ග්‍රහණ ඉතිහාසය

තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබදව නිවැරදි, තර්කානුකූල වටහා ගැනීමක් නොතිබූ ආදී මිනිසා, වරින්වර ඇති වූ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ සලකන ලද්දේ අත්භූත සිද්ධීන් ලෙසය. ඔවුන් මෙවැනි සිද්ධීන් තමන්ට නරක කාලයන් උදා කරන්නන් ලෙස සැලකූ අතර ඒවා නැරබීමටද මහත් බියක් දැක්වූ බවටද සදහන් වේ.

විවිධ සංස්කෘතීන් හරහා පැවතගෙන එන පුරාවෟත වල සදහන් වන පරිදි ග්‍රහණ ඇති වීමේදී චන්ද්‍රයා හෝ සූර්යයා අවහිර කර ඇත්තේ යම් ආකාරයක සත්වයෙකු විසිනි. මෙහිදී ඉන්දියානුවන්, චීන ජාතිකයන් හා ඉන්දුනීසියානුවන් මකරෙකු පිළිබදවත්, වියට්නාම ජාතිකයින් විශාල ගෙම්බෙකුද, ආර්ජන්ටිනාවේ වෙසෙන්නන් ජගුඅර්(Jaguar) නම් දිවියන් වර්ගයට අයත් සත්වයකුද, සයිබීරියානුවන් වැම්පයර්(Vampire) ලෙස හැදින්වෙන ලේ උරා බොන සත්වයෙකුද, යනාදී වශයෙන් සත්වයින් ග්‍රහණ ඇති කිරීමට හේතු වන බවට විශ්වාස කර ඇත.

අද යුගයේ සෑම අයෙකුටම වාගේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු කුමන ආකාරයක සංසිද්ධීන්ද යන්න පිළිබදව යම් කිසි ආකාරයක හෝ අවබෝධයක් පවතී. මේ නිසා අද යුගයේ ජීවත් වන බොහෝ දෙනා ග්‍රහණ තවදුරටත් නරක විපත් ආදිය හෝ බිය උපදවන සංසිද්ධීන් ලෙස නොසලකන අතර චන්ද්‍රග්‍රහණ  හා සූර්යග්‍රහණ යනු දුර්ලභ, තම ජීවිතයේ එක් වරක් හෝ අත්දැකිය යුතු පුදුමය දනවන සිද්ධීන් ලෙස හැදින්වීමට පුරුදුව සිටී.

ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධ ග්‍රහණ කිහිපයක් හා ඒ හා බැදුනු තවත් තොරතුරු පිළිබදව පහත දැක්වෙයි. වරින්වර සිදුවූ මෙවැනි ග්‍රහණ පිළිබදව ලොව විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවෙන් එවැනි ආකාරයක  සටහනක් හමු නොවේ.

  • සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ පිළිබදව ඇති පැරණිතම සටහනක් පිළිබදව නිවැරදි තොරතුරක් නොමැති වූවත්, හදුනාගෙන ඇති පරිදි පැරණිතම සටහන ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 2134 ඔක්තෝම්බර් 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන චීනයෙන් වාරතා වන සටහනකි.
  • බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් ක්‍රි.පු. 700 සිට ක්‍රි.පු. 50 දක්වා හ්‍රහණ පිළිබදව අධ්‍යනය කල බවට සාධක ඇති අතර සාරෝස්(Saros) චක්‍රය ලෙස අද අප හදුන්වන ග්‍රහණ චක්‍රය මුල්වරට හදුනා ගත් පුත්ගලයින් ලෙස බැබිලෝනියානු ජාතිකයින් දැක්විය හැකිය. ග්‍රහණ ඇති වීමේ රටාවන් පිළිබදව ලොව පැවති තවත් ශිෂ්ටාචාර වලින් තොරතුරු සටහන් වී ඇති නමුත් එවැන්නක් පිළිබදව ඉතා පැහැදිළි සටහනක් පවතින්නේ බැබිලෝනියානුවන් සතුවය.
  • මිලේටස් හි තෙලේස් ලෙස හැදින්වෙන ප්‍රසිද්ධ දාර්ශණිකයා බැබිලෝනියානුවන්ව අධ්‍යනය කර ක්‍රි.පු. 585 මැයි මාසයේ 28 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවිය හැකි බවට අනාවකි පලකොට ඇත. මෙය සිදුවී ඇත්තේ මැද පෙරදිග රටවල් දෙකක් යුද වදින සමයකදී වන අතර මේ සූර්යග්‍රහණයෙන් එකල මිනිසා කොතරම් බියට පත් වූවා දැයි කිවහොත් මේ නිසා යුද්ධ කිරීම නවතා සාමකාමී වීමටද මෙය හේතු වූ බවටද සටහන් වේ. තවද මෙය ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධම සූර්යග්‍රහණය ලෙසද හැදින්වේ.
  • 1453 මැයි 29 වන දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව කොන්ස්තන්තිනෝපල්  නගරයෙන් වාර්තා වන අතර එතැන් සිට දින කිහිපයකට පසුව කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි හමුදාවන්ට යටත් වීමට මෙම චන්ද්‍රග්‍රහණය හේතු වූ බවද සදහන් වේ.
  • කොලොම්බස් ඔහුගේ පස් වන ගවේශණයේදී, 1504 පෙබරවාරි 29 දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව වාර්තා කරයි.
  • 1999 අගෝස්තු 11 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය, 20 වන සියවසේ සිදු වූ අවසාන සූර්යග්‍රහණයයි. ඉතිහාසයේ, ආදී මිනිසා සූර්යග්‍රහණ වලට ඉතා බියකින් පසු වූවාක් මෙන් මෙම සියවස තුල සිදු වූ මේ අවසාන පූර්ණ සූර්යග්‍රහණය පිළිබදව මිනිසුන් තුල පැවතියේ එය දරුණු විපත් ලගා කරවිය හැකි ආකාරයේ සිද්ධියක් විය හැකි බවයි. නමුත් එවැනි විපත් පිළිබදව වාර්තා නොමැත. කෙසේ වෙතත් තර්කාණුකූලව බලන කල මෙය 20 වන සියවසේදී සිදුවූ අවසාන සූර්යග්‍රහණය නොවන බවද පෙන්විය හැකිය. එනම් 21 වන ශතවර්ශය ආරම්භ වන්නේ වසර 2000 දී නොව 2001 දීය. ඊට හේතුව බිංදුව ලෙස වසරක් ගණනය කොට නොතිබීමයි.

 

Read More

EPS #9 End of Earth

මෙවර වැඩසටහනින් සැම‍ දෙනෙකුම අසන ප්‍රශ්ණයක් පිළිබඳව අප කතා කරමු. අප පෘථිවිය විනාශ වන්නේ කෙසේද? එය සැබැවින් ම අවසන් වන්නේ කෙසේ ද? අප සූර්යයා මිය යන්නේ කෙසේද? පෘථීවියේ අවසානය පිළිබඳ වන ඇතැම් මත ගැටලු සහගත ඒවා වන අතර අතැම් ඒවා නියත වශයෙන් ම සිදුවේ. කෙසේ වෙතත් මෙවැන්නක් පිළිබඳව කතා කිරීම ඉතා වැදගත් ය.


In this podcast we’ll be talking about some of the most strange questions someone can ask. How our world would end? What really happen in the end? How our sun die? Answers for some of the questions would be controversial while some are quite certain. Anyway it will be something fascinating to talk about what would happen in the end.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_9_End_of_Earth_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_9_End_of_Earth_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

http://en.wikipedia.org/wiki/Earth#Future
http://www.theregister.co.uk/2009/06/11/boffins_track_odds_of_planetary_smashup
http://en.wikipedia.org/wiki/2012_doomsday_prediction
http://en.wikipedia.org/wiki/2012_%28film%29

If you’ve got a questions for the skylk pod Cast team, please email it in to admin@skylk.com

Read More

EPS #13 ඔබේ ගැටලු වලට පිළිතුරු

මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්‍වන්නේ ඔබ විසින් අප වෙත එවන ලද තාරකාවිද්‍යාව ආශ්‍රිත ගැටලු සඳහා පිළිතුරු සැපයීම වෙනුවෙනි. වැඩසටහන තුලදී පහත ගැටලු සඳහා පිළිතුරු සැපයෙනු ඇත.

1. නිහාරිකාවක් (නෙබියුලාවක්) යනු කුමක්ද?
2. සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට සුදුසුම ක්‍රමය කුමක්ද?
3. උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්නේ කෙසේද?
4. සූර්ය ලප යනු මොනවාද?

ඔබ සතුව තාරකාවිද්‍යාව හෝ ඒ ආශ්‍රිත ගැටලු වෙතොත් admin@skylk.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_13_QandA_Nov_2009_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_13_QandA_Nov_2009_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

නිහාරිකා පිළිබඳව
http://www.space.com/nebulas

සූර්යග්‍රහණ පිළිබඳව
http://eclipse.gsfc.nasa.gov

උල්කාපාත වර්ෂා පිළිබඳව
http://meteorshowersonline.com

සූර්ය ලප පිළිබඳව
http://sohowww.nascom.nasa.gov/sunspots

If you’ve got a questions for the skylk podcast team, please email to admin@skylk.com

 

Read More

EPS #17 අන්තර්ජාතිත තාරකාවිද්‍යා මාසය උදාවේ

පසුගිය වසරේ අන්තර්ජාතික තාරකාවිද්‍යා වර්ෂය යෙදුනු අතර මේ වසරේ අප්‍රේල් මාසය අන්තර්ජාතික තාරකාවිද්‍යා මාසය ලෙස නම් කර ඇත. අන්තර්ජාතිත තාරකාවිද්‍යා මාසය යනු කුමක්ද යන්න පිළිබඳව සහ මේ දිනවල බහුලව කතා කරන මාතෘකා කිහිපයක් පිළිබඳව මෙවර පොඩ්කාස්ට් වැඩසටහන හරහා සාකච්ඡා කෙරෙනු ඇත.

ඔබ සතුව තාරකාවිද්‍යාව හෝ ඒ ආශ්‍රිත ගැටලු වෙතොත් admin@skylk.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_17_The_dawn_of_GAM_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_17_The _dawn_of_GAM_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

අන්තර්ජාතිත තාරකාවිද්‍යා මාසය
http://www.gam-awb.org/

සූර්යයා නිරීක්ශණය කිරීමේ ක්‍රම
./index.php?option=com_content&view=article&id=220:observing-eclipses&catid=37:observation-astronomy&Itemid=34

මෝඩයාගේ දිනයේ විහිළුව
http://crave.cnet.co.uk/gadgets/0,39029552,49305387,00.htm

 

Read More

තාරකාවක කතා පුවත

රාත්‍රී අහස කෙතරම් මනස්කාන්තද ,ඒ රාත්‍රී අහස එතරම් මනස්කාන්ත වන්නේ තාරකාවන් නිසාය.තරකා වලටද අපවැනිම වූ ජිවිතයක් ඇත. නමුත් අපගේ ආයුකාලය සමඟ සසඳන විට තාරකාවල ආයුකාලය ඉතා  විශාලය.

සාමාන්‍යයෙන් තාරකාවක ආයුකාලය මනිනු ලබන්නේ අවුරුදු බිලියන,මිලියන ගනනින් වේ. එම තාරකාවන්ට  ඉපදීමක් මෙන්ම මරණයක්ද ඇත. එසේ නම් මේ විශ්මිතවූ තාරකා පිළිබඳ වූ කථා පුවත විමසාබලමු.

තාරකාවක් යනු කුමක්ද? සරලව කිවහොත් තාරකාවක් යනු ශක්තිය පිටකරමින් රසායනික ප්‍රතික්‍රියා සිදුකරන ස්වයංදිදුලීමක් ඇති ආකාශ වස්තුවකි.තවද තාරකාවක් ඉතා විශාලන් අතර ස්කන්ධයෙන් ටොන්කෝටිගනනින් යුක්ත වේ.අපගේ සූර්යයාද එවැනිම තාරකාවක් බව ඔබදනී.සූර්යයා මෙන් සිය දහස් ගනනින් විශාලවූද කුඩාවූද තාරකා අප ක්ෂීරපථ මන්දාකිණියේ ඇත. තාරකා ඉතා විශාල ප්‍රමාණයක් අප ක්ෂීරපථයේ ඇති නමුත් සෑම තාරකාවක්ම නම්කල නොහැකිය.වඩාත් දීප්තිමත් හා විශාලවූත් තාරකා බොහෝමයක් නාමකරණය කර ඇත. උෂ්ණත්වය,ස්කන්ධය,අරය,ඝනත්වය,වර්ණාවලිය,නිරපේක්ෂ දෘශ්‍ය විශාලත්වය,දීප්තිය යනු තාරකාවක් වර්ගීකරණය කිරීමේදී භාවිතයට ගන්නා මාන කීපයකි. මෙම මානයන් උපයෝගී කරගනිමින් තාරකාවල ස්භාවය පිළිබඳත් තාරකාවල පරිණාමය වන අයුරුත් ගණිතමය මූලධර්ම පදනම් කොටගෙන විස්තර කීරීමට තාරකාවිද්‍යාඥයින්ට හැකිය. තාරකාවක් පරිණාමය පිළිබඳ හැදෑරීමේදී වැදගත්වන බල දෙකක් ඇත එනම්, අභ්‍යන්තරයට යෙදෙන ගුරුත්වබලය නිසා තාරකාව සංකෝචනය වන බවත් එමෙන්ම අභ්‍යන්තරයෙන් පිටතට ඇතිවන පීඩනය නිසා තාරකාව ප්‍රසාරණයවීම යන කරුනත් වේ. එසේ තාරකාවේ පරිණාමය සිදුවීම පිළිබඳ අප විස්තරාත්මකව  විමසාබලමු.

තාරකාවක් සිය ජීවිතය අරඹන්නේ දැවැන්ත දූවිලි වලාවක් සංකොචනය වී කැටිගැසීමෙන් බව ඔබ ඇතැම්විට අසා ඇත. එම වායුවලා හඳුන්වනේ අන්තර්තාරීය මාධ්‍ය (Interstellar medium) ලෙසයි. මෙම වායුවලාව අණුකවලාව ලෙසද හදුන්වයි. මෙම අණුක වලාවේ අඩංගුව ඇත්තේ හයිඩ්‍රජන්,හීලියම් සහ සුළුවශයෙන් නයිට්‍රජන්,ඔක්සිජන් ,කාබන් ,කැල්සියම්,සෝඩියම් යන පරමාණුද යකඩ සහ සිලිකේට් යන මූලද්‍රව්‍යයන්ද වේ. මෙම දුහුවිලි වායුවලාව මුල් අවදියේ ඉතාමත් ශීතලව පවතී පසුව  එම වායුවලාව හැකිලීමේදී වලාවේ අඩංගු අංශු ගුරුත්ව කේන්ද්‍රය දෙසට ආකර්ෂණය වීමේදී එහි උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන්  ඉහල යයි. එම එම උෂ්ණත්වය කෙල්වීන් (K) 150 000 පමණ අගයක් ගනී. මෙලෙස ලංවන දුහුවුලි අංශුවල අන්තර්ක්‍රියා හේතු කොටගෙන එම ප්‍රදේශය දීප්තිමත් බැබලීමකට පටන්ගනී. එම අවධියේදී තාරකාවක ප්‍රාග් අවස්ථාව හෙවත් ප්‍රාග් තාරකාව (Proto star) ලෙස හදුන්වයි. මෙම ප්‍රාග් තාරකාව අලුතින් ඇතිවූ තාරකාවක් ලෙස දෘෂ්‍යමාන වේ. එහිදී ප්‍රග්තාරකාවේ දීප්තිය සූර්යයාගේ දීප්තිය ඉක්මවායයි. ප්‍රාග් තාරකාවේ න්‍යෂ්ටියේ අඩංගු පරමාණු එකිනෙක ගැටී ප්‍රතික්‍රියා සිදුවීම ඇරඹෙන තෙක් මෙම ප්‍රාග් තාරකාව සංකෝචනය වීම සිදුවේ.මෙම කාලය තුලදී එහි මතුපිට උෂ්ණත්වය නොවෙනස්ව පවතී න්‍යෂ්ටියේ ඇති පරමාණු එකිනෙක ගැටී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව ඇතිවන්නේ කෙල්වීන් (K) 15 000 000 ක් පමණ  උෂ්ණත්වයක් ඇතිවන තරම් වූ ප්‍රවේගයකින් ප්‍රාග්තාරකාවේ අංශු එකරාශී වන විටය. මෙහිදී තාරකාවේ ගුරුත්වීය සංකොචනය කෙමෙන් අඩුවේ. මෙහි ලිතියම්,බෙරලියම් හා බෝරෝන්  යන මූලද්‍රව්‍යයන් ප්‍රොටෝන සමඟ ප්‍රතික්‍රියාවට නැගේ. මෙහිදී ප්‍රතිඵලයක් ලෙස හීලියම් සෑදේ තවද ,හයිඩ්‍රජන් දහනය ඇරඹේ. මෙසේ සිදු වීම හේතුවෙන්  විශාල ශක්තියක් අවකාශයට මුදාහරී. පසුව මෙම හීලියම්,කාබන්,ඔක්සිජන්,ආදිය වෙන වෙනම මූලද්‍රව්‍ය බවට පත්වේ. මෙම ප්‍රතික්‍රියා ඉතා දීර්ඝ කාලයක්  සිදුව්මින් පවතී. මෙසේ ප්‍රතික්‍රියා වීම  නිසා ප්‍රතික්‍රියාවන්ට  ප්‍රතික්‍රියක කිසිවක් ඉතිරි නොවන අවධියක් උදාවේ. මෙහිදී තාරකාව බිඳවැටීමට පටන් ගනී. මෙහිදී තාරකාව සිසිල්වන අතර  තාරකාව රතු පැහැයට හුරුවේ.දැන්තාරකාවේ කබොල නැතහොත් පිට කවරය ප්‍රසාරණයවී රතු යෝධ තරුවක්  බවට පත්වේ. මෙහිදී සමහරක් තරු එනම් ස්කන්ධාධික  තරු සුපිරිනෝවා ආකාරයට පුපුරායයි.   අවසානයේ ප්‍රථිපලයක් වශයෙන් ඉතිරිවන හරය දැවැන්ත එකක් නම් එය අධික ගුරුත්ව බලයකින් යුත් කළුකුහරයක් බවට (Black hole) පත්විය හැකිය.තාරකාවක පරිණාමය ඉතාකෙටියෙන් කිවහොත් එසේය.

 

තාරකාවක් පරිණාමය වන හැටි

තාරකාවක් තම ජීවිතය අරඹන්නේ අණුකවලාවක් කැටිවීමෙන් බව  ඉහතදී සඳහන්කරන ලදී එවැනි අණුකවලා ඉතා විශාල සංඛයාවක් අප ක්ෂීරපථයේ ඇත. එවැනි මාධ්‍යයන් ආලෝකවර්ෂ විශාල ගණනාවක් විශාලය. රාත්‍රී අහසේ දැකිය හැකි ඔරායන් නිහාරිකාව (M42)යනු මෙවැනි මාධ්‍යයකි. ඔරායන් නිහාරිකාවේ අලුත උපන් තාරකා මෙන්ම ඉපදෙන තාරකාද බොහෝ ඇත. ඉහතදී සඳහන් කළ ප්‍රාග් තාරකා ඇතිවන්නේ මෙවැනිම වූ මාධ්‍යයන් කැලඹීමට  ලක්වීමෙනි. මෙම ප්‍රාග් තාරකාවහි අභ්‍යන්තර උෂ්ණත්වය 10000℃ පමණ වන තෙක් ප්‍රාථමික තාරකා වක් ලෙස හඳුන්වයි. මෙම අවධියේ සිටින තාරකාවල  විශේෂත්වය වන්නේ තාරකාව වටා අණුක වලාව පිහිටා තිබීමයි. එවැනි තාරකා නිරීක්ෂණය කර දැක බලා ගැනීම ඉතා පහසුය. නමුදු මෙම ලාබාල  තාරකාව තරුණ අවධියට පාතබන විට එය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරේ. එහිදී තාරකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනින් ඉහල යයි.එම හේතුවෙන් සිදුවන ප්‍රතික්‍රියා නිසා තරුවේ සිට ඉතා විශාල ශක්තියක් මුදා හරී, මෙම ශක්තිය හේතුකොට ගෙන  තාරකාව අවට ඇති වාත කැළඹීමට ලක්වී සුළංධාරාවක් හැමීමට පටන් ගනී.එහෙයින් තාරකාව වටා ඇති අණුක දූලිවලාව තරුවේ සිට ඈතට විසිරීයයි. මෙහිදී මතක් කලයුතු විශේෂ කරුණක් වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේද මේ ආකාරයටමය. එහිදී මුල්වී ඇත්තේ ඌට් නම් වලාවයි, මෙම ඌට් වලාව එකී ක්‍රියාදාමය නිසා ආලෝක වර්ෂ 1.5 පමණ ඈතට විහිදී ගොස් ඇත.එහිදී තාරකාව සමඟ පැවතුන වලාවේ ශේෂ කොටස් ග්‍රහලෝක බවට පත්වේ.එම ග්‍රහලෝක තාරකාව වටා ගමන්ගනී මෙහිදී එකිනෙකා අතර ගුරුත්ව බලය බලපායි. මෙසේ තාරකාව වටා ග්‍රහලෝක ගමන් ගන්න දුහුවිලි තැටිය ප්‍රාග් තැටිය ලෙස හදුන්වයි. ඔරායන් නිහාරිකාවේ මේවනවිට මෙවැනි ප්‍රාග් තාරකා 150 කට අධික ප්‍රමාණයක් සොයාගෙන  ඇත. මෙම ප්‍රාග් තාරකාව වටා ප්‍රාග් තැටි පවතින බවට විද්‍යාඥයින් තුල සැකයක් පවතී. ප්‍රාග් තැටියේ අභ්‍යන්තරය ගැන කතා කලහොත් 99% පමණ වායූන් හා 1% පමණ දුහුවිලි අංශු අඩංගුවේ.

මෙම අවථාවේදී ප්‍රාග් තාරකාව තරුණ අවධියකට පාතබයි. අපගේ සූර්යයාද තරුණ අවධියේ පසුවෙන තාරකාවකි.මෙම තරුණ අවධියේ තාරකාව හයිඩ්‍රජන් සියල්ල දහනය වීම අවසන් වන තෙක් වසර බිලියන ගනණාවක් පවතී. මෙම කාලයේදී තරුව උපරිම ශක්තියක් නිපදවයි. මෙහිදී තාරකාව සතුව පවතින හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවට ලක්වී හීලියම් බවට පරිවර්තනය කරයි. මේ හේතු කොටගෙන දීප්තිමත් වූ තාරකාවක් බවට පත්වේ. හට්ස් ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) නමින් හදුන්වන තාරකා වර්ගීකරණ ප්‍රස්ථාරයේ ප්‍රධාන අනුක්‍රමණයේ මෙම තරුණ අවධියේ තාරකා නිරූපනය කරයි. මෙම  ප්‍රස්ථාරයට අනුව තාරකාවක් ඇතුලත් කරන්නේ එම අදාල තරුවේ වර්ගය,උෂ්ණත්වය, දෘෂ්‍ය  දීප්තිතාවය, නිරපේක්ෂ දීප්තිය හා වර්ණාවලිය යන සාධක පදනම් කොටගෙනය. ඉහතදී කී කරුණු පිළිබඳව පහත HR සටහන අධ්‍යනයෙන්  වටහා ගත හැකිය.

ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) සටහන

මෙම ප්‍රස්ථාරයේ ප්‍රධාන අනූක්‍රමණයේ මධ්‍ය කොටසට වන්නට අපගේ සූර්යයා පිහිටා ඇතිබව ඔබට පෙනේ . එයින් පැහැදිලිවන්නේ  අප සූර්යයා මේවනවිට තරුණ අවධියේ පසුවන බවයි. තවද අප සූර්යයා අවුරුදු බිලියන 10 තරම්  කාලයක් මෙම ප්‍රධාන අනුක්‍රමණයේ ගතකරයි .මෙම තරුණ තාරකාව තම ශක්තිය පිට කරමින් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බිද වැටුන පසු තාරකාව ක්‍රමයෙන් අභාවයට පත්වේ. එහිදී ඉහත HR සටහනේ ප්‍රධාන අනුක්‍රමණයෙන් තාරකාව ඉවත්වෙයි. ඒබව ඉහත රූපයෙන් පහදා ගත හැකිය. පසුව තාරකාවේ ඉරණම තීරණය කරන්නේ තාරකාවේ ස්කන්ධය මතය.

අප සූර්යයා ගේ ස්කන්ධයට සමාන තරකා තම තරුණ අවධියෙන් පසු රතුයෝධ තාරකාවක් බවට පරිණාමය වෙයි. එහිදී තාරකාවේ බාහිර කබොල අධික ලෙස ප්‍රසාරණය වේ. ඒ අයුරින්ම අප සූර්යයාද යම් දිනක ප්‍රසාරණය වී පිපුරුමකට ලක්වනු ඇත. මෙම පිපුරුණ කබොලේ කොටස් විශ්වයට විසීරීයයි. මෙම බාහිර කබොල්ල ග්‍රහනිහාරිකාවක්(Nebula) බවට පත්වෙයි. මෙම ග්‍රහ නිහාරිකාව මධ්‍යයේ ඇති කුඩා තරුව සුදුවාමාන  තාරකාවක් (White dwarf) බවට පත්වේ. බලල් ඇස නිහාරිකාව(Cat eye nebula), හෙලික්ස්නිහාරිකාව (Helix Nebula) යනු එවැනි ග්‍රහනිහාරිකා කීපයකි.

හෙලික්ස්නිහාරිකාව (Helix Nebula)

එසේම අප සූර්යයා ගේ ස්කන්ධයට අඩු එනම් සූර්යයාගේ ස්කන්ධය මෙන් අඩක් පමණ වන තාරකා තරුණ අවධියෙන් පසු කළුහෝ දුඹුරුවාමාන තාරකාවක් බවට පත්වී තාරකවේ ජීවිතය අවසන් කරයි.

අප සූර්යයාට වඩා ස්කන්ධාදික තරු තම තරුණ අවධිය පසුකර සුපිරි රතු යෝධ තාරකාවක් බවට පත්වේ(Red giant star) මෙම අවස්ථාවේදී තාරකාවක් සූර්යයාට සමාන ස්කන්ධයක් ඇති තාරකාවකට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රසාරණයවේ. එහිදී සිදුවන පුපුරායාම සුපිරිනෝවා පිපුරුමක් (Supernova) ලෙස හදුන්වන අතර එහිදී  ඉතාවිශාල ශක්තියක් විශ්වයට මුදාහරී. වෘෂභ රාශියේ පවතින ක්‍රැබ් නිහාරිකාව (Crab nebula) මෙවැනි සුපිරිනෝවා පිපුරුමකට හොදම නිදසුනකි. එහිදී එම තාරකාවේ ශේෂ කොටස් නියුට්‍රෝන තාරකාවක් (Neutron Star) බවට හෝ ගුරුත්වය අධික කළුකුහරයක් බවට පත්වේ.එනම්,සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට ආසන්න හෝ ඊට වැඩි තාරකා කළුකුහර බවටත්,සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 ත් 3 අතර තාරකා නියුට්‍රෝන තාරකා බවටත් පත් වේ.

Read More

සූර්යග්‍රහණ නිරීක්ශණය කිරීමේ ක්‍රම

රාත්‍රී අහසේ ඇති තාරකා, ග්‍රහ වස්තූන්, චන්ද්‍රයා ආදිය නිරීක්ශණය කරන්නාක් මෙන් ඉතා පහසුවෙන් සූර්යයා පියවි ඇසින් නිරීක්ශණය කල නොහැකි බව ඔබ ඉතා හොදින් අත් දැක ඇති කරුණකි.

සූර්යයා අපට අහසේ දැක ගත හැකි අන් සියලු වස්තු අභිබවා ඉතා විශාල දීප්තියකින් යුතුව දිස් විම මෙයට හේතුවයි. නමුත් කෙසේ හෝ ඉතා අපහසුවෙන් උවද සූර්යයා දෙස මද වේලාවක් හෝ පියවි ඇසින් බැලීමට උත්සහ කිරීම ඔබව සදහටම අන්ධ භාවයට පත් කිරීමට හේතු විය හැකිය. මේ නිසා සූර්යයා නිරීක්ශණයේදී විශේෂයෙන්ම සූර්යග්‍රහණ හා සංක්‍රාන්ති (බුද සහ සිකුරු සංක්‍රාන්ති ) නිරීක්ශණයේදී ඒ සදහා අනිවාර්යයෙන්ම විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතා කල යුතුය.

ග්‍රහණ කන්නාඩි(Eclipse Glasses ) භාවිතය

ග්‍රහණ කන්නාඩි යනුවෙන් විශේෂ ඇස් කන්නාඩි විශේෂයක් පවතී. මේවා බොහෝ දුරට අව් කන්නාඩි වලට සමාන වන අතර ඒ සදහා භාවිතා කර ඇති මාධ්‍යය අනුව අව් කන්නාඩි වලට වඩා වෙනස් වේ. බොහෝ විට කාඩ්බෝඩ් භාවිතයෙන් නිර්මාණය වන මේ විශේෂ ඇස් කන්නාඩි සූර්යග්‍රහණ නිරීක්ශණය සදහාම විශේෂයෙන් සකස් කරන ලද ඒවා වේ. තවද සූර්යග්‍රහණ නිරීක්ශණයේදී සාමාන්‍යය මහජනයා සදහා වඩාත් ආරක්ෂිත ක්‍රමය ලෙස විද්‍යාඥයින් නිර්දේශ කරන්නේ ග්‍රහණ කන්නාඩි භාවිතයෙන් නිරීක්ශණය කිරීමයි. ග්‍රහණ කන්නාඩි වර්ග දෙකක් පවතී. මෙහි එක් වර්ගයකදී සූර්යයා දිස් වන වර්ණය කහ-තැඹිලි වර්ණයකින් වන අතර අනෙක් වර්ගයේදී සූර්යයා නිල් පැහැයට හුරු වර්ණයකින් දිස් වේ. මෙලෙස සූර්යයා දිස් වන වර්ණය අනුව ග්‍රහණ කන්නාඩි වර්ග දෙකක් පැවතියත් මේ වර්ග දෙකම සූර්යයා නිරීක්ශණයේදී එක ලෙසම භාවිතා කල හැකිය.

ග්‍රහණ කන්නාඩි වෙනුවට අව් කන්නාඩි භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන්නේ, අව් කන්නාඩි සූර්යයා නිරීක්ශණය සදහා සාදා ඇති උපකරණයක් නොවන හෙයිනි. තවද ග්‍රහණ කන්නාඩි සදහා භාවිතා වන මාධ්‍යය අව් කන්නාඩි සදහා භාවිතා වන මාධ්‍යයට වඩා ඉතා තද අදුරු භවකින් යුක්ත වන බවද සදහන් කල යුතුය.

සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය

මෙහිදී සූර්යය චායාව කඩදාසියක් හෝ තිරයක්  මතට ලබාගෙන එම චායාව නිරීකශණයෙන්, සූර්යග්‍රහණ ආදිය නිරීක්ශණය කිරීම සිදු වේ. සූර්යය චායාව තිරයක් මතට ගැනීමේ පහසුම ක්‍රමය වන්නේ Pinhole projection ලෙස හැදින්වෙන ක්‍රමයයි. මෙහිදී ඝණකම් කඩදාසි (කාඩ්බෝඩ්) දෙකක් ගෙන ඉන් එක් කඩදාසියක මැදට වන්නට ඉතා කුඩා සිදුරක් සාදා ගනියි. මේ සදහා අල්පෙනෙති තුඩක් හෝ සියුම් පැන්සල් තුඩක් භාවිතා කල හැකිය. සාදා ගනු ලබන සිදුර ඉතා කුඩා වෟතාකාර එකක් ලෙස සකස් කර ගැනීමටද වග බලා ගත යුතුය. මෙලෙස සාදා ගත් කඩදාසිය සූර්යයා දෙසට එල්ල කර, අනෙක ඊට පහලින් එක එල්ලේ තබා ගෙන එය මතට සූර්යය චායාව වැටීමට සලස්වයි. එලෙස ලබා ගන්නා සූර්යය චායාව භාවිතයෙන් සූර්යග්‍රහණ නිරීක්ශණය කිරීම සිදු වේ. ඕනෑම කෙනෙකුට ඉතා සරලව සිදු කල හැකි ක්‍රමයක් ලෙසට මෙය දැක්විය හැකිය.

සූර්යය චායාව තිරයක් මතට ගැනීමේ තවත් ක්‍රමයක් ලෙස දැක්විය හැක්කේ දුරේක්ශයක් භාවිතයෙන්, එහි උපනෙත මගින් ගොඩනැගෙන ප්‍රතිභිම්බය තිරයක් මතට ගැනීමයි. මෙහිදී දුරේක්ශයේ උපනෙතට පහලින් ඉහත සදහන් කලාක් මෙන් කඩදාසියක් තබා ඒ මතට සූර්යය චායාව වැටීමට සලස්වයි. මෙම ක්‍රමය විශේෂයෙන්ම සූර්යග්‍රහණ නිරීක්ශණයේදී පමණක් නොව පොදුවේ සූර්යයා නිරීක්ශණයේදී (බොහෝ විට සූර්යය ලප නිරීක්ශණයේදී ) භාවිතා වන ඉතා ආරක්ෂිත ක්‍රමයකි. මේ සදහා සියලුම වර්ගයේ දුරේක්ශ භාවිතා කල නොහැකි බවද සදහන් කල යුතුය. මේ සදහා භාවිතා කල හැක්කේ දෙනෙති (Binoculars ) හා වර්තක (Refractor ) ආකාරයේ දුරේක්ශ පමණි. සමහර වර්තක දුරේක්ශ සූර්යය චායාව ප්‍රක්ශේපණය සදහා භාවිතා වන උපකරණ කට්ටලයක්ද සමග පැමිණෙයි. සූරයයා ප්‍රක්ශේපණයේ සාමාන්‍යය සම්මතය වන්නේ සූර්යය මුහුණත තිරය මත අගල් 8ක විශ්කම්භයක් අති වන පරිදි ප්‍රක්ශේපණය කිරීමයි. මේ සදහා බොහෝ විට අඩු විශාලනයක් සහිත උපනෙත් කාච පද්ධති භාවිතා වේ. මෙහිදී කිසිම අයුරකින් සූර්යයා දෙස බැලීමක් සිදු නොවන බැවින් සූර්යයා නිරීක්ශණය සදහා පවතින ඉතා හොද ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස මෙම ප්‍රක්ශේපණ ක්‍රමය දැක්විය හැකිය. ප්‍රක්ශේපණ ක්‍රමයේ පවතින එකම අවාසිය ලෙස දැක්විය හැක්කේ, බොහෝ වේලා හිරු එලියේ තැබීම නිසා එය ඉහල උෂ්ණත්වයකට රත් වීමයි. මෙම තත්වය සමහර උපනෙත් කාච වල දෝෂ ඇති වීමට බලපායි. මේ නිසා බොහෝ වේලාවට ප්‍රක්ශේපණ ක්‍රමයේදී ගුණාත්මක බවින් අඩු, මිලෙන් අඩු උපනෙත් කාච පද්ධති භාවිතා වන අතර දුරේක්ශය එක දිගටම භාවිතා නොකර, නිරීක්ශණය අතර තුරදී කිහිප විටක් එය නවතා තැබීමද උෂ්ණත්වය වැඩි වීමෙන් දුරේක්ශය ආරක්ෂා කර ගැනීමට හේතු වේ.  

සූර්යය පෙරණ භාවිතයෙන් නිරීක්ශණය (Solar filters )

සූර්යය පෙරණ යෙදූ දුරේක්ශයකින් නිරීක්ශණය කරන අයුරු

මෙම ක්‍රමය භාවිතා වන්නේ දුරේක්ශයක් ආධාරයෙන් සූර්යයා නිරීක්ශණයේදීය. මෙහිදී පෙර සදහන් කල ක්‍රමයේදී මෙන් දුරේක්ශ වර්ගය බල නොපාන අතර සූර්යය පෙරණ යෙදූ දුරේක්ශයක් මගින් සාමාන්‍යය ආකාශ වස්තුවක් නිරීක්ශණය කරන්නාක් මෙන් සූරයයා නිරීක්ශණය කල හැකිය. සූර්යය පෙරණ යොදනුයේ සැම විටම දුරේක්ශයක අවනෙත ඉදිරියටය. මීට හේතුව දුරේක්ශය වෙත එන සෑම සූර්යය කිරණයක්ම අවනෙත හරහා යන බැවිනි. සූර්යය පෙරණ වෙනුවට තවත් එවැනි ආකාරයක වෙනත් මාධ්‍යයක් භාවිතා කිරීම එතරම් නුවනට හුරු ක්‍රියාවක් නොවන අතර ඒ සදහා සූර්යයා නිරීක්ශණය සදහාම වෙන් වූ සූර්යය පෙරණ භාවිතා කිරීමට වග බලා ගත යුතුය. තමන් භාවිතා කරන දුරේශය සදහා සුදුසු සූර්යය පෙරණ වර්ගය එහි නිශ්පාදකයා විසින් සපයනවාද යන්න පලමුව සොයා බැලිය යුතුය. නො එසේනම්  සූර්යය පෙරණ නිෂ්පාදකයෙක් තමන් භාවිතා කරණ දුරේක්ශය සදහා නිර්දේශ කරන සූර්යය පෙරණ වර්ගය ලබා ගැනීම වඩාත් උචිත වේ. සූර්යය පෙරණ භාවිතයේදී ඒවා යම් ආකාරයකින් පලුදු වී හෝ ඒවායේ සිදුරු පවතීද යන්න සොයා බැලීමටද වග බලා ගත යුතුය. සූර්යය පෙරණ ඉතා හොදින් දුරේක්ශයට සවි වී පැවතිය යුතුය. නැතහොත් සුලග වැනි භාහිර බලපෑම් හේතුවෙන් ඒවා ගැලවී යා හැකිය.

පහන් දැලි ආලේපිත වීදුරුවක් තුලින් නිරීක්ශණය.

මෙහිදී ඉතා පැහැදිලිව පෙනෙන වීදුරු කැබැල්ලක් ගෙන එහි එක් පෘශ්ඨයක් මතට පහන් දැලි තට්ටුවක් ආලේප වීමට සලස්වයි. එලෙස සකස් කර ගත් වීදුරුව යොදා ගෙන සූර්යයා නිරීක්ශණය කල හැකිය. මෙම ක්‍රමයේදී සූර්යයා කිසිම අපහසුතාවයකින් තොරව නිරීක්ශණය කිරීමට හැකි වූවත් මෙය ඉතා ආරක්ශාකාරී ක්‍රමයක් ලෙස විද්‍යාඥයින් අනුමත නොකරන බවද සදහන් කල යුතුය. ඊට හේතුව නම් මෙවැනි ආකාරයේ වීදුරු කැබැල්ලක් සාදා ගැනීමේදී හා භාවිතයේදී ඇති වන ප්‍රායෝගික ගැටලු නිසාවෙනි.

පෑස්සුම් කන්නාඩි වලින් නිරීක්ශණය

මේ සදහා ඉතා හොද ආදේශකයක් ලෙසට පෑස්සුම් කන්නාඩි (Welding Glasses ) දැක්විය හැකිය. නමුත් මෙහිදී සූර්යයා නිරීක්ශණය කිරීමට සුදුසු අදුරු බවින් යුත්, විද්‍යාඥයින් අනුමත කරන පරිදි (Shader 14) වර්ගයේ අදුරු බවින් යුත් පෑස්සුම් කන්නාඩි භාවිතා කිරීමට මතක තබා ගත යුතුය. Shader 14 වලට පහල අංක වලින් යුත් කන්නාඩි අදුරු බවින් අඩු වන අතර එවැනි කන්නාඩි සූර්යයා නිරීක්ශණය සදහා එතරම් සුදුසු නොවේ. පෑස්සුම් කන්නාඩි තුලින් සූර්යයා නිරීක්ශණය, ග්‍රහණ කන්නාඩි තුලින් සූරයයා නිරීක්ශණය තරම්ම ආරක්ෂාකාරී නොවූවත් ග්‍රහණ කන්නාඩියක් සොයා ගත නොහැකි සාමාන්‍යය පුත්ගලයෙකුට ඒ වෙනුවට භාවිතා කල හැකි හොද ආදේශකයක් ලෙසට මෙම ක්‍රමය හදුන්වා දිය හැකිය.

සූරයග්‍රහණ නිරීක්ශණයේදී ඉහත ආකාරයේ විශේෂ ආරක්ෂිත ක්‍රම අනිවාර්යයෙන් භාවිතා කල යුතු වූවත් පූර්ණ සූර්යග්‍රහණයක් (Total solar eclipse ) පවතින අවස්තාවකදී පමණක් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම සූර්යයා වසා සිටින ඉතා කෙටි මිනිත්තු කිහිපයක කාලය තුල ඒ දෙස පියවි ඇසින් බලා සිටීම ආරක්ෂාකාරී බව කිව යුතුය. සූර්යග්‍රහණයකදී දැක ගත හැකි අපූර්වතම අවස්ථාව මෙය වනවාද නිසැකය. මීට අමතරව සූර්යයා එක එල්ලේ නිරීක්ශණය සදහා X-ray කඩදාසි, Photographic plates, Floppy Diskets වල ඇතුලත කොටස සහ සංයුක්ත තැටි යනාදිය භාවිතා කල හැකි වූවත් මෙවැනි ක්‍රම විද්‍යාඥයින් ආරක්ෂිත ක්‍රම ලෙස නොදක්වන බවද විශේෂයෙන් සදහන් කල යුතුය.

වතුර බේසමක් මතට සූරයය චායාව ලබා ගැනීමෙන්

මෙහිදී තරමක් විශාල බේසමක් ගෙන එය තුලට තරමක් දුරට ජලය පුරවා, ජලය මතට හිරු චායාව වැටීමට සලස්වයි. හිරු චායාව තිරයක් මතට ගැනීමේ ක්‍රමය මෙන් මෙහිදීද එලෙසම ජලය මතට වැටෙන හිරු චායාව මගින් සූර්යග්‍රහණය නිරීක්ශණය කල හැකිය. මෙම ක්‍රමය ආරක්ෂාකාරී වූවත් එය ප්‍රායෝගික ක්‍රමයක් නොවන්නේ ජලය නිසලව පැවතීම අනිවාර්යය වීම හා සූර්යයා ඉහල අහසේ පවතින අවස්ථා වලදී පමණක් නිරීක්ශණ සිදු කල හැකි වන නිසා වෙනි. එම නිසා මෙම ක්‍රමය එතරම් ප්‍රායෝගික ක්‍රමයක් නොවේ.

 

Read More

හිරු මුහුණතේ ඇති කළු පැල්ලම්

සූර්යයා දෙස පියවි ඇසින් එක මොහොතක් වත් එක එල්ලේ බැලිය නොහැකි බව ඔබ හොදින් අත් දැක ඇති කරුණකි. ඒ සූර්යයා සතු ප්‍රභල දීප්තිය හේතුවෙනි. අහසේ දිස් වන දීප්තිමත්ම ආකාශ වස්තුව වන්නේද සූර්යයාය. නමුත් විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීමේදී, සමහර කාල වලදී හිරු මුහුණතේ කළු පැහැති පැල්ලම් වැනි යමක් දිස් වේ.

මේවා තාරකා විද්‍යාවේදී හැදින්වෙන්නේ හිරු ලප(Sunspots) යනුවෙනි.

හිරු ලප වල ඉතිහාසය ක්‍රි.පූ. යුගය තරම් ඈතකට දිව යන්නකි. සූර්යය ලප පලමු වරට නිරීක්ශණය කරනු ලැබූ පුත්ගලයින් සම්බන්ධව ඇති තොරතුරු අවිනිශ්චිත නමුත් මේ පිළිබදව ඇති පැරණිතම සටහන් ලෙස දැක්විය හැක්කේ ක්‍රි.පූ. 28 දී  චීන තාරකා විද්‍යාඥයින් හිරු මුහුණතේ ඇති කළු පැල්ලම් වැනි යමක් දැක ඇති බවට වන තොරතුරුය. ක්‍රි.ව. 4 වන සියවසේදී  ග්‍රීක දාර්ශණිකයින් හිරු ලප නිරීක්ශණය කොට ඇති බවටද තොරතුරු හමුවේ. සූර්යයා අපහසුවකින් තොරව පියවි ඇසින් බැලිය හැකි සමහර අවස්ථාවන් වලදී, එනම් සූර්යයා ඝණ මීදුමෙන් වැසී පවතින අවස්ථා වලදී, දුහුවිලි වලින් වැසී පවත්නා විට සහ හිරු බැස යාමේදී, ඔවුන් සූර්යය ලප නිරීක්ශණය කොට ඇත.

සූර්යයා පැහැදිලිව ඉතා ගැබුරින් අධ්‍යනය කිරීම ඇරබෙන්නේ 17 වන සියවසේදී තාරකා විද්‍යා ක්ශේත්‍රයේ විශාල පෙරළියක් ඇති කල  දුරේක්ෂයේ  නිපදවීමත් සමගය.  මේ යුගයේදී තාරකා විද්‍යාඥයින් දුරේක්ෂය භාවිතයෙන්(ප්‍රක්ශේපණ ක්‍රමය භාවිතයෙන්) සූර්යය ලප ඇති වීම, ඒවායේ ව්‍යාප්තිය, කාලයත් සමග ඒවායේ හැඩය වෙනස් වීම ආදිය  පිළිබදව තොරතුරු සටහන් කර ගැණුනි.  මෙකල විසූ බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වූයේ හිරු ලප යනු සූර්යයා ඉදිරියෙන් ගමන් කරනා සූර්යයාගේ උපග්‍රහයින් හෝ ග්‍රහයින් විය හැකි බවයි. නමුත් සූර්යය ලප කාලයත් සමග වෙනස් වන ආකාරය ගැබුරින් අධ්‍යනය කල මහා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ මතය වූයේ හිරු ලප සූර්යයා මතුපිට ඇතිවන්නක් බවයි. මේ අනුව හිරු ලප සූර්යය මුහුණත හරහා ගමන් ගන්නා බැවින්, සූර්යයා තමා වටා කරකැවෙමින් පවතින බවත්, එහි භ්‍රමණ කාලයත් ඔහු විසින් නිර්නය කෙරිණි. මෙතැන් සිට 20 වන සියවස දක්වා වූ අවුරුදු 300ක් තරම් වූ කාලය පුරාවට බොහෝ දෙනා සූර්යය ලප පිළිබදව දැන සිටියේ මෙපමණකි. සූර්යයා මතුපිට දිස් වන මේ අත්භූත අදුරු පැල්ලම් පිළිබද ඉතා පැහැදිළි හෙළිදරවු කිරීමක් සිදු වන්නේ 20 වන සියවසේ දී තාරකා විද්‍යා ක්ෂේත්‍රයට එක් වන නව තාක්ෂණික මෙවලම් සමගය.

හිරු ලප ඇති වීමේ යාන්ත්‍රණය

සූර්යය ලප යනු ඉතා සරලව සූර්යය මුහුණතේ ඇති උෂ්ණත්වයෙන් අඩු ස්ථානයන්ය. සූර්යයා මතුපිට සාමන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,500 පමණ වේ. සාමාන්‍යය හිරු ලපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 3,700ක් පමණ වන අගයකි. මෙම ස්ථාන අදුරු ලෙස පෙනීමට හේතුව මේ විශාල උෂ්ණත්ව වෙනසයි. උදාහරණයක් ලෙස දීප්තිමත් පසුබිමක් ඉදිරියෙන් ඇති වස්තුවක් හෝ පුත්ගලයෙකු ගැන සිතන්න. එම වස්තුව හෝ පුත්ගලයා ඔබට දිස් වනු ඇත්තේ පසුබිමට සාපේක්ෂව අදුරුවය. තවත් පැහැදිලිව දකවතොත් ඔබ දකිනුයේ අදාල වස්තුව හෝ පුත්ගලයාගේ ඡායාවය. සූර්යය මුහුනතේ ඇති අඩු උෂ්ණත්ව කලාප අදුරු ලෙස දිස් වීමට හේතුව වන්නේද මෙයයි. ගැටලුව වන්නේ අධික උෂ්ණත්වයකින් හෙබි සූර්යය මුහුණත මත මෙතරම් අඩු උෂ්ණත්ව කලාප ඇති වීමේ හේතුව කුමක්ද යන්නයි.

හිරු ලප නිර්මාණය වී ඇති ප්‍රදේශ වල සූර්යයාගේ චුම්භක ක්ශේත්‍රය ඉතා ප්‍රභලය(සාමාන්‍ය අගය මෙන් 1000 ගුණයක් තරම්). ප්‍රභල චුම්භක ක්ශේත්‍රයක් පවතින ප්‍රදේශ වල, ඒ අවට පවතින උණුසුම් වායූන් ඉවත් කරනු ලබයි. සූර්යයා යනු අති විශාල වායුමය පද්ධතියකි. එහි එක් ප්‍රදේශයක පවතින අධික උෂ්ණත්වයකින් යුත් වායූන් ඉවත්ව ගිය විට එතැන නිර්මාණය වනුයේ අඩු උෂ්ණත්ව කලාපයකි.

සූර්යය අභ්‍යන්තරය මූලික කොටස් දෙකකින් යුක්ත වේ. එනම් ‘විකිරණ කලාපය’ හා ‘සංවහන කලාපය’ යනුවෙනි. විකිරණ කලාපය තුල නිපදවෙන සූර්යය ශක්තිය මතුපිට දක්වා ගෙන එනුයේ සංවහන කලාපය තුල සිදුවන වායූන්ගේ සංවහන ක්‍රියාවලිය තුලිනි. තවදුරටත් පැහැදිලි කලහොත් මෙම කලාපය අඩියේ වායූන් උණුසුම් වන අතර උණුසුම් වූ වායූන් පිටත කලාපය දක්වා පැමිණෙයි. මෙලෙස පිටත කලාපය දක්වා පැමිණෙන වායූන් වල උෂ්ණත්වය අඩු වූවායින් පසුව නැවත අඩිය කරා ගමන් කරයි. මෙය චක්‍රාකාරව සිදුවන්නකි. සූර්යය චුම්භක ක්ශේත්‍රය නිර්මාණය වනුයේ මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිපලයක් ලෙසිනි. සූර්යයාගේ භ්‍රමණය, සංවහන ක්‍රියාවලියත් සමග එකතු වූ පසු අයනීකරණය වූ එසේත නොමැති නම් ප්ලස්මා අවස්ථාවේ පවතින වායූන්ගේ ඉහල පහල යාමත් සමගින් විද්යුත් ධාරා නිර්මාණය වන අතර ඒ හේතුවෙන් සූර්යය චුම්භක ක්ෂේත්‍රය නිර්මාණය වේ.  

සූර්යයා යනු වායුමය වස්තුවක් වන නිසාවෙන් එහි භ්‍රමණ වේගය ඒකාකාරී නොවේ. සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශය ධ්‍රැව ප්‍රදේශ වලට වඩා වේගයෙන් කරකැවෙයි. සූර්යය භ්‍රමණයේ ඇති මේ වෙනස චුම්භක ක්ෂේත්‍රය සැම තැනම ඒකාකාරී ලෙස පැතිර නොතිබීමට බලපායි. සූර්යයගේ සමහර ස්ථාන වල චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රභලත්වය වැඩි වීමට හේතු වන්නේ මෙයයි.

හිරු ලප වල ලක්ෂණ

සූර්යය ලපයක ප්‍රමාණය 300km සිට 100 000km දක්වා පරාසයක විහිදෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ සූර්යය ලපයක් පෘථිවිය තරම් විශාලය. ඕනෑම සූර්යය ලපයක් කළු කුඩා තිතක් ලෙස ආරම්භ වී පසුව කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වේ. හොදින් වර්ධනය වූ සාමාන්‍ය සූර්යය ලපයක් ඉතා තද අදුරු බවකින් යුත් මධ්‍යය කොටසක්(umbra) හා ඊට එපිටින් සාමාන්‍ය අදුරු බවකින් යුත් පිටත කොටසකින්(penumbra) යන මූලික කොටස් දෙකක එකතුවක් ලෙස(රූපය-1) හදුනාගත හැකිය. මෙහි මධ්‍යය කොටසේ උෂ්ණත්වය  සූර්යය මතුපිටට වඩා 1600K පමණ සිසිල් වන අතර හිරු ලපයේ මුලු ප්‍රදේශයෙන් 70% පමණ වන පිටත කොටසේ උෂ්ණත්වය 500K පමණ අගයකින් සිසිල් වේ.

රූපය-1
විශාල හිරු ලප වල පැවැත්ම මාස 6ක් දක්වා දිගු විය හැකි අතර කුඩා ප්‍රමාණයේ ලප වල පැවැත්ම සමහර අවස්ථා වලදී පැය කිහිපයකට පමණක් සීමා වේ. සූර්යය ලප ඇති වන්නේ බොහෝ විට සූර්යය අක්ශාංෂ(උතුරු සහ දකුණු) අංශක 5 හා 40 අතර ප්‍රදේශ වලය. ඉහල අක්ශාංෂ වලදී ආරම්භ වන සූර්යය ලප කාලයත් සමග වර්ධනය වෙමින් සූර්යයාගේ සමක ප්‍රදේශය කරා ගමන් කරයි.  හිරු ලප සූර්යයා මත පවතිනුයේ යුගලයක් ලෙස හෝ පොකුරක් ලෙසිනි. යුගලයක් ලෙස පවතින විට ඒවායේ චුම්භක ක්ශේත්‍ර වල දිශාවන් එකිනෙකින් වෙනස්ව පිහිටයි.

හිරු ලප චක්‍රය

සූර්යය ලප යනු නිතර ඇති වන සංසිද්ධියක් නොව සමහර කාල වලදී පමණක් දිස් වන්නකි. හිරු මුහුණතේ දිස් වන මේ අදුරු ලප යම ආකාරයක රටාවකට අනුව සිදු වන බව බොහෝ කාලයක් පුරාවට සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් විද්‍යාඥයින් හදුනාගෙන තිබේ. මේ විශේෂ රටාව ‘සූර්යය ලප චක්‍රය’ ලෙස හදුන්වයි. එක් චක්‍රයක කාලය අවුරුදු 11 වන අතර කුඩා ලප සංඛ්‍යාවකින්(solar minimum) ඇරබෙන එක් චක්‍රයක්(රූපය-2) එහි උපරිම අවස්ථාවට(solar maximum) පැමිණ නැවත සූර්යය ලප වල අවම අවස්ථාවෙන් අවසන් වෙයි.  සූර්යය ලප බහුලව පවතින කාලවලදී සූර්යයාගේ ප්‍රභලත්වයද ඉතා ඉහල වේ. එනම් මෙවැනි කාල වලදී සූර්යය සුලග, සූර්යය ගිණිදළු සහ සූර්යය විකිරණ වල ප්‍රභලත්වයද ඉහල යයි. මෙ නිසා සූර්යය ලප වල බහුලත්වය සූර්යයාගේ ප්‍රභලත්වය නිර්ණය කරන සාධකයක් ලෙසද පෙන්වා දිය හැකිය.

කාලයත් සමග සූර්යය ලප වල ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කලහොත් ලැබෙනුයේ රූපය-3 ආකාරයේ ප්‍රස්ථාරයකි. සූර්යය චක්‍රයක් ආරම්භයෙදී ඉහල අක්ශාංෂ වල කුඩා සංඛ්‍යාවකින් පටන් ගන්නා සූර්යය ලප ව්‍යාප්තිය උපරිම අවස්ථාවට එලැබී නැවත සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශයෙදී හීන වී යන ආකාරය මෙහි මැනවින් දැක් වේ. හිරු ලප වල ව්‍යාප්තිය දැක්වෙන මේ විශේෂ ප්‍රස්ථාරයේ හැඩය හේතුවෙන් විද්‍යාඥයින් මෙය හදුන්වන්නේ ‘butterfly diagram’ ලෙසයි.

1645 සිට 1715 දක්වා කාලය සූර්යය ලප ඉතා අඩුවෙන්ම දක්නට ලැබුණු යුගයකි. අතීත දක්ත පිරික්සා බැලීමෙන් මෙම විශේෂ කාල පරාසය මුල් වරට හදුනාගනු ලැබූ ‘වෝල්ටර් මවුන්ඩර්’  නම් තාරකා විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස මෙම කාලය හැදින්වෙනුයේ ‘මවුන්ඩර් අවමය'(Maunder minimum) යනුවෙනි.

සූර්යය ලප නිරීක්ෂණය

සූර්යයා එක එල්ලේ නිරීක්ෂණය කරනවා නම් වඩාත්ම ආරක්ෂිත හා පහසුම ක්‍රමය ලෙස දැක්විය හැක්කේ පෑස්සුම් කන්නාඩි(welding glasses) භාවිතයෙන් නිරීක්ෂණයයි. මෙහිදී අනුමත අදුරු බවින් යුතු එනම් shader# 12,13,14 වර්ගයේ කන්නාඩියක් පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය. නමුත් මේ ආකාරයෙන් සූර්යයා නිරීක්ෂණයේදී නම් බොහෝවිට හිරු ලප දර්ශණය නොවේ. හිරු ලප නිරීක්ශණය සදහා විශේෂ සූර්යය පෙරණයක් යෙදූ දුරේක්ෂයක් තුලින් හෝ සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය කල යුතුය. 

ප්‍රක්ශේපණ ක්‍රමය සදහා දුරේක්ශයක් හෝ දෙනෙතියක් (binocular) භාවිතයෙන් එය සූර්යයා දෙසට යොමු කොට එහි චායාව තිරයක් මතට ලබා ගැනීමෙන් හිරු ලප නිරීක්ශණය කල හැකිය. මීට අමතරව සූර්යය පෙරණ යෙදූ දෙනෙතියක් භාවිතයෙන්ද සූර්යයා(හිරු ලප) නිරීක්ශණය කල හැකිය. දුරේක්ශයකට වඩා දෙනෙතිය හැසිරවීම පහසු වීම සහ නාභිගත කිරීම පහසු වන බැවින් මෙය ඉතා පහසු ආරක්ශිත ක්‍රමයකි. තවද දෙනෙතිය ඉදිරියෙන් යොදන සූර්යය පෙරණ සදහා හොද ආදේශකයක් ලෙස ඉහත සදහන් කල ආකාරයේ දෙනෙතියට, සරිලන විශාලත්වයෙන් යුත් පෑස්සුම් කන්නාඩි දෙකක් උවද භාවිතා කල හැකිය.  මෙහිදී අදාල කන්නාඩි දෙක දෙනෙතියේ ඉදිරිපස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි හොදින් සවි වී තිබිය යුතුය.

සූර්යයා පියවි ඇසින් හෝ විද්‍යාඥයින් අනුමත නොකරන අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිරීක්ශණය කිරීම ඔබේ දෙනෙත් සදහටම අන්ධ භාවයට හෝ වෙනත් දුර්වලතාවයන්ට පත් වීමට හේතු විය හැක. මේ නිසා සූර්යය නිරීක්ශණය සදහා අදාල අනුමත ක්‍රම පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය.

www.spaceweather.com යන වෙබ් අඩවිය සූර්යයා සහ සූර්යය ලප පිළිබදව නිතරම අලුත් වෙමින් පවතින තොරතුරු සපයයි. සූර්යය ලප දිස් වන කාලයන් පිළිබද දක්ත මේ හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

ඉතා දුර්ලභ දසුනක් වූ, මේ වසරේ ජනවාරි 15 වන දින දිස් වූ වළයාකාර සූර්යග්‍රහණය ඔබට දුරේක්ශයක් භාවිතයෙන් නිරීක්ශණය කිරීමට අවස්ථාව ලැබුනා නම් සමහරවිට ඔබ මෙවැනි ආකාරයේ හිරු ලපයක්, සූර්යයාගේ උතුරු අර්ධ ගෝලයේ තිබෙනු දැක ගන්නට ඇති.

තාරකා ලප(starspots)

සූර්යය ලප අප සූර්යයා මතුපිට පමණක් නොව අනෙකුත් තාරකා මතද පවතියි. විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ විද්‍යාඥයින් අනෙකුත් තාරකා මත පවතින තාරකා ලප අධ්‍යනය කරනු ලබයි. තාරකා ලප, අදාල තාරකා වල ප්‍රභලත්වය සහ එහි ලක්ෂණ පිළිබද වැදගත් තොරතුරු සපයන බැවින් තාරක ලප අධ්‍යනය සූර්යය ලප අධ්‍යනය තරමටම වැදගත්කමක් උසුලයි.

 

{jcomments off}

Read More

සෞරග්‍රහ මණ්ඩලය

ක්ෂීරපථය නම්වූ තරු නිහාරිකා පිරිවරා ගත් අති විශාල මන්දාකිණියේ ඉතා කුඩාවූ ස්ථානයක අප සෞරග්‍රහ මණ්ඩලය පවතින බව අපි දනිමු. අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන බලවතා වන්නේ සූර්යයා යි. තවද ඊට අමතරව එයට ග්‍රලෝක 08ක් අයත් වේ.

ඒවා පිළිවෙළින් බුධ,සිකුරු,පෘථීවිය,අඟහරු,බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්,නෙප්චූන් යන ග්‍රහලෝක 08 වේ. තවද මෙය වාමන ග්‍රහලෝක වලින් ද, ඊට අමතරව ග්‍රහක වළල්ලක් මෙන්ම ග්‍රහයන්ගේ උප ග්‍රහයන් ගෙන්ද සමන්විත වෙයි. ප්ලුටෝ,චාරොන්,සෙරස් හා ඒරිස් මෙහි ඇති වාමන ග්‍රහලෝක වේ.

බුධ
මෙය සූර්යයාට ළඟම ග්‍රහයා ය. අවාට බහුළව ඇත. ඉතා තුනී වායුගෝලයක් පවති. උප ග්‍රහයින් නැත.


සිකුරු
සූර්යයාගේ සිට 2ට පවති. ඉතා විශාල වායුගෝලයක් පවති. එහි කාබන්ඩයොක්සයිඩ් වායුව බහුලව පවති. එනිසා හරිතාගාර ආචරණය පවති. මතුපිට උෂ්ණත්වය අධිකය.


පෘථීවිය
සූර්යයාගේ සිට 03 වැනියට පවති. ජීවය පවතී. ජීවය පැවතීමට අවශ්‍ය සියලූ සාධක හොඳින් පවති. උප ග්‍රහයා චන්ද්‍රයා වේ.


අඟහරු
සූර්යයාගේ සිට 04 වැනියට පවති. රතු පාටින් දිස්වෙයි. මීට හේතුව වන්නේ අඟහරු මතුපිට යකඩ ඔක්සයිඩ් (මළකඩ) බහුලව පැවතීමයි. කාබන්ඩයොක්සයිඩ් ඇත. ෆෝබෝස් හා ඩීමෝස් ලෙස උප ග්‍රහයන් දෙදෙනෙකි.


බ්‍රහස්පති
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වේ. ඉතා වේගයෙන් භ්‍රමණය වන්නේ ද මොහුය. භ්‍රමණ කාලය පැය 10කි. උප ග්‍රහයන් රාශියක් ඇත. ඒ අතරින් ගැනිමීඩ් උප ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම උප ග්‍රහයා වේ. ඉතා පැහැදිලි රතු පාට විශාල ලපයක් ඇත එය බ්‍රහස්පතිගේ රතු ලපය නමින් හඳුන්වයි. වායුමය ග්‍රහලොවකි. ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් (H), හීලියම් (He), යන වායු වලින් සෑදී ඇත.


සෙනසුරු
සෞරග්‍රහ මණ්ඩලයේ අලංකාරම ග්‍රහලොව මෙයයි. වළලූ පද්ධතියක් ඇත. තවද සෙනසුරු වායුමය ග්‍රහලොවකි. උප ග්‍රහයන් විශාල සංඛ්‍යාවකි. උදා – ටයිටන්, ඩියෝන්,රිහා
යුරේනස්
සිරසේ සිට අංශක 98ක ඇලවීමක් සහිතව භ්‍රමණය වේ. උප ග්‍රහයන් කීපයකි. ටයිටේනියා, ඒරියල්, අම්බ්‍රයල් ඒ අතර වේ.


නෙප්චූන්
මීතේන් අඩංගු වායුගෝලය නිසා නිල් පාටට දිස්වේ. උප ග්‍රහයන් කීපයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම භූමිය වන, ට්‍රයිටන් උප ග්‍රහයා ඇත. වායුමය ග්‍රහලොවකි.


ග්‍රහක වළල්ල
අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ලක් පවති. මෙහි ග්‍රහක නමින් හැඳින්වෙන විවිධ ප්‍රමාණයේ පාෂාණ කොටස් පවති. මෙම ග්‍රහක වළල්ල අඟහරු ග්‍රහයා හා බ්‍රහස්පති අතර පිහිටා ඇත. මෙහි පරතරය කිලෝමීටර 5503900 පමණ වන අතර පල්ස්,වෙස්ටා හා ජූනෝ යනු එහි ඇති ප්‍රධාන ග්‍රහක 03කි. මෙම ග්‍රහක වළල්ලට ඇතුළතින් ඇති බුධ,සිකුරු,පෘථීවිය,අඟහරු අභ්‍යන්තර ග්‍රහලෝක ලෙසද,මෙම ග්‍රහක වළල්ලට පිටතින් ඇති බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්,නෙප්චූන් බාහිර ග්‍රහලෝක ලෙසින් ද හඳුන්වයි.


වාමන ග්‍රහලෝක හා ප්ලුටෝ
කලින් ප්‍රධාන ග්‍රහලෝකයක් ලෙස පැවති ප්ලුටෝ මෑතකදී වාමන ග්‍රහයෙක් ලෙස වර්ග කර ඇත. එරිස් ලෙස හඳුන්වන නව ග්‍රහ වස්තුවක් මෙලෙස වාමන ග්‍රහලෝක ලෙස නව වර්ගීකරණයක් ඇති කිරීමට ප්‍රධාන හේතුව විය. මෙහිදී ප්ලුටෝට තම සෞරග්‍රහ මණ්ඩලයේ 9වන ස්ථානය අහිමි වී වාමන ග්‍රහලෝක ලෙස හැඳින්වෙන වර්ගයට අයත් වීමට සිදුවිය. තවද මෙහිදී ප්ලුටෝගේ උපග්‍රහයා ලෙස පැවති චාරොන් ද, ග්‍රහක වළල්ලේ විශාලතම ග්‍රහකය ලෙස පැවති සෙරස් ද, අලූතින් සොයාගත් ඒරිස් ද වාමන ග්‍රහලෝක ලෙස කෙරිණි.
මෙම සියලූම ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ග වල ගමන් කරයි. තවද මේවාට සූර්යයා වටා සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලයද එකිනෙකට වෙනස් ය. එපමණක් නොව මීට අමතරව අප සෞරග්‍රහ මණ්ඩලයද ක්ෂීරපථ මණ්දාකිණිය වටා ගමන් කරයි. මෙම ගමන් කරන වේගය තත්පරයට කිලෝමීටර 200ක් පමණ වන අතර එක් වටයක් ගමන් කිරීමට වසර මිලියන 240ක පමණ කාලයක් ගතවේ.


චන්ද්‍රයා
චන්ද්‍රයා හෙවත් සඳ යනු අප නිවහන වන පෘථීවියේ උප ග්‍රහයාය. එය පෘථීවිය වටා පරිභ්‍රමණය වන එකම ස්වාභාවික චන්ද්‍රිකාව යි. චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය මෙන්ම පරිභ්‍රමණ කාලයද දින 29.5 වන එකම අගයකි. මේ හේතුව නිසා අපට සෑම විටම පෙනෙන්නේ සඳේ එක් පැත්තක් පමණි. චන්ද්‍රයාගේ පෘෂ්ටයේ අවාට බහුල වන අතර චන්ද්‍රයා සතුව වායුගෝලයක්ද නොමැත. වර්ෂ 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් ඇපලෝ 11 යානය මගින් සඳ වෙත ගොස් ප්‍රථමයෙන්ම සඳ මත පා තබන ලදී. සඳේ උපත පිළිබඳව ද ප්‍රධාන මත 04ක් පැවතුනද, දැනට වඩාත් එයින් වඩාත් පිළිගන්නා මතය වී ඇත්තේ මහා ගැටුම් කල්පිතයයි.


වල්ගාතරු
සෞරග්‍රහ මණ්ඩලයේ වල්ගාතරු ලෙස හැඳින්වෙන වස්තූන් විශේෂයක් ද පවති. මේවා ප්‍රධාන වශයෙන්ම ඇතිවන්නේ ඌට් වළාවේ හා කුයිපර් පටියේ ඇති වස්තූන් ගෙනි. අප සෞරග්‍රහ මණ්ඩලය වටකරමින් යෝධ වළා පටලයක් පවති මෙය ඌට් වළාව ලෙස හැඳින්වේ. තවද නෙප්චූන් ග්‍රහලොවට පිටතින් කුයිපර් පටිය නම් ප්‍රදේශයක් පිහිටයි. මෙම ඌට් වළාව හා කුයිපර් පටිය තුළ කුඩා හිම බෝල වැනි පාෂාණ කැබලි පවති. එම සමහර පාෂාණ කැබලි ඌට් වළාවෙන් හා කුයිපර් පටියෙන් ඉවතට පැමිණ සූර්යයා වටා ගමන් කිරීම අරඹයි. මේවා සූර්යයාට ළං වන විට ඒවායේ තිබූ මිදුනු හිම වාශ්ප වී ගොස් දිගු වල්ගයක් ලෙස දිස් වේ. මෙවිට මෙය වල්ගා තරුවක් ලෙස හඳුන්වයි.


උල්කාපාත
රාත්‍රි කාලයේ අහස නිරීක්ෂණය කිරීමේදී එකවරම කඩා වැටෙන තරු මෙන් ආලෝකය විහිදුවමින් එකවරම නැතිවී යන එළි දැකීමට හැකිවේ. මේවා උල්කාපාත ලෙස හැඳින්වේ. සෞරග්‍රහ මණ්ඩලයේ තැනින් තැන පිහිටි කුඩා පාෂාණ කැබලි පෘථීවියේ ගුරුත්වාකර්ෂණයට හසුවී පෘථීවිය තුළට ගමන් කිරීමට පටන් ගනි. මේවා පෘථීවි වායුගෝලය හරහා ගමන් කිරීමේදී ඇතිවන ඝර්ෂණයෙන් දැවී යයි. එවිට මේවායෙන් ආලෝකය විහිදෙන අතර එවිට එය උල්කාපාතයක් ලෙස හඳුන්වයි.


චන්ද්‍රිකා
ග්‍රහලොවක් වටා කක්ෂගත වී පෘථීවිය වටා පරිභ්‍රමණය වන වස්තු චන්ද්‍රිකා වේ. සඳ යනු පෘථීවිය වටා පරිභ්‍රමණය වන ස්වාභාවික චන්ද්‍රිකාවයි මීට අමතරව පෘථීව්ය වටා පරිභ්‍රමණය වන මිනිසා විසින් නිපදවා අභ්‍යවකාශ ගත කළ කෘතිම චන්ද්‍රිකා පවති. මේවා චන්ද්‍රයා මෙන් පෘථීවිය වටා විවිධ වේග වලින් පරිභ්‍රමණය වේ. මෙම චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව ප්‍රථම වරට ලොවට මතයක් ඉදිරිපත් කලේ ලාංකික තාරකා විද්‍යාඥයෙකු වන ශ්‍රිමත් ආතර් සී ක්ලාක් මහතා විසිනි. ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව ස්පුට්නික් 1 නම් චන්ද්‍රිකාවයි. එය වර්ෂ 1957 දී රුසියාව මගින් ගුවන්ගත කරන ලදී. අභ්‍යාවකාශ යුගයේ ආරම්භයද ස්පුට්නික් 1 අභ්‍යාවකාශ ගත කිරීම සමග සිදුවීය. චන්ද්‍රිකා මගින් ඉටු වන සේවාවන් ද රාශියකි. ලොව පණිවුඩ හුවමාරු කිරීම, කාලගුණික තොරතුරු ලබා ගැනීම, විවිධ ග්‍රහක ග්‍රහලෝක ගැන පරික්ෂණ සිදුකිරීම ඉන් සමහරකි. මෙම චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයේ පණිවුඩ හුවමාරුව ඉතා ශීඝ්‍ර ලෙස සිදුකිරීමට ඛෙහෙවින් ඉවහල් වී ඇත.

Read More

හිරු තැටියක් සාදමු

මෙම ලිපිය Andre E. Bouchard විසින් රචිත ලිපියක අනුවාදනයකි. මෙහි ඇති ඡායාරූප ද එම ලිපියෙන් උපුටාගන්නා ලද ඒවා ය.
මෙම ලිපියේ pdf ගොනුවක් මෙම ස්ථානයෙන් බාගත කල හැක.

හිරුගේ සෙවනැල්ලෙන් වේලාව මැණීමට පොළොව මත රිටක් සවි කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. දින කිහිපයක් යන විට සෙවනැල්ල පිහිටන ස්ථානය වේලාව එක සමාන වුවද වෙනස් වේ.මෙම ගැටළුවට පිළිතුර වනුයේ ඛගෝල අක්ෂයට සමාන්තර ලෙස තබන ලද ත්‍රිකෝණාකාර හැඩයකින් වේලාව මැණීම ය.

අප සාදන හිරු තැටියෙන් වේලාව කියවෙන්නෙ සූර්ය පැය වලිනි. එය අප සාමාන්‍යයෙන් භාවිතා කරන ඔරලෝසුවල දක්වන වේලාවට වඩා වෙනස් ය. හිරු පැය භාවිතා කිරීමට හේතුව වන්නේ වසරක් තුල සූර්යයා එකම වේලාවේදී අහසේ පෙනෙන ස්ථානය කලින් කලට වෙනස් වන නිසා සහ හිරු නැග ඒම සහ බැස යාමද වෙනස් විය හැකි නිසා ය. මෙම හේතුව නිසා විනාඩි 16ක් දක්වා කාලයක් වේලාව වෙනස් විය හැකි ය.

සූර්ය තැ‍ටිය නිර්මාණය කිරීම

1. සූර්ය තැටිය නිර්මාණය කිරීම සඳහා ඔබ කැමති මාධ්‍යයක් භාවිතා කල හැක. සූර්ය තැටිය එළිමහන් ස්ථානයක තැන්පත් කරන්නේ නම් ඒ සඳහා සුදුසු දිගුකල්පවතින මාධ්‍යයක් භාවිතා කරන්න.

2. රූප සටහනේ දැක්වෙන අන්දමට ත්‍රිකෝණාකාර කොටසක් කපාගන්න. එහි සූර්ය තැටිය හා සම්බන්ධ වන කොනෙහි කෝණය පෘථිවිය තුල ඔබ සිටිනා ස්ථානයේ අක්ෂාංශයට සමාන විය යුතු ය. ශ්‍රී ලංකාව සඳහා නම් මෙම අගය අංශක 7කි.

3. ඝනැති කාඩ්බෝඩ් කැබැල්ලක් මත අර්ධ වෘත්තයක් ඇඳ එය කෝණමානයක් භාවිතයෙන් අංශක 15 කොටස් වලට බෙදා ගන්න.

4. ත්‍රිකෝණාකාර කොටස සූර්ය තැටියේ පහළ කොටස සමඟ සම්බන්ධ කරගන්න.

5. ත්‍රිකෝණාකාර කොටසටම කුඩා නලයක් සවි කරගන්න.

6. අර්ධවෘත්තාකාර කාඩ්බෝඩ් කැබැල්ල සවිකරගන්න. නලයෙහි අගට නූලක් සවි කර එය අර්ධවෘත්තයේ ඇති අංශක 15 රේඛා සමග තබාගන්න. අංශක 15 රේඛා ඡේදනය යා වන ස්ථාන ලක්ෂ්‍ය වලින් ලකුණු කරගන්න. ඇතැම් රේඛා ලකුණුකරගැනීමට තාවකාලික රේඛා අවශ්‍යවනු ඇත. වෘත්තාකාර කොටස ඉවත් කර කෝදුවක් භාවිතයෙන් ත්‍රිකෝණාකාර කොටසේ බෑවුම අග සහ පෙර ලකුණු කරන ලද අංශක 15 ලක්ෂ්‍ය යාකරගන්න.

7. හිරු තැටිය සදා අවසන් ය. මාලිමාවක් භාවිතයෙන් හිරුතැටිය දිශාගන්වන්න. නලය සහිත පැත්ත උතුරු දිශාවට තැබිය යුතු ය. වෙලාව කියවීම සඳහා පහත රූපසටහන භාවිතා කරන්න.

 

Read More

ක්‍රියාකාරකම – සූර්ය ලප චක්‍ර සෙවීම

සූර්යයාගේ මතුපිට ලප ඇතිවන අතර ඒවායේ ප්‍රමාණය කලින් කලට වෙනස් වේ. ඒ අනුව සෑම වසර 11කට වරක්ම සූර්ය ලප ප්‍රමාණයේ වර්ධනයක් දක්නට හැක. මෙම ක්‍රියාකාරකමෙහි අරමුණ වන්නේ වසර ගණනාවක් පුරා ලබා ගන්නා ලද එවන් සූර්ය ලප ගණනය කිරීම් ඇසුරින් ප්‍රස්ථාරයක් නිර්මාණය කොට එම ප්‍රස්ථාරය ඇසුරින් සූර්ය ලප චක්‍රයක් කොපමණ කලක් පවතිනවාද යන්න සෙවීම යි.

ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වන වසර 308ක සූර්ය ලප ගණනය කිරීම්වල දත්ත මේ හා සම්බන්ධ කර ඇති ගොනුවෙහි සඳහන් වන අතර එහි පිටපත් කණ්ඩායම් වලට ලබාදිය හැකි ය. එක් කණ්ඩායමකට එක් ප්‍රස්ථාර පිටුවක වසර 308ක දත්ත ලකුණු කිරීමට අපහසු බැවින් කණ්ඩායම් අතර අගයන් ඛෙදා දිය හැකිය. ඒසේත් නැතිනම් 1850සිට වර්තමානය දක්වා පමණක් වන අගයන් මේ සඳහා යෙදාගත හැකි ය.

ප්‍රස්ථාරයෙහි X සඳහා වර්ෂයද Y අක්ෂය සඳහා සූර්ය ලප සංඛ්‍යාවද යොදා ගනිමින් ප්‍රස්ථාරය නිර්මාණය කරගන්න. සූර්ය ලප වල එකතුව වසර අනුව ලකුණු කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු අතර එය හැකි පමණ නිරවද්‍ය විය යුතු ය. ප්‍රස්ථාරය නිර්මාණයේදී පැන්සල් භාවිතා කිරීමෙන් විය හැකි වැරදීමකදී නැවත ඉක්මනින්ම එය නිවැරදි කළ හැකි ය.

ප්‍රස්ථාර නිර්මාණය කිරීමෙන් අනතුරුව සූර්ය ලප ගණනය කිරීම් අඩුවන කාල (සූර්ය අවමයන්) අතර පරාසය ගණනය කළ යුතුය. එම සියලුම අගයන් වල සාමාන්‍ය අගය 11කට එනම් සූර්ය ලප චක්‍රයකට ආසන්න අගයක් උසුලයි. මෙම ප්‍රස්ථාරයේ සියලු අගයන් භාවිතා කලේ නම් සාමාන්‍ය අගය 10.84ක් වනු ඇත.

 

මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය සියලු දත්ත මෙම ස්ථානයෙන් නොමිලේ බාගත කරගන්න. ඒ සඳහා skylk සාමාජිකයෙකු විය යුතු බව සලකන්න.

./index.php?option=com_jdownloads&Itemid=22&task=view.download&cid=20

රයිස් විශ්වවිද්‍යාලය විසින් සම්පාදිත ක්‍රියාකාරකමක් ඇසුරින් සකස් කරන ලදී.

Read More