මීට අවුරුදු 2550 කට පමණ පෙර, ග්‍රීක ජාතික පයිතගරස් නම් ගණිතඥයා පෘථිවිය ගෝලාකාර විය යුතු යැයි පැවසූවේ ගෝලයක් යනු හුදෙක් පරිපූර්ණ වස්තුවක් වීමත් සුවිශේෂී වූ පෘථිවිය දෙවියන් වහන්සේට ගෝලයකට වඩා සුවිශේෂී වූ හැඩයකින් මැවීමට නොහැකි වූයේ යැයි සිතූ නිසාය. ගණිතය නමැති විශේෂ විෂය හැදෑරීමෙන් ස්වභාවධර්මය හා දෙවියන් වහන්සේ වටහා ගැනීමට උත්සහකල
පයිතගරස්, පෘථිවිය ගෝලාකාර බව ප්‍රකාශ කර සිටියත් එය තහවුරු කිරීමට සාක්ෂි ගෙනහැර දැක්වූයේ නම් නැත. පෘථිවිය කුමන ආකාරයක වස්තුවක්ද යන වග පිළිබදව කුතුහලයකින් පසු වූ අතීත මිනිසා එහි හැඩය පිළිබදව විවිධ මත දරූහ. පයිතගරස්ගේ කාලයේ සිට අවුරුදු 100කට පමණ පසු ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් පෘථිවිය ගෝලාකාර බව සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමත් සමගම ගෝලාකාර පෘථිවිය පිළිබද වූ අදහස මනාව තහවුරු විය.
ඉරටොස්තනීස්
අප ජීවත් වන පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව තහවුරු කරගත් අවධියේ පටන්ම අතීත මිනිසාට තිබූ ඊලග ප්‍රධාන ගැටලුව වූයේ පෘථිවි ගෝලය කොපමණ විශාලද (අරය,විශ්කම්භය හෝ පරිධිය වැනි අගයක්) යන්නයි. පෘථිවියේ හැඩය කුමන ආකාරයේද යන්න යම් යම් දාර්ශණිකයින් විවිධ ආකාරයෙන් විවිධ කාල වලදී පැහැදිලි කලාක් මෙන් පෘථිවි ගෝලයේ තරම සදහාද විවිධ අගයන් ඉදිරිපත් විණි. මේ අතර අතීත ග්‍රීක දැණුමේ කේන්ද්‍රස්ථානයව පැවති ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා මහා පුස්තකාලයේ ප්‍රධාන පුස්ථකාලාධිපතිවරයාව සිටි ඉරටොස්තනීස් ඉදිරිපත් කල අගය වඩාත් නිරවද්‍ය හා පිළිගත හැකි අගයක් වන්නේ එය පරීක්ෂණාත්මක පදනමක් මත පිහිටා ගණනය කරන ලද්දක් වන හෙයිනි. පෘථිවි පරිධිය පමණක් නොව පෘථිවි භ්‍රමණ අක්ෂයේ ආනතිය සහ හිරු, පෘථිවිය, චන්ද්‍රයා අතර දුර සෙවීම ආදී සොයාගැනීම් නිසාද ඉරටොස්තනීස් කීර්ති නාමය ඉතිහාසයේ සටහන්ව පවතී. ඔහුගේ පරීක්ෂණයෙන් ලද අගය වර්ථමානයේ අප දන්නා පෘථිවි පරිධියේ අගයටද බොහෝ දුරට සමාන වීමෙන් පැහැදිලි වන්නේ මීට අවුරුදු 2250 කට පෙර ඔහු කල පරීක්ෂණයේ ඇති වැදගත්කමයි.
ළිදට වැටුණු හිරු ජායාව
සෑම වසරකම ජූනි මස 21 වන දින ඊජිප්තුවේ සයීන් (වර්ථමානයේ අස්වාන් ලෙස හැදින්වෙන) ප්‍රදේශයෙන් සුවිශේෂී වූ සංසිද්ධියක් නිරීක්ෂණය වන බව ඉරටොස්තනීස් හට දැනගැනීමට ලැබුණි. එනම් මෙදින මධ්‍යහන 12.00 ට එම ප්‍රදේශයේ ඇති ළිදක පතුල නිරීක්ෂණය කරන්නෙකුට සූර්යයාගේ ජායාව දර්ශණය වන බවයි(ඔහු මේ බව මුහුදු කොල්ලකරුවෙකුගේ පොතකින් දැනගත් බවද සදහන් වෙයි). අවුරුද්දේ අනෙකුත් දිනයන්හීදී මධ්‍යහන 12.00 ටත් අදුරු ලෙස දිස් වන ළිං පත්ල මෙම දිනයේදී පමණක් සූර්යයා ලෝකයෙන් ඒකාලෝක වී දර්ශණය වන්නේ, මෙම දිනයේදී සූර්යය කිරණ ඍජුවම අස්වාන් ප්‍රදේශය වෙත පතිත වන හෙයිනි. වෙනත් අයුරකින් දක්වතොත් ඉතා ඍජුවම මෙම ප්‍රදේශයට ඉහලින් සූරයයා පිහිටන බැවිණි.
මෙම නිරීක්ෂණය දැනගත් වහාම ඉරටොස්තනීස් හට ඇති වූ කුතුහලය වූයේ තමා වෙසෙන ඇලෙක්සැන්ඩ්‍රියා නගරටත් හිරු රැස් ඍජුවම පතිත වනවාද යන්න සොයා බැලීමයි. මන්ද එසේ නොවේනම් පෘථිවිය පැතලි වස්තුවක් නොව ගෝලයක් බව මනාව පැහැදිලි වන බැවිනි. හිරු කිරණ වැටෙන ආනතිය සෙවීම, තවත් වැදගත් සොයාගැනීමකට මග පාදන බවද ඔහුට පෙනෙන්නට විය. එය වෙනකක් නොව සියලු දෙනා සෙවීමට කුතුහලයෙන් පසු වන පෘථිවි පරිධියයි.
ඉහත රූපයේ සයීන් ප්‍රදේශයේ ඇති ලිදට හිරු කිරන ඍජුවම වැටෙන ආකාරය දැක්වෙයි. කණුවක් පිහිටුවා ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේය. පෘථිවියේ ගෝලාකාර බව නිසා ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පිහිටි කණුවට හිරු කිරණ ආනතව පතින වන බැවින් එහි සෙවනැල්ලක් දැක ගත හැකිය. ඉරටොස්තනීස් මේ සෙවනැල්ලේ ප්‍රමාණය ලබාගත් අතර එමගින් හිරු කිරණ පතිත වන ආනතිය Ɵ සොයාගැණුනි. රූපයේ දක්වා ඇති ආකාරයට මෙම කෝණය, ලිද සහ කණුව පෘථිවි කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයටද සමාන වෙයි. ඉරටොස්තනීස් ලබාගැනීමට යෙදුනු මෙම කෝණයේ අගය ආසන්න වශයෙන් අංශක7.2 කි. මේ නිසා නගර දෙක අතර දුර පෘථිවි කේන්ද්‍රයේ ආපාතනය කරන කෝනයේ අගය 7.2 කි.
කේන්ද්‍රය වටා මුලු කෝණය 360 වන බැවින්, 7.2/360 = 1/50
මේ නිසා අදාල නගර දෙක අතර දුර පෘථිවි පරිධිය මෙන් 1/50 ක් ගුණයක් බව පැහැදිලිය. මේ අනුව නගර දෙක අතර දුර දන්නේ නම් එය 50න් ගුණ කල විට පෘථිවි පරිධියේ අගය ලැබේ.
ඉරටොස්තනීස් සොයාගත් ආකාරයට මෙම දුර ස්ටේඩියා 5000 කි. ස්ටේඩියා යනු අතීතයේදී දිග මැනීමට භාවිතා වූ ඒකකයක් වූ අතර අද අප දන්නා පරිදි ස්ටේඩියා 1 යනු මීටර 185 පමණ අගයකි. නගර දෙක අතර දුර සෙවීම සදහා ඉරටොස්තනීස් ඇලෙක්සැන්ඩ්‍රියා සිට සයීන් දක්වා පුත්ගලයෙකු පිටත් කර යැවූ බවද ඉතිහාසයේ සදහන් වෙයි.කෙසේ වෙතත් එලෙස ගණනය කිරීමෙන් ලද පෘථිවි පරිධියේ අගය වූයේ ස්ටේඩියා 250,000 කි. එය කිලෝමීටර වලින් දක්වතොත් 46,250km කි. අද අප දන්නා පෘථිවි පරිධියේ අගය 40,075.02 km (නීරක්ෂීය) කි. මේ නිසා ඉරටොස්තනීස් ලද අගය අද අප දන්නා අගයට බොහෝ දුරට සමාන වන බව පැහැදිලිය. පෘථිවි පරිධිය සෙවීම සදහා ඉරටොස්තනීස් කල පරීක්ෂණය අපට අමතක කල නොහැකි එකක් වන්නේ එහි ඇති නිරවද්‍යතාව නිසාවෙනි.