තාරකා බබළන්නේ ඇයි?

රාත්‍රි අහස නිරීක්ශණය කරන ඔබ තාරකා නිවෙමින් දැල්වෙමින් බබළන ස්වභාවයකින් දිස් වෙනවා දැක ඇති. නමුත් පුත්ගලයකුගෙන් ඇසිය හැකි සරලම ප්‍රශ්ණයක් වන තාරකා බැබළීමට හේතුව ඔබට පැහැදිලි කල හැකිද?


රාත්‍රී අහසේ දිස් වන තාරකා සුවිශේෂ වූ වස්තු විශේෂයන් නොව අප සූර්යයා වැනි තවත් එවැනිම අකාරයේ සූර්යන්ය. රාත්‍රී අහසේ තාරකා ඉතා කුඩාවට ලක්ෂීය වස්තූන් ලෙස දිස් වන්නේ පෘථිවිය සහ සූර්යයා අතර දුර මෙන් දස දහස් ගුණයකින් පමණ වන දුරින් පිහිටන නිසාය. තාරකා වලින් ආලෝකය නිකුත් කරද්දී අලෝකය දිදුලන ආකාරයෙන් නිකුත් කිරීමක් සිදු නොවෙයි. අහසේ අප දකින තාරකා වලින් ආලෝකය නිකුත් වන්නේ සූර්යය රශ්මිය අප පෘථිවිය වෙත ලැබෙනවාක් මෙන් ස්ථාවර ආකාරයෙනි.

එසේ නම් බබළන්නාක් මෙන් පෙනෙන ස්වභාවයක් ගැනීමට තාරකාවේ සිට ආලෝකය පෘථිවි පෘෂ්ටය වෙත ලැබීම අතරතුරදී කිසියම් හෝ දෙයක් සිදුවෙයි. මේ සදහා බලපාන්නේ අන් කිසිවක් නොව පෘථිවිය වටාම ඉතා ඝණව පිහිටන වායුගෝලයයි. පෘථිවි වායුගෝලය සෑම තැනම එකම ආකාරයෙන් පැතිර නොමැත. වායු ඝණත්වය අනුව පෘථිවි පෘෂ්ටයේ සිට ඉහල වායුගෝලය දක්වා ස්තර විශාල සංඛ්‍යාවකට වෙන්ව පවතී. තවද වරින් වර සිදුවන උෂ්ණත්වයේ වෙනස් වීම් මත ස්තරවල පිහිටීමද වෙනස් වෙමින් පවතී. මේ නිසා ඈත අභ්‍යාවකාශයේ සිට පෘථිවි වායුගෝලය හරහා පැමිණෙන ආලෝක කිරණ ඝණත්වය වෙනස් මාධයන් දෙකක් ඔස්සේ යාමේ දී සුලු නැවීමකට (වර්තනයකට) භාජනය වෙයි. වායු ස්තර විශාල සංඛ්‍යාවක් පවතින බැවින් පෘථිවි පෘෂ්ටය වෙතට පැමිණෙන විට අදාල ආලෝක තරංගය විශාල වාර ගණනකින් එහි දිශාව වෙනස් කර ගනියි.

වායු ස්ථර වල පිහිටීම වරින් වර වෙනස් වෙමින් පවතින බව අප පෙර සදහන් කළෙමු. මෙහි ප්‍රතිපලයක් වශයෙන් වර්තනය වෙමින් පැමිනෙන ආලෝක කිරන පෙර පැවති ආකාරයෙන් මදක් වෙනස් වෙයි. වෙනත් ආකාරයකින් සදහන් කලහොත් විවිධ ස්තර ඔස්සේ වර්තනය වීමේ ස්වභාවය වරින් වර වෙනස් වේ. අවසාන ප්‍රතිපලය වන්නේ අපට ලැබෙන ආලෝකයේ විචලනය මත අප තාරකාව දකින පිහිටුම වරින් වර වෙනස් වීමයි. මෙම වෙනස තත්පරයකට කිහිප වාරයකින් සිදුවෙයි. මේ වෙනස් වීම මිනිස් ඇස තේරුම් ගන්නේ තාරකාවෙන් නිකුත් වන ආලෝකය අඩු වැඩි වෙමින් පවතින්නාක් මෙනි. අප තාරකා බබලනවාක් මෙන් නිරීක්ෂණය කරන්නේ මේ නිසාවෙනි.

තාරකා බබලනවාක් මෙන් දිස් වීම නිරීක්ෂණයන්ට බාධාවකි. මේ නිසා එය මගහරවා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත යුතුය. සමහර දුරේක්ෂ තාරකා බබලනවාක් මෙන් දිස් වීම යම් තාක් දුරකට අවම කර ස්ථාවර ආකාරයෙන් ලබාගැනීම සදහා විශේෂ වූ කාච සහ දර්පන වර්ග භාවිතා වේ. මේවා Adaptive optics ලෙස හැදින්වෙයි. නිරීක්ශණාගාර ඉතා උස කදු මුදුන් වල ඉදිකරන්නේද වායුගෝලීය බලපෑම අවම කිරීමේ උපක්‍රමයක් ලෙසිනි. වායුගෝලීය බලපෑම සහමුලින්ම නැති කිරීමට නම් නිරීක්ෂණාගාර අභ්‍යවකාශයේ රැදවිය යුතුය. අප සියලු දෙනාම හොදින් හදුනන හබල් දුරේක්ෂය පෘථිවිය වටා කක්ෂ ගත කොට පවතිනේ මේ නිසාවෙනි. හබල් දුරේක්ෂයෙන් ලබා ගන්නා ඡායාරූප ඉතා පැහැදිලිව දිස් වන්නේ වායුගෝලීය බලපෑමක් නොමැති බැවිනි.

Read More