සඳ ගිලගත් රැයක දහසක් තාරකා දිලෙන්නාවූ රාත්‍රී අහස් ගැබ අප කාගේත් නෙත් සිත් වසඟ කරවන චමත්කාර දසුනකි. ඒ නිසාම මෙය අතීත සිංහල සාහිත්‍යයේ චමත්කාර ලෙස වර්ණනයට ලක්වී ඇති අවස්ථා එමට ය. පූජාවලිය රචිත බුද්ධපුත්‍ර හිමියන් රාත්‍රී අහස වර්ණනා කර ඇත්තේ මේ ආකාරයට ය.
“එකෙනෙහි නිශා නැමැති කාන්තා තොමෝ තරු පෙළ නැමැති ගෙළේ මුතුදම් පැළඳ නිල්වලා නැමැති වැටි තනා දික් නැමැති හස්තයෙන් සඳරැස් නැමැති දිවසළු විදා…….”
අදින් වසර දහස් ගණනකට ඉහත ආදී මුතුන් මිත්තන්ගේ නෙත් සිත් අභියස මැවුණු මේ මනරම් දසුන් ඔස්සේ කුතුහලයෙන් පිරුණු ඔවුන්ගේ චෛතසිකය මෙහෙයවීමේ ප්‍රතිඵල වශයෙන් තාරකා විද්‍යාව බිහිවූ බව කිව හැකි ය. කුතුහලය මගින්ම ඇතිවූ මෙම තාරකා වීද්‍යාව අනෙකුත් සෑම විද්‍යාවකම උපත බවද කිව හැකි ය. ඒ නිසා තාරකා විද්‍යාව හදාරන අප එහි සුන්දර වූ ඉතිහාසය ගැන බිඳක් හෝ දැන ගැනීම යුතුකමකි.
උතුරු බැබිලෝනියාවේ මීට වසර 4500 කට පමණ පෙර විසූ අක්කාසියන්වරු පුරාණතම කාලයේ දී තාරකා විද්‍යා වාර්තා තැබූවන් අතර කැපී පෙනේ. ඔවුනට හිරු හා සඳුගේ චලනයන් ගැනද, පසු කාලීනව ග්‍රහයන්ගේ චලනයන් ගැනද, අදහසක් තිබූ බවට සාක්ෂි ඇත. දින දසුනේ මුල්ම නිපැයුම් කරුවන් ලෙසින් සැලකෙන චීන ජාතිකයන් ක්‍රි පු 2500 දී, ප්‍රධාන ග්‍රහලෝකවල සමීප වීමක් වාර්තා කර ඇත. ක්‍රි පු 400 දී, මුල්ම වල්ගා තරු සිතියමද ඔවුන් විසින් නිපදවන ලදී. ඇරිසෝනාහි ජීවත් වූ ආදි ඉන්දියන්වරු විසින් දිගු ලී දණ්ඩක දිනෙන් දින සිදුවන කාලගුණික විපර්යාස විවිධ සළකුණු වලින් ලකුණු කර එය දින දර්ශනයක් ලෙස භාවිතා කර ඇත. දේහය පුරාම තරු අඩංගු වී තිබූ සමස්ත විශ්වයටම සිටි එක් එක් දේවතාවියක් විසින් සෘතුමය වෙනස්වීම ඇතුළු විශ්වයේ සියලූ කටයුතු කළ බව ඊජිප්තු වාසීන්ගේ විශ්වාසය විය.
සුර්යයාගේ හා චන්ද්‍රයාගේ දෘශ්‍ය ගමන්මග නිරීක්ෂණය කිරීම සඳහා විශාල ගල් කුළුණු භාවිතා කරමින් වඩාත් විධිමත් ක්‍රියා මාර්ගයක් ක්‍රි පු 2800-2200 අතර කාලයේ ජීවත්වූ එංගලන්ත වාසීන් විසින් අනුගමනය කළ බවට වාර්තා සහ ඇමරිකාවේ දකුණු හා බටහිර ප්‍රදේශවල ජීවත්වූ ස්වදේශික ඇරිසෝනා ඉන්දියන්වරුන්ද චන්ද්‍රයාගේ හැසිරීම අනුව වසරක් මාස 12ක කාලයකට පමණ ඛෙදා තිබුණි.
හදිසි දේව හස්තයක බලපෑමකින් තොරව ස්වභාවික සංසිද්ධීන් සිදුවන බව පෙන්වා දීමට ග්‍රීකයන්පෙළඹුණහ. මිත්‍යාවිශ්වායන් ගෙන් තාරකා විද්‍යාව මුදා වර්ධනය කිරීමෙහිලා ග්‍රීක චින්තකයෝ පුරෝගාමී වූහ.ක්‍රි පු 636-546 අතර ජීවත් වු තැලස් අප දන්නා පැරණිතම තාරකා විද්‍යාඥයා වේ. සූර්යයා සහ තරු දෙවියන් නොව ගිනි බෝල බව ඔහු ප්‍රකාශ කළේය. ක්‍රි පු 540-570 අතර කාලයේ විසූ පයිතගරස් චන්ද්‍රයා මතට වැටෙන පෘථීවියේ සෙවනැල්ල අධ්‍යයනය කර ඒ අනුව පෘථීවිය ගෝලාකාර බව ප්‍රථම වරට හෙළි කළේය.
ලොව සුප්‍රසිද්ධ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් පෘථීවිය විශ්වය මැද පිහිටන බවත්, ග්‍රහලෝක හා අනෙක් සියලූම ආකාශ වස්තු පෘථීවිය වටා ගමන් කරන බවත් ප්‍රකාශ කළේය. නමුත් ක්‍රි පු 310-236 කාලයේ විසූ ඇරිස්ටාකස් සූර්යයා වටා පෘථීවිය හා සෙසු ග්‍රහවස්තු ගමන් කරන බව කීවේය. ඒ අනුව මොහු මුලින්ම පෘථීවි කේන්ද්‍රවාදය පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. තවද පසුව එරොස්තනීස් නම් විද්‍යාඥයා පෘථීවිය එහි සිරසට අංශක 23 1/2 ඇල බව කීවේය.
ක්ලෝඩියස් ටොලමි
ක්‍රි පු 150 දී පමණ ජීවත්වූ මොහු පෙළොව (පෘථීවිය) විශ්වයේ මැද බවත් සියලූ ග්‍රහලෝක ඒ වටා වෘත්තාකාර මාර්ගවල චලිත වන බවත් පැවසෙන භූකේන්ද්‍රවාදය ඉදිරිපත් කළේය. මෙම වාදය වසර 1500ක් පමණ අභියෝගයකින් තොරව පැවතුණි. තවද මොහු තමාගේ සොයාගැනීම ඇතුළත් අල්මැජෙස්ටම් නම් ග්‍රන්ථයක් ලීවේය.
නිකොලස් කොපර්නිකස් (ක්‍රි ව 1473-1543)
මොහු විසින් සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ මැද ඇති බවත්, අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතින බවත් ප්‍රකාශ කරමින් සූර්යකේන්ද්‍ර වාදය ඉදිරිපත් කළේය. මෙමගින් ටොලමිගේ භූකේන්ද්‍රවාදය අභියෝගයට ලක් විය. එය භූකේන්ද්‍රවාදය බිඳ දැමීමට ඉවහල් විය. මොහු De Revolutionibus orbitum celestium යන ග්‍රන්ථයෙන් සූර්ය කේන්ද්‍රවාදය ලොවට ඉදිරිපත් කළේය.
ටයිකෝ බ්‍රාහේ (ක්‍රි ව 1543-1607)
පියවි ඇසින් අහස දෙස බලා වාර්තා තැබූ හොඳම තාරකා විද්‍යාඥයා මොහු විය. මොහු සුපර් නෝවා පිපුරුමක් පියවි ඇසින් නිරීක්ෂණය කළේය. තවද මොහුට එකල ඩෙන්මාර්කයේ සිටි 11 වන ෆ්‍රෙඩ්‍රික් රජු ඔහුගේ පරීක්ෂණ කටයුතු වලට (HVEN) දූපත පරිත්‍යාග කළේය. මොහු චන්ද්‍රයාට වඩාත් ඈතින් සෙසු ග්‍රහලෝක හා තරු පිහිටා ඇති බව ප්‍රකාශ කළේය.
ජොහැන්නස් නෙප්ලර් (ක්‍රි ව 1571-1630)
කෙප්ලර් තාරකාවිද්‍යාවට අත්පොත් තැබුවේ ටයිකෝ බ්‍රාහේ ගෙනි. මොහු ග්‍රහ වස්තුවල චලිතය පිළබඳ ඉතා වැදගත් නියම 03 ක් ඉදිරිපත් කළේය.
ගැලීලියෝ ගැලිලි (ක්‍රි ව 1504-1642)
දුරේක්ෂයක් නිපදවා එය ප්‍රථමයෙන් අහසට යොමුකර අහස නිරීක්ෂණය කරනු ලැබුවේ ගැලීලියෝ විසිනි. තවද මොහු ප්‍රථමයෙන්ම බ්‍රහස්පති ග්‍රහයාගේ උප ග්‍රහයන් 04ක් නිරීක්ෂණය කළේය. එනම් ගැනිමීඩ්,කැලිස්ටෝ,යුරෝපා,අයෝ යන උප ග්‍රහයන්ය. මේවා ගැලීලියානු චන්ද්‍රයන් නම් වේ. මීට අමතරව මොහු සඳේ ඇති කඳු වල උස ගණනය කළේය.
මීට අමතරව සර් අයිසැක් නිවිටන්, ඇල්බට් අයින්ස්ටයින්, විලියම් හර්ෂල් හා හාලෝ ෂාප්ලි යන විද්‍යාඥයින් දල තාරකා විද්‍යාවට අති විශාල සේවාවක් කළහ.