හිරු මුහුණතේ ඇති කළු පැල්ලම්

සූර්යයා දෙස පියවි ඇසින් එක මොහොතක් වත් එක එල්ලේ බැලිය නොහැකි බව ඔබ හොදින් අත් දැක ඇති කරුණකි. ඒ සූර්යයා සතු ප්‍රභල දීප්තිය හේතුවෙනි. අහසේ දිස් වන දීප්තිමත්ම ආකාශ වස්තුව වන්නේද සූර්යයාය. නමුත් විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීමේදී, සමහර කාල වලදී හිරු මුහුණතේ කළු පැහැති පැල්ලම් වැනි යමක් දිස් වේ.

මේවා තාරකා විද්‍යාවේදී හැදින්වෙන්නේ හිරු ලප(Sunspots) යනුවෙනි.

හිරු ලප වල ඉතිහාසය ක්‍රි.පූ. යුගය තරම් ඈතකට දිව යන්නකි. සූර්යය ලප පලමු වරට නිරීක්ශණය කරනු ලැබූ පුත්ගලයින් සම්බන්ධව ඇති තොරතුරු අවිනිශ්චිත නමුත් මේ පිළිබදව ඇති පැරණිතම සටහන් ලෙස දැක්විය හැක්කේ ක්‍රි.පූ. 28 දී  චීන තාරකා විද්‍යාඥයින් හිරු මුහුණතේ ඇති කළු පැල්ලම් වැනි යමක් දැක ඇති බවට වන තොරතුරුය. ක්‍රි.ව. 4 වන සියවසේදී  ග්‍රීක දාර්ශණිකයින් හිරු ලප නිරීක්ශණය කොට ඇති බවටද තොරතුරු හමුවේ. සූර්යයා අපහසුවකින් තොරව පියවි ඇසින් බැලිය හැකි සමහර අවස්ථාවන් වලදී, එනම් සූර්යයා ඝණ මීදුමෙන් වැසී පවතින අවස්ථා වලදී, දුහුවිලි වලින් වැසී පවත්නා විට සහ හිරු බැස යාමේදී, ඔවුන් සූර්යය ලප නිරීක්ශණය කොට ඇත.

සූර්යයා පැහැදිලිව ඉතා ගැබුරින් අධ්‍යනය කිරීම ඇරබෙන්නේ 17 වන සියවසේදී තාරකා විද්‍යා ක්ශේත්‍රයේ විශාල පෙරළියක් ඇති කල  දුරේක්ෂයේ  නිපදවීමත් සමගය.  මේ යුගයේදී තාරකා විද්‍යාඥයින් දුරේක්ෂය භාවිතයෙන්(ප්‍රක්ශේපණ ක්‍රමය භාවිතයෙන්) සූර්යය ලප ඇති වීම, ඒවායේ ව්‍යාප්තිය, කාලයත් සමග ඒවායේ හැඩය වෙනස් වීම ආදිය  පිළිබදව තොරතුරු සටහන් කර ගැණුනි.  මෙකල විසූ බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වූයේ හිරු ලප යනු සූර්යයා ඉදිරියෙන් ගමන් කරනා සූර්යයාගේ උපග්‍රහයින් හෝ ග්‍රහයින් විය හැකි බවයි. නමුත් සූර්යය ලප කාලයත් සමග වෙනස් වන ආකාරය ගැබුරින් අධ්‍යනය කල මහා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ මතය වූයේ හිරු ලප සූර්යයා මතුපිට ඇතිවන්නක් බවයි. මේ අනුව හිරු ලප සූර්යය මුහුණත හරහා ගමන් ගන්නා බැවින්, සූර්යයා තමා වටා කරකැවෙමින් පවතින බවත්, එහි භ්‍රමණ කාලයත් ඔහු විසින් නිර්නය කෙරිණි. මෙතැන් සිට 20 වන සියවස දක්වා වූ අවුරුදු 300ක් තරම් වූ කාලය පුරාවට බොහෝ දෙනා සූර්යය ලප පිළිබදව දැන සිටියේ මෙපමණකි. සූර්යයා මතුපිට දිස් වන මේ අත්භූත අදුරු පැල්ලම් පිළිබද ඉතා පැහැදිළි හෙළිදරවු කිරීමක් සිදු වන්නේ 20 වන සියවසේ දී තාරකා විද්‍යා ක්ෂේත්‍රයට එක් වන නව තාක්ෂණික මෙවලම් සමගය.

හිරු ලප ඇති වීමේ යාන්ත්‍රණය

සූර්යය ලප යනු ඉතා සරලව සූර්යය මුහුණතේ ඇති උෂ්ණත්වයෙන් අඩු ස්ථානයන්ය. සූර්යයා මතුපිට සාමන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,500 පමණ වේ. සාමාන්‍යය හිරු ලපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 3,700ක් පමණ වන අගයකි. මෙම ස්ථාන අදුරු ලෙස පෙනීමට හේතුව මේ විශාල උෂ්ණත්ව වෙනසයි. උදාහරණයක් ලෙස දීප්තිමත් පසුබිමක් ඉදිරියෙන් ඇති වස්තුවක් හෝ පුත්ගලයෙකු ගැන සිතන්න. එම වස්තුව හෝ පුත්ගලයා ඔබට දිස් වනු ඇත්තේ පසුබිමට සාපේක්ෂව අදුරුවය. තවත් පැහැදිලිව දකවතොත් ඔබ දකිනුයේ අදාල වස්තුව හෝ පුත්ගලයාගේ ඡායාවය. සූර්යය මුහුනතේ ඇති අඩු උෂ්ණත්ව කලාප අදුරු ලෙස දිස් වීමට හේතුව වන්නේද මෙයයි. ගැටලුව වන්නේ අධික උෂ්ණත්වයකින් හෙබි සූර්යය මුහුණත මත මෙතරම් අඩු උෂ්ණත්ව කලාප ඇති වීමේ හේතුව කුමක්ද යන්නයි.

හිරු ලප නිර්මාණය වී ඇති ප්‍රදේශ වල සූර්යයාගේ චුම්භක ක්ශේත්‍රය ඉතා ප්‍රභලය(සාමාන්‍ය අගය මෙන් 1000 ගුණයක් තරම්). ප්‍රභල චුම්භක ක්ශේත්‍රයක් පවතින ප්‍රදේශ වල, ඒ අවට පවතින උණුසුම් වායූන් ඉවත් කරනු ලබයි. සූර්යයා යනු අති විශාල වායුමය පද්ධතියකි. එහි එක් ප්‍රදේශයක පවතින අධික උෂ්ණත්වයකින් යුත් වායූන් ඉවත්ව ගිය විට එතැන නිර්මාණය වනුයේ අඩු උෂ්ණත්ව කලාපයකි.

සූර්යය අභ්‍යන්තරය මූලික කොටස් දෙකකින් යුක්ත වේ. එනම් ‘විකිරණ කලාපය’ හා ‘සංවහන කලාපය’ යනුවෙනි. විකිරණ කලාපය තුල නිපදවෙන සූර්යය ශක්තිය මතුපිට දක්වා ගෙන එනුයේ සංවහන කලාපය තුල සිදුවන වායූන්ගේ සංවහන ක්‍රියාවලිය තුලිනි. තවදුරටත් පැහැදිලි කලහොත් මෙම කලාපය අඩියේ වායූන් උණුසුම් වන අතර උණුසුම් වූ වායූන් පිටත කලාපය දක්වා පැමිණෙයි. මෙලෙස පිටත කලාපය දක්වා පැමිණෙන වායූන් වල උෂ්ණත්වය අඩු වූවායින් පසුව නැවත අඩිය කරා ගමන් කරයි. මෙය චක්‍රාකාරව සිදුවන්නකි. සූර්යය චුම්භක ක්ශේත්‍රය නිර්මාණය වනුයේ මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිපලයක් ලෙසිනි. සූර්යයාගේ භ්‍රමණය, සංවහන ක්‍රියාවලියත් සමග එකතු වූ පසු අයනීකරණය වූ එසේත නොමැති නම් ප්ලස්මා අවස්ථාවේ පවතින වායූන්ගේ ඉහල පහල යාමත් සමගින් විද්යුත් ධාරා නිර්මාණය වන අතර ඒ හේතුවෙන් සූර්යය චුම්භක ක්ෂේත්‍රය නිර්මාණය වේ.  

සූර්යයා යනු වායුමය වස්තුවක් වන නිසාවෙන් එහි භ්‍රමණ වේගය ඒකාකාරී නොවේ. සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශය ධ්‍රැව ප්‍රදේශ වලට වඩා වේගයෙන් කරකැවෙයි. සූර්යය භ්‍රමණයේ ඇති මේ වෙනස චුම්භක ක්ෂේත්‍රය සැම තැනම ඒකාකාරී ලෙස පැතිර නොතිබීමට බලපායි. සූර්යයගේ සමහර ස්ථාන වල චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රභලත්වය වැඩි වීමට හේතු වන්නේ මෙයයි.

හිරු ලප වල ලක්ෂණ

සූර්යය ලපයක ප්‍රමාණය 300km සිට 100 000km දක්වා පරාසයක විහිදෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ සූර්යය ලපයක් පෘථිවිය තරම් විශාලය. ඕනෑම සූර්යය ලපයක් කළු කුඩා තිතක් ලෙස ආරම්භ වී පසුව කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වේ. හොදින් වර්ධනය වූ සාමාන්‍ය සූර්යය ලපයක් ඉතා තද අදුරු බවකින් යුත් මධ්‍යය කොටසක්(umbra) හා ඊට එපිටින් සාමාන්‍ය අදුරු බවකින් යුත් පිටත කොටසකින්(penumbra) යන මූලික කොටස් දෙකක එකතුවක් ලෙස(රූපය-1) හදුනාගත හැකිය. මෙහි මධ්‍යය කොටසේ උෂ්ණත්වය  සූර්යය මතුපිටට වඩා 1600K පමණ සිසිල් වන අතර හිරු ලපයේ මුලු ප්‍රදේශයෙන් 70% පමණ වන පිටත කොටසේ උෂ්ණත්වය 500K පමණ අගයකින් සිසිල් වේ.

රූපය-1
විශාල හිරු ලප වල පැවැත්ම මාස 6ක් දක්වා දිගු විය හැකි අතර කුඩා ප්‍රමාණයේ ලප වල පැවැත්ම සමහර අවස්ථා වලදී පැය කිහිපයකට පමණක් සීමා වේ. සූර්යය ලප ඇති වන්නේ බොහෝ විට සූර්යය අක්ශාංෂ(උතුරු සහ දකුණු) අංශක 5 හා 40 අතර ප්‍රදේශ වලය. ඉහල අක්ශාංෂ වලදී ආරම්භ වන සූර්යය ලප කාලයත් සමග වර්ධනය වෙමින් සූර්යයාගේ සමක ප්‍රදේශය කරා ගමන් කරයි.  හිරු ලප සූර්යයා මත පවතිනුයේ යුගලයක් ලෙස හෝ පොකුරක් ලෙසිනි. යුගලයක් ලෙස පවතින විට ඒවායේ චුම්භක ක්ශේත්‍ර වල දිශාවන් එකිනෙකින් වෙනස්ව පිහිටයි.

හිරු ලප චක්‍රය

සූර්යය ලප යනු නිතර ඇති වන සංසිද්ධියක් නොව සමහර කාල වලදී පමණක් දිස් වන්නකි. හිරු මුහුණතේ දිස් වන මේ අදුරු ලප යම ආකාරයක රටාවකට අනුව සිදු වන බව බොහෝ කාලයක් පුරාවට සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් විද්‍යාඥයින් හදුනාගෙන තිබේ. මේ විශේෂ රටාව ‘සූර්යය ලප චක්‍රය’ ලෙස හදුන්වයි. එක් චක්‍රයක කාලය අවුරුදු 11 වන අතර කුඩා ලප සංඛ්‍යාවකින්(solar minimum) ඇරබෙන එක් චක්‍රයක්(රූපය-2) එහි උපරිම අවස්ථාවට(solar maximum) පැමිණ නැවත සූර්යය ලප වල අවම අවස්ථාවෙන් අවසන් වෙයි.  සූර්යය ලප බහුලව පවතින කාලවලදී සූර්යයාගේ ප්‍රභලත්වයද ඉතා ඉහල වේ. එනම් මෙවැනි කාල වලදී සූර්යය සුලග, සූර්යය ගිණිදළු සහ සූර්යය විකිරණ වල ප්‍රභලත්වයද ඉහල යයි. මෙ නිසා සූර්යය ලප වල බහුලත්වය සූර්යයාගේ ප්‍රභලත්වය නිර්ණය කරන සාධකයක් ලෙසද පෙන්වා දිය හැකිය.

කාලයත් සමග සූර්යය ලප වල ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කලහොත් ලැබෙනුයේ රූපය-3 ආකාරයේ ප්‍රස්ථාරයකි. සූර්යය චක්‍රයක් ආරම්භයෙදී ඉහල අක්ශාංෂ වල කුඩා සංඛ්‍යාවකින් පටන් ගන්නා සූර්යය ලප ව්‍යාප්තිය උපරිම අවස්ථාවට එලැබී නැවත සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශයෙදී හීන වී යන ආකාරය මෙහි මැනවින් දැක් වේ. හිරු ලප වල ව්‍යාප්තිය දැක්වෙන මේ විශේෂ ප්‍රස්ථාරයේ හැඩය හේතුවෙන් විද්‍යාඥයින් මෙය හදුන්වන්නේ ‘butterfly diagram’ ලෙසයි.

1645 සිට 1715 දක්වා කාලය සූර්යය ලප ඉතා අඩුවෙන්ම දක්නට ලැබුණු යුගයකි. අතීත දක්ත පිරික්සා බැලීමෙන් මෙම විශේෂ කාල පරාසය මුල් වරට හදුනාගනු ලැබූ ‘වෝල්ටර් මවුන්ඩර්’  නම් තාරකා විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස මෙම කාලය හැදින්වෙනුයේ ‘මවුන්ඩර් අවමය'(Maunder minimum) යනුවෙනි.

සූර්යය ලප නිරීක්ෂණය

සූර්යයා එක එල්ලේ නිරීක්ෂණය කරනවා නම් වඩාත්ම ආරක්ෂිත හා පහසුම ක්‍රමය ලෙස දැක්විය හැක්කේ පෑස්සුම් කන්නාඩි(welding glasses) භාවිතයෙන් නිරීක්ෂණයයි. මෙහිදී අනුමත අදුරු බවින් යුතු එනම් shader# 12,13,14 වර්ගයේ කන්නාඩියක් පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය. නමුත් මේ ආකාරයෙන් සූර්යයා නිරීක්ෂණයේදී නම් බොහෝවිට හිරු ලප දර්ශණය නොවේ. හිරු ලප නිරීක්ශණය සදහා විශේෂ සූර්යය පෙරණයක් යෙදූ දුරේක්ෂයක් තුලින් හෝ සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය කල යුතුය. 

ප්‍රක්ශේපණ ක්‍රමය සදහා දුරේක්ශයක් හෝ දෙනෙතියක් (binocular) භාවිතයෙන් එය සූර්යයා දෙසට යොමු කොට එහි චායාව තිරයක් මතට ලබා ගැනීමෙන් හිරු ලප නිරීක්ශණය කල හැකිය. මීට අමතරව සූර්යය පෙරණ යෙදූ දෙනෙතියක් භාවිතයෙන්ද සූර්යයා(හිරු ලප) නිරීක්ශණය කල හැකිය. දුරේක්ශයකට වඩා දෙනෙතිය හැසිරවීම පහසු වීම සහ නාභිගත කිරීම පහසු වන බැවින් මෙය ඉතා පහසු ආරක්ශිත ක්‍රමයකි. තවද දෙනෙතිය ඉදිරියෙන් යොදන සූර්යය පෙරණ සදහා හොද ආදේශකයක් ලෙස ඉහත සදහන් කල ආකාරයේ දෙනෙතියට, සරිලන විශාලත්වයෙන් යුත් පෑස්සුම් කන්නාඩි දෙකක් උවද භාවිතා කල හැකිය.  මෙහිදී අදාල කන්නාඩි දෙක දෙනෙතියේ ඉදිරිපස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි හොදින් සවි වී තිබිය යුතුය.

සූර්යයා පියවි ඇසින් හෝ විද්‍යාඥයින් අනුමත නොකරන අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිරීක්ශණය කිරීම ඔබේ දෙනෙත් සදහටම අන්ධ භාවයට හෝ වෙනත් දුර්වලතාවයන්ට පත් වීමට හේතු විය හැක. මේ නිසා සූර්යය නිරීක්ශණය සදහා අදාල අනුමත ක්‍රම පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය.

www.spaceweather.com යන වෙබ් අඩවිය සූර්යයා සහ සූර්යය ලප පිළිබදව නිතරම අලුත් වෙමින් පවතින තොරතුරු සපයයි. සූර්යය ලප දිස් වන කාලයන් පිළිබද දක්ත මේ හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

ඉතා දුර්ලභ දසුනක් වූ, මේ වසරේ ජනවාරි 15 වන දින දිස් වූ වළයාකාර සූර්යග්‍රහණය ඔබට දුරේක්ශයක් භාවිතයෙන් නිරීක්ශණය කිරීමට අවස්ථාව ලැබුනා නම් සමහරවිට ඔබ මෙවැනි ආකාරයේ හිරු ලපයක්, සූර්යයාගේ උතුරු අර්ධ ගෝලයේ තිබෙනු දැක ගන්නට ඇති.

තාරකා ලප(starspots)

සූර්යය ලප අප සූර්යයා මතුපිට පමණක් නොව අනෙකුත් තාරකා මතද පවතියි. විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ විද්‍යාඥයින් අනෙකුත් තාරකා මත පවතින තාරකා ලප අධ්‍යනය කරනු ලබයි. තාරකා ලප, අදාල තාරකා වල ප්‍රභලත්වය සහ එහි ලක්ෂණ පිළිබද වැදගත් තොරතුරු සපයන බැවින් තාරක ලප අධ්‍යනය සූර්යය ලප අධ්‍යනය තරමටම වැදගත්කමක් උසුලයි.

 

{jcomments off}

Read More

ක්‍රියාකාරකම – සූර්ය ලප චක්‍ර සෙවීම

සූර්යයාගේ මතුපිට ලප ඇතිවන අතර ඒවායේ ප්‍රමාණය කලින් කලට වෙනස් වේ. ඒ අනුව සෑම වසර 11කට වරක්ම සූර්ය ලප ප්‍රමාණයේ වර්ධනයක් දක්නට හැක. මෙම ක්‍රියාකාරකමෙහි අරමුණ වන්නේ වසර ගණනාවක් පුරා ලබා ගන්නා ලද එවන් සූර්ය ලප ගණනය කිරීම් ඇසුරින් ප්‍රස්ථාරයක් නිර්මාණය කොට එම ප්‍රස්ථාරය ඇසුරින් සූර්ය ලප චක්‍රයක් කොපමණ කලක් පවතිනවාද යන්න සෙවීම යි.

ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වන වසර 308ක සූර්ය ලප ගණනය කිරීම්වල දත්ත මේ හා සම්බන්ධ කර ඇති ගොනුවෙහි සඳහන් වන අතර එහි පිටපත් කණ්ඩායම් වලට ලබාදිය හැකි ය. එක් කණ්ඩායමකට එක් ප්‍රස්ථාර පිටුවක වසර 308ක දත්ත ලකුණු කිරීමට අපහසු බැවින් කණ්ඩායම් අතර අගයන් ඛෙදා දිය හැකිය. ඒසේත් නැතිනම් 1850සිට වර්තමානය දක්වා පමණක් වන අගයන් මේ සඳහා යෙදාගත හැකි ය.

ප්‍රස්ථාරයෙහි X සඳහා වර්ෂයද Y අක්ෂය සඳහා සූර්ය ලප සංඛ්‍යාවද යොදා ගනිමින් ප්‍රස්ථාරය නිර්මාණය කරගන්න. සූර්ය ලප වල එකතුව වසර අනුව ලකුණු කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු අතර එය හැකි පමණ නිරවද්‍ය විය යුතු ය. ප්‍රස්ථාරය නිර්මාණයේදී පැන්සල් භාවිතා කිරීමෙන් විය හැකි වැරදීමකදී නැවත ඉක්මනින්ම එය නිවැරදි කළ හැකි ය.

ප්‍රස්ථාර නිර්මාණය කිරීමෙන් අනතුරුව සූර්ය ලප ගණනය කිරීම් අඩුවන කාල (සූර්ය අවමයන්) අතර පරාසය ගණනය කළ යුතුය. එම සියලුම අගයන් වල සාමාන්‍ය අගය 11කට එනම් සූර්ය ලප චක්‍රයකට ආසන්න අගයක් උසුලයි. මෙම ප්‍රස්ථාරයේ සියලු අගයන් භාවිතා කලේ නම් සාමාන්‍ය අගය 10.84ක් වනු ඇත.

 

මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය සියලු දත්ත මෙම ස්ථානයෙන් නොමිලේ බාගත කරගන්න. ඒ සඳහා skylk සාමාජිකයෙකු විය යුතු බව සලකන්න.

http://skylk.com/index.php?option=com_jdownloads&Itemid=22&task=view.download&cid=20

රයිස් විශ්වවිද්‍යාලය විසින් සම්පාදිත ක්‍රියාකාරකමක් ඇසුරින් සකස් කරන ලදී.

Read More