තාරකාවක කතා පුවත

රාත්‍රී අහස කෙතරම් මනස්කාන්තද ,ඒ රාත්‍රී අහස එතරම් මනස්කාන්ත වන්නේ තාරකාවන් නිසාය.තරකා වලටද අපවැනිම වූ ජිවිතයක් ඇත. නමුත් අපගේ ආයුකාලය සමඟ සසඳන විට තාරකාවල ආයුකාලය ඉතා  විශාලය.

සාමාන්‍යයෙන් තාරකාවක ආයුකාලය මනිනු ලබන්නේ අවුරුදු බිලියන,මිලියන ගනනින් වේ. එම තාරකාවන්ට  ඉපදීමක් මෙන්ම මරණයක්ද ඇත. එසේ නම් මේ විශ්මිතවූ තාරකා පිළිබඳ වූ කථා පුවත විමසාබලමු.

තාරකාවක් යනු කුමක්ද? සරලව කිවහොත් තාරකාවක් යනු ශක්තිය පිටකරමින් රසායනික ප්‍රතික්‍රියා සිදුකරන ස්වයංදිදුලීමක් ඇති ආකාශ වස්තුවකි.තවද තාරකාවක් ඉතා විශාලන් අතර ස්කන්ධයෙන් ටොන්කෝටිගනනින් යුක්ත වේ.අපගේ සූර්යයාද එවැනිම තාරකාවක් බව ඔබදනී.සූර්යයා මෙන් සිය දහස් ගනනින් විශාලවූද කුඩාවූද තාරකා අප ක්ෂීරපථ මන්දාකිණියේ ඇත. තාරකා ඉතා විශාල ප්‍රමාණයක් අප ක්ෂීරපථයේ ඇති නමුත් සෑම තාරකාවක්ම නම්කල නොහැකිය.වඩාත් දීප්තිමත් හා විශාලවූත් තාරකා බොහෝමයක් නාමකරණය කර ඇත. උෂ්ණත්වය,ස්කන්ධය,අරය,ඝනත්වය,වර්ණාවලිය,නිරපේක්ෂ දෘශ්‍ය විශාලත්වය,දීප්තිය යනු තාරකාවක් වර්ගීකරණය කිරීමේදී භාවිතයට ගන්නා මාන කීපයකි. මෙම මානයන් උපයෝගී කරගනිමින් තාරකාවල ස්භාවය පිළිබඳත් තාරකාවල පරිණාමය වන අයුරුත් ගණිතමය මූලධර්ම පදනම් කොටගෙන විස්තර කීරීමට තාරකාවිද්‍යාඥයින්ට හැකිය. තාරකාවක් පරිණාමය පිළිබඳ හැදෑරීමේදී වැදගත්වන බල දෙකක් ඇත එනම්, අභ්‍යන්තරයට යෙදෙන ගුරුත්වබලය නිසා තාරකාව සංකෝචනය වන බවත් එමෙන්ම අභ්‍යන්තරයෙන් පිටතට ඇතිවන පීඩනය නිසා තාරකාව ප්‍රසාරණයවීම යන කරුනත් වේ. එසේ තාරකාවේ පරිණාමය සිදුවීම පිළිබඳ අප විස්තරාත්මකව  විමසාබලමු.

තාරකාවක් සිය ජීවිතය අරඹන්නේ දැවැන්ත දූවිලි වලාවක් සංකොචනය වී කැටිගැසීමෙන් බව ඔබ ඇතැම්විට අසා ඇත. එම වායුවලා හඳුන්වනේ අන්තර්තාරීය මාධ්‍ය (Interstellar medium) ලෙසයි. මෙම වායුවලාව අණුකවලාව ලෙසද හදුන්වයි. මෙම අණුක වලාවේ අඩංගුව ඇත්තේ හයිඩ්‍රජන්,හීලියම් සහ සුළුවශයෙන් නයිට්‍රජන්,ඔක්සිජන් ,කාබන් ,කැල්සියම්,සෝඩියම් යන පරමාණුද යකඩ සහ සිලිකේට් යන මූලද්‍රව්‍යයන්ද වේ. මෙම දුහුවිලි වායුවලාව මුල් අවදියේ ඉතාමත් ශීතලව පවතී පසුව  එම වායුවලාව හැකිලීමේදී වලාවේ අඩංගු අංශු ගුරුත්ව කේන්ද්‍රය දෙසට ආකර්ෂණය වීමේදී එහි උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන්  ඉහල යයි. එම එම උෂ්ණත්වය කෙල්වීන් (K) 150 000 පමණ අගයක් ගනී. මෙලෙස ලංවන දුහුවුලි අංශුවල අන්තර්ක්‍රියා හේතු කොටගෙන එම ප්‍රදේශය දීප්තිමත් බැබලීමකට පටන්ගනී. එම අවධියේදී තාරකාවක ප්‍රාග් අවස්ථාව හෙවත් ප්‍රාග් තාරකාව (Proto star) ලෙස හදුන්වයි. මෙම ප්‍රාග් තාරකාව අලුතින් ඇතිවූ තාරකාවක් ලෙස දෘෂ්‍යමාන වේ. එහිදී ප්‍රග්තාරකාවේ දීප්තිය සූර්යයාගේ දීප්තිය ඉක්මවායයි. ප්‍රාග් තාරකාවේ න්‍යෂ්ටියේ අඩංගු පරමාණු එකිනෙක ගැටී ප්‍රතික්‍රියා සිදුවීම ඇරඹෙන තෙක් මෙම ප්‍රාග් තාරකාව සංකෝචනය වීම සිදුවේ.මෙම කාලය තුලදී එහි මතුපිට උෂ්ණත්වය නොවෙනස්ව පවතී න්‍යෂ්ටියේ ඇති පරමාණු එකිනෙක ගැටී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව ඇතිවන්නේ කෙල්වීන් (K) 15 000 000 ක් පමණ  උෂ්ණත්වයක් ඇතිවන තරම් වූ ප්‍රවේගයකින් ප්‍රාග්තාරකාවේ අංශු එකරාශී වන විටය. මෙහිදී තාරකාවේ ගුරුත්වීය සංකොචනය කෙමෙන් අඩුවේ. මෙහි ලිතියම්,බෙරලියම් හා බෝරෝන්  යන මූලද්‍රව්‍යයන් ප්‍රොටෝන සමඟ ප්‍රතික්‍රියාවට නැගේ. මෙහිදී ප්‍රතිඵලයක් ලෙස හීලියම් සෑදේ තවද ,හයිඩ්‍රජන් දහනය ඇරඹේ. මෙසේ සිදු වීම හේතුවෙන්  විශාල ශක්තියක් අවකාශයට මුදාහරී. පසුව මෙම හීලියම්,කාබන්,ඔක්සිජන්,ආදිය වෙන වෙනම මූලද්‍රව්‍ය බවට පත්වේ. මෙම ප්‍රතික්‍රියා ඉතා දීර්ඝ කාලයක්  සිදුව්මින් පවතී. මෙසේ ප්‍රතික්‍රියා වීම  නිසා ප්‍රතික්‍රියාවන්ට  ප්‍රතික්‍රියක කිසිවක් ඉතිරි නොවන අවධියක් උදාවේ. මෙහිදී තාරකාව බිඳවැටීමට පටන් ගනී. මෙහිදී තාරකාව සිසිල්වන අතර  තාරකාව රතු පැහැයට හුරුවේ.දැන්තාරකාවේ කබොල නැතහොත් පිට කවරය ප්‍රසාරණයවී රතු යෝධ තරුවක්  බවට පත්වේ. මෙහිදී සමහරක් තරු එනම් ස්කන්ධාධික  තරු සුපිරිනෝවා ආකාරයට පුපුරායයි.   අවසානයේ ප්‍රථිපලයක් වශයෙන් ඉතිරිවන හරය දැවැන්ත එකක් නම් එය අධික ගුරුත්ව බලයකින් යුත් කළුකුහරයක් බවට (Black hole) පත්විය හැකිය.තාරකාවක පරිණාමය ඉතාකෙටියෙන් කිවහොත් එසේය.

 

තාරකාවක් පරිණාමය වන හැටි

තාරකාවක් තම ජීවිතය අරඹන්නේ අණුකවලාවක් කැටිවීමෙන් බව  ඉහතදී සඳහන්කරන ලදී එවැනි අණුකවලා ඉතා විශාල සංඛයාවක් අප ක්ෂීරපථයේ ඇත. එවැනි මාධ්‍යයන් ආලෝකවර්ෂ විශාල ගණනාවක් විශාලය. රාත්‍රී අහසේ දැකිය හැකි ඔරායන් නිහාරිකාව (M42)යනු මෙවැනි මාධ්‍යයකි. ඔරායන් නිහාරිකාවේ අලුත උපන් තාරකා මෙන්ම ඉපදෙන තාරකාද බොහෝ ඇත. ඉහතදී සඳහන් කළ ප්‍රාග් තාරකා ඇතිවන්නේ මෙවැනිම වූ මාධ්‍යයන් කැලඹීමට  ලක්වීමෙනි. මෙම ප්‍රාග් තාරකාවහි අභ්‍යන්තර උෂ්ණත්වය 10000℃ පමණ වන තෙක් ප්‍රාථමික තාරකා වක් ලෙස හඳුන්වයි. මෙම අවධියේ සිටින තාරකාවල  විශේෂත්වය වන්නේ තාරකාව වටා අණුක වලාව පිහිටා තිබීමයි. එවැනි තාරකා නිරීක්ෂණය කර දැක බලා ගැනීම ඉතා පහසුය. නමුදු මෙම ලාබාල  තාරකාව තරුණ අවධියට පාතබන විට එය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරේ. එහිදී තාරකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනින් ඉහල යයි.එම හේතුවෙන් සිදුවන ප්‍රතික්‍රියා නිසා තරුවේ සිට ඉතා විශාල ශක්තියක් මුදා හරී, මෙම ශක්තිය හේතුකොට ගෙන  තාරකාව අවට ඇති වාත කැළඹීමට ලක්වී සුළංධාරාවක් හැමීමට පටන් ගනී.එහෙයින් තාරකාව වටා ඇති අණුක දූලිවලාව තරුවේ සිට ඈතට විසිරීයයි. මෙහිදී මතක් කලයුතු විශේෂ කරුණක් වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේද මේ ආකාරයටමය. එහිදී මුල්වී ඇත්තේ ඌට් නම් වලාවයි, මෙම ඌට් වලාව එකී ක්‍රියාදාමය නිසා ආලෝක වර්ෂ 1.5 පමණ ඈතට විහිදී ගොස් ඇත.එහිදී තාරකාව සමඟ පැවතුන වලාවේ ශේෂ කොටස් ග්‍රහලෝක බවට පත්වේ.එම ග්‍රහලෝක තාරකාව වටා ගමන්ගනී මෙහිදී එකිනෙකා අතර ගුරුත්ව බලය බලපායි. මෙසේ තාරකාව වටා ග්‍රහලෝක ගමන් ගන්න දුහුවිලි තැටිය ප්‍රාග් තැටිය ලෙස හදුන්වයි. ඔරායන් නිහාරිකාවේ මේවනවිට මෙවැනි ප්‍රාග් තාරකා 150 කට අධික ප්‍රමාණයක් සොයාගෙන  ඇත. මෙම ප්‍රාග් තාරකාව වටා ප්‍රාග් තැටි පවතින බවට විද්‍යාඥයින් තුල සැකයක් පවතී. ප්‍රාග් තැටියේ අභ්‍යන්තරය ගැන කතා කලහොත් 99% පමණ වායූන් හා 1% පමණ දුහුවිලි අංශු අඩංගුවේ.

මෙම අවථාවේදී ප්‍රාග් තාරකාව තරුණ අවධියකට පාතබයි. අපගේ සූර්යයාද තරුණ අවධියේ පසුවෙන තාරකාවකි.මෙම තරුණ අවධියේ තාරකාව හයිඩ්‍රජන් සියල්ල දහනය වීම අවසන් වන තෙක් වසර බිලියන ගනණාවක් පවතී. මෙම කාලයේදී තරුව උපරිම ශක්තියක් නිපදවයි. මෙහිදී තාරකාව සතුව පවතින හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවට ලක්වී හීලියම් බවට පරිවර්තනය කරයි. මේ හේතු කොටගෙන දීප්තිමත් වූ තාරකාවක් බවට පත්වේ. හට්ස් ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) නමින් හදුන්වන තාරකා වර්ගීකරණ ප්‍රස්ථාරයේ ප්‍රධාන අනුක්‍රමණයේ මෙම තරුණ අවධියේ තාරකා නිරූපනය කරයි. මෙම  ප්‍රස්ථාරයට අනුව තාරකාවක් ඇතුලත් කරන්නේ එම අදාල තරුවේ වර්ගය,උෂ්ණත්වය, දෘෂ්‍ය  දීප්තිතාවය, නිරපේක්ෂ දීප්තිය හා වර්ණාවලිය යන සාධක පදනම් කොටගෙනය. ඉහතදී කී කරුණු පිළිබඳව පහත HR සටහන අධ්‍යනයෙන්  වටහා ගත හැකිය.

ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) සටහන

මෙම ප්‍රස්ථාරයේ ප්‍රධාන අනූක්‍රමණයේ මධ්‍ය කොටසට වන්නට අපගේ සූර්යයා පිහිටා ඇතිබව ඔබට පෙනේ . එයින් පැහැදිලිවන්නේ  අප සූර්යයා මේවනවිට තරුණ අවධියේ පසුවන බවයි. තවද අප සූර්යයා අවුරුදු බිලියන 10 තරම්  කාලයක් මෙම ප්‍රධාන අනුක්‍රමණයේ ගතකරයි .මෙම තරුණ තාරකාව තම ශක්තිය පිට කරමින් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බිද වැටුන පසු තාරකාව ක්‍රමයෙන් අභාවයට පත්වේ. එහිදී ඉහත HR සටහනේ ප්‍රධාන අනුක්‍රමණයෙන් තාරකාව ඉවත්වෙයි. ඒබව ඉහත රූපයෙන් පහදා ගත හැකිය. පසුව තාරකාවේ ඉරණම තීරණය කරන්නේ තාරකාවේ ස්කන්ධය මතය.

අප සූර්යයා ගේ ස්කන්ධයට සමාන තරකා තම තරුණ අවධියෙන් පසු රතුයෝධ තාරකාවක් බවට පරිණාමය වෙයි. එහිදී තාරකාවේ බාහිර කබොල අධික ලෙස ප්‍රසාරණය වේ. ඒ අයුරින්ම අප සූර්යයාද යම් දිනක ප්‍රසාරණය වී පිපුරුමකට ලක්වනු ඇත. මෙම පිපුරුණ කබොලේ කොටස් විශ්වයට විසීරීයයි. මෙම බාහිර කබොල්ල ග්‍රහනිහාරිකාවක්(Nebula) බවට පත්වෙයි. මෙම ග්‍රහ නිහාරිකාව මධ්‍යයේ ඇති කුඩා තරුව සුදුවාමාන  තාරකාවක් (White dwarf) බවට පත්වේ. බලල් ඇස නිහාරිකාව(Cat eye nebula), හෙලික්ස්නිහාරිකාව (Helix Nebula) යනු එවැනි ග්‍රහනිහාරිකා කීපයකි.

හෙලික්ස්නිහාරිකාව (Helix Nebula)

එසේම අප සූර්යයා ගේ ස්කන්ධයට අඩු එනම් සූර්යයාගේ ස්කන්ධය මෙන් අඩක් පමණ වන තාරකා තරුණ අවධියෙන් පසු කළුහෝ දුඹුරුවාමාන තාරකාවක් බවට පත්වී තාරකවේ ජීවිතය අවසන් කරයි.

අප සූර්යයාට වඩා ස්කන්ධාදික තරු තම තරුණ අවධිය පසුකර සුපිරි රතු යෝධ තාරකාවක් බවට පත්වේ(Red giant star) මෙම අවස්ථාවේදී තාරකාවක් සූර්යයාට සමාන ස්කන්ධයක් ඇති තාරකාවකට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රසාරණයවේ. එහිදී සිදුවන පුපුරායාම සුපිරිනෝවා පිපුරුමක් (Supernova) ලෙස හදුන්වන අතර එහිදී  ඉතාවිශාල ශක්තියක් විශ්වයට මුදාහරී. වෘෂභ රාශියේ පවතින ක්‍රැබ් නිහාරිකාව (Crab nebula) මෙවැනි සුපිරිනෝවා පිපුරුමකට හොදම නිදසුනකි. එහිදී එම තාරකාවේ ශේෂ කොටස් නියුට්‍රෝන තාරකාවක් (Neutron Star) බවට හෝ ගුරුත්වය අධික කළුකුහරයක් බවට පත්වේ.එනම්,සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට ආසන්න හෝ ඊට වැඩි තාරකා කළුකුහර බවටත්,සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 ත් 3 අතර තාරකා නියුට්‍රෝන තාරකා බවටත් පත් වේ.

Read More

විශ්වයේ අලංකාර රටා මවනා වළාකුලු

රාත්‍රී අහසේ දිස් වන නොගෙනිය හැකි තරම් වන තාරකා එකිනෙක අතර පවතින්නාවූ අවකාශය ගැන කතා කිරීමේදී එය හුදෙක් හිස් අවකාශයක් විය යුතු යැයි ඔබට එක් වරම සිතෙනු ඇත. නමුත් සැබවින්ම එය එසේ නොවේ.

මෙම අවකාශය බොහෝ විට විශේෂ වූ මාධ්‍යයකින් සමන්විත වන අතර එය ‘අන්තර් තාරීය මාධ්‍යය’ ලෙස හදුන්වනු ලබයි. මෙම මාධ්‍යය නිර්මානය වී පවතින්නේ දුහුවිලි අංශු හා විවිධ වායු වර්ග වලින් වන අතර මෙම ද්‍රව්‍යය හැදින්වෙන්නේ ‘අන්තර් තාරීය පදාර්ත’ නමිනි.

පෘථිවියේ සිට රෑ අහසේ දිස් වන තාරකා වලට පවතිනුයේ ආලෝක වර්ෂ තරම් වන දුරවල් බව ඔබ අසා ඇති. අපට ලගම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චරි තාරකාවට ඇති දුරද ආලෝක වර්ශ 4.2 පමණ වන අගයකි. මේ අයුරින් රෑ අහසේ අපට පෙනෙන අනෙකුත් තාරකා කොතරම් දුරින් පිහිටන්නේද යන්න පිළිබදව ඔබට දළ අදහසක් ලබාගැනීමට හැකිය. මෙවැනි වූ අති විශාල දුර පරාසයන් නිසාවෙන් පෘථිවියේ සිට බලන විට ඉහත සදහන් කල අන්තර් තාරීය මාධ්‍යය අපට දිස් වන්නේ වලාකුලක් මෙන් එක්තරා අංශුමය පොදියක් ලෙසිනි.

තාරකා අතර පැතිරී ඇති වළාකුලක් මෙන් දිස් වන මේ විශේෂ වූ මාධ්‍යය තමා විසින් තාරකා මෙන් ආලෝකය නිපදවා ගන්නා වස්තූන් නොවේ. නමුත් මෙවැනි වළාකුලකට ඉතා ආසන්නයෙන් තාරකාවක් පැවති විට තාරකාවේ ආලෝකය හෙතුවෙන් මෙම මාධ්‍යය ආලෝකමත් වේ. අන්තර් තාරීය මාධ්‍යය අපට දිස් වන්නේ මෙවිටය. නිහාරිකාවක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතා සරලව මෙම සංසිද්ධියයි.

නිහාරිකා හැදින්වෙන ඉංග්‍රීසි වදන වන ‘Nebula’ යන්න ලතින් භාෂාවට අයත් වදනකි. ලතින් භාෂාවෙන් ‘Nebula’ යන්නෙහි අර්ථය වළාකුල යන්නයි. ප්‍රභල දුරේක්ශ නොතිබුණු ඈත අතීතයේදී (19 වන සියවසට පෙර ) රෑ අහසේ නිවැරදිව හදුනා නොගත් වස්තූන් සියල්ලක්ම වාගේ හදුන්වා ඇත්තේ නිහාරිකා ලෙසිනි. උදාහරණයක් ලෙස ඔබ හොදින් අසා ඇති අන්ඩ්‍රොමීඩා මන්දාකිනිය පවා අතීතයේදී හදුන්වා ඇත්තේ ‘Andromeda Nebula’ ලෙසය. නමුත් පසු කලෙක තාක්ශණයේ දියුණුවත් සමග අභ්‍යවකාශ වස්තූන් නිවැරදිව හදුනාගැනීමෙන් පසු නිහාරිකා ලෙස අද අප හදුන්වන්නේ ඉහත සදහන් කල ආකාරයේ අභ්‍යවකාශයේ ඇති විශේෂ වළාකුලු වැනි වියුහයන්ය. 

නිහාරිකා නිර්මානය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන්, හීලියම් වායු දෙවර්ගයෙනුත්, දුහුවිලි අංශු හා අයනීකරණය වූ පරමාණු  (Plasma) ආදියෙනි. මීට අමතරව නිහාරිකා වර්ගය අනුව එහි අන්තර්ගත වායු වර්ගයන් වෙනස් විය හැකිය. නිහාරිකා නිර්මානය වී ඇති අන්තර් තාරීය මාධ්‍යය තුල පදාර්ත පැතිරී ඇත්තේ ඉතාමත් අඩු ඝණත්වයක් සහිතවය. මේ ආකාරයට මෙම ඉතාමත් අඩු ඝණත්වයකින් යුතුව පවතියත් මෙය වළාකුලක් ලෙස දිස් වන්නේ පෘථිවියේ සිට ඇති අති විශාල දුර නිසාවෙනි.

නිහාරිකා ලෙස හැදින්වෙනුයේ ඇත්තෙන්ම තාරකා අතර අවකාශය පිරී පවතින අන්තර් තාරීය මාධ්‍යටය. නමුත් විශ්වය පුරා විසිරී ඇති සෑම අන්තර් තාරීය මාධ්‍යයක්ම නිහාරිකාවක් නොවේ. මෙවැනි කලාපයන් නිහාරිකා ලෙස හැදින් විය හැක්කේ ඒවා අපට දිස් වන්නේ නම් පමණි.

අපට දිස් වන ආකාරය අනුව නිහාරිකා වර්ග කිහිපයකි. මේ සියලුම ආකාරයේ නිහාරිකා මූලික වර්ග 3 ක් යටතේ දැක්විය හැකිය. ඒවා නම් විමෝචක, පරාවර්ථක හා අදුරු නිහාරිකා යන මූලික වර්ග තුනයි.

විමෝචක නිහාරිකා (Emission Nebula)

මෙවැනි ආකාරයේ නිහාරිකා ආලෝකමත් වන්නේ ලග පිහිටි තාරකාවක් හේතුවෙන් වායු අණු අයනීකරණයට භාජනය වීමෙනි. නිහාරිකාව දිස් වන වර්ණය එහි අන්තර්ගත වායු වර්ගය අනුව වෙනස් වේ.


උතුරු අමෙරිකානු නිහාරිකාව (North America Nebula) මේ වර්ගයට අයත් වේ.

පරාවර්ථක නිහාරිකා (Reflection Nebula)

මෙවැනි ආකාරයේ නිහාරිකා ආලෝකමත් වන්නේ ලග තාරකාවෙන් ලැබෙන ආලෝකය පරාවර්ථනය කිරීමෙනි. තාරකාවෙන් ලැබෙන ශක්තිය වායු අණු අයනීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නමුත් ප්‍රකිරණය නමැති සංසිද්ධිය ඔස්සේ නිහාරිකාව ආලෝකමත් කිරීමට තරම් ප්‍රමාණවත් වේ. මෙවැනි ආකාරයේ නිහාරිකා ප්‍රකිරණ ක්‍රියාවලිය හේතුවෙන් නිල් පැහැයෙන් දර්ශණය වේ.

Witch Head Nebula මේ වර්ගයට අයත් වේ.

අදුරු නිහාරිකා (Dark Nebula)

මෙවැනි ආකාරයේ නිහාරිකා දිස් වන්නේ අදුරු වළාකුලු ලෙසිනි. මෙහිදී අදාල නිහාරිකාව පිහිටනුයේ තාරකා කිහිපයක් හෝ තවත් දීප්තිමත් නිහාරිකාවක් ඉදිරියට වන්නටය. මේ නිසා ඊට එපිටින් එන ආලෝකය නිහාරිකාව දෙපසින් ගමන් කොට ඒ හරහා ගමන් නොකරන විට අදුරු නිහාරිකා නිර්මාණය වේ.


ඔරායන් තාරකා රාශියේ අශ්ව හිස නිහාරිකාව (Horse Head Nebula)මේ ආකාරයේ නිහාරිකාවකි.

ග්‍රහ නිහාරිකා (Planetary Nebula)

තාරකාවක් මියයාමේදී පත්වන එක් අවධියක් වන රතු යෝධ අවස්ථාවට(Red Giant state) පත් වන සමහර තාරකා, තාරකාවේ ප්‍රභලත්වය මත පිටත වායු කලාපය අභ්‍යාවකාශයට මුදා හරිනු ලබයි. ඉතිරිවන මධ්‍යය අවසානයේ සුදු වාමන තාරකාවක් ලෙස හැදින්වෙන තත්වයට පත් වෙයි. මෙම සුදු වාමන තාරකාව පවතින්නේ විශාල වායු වලාකුලක් මධ්‍යයේ පවතින්නක් ලෙසය. සුදු වාමන තාරකාවෙන් පිට කරන විකිරණ මගින් අවට වායූන් අයනීකරණය වීමේ ක්‍රියාවලිය මත මෙවැනි ආකාරයේ නිහාරිකා නිර්මාණය වේ. ග්‍රහ නිහාරිකා විමෝචක නිහාරිකා ඝණයට අයත් වේ.


Eskimo nebula මේ ආකාරයේ නිහාරිකාවකි.

ඉහත සදහන් කල ආකාරයේ නිහාරිකා ග්‍රහ නිහාරිකා ලෙස හැදින්වූවත් මේ සදහා ග්‍රහලෝක වල කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පැහැදිලිව දැක්විය යුතුය. මෙවැනි ආකාරයේ නිහාරිකා මුල් වරට හදුනාගත් 18 වන සියවස තරම් වන ඉතා ඈත අතීතයේ, එකල පැවති දුරේක්ශ ආදිය එතරම් ප්‍රභල නොවීම හේතුවෙන් මෙවැනි නිහාරිකා දිස් වී ඇත්තේ යෝධ ග්‍රහයින් මෙනි. ග්‍රහ නිහාරිකා යන නම ලබීමට හේතුව වන්නේ මෙයයි. අප සූර්යයාද අවසානයේ නමන්ගේ ජීවන කාලය අවසන් කරනුයේ සුදු වාමන තාරකාවක් බවට පත් වීමෙනි. මේ අනුව අප සූර්යයාද අවසානයේ  ග්‍රහ නිහාරිකාවක් බවට පත් වෙයි.

අන්තර් තාරීය මාධ්‍යය හා තාරකාවල පරිණාමය අතර පවතිනුයේ ප්‍රභල සම්බන්ධතාවයකි. තාරකා නිර්මාණය වන්නේ අන්තර් තාරීය පදාර්ථ ගුරුත්වාකර්ශණය ඔස්සේ එකට එක් වීමෙනි. තාරකාවක් ආලෝකමත් වී බැබලෙමින් පවතිනුයේද මෙම මාධ්‍යය තුලමය. තාරකාවක් මිය යනුයේද මෙම මාධ්‍යය තුලමය. විශේෂයෙන් තාරකා මිය යාමේ එක් ආකාරයක් වන සුපර්නෝවා පිපුරුමකින් පසු අදාල සුන්බුන් කොටස් එක් වන්නේද මෙම මාධයටමය. උදාහරණයක් ලෙස ‘Crab Nebula’ නම් නිහාරිකාව නිර්මාණය වී ඇත්තේ සුපර්නෝවා පිපුරුමක ප්‍රථිපලයක් ලෙසිනි. තවද මේ වන විට විද්‍යාඥයින් නිහාරිකා කිහිපයක නව තාරකා නිර්මාණය වෙමින් පවතින ස්ථාන බොහොමයක් හදුනා ගෙන තිබේ. විශේෂයෙන්ම ඔරායන්  තාරකා රාශිය තුල පිහිටි, ඔරායන් සහ අශ්ව හිස නිහාරිකා තුලද මෙවැනි ස්ථාන බොහොමයක් පවතී. අප ජීවත් වන පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලයද නිර්මාණය වී ඇත්තේ මෙවැනි ආකාරයේ නිහාරිකාවක් තුලින් බව විශේෂයෙන් සදහන් කල යුතුය.

විවිධ ආකාරයේ හැඩයන්ගෙන් දිස් වන ඉතාමත් අලංකාර අපූරු නිහාරිකා බොහොමයක් මේ වන විට තාරකා විද්‍යාඥයින් විසින් හදුනාගෙන ඇති අතර ඒවා දිස් වන ආකාරය අනුව බොහොම අපූරු නම් වලින් හදුන්වයි. ඔබ තාරකා විද්‍යාව පිළිබද ලියැවුණු පොත් පත් හෝ අන්තර්ජාලය භාවිතයෙන් සොයා බලන්නේ නම් මෙහි උදාහරණ ලෙස දැක්වූවාට අමතරව අලංකාර හැඩයන්ගෙන් යුත් තවත් නිහාරිකා විශාල ප්‍රමාණයක් හදුනාගනීමට හැකි වේවි. 

Read More