රාත්‍රී අහසේ දිස් වන නොගෙනිය හැකි තරම් වන තාරකා එකිනෙක අතර පවතින්නාවූ අවකාශය ගැන කතා කිරීමේදී එය හුදෙක් හිස් අවකාශයක් විය යුතු යැයි ඔබට එක් වරම සිතෙනු ඇත. නමුත් සැබවින්ම එය එසේ නොවේ.
මෙම අවකාශය බොහෝ විට විශේෂ වූ මාධ්‍යයකින් සමන්විත වන අතර එය ‘අන්තර් තාරීය මාධ්‍යය’ ලෙස හදුන්වනු ලබයි. මෙම මාධ්‍යය නිර්මානය වී පවතින්නේ දුහුවිලි අංශු හා විවිධ වායු වර්ග වලින් වන අතර මෙම ද්‍රව්‍යය හැදින්වෙන්නේ ‘අන්තර් තාරීය පදාර්ත’ නමිනි.
පෘථිවියේ සිට රෑ අහසේ දිස් වන තාරකා වලට පවතිනුයේ ආලෝක වර්ෂ තරම් වන දුරවල් බව ඔබ අසා ඇති. අපට ලගම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චරි තාරකාවට ඇති දුරද ආලෝක වර්ශ 4.2 පමණ වන අගයකි. මේ අයුරින් රෑ අහසේ අපට පෙනෙන අනෙකුත් තාරකා කොතරම් දුරින් පිහිටන්නේද යන්න පිළිබදව ඔබට දළ අදහසක් ලබාගැනීමට හැකිය. මෙවැනි වූ අති විශාල දුර පරාසයන් නිසාවෙන් පෘථිවියේ සිට බලන විට ඉහත සදහන් කල අන්තර් තාරීය මාධ්‍යය අපට දිස් වන්නේ වලාකුලක් මෙන් එක්තරා අංශුමය පොදියක් ලෙසිනි.
තාරකා අතර පැතිරී ඇති වළාකුලක් මෙන් දිස් වන මේ විශේෂ වූ මාධ්‍යය තමා විසින් තාරකා මෙන් ආලෝකය නිපදවා ගන්නා වස්තූන් නොවේ. නමුත් මෙවැනි වළාකුලකට ඉතා ආසන්නයෙන් තාරකාවක් පැවති විට තාරකාවේ ආලෝකය හෙතුවෙන් මෙම මාධ්‍යය ආලෝකමත් වේ. අන්තර් තාරීය මාධ්‍යය අපට දිස් වන්නේ මෙවිටය. නිහාරිකාවක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතා සරලව මෙම සංසිද්ධියයි.
නිහාරිකා හැදින්වෙන ඉංග්‍රීසි වදන වන ‘Nebula’ යන්න ලතින් භාෂාවට අයත් වදනකි. ලතින් භාෂාවෙන් ‘Nebula’ යන්නෙහි අර්ථය වළාකුල යන්නයි. ප්‍රභල දුරේක්ශ නොතිබුණු ඈත අතීතයේදී (19 වන සියවසට පෙර ) රෑ අහසේ නිවැරදිව හදුනා නොගත් වස්තූන් සියල්ලක්ම වාගේ හදුන්වා ඇත්තේ නිහාරිකා ලෙසිනි. උදාහරණයක් ලෙස ඔබ හොදින් අසා ඇති අන්ඩ්‍රොමීඩා මන්දාකිනිය පවා අතීතයේදී හදුන්වා ඇත්තේ ‘Andromeda Nebula’ ලෙසය. නමුත් පසු කලෙක තාක්ශණයේ දියුණුවත් සමග අභ්‍යවකාශ වස්තූන් නිවැරදිව හදුනාගැනීමෙන් පසු නිහාරිකා ලෙස අද අප හදුන්වන්නේ ඉහත සදහන් කල ආකාරයේ අභ්‍යවකාශයේ ඇති විශේෂ වළාකුලු වැනි වියුහයන්ය.
නිහාරිකා නිර්මානය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන්, හීලියම් වායු දෙවර්ගයෙනුත්, දුහුවිලි අංශු හා අයනීකරණය වූ පරමාණු (Plasma) ආදියෙනි. මීට අමතරව නිහාරිකා වර්ගය අනුව එහි අන්තර්ගත වායු වර්ගයන් වෙනස් විය හැකිය. නිහාරිකා නිර්මානය වී ඇති අන්තර් තාරීය මාධ්‍යය තුල පදාර්ත පැතිරී ඇත්තේ ඉතාමත් අඩු ඝණත්වයක් සහිතවය. මේ ආකාරයට මෙම ඉතාමත් අඩු ඝණත්වයකින් යුතුව පවතියත් මෙය වළාකුලක් ලෙස දිස් වන්නේ පෘථිවියේ සිට ඇති අති විශාල දුර නිසාවෙනි.
නිහාරිකා ලෙස හැදින්වෙනුයේ ඇත්තෙන්ම තාරකා අතර අවකාශය පිරී පවතින අන්තර් තාරීය මාධ්‍යටය. නමුත් විශ්වය පුරා විසිරී ඇති සෑම අන්තර් තාරීය මාධ්‍යයක්ම නිහාරිකාවක් නොවේ. මෙවැනි කලාපයන් නිහාරිකා ලෙස හැදින් විය හැක්කේ ඒවා අපට දිස් වන්නේ නම් පමණි.
අපට දිස් වන ආකාරය අනුව නිහාරිකා වර්ග කිහිපයකි. මේ සියලුම ආකාරයේ නිහාරිකා මූලික වර්ග 3 ක් යටතේ දැක්විය හැකිය. ඒවා නම් විමෝචක, පරාවර්ථක හා අදුරු නිහාරිකා යන මූලික වර්ග තුනයි.
විමෝචක නිහාරිකා (Emission Nebula)
මෙවැනි ආකාරයේ නිහාරිකා ආලෝකමත් වන්නේ ලග පිහිටි තාරකාවක් හේතුවෙන් වායු අණු අයනීකරණයට භාජනය වීමෙනි. නිහාරිකාව දිස් වන වර්ණය එහි අන්තර්ගත වායු වර්ගය අනුව වෙනස් වේ.
උතුරු අමෙරිකානු නිහාරිකාව (North America Nebula) මේ වර්ගයට අයත් වේ.
පරාවර්ථක නිහාරිකා (Reflection Nebula)
මෙවැනි ආකාරයේ නිහාරිකා ආලෝකමත් වන්නේ ලග තාරකාවෙන් ලැබෙන ආලෝකය පරාවර්ථනය කිරීමෙනි. තාරකාවෙන් ලැබෙන ශක්තිය වායු අණු අයනීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නමුත් ප්‍රකිරණය නමැති සංසිද්ධිය ඔස්සේ නිහාරිකාව ආලෝකමත් කිරීමට තරම් ප්‍රමාණවත් වේ. මෙවැනි ආකාරයේ නිහාරිකා ප්‍රකිරණ ක්‍රියාවලිය හේතුවෙන් නිල් පැහැයෙන් දර්ශණය වේ.
Witch Head Nebula මේ වර්ගයට අයත් වේ.
අදුරු නිහාරිකා (Dark Nebula)
මෙවැනි ආකාරයේ නිහාරිකා දිස් වන්නේ අදුරු වළාකුලු ලෙසිනි. මෙහිදී අදාල නිහාරිකාව පිහිටනුයේ තාරකා කිහිපයක් හෝ තවත් දීප්තිමත් නිහාරිකාවක් ඉදිරියට වන්නටය. මේ නිසා ඊට එපිටින් එන ආලෝකය නිහාරිකාව දෙපසින් ගමන් කොට ඒ හරහා ගමන් නොකරන විට අදුරු නිහාරිකා නිර්මාණය වේ.
ඔරායන් තාරකා රාශියේ අශ්ව හිස නිහාරිකාව (Horse Head Nebula)මේ ආකාරයේ නිහාරිකාවකි.
ග්‍රහ නිහාරිකා (Planetary Nebula)
තාරකාවක් මියයාමේදී පත්වන එක් අවධියක් වන රතු යෝධ අවස්ථාවට(Red Giant state) පත් වන සමහර තාරකා, තාරකාවේ ප්‍රභලත්වය මත පිටත වායු කලාපය අභ්‍යාවකාශයට මුදා හරිනු ලබයි. ඉතිරිවන මධ්‍යය අවසානයේ සුදු වාමන තාරකාවක් ලෙස හැදින්වෙන තත්වයට පත් වෙයි. මෙම සුදු වාමන තාරකාව පවතින්නේ විශාල වායු වලාකුලක් මධ්‍යයේ පවතින්නක් ලෙසය. සුදු වාමන තාරකාවෙන් පිට කරන විකිරණ මගින් අවට වායූන් අයනීකරණය වීමේ ක්‍රියාවලිය මත මෙවැනි ආකාරයේ නිහාරිකා නිර්මාණය වේ. ග්‍රහ නිහාරිකා විමෝචක නිහාරිකා ඝණයට අයත් වේ.
Eskimo nebula මේ ආකාරයේ නිහාරිකාවකි.
ඉහත සදහන් කල ආකාරයේ නිහාරිකා ග්‍රහ නිහාරිකා ලෙස හැදින්වූවත් මේ සදහා ග්‍රහලෝක වල කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පැහැදිලිව දැක්විය යුතුය. මෙවැනි ආකාරයේ නිහාරිකා මුල් වරට හදුනාගත් 18 වන සියවස තරම් වන ඉතා ඈත අතීතයේ, එකල පැවති දුරේක්ශ ආදිය එතරම් ප්‍රභල නොවීම හේතුවෙන් මෙවැනි නිහාරිකා දිස් වී ඇත්තේ යෝධ ග්‍රහයින් මෙනි. ග්‍රහ නිහාරිකා යන නම ලබීමට හේතුව වන්නේ මෙයයි. අප සූර්යයාද අවසානයේ නමන්ගේ ජීවන කාලය අවසන් කරනුයේ සුදු වාමන තාරකාවක් බවට පත් වීමෙනි. මේ අනුව අප සූර්යයාද අවසානයේ ග්‍රහ නිහාරිකාවක් බවට පත් වෙයි.
අන්තර් තාරීය මාධ්‍යය හා තාරකාවල පරිණාමය අතර පවතිනුයේ ප්‍රභල සම්බන්ධතාවයකි. තාරකා නිර්මාණය වන්නේ අන්තර් තාරීය පදාර්ථ ගුරුත්වාකර්ශණය ඔස්සේ එකට එක් වීමෙනි. තාරකාවක් ආලෝකමත් වී බැබලෙමින් පවතිනුයේද මෙම මාධ්‍යය තුලමය. තාරකාවක් මිය යනුයේද මෙම මාධ්‍යය තුලමය. විශේෂයෙන් තාරකා මිය යාමේ එක් ආකාරයක් වන සුපර්නෝවා පිපුරුමකින් පසු අදාල සුන්බුන් කොටස් එක් වන්නේද මෙම මාධයටමය. උදාහරණයක් ලෙස ‘Crab Nebula’ නම් නිහාරිකාව නිර්මාණය වී ඇත්තේ සුපර්නෝවා පිපුරුමක ප්‍රථිපලයක් ලෙසිනි. තවද මේ වන විට විද්‍යාඥයින් නිහාරිකා කිහිපයක නව තාරකා නිර්මාණය වෙමින් පවතින ස්ථාන බොහොමයක් හදුනා ගෙන තිබේ. විශේෂයෙන්ම ඔරායන් තාරකා රාශිය තුල පිහිටි, ඔරායන් සහ අශ්ව හිස නිහාරිකා තුලද මෙවැනි ස්ථාන බොහොමයක් පවතී. අප ජීවත් වන පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලයද නිර්මාණය වී ඇත්තේ මෙවැනි ආකාරයේ නිහාරිකාවක් තුලින් බව විශේෂයෙන් සදහන් කල යුතුය.
විවිධ ආකාරයේ හැඩයන්ගෙන් දිස් වන ඉතාමත් අලංකාර අපූරු නිහාරිකා බොහොමයක් මේ වන විට තාරකා විද්‍යාඥයින් විසින් හදුනාගෙන ඇති අතර ඒවා දිස් වන ආකාරය අනුව බොහොම අපූරු නම් වලින් හදුන්වයි. ඔබ තාරකා විද්‍යාව පිළිබද ලියැවුණු පොත් පත් හෝ අන්තර්ජාලය භාවිතයෙන් සොයා බලන්නේ නම් මෙහි උදාහරණ ලෙස දැක්වූවාට අමතරව අලංකාර හැඩයන්ගෙන් යුත් තවත් නිහාරිකා විශාල ප්‍රමාණයක් හදුනාගනීමට හැකි වේවි.