එක හදට මාස දෙකක්

අප චන්ද්‍රයා පෘථිවිය වටා වරක් ගමන් කිරීමට ගත වන කාලය චන්ද්‍ර මාසයක් ලෙස හැදින්වෙනවා. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් සිදු කරන ගමනේදි එක්තරා තැනකින් පටන් ගෙන අප නැවත චන්ද්‍රයා අදාල ස්ථානය පසු කරන කාලය ගණනය කලහොත් ඉන් ලැබෙනුයේ චන්ද්‍ර මාසයේ (පරිභ්‍රමණ කාලය) අගයයි. මේ ආකාරයට සිතුවහොත් අපට චන්ද්‍ර කලාවන් උපයෝගී කොටගෙන චන්ද්‍ර මාසය ගණනය කරගන්න පුලුවන්. උදාහරණයක් ලෙස පහසුවෙන් නිරීක්ෂණය කල හැකි පුර පසලොස්වක පොහොය දෙකක් අතර කාලය (දින ගනන) ගණනය කලේ නම් ඉන් ලැ‍‍බෙනුයේ චන්ද්‍ර මාසය බව පැහදිලිය. එම කාල පරතරය ගනනය කිරීම සදහා ඉතා පහසුවෙන් දින දර්ෂණයක් භාවිතා කර පොහොය දින දෙකක් අතර කාලය (දින ගනන)ලබා ගත හැකියි. වහාම දින දර්ෂණයක් ගෙන පරීක්ෂා කර බලන්න. ඔබ එලෙස ගනනය කර බැලුවානම් දින 30 යන පිලිතුරක් ලැබේවි. මෙයින් පැහැදිලි වන්නේ චන්ද්‍ර මාසයක අගය දළ වශයෙන් දින 30ක් බවයි. වෙනත් ආකාරයකින් පැවසුවහොත් චන්ද්‍රයා පෘතිවිය වටා පරිභ්‍රමණය වීමට ගත වන කාලය දින 30ක් බවයි. මෙම කාලය අප මතකයේ රදවාගෙන, චන්ද්‍ර මාසය තවත් ආකාරයකින් විමසා බලමු.

දැන් චන්ද්‍රයා පිලිබද දක්ත අඩන්ගු වී ඇති මූලාශ්‍ර කිහිපයක් ගෙන එහි පරිභ්‍රමණ කාලය පිලිබද අවධානය යොමු කරන්න. මෙවැනි වූ දක්ත ඔබට සෞරග්‍රහ මන්ඩලය පිලිබද ලියවුනු පොත් පත් වලින් හෝ ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි. එවැනි මූලාශ්‍ර වල සදහන් වන චන්ද්‍ර මාසයක අගය කොපමණද? ඔබ නිවැරදිව සොයා බැලුවේ නම් ඔබට සමහරවිට වෙනස් පිලිතුරක් (දින 27 1/3 වැනි) ලැබේවි. සමහරවිට පරිභ්‍රමණ කාලයන් දෙකක් සදහන් කර තිබෙන්නටද පුලුවන. මෙලෙස එකම චන්ද්‍රයාගේ පරිභ්‍රමණ කාලයේ වෙනසක් පවතින්නේ ඇයි? එලෙස වන්නේ පොත් පත් වල ඇති මුද්‍රණ දෝෂ නිසාවත්ද? ඔබ මීට පෙර මෙවැනි වූ වෙනසක් නිරීක්ෂණය කර තිබෙනවාද? මෙම ප්‍රශ්ණයට පිලිතුරු සෙවීමට නම් අපට පෘතුවිය සහ චන්ද්‍රයා පමනක් වන ආකෘතියෙන් මදක් බැහැර වීමට සිදු වෙනවා. මෙහීදී අපට පෘථිවිය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වන ගමන්ම පෘථිවියද සූර්යයා වටා පරිභ්‍රමණය වන බව අමතක නොකිරීමට සිදුවෙනවා.

රූපය-1

රූපය-1 දෙස විමසිලිමත්ව බලන්න. එහි පෘථිවිය චන්ද්‍රයා සහ සූර්යයාගේ ගමන් මාර්ග දැක්වෙනවා. ඉහත (1) ලෙස නම් කර ඇති පද්ධතියෙන් දැක්වෙන්නේ පෘථිවියට චන්ද්‍රයා අමාවක දිනයක් ලෙස දර්ශණය වන ආකාරයයි. වෙනත් ආකාරයකින් පැවසුවහොත් චන්ද්‍රයා දර්ශණය නොවන දිනයයි. චන්ද්‍රයාගේ පරිභ්‍රමණය කාලය (චන්ද්‍ර මාසය) යනු පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයා එක් ස්ථානයක පිහිටා නැවත එම ස්ථානයටම පැමිණීම තෙක් කාලය ලෙස අප පෙර හැදින් වූවා. (2) ලෙස නම් කර ඇති පද්ධතියෙන් දැක්වෙන්නේ එවැනි ඉහත (1) පද්ධතියේ පිහිටුමට අදාලව නැවත චන්ද්‍රයා එම පිහිටුමටම පැමින ඇති ආකාරයයි. මෙම දෙවන පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් (1) පද්ධතියට සාපේක්ෂව චන්ද්‍රයා පෘථිවිය වටා එක් වටයක් පරිභ්‍රමණය වී ඇති බව ඔබට පැහැදිලිව හදුනා ගන්න පුලුවන්. පලමු පිහිටුමේ සිට මෙම දෙවන පිහිටුම දක්වා පැමිණීම තෙක් කාලය දින 27 1/3 කි (සෛධාන්තිකකව පෙන්විය හැක). නමුත් අපව පුදුමයට පත් කරන කාරණය වන්නේ මෙදින අමාවක දිනයක් නොවීමයි. අමාවක දිනයක් ලැබීමට නම් චන්ද්‍රයා හා පෘතිවිය ඇතුලු පද්ධතිය තවත් කුඩා කාලයක් ඉදිරියට ගමන් කල යුතු බව රූප සටහන අධ්‍යනය කිරීමෙන් ඔබට පැහැදිලි වේවි. මෙම කාලය ආසන්න වශයෙන් දින දෙකකි.

ඉහතදී අපට පොහොය දින දෙකක් අතර කාලය දින 30ක් ලෙස ලැබීමටත් චන්ද්‍රයාගේ දක්ත සටහන් පරීක්ෂා කිරීමේදී එහි අගය වෙනස් වී තිබීමටත් හේතු වූයේ වෙනකක් නොව පෘථිවියේ පරිභ්‍රමණයයි. චන්ද්‍රයාගේ නියම පරිභ්‍රමණ කාලය ආසන්න වශයෙන් දින 27 1/3 කි. මෙම කාල පරාසය Sidereal month ලෙස හැදින්වෙනවා. එකම චන්ද්‍රකලාවන් දෙකක් අතර කාලය චන්ද්‍ර මාසයක් ලෙස සැලකීම පෘතුවියට සාපේක්ෂව නිවැරදියි. මෙම කාල පරාසයේ බොහෝ දුරට නිවැරදි අගය දින 29 1/2 කි. මෙම චන්ද්‍ර මාසය Synodic month ලෙස හැදින්වෙනවා. එකම චන්ද්‍රයාට මාස දෙකක් පවතින්නේ මේ නිසායි.