් රචනාකරන ලද තාරකා විද්‍යා පුවරු විශාල සංඛ්‍යාවක් තැන්පත් කර තිබූබව වාර්තාවේ.තවද මෙසේ තැන්පත් කර තිබූ තවත් ලේඛනයක් ක්‍රී.පූ 3800 විසූ පළවන සාර්ගෝන් රජුගේ කාලයට අයත් බව වාර්තාවේ.මේ අයුරින් ඇසිරියානුවෝ දිනපතා ග්‍රහලෝකයන්හි හැසිරීම් රටාව නිරීක්ෂණයකර ඒවා ගණනය කොට ඒවායේ වාර්තාවන් සාදා ඇතිබවට වාර්තාවේ.මෙම වාර්තාවන් අසුර්ඛනිපාල් රජු විසින් අනෙකුත් නගර වලට බෙදාදී ඇතිබවත් පසු කලෙක මෙම මෙම වාර්තාමගින් අනාවැකි පලකලබවත් එම අනාවැකි පලකිරීමේ කාර්යය පූජකවරුන්ගේ කාරයක් බවට පත්වුන බවත් ඉතිහාසයේ සඳහන්වේ.පූජ්‍යස්ථානවල විශාල ගල් කුලුණු ඉදිකොට ගෙන සරල උපකරණ මගින් අහස නිරීක්ෂණය කර අනාවැකි පළකලහ.බැබිලෝනියාවේ බාබල්ගේ කුලුණ මෙයට ශාක්ෂි දරයි.එවකට හඳුනාගෙන තිබූනේ ග්‍රහලෝක පහක් පමණි.මෙම ග්‍රහලෝක පහ සහ හිරු ,සඳු පිළිබඳ ඔවුන්ගේ විමසිල්ලට ලක්විය.තවද මෙම යුගයෙහි ඔවුන් සතුව කාලය මනින ඔරලෝසුවක් වැනි යමක් තිබී ඇති බව පුරාවිද්‍යා ග්‍රන්ථවල සඳහන්ව ඇත. නමුත් විශ්වය පිළිබඳ ඔවුන්තුල වූයේ නොපැහැදිලි සංකල්පයකි.මන්දයත්,ඔවුන් පෘථිවිය කවාකාර භූමියක් බවද ඒවටා විශාල ගඟක් ගලායන බවද ගඟ මහසයුරට ඔබ්බෙන් පිහිටා ඇති බවද අහස රැදී ඇත්තේ උස් කදු මුදුන්වල බවද විශ්වාසය විය.

බැබිලෝනියානුවන් සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහන පිළිබඳ විශේෂ ලෙස අවධානයක් යොමුකර ඇත. සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහන පිළිබඳ වාර්තා තැබීම බැබිලෝනියානුවන්ගෙන් තාරකා විද්‍යාවට සිදුවූ අමිල සේවයකි.පසු කලෙක මෙම වාර්තා ක්ලෝඩියස් ටොලමි විසින් නිරීක්ශණයට යොදාගෙන ඇත.

මේ භාගයේදීම ඊජීප්තුව තරකා විද්‍යාව අතින් දියුණුවක් ලබාසිටියහ.මේබව පැරණි ඊජීප්තු පිරමීඩ වලින් හමුවූ චිත්‍ර හා අක්ෂර වලින් පැහැදිලිවේ. මෙවන් දැවැන්ත පිරිමීඩ සෑදිමට හා විශාල ඇළ වේලි ඉදිකිරීමට ඔවුන් තාරකා උපයෝගීකර ගත්හ.ඔවුන්ගේ වසරක් දින 360 කට සීමාවිය.එහෙත් පසුව එම ගණනයන් අවුල් සහගත නිසා වසරකට දින 5ක මාසයක් එක කළහ.තවද දින 1/4ක් එකතුකර එය අධික වර්ෂයක් ලෙස නම් කොට ඇත,මෙලෙස අදික වසරක හදුන්වා දීඇත්තේ ටොලමිගේ යුගයේ ඇලෙක්සැන්ඩ්‍රියානු  නක්ෂත්‍ර විද්‍යාඥයන්වූ ග්‍රීකයන් විසිනි. ඊජිප්තුවරුන් විසින් දවසක් කොටස් දෙකකට වෙන්කර ඇත. එනම් දහවල පැය 12 හා  රාත්‍රීය පැය 12 ක් වන ලෙසයි. ඔවුන් කාලය මැන ගැනීමට හිරු තැටිය හා ජල ඔරලෝසුව භාවිතාකර ඇතිබව සඳන්වේ.

හිරු තැටිය

බැබිලෝනියානුවන් මෙන්ම ඊජීප්තුවරුන්ද විශ්වය පිළිබඳ විශේෂ  මතයක් දැරූහ.ඔවුන්ගේ මතය වුයේ අහස යනු පොලව වසා සිටින වහලයක් බවත් ආයත චතුරස්‍රකාර පෙට්ටියක් බඳුවූ කොන් හතරකින් ඉහලට නැගුණ කණු සතරකට අහස සවිවී ඇති බවත් පොළෝ තලය මදක් වක්‍රවූ අතර ඒ මැද නයිල් ගංඟාව වූ අතර හිරු දෙවියෝ දින පතා යෝධ අහසේ සිට ඇද හැලෙන ගංඟාවකින් ඔරුවක නැගී පැමිණ සිය දෛනික චාරිකාවේ යෙදෙන අතර ගංඟාවේ පළල නිසා හිරු දෙවියන් එක් එක් සෘතු වලදී පොළොවෙන් ඈතින් වූ ඟං ඉවුරට ළංව ගමන් කිරීමත් සිදුකරන බවය.සෘතු බිහිවූයේ මේ ආකාරයටය.ඔවුන්ද සූර්යය හා චන්ද්‍රයා පිලිබඳ අනාවැකි පලකර ඇතිබවට සාක්ෂි හමුවී ඇත.

අහසේ ඇති නොයෙක් වස්තූන් පිළිබඳ බැබිලෝනියානුවන් දේවත්වයෙහිලා සැලකුවද ග්‍රීකයෝ ඒවා සොබාදාමේ දායාදයන් ලෙස සැලකූහ.බැබිලෝනියානුවන් මෙන් නොව මොවුන් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ විශ්වය හා ග්‍රහවස්තු වෙත බව පෙනේ. ග්‍රීකයන්ද ග්‍රහවස්තු පිළිබඳ විවිධ මත දරා ඇත.ඇනෙක්ෂිමැන්ඩර් ගේ මතය වූයේ පෘථිවිය යනු අහසෙහි පාවෙමින් ඇති තැටියක් බවත්, සූර්යයා හා චන්ද්‍රයා ඇතුලු ග්‍රහවස්තූන් විනිවිද පෙනෙන ගෝලයක් තුල පිහිටා ඇති බවත්ය.පෘථිවිය මේ ගෝලයේ කෙන්ද්‍රය බව ඔහුගේ මතය වීය.තේල්ස් පවසා ඇත්තේ පෘථිවිය සමතලයක් මත පාවෙමින් ඇති තැටියක් බවයි.මේ අවදිකීපය සමඟ තාරකා විද්‍යාව විශාල ලෙස වර්ධනය විය.

 

ක්‍රිස්තු පූර්ව 3000
එංගලන්තයේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ ස්ටෝන්හෙජ් ගල්කුලුණු වේ. මෙය ඉතා සංකීර්ණ තාරකා විද්‍යා දින දර්ශනයකි.මේ ගල් කුලුණු හිරුට මෙන්ම චන්ද්‍රයාටද දිශානතව පිහිටයි.මේ මගින් කාලය මෙන්ම දිනයන්ද සඳන් කරගෙන ඇත.මෙය තාරකා විද්‍යාවේ විශේෂී වූ එක් වැදගත් සලකුණකි. තවද මේ වකවානුවේම ඊජීප්තුවේ සිදුවූ පිරිමීඩද වැදගත් තැනක් ගනී.  

ස්ටෝන්හෙජ්

ක්‍රිස්තු පූර්ව 700
බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් විසින් චන්ද්‍ර චක්‍රය නිර්මාණය කිරීම සුවිශේෂී සිද්ධියකි.මෙම චන්ද්‍ර චක්‍රය වසර 18.6 කින් සමන්විත වේ.මෙය “ප්‍රථම තරු ලිත” ලෙසද ඉතිහාසයේ සඳහන්වේ.මෙය චන්ද්‍ර ග්‍රහන පුරෝකථනයට විශේෂයෙන් යොදාගනී.

ක්‍රිස්තු පූර්ව 380
ග්‍රීක ජාතික ප්ලේටෝගේ ගණිතමය තාරකා විද්‍යාව කෙරෙහි ඇති ඇල්ම සුළු පටු නොවීය.ග්‍රහලෝක කක්ෂවල ගමන් කිරීමේදී ඇතිවන වෙනස්කම් පිළිබඳ ඔහු වැඩිපුර අවධානය යොමුකර ඇත.ඔහු ඉර හඳ මෙන්ම අනෙක් ග්‍රහලෝක පෘථිවිය වටා වෘතාකාර පථවල නිදහසේ ගමන්කරන බව එනම් පෘථිවිය කේන්ද්‍රකොට ගෙන ගමන් කරන බව ලෝකයට පැවසිය.මෙය භූකේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.

ක්‍රිස්තු පූර්ව 270
සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පැහැදිලි මතයක් ඉදිරිපත් කර ඇත්තේ මේ වකවානුවේය.සමෝස් හි වැසියකු වූ ඇරිස්ටාකස් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇතිබව කියවේ.මොහු ආකිමිඩිස්ගේ සමකාලීනයකු වන අතර පුද්ගලික ජීවිතය පිළිබඳ කිසිදු වාර්තාවක සඳහන්ව නොමැත.කෙසේවූවද, සූර්යයා ග්‍රහමණ්ඩලය පිළිබඳ මොහු ඉදිරිපත්කර ඇත්තේ මෙවැනි මතයකි, සූර්යයා නිසලව පවතින අතර ඒවටා පෘථිවිය ඇතුලු අනෙක් සෙසු ග්‍රහලෝක ගමන් ගන්නා බවයි.මෙය සූර්යය කේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.නමුත් මේ වකවානුවේ ජනතාව විසින් පිළිගෙන තිබුනේ පෘථිවිය කේන්ද්‍රකර ගත් සෞරග්‍රහමණ්ඩලයක් ඇතිබවයි.මේ හේතුවෙන් මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව තරමක් දුරට ගැටලු මතුවීය.

ක්‍රිස්තු පූර්ව 164
හැලීගේ ධූමකේතුව පිළිබඳ ප්‍රථම වරට වාර්තා වෙන්නේ බැබිලෝනියාවෙනි. ඔවුන් වාර්තා කළ ධූමකේතුවේ ගමන්මග පිළිබඳ දත්ත සියවස් ගණනාවක් පුරා ධූමකේතුවේ ගමන් මාර්ගයේ වෙනස්වීම් පුරෝකථනය කිරීමට 20 වන සියවසයේ විද්‍යාඥයින්ට ඉතා වැදගත් වීය.

ක්‍රිස්තු වර්ෂ 150
ලොව ප්‍රථම වරට තරුසිතියමක් හඳුන්වා දීම මේ වසරේදී සිදුවිය.ටොලමි විසින් හඳුන්වාදී ඇති මෙම තරු සිතියම තාරකා රාශි 48ක් ඇතුලත්ව ඇත. “භූකේන්ද්‍රවාදය” හිසමුදුනින් පිළිගත් ටෝලමි ගේ සියලු මත හා දාර්ශනික අදහස් එකතුව “අල්මාගෙස්ට්” (The Almagest) නම් ග්‍රන්ථය ලියන ලදී. මෙය පසු කාලීනව මධ්‍යම යුරෝපයේ සහ අරාබියේ ඉතාම ප්‍රසිද්ධියට පත් විය. එසේම ටොලමි ගේ අදහස් වසර 1500ක් යන තුරුත් නොවෙනස්ව පිළිගැනීමට බඳුන් විය.

ක්‍රිස්තු වර්ෂ 928
මේ වකවානුව විශේෂී වන්නේ තාරකා විද්‍යා නිරීක්ෂණ උපකරනයක් නිපදවීමයි. මෙය ඇස්ට්‍රෝලේබේ (Astrolabe) උපකරණය ලෙස නම් කර ඇති මෙය නිර්මාණය කොට ඇත්තේ ඉස්ලාම් ජාතික වඩු කාර්මිකයෙකු විසින් බව සැලකේ.මෙය තාරකාවල ග්‍රහලෝකවල පිහිටුම නිවැරදිව හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.මෙම උපකරණය          පසු කාලීන අරාබි විද්‍යාඥයින්ට ඉතාමත් ප්‍රයෝජනවත් වීය.

ඇස්ට්‍රෝලේබේ

ක්‍රිස්තු වර්ෂ 1050
මේ අවදියේ සිදුවූ සිදුවීම නම් අහස නිරික්ෂනය කරමින් සිටි චීන තාරකා විද්‍යාඥයින් අහසේ ක්ෂනිකව විශාල දීප්තියක් දැකීමයි. මෙය තරුවක් මිය යන අවස්ථාවක තරුවේ ශක්තිය මුදා හරිනා සුපර් නෝවා පිපිරුමක් ලෙස නම් කෙරිණි. ඇමරිකාවේ මුල් ජනපදිකයින්ගේ ගල් සිතියමක මේ තරුව සටහන් වී තිබින මෙය කකුළුවා එනම් ක්‍රැබ් තාරකා රටාව ආශ්‍රිතව වාර්තාවූ සුපර් නෝවාවකි.

ක්‍රිස්තු වර්ෂ 1540
නිකලස් කොපර්නිකස් නම් විද්‍යාඥයා විසින් විශ්වය පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කළහ.පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව පැවසූ ඔහු ග්‍රහලෝක වල ප්‍රතිගාමී චලිතය පැහැදිලි කලහ.

ක්‍රිස්තුවර්ෂ 1577 
ටයිකෝ බ්‍රාහේ විසින් ධූම කේතුවක් සොයා ගැනින.මෙය පෘථිවියේ සිට ඉතාමත් ඈතින් ගමන් කරන බව ඔහු පෙන්වාදුන්හ.

ක්‍රිස්තු වර්ෂ 1608
ඕලන්ද ජාතික ඇස් කන්නාඩි නිපදවන්නකු වූ හැන්ස් ලිපර්ෂේ දිනක් තම මේසය මත තිබු කාච දෙකක් අතට ගෙන ඒ කාච ඈත් මෑත් කරමින් ඈත ඇති දේවස්ථානයක මුදුනක් දෙස බලමින් සිටියදී ඔහු විශ්මය ජනක දෙයක් දුටුවේය. ඈත ඇති දෙවස්ථානයේ මුදුන කාච ඇත් කරන විට ළංව පෙනන බවත් ළංකල විට දුරස්ව පෙනෙන බවත් නිගමනය කළහ.මේ ක්‍රියාකාරකම හේතුවෙන් ලොව ප්‍රථම දුරේක්ෂය නිර්මාණය විය.මේ සොයා ගැනීම තාරකා විද්‍යාවේ නවතම පෙරළියක් ඇති කළහ.මේ ආරංචිය මුලු යුරෝපයම මහත් ආන්දෝලනයකට ළක් වීය.

ක්‍රිස්තු වර්ෂ 1609
ජර්මන් ජාතික ජොහැන්නස් කෙප්ලර් විසින් ග්‍රන්ථයක් එළිදැක්වීය. එය “නව තාරකා විද්‍යාව”(New Astronomy) නම් විය.මෙමගින් ඔහු විසින් නියම තුනක් එළිදැක්වීය.ඒවා ග්‍රහචලිත පිළිබඳ කෙප්ලර් නියම ලෙස හැදින්වේ. ග්‍රහලෝක චලනය වන්නේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සීය මාර්ගයක බව මොහු ප්‍රථම වරට ලොවට පැවසීය.

දෙවන කොටස

Read More

සූර්යග්‍රහණ ඇති වන්නේ මෙහෙමයි…

දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන සූර්යග්‍රහණ ඇති වන ආකාරය පිළිබද ඔබ මීට පෙර සිතා තිබෙනවාද? නෝ එසේනම් ඔබට සූර්යග්‍රහණ ඇති වන ආකාරය නිවැරදිව පැහැදිලි කල හැකිද?

 

රූපය-1

චන්ද්‍රයා මගින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අවහිර  කිරීමේ සංසිද්ධිය සරලව සූර්යග්‍රහණයක් ලෙස හදුන්වයි. මෙලෙස අවහිර වීමට නම් අනිවාර්යයෙන්ම චන්ද්‍රයා, සූර්යයා හා පෘථිවිය මැදට(රූපය-1 ආකාරයට) පැමිණිය යුතුය. අප චන්ද්‍රයා මෙවැනි ආකාරයක පිහිටීමකට පැමිණෙන දින හැදින්වෙන්නේ අමාවක දින නමිනි. මේ අනුව සූර්යග්‍රහණයක් සිදුවනවා නම් එය සිදුවිය යුත්තේ අනිවාර්යයෙන්ම අමාවක දිනකදීය. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් සිදු නොවන බවද ඔබ හොදින් දනී. මේ පිලිබදව අපි පසුව හේතු විමසා බලමු. ඊට පෙර සූර්යග්‍රහණයක් ඇති වන ආකාරය තරමක් ගැබුරින් සොයා බලමු.  ඉහත රූපය-1 සටහනේ දිස් වන්නේ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය පිහිටන ආකාරය දැක්වෙන සටහනකි. මෙහි තද අදුරු බවකින් යුත් චන්ද්‍රයාගේ සෙවනැල්ල ‘පූර්ණ චායාව’ ලෙස හැදින්වේ. තද බවින් අඩු චන්ද්‍රයාගේ දෙවන සෙවනැල්ල ‘උප චායාව’ ලෙස හැදින්වේ. චන්ද්‍රයාගේ මේ කුමන සෙවනැල්ලකට හෝ හසු වී පවතින පෘථිවියේ වෙසෙන පුත්ගලයෙකු හට සූර්යග්‍රහණයක් දර්ශණය වේ. මුළු පෘථිවියම සැලකූ කල මෙලෙස සෙවනැල්ලෙන් වැසී යන්නේ තරමක් කුඩා බිම් පෙදෙසක් බවද ඔබට පැහැදිලිය. සූර්යග්‍රහණ සුවිශේෂී වන්නේද මේ ආකාරයට පෘථිවියේ කුඩා බිම් පෙදෙසකට එය පෙනීම සීමා වන නිසාවෙනි.

රූපය-2

රූපය-1 හි දැක්වෙන චන්ද්‍රයාගේ සෙවනැල්ල මේ ආකාරයටම එකම ස්ථානයක නැවතී පවතින්නක්ද නොවේ. පෘථිවිය හා චන්ද්‍රයා, අභ්‍යවකාශයේ නිශ්චලව පවතින වස්තූන් නොවේ. පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටා ඉලිප්සාකාර පථයක ගමන් කරයි. එමෙන්ම චන්ද්‍රයාද, පෘථිවිය මෙන් තමා වටා කරකැවෙමින් පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ශයක ගමන් කරයි. මේ හේතූන් නිසා පෘථිවිය මතට වැටෙන චන්ද්‍ර චායාව එකම තැන නොසිට පෘථිවියේ යම් ප්‍රදේශයක් හරහා ගමන් කරයි. පෘථිවියේ එක් ස්ථානයකට සූර්යග්‍රහණයක් දර්ශණය වන වේලාව තවත් ස්ථානයකට දර්ශණය වන වේලාවෙන් වෙනස් වන්නේ මේ නිසාවෙනි. ඉහත රූපය-2 සටහනේ තද අදුරු බවකින් යුත් පතයට යටත් වන ප්‍රදේශ වල සිටින අයට මේ සූර්යග්‍රහණය පහත රූපයේ ආකාරයෙන් දර්ශණය වේ.

මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණයක් ‘පූර්ණ සූර්යග්‍රහණයක්'(Total Solar Eclipse) ලෙස හදුන්වයි. එලෙස නම් කරනුයේ චන්ද්‍රයා මගින් සම්පූර්ණයෙන්ම සූර්යය මුහුණත අවහිර කරන බැවිනි. එමෙන්ම සූර්යග්‍රහණ ඇති වන ආකාරය අනුව වර්ග 4ක් පවතින බවද විශේෂයෙන් සදහන් කල යුතුය. ඉහත රූපය-2 සටහනේ අදුරු බවින් අඩු ගමන් මාර්ගයෙන් ආවරණය වන පෘථිවි වාසීන්ට මෙම සූර්යග්‍රහණය දර්ශණය වනුයේ, සූර්යග්‍රහණ වර්ග 4 අතුරින් තවත් එක් ආකාරයක් වන ‘අර්ධ සූර්යග්‍රහණයක්'(Partial Solar Eclipse) ලෙසිනි. මෙම ආකාරයේදී පූර්ණ සූර්යග්‍රහණයකදී මෙන් සූර්යයා සම්පූර්ණයෙන්ම නොවැසෙන අතර ඉන් කොටසක් පමනක් චන්ද්‍රයාගෙන් වැසී යයි. තවද මෙලෙස සූර්යයා, අර්ධ ලෙස වැසී යාමේ ප්‍රමාණය හෙවත් ප්‍රතිශතය ග්‍රහණයේ මධ්‍යය රේඛාවේ සිට කෙලවරට යාමේදී ක්‍රමයෙන් අඩු වන බවද විශේෂයෙන් සදහන් කල යුතුය.

අර්ධ සූර්යග්‍රහණයක් දර්ශණය වන අයුරු

වළයාකාර සූර්යග්‍රහණ(Annular Solar Eclipses)

මේ තවත් ආකාරයක සූර්යග්‍රහණ ආකාරයකි. මෙහිදී චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වාගේ අවහිර කරනු ලැබුවත් සූර්යය මුහුණතේ ඉතිරි කොටස වලල්ලක් ආකාරයෙන්(ඉහත රූපයේ මෙන්) චන්ද්‍රයාගේ සෙවනැල්ල වටා ඉතිරිව පවතී. වළයාකාර අවස්ථාවක් ඇති වන්නේ පෘථිවිය චන්ද්‍රයා හා සූර්යයා ඉහත පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වන ආකාරයටම ස්ථානගත වන විටය. නමුත් වළයාකාර සූර්යග්‍රහණයක්,  පූර්ණ සූර්යග්‍රහණයකින් වෙනස් වීමට හේතුව වන්නේ සූර්යයා සිට චන්ද්‍රයාටත්, චන්ද්‍රයාගේ සිට පෘථිවියටත් පවතින දුර පූර්ණ සූර්යග්‍රහණයකදී පිහිටනවාට වඩා වෙනස් වීම නිසාවෙනි.

රූපය-3

ඉහත රූපය-3 සටහනේ දිස් වන්නේ වළයාකාර අවස්ථාවකදී ආකාශ වස්තූන් පිහිටන ආකාරයයි. එහි ඉහත රූපය-1 සටහනේ ආකාරයටම පූර්ණ චායාව හා උප චායාව පෙනෙන්නට තිබේ. නමුත් මෙහිදී පූර්ණ චායාව පෘථිවියට නොවැටී එය අහසේ පවතී. මෙම සූර්යග්‍රහණ පූර්ණ අවස්ථාවට පත් නොවී වළයාකාර අවස්ථාවෙන් නතර වීමට හේතුව වන්නේ මෙයයි. පූර්ණ අවස්ථාවේදී මෙන් මෙහිදීද තද අදුරු බවින් යුත් ප්‍රදේශයට යටත් වන පුත්ගලයිනට මෙය වළයාකාර අවස්ථාවක් ලෙසත් තද බවින් අඩු ප්‍රදේශ වල වෙසෙන්නන්ට අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවක් ලෙසත් දර්ශණය වේ.

අර්ධ සූර්යග්‍රහණ(Partial Solar Eclipses)

අප මේ පිළිබදව පෙර සදහන් කලෙමු. නමුත් මෙහිද යම් විශේෂ අවස්ථාවක් පවතී. එනම් දැනට ඔබට දැනගන්නට ලැබුණු ආකාරයට පූර්ණ හා වළයාකාර සූර්යග්‍රහණ ඇති වන අවස්ථාවකදී එහි අතුරු ප්‍රථිපලයක් ලෙස අර්ධ සූර්යග්‍රහණ තත්වයක් සිදු වන බවයි. නමුත් එක එල්ලේම අර්ධ සූර්යග්‍රහණ සිදු වන අවස්ථාද පවතී. මෙහිදී සූර්යග්‍රහණය නැරබිය හැකි සියලු දෙනාට එය දර්ශණය වන්නේ අර්ධ ලෙසය. පහත රූප සටහනේ දිස් වන්නේ එවැනි අර්ධ සූර්යග්‍රහණයක් ඇති වන අවස්ථාවකි. මෙහි තද අදුරු බවින් දැක්වෙන(රූපය-1 මෙන්) චන්ද්‍රයාගේ චායාවක් නොමැති බව ඔබට පෙනෙනු ඇත.

අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවකදී පෘථිවිය සූර්යයා හා චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛීයව පිහිටන අවස්ථාවකට පත් නොවේ. මෙහිදී සිදු වන්නේ මෙම වස්තූන් තුනම ආසන්න වශයෙන් සරල රේඛීය අවස්ථාවකට පත් වීම පමණි. පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන් මේ පිළිබදවද සිතා බැලුවහොත් අර්ධ අවස්ථාවක් ඇති වන ආකාරය ඔබට පැහැදිලි වේවි. සමහර පොත්පත් වල සුර්යග්‍රහණ ඇති වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය සරළ රේඛීය අවස්ථාවකට පත් වීමෙන් පමණක් යැයි සටහන් කොට තිබේ. මෙය වැරදිය. මන්ද යත් සම්පූර්ණයෙන්ම අර්ධ සූරයග්‍රහණයක් ඇති වන අවස්ථාවකදී එලෙස නොපිහිටන බැවිනි. 

මේ ආකාරයේ සූර්යග්‍රහණ අර්ධ ලෙස හැදින්වූවත් එහි තේරුම සූර්යය මුහුණත අර්ධයක් වැසී යාමක් නොවේ. එයින් අදහස් වන්නේ සූර්යය මුහුණතෙන් කොටසක් පමණක් වැසී යාම බව නිවැරදිව තේරුම් ගත යුතුය.

Hybrid Eclipse (ද්විත්ව ග්‍රහණ)

ඉතා දුර්ලභ ගණයේ අවස්තාවකි. මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණ පෘථිවියේ යම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් වශයෙනුත්, තවත් ප්‍රදේශයකට වළයාකාර වශයෙනුත් දර්ශණය වීම සිදු වෙයි. මෙලෙස ග්‍රහණ අවස්ථා දෙකක් එකවර ඇති වීමට හේතු වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය අතර දුරවල් යම් සුවිශේෂී ආකාරයකට පත් වීම නිසා වන අතර පෘථිවියේ වක්‍ර බව හේතුවෙන් ග්‍රහණ ගමන් මාර්ගයේ එක් පසක සිටින අයට පූර්ණ හා අනෙක් පස සිටින අයට මෙය වළයාකාර ලෙසින්ද දර්ශණය වේ. ග්‍රහණ මාර්ගයේ මධ්‍යය රේඛාවෙන් එපිට සිටින අයට ග්‍රහණය දර්ශණය වන්නේ අර්ධ අවස්ථාවක්(පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන්) ලෙසිනි.අවසන් වරට මෙවැනි ආකාරයේ ග්‍රහණයක් දර්ශණය වූයේ 2005 වසරේදීය. 1900 සිට 2010 දක්වා දිස් වූ සියලු ද්විත්ව ග්‍රහණ පහත දැක් වේ.

1908 Dec 23

1909 Jun 17

1912 Apr 17

1930 Apr 28

1986 Oct 03

1987 Mar 29

2005 Apr 08

ඉහත ලැයිස්තුව දෙස බැලීමෙන් ඔබට මෙහි දුර්ලභ බව වැටහේවි.


ඉහත සටහනේ දැක්වෙන්නේ ද්විත්ව ග්‍රහණයක ග්‍රහණ පථයකි. පූර්ණ හා වළයාකාර ග්‍රහණ වලට වඩා මෙහි විශේෂය වන්නේ එහි පූර්ණ චායාව වැටෙන ප්‍රදේශය ඉතා කුඩා වීමයි. එසේ වන්නේ අප පෙර සදහන් කලාක් මෙන් ග්‍රහ වස්තූන් තුන විශේෂ පිහිටීමකට පැමිණ ඇති බැවිනි.

සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන්නේ ඇයි?

සූර්යග්‍රහණයක් ඇති විය හැක්කේ චන්ද්‍රයා, සූර්යයා ඉදිරියෙන් පිහිටන දිනයකදී හෙවත් අමාවක දිනයකදී පමණක් බව සූර්යග්‍රහණ ඇති වන ආකාරය අධ්‍යනය කිරීමේදී ඔබට පැහැදිලි වනු ඇත. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන බවද ඔබ දනී. මෙයට හේතු වන්නෙ චන්ද්‍රයාගේ කක්ශය පෘථිවි කක්ශ තලයට අංශක 5.1 ක ආනතියක් සහිතව පිහිටීමයි. මේ නිසා සූර්යග්‍රහණයක් ඇති වන විශේෂ දින වලදී හැර අනෙක් දින වලදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය හරහා නොගොස් ඊට එපිට අවකාශය හරහා විහිදී යයි. 

සූර්යග්‍රහණ පිලිබද තව දුරටත්..

පෘථිවිය, සූර්යයා වටා හා චන්ද්‍රයා, පෘථිවිය වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර පථවලය. මේ නිසා පෘථිවිය, සූර්යයා අතර දුර හා චන්ද්‍රයා, පෘථිවිය අතර දුර අවුරුද්ද මුලුල්ලේ ඒකාකාරව නොපවතී. මෙය පෘථිවියට දර්ශණය වන ආකාරයට චන්ද්‍රයාගේ හා සූර්යාගේ ප්‍රමාණය වෙනස් වීමට බලපායි. යම් සූර්යග්‍රහණයක් පූර්ණ හෝ වළයාකාර වීම තීරණය වන්නේ මේ හේතුවෙනි. පෘථිවිය සූර්යයාගේ සිට දුරම පිහිටුමට පැමිණෙන කාලයේදී (ජූලි මාසයේදී) පූර්ණ සූරයග්‍රහණ ඇති වීමට වැඩි අවකාශයක් පවතී. ලගම පිහිටුමට පැමි‍ණෙන කාලයේදී (ජනවාරි මස ) වළයාකාර සූර්යග්‍රහණයක් ඇතිවීමට වැඩි අවකාශ පවතී. 

එකම ස්ථානයකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශණය වන්නේ දල වශයෙන් අවුරුදු 370 කට වරකි. එමෙන්ම පූර්ණ සූර්යග්‍රහණයකදි සූර්යයා සම්පූර්ණයෙන් වැසී යාම සිදු වන්නේ ඉතා කෙටි කාලයකටය. මේ කාලය බොහෝ විට ආසන්න වශයෙන් 7මි 30 තත් කට වඩා වැඩි නොවේ. මේ කාලයට වඩා වැඩි පූර්ණ අවස්ථාවකට පත් වන සූර්යග්‍රහණ ඉතා දුර්ලභය. 21 වෙනි ශතවර්ෂයේ දිගම පූර්ණ සූර්යග්‍රහණය සිදු වූයේ 2009 ජූලි 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය. එම කාලය 6මි 39තත් විය.

පූර්ණ සූර්යග්‍රහණයක චන්ද්‍රයා මගින් සූර්යයා වසාගෙන යාමේ එක් අවස්ථාවකදී, එනම් සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය වීමට ඉතාමත් ආසන්න අවස්ථාවේදී, චන්ද්‍රයා මත යම් දිලිසුමක් දැක ගත හැකිය. මෙම අවස්ථාව ‘බේලීස් බීඩ්'(Baily’s beads) ලෙස හදුන්වයි. මෙවැනි තත්වයක් ඇති වන්නෙ පූර්ණ සූර්යග්‍රහණයකදී පමණි. සූර්යාලෝකය චන්ද්‍රයාගේ කදු, ආවාට හා නිම්න හරහා යාමේදී ඇති වන දිලිසුම් මෙවැනි තත්වයක් ඇති කිරීමට හේතු වේ. මේ බේලීස් බීඩ් සංසිද්ධියේම තවත් එක් අවස්ථාවක් ලෙස ‘දියමන්ති මුද්ද'(Diamond Ring Effect) නමින් හැදින්වෙන සංසිද්ධිය දැක්විය හැකිය. මෙහිදී චන්ද්‍රයා වටා සූර්යාලෝකය දියමන්ති මුද්දක් ලෙස දිස් වීමට පටන් ගනී. බේලියස් බීඩ් තත්වය දැක ගත හැක්කේ තත්පර කිහිපයක් වැනි ඉතා කෙටි කාලයකට වන අතර මෙම තත්වය මුල් වරට පැහැදිලි කරන ලද්දේ 1836 දී ‘Francis Baily’ විසිනි.

අවුරුද්දකදී සාමාන්‍යයෙන් සූර්යග්‍රහණ අවම වශයෙන් දෙකක් සහ උපරිම වශයෙන් 5ක් ඇතිවිය හැකිය. නමුත් වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වූ අවසාන අවස්ථාව වන්නේ 1935 දීය. නැවත මෙවැනි අවස්ථාවක් ඇති වන්නේ 2206 දීය. අවුරුද්දක් තුලදී ඇතිවිය හැකි උපරිම ‘පූර්ණ සූර්යග්‍රහණ’ ප්‍රමාණය 2ක් පමණි. නමුත් වසරකට පූර්ණ සූර්යග්‍රහණ දෙකක් ඇති වන්නේද ඉතාමත් කලාතුරකිනි. මෙවැනි අවස්ථාවකට උදාහරණ ලෙස 1712, 1889, 2057 සහ 2252 යන වසරවල් දැක්විය හැකිය.

2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය

මේ පිළිබදව ඔබ සියලු දෙනා යම් තාක් දුරකට හෝ දැන්වත් වී ඇතැයි සිතමි. 2010 ජනවාරි මස 15 වන දින ශ්‍රී ලංකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්නේ 1955 ජූනි මස 20 වන දින ශ්‍රී ලංකාවට දර්ශණය වූ පූර්ණ සූර්යග්‍රහණයෙන් පසු දර්ශණය වන දැවැන්ත සූර්යග්‍රහණය මෙය වීම හා මීට පෙර මෙවැනි ආකාරයේ වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වී ඇත්තේ අවුරුදු 109 කට පෙර 1901 වර්ශයේදී වීමයි. 1955 ට පසු ශ්‍රී ලංකාවට මෙතෙක් දර්ශණය වූ සියලුම සූර්යග්‍රහණ අර්ධ ඒවාය. පහත 1955 සිට මේ දක්වා දර්ශණය වූ අර්ධ සූර්යග්‍රහණ ලැයිස්තුව දැක්වේ.

1955 December 14   
1958 April 19  
1965 November 23   
1976 April 29   
1976 October 23   
1977 April 18  
1980 February 16   
1983 June 11   
1988 September 11   
1995 October 24  
1999 August 11   
2005 October 03   
2007 March 19   
2008 August 01   
2009 January 26   
2009 July 21-22     

මෙම ග්‍රහණයේ වළයාකාර අවස්ථාව දිස් වන්නේ ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රධාන උතුරුකරයටය. සෙසු ප්‍රදේශ වලට මෙය අර්ධ ලෙසින් දර්ශණය වේ.

ග්‍රහණයේ ගමන් මග මෙතැනින් ලබාගන්න.
ශ්‍රී ලංකාවට ග්‍රහණය දර්ශණය වන වේලාවන් කරුනාකර මෙතැනින් ලබාගන්න.
සූර්යග්‍රහණය නිරීක්ශණය කල යුතු ආකාරය සදහා මෙය කියවන්න.

 

Read More

සූර්යයා ගැන බිදක්..

පෘථිවියේ සියලු ශක්ති ප්‍රභව වල මූලිකයා මෙන්ම පෘථිවියේ ජීවයේ පැවැත්ම සදහාද ප්‍රභල සාධකයක් වන සූර්යයා, සෞරග්‍රහ මන්ඩලයේ සියලු ග්‍රහයින් තම අණසකට යටත් කොට පවත්වාගනියි. සූර්යයා යනු හුදෙක් ඝණ වස්තුවක් නොව මුලුමනින්ම වායු වලින් සමන්විත විශාල වස්තුවකි. එය තුල පවතිනුයේ මූලික වශයෙන් හයිඩ්‍රජන්(H) සහ හීලියම්ය(He). මෙය විශාල වායුමය වස්තුවක් වූවත් එය ගෝලාකාර ලෙස ස්ථාවරව පවතිනුයේ, සූර්යය කේන්ද්‍රය දෙසට ක්‍රියාත්මක වන ගුරුත්ව බලය සූර්යයා මගින් ඇති කරනු ලබන තාප ශක්තිය මගින් ගොඩනැගෙන බලය මගින් මැඩ පවත්වා ගැනීමෙනි. මෙලෙස ගොඩනැගෙන සමතුලිතතාවය Hydrostatic equilibrium ලෙස හදුන්වයි. සූර්යයා තමන්ගේ තාප ශක්තිය නිපදවා ගන්නේ න්‍යශ්ටික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් ලෙසිනි. එනම් ඉතා සරලව දක්වතොත් හයිඩ්‍රජන් පරමාණු 4ක් එක්කොට  හීලියම් පරමාණුවක් නිපදවීමේ න්‍යශ්ටික ප්‍රතික්‍රියාමය ක්‍රමයෙනි. සූර්යයා සතුව ඇති විශාල හයිඩ්‍රජන් ප්‍රමානයක් පවතින අතර මෙම ප්‍රමාණය සූර්යයා ඉතා විශාල සීඝ්‍රතාවයකින් යුතුව පරිභෝජනය කරනු ලබයි. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි, සූර්යයා සතු මෙම හයිඩ්‍රජන් ප්‍රමාණය තව අවුරුදු බිලියන 5ක පමණ කාලයකට ප්‍රමානවත් වන අතර එතනින් පසු සූර්යයා තම ජීවිතයේ එක් අවධියක් අවසන් කොට ‘රතු යෝධයෙක්'(Red giant) ලෙස හැදින්වෙන අවස්තාවට පත් වනු ඇත.

සූර්යය අභ්‍යන්තරය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, විකිරණ කලාපය(Radiative zone) හා සංවහන කලාපය(Convection zone) ලෙසිනි. සූර්යයාගේ පිටත වායුගෝලයද කොටස් තුනකට බෙදේ. එනම් වර්ණගෝලය(Photosphere), ප්‍රකාශගෝලය(Chromosphere) හා කොරෝනාව(Corona) ලෙසිනි. සූර්යය කොරෝනාව සමාන්‍යයෙන් සූර්යයා පායා ඇති විට දැක ගත නොහැකි නමුත් පූර්ණ සූර්යග්‍රහණයක් පවතින අවස්ථා වලදී ඉතා පැහැදිලිව දර්ශණය වේ. සූර්යය කොරෝනාව නිරීක්ශණය සදහාම නිර්මාණය කර ඇති විශේෂ උපකරණයක් ලෙසට Coronagraph නම් උපකරණය දැක්විය හැකිය. මෙහිදී පූර්ණ සූර්යග්‍රහණයකදී සිදුවන්නාක් මෙන් සූර්යයා කෘතිමව මෙම උපකරණය ආධාරයෙන් අවහිර කරනු ලබන අතර ඊට එපිටින් දර්ශණය වන සූර්යය කොරෝනාව මෙමගින් නිරීක්ශණය කල හැකි වේ.

සූර්යයා මතුපිට දක්නට ලැබෙන අදුරු පැල්ලම් වැනි ස්ථාන හිරු ලප(Sun spots) ලෙස හදුන්වයි. මේවා සූර්යයා මතුපිට පවතින උෂ්ණත්වයෙන් ඉතා අඩු ස්ථාන වේ. මෙවැනි ආකාරයේ අදුරු ලප බිහිවීමේ යාන්ත්‍රණය වන්නේ සූර්යය චුම්භක ක්ශේත්‍රයේ පවතින වෙනස් වීම්ය. හිරු ලප පැවතීම හෝ ඇති වීම ඒකාකාර නොවේ. හිරු ලප ප්‍රමාණය කාලයත් සමග චක්‍රයකට අනුව වෙනස් වේ. මෙම විශේෂ චක්‍රය සූර්ය ලප චක්‍රය ලෙස හැදින්වෙන අතර එක් චක්‍රයක කාලය අවුරුදු 11කි.

සූර්යයාගේ මතුපිටින් එක්වරම පිටත අවකාශයට විහිදී යන විශාල ගිණිදළු, සූර්යය ගිණිදළු (Solar flares) ලෙස හැදින් වේ. මේවායේ ප්‍රමාණයන් විවිධ වේ. ඉතා විශාල සූර්යය ගිණිදළු කිලෝමීටර දහස් ගණනක් දුරට අවකාශයට විහිදී යන අතර හිරු ලප මෙන් සූර්යය ගිණිදළු වල ප්‍රභලත්වයද කාලයත් සමග වෙනස් වේ.

සූර්යයා ඉතා ප්‍රභල, සක්‍රීය වස්තුවක් වන අතර එමගින් එක් තත්පරයක් තුලදී ඉතා විශාල ද්‍රව්‍යය ප්‍රමාණයක් (නිදහස් ඉලෙක්ට්‍රෝන හා අයනීකරණය වූ පරමාණු) පිටත අභ්‍යවකාශයට මුදා හරිනු ලබයි. මෙම සංසිද්ධිය සූර්යය සුලග නම් වේ. සූර්යය සුලග සතුව විශාල වශයෙන් අයනීකරණයට ලක්ව ඇති අංශු පැවතීම හේතුවෙන් ඒවා පෘථිවිය හරහා යාමේදී පෘථිවියේ ජීවයට බලපෑම් ඇති කල හැකිය. නමුත් පෘථිවිය සතුව පවතින ඝණ වායුගෝලය හා ඊට එපිටින් ඇති ‘වෑන් ඇලන් විකිරණ කලාප’ ලෙස හැදින්වෙන සුවිශේෂී ආවරණයේ බලපෑම මත සූර්යය සුලග මගින් පෘථිවියේ ජීවයට ඇති විය හැකි අහිතකර තත්ව බොහෝ දුරට මගහරිනු ලබයි. සූර්යය සුලගේ ප්‍රභලත්වය කාලය සමග වෙනස් වන දෙයකි. සූර්යය සුලග ඉතා ප්‍රභලව පවතින අවස්තාවන් සූර්යය කුණාටු ලෙසද හදුන්වයි.

 

චායාරූප: www.solarviews.com , http://global-warming.accuweather.com හා http://spaceflightnow.com වෙබ් අඩවි ඇසුරෙනි.

Read More

චන්ද්‍රයා ගැන බිදක්..

පෘථිවියේ එකම උපග්‍රහයා වන චන්ද්‍රයා අහසේ පැහැදිලිව හදුනා ගත හැකි සහ කිසිදු අපහසුතාවයකින් තොරව ඉතා හොදින් නිරීක්ශණය කල හැකි ආකාශ වස්තුවද වේ. මුහුදේ උදම්(Tides) බලපෑමට මෙන්ම පෘථිවියේ භ්‍රමණ කාලය සදහාත් එමෙන්ම පෘථිවි භ්‍රමණ අක්ශයේ පිහිටීම සදහාත් චන්ද්‍රයාගේ ගුරුත්ව බලය ප්‍රභල ලෙස බලපායි. පෘථිවියේ සමතුලිතතාවය නිසි ආකාරව පවත්වා ගැනීමටද චන්ද්‍රයා ඉතා වැදගත් වේ. පෘථිවිය සතුව උපග්‍රහයෙක් නොතිබුනහොත් කුමන ආකාරයක තත්වයක් ඇති විය හැකිද යන්න පිලිබදව විද්‍යාඥයින් උනන්දු වන අතර ඒ පිලිබදවද පරීක්ශණ පවත්වයි. පෘථිවිය ලගින්ම ඇති ආකාශ වස්තුව වන චන්ද්‍රයා රාත්‍රී අහසේ ඉතා දීප්තියෙන් දිස් වනුයේ සූර්යයා මෙන් තමා විසින්ම ආලෝකය නිපදවා ගැනීමකින් නොව සූර්යයාලෝකය පරාවර්තනයෙනි. චන්ද්‍රයා විවිධ කලා වලින් අහසේ දිස් වීමට හේතුව එය පෘථිවිය වටා සිදු කරන පරිභ්‍රමණයයි. නමුත් චන්ද්‍රයා සතු මෙම පරිභ්‍රමණ ක්‍රියාවලිය පෘථිවියා සූර්යයා වටා සිදු කරන පරිභ්‍රමණයෙන් වෙනස් වන්නේ චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණ කාලය බොහෝ දුරට සමාන වන බැවිණි. මෙම කාලය දින 27 1/3 කි. තවද මේ හේතුව නිසා පෘථිවියේ සිටින අපට සෑම විටම දර්ශණය වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණක් බවද විශේෂයෙන් සදහන් කල යුතුය. චන්ද්‍රයාගේ අනෙක් අර්ධය සැම විටම පෘථිවියට පෙනෙන දිශාවට විරුද්ධව පිහිටයි.

අපගේ අසල්වැසි චන්ද්‍රයාගේ බිහිවීම හෙවත් ආරම්භය සම්බන්ධයෙන් ප්‍රධාන මත 4ක් පවතින අතර එයින් දැනට බොහෝ විද්‍යාඥයින් පිළිගනු ලබන්නේ ‘මහා ගැටුම් කල්පිතය'(Great giant impact) යන මතයයි. මෙමගින් කියවෙනුයේ අප සෞරග්‍රහ මන්ඩලය බිහිවෙමින් පැවති යුගයේ පෘථිවිය සමග ඉතා විශාල තවත් ආකාශ වස්තුවක් (අගහරු ප්‍රමාණයේ ) ගැටීමෙන්, එම සුවිසල් ගැටුම නිසා පිටත අභ්‍යවකාශයට ඇදී ගිය කොටසක් මගින් චන්ද්‍රයා නිර්මාණය වූ බවයි. මෙම මතයෙන් කියවෙන අයුරින් චන්ද්‍රයා බිහි වීම සදහා පෘථිවියේ සම්බන්ධයක් පැවතියත් චන්ද්‍රයා, පෘථිවිය මෙන් ඉතා සරුසාරව වැඩුනු ගස් කොලන් හා ජලයෙන් පිරි ආකාශ වස්තුවක් නොවන බවද සදහන් කල යුතුය. චන්ද්‍රයා සතුව පෘථිවියේ පවතිනවාක් මෙන් ඝණ වායුගෝලයක්ද නොමැත. මේ නිසා පෘථිවියේ ‍මෙන් නොව චන්ද්‍රයා යනු නිතරම උල්කාපාත වලට හසු වෙන සහ ඒවායින් තැලී පොඩි වී යන උපග්‍රහයෙකු ලෙසට දැක්විය හැකිය. මෙලෙස ගොඩනැගී ඇති විශාල ප්‍රමාණයේ ආවාට, කුඩා ප්‍රමාණයේ දුරේක්ශයකින් හෝ දෙනෙතියක්(Binocular) භාවිතයෙන් පහසුවෙන් දැක ගත හැකි වේ. ආවාට වලට අමතරව, චන්ද්‍රයා මතුපිට දක්නට ලැබෙන අදුරු ස්ථාන මුහුදු ලෙස හදුන්වයි. මෙවා පෘථිවියේ පවතින මුහුදු නොවන අතර මෙවැනි  මුහුදු නිර්මාණය වී ඇත්තේ චන්ද්‍රයා බිහිවෙමින් පැවති මුල්  යුගයේදී ලාවා ගැලීම් හේතුවෙන් නිර්මාණය වූ තැනිතලා බවකින් යුක්ත වන ස්ථානයි.

චන්ද්‍රයා නිර්මාණය වී ඇත්තේ පෘථිවියට වඩා ඝණත්වයෙන් අඩු ද්‍රව්‍යය වලිනි. සංසන්ධනාත්මකව දැක්වුවහොත් චන්ද්‍රයාගේ ඝණත්වය පෘථිවි ඝණත්වයෙන් 0.6 ක් පමණ වේ. චන්ද්‍ර අභ්‍යන්තරද (Moon core) පෘථිවියේ මෙන් යකඩ වැනි බැර ලෝහ වලින් සෑදුණු විශාල හරයක්ද නොවේ. චන්ද්‍රයාගේ පිටත පෘෂ්ඨය(Moon crust) 60km පමණ ඝණකම් එකක් වන අතර චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේදී මෙහි ඝණත්වය තරමක් වැඩි බවද සදහන් කල යුතුය. මෙහි පිටත ස්ථරය මූලික වශයෙන් නිර්මාණය වී ඇත්තේ ඉතා සියුම් පස් වලිනි. නිතරම චන්ද්‍ර පෘෂ්ඨය මතට කඩා වැටෙන උල්කා වලින් ඇති වන බලපෑම චන්ද්‍රයා මතුපිට මේ ආකාරයෙන් නිර්මාණය වීමට හේතු වී ඇත. මෙවැනි ලක්ෂණ නිසාම විද්‍යාඥයින් මුලදී සිතුවේ සද මතුපිට තබන ලද ඕනෑම වස්තුවක් ඒ තුලට ගිලගනු ඇති බවයි. නමුත් මෙම මතය සත්‍යය නොවන බව චන්ද්‍රයා මතට මුල් වරට ගොඩ බැස්වීමට යෙදුණු  රුසියානුවන්ගේ ලූනා-2 යානාව මනාවට පැහැදිලි කර දැක්වීමට යෙදුණි. යානයට කිසිදු ආකාරයක එවැනි අපහසුතාවයක්  සිදු නොවූ අතර එහි බර දරා සිටීමට චන්ද්‍ර පෘෂ්ඨයට හැකි විය.

විද්‍යාඥයින් ඉතා ගැඹුරින් අධ්‍යනය කර ඇති, පෘථිවිය හැරුණු කොට ඇති ආකාශ වස්තුව ලෙසටද චන්ද්‍රයා හැදින්විය හැකිය. තවද සෞරග්‍රහ මන්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහ වස්තූන්ගෙන් මිනිසෙකු පා තබා ඇති එකම ආකාශ වස්තුව චන්ද්‍රයා බවද ඔබ හොදින් දනී. චන්ද්‍රයා මතට මුල් වරට මිනිසෙකු ගොඩ බැසීම සිදු වූයේ 1969 ජූලි 20 වන දින, ඇපොලෝ-11 මෙහෙයුම යටතේය. සද මතට මිනිසෙකු ගොඩ බැස්වීමේ සුවිශේෂී කර්තව්‍යය සදහාම විශේෂයෙන් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු යෝධ අපොලෝ වියාපෘතිය හරහා මේ වන විට චන්ද්‍රයා මතට ගෙන ගොස් ඇති ගගනගාමීන් ගණන 12 කි. චන්ද්‍රයා මතට ගගනගාමීන් රැගෙන ගිය අවසාන ඇපොලෝ මෙහෙයුම වූයේ ඇපොලෝ-17 වන අතර සද මත වැඩිම කාලයක් මිනිසුන් රැදී සිටි මෙහෙයුම වන්නේද මෙයයි.

 

චායාරූප: www.nightskyinfo.com හා  http://media-2.web.britannica.com වෙබ් අඩවි ඇසුරෙනි.

 

Read More

සාරෝස් චක්‍රය

යම් වසරකදී සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදු වූවා යැයි සිතමු. මෙවැනි ග්‍රහණයක් සිදුවී අවුරුදු 18, දින 11, පැය 8 කට පසු නැවතත් එවැනි ආකාරයේම ග්‍රහණයක් ඇති වීමට ඉඩකඩ පවතී.

ඉහත සදහන් කල කාලයට පසු ඇති වන ග්‍රහණය පෙර ඇති වූ ආකාරයේම වේ. උදාහරණයක් ලෙස වළයාකාර සූර්යග්‍රහණයක් සිදු උවහොත් නැවත ඇති වන්නේද වළයාකාර සූර්යග්‍රහණයකි. නමුත් පසුව ඇති වන ග්‍රහණය ඊට පෙර ග්‍රහණය දර්ශණය වූ ප්‍රදේශ වලටම බොහෝ විට නැවත හසු නොවෙයි. එසේ වන්නේ දින 11, පැය 8 ක් යන කාලය ඊට එක් වීම හා එම නිසා පෘථිවි භ්‍රමණයේ බලපෑමෙන් සිදු වන වෙනස් වීමයි. උදාහරණයක් ලෙස 2010 වර්ෂයේ සිදුවන සියලු ග්‍රහණ සලකමු. ඉහත පැහැදිලි කිරීම අනුව මෙම ග්‍රහණ වලට වඩාත් සමාන තව එවැනිම ග්‍රහණ ප්‍රමානයක් 2028 වර්ෂයේදී ඇති වේ. 2028 වර්ෂයේ ඇති වන ග්‍රහණ වලටද වඩාත් සමාන ග්‍රහණ ප්‍රමාණයක් 2046 වර්ෂයේදී ඇති වේ. මෙලෙස ග්‍රහණ ඇති වීම යම් චක්‍රයක් නැතහොත් රටාවක් අනුව සිදු වේ. සාරෝස් චක්‍රය(Saros series) ලෙස හැදින්වෙන්නේ මෙම චක්‍රයයි.

මේ අනුව බලන විට සියලුම ග්‍රහණ එක්තරා සාරෝස් චක්‍රයක සාමාජිකයෙකි. සාරෝස් චක්‍ර විවිධ අංක වලින් නම් කරනු ලබයි. උදාහරණයක් ලෙස 2010 ජනවාරියේදී ඇති වීමට නියමිත සූර්යග්‍රහණය ‘සාරෝස් 141’ ලෙස හැදින්වෙන සාරෝස් චක්‍රයේ සාමාජිකයෙකි. කිසියම් සාරෝස් චක්‍රයක් සදාකාලිකවම පවතින්නක්ද නොවේ. මෙවැනි චක්‍රයකට ආරම්භයක් හා අවසානයක් පවතී. එසේ වන්නෙ පෘථිවි හා චන්ද්‍ර කක්ශයන් වල කාලය සමග ක්‍රම ක්‍රමයෙන් සිදු වන වෙනස් වීම් නිසාවෙනි. මේ අනුව ඉහත උදාහරණයක් ලෙස දැක් වූ  චක්‍රයද අවුරුදු 18න් 18ට ග්‍රහණ උදා කර බොහෝ කාලයකට පසු එලෙස එම රටාවට අනුව ග්‍රහණ ඇති කිරීමෙන් ඉවත් වනු ඇත. 

යම් වසරක චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයක් සිදු වීමෙන් පසු නැවත එවැනිම ආකාරයේ ග්‍රහණයක් ඇති විය හැක්කේ කිනම් දිනයකද හා පෘථිවියේ කුමන ප්‍රදේශයකටද යන වග සාරෝස් චක්‍රය භාවිතයෙන් සොයා ගත හැකිය. මේ අනුව ග්‍රහණ පිලිබද අනාවැකි පල කිරීම සදහා මේ සාරෝස්  චක්‍රය ඉතා වැදගත් වන බව පෙන්වා දිය හැකිය. ඈත අතීතයේදි ග්‍රහණ පිලිබද අනාවැකි පල කරන ලද්දේ බොහෝ විට මෙම සාරෝස් චක්‍රය අසුරු කර ගෙනය. නමුත් නූතන යුගයේ ග්‍රහණ අනාවැකි සදහා සාරෝස් චක්‍රය භාවිතා නොවන අතර ඒ වෙනුවට පෘථිවි හා චන්ද්‍රයාගේ කක්ශීය චලිතයන් හා පරිගණක තාක්ශණය උපයෝගී කරගෙන වඩාත් නිරවද්‍යතාවයකින් යුතුව ග්‍රහණ වලට අදාල වේලාවන්(ආසන්න තත්පර දශමස්ථානයට) හා ප්‍රදේශ දක්වනු ලබයි.

සාරෝස් චක්‍රයේ ආරම්භය නැතහොත් එවැනි චක්‍රයක් පලමු වරට හදුනා ගැනීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි සටහනක් නොමැති වූවත් බොහෝ දෙනා විශ්වාස කරන පරිදි සාරෝස් චක්‍රයේ ආරම්භය සිදු වී ඇත්තේ බැබිලෝනියානුවන්ගෙනි. ලොව පැරණිතම ශිෂ්ඨාචාරයක් වන බැබිලෝනියානුවන් බොහෝ කාලයක් පුරාවට ග්‍රහණ අධ්‍යනය කිරීමේ නිරත වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස සාරෝස් චක්‍රය හදුනා ගත් බවත් ඉතිහාසයේ සදහන් වේ. තවද, මෙම චක්‍රයේ ආරම්භය බැබිලෝනියානුවන්ගෙ කාලයේ සිදු වුවත්, එය සාරෝස් යනුවෙන් නම් කර ඇත්තේ, හැලී ධුමකේතුව හදුනාගත්, ‘එඩ්මන්ඩ් හැලී’ විසිනි.

 

උදාහරණයක් ලෙස සාරෝස් 145 ට අදාල ග්‍රහණ පහත පිවිසුමෙන් ලබා ගත හැක.

http://eclipse.gsfc.nasa.gov/SEsaros/SEsaros145.html

වැඩිදුර තොරතුරු සදහා:

http://eclipse.gsfc.nasa.gov/SEsaros/SEsaros.html

 

Read More

සූර්යග්‍රහණ නිරීක්ශණය කිරීමේ ක්‍රම

රාත්‍රී අහසේ ඇති තාරකා, ග්‍රහ වස්තූන්, චන්ද්‍රයා ආදිය නිරීක්ශණය කරන්නාක් මෙන් ඉතා පහසුවෙන් සූර්යයා පියවි ඇසින් නිරීක්ශණය කල නොහැකි බව ඔබ ඉතා හොදින් අත් දැක ඇති කරුණකි.

සූර්යයා අපට අහසේ දැක ගත හැකි අන් සියලු වස්තු අභිබවා ඉතා විශාල දීප්තියකින් යුතුව දිස් විම මෙයට හේතුවයි. නමුත් කෙසේ හෝ ඉතා අපහසුවෙන් උවද සූර්යයා දෙස මද වේලාවක් හෝ පියවි ඇසින් බැලීමට උත්සහ කිරීම ඔබව සදහටම අන්ධ භාවයට පත් කිරීමට හේතු විය හැකිය. මේ නිසා සූර්යයා නිරීක්ශණයේදී විශේෂයෙන්ම සූර්යග්‍රහණ හා සංක්‍රාන්ති (බුද සහ සිකුරු සංක්‍රාන්ති ) නිරීක්ශණයේදී ඒ සදහා අනිවාර්යයෙන්ම විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතා කල යුතුය.

ග්‍රහණ කන්නාඩි(Eclipse Glasses ) භාවිතය

ග්‍රහණ කන්නාඩි යනුවෙන් විශේෂ ඇස් කන්නාඩි විශේෂයක් පවතී. මේවා බොහෝ දුරට අව් කන්නාඩි වලට සමාන වන අතර ඒ සදහා භාවිතා කර ඇති මාධ්‍යය අනුව අව් කන්නාඩි වලට වඩා වෙනස් වේ. බොහෝ විට කාඩ්බෝඩ් භාවිතයෙන් නිර්මාණය වන මේ විශේෂ ඇස් කන්නාඩි සූර්යග්‍රහණ නිරීක්ශණය සදහාම විශේෂයෙන් සකස් කරන ලද ඒවා වේ. තවද සූර්යග්‍රහණ නිරීක්ශණයේදී සාමාන්‍යය මහජනයා සදහා වඩාත් ආරක්ෂිත ක්‍රමය ලෙස විද්‍යාඥයින් නිර්දේශ කරන්නේ ග්‍රහණ කන්නාඩි භාවිතයෙන් නිරීක්ශණය කිරීමයි. ග්‍රහණ කන්නාඩි වර්ග දෙකක් පවතී. මෙහි එක් වර්ගයකදී සූර්යයා දිස් වන වර්ණය කහ-තැඹිලි වර්ණයකින් වන අතර අනෙක් වර්ගයේදී සූර්යයා නිල් පැහැයට හුරු වර්ණයකින් දිස් වේ. මෙලෙස සූර්යයා දිස් වන වර්ණය අනුව ග්‍රහණ කන්නාඩි වර්ග දෙකක් පැවතියත් මේ වර්ග දෙකම සූර්යයා නිරීක්ශණයේදී එක ලෙසම භාවිතා කල හැකිය.

ග්‍රහණ කන්නාඩි වෙනුවට අව් කන්නාඩි භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන්නේ, අව් කන්නාඩි සූර්යයා නිරීක්ශණය සදහා සාදා ඇති උපකරණයක් නොවන හෙයිනි. තවද ග්‍රහණ කන්නාඩි සදහා භාවිතා වන මාධ්‍යය අව් කන්නාඩි සදහා භාවිතා වන මාධ්‍යයට වඩා ඉතා තද අදුරු භවකින් යුක්ත වන බවද සදහන් කල යුතුය.

සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය

මෙහිදී සූර්යය චායාව කඩදාසියක් හෝ තිරයක්  මතට ලබාගෙන එම චායාව නිරීකශණයෙන්, සූර්යග්‍රහණ ආදිය නිරීක්ශණය කිරීම සිදු වේ. සූර්යය චායාව තිරයක් මතට ගැනීමේ පහසුම ක්‍රමය වන්නේ Pinhole projection ලෙස හැදින්වෙන ක්‍රමයයි. මෙහිදී ඝණකම් කඩදාසි (කාඩ්බෝඩ්) දෙකක් ගෙන ඉන් එක් කඩදාසියක මැදට වන්නට ඉතා කුඩා සිදුරක් සාදා ගනියි. මේ සදහා අල්පෙනෙති තුඩක් හෝ සියුම් පැන්සල් තුඩක් භාවිතා කල හැකිය. සාදා ගනු ලබන සිදුර ඉතා කුඩා වෟතාකාර එකක් ලෙස සකස් කර ගැනීමටද වග බලා ගත යුතුය. මෙලෙස සාදා ගත් කඩදාසිය සූර්යයා දෙසට එල්ල කර, අනෙක ඊට පහලින් එක එල්ලේ තබා ගෙන එය මතට සූර්යය චායාව වැටීමට සලස්වයි. එලෙස ලබා ගන්නා සූර්යය චායාව භාවිතයෙන් සූර්යග්‍රහණ නිරීක්ශණය කිරීම සිදු වේ. ඕනෑම කෙනෙකුට ඉතා සරලව සිදු කල හැකි ක්‍රමයක් ලෙසට මෙය දැක්විය හැකිය.

සූර්යය චායාව තිරයක් මතට ගැනීමේ තවත් ක්‍රමයක් ලෙස දැක්විය හැක්කේ දුරේක්ශයක් භාවිතයෙන්, එහි උපනෙත මගින් ගොඩනැගෙන ප්‍රතිභිම්බය තිරයක් මතට ගැනීමයි. මෙහිදී දුරේක්ශයේ උපනෙතට පහලින් ඉහත සදහන් කලාක් මෙන් කඩදාසියක් තබා ඒ මතට සූර්යය චායාව වැටීමට සලස්වයි. මෙම ක්‍රමය විශේෂයෙන්ම සූර්යග්‍රහණ නිරීක්ශණයේදී පමණක් නොව පොදුවේ සූර්යයා නිරීක්ශණයේදී (බොහෝ විට සූර්යය ලප නිරීක්ශණයේදී ) භාවිතා වන ඉතා ආරක්ෂිත ක්‍රමයකි. මේ සදහා සියලුම වර්ගයේ දුරේක්ශ භාවිතා කල නොහැකි බවද සදහන් කල යුතුය. මේ සදහා භාවිතා කල හැක්කේ දෙනෙති (Binoculars ) හා වර්තක (Refractor ) ආකාරයේ දුරේක්ශ පමණි. සමහර වර්තක දුරේක්ශ සූර්යය චායාව ප්‍රක්ශේපණය සදහා භාවිතා වන උපකරණ කට්ටලයක්ද සමග පැමිණෙයි. සූරයයා ප්‍රක්ශේපණයේ සාමාන්‍යය සම්මතය වන්නේ සූර්යය මුහුණත තිරය මත අගල් 8ක විශ්කම්භයක් අති වන පරිදි ප්‍රක්ශේපණය කිරීමයි. මේ සදහා බොහෝ විට අඩු විශාලනයක් සහිත උපනෙත් කාච පද්ධති භාවිතා වේ. මෙහිදී කිසිම අයුරකින් සූර්යයා දෙස බැලීමක් සිදු නොවන බැවින් සූර්යයා නිරීක්ශණය සදහා පවතින ඉතා හොද ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස මෙම ප්‍රක්ශේපණ ක්‍රමය දැක්විය හැකිය. ප්‍රක්ශේපණ ක්‍රමයේ පවතින එකම අවාසිය ලෙස දැක්විය හැක්කේ, බොහෝ වේලා හිරු එලියේ තැබීම නිසා එය ඉහල උෂ්ණත්වයකට රත් වීමයි. මෙම තත්වය සමහර උපනෙත් කාච වල දෝෂ ඇති වීමට බලපායි. මේ නිසා බොහෝ වේලාවට ප්‍රක්ශේපණ ක්‍රමයේදී ගුණාත්මක බවින් අඩු, මිලෙන් අඩු උපනෙත් කාච පද්ධති භාවිතා වන අතර දුරේක්ශය එක දිගටම භාවිතා නොකර, නිරීක්ශණය අතර තුරදී කිහිප විටක් එය නවතා තැබීමද උෂ්ණත්වය වැඩි වීමෙන් දුරේක්ශය ආරක්ෂා කර ගැනීමට හේතු වේ.  

සූර්යය පෙරණ භාවිතයෙන් නිරීක්ශණය (Solar filters )

සූර්යය පෙරණ යෙදූ දුරේක්ශයකින් නිරීක්ශණය කරන අයුරු

මෙම ක්‍රමය භාවිතා වන්නේ දුරේක්ශයක් ආධාරයෙන් සූර්යයා නිරීක්ශණයේදීය. මෙහිදී පෙර සදහන් කල ක්‍රමයේදී මෙන් දුරේක්ශ වර්ගය බල නොපාන අතර සූර්යය පෙරණ යෙදූ දුරේක්ශයක් මගින් සාමාන්‍යය ආකාශ වස්තුවක් නිරීක්ශණය කරන්නාක් මෙන් සූරයයා නිරීක්ශණය කල හැකිය. සූර්යය පෙරණ යොදනුයේ සැම විටම දුරේක්ශයක අවනෙත ඉදිරියටය. මීට හේතුව දුරේක්ශය වෙත එන සෑම සූර්යය කිරණයක්ම අවනෙත හරහා යන බැවිනි. සූර්යය පෙරණ වෙනුවට තවත් එවැනි ආකාරයක වෙනත් මාධ්‍යයක් භාවිතා කිරීම එතරම් නුවනට හුරු ක්‍රියාවක් නොවන අතර ඒ සදහා සූර්යයා නිරීක්ශණය සදහාම වෙන් වූ සූර්යය පෙරණ භාවිතා කිරීමට වග බලා ගත යුතුය. තමන් භාවිතා කරන දුරේශය සදහා සුදුසු සූර්යය පෙරණ වර්ගය එහි නිශ්පාදකයා විසින් සපයනවාද යන්න පලමුව සොයා බැලිය යුතුය. නො එසේනම්  සූර්යය පෙරණ නිෂ්පාදකයෙක් තමන් භාවිතා කරණ දුරේක්ශය සදහා නිර්දේශ කරන සූර්යය පෙරණ වර්ගය ලබා ගැනීම වඩාත් උචිත වේ. සූර්යය පෙරණ භාවිතයේදී ඒවා යම් ආකාරයකින් පලුදු වී හෝ ඒවායේ සිදුරු පවතීද යන්න සොයා බැලීමටද වග බලා ගත යුතුය. සූර්යය පෙරණ ඉතා හොදින් දුරේක්ශයට සවි වී පැවතිය යුතුය. නැතහොත් සුලග වැනි භාහිර බලපෑම් හේතුවෙන් ඒවා ගැලවී යා හැකිය.

පහන් දැලි ආලේපිත වීදුරුවක් තුලින් නිරීක්ශණය.

මෙහිදී ඉතා පැහැදිලිව පෙනෙන වීදුරු කැබැල්ලක් ගෙන එහි එක් පෘශ්ඨයක් මතට පහන් දැලි තට්ටුවක් ආලේප වීමට සලස්වයි. එලෙස සකස් කර ගත් වීදුරුව යොදා ගෙන සූර්යයා නිරීක්ශණය කල හැකිය. මෙම ක්‍රමයේදී සූර්යයා කිසිම අපහසුතාවයකින් තොරව නිරීක්ශණය කිරීමට හැකි වූවත් මෙය ඉතා ආරක්ශාකාරී ක්‍රමයක් ලෙස විද්‍යාඥයින් අනුමත නොකරන බවද සදහන් කල යුතුය. ඊට හේතුව නම් මෙවැනි ආකාරයේ වීදුරු කැබැල්ලක් සාදා ගැනීමේදී හා භාවිතයේදී ඇති වන ප්‍රායෝගික ගැටලු නිසාවෙනි.

පෑස්සුම් කන්නාඩි වලින් නිරීක්ශණය

මේ සදහා ඉතා හොද ආදේශකයක් ලෙසට පෑස්සුම් කන්නාඩි (Welding Glasses ) දැක්විය හැකිය. නමුත් මෙහිදී සූර්යයා නිරීක්ශණය කිරීමට සුදුසු අදුරු බවින් යුත්, විද්‍යාඥයින් අනුමත කරන පරිදි (Shader 14) වර්ගයේ අදුරු බවින් යුත් පෑස්සුම් කන්නාඩි භාවිතා කිරීමට මතක තබා ගත යුතුය. Shader 14 වලට පහල අංක වලින් යුත් කන්නාඩි අදුරු බවින් අඩු වන අතර එවැනි කන්නාඩි සූර්යයා නිරීක්ශණය සදහා එතරම් සුදුසු නොවේ. පෑස්සුම් කන්නාඩි තුලින් සූර්යයා නිරීක්ශණය, ග්‍රහණ කන්නාඩි තුලින් සූරයයා නිරීක්ශණය තරම්ම ආරක්ෂාකාරී නොවූවත් ග්‍රහණ කන්නාඩියක් සොයා ගත නොහැකි සාමාන්‍යය පුත්ගලයෙකුට ඒ වෙනුවට භාවිතා කල හැකි හොද ආදේශකයක් ලෙසට මෙම ක්‍රමය හදුන්වා දිය හැකිය.

සූරයග්‍රහණ නිරීක්ශණයේදී ඉහත ආකාරයේ විශේෂ ආරක්ෂිත ක්‍රම අනිවාර්යයෙන් භාවිතා කල යුතු වූවත් පූර්ණ සූර්යග්‍රහණයක් (Total solar eclipse ) පවතින අවස්තාවකදී පමණක් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම සූර්යයා වසා සිටින ඉතා කෙටි මිනිත්තු කිහිපයක කාලය තුල ඒ දෙස පියවි ඇසින් බලා සිටීම ආරක්ෂාකාරී බව කිව යුතුය. සූර්යග්‍රහණයකදී දැක ගත හැකි අපූර්වතම අවස්ථාව මෙය වනවාද නිසැකය. මීට අමතරව සූර්යයා එක එල්ලේ නිරීක්ශණය සදහා X-ray කඩදාසි, Photographic plates, Floppy Diskets වල ඇතුලත කොටස සහ සංයුක්ත තැටි යනාදිය භාවිතා කල හැකි වූවත් මෙවැනි ක්‍රම විද්‍යාඥයින් ආරක්ෂිත ක්‍රම ලෙස නොදක්වන බවද විශේෂයෙන් සදහන් කල යුතුය.

වතුර බේසමක් මතට සූරයය චායාව ලබා ගැනීමෙන්

මෙහිදී තරමක් විශාල බේසමක් ගෙන එය තුලට තරමක් දුරට ජලය පුරවා, ජලය මතට හිරු චායාව වැටීමට සලස්වයි. හිරු චායාව තිරයක් මතට ගැනීමේ ක්‍රමය මෙන් මෙහිදීද එලෙසම ජලය මතට වැටෙන හිරු චායාව මගින් සූර්යග්‍රහණය නිරීක්ශණය කල හැකිය. මෙම ක්‍රමය ආරක්ෂාකාරී වූවත් එය ප්‍රායෝගික ක්‍රමයක් නොවන්නේ ජලය නිසලව පැවතීම අනිවාර්යය වීම හා සූර්යයා ඉහල අහසේ පවතින අවස්ථා වලදී පමණක් නිරීක්ශණ සිදු කල හැකි වන නිසා වෙනි. එම නිසා මෙම ක්‍රමය එතරම් ප්‍රායෝගික ක්‍රමයක් නොවේ.

 

Read More

ග්‍රහණ ඉතිහාසය

තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබදව නිවැරදි, තර්කානුකූල වටහා ගැනීමක් නොතිබූ ආදී මිනිසා, වරින්වර ඇති වූ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ සලකන ලද්දේ අත්භූත සිද්ධීන් ලෙසය. ඔවුන් මෙවැනි සිද්ධීන් තමන්ට නරක කාලයන් උදා කරන්නන් ලෙස සැලකූ අතර ඒවා නැරබීමටද මහත් බියක් දැක්වූ බවටද සදහන් වේ.

 

විවිධ සංස්කෘතීන් හරහා පැවතගෙන එන පුරාවෟත වල සදහන් වන පරිදි ග්‍රහණ ඇති වීමේදී චන්ද්‍රයා හෝ සූර්යයා අවහිර කර ඇත්තේ යම් ආකාරයක සත්වයෙකු විසිනි. මෙහිදී ඉන්දියානුවන්, චීන ජාතිකයන් හා ඉන්දුනීසියානුවන් මකරෙකු පිළිබදවත්, වියට්නාම ජාතිකයින් විශාල ගෙම්බෙකුද, ආර්ජන්ටිනාවේ වෙසෙන්නන් ජගුඅර්(Jaguar) නම් දිවියන් වර්ගයට අයත් සත්වයකුද, සයිබීරියානුවන් වැම්පයර්(Vampire) ලෙස හැදින්වෙන ලේ උරා බොන සත්වයෙකුද, යනාදී වශයෙන් සත්වයින් ග්‍රහණ ඇති කිරීමට හේතු වන බවට විශ්වාස කර ඇත.

අද යුගයේ සෑම අයෙකුටම වාගේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු කුමන ආකාරයක සංසිද්ධීන්ද යන්න පිළිබදව යම් කිසි ආකාරයක හෝ අවබෝධයක් පවතී. මේ නිසා අද යුගයේ ජීවත් වන බොහෝ දෙනා ග්‍රහණ තවදුරටත් නරක විපත් ආදිය හෝ බිය උපදවන සංසිද්ධීන් ලෙස නොසලකන අතර චන්ද්‍රග්‍රහණ  හා සූර්යග්‍රහණ යනු දුර්ලභ, තම ජීවිතයේ එක් වරක් හෝ අත්දැකිය යුතු පුදුමය දනවන සිද්ධීන් ලෙස හැදින්වීමට පුරුදුව සිටී.

ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධ ග්‍රහණ කිහිපයක් හා ඒ හා බැදුනු තවත් තොරතුරු පිළිබදව පහත දැක්වෙයි. වරින්වර සිදුවූ මෙවැනි ග්‍රහණ පිළිබදව ලොව විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවෙන් එවැනි ආකාරයක  සටහනක් හමු නොවේ.

 

  • සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ පිළිබදව ඇති පැරණිතම සටහනක් පිළිබදව නිවැරදි තොරතුරක් නොමැති වූවත්, හදුනාගෙන ඇති පරිදි පැරණිතම සටහන ලෙස සැලකෙන්නේ ක්‍රි.පු. 2134 ඔක්තෝම්බර් 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන චීනයෙන් වාරතා වන සටහනකි.
  • බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් ක්‍රි.පු. 700 සිට ක්‍රි.පු. 50 දක්වා හ්‍රහණ පිළිබදව අධ්‍යනය කල බවට සාධක ඇති අතර සාරෝස්(Saros) චක්‍රය ලෙස අද අප හදුන්වන ග්‍රහණ චක්‍රය මුල්වරට හදුනා ගත් පුත්ගලයින් ලෙස බැබිලෝනියානු ජාතිකයින් දැක්විය හැකිය. ග්‍රහණ ඇති වීමේ රටාවන් පිළිබදව ලොව පැවති තවත් ශිෂ්ටාචාර වලින් තොරතුරු සටහන් වී ඇති නමුත් එවැන්නක් පිළිබදව ඉතා පැහැදිළි සටහනක් පවතින්නේ බැබිලෝනියානුවන් සතුවය.
  • මිලේටස් හි තෙලේස් ලෙස හැදින්වෙන ප්‍රසිද්ධ දාර්ශණිකයා බැබිලෝනියානුවන්ව අධ්‍යනය කර ක්‍රි.පු. 585 මැයි මාසයේ 28 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවිය හැකි බවට අනාවකි පලකොට ඇත. මෙය සිදුවී ඇත්තේ මැද පෙරදිග රටවල් දෙකක් යුද වදින සමයකදී වන අතර මේ සූර්යග්‍රහණයෙන් එකල මිනිසා කොතරම් බියට පත් වූවා දැයි කිවහොත් මේ නිසා යුද්ධ කිරීම නවතා සාමකාමී වීමටද මෙය හේතු වූ බවටද සටහන් වේ. තවද මෙය ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධම සූර්යග්‍රහණය ලෙසද හැදින්වේ.
  • 1453 මැයි 29 වන දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව කොන්ස්තන්තිනෝපල්  නගරයෙන් වාර්තා වන අතර එතැන් සිට දින කිහිපයකට පසුව කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි හමුදාවන්ට යටත් වීමට මෙම චන්ද්‍රග්‍රහණය හේතු වූ බවද සදහන් වේ.
  • කොලොම්බස් ඔහුගේ පස් වන ගවේශණයේදී, 1504 පෙබරවාරි 29 දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව වාර්තා කරයි.
  • 1999 අගෝස්තු 11 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය, 20 වන සියවසේ සිදු වූ අවසාන සූර්යග්‍රහණයයි. ඉතිහාසයේ, ආදී මිනිසා සූර්යග්‍රහණ වලට ඉතා බියකින් පසු වූවාක් මෙන් මෙම සියවස තුල සිදු වූ මේ අවසාන පූර්ණ සූර්යග්‍රහණය පිළිබදව මිනිසුන් තුල පැවතියේ එය දරුණු විපත් ලගා කරවිය හැකි ආකාරයේ සිද්ධියක් විය හැකි බවයි. නමුත් එවැනි විපත් පිළිබදව වාර්තා නොමැත. කෙසේ වෙතත් තර්කාණුකූලව බලන කල මෙය 20 වන සියවසේදී සිදුවූ අවසාන සූර්යග්‍රහණය නොවන බවද පෙන්විය හැකිය. එනම් 21 වන ශතවර්ශය ආරම්භ වන්නේ වසර 2000 දී නොව 2001 දීය. ඊට හේතුව බිංදුව ලෙස වසරක් ගණනය කොට නොතිබීමයි.

 

Read More

හිරු පවුලේ වාමනයෝ

 

විසිවන සියවසේ මුල් භාගයේදී අප සෞරග්‍රහ මන්ඩලයේ නෙප්චූන් ග්‍රහයාගේ චලිතය පිළිබදව තාරකා විද්‍යාඥයින්ට පැවතියේ ගැටලු සහගත තත්වයකි. නෙප්චූන් ග්‍රහයා තම කක්ෂයේ නිවැරදි ආකාරයෙන් ගමන් නොකිරීම එයට හේතුවයි. මේ සදහා තවත් යම් අභ්‍යාවකාෂ වස්තුවක ගුරුත්ව බලපෑමක් අනිවාර්යයෙන් පැවතිය යුතු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මෙම හදුනා නොගත් අත්භූත ආකාෂ වස්තුව අප සෞරග්‍රහ මන්ඩලයේම තවත් සාමාජිකයෙක් නැතහොත් තවත් ග්‍රහයෙක් වීමට බොහෝ ඉඩ ඇති බැවින් එය Planet-X ලෙස නම් කෙරිණි.

Planet-X නම් ග්‍රහයා නිශ්චිතවම පවතී නම් එය නිවැරදිව තහවුරු කරගත යුතුය. එසේ තහවුරු වන්නේ එය අහසේ හදුනාගත හොත් පමණි. මේ අනුව තාරකා විද්‍යාඥයෝ Planet-X නම් ග්‍රහයා අහසේ හදුනාගැනීමට උත්සුක විය. මෙම කාල වකවානුවේදී, එනම් 1930 වර්ෂයේදී ලොවෙල් නිරීක්ෂණාගාරයේ (Lowell Observatory) වැඩ කරමින් සිටි, 23 හැවිරිදි ක්ලයිඩ් ටොම්බෝ ( Clyde Tombaugh) නමැති තාරකා විද්‍යාඥයාට ඈත පිහිටි තාරකා වලට සාපේක්ෂව අහසේ ගමන් කරන්නාක් මෙන් පෙනෙන විශේෂ වස්තුවක් සොයාගැනීමට හැකිවිය. පසුව කල නිරීක්ශණ වලින් එය සූර්යයා වටා කක්ෂගතව පවත්නා බව පෙනෙන්නට වූ අතර ටොම්බෝ විසින් සොයාගනු ලැබූ ආකාෂ වස්තුව අන් කිසිවක් නොව තාරකා විද්‍යාඥයින් සොයාගැනීමට වෙහෙසෙන Planet-X නම් ග්‍රහයා බව අවසානයේදී තහවුරු විණි. Planet-X ලෙස ඉහත සදහන් කල වස්තුව නම් කිරීමට යෙදුනේ එය කුමන ආකාරයක වස්තුවක් දැයි තාරකා විද්‍යාඥයින් ඒ වනවිට නොදැන සිටි බැවිනි. නමුත් එය සෞරග්‍රහ මන්ඩලයේ තවත් සාමජිකයෙකු ලෙස හදුනාගැනීමෙන් අනතුරුව ඒ සදහාද අනෙකුත් ග්‍රහයින්ට පවතින්නාක් මෙන් සුවිශේෂී වූ නාමයක් ලබා දීමට සිදුවිය. මේ සදහා එකල විවිධ ආකාරයේ නාමයන් බොහොමයක් යෝජනා විනි. නමුත් අවසානයේ සෞරග්‍රහ මන්ඩලයේ මේ අලුත් සාමාජිකයා සදහා ස්ථීර කර ගැණුනේ 1930 වර්ෂයේදීම වෙනිෂියා බර්නි (Venetia Burney)නම් 11 හැවිරිදි කුඩා පාසල් දැරිය විසින් යෝජනා කල ප්ලුටෝ(Pluto) නම් නාමයයි. සෞරග්‍රහ මන්ඩලයේ 9වන ග්‍රහයා ලෙස අප කලක් හැදිනගෙන සිටි ප්ලූටෝගේ සොයාගැනීම සිදු වුයේ මේ ආකාරයෙනි.

 

ක්ලයිඩ් ටොම්බෝ

 

වෙනිෂියා බර්නි

ප්ලූටෝගේ සොයාගැනීමෙන් පසු, තාරකා විද්‍යාඥයෝ ප්ලූටෝ අවට හා ඊට එපිටින් ඇති අභ්‍යාවකාශය පිළිබද තොරතුරු සෙවීමට උත්සුක විය. මෙහි ප්‍රතිපලයක් ලෙස 1978 ජූනි 22වන දින ජේම්ස් ක්‍රිස්ටි(James Christy) විසින් මේ වන තෙක් තනි ග්‍රහයෙකු ලෙස හදුනාගෙන තිබූ ප්ලූටෝගේ තවත් සගයෙකු සොයාගැනීමට යෙදුනි. ඒ අන් කිසිවක් නොව ප්ලූටෝගේ චන්ද්‍රයෙකු ලෙස අප හදුන්වන චාරෝන්ය(Charon). මේ චාරෝන් චන්ද්‍රයායේ සොයාගැනීමත් සමගම ප්ලූටෝ පිළිබදව අප ඒ වන තෙක් දැන සිටි කරුණු ප්‍රමාණයද දෙගුණ තෙගුණ වන්නට විය. වර්ථමානය වන විට ප්ලූටෝට අයත් චන්ද්‍රයින් ගණන 3ක් දක්වා වැඩි වී තිබේ. අලුතින් සොයාගත් චන්ද්‍රයින් දෙදෙනා චාරෝන්ට සාපේක්ෂව ඉතා කුඩා වන අතර ඒවා හයිඩ්‍රා(Hydra) සහ නික්ස්(Nix ) ලෙස නම් ලබා ඇත.

පසුව කෙරුණු නිරීක්ෂණ වලින්(විශේෂයෙන්ම 1992 වර්ෂයේ සිට) එහි පිහිටීමට යාබදව පවතින තවත් ඊට වඩා කුඩා වස්තූන් රැසක්ද විද්‍යාඥයින්ට සොයාගැනීමට හැකිවිය. මේවා ප්ලූටෝට වඩා බෙහෙවින් කුඩා වූ බැවින් ඒවා ග්‍රහක හෝ දූමකේතු ලෙස සැලකිණි. මෙලෙස හදුනාගැනීමට යෙදුනු මෙම කුඩා වස්තූන් බ්‍රහස්පති හා අගහරු අතර පවතින ග්‍රහක වළල්ල මෙන් නෙප්චූන්ට එහායින් ග්‍රහක වළල්ලක් ආකාරයට පිහිටා තිබේ. මෙම ග්‍රහක වළල්ල කුයිපර් පටිය (Kuiper belt) ලෙස හදුන්වයි. නව සොයාගැනීම් අනුව කුයිපර් පටියට එපිටින් ඇති තවත් වස්තූන් සොයාගෙන ඇත. මේ අනුව නෙප්චූන්ගේ කක්ෂයට එපිටින් ඇති සියලු අභ්‍යාවකාෂ වස්තූන් පොදුවේ Trans-Neptunian objects (TNO) ලෙස හදුන්වයි. කුයිපර් පටියද මේ TNO කලාපයට අයත් වන්නකි.

කුයිපර් පටියේ අවසාන මායිම පිහිටනුයේ ප්ලූටෝ සූර්යයාට දුරින්ම පිහිටන මායිමේය. ප්ලූටෝ සූර්යයාට ලංවම පවතින පිහිටුම පවතිනුයේ නෙප්චූන්ගේ කක්ෂයටද මෙහායිනි. මේ නිසා සමහර කාල වලදී ප්ලූටෝ සෞරග්‍රහ මන්ඩලයේ 8 වන ග්‍රහයා බවටද පත්වෙයි. ප්ලූටෝගේ මේ අස්වාභාවික චලිතයට හේතු වන්නේ එහි අධික ඉලිප්සාකාර කක්ෂයයි. මෙහිදී ඇත්තටම සිදු වන්නේ ප්ලූටෝ ග්‍රහයා කුයිපර් පටිය හරහා ගමන් කිරීමකි. තවත් සරලව දක්වතොත්, ප්ලූටෝ ග්‍රහයා සෞරග්‍රහ මන්ඩලයේ අනෙකුත් ග්‍රහයින් මෙන් තනිව පවතින වස්තුවකට වඩා කුයිපර් පටියේම සාමාජිකයෙකු ලෙස හැදින්විය හැකිය. නමුත් ප්ලූටෝ, කුයිපර් පටියේ තමන්ගේ අනෙකුත් සගයින් අභිබවා ඉතා දැවැන්තව වැඩුණු ග්‍රහයෙකි. එබැවින් ප්ලූටෝ ග්‍රහයෙකු ලෙස ලබා තිබූ තනතුරට තාරකා විද්‍යාඥයින් හට ගැටලු සහගත තත්වයක් පැවතුනත් ඒ සදහා කුයිපර් පටියේ නව සොයාගැනීම් බාධාවක් නොවිනි. නමුත් ප්ලූටෝගේ අනාගත ඉරණම වෙනස් වන්නේ මේ අලුත් සොයාගැනීම් නිසා නම් නොවේ.


සෞරග්‍රහ මන්ඩලයේ 10 වන ග්‍රහයා

2005 වර්ෂයේදී පැල්මා නිරීක්ෂණාගාරයේ(Palomar Observatory), මයික් බ්‍රොවුන්(Mike Brown) ප්‍රමුඛ තාරකා විද්‍යාඥයින් කන්ඩායමක් විසින් ප්ලූටෝට වඩා විශාල ඊට බොහෝ ඈතින් පිහිටි(TNO කලාපයට අයත් වන්නකි), සූරයයා වටා කක්ෂගතව පවතින අභ්‍යවකාශ වස්තුවක් සොයාගැනීමට යෙදිනි. නිවැරදිව හදුනා නොගත් මෙම වස්තුව මුලදි නම් කරනු ලැබුවේ 2003UB313 ලෙසය. පසුව මෙහි වැඩිදුර තොරතුරු නිරීක්ශණය කිරීමෙන් අනතුරුව එහි ග්‍රහයකුගේ ලක්ෂණ පවතින බැවින් එය සෞරග්‍රහ මන්ඩලයේ 10 වන ග්‍රහයා ලෙස නම් කෙරිණි. 2003UB313 ලෙස කලින් නම් ලබා තිබූ මෙම වස්තුව එය හදුනාගත් කාලයේ පටන්ම සීනා (Xena) යන ආරූඩ නාමයෙන්ද හැදින් වූ අතර පසුව එය ඊරිස්(Eris) ලෙස නිල වශයෙන් නම් කෙරිණි.

 

මයික් බ්‍රොවුන්

මෙම ආන්දෝලනාත්මක 10 වන ග්‍රහයාගේ සොයාගැනීමත් සමගම ලොව පුරා තාරකා විද්‍යාඥයින්ට ග්‍රහයින් යනු කුමන ආකාරයක වස්තූන්ද යන්න පිලිබදව නැවත සිතන්නට සිදුවිය. එනම් ඊරිස් ආකාරයේ තවත් වස්තූන් අනාගතයේදී හදුනාගැනීමට බොහෝ ඉඩකඩ තිබීමත් ඒ අනුව ඒ වස්තූන්ද ග්‍රහයින් ලෙස නම් කල යුතු වන බැවිණි. මෙහි ප්‍රතිපලය වන්නේ සෞරග්‍රහ මන්ඩලයේ ග්‍රහයින්ගේ සංඛ්‍යාව විශාල අගයක් දක්වා වැඩි වීමකි. තවද එලෙස අනාගතයේදී සොයාගැනීමට යෙදෙන වස්තූන් බොහොමයක් ප්ලූටෝ මෙන් කුයිපර් පටියේ සාමාජිකයන් විය හැකිය. මේ අනුව බලන විට ප්ලූටෝට අත් වන ඉරණම කුමක්ද? ඉදිරියේදී මෙලෙස සොයාගැනීමට යෙදෙන සියලුම වස්තූන් ග්‍රහයින් ලෙස නම් කරනවාද? වැදගත්ම ප්‍රශ්නය වන ග්‍රහයෙකු ලෙස අප හදුන්වන්නේ ඇත්තටම කුමන ආකාරයක වස්තූන්ද? ආදී ප්‍රශ්ණ වලට ලොව පුරා තාරකා විද්‍යාඥයින්ට පිළිතුරු සෙවීමට සිදුවී තිබිණි.

මේ අනුව තාරකා විද්‍යා ක්ශේත්‍රයේ දැනට ලොව ඇති විශාලතම සංගමය වන ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) මගින් එහි සාමාජික විද්‍යාඥයින්ගේ මතයන්ද සොයා බලා තාරකා විද්‍යා ඉතිහාසයේ ප්‍රථම වතාවට ග්‍රහයෙකු යනු කුමන ආකාරයක වස්තුවක්ද යන්න පිළිබදව නියම අර්ථ දැක්වීමක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට යෙදිණි. මෙහිදී ඔබට ඇතිවිය හැකි ගැටලුව වන්නේ මීට පෙර ග්‍රහයෙකු ලෙස නම් කරනු ලැබුවේ කුමන ආකාරයක පදනමක් මත පිහිටාද යන්නයි. ඇත්තටම, මීට පෙර ග්‍රහයෙකු සදහා නියම අර්ථ දැක්වීමක් නොතිබිණි. ග්‍රහයෙකු ලෙස බොහෝ විට හැදින්වූයේ ප්‍රමාණයෙන් ඉතා විශාල (ස්කන්ධය ඉතා අධික) සූර්යයා වටා ඉලිප්සාකාර පථයක ගමන් ගන්නා වස්තූන් ලෙසය. කුයිපර් පටියේ සාමාජිකයෙකු වන ප්ලූටෝ 9 වන ග්‍රහයා ලෙස නම් කරනු ලැබුවේද බොහෝ දුරට මේ පදනම මත පිහිටාය.

ග්‍රහලොවක නව අර්ථ දැක්වීම

 

International Astronomical Union

IAU මගින් ස්ථීර කරගත් ආකාරයට අද අප ග්‍රහලොවක් ලෙස හදුන්වන්නේ පහත දැක්වෙන කරුණු කිහිපයට යටත් වන අභ්‍යාවකාශ වස්තුවකි.

1. සූර්යයා වටා කක්ෂගතව පැවතීම.
2. තම ස්වකීය ගුරුත්වාකර්ෂණය මගින් ගෝලාකාර ස්වභාවයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ස්කන්ධයකින් යුතු වීම.
3. අනෙකුත් අභ්‍යාවකාෂ වස්තුවල බලපෑමකින් තොර කක්ෂයක ගමන් කිරීම.

ඉහත දැක්වෙන කරුණු දෙස බැලීමේදී ප්ලූටෝ ග්‍රහයා ඉහත මුල් කරුණු දෙක යටතට අයත් වූවද අවසාන කරුණට එකග නොවන බව පෙනෙයි. එමෙන්ම ප්ලූටෝ දක්වා ඇති පෘථිවියද ඇතුලු අනෙකුත් ග්‍රහයින් 8 දෙනා දෙස බැලීමේදී ඒවා ඉහත කරුණු සියල්ලටම එකග වන බවද ඔබට පැහැදිලි වේවි. තවද අලුතින් සොයාගනීමට යෙදුනු ඊරිස් ග්‍රහයාද ප්ලූටෝ මෙන් ඉහත අවසාන කරුණට එකග නොවන බවද ඔබට එහි දක්ත පිරික්සීමෙන් පැහැදිළි වේවි. මේ අනුව 1930 වසරේ සිට මේ වන තෙක් ග්‍රහයෙකු ලෙස සෞරග්‍රහ මන්ඩලයේ මායිමේ සිටි ප්ලූටෝ හා අලුතින් හදුනාගත් සෞරග්‍රහ මන්ඩලයේ 10 වන ග්‍රහයා ලෙස සැලකීමට යෝජනා වූ ඊරිස් ග්‍රහයාද ග්‍රහලොවක් යන තනතුරින් ඉවත් කෙරිණි.

මෙලෙස ඉවතට තල්ලු කල ප්ලූටෝ හා ඊරිස් වෙනමම ආකාරයේ ග්‍රහ පද්ධතියක් ලෙස නම් කිරීමට විද්‍යාඥයින් තීරණය කරන්නේ මේ ආකාරයේ වස්තූන් ග්‍රහක හෝ ධූමකේතු ලෙස එක්වරම පහල දැමීම සුදුසු නැති බැවිණි. අලුතින් නිර්මාණය කිරීමට යෙදුනු මේ විශේෂ ග්‍රහ පද්ධතිය වාමන ග්‍රහයින් (Dwarf Planets) ලෙස හදුන්වයි.

වාමන ග්‍රහයෙකුගේ අර්ථ දැක්වීම

IAU මගින් ස්ථීර කරගත් ආකාරයට වාමන ග්‍රහයින් ලෙස අප හදුන්වන්නේ පහත දැක්වෙන කරුණු කිහිපයට යටත් වන වස්තූන්ය. වාමන ග්‍රහයින් යන වදන මීට පෙර තාරකා විද්‍යා ක්ශේත්‍රය තුල භාවිතා නොවූවකි. වාමන මන්දාකිණි යන වදන (Dwarf Galaxies) මීට පෙර සිටම භාවිතයේ පැවතියත් වාමන ග්‍රහයින් යන වදන තාරකා විද්‍යා ක්ශේත්‍රයට එක් වන්නේ මෙතැන් සිටය.

1. සූර්යයා වටා කක්ෂගතව පැවතීම.
2. තම ස්වකීය ගුරුත්වාකර්ෂණය මගින් ගෝලාකාර ස්වභාවයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ස්කන්ධයකින් යුතු වීම.
3. අනෙකුත් අභ්‍යාවකාෂ වස්තුවල බලපෑමක් සහිත කක්ෂයක ගමන් කිරීම.
4. උපග්‍රහයෙකු නොවීම.

ඉහත අර්ථ දැක්වීමට අනුව ප්ලූටෝ හා ඊරිස්, අලුතින් අර්ථ දැක්වීමට යෙදුණු වාමන ග්‍රහ පද්ධතියේ සාමාජිකයින් බවට පත් විණි. 2006 අගෝස්තු 24 වන දින IAU මගින් නිළ වශයෙන් වාමන ග්‍රහයින් තිදෙනෙකු නම් කෙරිණි. තුන් වන වාමනයා අගහරු හා බ්‍රහස්පති අතර ග්‍රහක වළල්ල තුල පිහිටි සෙරස්ය(Ceres). 4 වන වාමන ග්‍රහයා ලෙස මේක්මේක් (Makemake) නම් කෙරිණි. හවුමියා (Haumea) 5වන වාමන ග්‍රහයා ලෙස නම් කෙරිණි. එතැන් සිට අද දක්වා කිසිදු වෙනත් අභ්‍යවකාශ වස්තුවක් වාමනයෙක් ලෙස නිල වශයෙන් නම් කොට නැත. මේ අනුව අද අප හදුනාගෙන තිබෙන මුලු වාමනයින් සංඛ්‍යාව පහකි. නමුත් තවත් අලුතින් හදුනාගත් අභ්‍යවකාශ වස්තූන් කිහිපයක්ම වාමනයින් ලෙස නම් කිරීමට යෝජනා වී ඇති බව මෙහිලා විශේෂයෙන් සදහන් කල යුතුය.


ප්ලූටෝ-චාරෝන් පද්ධතිය පිළිබද ගැටලු

චාරෝන් යනු ප්ලූටෝගේ චන්ද්‍රයෙකු බව ඔබ දැනටමත් දන්නා කරුණකි. නමුත් ප්ලූටෝ-චාරෝන් පද්ධතිය පිළිබදව පසුව කෙරුණු නිරීක්ශණ වලින් හෙළි වී ඇත්තේ චාරෝන් සතුව උපග්‍රහයෙකුගේ ලක්ෂණ නොමැති බවය. ප්ලූටෝ වටා චාරෝන්ගේ චලිතය චන්ද්‍රයා පෘථිවිය වටා සිදුකෙරෙන චලිතයට වඩා බොහෝ වෙනස් ආකාරයක් ගනී. ප්ලූටෝ-චාරෝන් පද්ධතිය පිළිබදව කථා කිරීමට පෙර අපි උපග්‍රහයෙකු යනු කුමන ආකාරයක වස්තුවක්ද යන්න සොයා බලමු.

 

උපග්‍රහයෙකු ලෙස හදුන්වන්නේ එහි මවු ග්‍රහයාගේ හා උපග්‍රහයාගේ පොදු ස්කන්ධ කේන්ද්‍රය මවු ග්‍රහයා තුල පවතින පරිදි මවු ග්‍රහයා වටා කක්ෂගතව පවතින අභ්‍යාවකාෂ වස්තුවකටය. තාරකා විද්‍යාවේදී මෙම පොදු ස්කන්ධ කේන්ද්‍රය Barycenter ලෙස හදුන්වයි.

මවුග්‍රහයෙකු හා උපග්‍රහයෙකු ඇති පද්ධතියකදී සිදුවන්නේ උපග්‍රහයා මවුග්‍රහයාගේ ස්කන්ධ කේද්‍රය වටා කක්ෂගතවී පැවතීමක් නොවේ. මෙවැනි පද්ධතියක ඇත්තටම සිදු වන්නේ මවුග්‍රහයා හා උපග්‍රහයා යන වස්තූන් දෙකම එහි පොදු ස්කන්ධ කේන්ද්‍රය(Barycenter) වටා ගමන් කිරීමකි. උදාහරණයක් ලෙස අප පෘථිවිය-චන්ද්‍රයා පද්ධතිය සැලකීමේදී චන්ද්‍රයා පෘථිවියේ ස්කන්ධ කේන්ද්‍රය වටා ගමන් නොකරන අතර සිදුවන්නේ චන්ද්‍රයා හා පෘථිවිය යන වස්තූන් දෙකම එහි පොදු ස්කන්ධ කේන්ද්‍රය වටා ගමන් කිරීමයි. මෙම පද්ධතියේ පොදු ස්කන්ධ කේන්ද්‍රය පෘථිවිය තුල පිහිටයි(ඉහත රූපයේ මෙන්). එම නිසා චන්ද්‍රයා ආසන්න වශයෙන් පෘථිවියේ ස්කන්ධ කේන්ද්‍රය වටා ගමන් කරන ලෙස සැලකිය හැකිය.

ප්ලූටෝ-චාරෝන් පද්ධතියේ පොදු ස්කන්ධ කේන්ද්‍රය පවතිනුයේ ප්ලූටෝ ග්‍රහයා තුල නොව ඉන් පිටතය. මේ නිසා මෙම පද්ධතියේ පවතිනුයේ චන්ද්‍රයා-පෘථිවිය පද්ධතියෙන් ඉතා වෙනස් අමුතුම ආකාරයේ චලිතයකි. මේ නිසා චාරෝන් තවදුරටත් ප්ලූටෝගේ උපග්‍රහයෙකු ලෙස හැදින්විය නොහැකි බව පෙන්වා දිය යුතුය. තවද චාරෝන් සතුව වාමන ග්‍රහයෙකුගේ ලක්ෂණද පවතී. මේ බව චාරෝන්ගේ දක්ත පිරික්සීමෙන් ඔබට පැහැදිළි වේවි. ඒ අනුව චාරෝන්ද වාමන ග්‍රහයෙකු ලෙස නම් කල යුතුය. තවද ප්ලූටෝ-චාරෝන් පද්ධතිය හැදින්විය හැකි නිවැරදි හා වඩාත් සාධාරණ ආකාරය වන්නේ ද්විත්ව වාමන ග්‍රහ පද්ධතියක් ලෙස හැදින්වීමය. නමුත් තවමත් චාරෝන්, ප්ලූටෝගේ උපග්‍රහයෙකු ලෙස හදුන්වන අතර නුදුරු අනාගතයේදී මෙම පද්ධතිය ද්විත්ව වාමන ග්‍රහ පද්ධතියක් ලෙස නිළ වශයෙන් නම් කරනු ඇති බවද සදහන් කල යුතුය.

 

වැඩිදුර විස්තර:

http://www.iau.org/public_press/themes/pluto/

 

Read More

ශ්‍රී ලංකාවට චන්ද්‍රපාෂාණ ගෙන ආ දිනය

ලොවම මවිත කරමින් මිනිසා ප්‍රථමවරට සද මත පා තැබීමේ ඓතිහාසික මොහොත සිදු වූයේ මීට අවුරුදු 40කට පෙර අද (ජූලි 20) වැනි දිනයකය.

1969 වසරේ ජූලි මස 16 වන දින දැනට ලෝකයේ නිපදවා ඇති විශාලතම රොකටය වන ‘සැටර්න්-5’ රොකටයේ නැගී නීල් ආම්ස්ට්‍රෝංග්, මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමීන් තිදෙනා පෘථිවි ගුරුත්ව බලපෑමෙන් මිදී අභ්‍යාවකාශ ගත වන්නේ සද මතට ගොඩ බැසීමේ බලාපොරොත්තුවෙනි. එතැන් සිට දින 4කට පසු එනම්, ජූලි 20 වෙනිදා අජටාකාශගාමීන් තිදෙනා චන්ද්‍රයා වටා කක්ෂ්‍යගත වීම සිදුවිණි. එදිනම මෙහෙයුම් මොඩුයුලයේ පාලනය මයිකල් කොලින්ස් හට භාර කරමින් චන්ද්‍රයානය වෙත පිවිසෙන නීල් ආම්ස්ට්‍රෝංග් හා එඩ්වින් ඕල්ඩ්‍රින් චන්ද්‍ර පෘෂ්ටය මතට ගොඩ බසිනු පිනිස මෙහෙයුම් මොඩුයුලයෙන් වෙන්වීම සිදුවෙයි. පෙර සැලසුම් කල ආකාරයට චන්ද්‍රයාගේ ‘The sea of Tranquility’ ලෙස හැදින්වෙන ප්‍රදේශයට ගොඩ බැසීමෙන් පසු චන්ද්‍ර යානයෙන් පිටතට පැමිණෙන නීල් ආම්ස්ට්‍රෝංග්, සද මතට ගොඩ බසින්නේ සද මත පා තැබූ ප්‍රථම මිනිසා වීමේ සුවිශේෂී වූ ගෞරවය හිමිකර ගනිමිනි.

වමේ සිට, නීල් ආම්ස්ට්‍රෝංග්, මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩ්‍රින්

ලොවම නොඉවසිල්ලෙන් බලා සිටි මේ ඓතිහාසික අවස්ථාවේ 40වන සංවත්සරය මෙම ජූලි මාසයේදී සමරණු ලබයි. එදා සිට අද දක්වා අවුරුදු 40ක කාලයක් ගෙවී ගොස් තිබුණත් මිනිස් ඉතිහාසයේ සටහන් වන විශ්මයජනකම සිදුවීම මෙය වනවා නිසැකය. එවන් වූ වැදගත්කමක් උසුලන සද ගමන අවුරුදු 40කට පෙර වකවානුව තුලදී ශ්‍රී ලංකාවටද වැදගත් සිදුවීමක් මෙන්ම නොමැකෙන මතකයක් ලෙස සටහන් වන්නේ සද ගමනේදී ලබාගත් චන්ද්‍රපාෂාණ වලින් කුඩා කොටසක් ලංකාවටද තිළිණයක් ලෙස ලැබුණු බැවිනි.

කොහොමද මේ තිළිණය ලැබුණේ?

ප්‍රථම සද ගමන සිදු වූ ‘ඇපොලෝ-11’ මෙහෙයුමේ සාර්ථක අවසානයෙන් පසු එම මෙහෙයුම අතරතුරදී එකතු කරගත් චන්ද්‍රපාෂාණ වලින් ඉතා කුඩා ප්‍රමාණයක් තවත් රටවල් කිහිපයකට විශේෂ තිළිණයන් ලෙස ඇමෙරිකානු රජය විසින් ලබාදෙන ලදි. ශ්‍රී ලංකාවට මේ විශේෂ තිළිණය ලැබීම සිදු වූයේ මීට අවුරුදු 40කට පමණ පෙර වකවානුවේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිව සිටි ඇන්ඩෲ වී. කොරී මහතා සිටි යුගයේදී ඇමෙරිකානු තානාපති කාර්යාලයටය. ලංකාවට හිමි වූ මේ කුඩා පාෂාණ කැබලි කිහිපය ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා විය. තරමින් ඉතා කුඩා වූවත් රූපවාහිණී නොතිබුණු මේ අවදියේ ගුවන් විදුලියෙන් හා පුවත් පත් වලින් ඊට ලැබුණු ප්‍රචාරය හේතුවෙන් සියලු දෙනාගේ අවධානය මේ කුඩා ආගන්තුක ගල් කැබලි වෙත යොමු වන්නට විය.

මහජන ප්‍රදර්ශණය

චන්ද්‍රපාෂාණ මහජනයා සදහා ප්‍රදර්ශණය වූයේ කොළඹ සහ මහනුවර යන ප්‍රධාන නගර දෙකේදීය. 1969 දෙසැම්බර් 17 සිට දින 3ක් පුරාවට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේදී මෙය මහජනයා සදහා විවෘතව පැවතිණි.

ඉහත රූපයේ දැක්වෙනුයේ එලෙස ප්‍රදර්ශණය වෙමින් පැවති අවස්ථාවකි. ආගන්තුක පාෂාණ කොටස් දැක බලා ගැනීම සදහා කුතුහලයෙන් යුතුව පැමිණෙන විශාල ජනකායක් මෙහි දැක්වේ. රූපයේ ඉදිරියෙන්ම පෙනෙන්නට තිබෙන විශාල වීදුරු ගෝලයක් තුල ආරක්ෂාකාරී ලෙස තබා ඇත්තේ චන්ද්‍රපාෂාණ කොටසයි. ඊට මදක් පිටුපසට වන්නට තවත් කුඩා ගෝලයක් මෙන් දිස්වනුයේ චන්ද්‍රයාගේ ආකෘතියකි.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙනුයේ තවත් එවැනිම මහජන ප්‍රදර්ශණයක් මහනුවර නගරයේ පැවති අවස්ථාවකි. එකල 175,000 පමණ ශ්‍රී ලාංකීය ජනතාව මෙය සියැසින් දැකබලා ගත් බවද සදහන් වෙයි.

නීල් ආම්ස්ට්‍රොංග් මහතා ලංකාවට පැමිණෙයි

චන්ද්‍රපාෂාණ මහජනයා සදහා විවෘතව පැවති කාලය අතරතුරදී නීල් ආම්ස්ට්‍රෝංග් මහතා ඇමරිකාවේ සිට හොං-කොං දක්වා පියාසර කරමින් සිට ඇත. මෙම දිගු ගුවන් ගමනේ එක් සන්ධිස්ථානයක් වූයේ ලංකා ගුවන් තොටුපලයි. ඔහු ගමන් ගත් ගුවන් යානය ලංකා ගුවන් තොටුපලට ගොඩ බස්වා, නැවත ගමන් අරබන තෙක් කාලය අතරතුර තේ කෝප්පයක් පානය කිරීමේ අවශ්‍යතාවයෙන් යුතුව නීල් ආම්ස්ට්‍රෝංග් මහතා ගුවන් තොටුපලේ භෝජනාගාරය වෙත ගමන් කොට ඇත. මේ බව එවකට ගුවන්තොටුපලේ ලංකාදීප පත්‍රයේ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල ආර්.බී.එම් සුමනදාස මහතාට සැලවීමත් සමග හදට ගොඩ බැසූ මේ පළමු මිනිසාගේ ලංකා ගමන පිළිබදව ඔහුගේ ඡායාරූපයක්ද සහිතව ලංකාදීප පත්‍රයේ පල කිරීමට අහම්බෙන් මෙන් අවස්ථාව උදා කර ගැණුනි. පෙර නොසිතූ පරිදි සිදු වූ නීල් ආම්ස්ට්‍රෝංග් මහතාගේ මේ අහබු පැමිණීම එකල ලාංකීය ජනතාවගේ විමතිය තවත් වැඩිකිරීමට හේතු වූවාට නිසැකය.

චන්ද්‍රපාෂාණ වල වර්තමාන තත්වය

මහජන ප්‍රදර්ශණය පැවති කාලයෙන් පසුව ලංකාවට හිමි වූ මේ සුවිශේෂී තිළිණය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත්කොට තැබිණි. චන්ද්‍ර පාශාණ වල ඉතිහාස වතගොත දැනගැනීමෙන් පසු එහි වර්තමාන තත්වය සොයා බැලීමේ අශාවෙන් යුතුව මා දිනක් කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ගියෙමි. මෙම තිළිණය අද පවතිනේ කෞතුකාගාරයට අයත් ස්වාභාවික විද්‍යා කෞතුකාගාර කාර්යාලයේය. එය ඍජුවම මහජන ප්‍රදර්ශණය සදහා විවෘතව නොමැත. ඉහත ඡායාරූපවල දැක්වෙන්නාක් මෙන් විශාල වීදුරු ගෝලයක් මෙන් දැක්වෙන ආකෘතියද වර්තමානයේ නොපවතී. ඒ වෙනුවට අද අපට මේ චන්ද්‍රපාෂාණ දැක ගත හැකි වන්නේ විශේෂ ආකාරයකට සැකසූ කුඩා ආකෘතියකට(කුසලානයක් මෙන් හැඩය ඇති) සම්බන්ධකොට පවතින්නක් ලෙසය. පාෂාණ කිහිපය තැන්පත් කොට ඇත්තේ වීදුරු පලිගුවක් තුලය. මෙම ආකෘතියේම කුඩා ප්‍රමාණයේ ශ්‍රී ලංකා ජාතික ධජයක්ද සම්බන්ධ කොට තිබේ. එහිද විශේෂත්වයක් පවතී. එනම් සද ගමන සනිටුවහන් කිරීම සදහා විවිධ රටවල ජාතික ධජද ‘ඇපොලෝ-11’ සදගාමීන් රැගෙන ගොස් තිබේ. බොහෝවිට ඔබ දැක ඇත්තේ චන්ද්‍රයා මත සිටවූ ඇමෙරිකානු ධජය පමණි. නමුත් අනෙක් රටවල ධජයන්ද චන්ද්‍ර පෘෂ්ටය මත තබා නැවත ඔවුන් පෘථිවියට එන ගමනේ රැගෙන විත් තිබේ. මේ ආකෘතියට සම්බන්ධකොට ඇත්තේ එලෙස සද මතට ගෙන ගොස් නැවත අපට ලැබුණු ධජයයි.

ඔබට චන්ද්‍රපාෂාණ බැලීමට අවස්ථාවක් ලද හොත් සමහරවිට ඔබට එහි ඇති මෙතරම්ම වූ වැදගත්කම කුමක්ද යැයි සිතේවි. මන්දයත් මෙම පාෂාණ කැබලි එතරම්ම කුඩා ප්‍රමාණයේ ඒවා වන හෙයිනි. නමුත් එහි ඇති වැදගත්කම එහි තරමින් මැනිය නොහැක. මිනිසා සද මත පා තබන්නේ එක් වරම ක්‍රියාත්මක වූ අභ්‍යාවකාශ මෙහෙයුමක් ලෙස නොවේ. එය සිදු වන්නේ, 1957 වසරේදී අභ්‍යවකාශ ගත වන ‘ස්පුට්නික් -1’ චන්ද්‍රිකාවෙන් ඇරබෙන අභ්‍යාවකාශ යුගයත් සමගම දියත් කරන මර්කියුරි, ජෙමිනි ආදී දැවැන්ත ව්‍යාපෘති වලින් ගොඩ නැගෙන මූලික අත්තිවාරම මත ක්‍රියාත්මක වූ යෝධ ඇපලෝ ව්‍යාපෘතියේ අග්‍රගණ්‍යය ප්‍රතිඵලයක් ලෙසය. ශ්‍රී ලංකාවට හිමි වූ මේ විශේෂ තිළිණය තුල ඒ අති දැවන්ත මිනිස් ශ්‍රමය, සද ගමන පිළිබද ශ්‍රී ලාංකිකයන්ගේ මතකය යනාදී සියලු දේ ගැබ්ව පවතී. මෙහි වටිනාකම වන්නේ මෙයයි. මෙම නියම වටිනාකම පෙණෙනුයේ මෙවන් වූ අමරණීය අතීතය දන්නා කෙනෙකුට පමනක් බවද සදහන් කල යුතුය.

විශේෂ ස්තූතිය

චන්ද්‍රපාෂාණ වල ඉතිහාස කථාව සහ එහි මහජන ප්‍රදර්ශණය සිදුවූ අවස්ථාව දැක්වෙන ඉහත ඡායාරූප දෙකද මා වෙත සැපයූ, රාජ්‍යය සම්මාන දිනූ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාටත්, කොළඹ ජාතික කෞතුකාගාරය තුල තැන්පත් කොට ඇති එහි වර්තමාන ආකෘතිය මා හට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුන්, ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රධානී වජිත් අබේසිංහ මහතාටත්, skylk කන්ඩායම වෙනුවෙන් මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.

Read More

ළිදට වැටුණු හිරු ඡායාවෙන් හෙලි වූ පෘථිවි පරිධිය

මීට අවුරුදු 2550 කට පමණ පෙර, ග්‍රීක ජාතික පයිතගරස් නම් ගණිතඥයා පෘථිවිය ගෝලාකාර විය යුතු යැයි පැවසූවේ ගෝලයක් යනු හුදෙක් පරිපූර්ණ වස්තුවක් වීමත් සුවිශේෂී වූ පෘථිවිය දෙවියන් වහන්සේට ගෝලයකට වඩා සුවිශේෂී වූ හැඩයකින් මැවීමට නොහැකි වූයේ යැයි සිතූ නිසාය. ගණිතය නමැති විශේෂ විෂය හැදෑරීමෙන් ස්වභාවධර්මය හා දෙවියන් වහන්සේ වටහා ගැනීමට උත්සහකල

පයිතගරස්, පෘථිවිය ගෝලාකාර බව ප්‍රකාශ කර සිටියත් එය තහවුරු කිරීමට සාක්ෂි ගෙනහැර දැක්වූයේ නම් නැත. පෘථිවිය කුමන ආකාරයක වස්තුවක්ද යන වග පිළිබදව කුතුහලයකින් පසු වූ අතීත මිනිසා එහි හැඩය පිළිබදව විවිධ මත දරූහ. පයිතගරස්ගේ කාලයේ සිට අවුරුදු 100කට පමණ පසු ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් පෘථිවිය ගෝලාකාර බව සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමත් සමගම ගෝලාකාර පෘථිවිය පිළිබද වූ අදහස මනාව තහවුරු විය.

 

ඉරටොස්තනීස්

අප ජීවත් වන පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව තහවුරු කරගත් අවධියේ පටන්ම අතීත මිනිසාට තිබූ ඊලග ප්‍රධාන ගැටලුව වූයේ පෘථිවි ගෝලය කොපමණ විශාලද (අරය,විශ්කම්භය හෝ පරිධිය වැනි අගයක්) යන්නයි. පෘථිවියේ හැඩය කුමන ආකාරයේද යන්න යම් යම් දාර්ශණිකයින් විවිධ ආකාරයෙන් විවිධ කාල වලදී පැහැදිලි කලාක් මෙන් පෘථිවි ගෝලයේ තරම සදහාද විවිධ අගයන් ඉදිරිපත් විණි. මේ අතර අතීත ග්‍රීක දැණුමේ කේන්ද්‍රස්ථානයව පැවති ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා මහා පුස්තකාලයේ ප්‍රධාන පුස්ථකාලාධිපතිවරයාව සිටි ඉරටොස්තනීස් ඉදිරිපත් කල අගය වඩාත් නිරවද්‍ය හා පිළිගත හැකි අගයක් වන්නේ එය පරීක්ෂණාත්මක පදනමක් මත පිහිටා ගණනය කරන ලද්දක් වන හෙයිනි. පෘථිවි පරිධිය පමණක් නොව පෘථිවි භ්‍රමණ අක්ෂයේ ආනතිය සහ හිරු, පෘථිවිය, චන්ද්‍රයා අතර දුර සෙවීම ආදී සොයාගැනීම් නිසාද ඉරටොස්තනීස් කීර්ති නාමය ඉතිහාසයේ සටහන්ව පවතී. ඔහුගේ පරීක්ෂණයෙන් ලද අගය වර්ථමානයේ අප දන්නා පෘථිවි පරිධියේ අගයටද බොහෝ දුරට සමාන වීමෙන් පැහැදිලි වන්නේ මීට අවුරුදු 2250 කට පෙර ඔහු කල පරීක්ෂණයේ ඇති වැදගත්කමයි.

ළිදට වැටුණු හිරු ජායාව

සෑම වසරකම ජූනි මස 21 වන දින ඊජිප්තුවේ සයීන් (වර්ථමානයේ අස්වාන් ලෙස හැදින්වෙන) ප්‍රදේශයෙන් සුවිශේෂී වූ සංසිද්ධියක් නිරීක්ෂණය වන බව ඉරටොස්තනීස් හට දැනගැනීමට ලැබුණි. එනම් මෙදින මධ්‍යහන 12.00 ට එම ප්‍රදේශයේ ඇති ළිදක පතුල නිරීක්ෂණය කරන්නෙකුට සූර්යයාගේ ජායාව දර්ශණය වන බවයි(ඔහු මේ බව මුහුදු කොල්ලකරුවෙකුගේ පොතකින් දැනගත් බවද සදහන් වෙයි). අවුරුද්දේ අනෙකුත් දිනයන්හීදී මධ්‍යහන 12.00 ටත් අදුරු ලෙස දිස් වන ළිං පත්ල මෙම දිනයේදී පමණක් සූර්යයා ලෝකයෙන් ඒකාලෝක වී දර්ශණය වන්නේ, මෙම දිනයේදී සූර්යය කිරණ ඍජුවම අස්වාන් ප්‍රදේශය වෙත පතිත වන හෙයිනි. වෙනත් අයුරකින් දක්වතොත් ඉතා ඍජුවම මෙම ප්‍රදේශයට ඉහලින් සූරයයා පිහිටන බැවිණි.

අස්වාන් සහ ඇලෙක්සැන්ඩ්‍රියා නගර දෙක රතු පාටින් සලකුණු කර ඇත.

මෙම නිරීක්ෂණය දැනගත් වහාම ඉරටොස්තනීස් හට ඇති වූ කුතුහලය වූයේ තමා වෙසෙන ඇලෙක්සැන්ඩ්‍රියා නගරටත් හිරු රැස් ඍජුවම පතිත වනවාද යන්න සොයා බැලීමයි. මන්ද එසේ නොවේනම් පෘථිවිය පැතලි වස්තුවක් නොව ගෝලයක් බව මනාව පැහැදිලි වන බැවිනි. හිරු කිරණ වැටෙන ආනතිය සෙවීම, තවත් වැදගත් සොයාගැනීමකට මග පාදන බවද ඔහුට පෙනෙන්නට විය. එය වෙනකක් නොව සියලු දෙනා සෙවීමට කුතුහලයෙන් පසු වන පෘථිවි පරිධියයි.

පරිධිය හෙව්වේ මෙහෙමයි

ඉහත රූපයේ සයීන් ප්‍රදේශයේ ඇති ලිදට හිරු කිරන ඍජුවම වැටෙන ආකාරය දැක්වෙයි. කණුවක් පිහිටුවා ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේය. පෘථිවියේ ගෝලාකාර බව නිසා ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පිහිටි කණුවට හිරු කිරණ ආනතව පතින වන බැවින් එහි සෙවනැල්ලක් දැක ගත හැකිය. ඉරටොස්තනීස් මේ සෙවනැල්ලේ ප්‍රමාණය ලබාගත් අතර එමගින් හිරු කිරණ පතිත වන ආනතිය Ɵ සොයාගැණුනි. රූපයේ දක්වා ඇති ආකාරයට මෙම කෝණය, ලිද සහ කණුව පෘථිවි කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයටද සමාන වෙයි. ඉරටොස්තනීස් ලබාගැනීමට යෙදුනු මෙම කෝණයේ අගය ආසන්න වශයෙන් අංශක7.2 කි. මේ නිසා නගර දෙක අතර දුර පෘථිවි කේන්ද්‍රයේ ආපාතනය කරන කෝනයේ අගය 7.2 කි.

කේන්ද්‍රය වටා මුලු කෝණය 360 වන බැවින්, 7.2/360 = 1/50

මේ නිසා අදාල නගර දෙක අතර දුර පෘථිවි පරිධිය මෙන් 1/50 ක් ගුණයක් බව පැහැදිලිය. මේ අනුව නගර දෙක අතර දුර දන්නේ නම් එය 50න් ගුණ කල විට පෘථිවි පරිධියේ අගය ලැබේ.

ඉරටොස්තනීස් සොයාගත් ආකාරයට මෙම දුර ස්ටේඩියා 5000 කි. ස්ටේඩියා යනු අතීතයේදී දිග මැනීමට භාවිතා වූ ඒකකයක් වූ අතර අද අප දන්නා පරිදි ස්ටේඩියා 1 යනු මීටර 185 පමණ අගයකි. නගර දෙක අතර දුර සෙවීම සදහා ඉරටොස්තනීස් ඇලෙක්සැන්ඩ්‍රියා සිට සයීන් දක්වා පුත්ගලයෙකු පිටත් කර යැවූ බවද ඉතිහාසයේ සදහන් වෙයි.කෙසේ වෙතත් එලෙස ගණනය කිරීමෙන් ලද පෘථිවි පරිධියේ අගය වූයේ ස්ටේඩියා 250,000 කි. එය කිලෝමීටර වලින් දක්වතොත් 46,250km කි. අද අප දන්නා පෘථිවි පරිධියේ අගය 40,075.02 km (නීරක්ෂීය) කි. මේ නිසා ඉරටොස්තනීස් ලද අගය අද අප දන්නා අගයට බොහෝ දුරට සමාන වන බව පැහැදිලිය. පෘථිවි පරිධිය සෙවීම සදහා ඉරටොස්තනීස් කල පරීක්ෂණය අපට අමතක කල නොහැකි එකක් වන්නේ එහි ඇති නිරවද්‍යතාව නිසාවෙනි.

Read More