සූර්යයා ගැන බිදක්..

පෘථිවියේ සියලු ශක්ති ප්‍රභව වල මූලිකයා මෙන්ම පෘථිවියේ ජීවයේ පැවැත්ම සදහාද ප්‍රභල සාධකයක් වන සූර්යයා, සෞරග්‍රහ මන්ඩලයේ සියලු ග්‍රහයින් තම අණසකට යටත් කොට පවත්වාගනියි. සූර්යයා යනු හුදෙක් ඝණ වස්තුවක් නොව මුලුමනින්ම වායු වලින් සමන්විත විශාල වස්තුවකි. එය තුල පවතිනුයේ මූලික වශයෙන් හයිඩ්‍රජන්(H) සහ හීලියම්ය(He). මෙය විශාල වායුමය වස්තුවක් වූවත් එය ගෝලාකාර ලෙස ස්ථාවරව පවතිනුයේ, සූර්යය කේන්ද්‍රය දෙසට ක්‍රියාත්මක වන ගුරුත්ව බලය සූර්යයා මගින් ඇති කරනු ලබන තාප ශක්තිය මගින් ගොඩනැගෙන බලය මගින් මැඩ පවත්වා ගැනීමෙනි. මෙලෙස ගොඩනැගෙන සමතුලිතතාවය Hydrostatic equilibrium ලෙස හදුන්වයි. සූර්යයා තමන්ගේ තාප ශක්තිය නිපදවා ගන්නේ න්‍යශ්ටික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් ලෙසිනි. එනම් ඉතා සරලව දක්වතොත් හයිඩ්‍රජන් පරමාණු 4ක් එක්කොට  හීලියම් පරමාණුවක් නිපදවීමේ න්‍යශ්ටික ප්‍රතික්‍රියාමය ක්‍රමයෙනි. සූර්යයා සතුව ඇති විශාල හයිඩ්‍රජන් ප්‍රමානයක් පවතින අතර මෙම ප්‍රමාණය සූර්යයා ඉතා විශාල සීඝ්‍රතාවයකින් යුතුව පරිභෝජනය කරනු ලබයි. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි, සූර්යයා සතු මෙම හයිඩ්‍රජන් ප්‍රමාණය තව අවුරුදු බිලියන 5ක පමණ කාලයකට ප්‍රමානවත් වන අතර එතනින් පසු සූර්යයා තම ජීවිතයේ එක් අවධියක් අවසන් කොට ‘රතු යෝධයෙක්'(Red giant) ලෙස හැදින්වෙන අවස්තාවට පත් වනු ඇත.

සූර්යය අභ්‍යන්තරය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, විකිරණ කලාපය(Radiative zone) හා සංවහන කලාපය(Convection zone) ලෙසිනි. සූර්යයාගේ පිටත වායුගෝලයද කොටස් තුනකට බෙදේ. එනම් වර්ණගෝලය(Photosphere), ප්‍රකාශගෝලය(Chromosphere) හා කොරෝනාව(Corona) ලෙසිනි. සූර්යය කොරෝනාව සමාන්‍යයෙන් සූර්යයා පායා ඇති විට දැක ගත නොහැකි නමුත් පූර්ණ සූර්යග්‍රහණයක් පවතින අවස්ථා වලදී ඉතා පැහැදිලිව දර්ශණය වේ. සූර්යය කොරෝනාව නිරීක්ශණය සදහාම නිර්මාණය කර ඇති විශේෂ උපකරණයක් ලෙසට Coronagraph නම් උපකරණය දැක්විය හැකිය. මෙහිදී පූර්ණ සූර්යග්‍රහණයකදී සිදුවන්නාක් මෙන් සූර්යයා කෘතිමව මෙම උපකරණය ආධාරයෙන් අවහිර කරනු ලබන අතර ඊට එපිටින් දර්ශණය වන සූර්යය කොරෝනාව මෙමගින් නිරීක්ශණය කල හැකි වේ.

සූර්යයා මතුපිට දක්නට ලැබෙන අදුරු පැල්ලම් වැනි ස්ථාන හිරු ලප(Sun spots) ලෙස හදුන්වයි. මේවා සූර්යයා මතුපිට පවතින උෂ්ණත්වයෙන් ඉතා අඩු ස්ථාන වේ. මෙවැනි ආකාරයේ අදුරු ලප බිහිවීමේ යාන්ත්‍රණය වන්නේ සූර්යය චුම්භක ක්ශේත්‍රයේ පවතින වෙනස් වීම්ය. හිරු ලප පැවතීම හෝ ඇති වීම ඒකාකාර නොවේ. හිරු ලප ප්‍රමාණය කාලයත් සමග චක්‍රයකට අනුව වෙනස් වේ. මෙම විශේෂ චක්‍රය සූර්ය ලප චක්‍රය ලෙස හැදින්වෙන අතර එක් චක්‍රයක කාලය අවුරුදු 11කි.

සූර්යයාගේ මතුපිටින් එක්වරම පිටත අවකාශයට විහිදී යන විශාල ගිණිදළු, සූර්යය ගිණිදළු (Solar flares) ලෙස හැදින් වේ. මේවායේ ප්‍රමාණයන් විවිධ වේ. ඉතා විශාල සූර්යය ගිණිදළු කිලෝමීටර දහස් ගණනක් දුරට අවකාශයට විහිදී යන අතර හිරු ලප මෙන් සූර්යය ගිණිදළු වල ප්‍රභලත්වයද කාලයත් සමග වෙනස් වේ.

සූර්යයා ඉතා ප්‍රභල, සක්‍රීය වස්තුවක් වන අතර එමගින් එක් තත්පරයක් තුලදී ඉතා විශාල ද්‍රව්‍යය ප්‍රමාණයක් (නිදහස් ඉලෙක්ට්‍රෝන හා අයනීකරණය වූ පරමාණු) පිටත අභ්‍යවකාශයට මුදා හරිනු ලබයි. මෙම සංසිද්ධිය සූර්යය සුලග නම් වේ. සූර්යය සුලග සතුව විශාල වශයෙන් අයනීකරණයට ලක්ව ඇති අංශු පැවතීම හේතුවෙන් ඒවා පෘථිවිය හරහා යාමේදී පෘථිවියේ ජීවයට බලපෑම් ඇති කල හැකිය. නමුත් පෘථිවිය සතුව පවතින ඝණ වායුගෝලය හා ඊට එපිටින් ඇති ‘වෑන් ඇලන් විකිරණ කලාප’ ලෙස හැදින්වෙන සුවිශේෂී ආවරණයේ බලපෑම මත සූර්යය සුලග මගින් පෘථිවියේ ජීවයට ඇති විය හැකි අහිතකර තත්ව බොහෝ දුරට මගහරිනු ලබයි. සූර්යය සුලගේ ප්‍රභලත්වය කාලය සමග වෙනස් වන දෙයකි. සූර්යය සුලග ඉතා ප්‍රභලව පවතින අවස්තාවන් සූර්යය කුණාටු ලෙසද හදුන්වයි.

 

චායාරූප: www.solarviews.com , http://global-warming.accuweather.com හා http://spaceflightnow.com වෙබ් අඩවි ඇසුරෙනි.