මූලික දැනුමෙන් එහා

අප ජීවත් වන පෘතුවිය සෞරග්‍රහ මන්ඩලයේ තවත් එක් ග්‍රහයෙක් පමනි. පෘතුවිය ඇතුලු අනෙක් ග්‍රහයින් සියල්ල සූර්යයා වටා පරිභ්‍රමනය වෙමින් පවතී. අප සුර්යයා විශ්වයේ සුවිශේෂ වු වස්තුවක් නොව ඉමක් කොනක් නොමැති අපරිමිත විශ්වයේ අපරිමිත වු තාරකා සමූහයෙන් එකකි…

මෙවැනි වු තාරකා විද්‍යාවේ මූලික කරුණු ඔබ දැනටමත් පාසලෙන් ‍හෝ වෙනයම් ආකාරයකින් ඉගෙනගෙන ඇති. නමුත් තාරකා විද්‍යාවට ඇල්මක් තිබෙන එය ගැඹුරින් අධ්‍යනයට කුතුහලයක් තිබෙන තාරකා විද්‍යා ලෝලීන්ට මේ මූලික දැනුමෙන් කිසිසේත්ම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. තාරකා විද්‍යාව ලොව පැරණිතම විෂයන්ගෙන් එකක් වගේම එය අද වන විට පුලුල් පරාසයක් දක්වා පැතිර තිබෙනවා. කාලයත් සමග දියුණු වෙමින් පවතින තාරකා විද්‍යාව, එය එක් විෂයක් ලෙස ගෙන ඉගෙනීම අසීරු කටයුත්තක්. එනිසා මේ පුලුල් විද්‍යා ක්ෂේත්‍රය තවත් අනු අංශ කිහිපයකට බෙදී වෙන් වෙනවා.

සාමාන්‍යය තාරකා විද්‍යාව

අප ජීවත් වන පෘතුවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලය පිලිබදව හදාරයි. තවද උල්කාපාත, දූමකේතු, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී සිද්දීන් පිලිබද හැදෑරීමද මේ ගණයට අයත් වේ.

නීරීක්ෂණ තාරකා විද්‍යාව


මූලිකව රාත්‍රී අහසේ වස්තූන් පිලිබදව නිරීක්ෂණයන්ය. දුරේක්ෂ භාවිතය, නිරීක්ෂණ වර්ථා සැකසීම, චන්ද්‍රයා සිතියම්ගත කීරීම, තරුරටා නීරීක්ෂණය යනාදිය ද අයත් වේ. තාරකා විද්‍යාවේ ඉතිරි අංශ සදහා නිරීක්ෂණ තාරකා විද්‍යාවේදී සිදුකරන නිරීක්ෂණ වැදගත් වේ.

අභ්‍යාවකාශ ගවේෂණය

රොකට් යානා, චන්ද්‍රිකා, අභ්‍යාවකාශ යානා ආදිය මගින් විශ්වයේ නොයෙක් වස්තූන් අධ්‍යනය කීරීම පිබදව සොයා බැලීම සිදුකරයි. ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින අංශයකි.

රොකට් තාක්ෂණය

චන්ද්‍රිකා හා අභ්‍යාවකාෂ යානා ගුවන්ගත කිරීම, ගගනගාමීන් අභ්‍යාවකාෂය වෙත රෑගෙන යාම යනාදී විශේෂ කටයුතු සදහා රොකට් තාක්ෂණය භාවිතා වේ. මිනිසා සද මත පා තැබුවේද රොකට් තාක්ෂණය දියුණුවේ එක් සංදිස්ථානයක් ලෙසය.

රේඩියෝ තාරකා විද්‍යාව


විෂ්වයේ ඇති වස්තූන් රේඩියෝ තරංග ඔස්සේ අධ්‍යනය කෙරෙයි. මිනිස් අැසට හසු නොවන තරංග ආයාම ඔස්සේ විෂ්වය නිරීක්ෂනය කල හැකි බැවින් විෂ්වයේ අැති අබිරහස් ආදිය සොයා බැලීමට උපකාරී වේ. පබල සොයාගැනීමක් වන ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරනයද රේඩියෝතාරකා විද්‍යාව දියුනුවේ එක් ප්‍රතිපලයකි.

 

තාරකා ‍භෞතික විද්‍යාව

තාරකා ඇතුලු විෂ්වයේ වස්තූන් පිලිබදව භෞතික විද්‍යා ක්ෂේත්‍රය ඔස්සේ හැදෑරීම සිදුවේ. ගැඹුරු මූලධර්ම වලින් පිරී පවති.

තාරකා ජීව විද්‍යාව
විෂ්වය තුල ජීවයේ ආරම්භය පරිනාමය හා පැතිරීම පිලිබදව අධයනය කෙරෙයි. මූලිකව පෘතුවිය තුල ජීවයේ ආරම්බය මෙන්ම සෞරග්‍රහ මන්ඩලය තුල හා ඉන් පිටත විෂ්වය තුල ජීවයේ පැවැත්මක් තිබිය හැකිද යන්න පිලිබදව සාකච්චා කෙරෙයි.

විෂ්ව න්‍යාය විද්‍යාව

විෂ්වයේ උපත, පරිණාමය, අවසානය ආදී වු ගැඹුරු මූලධර්ම ආවරණය කෙරෙන අංශයකි.

 

මීට අමතරව විවිධ වර්ග කිරීම් අනුව තවත් අංශද තිබෙන්නට පුලුවන. කෙසේ නමුත් ඉහත සදහන් කල අංශ නිරීක්ෂණය කීරීමෙන් තාරකා විද්‍යා‍‍‍‍වේ පුලුල් බව ඔබට වැටහෙනවා ඇති.

තාරකා විද්‍යාව හදාරන්නෙකු ලෙස ඉහත සදහන් කල සියලුම අංශ පිලිබදව ඉගෙනීම අවශ්‍යද යන්න පිලිබදව ඔබට සමහර විට ගැටලුවක් මතුවන්නට ඇති. ඇත්තටම තාරකා විද්‍යාවට අවතීර්ණ වන්නෙකුට ඉහත සියලු අංශ පිළිබදව යම් තාක් දුරකට හෝ දැන සිටීම අවශ්‍යයි. නමුත් තාරකා විද්‍යාව ගැඹුරින් හැදෑරීමට යාමේදී එක් අංශයකට ඔබ ඉබේම යොමුවේවි. එහිදී ඔබට ගවේෂණය කිරීමට සිදුවන්නේ බොහෝවිට එම අංශයට ම පමණක් සීමා වු කරුණුය.

 

කොහොමද මේ දැනුම ලබාගන්නේ?

ශ්‍රි ලංකාව තුල තාරකා විද්‍යාව විෂයක් ලෙස පාසල් මට්ටමින් හෝ විශ්ව විද්‍යාල මට්ටමින් ඉගැන්වීමක් කෙරෙන්නේ නැහැ. පාසලේදී අප ඉගෙන ගන්නා තාරකා විද්‍යාව සීමාවී තිබෙන්නේ කුඩා පාඩම් කිහිපයකට පමණයි. තාරකා විද්‍යාව උගන්වන විශේෂ ආයතනයක්වත් අප රට තුල නැහැ. යම් තාක් දුරකට හෝ තාරකා විද්‍යාව ඉගැන්වෙන්නේ පාසල් මට්ටමින් හෝ තාරකා විද්‍යා ලෝලීන් එක්ව පිහිටුවාගෙන ඇති තාරකා විද්‍යා සංගම් හරහායි. ඔබ මෙවැනි සංගමයක සාමාජිකයෙක් වූවත් නොවූවත් මෙවැනි ආකාරයක ගවේශණාත්මක විෂයක් ඉගෙනීමේදී ස්වයං අධ්‍යනය කිරීම අවශ්‍යය වෙනවා. වෙනත් ආකාරයකින් කිවහොත් ඔබට තනිවම ඉගෙනීමට සිදුවෙනවා.

තාරකා විද්‍යා විෂයට අවතීර්ණ වන ඔනෑම කෙනෙකුට අවශ්‍යය මූලික අඩිතාලම බොහෝ දුරට ලබා දෙන්නේ තාරකා විද්‍යාව පිලිබද ලියවුනු පොත් පත් වලිනි. මෙහිදී තාරකා විද්‍යාව ගැඹුරින් අධ්‍යනය කීරීමට ආසාවක් තිබෙනවා මෙන්ම ඒ පිලිබදව තොරතුරු සෙවීමටද විශාල උනන්දුවක් තිබීමද අවශ්‍යයයි. ඔබ තාරකා විද්‍යාවට ආධුනිකයෙක් නම් පලමුව කුඩා පොත්පත් වල සදහන් වන සරල සංසිද්දීන් කියවීම ආරම්භ කල යුතුයි. සරල දේ පැහැදිලිව වටහා ගැනීමෙන් පසුව සංකීර්ණ කරුණු සදහා පහසුවෙන් යොමුවිය හැකියි.

තාරකා විද්‍යාවට කුතුහලයක් ඇත්තන්ට අන්තර්ජාලය තෝතැන්නකි. ඔබ දැනට නරඹමින් සිටින මේ වෙබ් අඩවියද ඇතුලුව තාරකා විද්‍යාව සදහාම වෙන් වූ වෙබ් අඩවි බොහෝමයක් පවතිනවා. අන්තර්ජාල වෙබ් අඩවි වලින් තොරතුරු ලබාගැනීමේදී විශේෂ වු වාසියක් අත් වෙනවා. එනම් දිනෙන් දින දියුණු වෙමින් පවතින තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුල සිදුවන නව වෙනස්වීම් පිලිබද තොරතුරු (තාරකා විද්‍යා පුවත්) ආදිය වඩාත් නිරවද්‍යව ලබා ගත හැකි වීමයි. ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරන්නෙක් නම් තාරකා විද්‍යාවට වෙන් වු වෙබ් අඩවි වලින් ඔබටම ආවේණික වු ලැයිස්තුවක් ඉබේටම නිර්මාණය කර ගන්නට පෙලබේවි. ඉන් පසු ඔබ බොහෝ දුරට තොරතුරු පිරික්සනු ලබන්නේ මේ වෙබ් අඩවි වලිනි.

මීට අමතරව තාරකා විද්‍යාවේදී සිදුකරන නිරීක්ෂණ හා විවිධ අත්හදා බැලීම් මෙම විෂය පිලිබද දැනුම වගේම දැනට ලබාගෙන ඇති දැනුම වඩාත් තීව්‍ර කරන්නටද හේතු වෙනවා නොඅනුමානයි. “අහන දේ අමතක වෙනවා, කියවන දේ මතක හිටිනවා, කරන දේ ඔලුවට යනවා” ලෙස පැරණි සිංහල වදනක් ඔබ මීට පෙර සමහරවිට අසා ඇති. එය තාරකා විද්‍යාවේදී කරන නිරීක්ෂණ හා විවිධ අත් හදා බැලීම් සමග හොදින් ගැල‍නෙවා. විවිධ නිරීක්ෂණ කරන්නෙකුට තමා පොත් පත් කියවීමෙන් ලැබූ දැණුමට වඩා බොහෝ කරුණු කාරණා ගණනාවක් සමග හොද අත්දැකීම්ද ලබා ගන්න පුලුවන්. මෙවැනි නීරීක්ෂණ ආදිය පිලිබදව ඊළග මාතෘකාව යටතේ සාකච්ඡාවට බදුන් වේ.

දුරේක්ෂයක් අවශ්‍යම ද?

තාරකා විද්‍යා නිරීක්ෂණ වලදී දුරේක්ෂය අත්‍යාවශ්‍ය උපකරණයකී. නමුත් ආධුනිකයෙකුට දුරේක්ෂයක් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. දුරේක්ෂයක් නොමැතිව සිදුකල හැකි නිරීක්ෂණ ගණනාවක්ම තිබෙනවා. රාත්‍රී අහසේ තාරකා රාශි නිරීක්ෂණය, තාරකා රාශි සිතියම් ගත කිරීම, උල්කාපාත වර්ෂා, ධූමකේතු සහ සූර්‍යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ වැනි විශේෂ තැනක් ගන්නා නිරීක්ෂණ ආදිය ද දුරේක්ෂයක් නොමැතිව සිදුකල හැකි නිරීක්ෂණ වලින් කිහිපයක්. ඉහත ආකාරයේ නිරීක්ෂණ වලින් ලබා ගන්නා පන්නරය දුරේක්ෂයක් සහිතව කරන නිරීක්ෂණ වලට වඩාත් වැදගත් වෙනවා.

වෘත්තීය මට්ටමේ දුරේක්ෂයකට අවතීර්ණ වීමට කලින් දුරේක්ෂ භාවිතය සදහා හුරුවීමට වඩාත්ම උචිත ක්‍රමය ලෙස හැදින්විය හැක්කේ පලමුව දෙනෙතියක් භාවිතයට හුරු වීමයි. මෙහිදී ලැබෙන වාසි කිහිපයකි. එනම් භාවිතය පහසුය, දුරේක්ෂ වලදී මෙන් ආධාරකයක් අවශ්‍යය නොවේ, දර්ශණ පරාසය විශාල වීම නිසා ආකාශ වස්තූන් වෙත එය යොමු කිරීම පහසු වීම, යනාදිය එවැනි වාසීන් ලෙස සදහන් කල හැකිය.

 

ගණිතය අවශ්‍යයම ද?

තාරකා විද්‍යාව ගැඹුරින් හැදෑරීමට නම් ගණිතය ගැඹුරින් දැන සිටීම අත්‍යාවශයයි. විශේෂයෙන්ම තාරකා භෞතික විද්‍යාව හා විශ්ව න්‍යාය විද්‍යාව ආදී විෂයන් වලදී ඉතා සංකීර්ණ ගණිත සංකල්ප යොදාගනු ලබනවා. නමුත් ඔබ ‍‍ගේ ගණිතය පිලිබද දැනුම කුමන ආකාරයක එකක් උවත් තාරකා විද්‍යාව පිලිබද උනන්දුවක් හා කුතුහලයක් ඇති ඕනෑම අ‍යෙකුට එය ගැටලුවක් කරගත යුතු වන්නේ නැහැ. ඔබට සංකීර්ණ ගණිත සංකල්ප තේරුම් ගැගීමට නොහැකි නම් ඒ සංකල්ප මත සිට ඉතිරි මූලධර්ම වටහා ගැනීම සිදු කල හැකියි. ඔබගේ හැකියාව අනුව තමාට ගැලපෙන අංශය තෝරාගත යුතුයි.

 

Read More