චන්ද්‍රයා ගැන බිදක්..

පෘථිවියේ එකම උපග්‍රහයා වන චන්ද්‍රයා අහසේ පැහැදිලිව හදුනා ගත හැකි සහ කිසිදු අපහසුතාවයකින් තොරව ඉතා හොදින් නිරීක්ශණය කල හැකි ආකාශ වස්තුවද වේ. මුහුදේ උදම්(Tides) බලපෑමට මෙන්ම පෘථිවියේ භ්‍රමණ කාලය සදහාත් එමෙන්ම පෘථිවි භ්‍රමණ අක්ශයේ පිහිටීම සදහාත් චන්ද්‍රයාගේ ගුරුත්ව බලය ප්‍රභල ලෙස බලපායි. පෘථිවියේ සමතුලිතතාවය නිසි ආකාරව පවත්වා ගැනීමටද චන්ද්‍රයා ඉතා වැදගත් වේ. පෘථිවිය සතුව උපග්‍රහයෙක් නොතිබුනහොත් කුමන ආකාරයක තත්වයක් ඇති විය හැකිද යන්න පිලිබදව විද්‍යාඥයින් උනන්දු වන අතර ඒ පිලිබදවද පරීක්ශණ පවත්වයි. පෘථිවිය ලගින්ම ඇති ආකාශ වස්තුව වන චන්ද්‍රයා රාත්‍රී අහසේ ඉතා දීප්තියෙන් දිස් වනුයේ සූර්යයා මෙන් තමා විසින්ම ආලෝකය නිපදවා ගැනීමකින් නොව සූර්යයාලෝකය පරාවර්තනයෙනි. චන්ද්‍රයා විවිධ කලා වලින් අහසේ දිස් වීමට හේතුව එය පෘථිවිය වටා සිදු කරන පරිභ්‍රමණයයි. නමුත් චන්ද්‍රයා සතු මෙම පරිභ්‍රමණ ක්‍රියාවලිය පෘථිවියා සූර්යයා වටා සිදු කරන පරිභ්‍රමණයෙන් වෙනස් වන්නේ චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණ කාලය බොහෝ දුරට සමාන වන බැවිණි. මෙම කාලය දින 27 1/3 කි. තවද මේ හේතුව නිසා පෘථිවියේ සිටින අපට සෑම විටම දර්ශණය වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණක් බවද විශේෂයෙන් සදහන් කල යුතුය. චන්ද්‍රයාගේ අනෙක් අර්ධය සැම විටම පෘථිවියට පෙනෙන දිශාවට විරුද්ධව පිහිටයි.

අපගේ අසල්වැසි චන්ද්‍රයාගේ බිහිවීම හෙවත් ආරම්භය සම්බන්ධයෙන් ප්‍රධාන මත 4ක් පවතින අතර එයින් දැනට බොහෝ විද්‍යාඥයින් පිළිගනු ලබන්නේ ‘මහා ගැටුම් කල්පිතය'(Great giant impact) යන මතයයි. මෙමගින් කියවෙනුයේ අප සෞරග්‍රහ මන්ඩලය බිහිවෙමින් පැවති යුගයේ පෘථිවිය සමග ඉතා විශාල තවත් ආකාශ වස්තුවක් (අගහරු ප්‍රමාණයේ ) ගැටීමෙන්, එම සුවිසල් ගැටුම නිසා පිටත අභ්‍යවකාශයට ඇදී ගිය කොටසක් මගින් චන්ද්‍රයා නිර්මාණය වූ බවයි. මෙම මතයෙන් කියවෙන අයුරින් චන්ද්‍රයා බිහි වීම සදහා පෘථිවියේ සම්බන්ධයක් පැවතියත් චන්ද්‍රයා, පෘථිවිය මෙන් ඉතා සරුසාරව වැඩුනු ගස් කොලන් හා ජලයෙන් පිරි ආකාශ වස්තුවක් නොවන බවද සදහන් කල යුතුය. චන්ද්‍රයා සතුව පෘථිවියේ පවතිනවාක් මෙන් ඝණ වායුගෝලයක්ද නොමැත. මේ නිසා පෘථිවියේ ‍මෙන් නොව චන්ද්‍රයා යනු නිතරම උල්කාපාත වලට හසු වෙන සහ ඒවායින් තැලී පොඩි වී යන උපග්‍රහයෙකු ලෙසට දැක්විය හැකිය. මෙලෙස ගොඩනැගී ඇති විශාල ප්‍රමාණයේ ආවාට, කුඩා ප්‍රමාණයේ දුරේක්ශයකින් හෝ දෙනෙතියක්(Binocular) භාවිතයෙන් පහසුවෙන් දැක ගත හැකි වේ. ආවාට වලට අමතරව, චන්ද්‍රයා මතුපිට දක්නට ලැබෙන අදුරු ස්ථාන මුහුදු ලෙස හදුන්වයි. මෙවා පෘථිවියේ පවතින මුහුදු නොවන අතර මෙවැනි  මුහුදු නිර්මාණය වී ඇත්තේ චන්ද්‍රයා බිහිවෙමින් පැවති මුල්  යුගයේදී ලාවා ගැලීම් හේතුවෙන් නිර්මාණය වූ තැනිතලා බවකින් යුක්ත වන ස්ථානයි.

චන්ද්‍රයා නිර්මාණය වී ඇත්තේ පෘථිවියට වඩා ඝණත්වයෙන් අඩු ද්‍රව්‍යය වලිනි. සංසන්ධනාත්මකව දැක්වුවහොත් චන්ද්‍රයාගේ ඝණත්වය පෘථිවි ඝණත්වයෙන් 0.6 ක් පමණ වේ. චන්ද්‍ර අභ්‍යන්තරද (Moon core) පෘථිවියේ මෙන් යකඩ වැනි බැර ලෝහ වලින් සෑදුණු විශාල හරයක්ද නොවේ. චන්ද්‍රයාගේ පිටත පෘෂ්ඨය(Moon crust) 60km පමණ ඝණකම් එකක් වන අතර චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේදී මෙහි ඝණත්වය තරමක් වැඩි බවද සදහන් කල යුතුය. මෙහි පිටත ස්ථරය මූලික වශයෙන් නිර්මාණය වී ඇත්තේ ඉතා සියුම් පස් වලිනි. නිතරම චන්ද්‍ර පෘෂ්ඨය මතට කඩා වැටෙන උල්කා වලින් ඇති වන බලපෑම චන්ද්‍රයා මතුපිට මේ ආකාරයෙන් නිර්මාණය වීමට හේතු වී ඇත. මෙවැනි ලක්ෂණ නිසාම විද්‍යාඥයින් මුලදී සිතුවේ සද මතුපිට තබන ලද ඕනෑම වස්තුවක් ඒ තුලට ගිලගනු ඇති බවයි. නමුත් මෙම මතය සත්‍යය නොවන බව චන්ද්‍රයා මතට මුල් වරට ගොඩ බැස්වීමට යෙදුණු  රුසියානුවන්ගේ ලූනා-2 යානාව මනාවට පැහැදිලි කර දැක්වීමට යෙදුණි. යානයට කිසිදු ආකාරයක එවැනි අපහසුතාවයක්  සිදු නොවූ අතර එහි බර දරා සිටීමට චන්ද්‍ර පෘෂ්ඨයට හැකි විය.

විද්‍යාඥයින් ඉතා ගැඹුරින් අධ්‍යනය කර ඇති, පෘථිවිය හැරුණු කොට ඇති ආකාශ වස්තුව ලෙසටද චන්ද්‍රයා හැදින්විය හැකිය. තවද සෞරග්‍රහ මන්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහ වස්තූන්ගෙන් මිනිසෙකු පා තබා ඇති එකම ආකාශ වස්තුව චන්ද්‍රයා බවද ඔබ හොදින් දනී. චන්ද්‍රයා මතට මුල් වරට මිනිසෙකු ගොඩ බැසීම සිදු වූයේ 1969 ජූලි 20 වන දින, ඇපොලෝ-11 මෙහෙයුම යටතේය. සද මතට මිනිසෙකු ගොඩ බැස්වීමේ සුවිශේෂී කර්තව්‍යය සදහාම විශේෂයෙන් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු යෝධ අපොලෝ වියාපෘතිය හරහා මේ වන විට චන්ද්‍රයා මතට ගෙන ගොස් ඇති ගගනගාමීන් ගණන 12 කි. චන්ද්‍රයා මතට ගගනගාමීන් රැගෙන ගිය අවසාන ඇපොලෝ මෙහෙයුම වූයේ ඇපොලෝ-17 වන අතර සද මත වැඩිම කාලයක් මිනිසුන් රැදී සිටි මෙහෙයුම වන්නේද මෙයයි.

 

චායාරූප: www.nightskyinfo.com හා  http://media-2.web.britannica.com වෙබ් අඩවි ඇසුරෙනි.