දුරේක්ෂය සඳහා ආධාරකයක් සාදමු

මෙම ලිපියේ pdf ගොනුවක් මෙම ස්ථානයෙන් ලබාගත හැක.

මෙම ලිපිය මගින් කරනුයේ දුරේක්ෂයක් සාදමු යන ලිපියේදී සාදන ලද දුරේක්ෂයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස ආධාරකයක් නිර්මාණය කිරීමයි. ආධාරකය භාවිතයෙන් ඔබේ දුරේක්ෂය පහසුවෙන් රඳවාගත හැකිවන නිසා වැඩි වේලාවක් නිරීක්ෂණ කටයුතුවල නියැලිය හැකිය.

මේ සඳහා විවිධ ප්‍රමාණවල ලී පටි, පාපැදිවල රෝදවල යොදාගන්නා හබ් එකක්, සහ විවිධ ප්‍රමාණ වල බෝල්ට් ඇණ භාවිතා කෙරේ. දුරේක්ෂයේ කොටස් දෙකකි. ඉහල කොටස තොටිල්ල (cradle) ලෙස හැඳින්වේ. පහල කොටස රඳවනය (legs) ලෙස හඳුන්වමු.

ඉහළ කොටස නිර්මාණය කිරීම (cradle)

දුරේක්ෂ ආධාරකයේ වැදගත්ම කොටස වන්නේ මෙහි දක්වා ඇති ෂඩාස්‍රාකාර තැටි යුගලයි. අපි මේ සඳහා ෂඩාස්‍රාකාර තැටිම භාවිතා කර ඇත්තේ ඒවා ලී මගින් කපා ගැනීමට ඇති පහසුව නිසා ය. ඔබ සතුව නිවැරදි උපකරණ ඇත්නම් වෘත්තාකර තැටි කපාගත හැකි අතර ඒ මගින් වැඩි අලංකාරයක් ලැබෙන ඇත. තැටි යු‍ගලේම මධ්‍යයේ බයිසිකල් හබ් එක සවිකිරීම පිණිස එහි ඇක්සලයේ ප්‍රමාණයට සමාන සිදුරු විද ගත යුතුය.

ඉහලින්ම ඇති සිරස් ලී පටි වල උස දුරේක්ෂයේ දිගින් බාගයක දිගට සමාන විය යුතුය. අප පසුව දුරේක්ෂය සවිකරනු ලබන්නේ මෙම ලී පටි වලට ය. ඒවා අග බෝල්ට් ඇණ භාවිතයෙන් දුරේක්ෂය රැඳවීම පිණිස වන සිදුර බැගින් විදගත යුතුය. සිදුරු විදගත් ලී පටි යුගල ඉහල තැටියේ පහත ආකාරයට සවිකරගන්න. ලී පටි අතර දුර දුරේක්ෂයේ ප්‍රධාන නලයේ විශ්කම්භයට සමාන වියුතුය.

පහළ කොටස නිර්මාණය කිරීම (legs)

පහළ කොටසෙහි පාද තුන මුලින්ම නිර්මාණය කරගැනීම වඩාත් පහසුය. පාද සඳහා භාවිතා වන ලී පටි හයෙහි දිග මීටරයක් පමණ විය යුතුය. ඒ සෑම ලී පටියකම අග්‍රවල බෝල්ට් ඇණ දැමීම පිණිස වන සිදුරු තිබිය යුතුය.

පහත දැක්වෙන ආකාරයට දිගින් සෙ.මී. 10ක් පමණ වන ලී කුට්ටි 3ක් පහළ තැටියෙහි සවිකරගන්න. ඒවා අග බෝල්ට් ඇණ දැමීමට සුදුසු සිදුර බැගින් විද ගන්න.


පහල තැටියට හබ් එකෙහි පිටත කොටස සවිකරගන්න. ස්පෝක් කම්බි යෙදීමට භාවිතා කරන සිදුරු මගින් එය ලීය සමඟ තදින් සවිකරගන්න.

ඉහත සකසා ගත් ලී පටි හයම බෝල්ට් ඇණ මගින් ලී කුට්ටි තුනට සවිකරගන්න. මෙහිදී ඇණ සමඟ වොෂර් යොදාගන්නේ නම් වඩාත් යහපත් ය. එවිට ඇණ වල තෙරපීම නිසා ලී වලට හානි වීම අඩුවේ. පාද සඳහා යොදන දිගු බෝල්ට් ඇණ ඕනෑවට වඩා තද කිරීමෙන් වළකින්න. ඒවා සාමාන්‍ය ප්‍රමාණයට තදවීම හොඳටම ප්‍රමාණවත්ය. පාද වල පහල ඇති සිදුරු වලටද බෝල්ට් ඇණය බැගින් යොදාගන්න.

ඉතිරි කොටස් සවි කිරීම

දුරේක්ෂ ආධාරකයේ පහළ කොටස සාදා අවසන් බැවින් ඉහල කොටසද එය එක් කර නට් එකකින් තද කරගන්න. මී ළඟට දුරේක්ෂය සවිකළ යුතුය. මෙ සඳහා දරේක්ෂයෙ ප්‍රධාන නලයේ මධ්‍යයෙන් සිදුරු කරගන්න. මෙහිදී හැකිනම් දුරේක්ෂයේ සියලුම කොටස් ඉවත් කල හැකි නම් වඩාත් යහපත්ය. එමගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගත හැකිය. ටියුබය ආධාරකයට සවිකරගත් පසුව නැවත කාච සහ අනෙකුත් දෑ දුරේක්ෂයට සවිකරගන්න. ඔබේ දුරේක්ෂ ආධාරකය සාදා අවසන් ය.

Read More