පසුගිය පළමු හා දෙවන ලිපි 2ක මගින් දුරේක්ෂවල ප්‍රථම යුගයන් 2ක පිළිබඳව අප ඔබට සමිප කළෙමු. මෙම ලිපිය මඟින් අප විසින් 3 වන යුගය පිළිබඳ තොරතුරු විමසා බලමු.මෙතෙක් කලක් එනම් 1931 වනතෙක් ප්‍රකාශ යුගය හෙවත් දෘශ්‍ය ආලෝකය භාවිතා කරමින් පමණක් නිරීක්ෂණ කරන්නට යෙදුනත් ඉන් ඔබ්බට අනෙකුත් විද්‍යුත් චුම්භක තරංග භාවිතා කරමින් නිරීක්ෂණ කිරීමට තාරකා විද්‍යාඥයින් පෙළඹුනි.
1931 වන විටත් මිනිසා රේඩියෝ තරංග ප්‍රායෝජනයට ගනු ලැබූවත් මෙම තරංග තාරකා විද්‍යාත්මක නිරීක්ෂණයන් සඳහා උපයෝගී කරනොගත්තේය. ඊට හේතුව වූයේ එකල ආකාශ වස්තූන් මඟින් විමෝචනය කරන විවිධ වූ තරංග, විකිරණ පිළිබඳව හරියමන් නිවැරදි අවබෝධයක් විද්‍යාඥයින් තුල නොමැතිවීමයි. නමුත් මෙම තත්වය වෙනස් කරමින් කාර්ල් ජැන්ස්කි (Karl Jansky) විසින් ප්‍රථම වරට ක්ෂීරපථය මඟින් රේඩියෝතරංග නිකුත් වන බව හඳුනා ගන්නා ලදී. ඒ අනුව තාරකා විද්‍යාවේ දුරේක්ෂ ඉතිහාසයේ තවත් පරිඡේදයක් සළකුණු කිරීමට ජැන්ස්කී සමත් විය.
කාර්ල් ජැන්ස්කි (Karl Jansky) ඔහු විසින් භාවිත කල රේඩියෝ ඇන්ටනාව
මෙයින් පසුව 1937 වන විට ප්‍රථම වරට රේඩියෝ දුරේක්ෂයක් නිපදවීමට ග්‍රොට් රෙබර් (Grote Reber) සමත්විය. මෙකළ රේඩියෝ තරංග ග්‍රහණය කරගත හැකි ඇන්ටනා ආදිය පැවැතුනත් තාරකා විද්‍යාවට රේඩියෝ දුරේක්ෂයක් නිර්මාණය කර නොතිබිනි.
ග්‍රොට් රෙබර් (Grote Reber) ඔහු විසින් භාවිත කල රේඩියෝ ඇන්ටනාව
මෙම රේඩියෝ දුරේක්ෂය මඟින් එකළ පැහැදිලි කිරීමට නොහැකි වූ විවිධ රේඩියෝ තරංග නිකුත් කරන විවිධ ආකාශ වස්තු හඳුනා ගැනීමටද ඔහු සමත් විය.
මෙසේ විශ්වයේ සිට පැමිණෙන රේඩියෝ තරංග පිළිබඳ අවබෝධ වීමෙන් පසුව ක්‍රමයෙන් අනෙකුත් තරංග (පාරජම්බුල, X- කිරණ ,ගැමා කිරණ ) පිළිබඳව අවබෝධ කරගැනීමට විද්‍යාඥයින් සමත්විය. ඒ අනුව 1948දී සූර්යාගේ සිට පැමිණෙන X-කිරණ ද, 1962 දී පාරජම්බුල කිරණද හඳුනා ගන්නාලදී. එසේම 1960දී පමණ සිට ගැමා කිරණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවත් නියමිත ගැමා කිරණ තාරකා විද්‍යාව ආරම්භවන්නේ 1967දී, OSO-3 (Orbiting Solar Observatory) නැමති අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය යැවීමත් සමඟය.
OSO-3 (Orbiting Solar Observatory)
එසේම රේඩියෝ තාරකා විද්‍යාව යටතේ 1964 අන්තරීක්ෂ ක්ෂුද්‍ර පසුබිම් විකිරණය (Cosmic Background Radiation) අහම්බුලෙස මෙන් හඳුනාගන්නා ලදී. ඒ රොබට් විල්සන් හා ආර්නෝ පෙන්සියාස් (Robert Wilson and Arno Penzias) යන විද්‍යාඥයන් විසිනි. මෙයද තාරකා විද්‍යාවේ වැදගත් සංදිස්ථානයක් ලෙස හැදින්විය හැකිය.
රොබට් විල්සන් හා ආර්නෝ පෙන්සියාස් –පසුතලයේ ඔවුන්ගේ රේඩියෝ දුරේක්ෂය
රේඩියෝ තරංග පෘථිවියට පාරදෘෂ්‍ය වූවත් X-කිරණ ආදී අධිශක්ති විකිරණ පෘථිවියට පාරඅන්ධවේ. එහෙයින් ඒවා නිරීක්ෂණයට අභ්‍යාවකාශයට යා යුතුයි. ඒ අනුව මෙම අධිශක්ති විකිරණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙන්නේ 1957න් පසු චන්ද්‍රිකා යුගයෙන් පසුවබව පැහැදිලිය. එමෙන්ම මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් ඇත, එනම් 1948 සූර්ය X-කිරණ හසුකර ගනු ලැබූයේ උපකාක්ෂික රොකටයක්(Sub Orbit Rocket) මගින් වීමයි.
චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමටත් ප්‍රථම අභ්‍යාවකාශ දුරේක්ෂ සංකල්පය වර්ධනය වෙමින් පැවතුනි.ඒ අනුව ප්‍රථම වතාවට මෙම සංකල්පය පිළිබඳව අදහස් දැක්වීමට ඇමරිකානු ජාතික තාරකාවිද්‍යාඥයෙකු වූ ලයිමන් ස්පිට්සර් (Lyman Spritzer) සමත් විය. 1946 ඔහු විසින් රචිත Astronomical advantages of an extraterrestrial observatory නම් වාර්තාව මගින් ඔහු පෘථිවියට පාරඅන්ධ තරංග නිරීක්ෂණය හා වායුගෝලයේ බලපෑම්වලි තොර පැහැදිලි වත් නිවැරද්‍ය වත් තොරතුරු /ඡායාරූප අභ්‍යාවකාශ දුරේක්ෂ මගින් ලබාගත හැකිබව පෙන්වාදුනි. මෙම සංකල්පයේ පුරෝගාමියා වූ මොහු අභ්‍යාවකාශ දුරේක්ෂ සංකල්පය ලොවට හඳුන්වාදෙමින් අභ්‍යාවකාශ දුරේක්ෂයේ පියා ලෙස විරුදාවලිය ලැබීය.
ලයිමන් ස්පිට්සර් (Lyman Spritzer)
තවද මෙහිදී විශේෂයෙන් සඳහන් කලයුතේ කාච යුගය සහ දර්පණ යුගය එහි ආරම්භයේ සිට තවමත් පැතිරෙමින් පවතින බවයි.මෙයට හොදම උදාහාරණය නම් අප විසින් එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු ලබනේ කාච සහ දර්පණ වලින් තැනූ දුරේක්ෂවීමයි. එසේම වරතමානයේ අප විසින් භාවිතා කරණු ලබන දුරේක්ෂ ඉතා නිවරද්‍යවූත් දෝෂවලින් අවම වූත් ඒවාය. නමුත් වර්තමානයේ විශාල කාච භාවිතා කිරීම වෙනුවට විශාල දර්පණ භාවීතා කරයි.
මෙසේ කෙමෙන් වර්ධනය වූ අභ්‍යාවකාශ දුරේක්ෂ තාක්ෂණයේ අද වන විට පුළුල් පරාසයක පැතිරෙමින් විශ්වයේ රහස් හෙලිකරමින් ලොව පුරා තාරකා විද්‍යා ලෝලීන්ගේ ප්‍රමුඛ මූලාශ්‍රයක් බවට පත්ව තිබෙන අතර මෙම දැවැන්ත අභ්‍යාවකාශ දුරේක්ෂ තාක්ෂණය පිලිබඳ තොරතුරු පසු ලිපිවලින් බලාපොරොත්තුවන්න.