ග්‍රහණ ඉතිහාසය

තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබදව නිවැරදි, තර්කානුකූල වටහා ගැනීමක් නොතිබූ ආදී මිනිසා, වරින්වර ඇති වූ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ සලකන ලද්දේ අත්භූත සිද්ධීන් ලෙසය. ඔවුන් මෙවැනි සිද්ධීන් තමන්ට නරක කාලයන් උදා කරන්නන් ලෙස සැලකූ අතර ඒවා නැරබීමටද මහත් බියක් දැක්වූ බවටද සදහන් වේ.

 

විවිධ සංස්කෘතීන් හරහා පැවතගෙන එන පුරාවෟත වල සදහන් වන පරිදි ග්‍රහණ ඇති වීමේදී චන්ද්‍රයා හෝ සූර්යයා අවහිර කර ඇත්තේ යම් ආකාරයක සත්වයෙකු විසිනි. මෙහිදී ඉන්දියානුවන්, චීන ජාතිකයන් හා ඉන්දුනීසියානුවන් මකරෙකු පිළිබදවත්, වියට්නාම ජාතිකයින් විශාල ගෙම්බෙකුද, ආර්ජන්ටිනාවේ වෙසෙන්නන් ජගුඅර්(Jaguar) නම් දිවියන් වර්ගයට අයත් සත්වයකුද, සයිබීරියානුවන් වැම්පයර්(Vampire) ලෙස හැදින්වෙන ලේ උරා බොන සත්වයෙකුද, යනාදී වශයෙන් සත්වයින් ග්‍රහණ ඇති කිරීමට හේතු වන බවට විශ්වාස කර ඇත.

අද යුගයේ සෑම අයෙකුටම වාගේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු කුමන ආකාරයක සංසිද්ධීන්ද යන්න පිළිබදව යම් කිසි ආකාරයක හෝ අවබෝධයක් පවතී. මේ නිසා අද යුගයේ ජීවත් වන බොහෝ දෙනා ග්‍රහණ තවදුරටත් නරක විපත් ආදිය හෝ බිය උපදවන සංසිද්ධීන් ලෙස නොසලකන අතර චන්ද්‍රග්‍රහණ  හා සූර්යග්‍රහණ යනු දුර්ලභ, තම ජීවිතයේ එක් වරක් හෝ අත්දැකිය යුතු පුදුමය දනවන සිද්ධීන් ලෙස හැදින්වීමට පුරුදුව සිටී.

ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධ ග්‍රහණ කිහිපයක් හා ඒ හා බැදුනු තවත් තොරතුරු පිළිබදව පහත දැක්වෙයි. වරින්වර සිදුවූ මෙවැනි ග්‍රහණ පිළිබදව ලොව විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවෙන් එවැනි ආකාරයක  සටහනක් හමු නොවේ.

 

  • සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ පිළිබදව ඇති පැරණිතම සටහනක් පිළිබදව නිවැරදි තොරතුරක් නොමැති වූවත්, හදුනාගෙන ඇති පරිදි පැරණිතම සටහන ලෙස සැලකෙන්නේ ක්‍රි.පු. 2134 ඔක්තෝම්බර් 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන චීනයෙන් වාරතා වන සටහනකි.
  • බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් ක්‍රි.පු. 700 සිට ක්‍රි.පු. 50 දක්වා හ්‍රහණ පිළිබදව අධ්‍යනය කල බවට සාධක ඇති අතර සාරෝස්(Saros) චක්‍රය ලෙස අද අප හදුන්වන ග්‍රහණ චක්‍රය මුල්වරට හදුනා ගත් පුත්ගලයින් ලෙස බැබිලෝනියානු ජාතිකයින් දැක්විය හැකිය. ග්‍රහණ ඇති වීමේ රටාවන් පිළිබදව ලොව පැවති තවත් ශිෂ්ටාචාර වලින් තොරතුරු සටහන් වී ඇති නමුත් එවැන්නක් පිළිබදව ඉතා පැහැදිළි සටහනක් පවතින්නේ බැබිලෝනියානුවන් සතුවය.
  • මිලේටස් හි තෙලේස් ලෙස හැදින්වෙන ප්‍රසිද්ධ දාර්ශණිකයා බැබිලෝනියානුවන්ව අධ්‍යනය කර ක්‍රි.පු. 585 මැයි මාසයේ 28 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවිය හැකි බවට අනාවකි පලකොට ඇත. මෙය සිදුවී ඇත්තේ මැද පෙරදිග රටවල් දෙකක් යුද වදින සමයකදී වන අතර මේ සූර්යග්‍රහණයෙන් එකල මිනිසා කොතරම් බියට පත් වූවා දැයි කිවහොත් මේ නිසා යුද්ධ කිරීම නවතා සාමකාමී වීමටද මෙය හේතු වූ බවටද සටහන් වේ. තවද මෙය ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධම සූර්යග්‍රහණය ලෙසද හැදින්වේ.
  • 1453 මැයි 29 වන දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව කොන්ස්තන්තිනෝපල්  නගරයෙන් වාර්තා වන අතර එතැන් සිට දින කිහිපයකට පසුව කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි හමුදාවන්ට යටත් වීමට මෙම චන්ද්‍රග්‍රහණය හේතු වූ බවද සදහන් වේ.
  • කොලොම්බස් ඔහුගේ පස් වන ගවේශණයේදී, 1504 පෙබරවාරි 29 දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව වාර්තා කරයි.
  • 1999 අගෝස්තු 11 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය, 20 වන සියවසේ සිදු වූ අවසාන සූර්යග්‍රහණයයි. ඉතිහාසයේ, ආදී මිනිසා සූර්යග්‍රහණ වලට ඉතා බියකින් පසු වූවාක් මෙන් මෙම සියවස තුල සිදු වූ මේ අවසාන පූර්ණ සූර්යග්‍රහණය පිළිබදව මිනිසුන් තුල පැවතියේ එය දරුණු විපත් ලගා කරවිය හැකි ආකාරයේ සිද්ධියක් විය හැකි බවයි. නමුත් එවැනි විපත් පිළිබදව වාර්තා නොමැත. කෙසේ වෙතත් තර්කාණුකූලව බලන කල මෙය 20 වන සියවසේදී සිදුවූ අවසාන සූර්යග්‍රහණය නොවන බවද පෙන්විය හැකිය. එනම් 21 වන ශතවර්ශය ආරම්භ වන්නේ වසර 2000 දී නොව 2001 දීය. ඊට හේතුව බිංදුව ලෙස වසරක් ගණනය කොට නොතිබීමයි.