විශ්වය ලොවට විවරකල දුරේක්ෂයක කථාපුවත -1

මෙතෙක් ඉතිහාසයේ මිනිසා විසින් නිපදවන ලද ඉතාම වටිනා උපකරණය ලෙස දුරේක්ෂය හැදින්විය හැකිය.කාචවලින් ආරම්භව අද වන විට අභ්‍යාවකාශ දුරේක්ෂ දක්වා වර්ධනය වී ඇති දුරේක්ෂ තාක්ෂණය විශ්වයේ අසක් මුල්ලක් නෑර පිරිස්සමින්, විශ්වයේ රහස් සෙවීමෙහි නිරතවේ. ඉතාම සරල තත්ව‍යෙන් පටන් ගෙන අදවනවිට ඉතාම දියුණු තත්වයට පත්ව ඇති මේ මහා අනගි නිර්මාණයේ වසර 400කට වඩා පැරණි ඉතිහාසය මෙතැන්සිට විමසා බලමු.

මෙහිදී දුරේක්ෂ  ඉතිහාසය අධ්‍යනය කිරීමේ පහසුව තකා ඉතිහාසය කොටස් 3කට බෙදා දැක්විය හැකිය.

1.කාච යුගය

2.දර්පණ යුගය

3.අභ්‍යාවකාශ යුගය  හා ප්‍රකාශ නොවන දූරේක්ෂ යුගය.

 

කාච යුගය

දුරේක්ෂ සම්බන්ධ කාච පිළිබඳ සඳහන් කිරීමට පෙර කාච පිළිබඳ යමක් සඳහන් කළයුතුය.එනම් දුරේක්ෂ නිපදවීමට පෙරත් එසේම වීදුරු උණුකර සාමන්‍ය දියුනු මට්ටමේ කාච නිපදවීමටත් ශතවර්ෂ ගණනාවකට පෙර සිටම කාච තිබී ඇත.ඒබව පැරැණි ශිෂ්ඨාචාරවලි හමුවූ ආලෝකය වර්තනය කල හැකි ස්ඵටික(Crystals)  සාක්ෂී දරයි.

ස්ඵටික(Crystals)

මිනිසාට ඈත  ඇතිදේ  පෙනෙන්නේ කුඩාවටය, එමනිසා ඈත ඇති වස්තුන් ලංකර බැලීමේ සංකල්පය බොහෝ ඈත අතීතයේ එනම් දුරේක්ෂ නිපදවීමට  ශතවර්ෂ ගණනනකට පෙර තිබෙන්නට ඇත.නමුත් එම සංකල්පය 17වන සියවස ආරම්භය වන විටත් සපුරා ගැනීමට නොහැකිවිය.1608 දී ජර්මනියේ මිඩ්ල් බර්ග් නගරයේ විසූ ඕලන්ද ජාතික (වර්තමාන නෙදර්ලන්තය ) ඇස් කණ්නාඩි සාදන්නෙකු වූ හැන්ස් ලිපර්ෂී (Hans Lippershey) දුරේක්ෂයේ සිහිනය සැබෑ කරගන්නා ලදී.

හැන්ස් ලිපර්ෂී (Hans Lippershey)

මේ නිර්මාණය ඔහු විසින් නිමකිරීම සඳහා යොමුවූ අහඹු සිදුවීම පිළිබඳ වීවිධ කටකතා පැවැතියද ප්‍රසිධතම කතාපුවතක් පවති .එක්තාරා දිනයක ඔහු කාණ්නාඩි සෑදීමට යොදාගන්නා කාච සමඟ සෙල්ලම් කරන්නට යෙදුන ළමුන් දෙදෙනෙකු විසින් එම කාච ඇත්කරමින් හා ලංකරමින් ඒ අසල තිබූ කතෝලික පල්ලියක ඉහල කුළුනක් දෙසට එල්ල කරමින් උන්නා එක් අවස්ථාවක එම ඈත ඇති කුළුන ලංවන බවක් එම ලමුන්දෙදෙනා දුටුවා මේ අවස්ථාවේ පුදුමයට පත්වූ ඔවුන් කෑගසන්නට පටන් ගත්තා මෙ සිද්ධිය දුටු ලිපර්ෂී මේ පිළිබඳ සොයා දුරේක්ෂය නිර්මාණය කරන්නට විය.

හැන්ස්ලිපර්ෂී විසින් කාච එහා මෙහා කරමින් නිරීක්ෂණය කරන අයුරු චිත්‍ර ශිල්පියකුගේ ඇසින්

උත්තල කාච 2ක් සීරු මාරු කල විට ඈත ඇති වස්තූන් ලංවී පෙනෙන බව ඔහුට නිරීක්ෂණය කරන්නට ලැබීමෙන් අනතුරුව දුරේක්ෂයේ උපත සිදුවිය.

ඕලන්දයේ හා ස්පාඤ්ඤය අතර 80 වසරක සිට යුද්ධයක් පැවැති අතර මෙම නිර්මාණය යුද්ධයේදී ඈතින් පැමිණෙන සතුරන් නිරීක්ෂණය කිරීමට බොහෝ වැදගත් විය.ලිපර්ෂි විසින් මේ නව නිර්මාණය සිය රටේ රජු වන මෝරිට්ස් කුමරාට පෙන්වීමෙන් අනතුරුව එම දුරදක්නය යුධ කටයුතු සඳහා යොදා ගනු ලැබූ අතර එකල එය ඕලන්දයේ යුධ රහසක්වද පැවත ඇත.

නමුත් මෙම දුරදක්නය කිසිවිටෙකත් අහස දෙසට යොමුකර නිරීක්ෂණ සඳහා භාවිතා නොකල බව කිවයුතුය.

මෙම ලිපර්ෂිගේ දුරේක්ෂය පිළිබඳ සඳහන් කිරීමේදී එහි පේටන්ට් බලපත්‍රය ගැන විශේෂයෙන් සඳහන් කලයුතුය මන්දයත් , එකල ඔහුට මේ නිර්මාණය සඳහා පේටන්ට් බල පත්‍රයක් රජය විසින් ලබාදී නොමැත.මෙයට හේතුව වූයේ සකරියාස් ජැන්සන් (Zacharias Janssen) නම් වෙනත් පුද්ගලයකුද මෙම දුරේක්ෂය නිර්මාණයට සහය වූ බවට අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමයි.සැබැවින්ම දුරේක්ෂයේ සැබෑ නිර්මාතෘ තවමත් අභිරහසකි.

සකරියාස් ජැන්සන් (Zacharias Janssen)

දුරේක්ෂයක් මඟින් ප්‍රථම වරට අහස නිරීක්ෂණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලිටයි.ෆෙලෙමිං නම් පුද්ගලයකු විසින්ද දුරේක්ෂයක් නිර්මාණය කර ඇති බව අසන්නට ලැබූ ඔහුට මෙම දුරේක්ෂය නිපදවා ගැනීමට අත්‍යාවශ්‍ය විය.පසුව ඔහුවිසින් ඉතා අඩුවියදමකින් තමන්ගේම කියා දුරේක්ෂයක් නිපදවීය. එමගින් ඔහු අහස නිරික්ෂණය කොට නොයෙකුත් අලුත් දෑ දේ හඳුනා ගන්නා ලදී.

ගැලීලියෝ ගැලීලි නිපදවූ දූරේක්ෂය හා ගැලීලියෝ ගැලීලි චිත්‍ර ශිල්පියකුගේ ඇසින්

මෙම දුරේක්ෂය උත්තල හා අවතල කාච යුගලකින් නිපදවා ඇති අතර එහි අවනෙත ලෙස විශ්කම්භය මිලිමීටර 37 හා නාභීය දුර මිලිමීටර් 980ක් වූ තල උත්තල කාචයක්ද , උපනෙත ලෙස මිලිමීටර 22ක විශ්කම්භයක් හා මිලිමීටර 50ක නාභිය දුරක් සහිත තල අවතල කාචයක්ද යොදාගෙන ඇත.මෙම දුරේක්ෂයේ උපනෙත් කාචය අස්ථානගතවී ඇති අතර මේ පිළිබඳ වාර්තාවක් ගැලීලියෝ විසින් රචිත ග්‍රන්ථයක තිබී හමුවී ඇත.

ගැලීලියෝ විසින් මෙම දුරේක්ෂය භාවිතා කරමින් කල නිරීක්ෂණ කීපයක්.

  • ආවාට සහිත චන්ද්‍රයාගේ මතුපිට

මොහුගේ මෙම නිරීක්ෂණය සිදුකිරීමට පෙර මොහු සිතාසිටියේ සඳ යනු සුමට මතුපිටක් සහිත ග්‍රහවස්තුවක් බවයි.

 

  • බ්‍රහස්පතීගේ විශාලම උපග්‍රහයින් සතරදෙනා

බ්‍රහස්පතී ග්‍රහයාට උපග්‍රහයින් සිටින බවත් ඉන් විශාලතම උපග්‍රහයින්වන  අයෝ,යුරෝපා,ගැනිමිඩ් හා කැලිස්ටෝ යනුවෙන් හදුන්වන උපග්‍රහයින් සිවුදෙනාගේ කලින් කලට සිදුවන වෙනස්වීම් ගැලීලියෝ විසින් අධ්‍යනයක කරනලදී.මෙම උපග්‍රහයින් වර්තමානයේ ගැලීලියෝ චන්ද්‍රයින් ලෙස හඳුන්වයි.

  • සිකුරු ග්‍රහයාගේ සිදුවන කලා වෙනස්වීම්.

අපගේ චන්ද්‍රයාගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේද  කලින් කලට විවිධවූ කලා වෙනස් වීම් සිදුවන බව ගැලීලියෝ විසින් නිරීක්ෂණය කරනලදී.

  • සෙනසුරුග්‍රහයා වටා ඇති වළලු

මෙකල ග්‍රහයින් වටා වලලු ඇතිබවට සංකල්පයක් හෝ නිරීක්ෂණයක් පිළිබඳ කිසිදු අදහසක් නොපැවතුනි.ඔහු විසින් සෙනසුරු ග්‍රහයා නිරීක්ෂණය කිරීමේදී සෙනසුරු ග්‍රහයා වටා අමුතු වස්තූවක් ඇති බවට වාර්තාවක් තබා ඇත.

  • සූර්යයාගේ මතුපිට ඇතිවන සූර්යය ලප

සූර්යයා මතුපිට ඇතිවන සූර්යය ලප පිළිබඳ ගැලීලියෝ විසින් අධ්‍යනය කලබවටද වාර්තා හමුවී ඇත.

ගැලීලියෝ විසින් සිදුකල මෙම නිරීක්ෂණ අනුව බෝහෝ කලක් පැවැති භූකේන්ද්‍ර ආකෘතිය බිඳ වැටී සූර්යය කේන්ද්‍රවාදී ආකෘතිය තහවුරු විය.මෙසඳහා සිකුරු ග්‍රහයාගේ කලා වෙනස්වීම මහඟු සාක්ෂියක් විය.

මෙම ලිපිපෙලෙහි තවත් කොටසක් ලගදීම බලාපොරොත්තුවන්න.