තාරකා විද්‍යා ප්‍රශ්ණ තරඟයක් පරදින්නේ කෙසේද? How to Lose an Astronomy Quiz Competition

බැලූ බැල්මටම ඉතා මෝඩ ප්‍රශ්ණයක් ලෙස පෙනුනද, සෑම ප්‍රශ්ණ තරඟයකදීම එක් කණ්ඩායමක් හැර, අනික් සියල්ලටම පරාජය පිළිගන්න සිදු වෙනවා. ප්‍රශ්ණ තරඟයකට සහභාගි වෙන හැමෝම හිතන්නේ තමුන්ට දිනුම ලැබෙයි කියල. ඒත් එහෙම නොවෙන්නේ ඇයි? සමහරු පිට පිට අවුරුදු ගණන් තරඟ දිනද්දී, තවත් අයට කිට්ටුවටවත් එන්න බැරි ඇයි?

 

 

මේ සටහන තාරකා විද්‍යා තරඟ පැරදීම ගැන අත්වැලක්. මේවා පිළිපැද්දොත්, අනිවාර්යයෙන් පරාජය ලඟාකර ගන්න ඔබට හැකි වෙනවා.

සැලසුම කිරීමට අසමත් වීම, අසමත් වීමට සැලසුම් කිරීමකි (Failing to plan is planning to fail)

ප්‍රශ්ණ තරඟයක් තිබෙන බව දැනදැනත්, ඒ ගැන මොකුත් නොකර සිටීමෙන් ඔබට ඉතා පහසුවෙන් ඔබේ ඉලක්කය වෙත (පරාජය වෙත) ලඟා වෙන්න පුළුවන්. තරඟයකට සූදානම් වෙන්නේ කෙසේද කියා දැන ගෙන ඒ කිසිවක් නොකර සිටීමත්, තරඟ පැරදීමේ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයකි.

තාරකා විද්‍යා පොත පත නොකියවීම, තාරකා විද්‍යා පුවත් නොකියවීමෙන් මෙන්ම අන්තර් ජාලයේ සමාජ වෙබ් අඩවි ඔස්සේ තාරකා විද්‍යා ලිපියක් දුටුවද, නොදැක්කා මෙන් සිටීම සාර්ථක ප්‍රතිඵල ළඟාකර දෙයි.

තරඟ නීති රීති (Rules and Regulations) වැරදීමකින් වත් කියවන්න එපා

එක් වරක් වත් තරඟ නීති රීති කියවීම මදි පුංචි කමක් නම්, ඔබ පරාද වීමට උපන් හපනෙකි. නීති රීති උල්ලංගනයෙන් ඔබට සහ ඔබේ කණ්ඩායමට තරඟයට සහභාගි නොවීමට, තරඟය අතරමැද ඉන් ඉවත් කරනු ලැබීමට හෝ රැස් කරගත් ලකුණු අහිමි කරගැනීම වැනි ඕනෑම ආකාරයකට තරඟ පරාජයට ලක් වෙන්න පුළුවන්.

වැරදිලාවත් ඔබ අතින් නීති රීති කියවුනොත්, වහාම එය අමතක කර දැමීමෙන් සහ තරඟයට එය රැගෙන නො ඒමෙන්, ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල නෙලා ගත හැක.

පුහුණු වෙන්නේ මෝඩයෝ

Practice makes perfect කියල සුද්දා කිවුවේ නිකං කට කහනවට. වැරදිලාවත් තරඟෙට කලින් පුහුණු වෙන්න එපා, නැත්තං කොහොමද පරදින්නේ? මලල ක්‍රීඩකයෝ තත්පර කීපයක තරඟෙට අවුරුදු ගනන් පුහුණු වෙන්නේ දිනන්න බලාගෙනනේ. පුහුණු නොවීම පරාජයට ඇති කෙටිම පාරකි.

ප්‍රශ්ණ තරඟ වලට පුහුණු වෙන වෙනත් අයට හිනා වෙන ගමන්, පුහුණු වෙන්න විදියක් නෑ කියන එකත් අපේ මේ කාර්යයට වැදගත්. මෙන්න මේවා තමයි නොකර ඉන්න අවශ්‍ය,

  • තාරකා විද්‍යා පොත් වල ඇති ප්‍රශ්ණ (Review questions) නොකිරීම
  • කණ්ඩායමේ අනික් අයගෙන් ප්‍රශ්ණ නෑසීම
  • අන් අය අසන ප්‍රශ්ණ ගණන් නොගැනීම
  • පසුගිය ප්‍රශ්ණ පත්‍ර (Past papers) පරිශීලනය නොකිරීම
  • අන්තර් ජාලයේ සජීවී ප්‍රශ්ණ (online quizzes) නොකිරීම
  • සිද්ධාන්ත අමතක කර කරුණු පමණක් මතක තබා ගැනීම (Facts vs Concepts)

කරුණ මතක තියාගන්න එක යමක් තේරුම් ගන්නවට වඩා ලේසියි නේ. ඉතින් කරුණු විතරක් මතක තියාගන්න. තාරකා විද්‍යාව කියන්නේ විද්‍යාවක්. ඒක නිසා බොහෝ කරුණු වලට පසුබිම් වන හේතුවක් තියෙනවා. ධූම කේතුවකට (Comet) වලිග දෙකක් තියෙන්නත් හේතුවක් තියෙනවා. ධූලි (Dust)සහ වායු (Gas) අංශු වෙන වෙනම වල්ග දෙකක් හදනවා. ධූලි අංශු බර වැඩි නිසා කක්ෂයේම නවතිනවා, කක්ෂය වක්‍රාකාර නිසා ධූලි වල්ගයත් වක්‍රාකාරයි. ධූලි අංශු බර නිසා සූර්ය සුළඟෙන් වැඩි බලපෑමක් නෑ. වායු අංශු සැහැල්ලුයි. අයණීකරනය වූ මේවා සූරිය සුළඟට (Solar wind) පහසුවෙන් ගසා ගෙන යයි. ඒ නිසා වක්‍ර වීමකුත් නෑ. කරුණ වෙන වෙනම මතක තියාගන්න ගියා නම් එතනම කරුණු කීයක්ද?

සිද්ධාන්තය මතක නම් ප්‍රශ්ණ කොහොම කරකවල ඇහුවත් උත්තර තියෙනවා. ඒත් කරුණු පාඩම් කලොත් ඒ කරුණම ඒ විදියට ඇහුවොත් ගොඩ, නැත්තන් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ.

කරුණු පාඩම් කිරීමේ අනිත් වාසිය ඒවා ඉතා පහසුවෙන් අමතක වීම සහ, කලබලෙන් මතක් කරන විට පටලැවීම. ඒ නිසා පරදින්න කැමති අය කරුණු විතරක් පාඩම් කරන්න.

සාර්ථකත්වයට කෙටි මං නැතත්, අසාර්ථකත්වයට ඕනෑ තරම් කෙටි මං ඇත

There are no short-cuts to success! ඒත් ඉතින් පරදින්න ඕනේ නිසානේ මේ සටහන මෙච්චර දුර කියෙව්වේ. මහන්සි නොවී තරඟ දිනන්න සිහින මැවීම පරාජයට අත වැනීමකි. ඉහත කරුණු හොඳින් පිලිපැද්දේ නම් තරඟය පටන් ගන්නා මොහොත වන විටම පරාජයේ දොරටුව ඔබට විවර වී අවසානයි. ඕනෑම තරඟයක් දිනීමට වාසනාවත් යම් පමණකට උපකාර වෙනවා. ඒත් කියමනක් තියෙනවා, වාසනාව යනු සූදානම් වූ පුද්ගලයාට ලැබෙන අවස්ථාව කියල (Luck is what happens when preparation meets opportunity)

පැරදීමේ රහස් දන්නා නිසා, දැන් ඔබට අවස්ථාවක් ලැබුනද, තාරකා විද්‍යා ප්‍රශ්ණ තරඟයකින් පරාජය වීම ඔබට ඉතා පහසු කාර්යයකි.

ඒ වගේම පැරදුනාට පස්සේ, ප්‍රශ්ණ හදපු අයට, දිනපු කණ්ඩායමට වගේම අවාසනාවටත් දොස් පරවන්න අමතක කරන්න එපා.