දුරේක්ෂයක් හදමු

මෙම ලිපියේ pdf ගොනුවක් මෙම ස්ථානයෙන් බාගත කලහැකිය.

** අනතුරු හැඟවීමයි – දුරේක්ෂයක් හෝ කිසිම ආකාරයකින් කාච භාවිතයෙන් හෝ කිසිවිටකත් සූර්යයා හෝ ඒ ආසන්නය හෝ දෙස බැලීමෙන් වළකින්න. ඔබ සදාකාලික ලෙස අන්ධ භාවයට පත්විය හැකිය. **

තාරකාවිද්‍යාවට අවතීර්ණ වන නවක ඔබට කළ හැකි මූලිකතම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වනුයේ දුරේක්ෂයක් තැනීම ය. මෙලෙස ඉතා විශාල වර්තක සේම පරාවර්තක දුරේක්ෂ පවා නිවසේදීම තැනිය හැකි නමුත් නිවසේදී සාදන දු‍රේක්ෂ, ප්‍රමාණයෙන් විශාල වන තරමට ඒවායේ නිවැරදිතාව අඩු වීමට ඉඩ ඇත.

මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ නවකයෙකුට ඉතා පහසුවෙන් සහ අඩු මුදලින් වර්තක වර්ගයේ දුරේක්ෂයක් සාදා ගත හැකි ආකාරයයි. මේ සඳහා කාච, PVC නල, කඩදාසි නල, රෙජිෆෝම් යන මාධ්‍ය භාවිතා කෙරේ. තවද යොදාගන්නා මිනුම් ඔබ දුරේක්ෂය සඳහා පාවිච්චි කරනු ලබන කාච මත තීරණය වේ.

කාච තෝරාගැනීම

මේ සඳහා යොදාගන්නා කාච උත්තල වර්ගයේ ඒවා විය යුතු ය. උදාහරණයක් ලෙස අප මෙහිදී ගෙන ඇති දුරේක්ෂයේදී අවනෙතෙහි විශ්කම්භය සෙ.මී. 5ක් පමණ වන නාභිය දුර සෙ.මී. 50ක් වන කාචයක් භාවිතා වේ. අප නිර්මාණය කරන දුරේක්ෂයේ දිග තීරණය වන්නේ දුරේක්ෂය සඳහා භාවිතා වන අවනෙතෙහි නාභිය දුරයි. ඒ අනුව දුරේක්ෂයේ දිග විය යුත්තේ සෙ.මී. 50+කි.

උපනෙත සඳහා සෙ.මී. 2ක විශ්කම්භයකින් යුතු සහ සෙ.මී. 4ක පමණ නාභිය දුරක් සහිත කාචයක් භාවිතා වේ. මේ සඳහා ඔරලෝසු කාර්මිකයන් භාවිතා කරන ඇසේ පලඳින කාචයක් භාවිතා කර ඇත.

 

කාච රැඳවීම

මුලින් ම කාච රැඳවීමට භාවිතා කරන කොටස් තනා ගනිමු. රෙජිෆෝම් මගින් පහත සඳහන් ආකාරයේ හැඩතල කපාගන්න. ඔබ භාවිතා කරන කාච වල සහ දුරේක්ෂයේ ප්‍රධාන ටියුබය ලෙස භාවිතා වන PVC නලයේ විශ්කම්භය අනුව භාවිතා වන මිමි වෙනස් විය යුතු බව සලකන්න.

මෙම කොටස් PVC නලය සමඟ තදින් සම්බන්ධ විය යුතුය. කෙසේ වෙතත් උවමනාවට වඩා තදිනු තෙරපුනහොත්, කාචය ඇද වී තැන්පත් වීමෙන් අපැහැදිලි දර්ශන ඇති විය හැකිය. කපාගත් රෙජිෆෝම් කොටස් අතරට කාචය රඳවා කම්බි මගින් සිරකරගන්න. මේ සඳහා ඕනෑම වර්ගයක කම්බි විශේෂයක් යොදාගත හැක.

ටියුබය සහ අනෙක් රැඳවුම් කොටස් සකස් කිරීම

දුරේක්ෂයේ ප්‍රධාන ටියුබය ලෙස අඟල් 3.5ක පමණ විශ්කම්භය සහිත PVC නලයක් භාවිතා කෙරේ. අප සාදන දුරේක්ෂයේ දිග තීරණය වන්නේ අවනෙතෙහි විශ්කම්භය අනුව බව ඉහත ප්‍රකාශ කලෙමි. එම නිසා PVC නලය කපාගැනීමේදී නාභිය දුරට තවත් සෙ.මී. 5-6ක් පමණ වැඩියෙන් කපා ගන්න. එම අමතර දුර පිළිබඳව ඉදිරියේදී පැහැදිලිකෙරේ. මෙහිදී භාවිතා කර ඇති කුඩා නලයේ දිග සෙ.මී. 20ක් පමණ වේ.

රෙජිෆෝම් භාවිතා කරමින් රූපයේ දැක්වෙන ආකාරයේ හැඩතල දෙකක් කපාගන්න. මෙම කොටස් වල ඝනකම වැඩිවන තරමටම, දුරේක්ෂයේ උපනෙත සවිකරන නලය එහාමෙහා කිරීමේදී හැකිතරම් සෙලවීම් අඩුකරගත හැකිය.

මී ළඟට සිදුවිය යුත්තේ, මෙම කොටස් දෙකින් එකක ඇතුලු වටප්‍රමා‍ණය, කුඩා නලයේ ප්‍රමාණයට වඩා මඳක් අඩුවීම සහ අනෙකේ පිටත වටප්‍රමාණය විශාල නලයට වඩා මඳක් අඩුවීමය. මින් බලාපොරොත්තු වන්නෙ රෙජිෆෝම් වළල්ල අදාල නලය සමඟ පමණක් තදින් සම්බන්ධ වී සිටිමින් අනෙක් නලය සමඟ පිහිල්ව පැවතීමයි. කුඩා නලය පහසුවෙන් එහා මෙහා කිරීමට මෙය බලපායි.

රෙජිෆෝම් වළලු වල ප්‍රමාණය අඩු කිරීමට, කුඩා ගැටිති සහිත වැලි කඩදාසියක් භාවිතා කල හැකිය. මෙම කාර්ය කිරීමේදී වරින් වර වළලු, අදාල නල සමඟ නිවැරදිව සවිවනවාදැයි පරීක්ෂා කරගන්න. වළලු සහ නල අතර තෙරපුම ඕනෑවට වඩා වැඩි වුනහොත් හෝ උවමනාවට වඩා ලිහිල් වුවහොත් නිරීක්ෂන කටයුතු කිරීමේදී, නාභිගතකිරීමේ අපහසුතා ඇතිවිය හැක.

කොටස් එකලස් කිරීම

මුලින්ම අවනෙත සහිත රෙජිෆෝම් කොටස දුරේක්ෂයේ එක් කොනකින් ඇතුලු කරන්න. එය සෙ.මී. 5-6ක් පමණ ඇතුලට වන්නට සවිකරගන්න. මෙසේ කරන්නේ අවනෙත වෙත ලැබිය හැකි අනවශ්‍ය ආලෝක කිරණ වැලැක්වීමටයි.

දුරේක්ෂයේ එකඳු කොටසක් හෝ සවි කිරීමේදී මැලියම් භාවිතයෙන් වැළකිය හැකිනම් වඩාත් යහපත් ය. ඊට හේතුව වන්නේ ඔබ භාවිත කරන මැලියම් යම්හෙයකින් කාච මත වැටුහොත් එමඟින් ඒවාට හානි විය හැකි නිසා. අනෙක නම් පසුකලෙක ඔබට රෙජිෆෝම් කොටස් වලට කිසිඳු හානියකින් තොරව නැවත දුරේක්ෂයේ කොටස් ගලවාගත හැකි වන නිසාය.

අනෙක් රෙජිෆෝම් වළලු දෙකින් කුඩා නලයේ ප්‍රමාණයට ගැලපෙන වළල්ල කුඩා නලයට සවිකරගන්න. සමහරවිට මෙහිදී ඔබට මැලියම් භාවිතා කිරීමට සිදුවනවා විය හැකිය. ඔබ මැලියම් භාවිතා කලේ නම් නලය දුරේක්ෂයට සවිකිරීමට ප්‍රථම හොඳින් වේලෙන්නට හරින්න.

දැන් එම කොටස සහ ඉතිරි රිජිෆෝම් වළල්ල විශාල නලයට සවිකරගන්න. අවසාන වශයෙන් උපනෙත සඳහා භාවිතා කරන කාචය එහි ඇළුමිනියම් කොටසද සමඟ කඩාදාසි නලයට සම්බන්ධ කරගන්න. මෙහිදී අප කඩදාසි නලයක් හිතාමතාම භාවිතා කරඇත්තේ PVC නලයකට වඩා පහසුවෙන්, උපනෙත කඩදාසි නලයට සවිකල හැකි නිසාය.

{youtubejw}KlK4BMV3OfI{/youtubejw}

ඔබේ දුරේක්ෂය සාදා අවසන් ය. රාත්‍රී කාලයේදී එළිමහන් ස්ථානයකට ගොස් දුරේක්ෂය යොමුකර මෙතුවක්කල් ඔබ නොදුටු දේ දැකගන්න. අප මෙහි දක්වා ඇති විශාලන බලයක් සහිත දුරේක්ෂයකින් චන්ද්‍රයා නිරීක්ෂණය පමණක් නොව ඡායාරූපකරණය පවා කල හැකිය.

ඔබට කල හැකි වෙනත් දෑ

  • දුරේක්ෂය රැඳවීමට ත්‍රිපාදයක් සාදාගන්න
  • රිජිෆෝම් කොටස් සහ නලවල ඇතුලත කලු පැහැති මැට් වර්ගයේ තීන්ත ආලේප කරගන්න. මේ මගින් අනවශ්‍ය පරාවර්තනය වීම් වලක්වාගත හැක.
  • වෙනස් නාභියදුර සහිත කාච උපනෙත සඳහා භාවිතා කර බලන්න. උපනෙතෙහි නාභියදුර වෙනස් වන විට විශාලන බලය වෙනස් වේ. එකිනෙකට වෙනස් විශාලනබල සහිත උපනෙත් කට්ටලයක් සකසාගන්න.

** අනතුරු හැඟවීමයි – දුරේක්ෂයක් හෝ කිසිම ආකාරයකින් කාච භාවිතයෙන් හෝ කිසිවිටකත් සූර්යයා හෝ ඒ ආසන්නය හෝ දෙස බැලීමෙන් වළකින්න. ඔබ සදාකාලික ලෙස අන්ධ භාවයට පත්විය හැකිය. **

Read More

රාත්‍රි අහස

රාත්‍රි අහස ඉතා චමත්කාර දර්ශනයක් මෙන්ම කුතුහලයෙන් විද්‍යාවෙන් පිරුණු ස්ථානයක් බව දැන් ඔබ කාටත් නොරහසකි. එසේ නම් මේ රාත්‍රි අහසේ අපට නිරීක්ෂණය කළ හැක්කේ මොනවාදැයි විමසා බලමු.

රාත්‍රි අහසේ නිරීක්ෂණය කළ හැකි දෑ රාශියකි. තරු,ග්‍රහලෝක,සඳ, වල්ගාතරු,උල්කාපාත,උල්කාපාත වර්ෂා,තරු රටා,තරු පොකුරු,නිහාරිකා,මන්දාකිණි,කෘතිම චන්ද්‍රිකා,උප ග්‍රහයින් යනු මේවාය.
දුරේක්ෂයක් නොමැතිව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වස්තූන්.

1. ග්‍රහලෝක
බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු

2. මන්දාකිණි
උදා – ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, ක්ෂීරපථය

3. නිහාරිකා
උදා – ඔරායන් නිහාරිකාව

4. තරු පොකුරු
උදා – හත්දින්නත් තරු

5. සඳ, වල්ගාතරු, උල්කාපාත, චන්ද්‍රිකා, තරු, තාරකා රාශි

නමුත් මෙම වස්තූන් පිළිබඳ වැඩි දුර අධ්‍යයනය සඳහා දුරේක්ෂයක් භාවිතා කළ යුතුයි. මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ රාත්‍රී අහසේ මන්දාකිණි හැරුණූ විට අපට පෙනෙන සියලූම ආකාශ වස්තූන් අප අයත්වන ක්ෂීරපථ මණ්දාකිණියට ඇති බව යි.

තාරකා රාශි

ඔබ අසා ඇති පරිදි තාරකා රාශියක් යනු තරු වලින් සෑදුණු කිසියම් සතෙකුගේ හෝ වස්තුවක හැඩයක් පමණක් යැයි ඔබ සිතන්න පුලූවන්. නමුත් සත්‍ය වශයෙන්ම අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ අර්ථ දැක්වීමට අනුව තාරකා රාශියක් යනු “අන්තර්ජාතිකව පිළිගත් නිශ්චිත සීමා සහිතව අහසේ ඛෙදා වෙන් කරන ලද එක්තරා ප්‍රදේශයකි. ” සැබැවින් ම මෙම තාරකා රාශි වලට විවිධ හැඩයන් ඇත. එමෙන්ම විවිධ තරු සංඛ්‍යා වලින් සමන්විත විවිධ ප්‍රමාණයේ තාරකා රාශි ඇත.

පැරැන්නන් රාත්‍රී අහස තාරකා රාශි 48කට ඛෙදා තිබුණි. පසුව 1928 වර්ෂයේ දී අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය විසින් තවත් තාරකා රාශි 40ක් එක් කරමින් තාරකා රාශි 88 ඛෙදන ලදී.

ආකාශ වස්තු තාරකා රාශි වල චලිතය හා පෘථීවි පරිභ්‍රමණය අතර සම්බන්ධය

ඕනෑම දිනයක රාත්‍රී අහස නිරික්ෂණය කිරීමේදී තාරකා රාශි නැගෙනහිරින් පායා බටහිරින් බැස යනු දැකිය හැකි ය. මීට හේතුව ලෙස පැරැන්නන් සිතුවේ භූකේන්ද්‍රවාදය අනුව මෙම තාරකා රාශි පෘථීවිය වටා කැරකෙන බවයි. නමුත් සත්‍ය වශයෙන්ම එය සිදු වන්නේ පෘථීවිය තම අක්ෂය වටා භ්‍රමණය වන බැවිනි. විශේෂයෙන්ම සමකාසන්න රටක් වන අප රටට මෙම සිද්ධිය වඩා පැහැදිලිව දැකිය හැකි ය.

රාත්‍රී කාලය එළඹීමත් සමග ඉතා සුපරීක්ෂාකාරීව අහස නිරීක්ෂණය කළහොත් රාශි චක්‍රයට අයත් තාරකා රාශි වලින් එම දිනයේදී සූර්යයා පවතින රාශිය හා එය අසල පෙදෙස හැර අනෙක් සියලූම තාරකා රාශි එක් රැයකදී අපට නිරීක්ෂණය කළ හැකිය. නමුත් මාස කීපයක් අහස නිරීක්ෂණය කරන විට විවිධ මාස වලදී එකම වේලාවේදී අහසේ එකම ස්ථානය පිහිටන තාරකා රාශිය වරින්වර එකිනෙකට වෙනස් වේ.

උදාහරණයක් ලෙස යම් දිනක රාත්‍රී 9.00 ට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන තාරකා රාශිය නිරීක්ෂණය කර නැවත මාසයකට පමණ පසු රාත්‍රී 9.00 ට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන තාරකා රාශිය නිරීක්ෂණය කළහොත් මසකට පෙර අප දුටුවා වු තාරකා රාශිය නොව වෙනත් තාරකා රාශියක් උදා වනු දක්නට ලැබේ. තවද මසයකට පෙර නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවනවා දුටු තාරකා රාශිය නැගෙනහිර ක්ෂිතිජයෙන් ඉහළට ගමන් කර තිඛෙනු දැකිය හැකිවේ. සැබැවින්ම මෙම සිද්ධිය සූර්යයා වටා පෘථීවිය ගමන් කිරීම නිසා සිදුවන සංසිද්ධියකි. සූර්යයා වටා පෘථීවිය ගමන් කරන නිසා මෙලෙස ක්‍රමයෙන් නව තාරකා රාශි කලින් කලට දිස්වීම සිදුවී ඇත. මෙය සූර්ය කේන්ද්‍රවාදය නිවැරදි බවටද කදිම සාක්ෂියකි.

ඔබ මෙලෙස රාතී අහස හොඳින් නිරීක්ෂණය කළහොත් පෘථීවියේ භ්‍රමණය හා පරිභ්‍රමණයත් තාරකා රාශි දිස්විමේ රටාවත් ඔබට පැහැදිළිව අවබෝධ කර ගත හැකි වනු ඇත.
මෙහිදි ආකාශ වස්තූ එක දිනයකදි නැගෙනහිරින් පායා බටහිරින් බැස යනවා සේ පෙනෙන සංසිද්ධිය -දෛනික චලිතය- ලෙස හඳුන්වයි. මෙය පෘථීවි භ්‍රමණය නිසා (තමා වටා කැරකැවීම) නිසා සිදුවේ. අහසේ එකම ස්ථානයක එකම වේලාවක දී, පිහිටන තාරකා රාශිය (තරු) වර්ෂයේ විවිධ කාලයන් හිදී වෙනස්වීමේ සංසිද්ධිය -වාර්ෂික චලිතය- ලෙස හඳුන්වයි. මෙය සිදුවන්නේ පෘථීවි පරිභ්‍රමණය නිසා ය.

නිරීක්ෂණ කටයුතු සඳහා සූදානම් වීම

1. මේ සඳහා නිරීක්ෂණයට සුදුසු ස්ථානයක් සොයා ගත යුතුය. මෙහිදී අවට ගස් වලින් බාධාවක් නොමැති අහසේ වැඩි ප්‍රමාණයක් පෙනෙන බාහිර ආලෝකයන්ගෙන් තොරවූ (ආලෝක දූෂණය නොමැති) ස්ථානයක් විය යුතුය. එමෙන්ම එය කෘමින්, සර්පයින්, කටු පඳුරු වැනි උපද්‍රව වලින් තොර ස්ථානයක් විය යුතුය.

2. මෙහිදී නිරීක්ෂණයට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය උපකරණ, කඩදාසි, පැන්සල්, තරු සිතියම්ල, සූදානම් කර ගත යුතුය රතු ආලෝකය සහිත විදුලි පන්දම ආදී දෑ සූදානම් කර ගත යුතුය.

අඳුරට ඇස හුරු කර ගැනීම

හොඳ නිරීක්ෂණ වාරයක් ඇරඹීමට ප්‍රථම අඳුරට ඇස හුරු කර ගත යුතුය. ආලෝකය ඇති තැනක සිට අඳුරට ගොස් අඳුරට හුරු වීමට අප ඇසට විනාඩි 15 – 20 ක් පමණ ගතවේ. අප ආලෝකයේ සිටින විට ඇසේ කණීනිකා සිදුර කුඩාවී ඇසට ඇතුළුවන ආලෝකය අඩු කර ගනී. නමුත් අඳුරට පැමිණි විට කණීනිකාව විශාල වී ඇස ආලෝකය වැඩිපුර ඇතුළු කර ගැනීමට උත්සාහ කරයි. තවද දෘෂ්ටි විතානයේ අඩු ආලෝකයට සංවේදී සෙල (යෂ්ටි ෙසෙල) කි්‍රයාකාරීත්වය වැඩිවී ඇස ආලෝනය කෙරෙහි දක්වන සංවේදීතාවය වැඩී වේ. අඳුරට හුරු විමට විනාඩි 20ක් පමන ගත වන්නේ මේ නිසාය. මෙහිදී අඳුරට හුරු වූ ඇසට රතු වර්ණය හැර නිල්, කහ, කොළ ආදී වර්ණයක් ලැබුණහොත් නැවත ඇස ක්ෂනිකව එම ආලෝක වෙත ඇදි යයි. මීට හේතුව අඳූරේ පවතින ඇස එම වර්ණ වලට වැඩි සංවේදීතාවයක් දැක්වීමයි. මෙයිනුත් නිල් වර්ණය වැඩිම සංවේදිතාවයක් දක්වයි. මෙහිදී නැවත වරක් ඇස අඳුරට හුරු කරගැනීමට විනාඩි 15 – 20ක් ගත වේ. එනිසා නිරීක්ෂණය කරන විට එවැනි වර්ණ භාවිතා නොකළ යුතුය. නමුත් අඳුරේදී ඇස ආලෝකයට අඩු සංවේදීතාවයක් දක්වයි. මේ නිසා රාත්‍රී අහස නිරීක්ෂණයේදී ආලෝකය අවශ්‍යතාවයක් වූ විට දී අප රතු ආලෝකය භාවිතා කළ යුතුය. ඉන් අඳුරට හුරු වූ ඇස ඉන් මිදීමක් සිදු නොවේ.

ප්‍රථම වරට රාත්‍රී අහස නිරීක්ෂණය කරන විට තරු සිතියම භාවිතා කිරීමට අවශ්‍ය නැත. ප්‍රථමයෙන්ම අප රාත්‍රී අහසේ ඇති දෑ පියවි ඇසින් තරු සිතියමක ආධාරයකින් තොරව හඳුනාගැනීමට උත්සාහ කළ යුතුය. පසුව සාර්ථක නිරීක්ෂණ සඳහා තරු සිතියම දුරේක්ෂ භාවිතා කිරීම සිදු කළ හැක. තරු සිතියම භාවිතය තරු, තරු රටාල ගැඹුරු අහසේ ආකාශ වස්තු හා අහස් ගෝලය ඉතා පහසුවෙන් අධ්‍යයනය කිරීමට උපකාරී වනු ඇත.

නිරීක්ෂණ වාර්තාවක් සකසන්නේ කොහොමද ?

රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේදී නිරීක්ෂණ වාර්තා කිරීම ඉතා වැදගත් කාර්යයකි. අප යම් සොයා ගැනීමක් කිරිමට බලාපොරොත්තු වේ නම් මෙබඳු නිරීක්ෂණ වාර්ථාවකින් ලැඛෙන්නේ විශාල පිටුවහලකි. නමුත් අපට අවශ්‍ය ආකාරයට මෙබඳු නිරීක්ෂණ වාර්ථාවක් සකස් කළ නොහැක. අප සකස් කළ යුත්තේ ජාත්‍යන්තරව පිලිගත් ආකාරයේ නිරීක්ෂණ වාර්ථාවකි එවැනි නිරීක්ෂණ වාර්ථාවක අනුරුවක් පහත පරිදි වේ.

OBSERVATION REPORT – නිරීක්ෂණ වාර්තාව

Name (නම) – නිරීක්ෂණය සිදු කරන පුද්ගලයාගේ නම
Date (දිනය) – නිරීක්ෂණය සිදු කරන දිනය
Place (ස්ථානය) –
City (නගරය) – නිරීක්ෂණය සිදු කරන ස්ථානයට අදාළ විස්තර
Country (රට) –
Time (වේලාව) – :1-
Longtitude (දේශාංශ) – නිරීක්ෂණය සිදු කරන ස්ථානයේ අක්ෂාංශ හා දේශාංශ
Latitude (අක්ෂාංශ) – (දන්නේ නම්)
Sky Condition (අහසේ තත්ත්වය) – :2-
Other (වෙනත්) – :3-

(1) (2) (3) ලෙස දක්වා ඇති කරුණු පහත සවිස්තරව දක්වා ඇත.

වේලාව
(1) අප නිරීක්ෂණය ඇරඹු වේලාවත්, එය අවසන් කළ වේලාවත් නිවැරදිව සටහන් කළ යුතුය. මේ සඳහා ජාත්‍යන්තරව සම්මත වී ඇත්තේ ග්‍රිනිච් මධ්‍යනය වේලාවයි. (Grinwichwich mean Time – GMT) මෙය ලබා ගැනීමට අපගේ ඔරලෝසු වේලාවෙන් පැය 5.30ක් අඩු කළ යුතුය. එසේ නොමැති නම් අපගේ ඔරලෝසු වේලාවද (Local Civil Time – LCT) සඳහන් කළ හැක. සෑමවිටම වේලාව පැය 24 ඔරලෝසුවේ ආකාරයටම තැබිය යුතු අතර එයට ඉදිරියෙන් GMT ද LCT යන වග පැහැදිලිව දැක්විය යුතුය.

අහසේ තත්ත්වය
(2) අහසේ තත්ත්වය කොටස් 5කට වර්ග කෙරේ ඒවා රෝම කැපිටල් ඉලක්කමෙන් සඳහන් කළ යුතුය.
i වලාකුළු නොමැත අඳුරු ඉතා පැහැදිලි අහසකි.
ii වලාකුළු නොමැතිමුත් අහස් තත්ත්වය 1 දීට වඩා අපැහැදිලිය.
iii වලාකුළු මද වශයෙන් ඇත නමුත් ඒවා ඉක්මණින් ගමන් කරයි.
iv වලාකුළු සහිතය ඒවා ගමන් නොකරයි.
v වලාකුළු වලින් සම්පූර්ණ අහසම පාහේ වැසි පවති.
මෙම තත්ත්ව වලට අමතර අවස්ථා නොමැත. එසේම එකම නිරීක්ෂණ වාර්ථාවක් සඳහා අහසේ තත්ත්ව කිහිපයක් ද තිබිය නොහැක.

අනෙකුත් දේ
(3) මෙහිදී අප සඳහත් කළ යුත්තේ අප දුටු වස්තූන් පිළිබඳ විස්තර ( ඒවායේ නම් ) හා අප නිරීක්ෂණයට භාවිතා කරන උපකරණ පිළිබඳවයි.

දුරේක්ෂයක් නම්

Telescope (දුරේක්ෂය) – දුරේක්ෂයේ වෙළඳ නාමය
Telescope Type (දුරේක්ෂ වර්ගය) – දුරේක්ෂය නිව්ටෝනියානුද,වර්තකද,පරාවර්තකද,කැසිග්‍රේනියානුආදී වූ කුමන
වර්ගයේ ද යනවග
Eye piece (උපනෙත) – අප භාවිතා කරන උපනෙත (එහි නාභි දුර සඳහන් කරන්නග)
F Number (ත‍ අංකය) – මෙය යම් දුරේක්ෂයක් සඳහා නියත අගයක් වේ (අවනෙතේ නාභි දුර/අවනෙතේ විශ්කම්භය )
Magnification (විශාලනය) – මෙය (අවනෙතේ නාභි දුර/උපනෙතේ නාභි දුර) මගින් ලැබේ

දෙනෙතියක් සඳහා

Binocular (දෙනෙතිය) – වෙළෙඳ නාමය
Binocular Type (දෙනෙති වර්ගය) – 7×50, 10×50, 10×70 ආකාරයට
(මෙහි ඉදිරියෙන් ඇති අංකයන් විශාලනයත් පසුපස අංකයෙන් අවනෙත් කාචයේ විශ්කම්භය mm වලිනුත් සඳහන් කර ඇත.)

විශේෂ කරුණු

1 අප යම් නිරීක්ෂණයක් කිරීමේදී රාත්‍රී 12 පසුවුනි නම් පසුදිනද අපගේ නිරික්ෂණයට අදාළ නිසා එයද අපගේ නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කරන්න.
2 අප විශේෂ නිරීක්ෂණ කිරිමේදී (උල්කාපාත වර්ෂා වැනි දේ) අපගේ නිරික්ෂණ වාර්තා වලට මෙයට අමතරව වෙනත් කරුණු බොහොමයක් ඇතුළු විය හැක ඒවා වෙනත් ලෙස දක්වා ඇති මාතෘකාව යටතේ සඳහන් කරන්න.
3 නිරීක්ෂණ වාර්තා සැකසීම ඔබගේ නිරීක්ෂණයට බාධාවක් සේ නොසැළකිය යුතුය. නිරීක්ෂණ කඳවුරු වැනිදේට ඔබ සහභාගි වීමේදී ඔබට මේ සඳහා අවශ්‍ය පුහුණුව ඉබේම ලැඛෙනු ඇත. එසේ නොවුනද ඔබගේ ස්වෝත්සාහයෙන් නිරීක්ෂණ වාර්තා තැබීමද ඉතා වැදගත්ය. එබඳු නිරීක්ෂණ වාර්තා දන්නා අයෙකුට පෙන්වා එහි ඇති දෝෂ මග හරවා ගත හැකි ය. එසේ වීමෙන් ඔබටද හොඳ නිරීක්ෂකයෙකු විය හැක.

මීට අමතරව විවිධ නිරීක්ෂණ කඳවුරුල තරගාවලි වැනි වැඩසටහන් වලදී විවිධ ආකාරයට සැකසු නිරීක්ෂණ වාර්තා සම්පූර්ණ කිරීමට ලැඛෙනු ඇත. එහිදී එහි විමසා ඇති කරුණු වලට අදාළව නිරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කරන්න.

 

Read More

මූලික දැනුමෙන් එහා

අප ජීවත් වන පෘතුවිය සෞරග්‍රහ මන්ඩලයේ තවත් එක් ග්‍රහයෙක් පමනි. පෘතුවිය ඇතුලු අනෙක් ග්‍රහයින් සියල්ල සූර්යයා වටා පරිභ්‍රමනය වෙමින් පවතී. අප සුර්යයා විශ්වයේ සුවිශේෂ වු වස්තුවක් නොව ඉමක් කොනක් නොමැති අපරිමිත විශ්වයේ අපරිමිත වු තාරකා සමූහයෙන් එකකි…

මෙවැනි වු තාරකා විද්‍යාවේ මූලික කරුණු ඔබ දැනටමත් පාසලෙන් ‍හෝ වෙනයම් ආකාරයකින් ඉගෙනගෙන ඇති. නමුත් තාරකා විද්‍යාවට ඇල්මක් තිබෙන එය ගැඹුරින් අධ්‍යනයට කුතුහලයක් තිබෙන තාරකා විද්‍යා ලෝලීන්ට මේ මූලික දැනුමෙන් කිසිසේත්ම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. තාරකා විද්‍යාව ලොව පැරණිතම විෂයන්ගෙන් එකක් වගේම එය අද වන විට පුලුල් පරාසයක් දක්වා පැතිර තිබෙනවා. කාලයත් සමග දියුණු වෙමින් පවතින තාරකා විද්‍යාව, එය එක් විෂයක් ලෙස ගෙන ඉගෙනීම අසීරු කටයුත්තක්. එනිසා මේ පුලුල් විද්‍යා ක්ෂේත්‍රය තවත් අනු අංශ කිහිපයකට බෙදී වෙන් වෙනවා.

සාමාන්‍යය තාරකා විද්‍යාව

අප ජීවත් වන පෘතුවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලය පිලිබදව හදාරයි. තවද උල්කාපාත, දූමකේතු, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී සිද්දීන් පිලිබද හැදෑරීමද මේ ගණයට අයත් වේ.

නීරීක්ෂණ තාරකා විද්‍යාව


මූලිකව රාත්‍රී අහසේ වස්තූන් පිලිබදව නිරීක්ෂණයන්ය. දුරේක්ෂ භාවිතය, නිරීක්ෂණ වර්ථා සැකසීම, චන්ද්‍රයා සිතියම්ගත කීරීම, තරුරටා නීරීක්ෂණය යනාදිය ද අයත් වේ. තාරකා විද්‍යාවේ ඉතිරි අංශ සදහා නිරීක්ෂණ තාරකා විද්‍යාවේදී සිදුකරන නිරීක්ෂණ වැදගත් වේ.

අභ්‍යාවකාශ ගවේෂණය

රොකට් යානා, චන්ද්‍රිකා, අභ්‍යාවකාශ යානා ආදිය මගින් විශ්වයේ නොයෙක් වස්තූන් අධ්‍යනය කීරීම පිබදව සොයා බැලීම සිදුකරයි. ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින අංශයකි.

රොකට් තාක්ෂණය

චන්ද්‍රිකා හා අභ්‍යාවකාෂ යානා ගුවන්ගත කිරීම, ගගනගාමීන් අභ්‍යාවකාෂය වෙත රෑගෙන යාම යනාදී විශේෂ කටයුතු සදහා රොකට් තාක්ෂණය භාවිතා වේ. මිනිසා සද මත පා තැබුවේද රොකට් තාක්ෂණය දියුණුවේ එක් සංදිස්ථානයක් ලෙසය.

රේඩියෝ තාරකා විද්‍යාව


විෂ්වයේ ඇති වස්තූන් රේඩියෝ තරංග ඔස්සේ අධ්‍යනය කෙරෙයි. මිනිස් අැසට හසු නොවන තරංග ආයාම ඔස්සේ විෂ්වය නිරීක්ෂනය කල හැකි බැවින් විෂ්වයේ අැති අබිරහස් ආදිය සොයා බැලීමට උපකාරී වේ. පබල සොයාගැනීමක් වන ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරනයද රේඩියෝතාරකා විද්‍යාව දියුනුවේ එක් ප්‍රතිපලයකි.

 

තාරකා ‍භෞතික විද්‍යාව

තාරකා ඇතුලු විෂ්වයේ වස්තූන් පිලිබදව භෞතික විද්‍යා ක්ෂේත්‍රය ඔස්සේ හැදෑරීම සිදුවේ. ගැඹුරු මූලධර්ම වලින් පිරී පවති.

තාරකා ජීව විද්‍යාව
විෂ්වය තුල ජීවයේ ආරම්භය පරිනාමය හා පැතිරීම පිලිබදව අධයනය කෙරෙයි. මූලිකව පෘතුවිය තුල ජීවයේ ආරම්බය මෙන්ම සෞරග්‍රහ මන්ඩලය තුල හා ඉන් පිටත විෂ්වය තුල ජීවයේ පැවැත්මක් තිබිය හැකිද යන්න පිලිබදව සාකච්චා කෙරෙයි.

විෂ්ව න්‍යාය විද්‍යාව

විෂ්වයේ උපත, පරිණාමය, අවසානය ආදී වු ගැඹුරු මූලධර්ම ආවරණය කෙරෙන අංශයකි.

 

මීට අමතරව විවිධ වර්ග කිරීම් අනුව තවත් අංශද තිබෙන්නට පුලුවන. කෙසේ නමුත් ඉහත සදහන් කල අංශ නිරීක්ෂණය කීරීමෙන් තාරකා විද්‍යා‍‍‍‍වේ පුලුල් බව ඔබට වැටහෙනවා ඇති.

තාරකා විද්‍යාව හදාරන්නෙකු ලෙස ඉහත සදහන් කල සියලුම අංශ පිලිබදව ඉගෙනීම අවශ්‍යද යන්න පිලිබදව ඔබට සමහර විට ගැටලුවක් මතුවන්නට ඇති. ඇත්තටම තාරකා විද්‍යාවට අවතීර්ණ වන්නෙකුට ඉහත සියලු අංශ පිළිබදව යම් තාක් දුරකට හෝ දැන සිටීම අවශ්‍යයි. නමුත් තාරකා විද්‍යාව ගැඹුරින් හැදෑරීමට යාමේදී එක් අංශයකට ඔබ ඉබේම යොමුවේවි. එහිදී ඔබට ගවේෂණය කිරීමට සිදුවන්නේ බොහෝවිට එම අංශයට ම පමණක් සීමා වු කරුණුය.

 

කොහොමද මේ දැනුම ලබාගන්නේ?

ශ්‍රි ලංකාව තුල තාරකා විද්‍යාව විෂයක් ලෙස පාසල් මට්ටමින් හෝ විශ්ව විද්‍යාල මට්ටමින් ඉගැන්වීමක් කෙරෙන්නේ නැහැ. පාසලේදී අප ඉගෙන ගන්නා තාරකා විද්‍යාව සීමාවී තිබෙන්නේ කුඩා පාඩම් කිහිපයකට පමණයි. තාරකා විද්‍යාව උගන්වන විශේෂ ආයතනයක්වත් අප රට තුල නැහැ. යම් තාක් දුරකට හෝ තාරකා විද්‍යාව ඉගැන්වෙන්නේ පාසල් මට්ටමින් හෝ තාරකා විද්‍යා ලෝලීන් එක්ව පිහිටුවාගෙන ඇති තාරකා විද්‍යා සංගම් හරහායි. ඔබ මෙවැනි සංගමයක සාමාජිකයෙක් වූවත් නොවූවත් මෙවැනි ආකාරයක ගවේශණාත්මක විෂයක් ඉගෙනීමේදී ස්වයං අධ්‍යනය කිරීම අවශ්‍යය වෙනවා. වෙනත් ආකාරයකින් කිවහොත් ඔබට තනිවම ඉගෙනීමට සිදුවෙනවා.

තාරකා විද්‍යා විෂයට අවතීර්ණ වන ඔනෑම කෙනෙකුට අවශ්‍යය මූලික අඩිතාලම බොහෝ දුරට ලබා දෙන්නේ තාරකා විද්‍යාව පිලිබද ලියවුනු පොත් පත් වලිනි. මෙහිදී තාරකා විද්‍යාව ගැඹුරින් අධ්‍යනය කීරීමට ආසාවක් තිබෙනවා මෙන්ම ඒ පිලිබදව තොරතුරු සෙවීමටද විශාල උනන්දුවක් තිබීමද අවශ්‍යයයි. ඔබ තාරකා විද්‍යාවට ආධුනිකයෙක් නම් පලමුව කුඩා පොත්පත් වල සදහන් වන සරල සංසිද්දීන් කියවීම ආරම්භ කල යුතුයි. සරල දේ පැහැදිලිව වටහා ගැනීමෙන් පසුව සංකීර්ණ කරුණු සදහා පහසුවෙන් යොමුවිය හැකියි.

තාරකා විද්‍යාවට කුතුහලයක් ඇත්තන්ට අන්තර්ජාලය තෝතැන්නකි. ඔබ දැනට නරඹමින් සිටින මේ වෙබ් අඩවියද ඇතුලුව තාරකා විද්‍යාව සදහාම වෙන් වූ වෙබ් අඩවි බොහෝමයක් පවතිනවා. අන්තර්ජාල වෙබ් අඩවි වලින් තොරතුරු ලබාගැනීමේදී විශේෂ වු වාසියක් අත් වෙනවා. එනම් දිනෙන් දින දියුණු වෙමින් පවතින තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුල සිදුවන නව වෙනස්වීම් පිලිබද තොරතුරු (තාරකා විද්‍යා පුවත්) ආදිය වඩාත් නිරවද්‍යව ලබා ගත හැකි වීමයි. ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරන්නෙක් නම් තාරකා විද්‍යාවට වෙන් වු වෙබ් අඩවි වලින් ඔබටම ආවේණික වු ලැයිස්තුවක් ඉබේටම නිර්මාණය කර ගන්නට පෙලබේවි. ඉන් පසු ඔබ බොහෝ දුරට තොරතුරු පිරික්සනු ලබන්නේ මේ වෙබ් අඩවි වලිනි.

මීට අමතරව තාරකා විද්‍යාවේදී සිදුකරන නිරීක්ෂණ හා විවිධ අත්හදා බැලීම් මෙම විෂය පිලිබද දැනුම වගේම දැනට ලබාගෙන ඇති දැනුම වඩාත් තීව්‍ර කරන්නටද හේතු වෙනවා නොඅනුමානයි. “අහන දේ අමතක වෙනවා, කියවන දේ මතක හිටිනවා, කරන දේ ඔලුවට යනවා” ලෙස පැරණි සිංහල වදනක් ඔබ මීට පෙර සමහරවිට අසා ඇති. එය තාරකා විද්‍යාවේදී කරන නිරීක්ෂණ හා විවිධ අත් හදා බැලීම් සමග හොදින් ගැල‍නෙවා. විවිධ නිරීක්ෂණ කරන්නෙකුට තමා පොත් පත් කියවීමෙන් ලැබූ දැණුමට වඩා බොහෝ කරුණු කාරණා ගණනාවක් සමග හොද අත්දැකීම්ද ලබා ගන්න පුලුවන්. මෙවැනි නීරීක්ෂණ ආදිය පිලිබදව ඊළග මාතෘකාව යටතේ සාකච්ඡාවට බදුන් වේ.

දුරේක්ෂයක් අවශ්‍යම ද?

තාරකා විද්‍යා නිරීක්ෂණ වලදී දුරේක්ෂය අත්‍යාවශ්‍ය උපකරණයකී. නමුත් ආධුනිකයෙකුට දුරේක්ෂයක් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. දුරේක්ෂයක් නොමැතිව සිදුකල හැකි නිරීක්ෂණ ගණනාවක්ම තිබෙනවා. රාත්‍රී අහසේ තාරකා රාශි නිරීක්ෂණය, තාරකා රාශි සිතියම් ගත කිරීම, උල්කාපාත වර්ෂා, ධූමකේතු සහ සූර්‍යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ වැනි විශේෂ තැනක් ගන්නා නිරීක්ෂණ ආදිය ද දුරේක්ෂයක් නොමැතිව සිදුකල හැකි නිරීක්ෂණ වලින් කිහිපයක්. ඉහත ආකාරයේ නිරීක්ෂණ වලින් ලබා ගන්නා පන්නරය දුරේක්ෂයක් සහිතව කරන නිරීක්ෂණ වලට වඩාත් වැදගත් වෙනවා.

වෘත්තීය මට්ටමේ දුරේක්ෂයකට අවතීර්ණ වීමට කලින් දුරේක්ෂ භාවිතය සදහා හුරුවීමට වඩාත්ම උචිත ක්‍රමය ලෙස හැදින්විය හැක්කේ පලමුව දෙනෙතියක් භාවිතයට හුරු වීමයි. මෙහිදී ලැබෙන වාසි කිහිපයකි. එනම් භාවිතය පහසුය, දුරේක්ෂ වලදී මෙන් ආධාරකයක් අවශ්‍යය නොවේ, දර්ශණ පරාසය විශාල වීම නිසා ආකාශ වස්තූන් වෙත එය යොමු කිරීම පහසු වීම, යනාදිය එවැනි වාසීන් ලෙස සදහන් කල හැකිය.

 

ගණිතය අවශ්‍යයම ද?

තාරකා විද්‍යාව ගැඹුරින් හැදෑරීමට නම් ගණිතය ගැඹුරින් දැන සිටීම අත්‍යාවශයයි. විශේෂයෙන්ම තාරකා භෞතික විද්‍යාව හා විශ්ව න්‍යාය විද්‍යාව ආදී විෂයන් වලදී ඉතා සංකීර්ණ ගණිත සංකල්ප යොදාගනු ලබනවා. නමුත් ඔබ ‍‍ගේ ගණිතය පිලිබද දැනුම කුමන ආකාරයක එකක් උවත් තාරකා විද්‍යාව පිලිබද උනන්දුවක් හා කුතුහලයක් ඇති ඕනෑම අ‍යෙකුට එය ගැටලුවක් කරගත යුතු වන්නේ නැහැ. ඔබට සංකීර්ණ ගණිත සංකල්ප තේරුම් ගැගීමට නොහැකි නම් ඒ සංකල්ප මත සිට ඉතිරි මූලධර්ම වටහා ගැනීම සිදු කල හැකියි. ඔබගේ හැකියාව අනුව තමාට ගැලපෙන අංශය තෝරාගත යුතුයි.

 

Read More