නිල් චන්ද්‍රයා

සාමාන්‍යයෙන් එක් මසකට දර්ෂණය වන්නේ එක් පූර්ණ සදක් පමණි. නමුත් මසකට පූර්ණ චන්ද්‍රයින් දෙකක් පිහිටන අවස්ථාවක් ඔබට සිහිපත් කල හැකිද?

ඇත්තටම මසකට පූර්ණ චන්ද්‍රයින් දෙකක් ඇතිවෙන්න පුලුවන්. යම් මාසයක පළවන හෝ දෙවන දින පූර්ණ සදක් දර්ෂණය වන විට එම මාසයේම තවත් පූර්ණ සදක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. මෙලෙස සිදු වන්නේ පූර්ණ චන්ද්‍රයින් දෙකක් අතර කාලය දින 29 1/2 වන බැවිනි. නමුත් මෙම සිදුවීම නිතර සිදු වන්නක් නොවන බව දින දර්ෂණයක් ගෙන පරීක්ෂා කර බැලීමේදී ඔබට පැහැදිලි වේවි. තවද මෙවැනි අවස්ථා ඇතිවන්නේ සමහර අවුරුදු වලදී පමණයි. මේ නිසා මසකට පූර්ණ සදවල් දෙකක් පිහිටීම කලාතුරකින් ඇතිවන සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ තරම්ම වැදගත්කමක් උසුලනවා. මෙලෙස යම් මාසයක දෙවන වරට දර්ෂණය වන පූර්ණ චන්ද්‍රයා ‘නිල් චන්ද්‍රයා'(Blue Moon)ලෙස හැදින් වෙනවා. නමුත් මෙම දිනයේදී චන්ද්‍රයා නිල් පැහැයෙන් දිස් වීමක් සිදුවන්නේ නම් නැහැ. මෙම දෙවන වරට ඇතිවන පූර්ණ චන්ද්‍රයා දර්ෂණය වන්නේත් සාමාන්‍යය පොහොය දිනයකදී චන්ද්‍රයා දර්ෂණය වන ආකාරයටමයි. නමුත් මෙම සංසිද්ධිය නිල් චන්ද්‍රයෙකු ලෙස හැදින්වීමට හේතුව නම් තරමක් අවිනිශ්චිතයි.

ඉහත පැහැදිලි කිරීමට අමතරව නිල් චන්ද්‍රයා සදහා තවත් අර්ථදැක්වීම් කිහිපයක්ද පවතිනවා. මෙයින් එකකට අනුව නිල් චන්ද්‍රයා ලෙස හැදින්වෙන්නේ යම් ඍතුවක පූර්ණ චන්ද්‍රයින් 4ක් ඇතිවන විට එයින් 3 වෙනියට පූර්ණ චන්ද්‍රයෙකු ඇති වන දිනයටයි. වැඩිදුරටත් පැහැදිලි කලහොත්, ඍතුවක් යනු මාස 3 ක කාලයකි. මේ නිසා සාමාන්‍යයෙන් එක් මසකදී එක් පූර්ණ සදක් ඇතිවන බැවින් එක් ඍතුවක් සදහා පවතින්නේ පූර්ණ චන්ද්‍රයින් 3ක් පමණයි. නමුත් අප ඉහත සදහන් කල ආකාරයට එක් මසකදී පූර්ණ සදවල් දෙකක් ඇති වන විට එක් ඍතුවකදී ඇති වන පූර්ණ චන්ද්‍රයින් ගණන 4ක් බවට පත් වෙනවා. මෙවැනි ඍතුවකදී 3වන වරට දර්ෂණය වන පූර්ණ චන්ද්‍රයා ‘නිල් චන්ද්‍රයා'(Blue Moon)ලෙස අතීතයේදී හදුන්වා තිබෙනවා. කෙසේ වෙතත් වර්තමානයේ නිල් චන්ද්‍රයා ලෙස හැදින්වෙන්නේ ඉහත පැහැදිලි කිරීමට අනුව අර්ථදැක්වෙන සංසිද්ධියයි.

1999 වසරේ මාර්තු මාසයේදී දර්ෂණය වූ නිල් චන්ද්‍රයා සංසිද්ධිය

1/03/1999

 

31/03/1999

නිල් චන්ද්‍රයා සංසිද්ධිය දර්ෂණය වන දිනයන්

Year

Month

Date

Time that moon becomes a Full Moon

2001 Nov

1

11h 11m

 

 

30

Dec-1 2h 19m

2004

Jul

2

16h 39m

 

 

31

23h 35m

2007

Jun

1

6h 34m

 

 

30

19h 19m

2009

Dec

2

13h 00m

 

 

31

2010 Jan-1 00h 43m

2012

Aug

2

8h 57m

 

 

31

16h 13m

2015

Jul

2

7h 50m

 

 

31

16h 13m

2018

Jan

2

7h 54m

 

 

31

18h 57m

 

March

2

6h 21m

 

 

31

18h 07m

2020

Oct

1

Oct-2 2h 35m

 

 

31

20h 19m

2023

Aug

1

Aug-2 00h 01m

 

 

31

7h 5m

  • ඉහත සියලු වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත පැය 24 ඔරලෝසු වේලාවෙන් දක්වා ඇත.
  • ඉහත දක්වා ඇති සියලු දිනයන් ශ්‍රී ලංකාවේ අප භාවිතා කරන දින දර්ෂණයන්ට අනුව පොහොය දිනයන් නොවිය හැක. එසේ වන්නේ චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයෙකු බවට පත් වන සෑම දිනයක්ම පොහොය දිනයක් ලෙස නොගන්නා හෙයිනි.
  • චන්ද්‍ර කලාවන් ආරම්භවන වේලාවන්ද සහිත 2009 වර්ෂයේ දින දර්ෂණය පහත පිවිසුමෙන් ලබාගත හැක.

http://documents.gov.lk/Calendar/Calendar-2009/Englihs.pdf

Read More

සෞරග්‍රහ මණ්ඩලය

ක්ෂීරපථය නම්වූ තරු නිහාරිකා පිරිවරා ගත් අති විශාල මන්දාකිණියේ ඉතා කුඩාවූ ස්ථානයක අප සෞරග්‍රහ මණ්ඩලය පවතින බව අපි දනිමු. අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන බලවතා වන්නේ සූර්යයා යි. තවද ඊට අමතරව එයට ග්‍රලෝක 08ක් අයත් වේ.

ඒවා පිළිවෙළින් බුධ,සිකුරු,පෘථීවිය,අඟහරු,බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්,නෙප්චූන් යන ග්‍රහලෝක 08 වේ. තවද මෙය වාමන ග්‍රහලෝක වලින් ද, ඊට අමතරව ග්‍රහක වළල්ලක් මෙන්ම ග්‍රහයන්ගේ උප ග්‍රහයන් ගෙන්ද සමන්විත වෙයි. ප්ලුටෝ,චාරොන්,සෙරස් හා ඒරිස් මෙහි ඇති වාමන ග්‍රහලෝක වේ.

බුධ
මෙය සූර්යයාට ළඟම ග්‍රහයා ය. අවාට බහුළව ඇත. ඉතා තුනී වායුගෝලයක් පවති. උප ග්‍රහයින් නැත.


සිකුරු
සූර්යයාගේ සිට 2ට පවති. ඉතා විශාල වායුගෝලයක් පවති. එහි කාබන්ඩයොක්සයිඩ් වායුව බහුලව පවති. එනිසා හරිතාගාර ආචරණය පවති. මතුපිට උෂ්ණත්වය අධිකය.


පෘථීවිය
සූර්යයාගේ සිට 03 වැනියට පවති. ජීවය පවතී. ජීවය පැවතීමට අවශ්‍ය සියලූ සාධක හොඳින් පවති. උප ග්‍රහයා චන්ද්‍රයා වේ.


අඟහරු
සූර්යයාගේ සිට 04 වැනියට පවති. රතු පාටින් දිස්වෙයි. මීට හේතුව වන්නේ අඟහරු මතුපිට යකඩ ඔක්සයිඩ් (මළකඩ) බහුලව පැවතීමයි. කාබන්ඩයොක්සයිඩ් ඇත. ෆෝබෝස් හා ඩීමෝස් ලෙස උප ග්‍රහයන් දෙදෙනෙකි.


බ්‍රහස්පති
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වේ. ඉතා වේගයෙන් භ්‍රමණය වන්නේ ද මොහුය. භ්‍රමණ කාලය පැය 10කි. උප ග්‍රහයන් රාශියක් ඇත. ඒ අතරින් ගැනිමීඩ් උප ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම උප ග්‍රහයා වේ. ඉතා පැහැදිලි රතු පාට විශාල ලපයක් ඇත එය බ්‍රහස්පතිගේ රතු ලපය නමින් හඳුන්වයි. වායුමය ග්‍රහලොවකි. ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් (H), හීලියම් (He), යන වායු වලින් සෑදී ඇත.


සෙනසුරු
සෞරග්‍රහ මණ්ඩලයේ අලංකාරම ග්‍රහලොව මෙයයි. වළලූ පද්ධතියක් ඇත. තවද සෙනසුරු වායුමය ග්‍රහලොවකි. උප ග්‍රහයන් විශාල සංඛ්‍යාවකි. උදා – ටයිටන්, ඩියෝන්,රිහා
යුරේනස්
සිරසේ සිට අංශක 98ක ඇලවීමක් සහිතව භ්‍රමණය වේ. උප ග්‍රහයන් කීපයකි. ටයිටේනියා, ඒරියල්, අම්බ්‍රයල් ඒ අතර වේ.


නෙප්චූන්
මීතේන් අඩංගු වායුගෝලය නිසා නිල් පාටට දිස්වේ. උප ග්‍රහයන් කීපයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම භූමිය වන, ට්‍රයිටන් උප ග්‍රහයා ඇත. වායුමය ග්‍රහලොවකි.


ග්‍රහක වළල්ල
අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ලක් පවති. මෙහි ග්‍රහක නමින් හැඳින්වෙන විවිධ ප්‍රමාණයේ පාෂාණ කොටස් පවති. මෙම ග්‍රහක වළල්ල අඟහරු ග්‍රහයා හා බ්‍රහස්පති අතර පිහිටා ඇත. මෙහි පරතරය කිලෝමීටර 5503900 පමණ වන අතර පල්ස්,වෙස්ටා හා ජූනෝ යනු එහි ඇති ප්‍රධාන ග්‍රහක 03කි. මෙම ග්‍රහක වළල්ලට ඇතුළතින් ඇති බුධ,සිකුරු,පෘථීවිය,අඟහරු අභ්‍යන්තර ග්‍රහලෝක ලෙසද,මෙම ග්‍රහක වළල්ලට පිටතින් ඇති බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්,නෙප්චූන් බාහිර ග්‍රහලෝක ලෙසින් ද හඳුන්වයි.


වාමන ග්‍රහලෝක හා ප්ලුටෝ
කලින් ප්‍රධාන ග්‍රහලෝකයක් ලෙස පැවති ප්ලුටෝ මෑතකදී වාමන ග්‍රහයෙක් ලෙස වර්ග කර ඇත. එරිස් ලෙස හඳුන්වන නව ග්‍රහ වස්තුවක් මෙලෙස වාමන ග්‍රහලෝක ලෙස නව වර්ගීකරණයක් ඇති කිරීමට ප්‍රධාන හේතුව විය. මෙහිදී ප්ලුටෝට තම සෞරග්‍රහ මණ්ඩලයේ 9වන ස්ථානය අහිමි වී වාමන ග්‍රහලෝක ලෙස හැඳින්වෙන වර්ගයට අයත් වීමට සිදුවිය. තවද මෙහිදී ප්ලුටෝගේ උපග්‍රහයා ලෙස පැවති චාරොන් ද, ග්‍රහක වළල්ලේ විශාලතම ග්‍රහකය ලෙස පැවති සෙරස් ද, අලූතින් සොයාගත් ඒරිස් ද වාමන ග්‍රහලෝක ලෙස කෙරිණි.
මෙම සියලූම ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ග වල ගමන් කරයි. තවද මේවාට සූර්යයා වටා සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලයද එකිනෙකට වෙනස් ය. එපමණක් නොව මීට අමතරව අප සෞරග්‍රහ මණ්ඩලයද ක්ෂීරපථ මණ්දාකිණිය වටා ගමන් කරයි. මෙම ගමන් කරන වේගය තත්පරයට කිලෝමීටර 200ක් පමණ වන අතර එක් වටයක් ගමන් කිරීමට වසර මිලියන 240ක පමණ කාලයක් ගතවේ.


චන්ද්‍රයා
චන්ද්‍රයා හෙවත් සඳ යනු අප නිවහන වන පෘථීවියේ උප ග්‍රහයාය. එය පෘථීවිය වටා පරිභ්‍රමණය වන එකම ස්වාභාවික චන්ද්‍රිකාව යි. චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය මෙන්ම පරිභ්‍රමණ කාලයද දින 29.5 වන එකම අගයකි. මේ හේතුව නිසා අපට සෑම විටම පෙනෙන්නේ සඳේ එක් පැත්තක් පමණි. චන්ද්‍රයාගේ පෘෂ්ටයේ අවාට බහුල වන අතර චන්ද්‍රයා සතුව වායුගෝලයක්ද නොමැත. වර්ෂ 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් ඇපලෝ 11 යානය මගින් සඳ වෙත ගොස් ප්‍රථමයෙන්ම සඳ මත පා තබන ලදී. සඳේ උපත පිළිබඳව ද ප්‍රධාන මත 04ක් පැවතුනද, දැනට වඩාත් එයින් වඩාත් පිළිගන්නා මතය වී ඇත්තේ මහා ගැටුම් කල්පිතයයි.


වල්ගාතරු
සෞරග්‍රහ මණ්ඩලයේ වල්ගාතරු ලෙස හැඳින්වෙන වස්තූන් විශේෂයක් ද පවති. මේවා ප්‍රධාන වශයෙන්ම ඇතිවන්නේ ඌට් වළාවේ හා කුයිපර් පටියේ ඇති වස්තූන් ගෙනි. අප සෞරග්‍රහ මණ්ඩලය වටකරමින් යෝධ වළා පටලයක් පවති මෙය ඌට් වළාව ලෙස හැඳින්වේ. තවද නෙප්චූන් ග්‍රහලොවට පිටතින් කුයිපර් පටිය නම් ප්‍රදේශයක් පිහිටයි. මෙම ඌට් වළාව හා කුයිපර් පටිය තුළ කුඩා හිම බෝල වැනි පාෂාණ කැබලි පවති. එම සමහර පාෂාණ කැබලි ඌට් වළාවෙන් හා කුයිපර් පටියෙන් ඉවතට පැමිණ සූර්යයා වටා ගමන් කිරීම අරඹයි. මේවා සූර්යයාට ළං වන විට ඒවායේ තිබූ මිදුනු හිම වාශ්ප වී ගොස් දිගු වල්ගයක් ලෙස දිස් වේ. මෙවිට මෙය වල්ගා තරුවක් ලෙස හඳුන්වයි.


උල්කාපාත
රාත්‍රි කාලයේ අහස නිරීක්ෂණය කිරීමේදී එකවරම කඩා වැටෙන තරු මෙන් ආලෝකය විහිදුවමින් එකවරම නැතිවී යන එළි දැකීමට හැකිවේ. මේවා උල්කාපාත ලෙස හැඳින්වේ. සෞරග්‍රහ මණ්ඩලයේ තැනින් තැන පිහිටි කුඩා පාෂාණ කැබලි පෘථීවියේ ගුරුත්වාකර්ෂණයට හසුවී පෘථීවිය තුළට ගමන් කිරීමට පටන් ගනි. මේවා පෘථීවි වායුගෝලය හරහා ගමන් කිරීමේදී ඇතිවන ඝර්ෂණයෙන් දැවී යයි. එවිට මේවායෙන් ආලෝකය විහිදෙන අතර එවිට එය උල්කාපාතයක් ලෙස හඳුන්වයි.


චන්ද්‍රිකා
ග්‍රහලොවක් වටා කක්ෂගත වී පෘථීවිය වටා පරිභ්‍රමණය වන වස්තු චන්ද්‍රිකා වේ. සඳ යනු පෘථීවිය වටා පරිභ්‍රමණය වන ස්වාභාවික චන්ද්‍රිකාවයි මීට අමතරව පෘථීව්ය වටා පරිභ්‍රමණය වන මිනිසා විසින් නිපදවා අභ්‍යවකාශ ගත කළ කෘතිම චන්ද්‍රිකා පවති. මේවා චන්ද්‍රයා මෙන් පෘථීවිය වටා විවිධ වේග වලින් පරිභ්‍රමණය වේ. මෙම චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව ප්‍රථම වරට ලොවට මතයක් ඉදිරිපත් කලේ ලාංකික තාරකා විද්‍යාඥයෙකු වන ශ්‍රිමත් ආතර් සී ක්ලාක් මහතා විසිනි. ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව ස්පුට්නික් 1 නම් චන්ද්‍රිකාවයි. එය වර්ෂ 1957 දී රුසියාව මගින් ගුවන්ගත කරන ලදී. අභ්‍යාවකාශ යුගයේ ආරම්භයද ස්පුට්නික් 1 අභ්‍යාවකාශ ගත කිරීම සමග සිදුවීය. චන්ද්‍රිකා මගින් ඉටු වන සේවාවන් ද රාශියකි. ලොව පණිවුඩ හුවමාරු කිරීම, කාලගුණික තොරතුරු ලබා ගැනීම, විවිධ ග්‍රහක ග්‍රහලෝක ගැන පරික්ෂණ සිදුකිරීම ඉන් සමහරකි. මෙම චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයේ පණිවුඩ හුවමාරුව ඉතා ශීඝ්‍ර ලෙස සිදුකිරීමට ඛෙහෙවින් ඉවහල් වී ඇත.

Read More

පෘතුවි භ්‍රමණය පෙන්වන අවලම්බය

පෘතුවිය නිෂ්චලය, ඉර හද අතුලු තාරකා පෘතුවිය මැදිකරගත් ගෝලයක් ආකාරයෙන් පෘතුවිය වටා කරකැවෙයි. මේ පැරණි දාර්ශනිකයන් බොහෝ විට ග්‍රීසියේ විසූවන් නිර්මාණය කරගෙන තිබූ සෞරග්‍රහ මන්ඩලය පිලිබද ආකෘතියයි. ක්‍රි.පු. 310-230 අතර කාලයේ විසූ ඇරිස්ටාකස්(Aristacas) නම් විද්වතා පෘතුවිය ඇතුලු ග්‍රහවස්තු පිලිබද දැරූ මතය එකල පැවති මතයෙන් බොහෝ වෙනස් වන්නේ පෘතුවිය පිහිටි තැන සූර්යාට දීමත් පෘතුවිය සූර්යා වටා පරිභ්‍රමණය වනවා යැයි ප්‍රකාශ කිරීමත් නිසාය. ඔහුට පසුව බිහිවූ හිපාකස්(Hipparchus) හා ටොලමි(Ptolemy) වැනි දාර්ෂනිකයන් ඇරිස්ටාකස්ගේ ආකෘතිය තරයේ ප්‍රතික්ෂේප කලේ කරුණු දෙකක් හේතුවෙනි. පලමුවැන්න තරු වලට අසම්පාත කෝණයක් නොතිබීමයි. දෙවැන්න පෘතුවිය බ්‍රමණය වන්නේ නම් එය අපට නොදැනෙන්නේ ඇයි ද යන ප්‍රශ්ණයයි.

මෙම ප්‍රශ්ණ දෙකට කිසිවෙකුටත් පිලිතුරු දීමට නොහැකි වූ නිසා භූකේන්ද්‍ර වාදය බොහෝ කාලයක් විවාදයකින් තොරව පැවතිණි. භූකේද්‍රවාදය බිද වැටෙන්නේ නිකලස් කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍ර වාදය නමැති නව චින්තනය ඔස්සේ සිදුවන කෙප්ලර්, ගැලීලියෝ, නිව්ටන් වැනි විද්වතුන්ගේ නිරීක්ෂණ හා සොයාගැනීම් හරහාය. කෙසේ නමුත් විවිධ හැල හැප්පීම් මත සූර්ය කේන්ද්‍ර වාදය අද වන විට ස්ථාපනය වී තිබුණත් මෙම ආකෘතියේ පෘතුවි භ්‍රමණය පෙන්වීමට පරික්ෂණාත්මක ක්‍රමයක් 1851 වසර වන තෙක් ඉදිරිපත් වූයේ නැත. එවැනි සුවිෂේශී සොයාගැනීමක සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ තනි පුත්ගල‍‍යකුටය. ඔහු නමින් Jean Bernard Leon Foucault ය.

 


කව්ද මේ ජේන් ෆෝකල්ට්?

 

ජේන් ෆෝකල්ට් උපත ලැබුවේ 1819 සැප්තැම්බර් 18 වැනිදාය. ඔහු ප්‍රංශ ජාතිකයෙකි. කුඩා කල යාන්ත්‍රික සෙල්ලම් බඩු නිපදවීමේ මහත් ඇල්මක් දැක්වූ ඔහු ඉගෙන්ගත් විෂය ක්ෂේත්‍රය වූයේ වෛද්‍යය විද්‍යාවයි. නමුත් පසු කලකදී ඔහු වෛද්‍යය විද්‍යාව අතහැර භෞතික විද්‍යාව කෙරෙහි යොමු වූවා පමනක් නොව අවසානයේදී ශ්‍රේෂ්ට භෞතික විද්‍යාඥයකුද විය. ඔහුගේ කීර්ති නාමය භෞතික විද්‍යාවේ ක්ෂේත්‍ර කිහිපයක් අතර පැතිර පවතී. සූර්යා චායාරූපගත කල පලමු විද්‍යාඥයා වීම, ආලෝකයේ වේගය නිවැරදිව නිර්නය කිරීම, ප්‍රකාෂ උපකරණ වැඩි දියුණු කිරීම හා Gyroscope මූලධර්මය ඉන් කිහිපයකි. නමුත් ජේන් ෆෝකල්ට් වඩාත් ප්‍රසිද්ධ වන්නේ පෘතුවිය භ්‍රමණය වන බව පෙන්වීමට කල පරීක්ෂණයක් හේතුවෙනි.

පරීක්ෂණය කලේ මෙහෙමයි.

ජේන් තම පරීක්ෂණයට යොදා ගත්තේ සරල මූලධර්මයකි. රූපය 2 දෙස බලන්න. එහි විශාල අර්ධ ගෝලයෙන් දක්වා ඇත්තේ පෘතුවි උත්තරධ්‍රැවයයි. ඒ මත රූපයේ ආකාරයට විශාල කනු දෙකක් අධාරයෙන් විශාල අවලම්බයක් එල්වා ඇතැයි සිතන්න. අපට මෙම අවලම්භයට එක් සිරස් තලයක දෝලනය වන ලෙස බලයක් ලබා දිය හැකිය. වාත ප්‍රතිරෝධයක් නැත්නම් දෝලනය වීම විශාල කාලයක් පුරා පවතී. ඔබ මෙම ඇටවුමේ නිරීක්ෂකයා යැයි සිතන්න. පැය කිහිපයකට පසු ඔබ දකින නිරීක්ෂණය කුමක් විය හැකිද? උදාහරණයක් ලෙස අවලම්බය එය රදවා ඇති ආධාරකයේ තලයට ලම්භක තලයක දෝලනය වෙමින් පැවතියා යැයි සිතුවහොත් පැය කීපයකට පසු අවලම්භය පවතින තලය කලින් තිබූ ආකාරයෙන් වෙනස්ව පවතින බව නිරීක්ෂණය කල හැකිය. මෙවැනි නිරීක්ෂණයක් ලැබීමට නම් අවලම්බය මත බාහිර බලපෑමක් ක්‍රියාත්මකව පැවතිය යුතුය. නමුත් ඉහත විස්තර කල ආකාරයට එවැනි බාහිර බලපෑමක් නොතිබුන බවද අපි දනිමු. මේ නිසා අපට එක් නිගමනයකට එලබීමට සිදු වේ. එනම් අවලම්බයේ චලිත තලය නොවෙනස්ව තිබියදී ආධාරකය පවතින තලය වෙනස් වීමයි. නමුත් ආධාරකය පොලොවට හොදින් සම්බන්ධය. මේ නිසා පොලොවේ පිහිටීම වෙනස් විය යුතුය. ලැබුණු නිරීක්ෂණයට හේතුව අන් කිසිවක් නොව පෘතුවියේ භ්‍රමණයයි. රූපය 2 හි අවලම්බය පහල රේඛා ලෙස සටහන්ව ඇත්තේ අවලම්බ බට්ටාගේ ගමන් මාර්ගයයි.

පෘතුවිය තමා වටා එක් වටයක් ගමන් කිරීමට පැය 24 පමණ ගතවේ. එවිට පැය 24 කදී අවලම්බය මගින් අදින රේඛා සම්පූර්ණ වෟර්තයක් පුරා පැතිරෙයි. වෙනත් ආකාරයකින් කිවහොත් අවලම්බයේ තලය ආධාරකයේ තලයෙන් අංශක 360ක විස්තාපනයක් පෙන්වයි. මෙම පරීක්ෂණය පෘතුවියේ සමකය අසලදී සිදු කලහොත් කුමක් සිදු වේද? මෙවිට කලින් ආකාරයේ වෙනසක් සිදු නොවන බව පැහැදිලි වේ. එවිට පැය 24 ක් ගත වුවත් අවලම්බයේ චලිත තලය එකම වෙයි. නමුත් ප්‍රශ්ණය වන්නේ මෙම පරික්ෂණය පෘතුවියේ ඉහත ස්ථාන දෙක අතර තැනකදී සිදු කලහොත් කුමක් වේද යන්නයි. මෙවිට පෘතුවියේ උත්තරධ්‍රැවය මෙන් අවලම්බය විස්තාපනය වන කෝණය අංශක 360 නොවේ, 0 ද නොවේ. නමුත් ඒ අතර අගයකි.

ගණිතමය ලෙස විස්තර කරන්නේ නම් එම කෝණයේ අගය n= 360 sinӨ යන සම්බන්ධතාවයෙන් ලැබේ. n යනු අවලම්බ තලය පෘතිවිය එක් වටයක් භ්‍රමනය වන විට විස්තාපනය වන කෝණයයි.

ෆෝකල්ට් මූලධර්මය මගින් පෘතුවියේ භ්‍රමණය පරීක්ෂණාත්මකව පෙන්වීම සදහා සුදුසුම ස්ථානය වන්නේ පෘතුවි උත්තරධ්‍රැවයයි. නමුත් ජේන් ෆෝකල්ට් තම පරීක්ෂණය සිදු කලේ 1851 දී පැරීසියේ දේවස්ථානයකදිය. ඔහු මේ සදහා යොදා ගත් අවලම්බය 28kg ස්කන්ධයකින් යුත් ගෝලයකින් හා 67m පමණ දිග ලණුවකින් සැදි එකක් විය. මෙය අද ෆෝකල්ට් අවලම්බය (Foucault Pendulum) නමින් හදුන්වයි. ඇටවුමට ආධාරකය වූයේ දේවස්තානයේ විශාල උසකින් යුත් වහලයි. විශාල ස්කන්ධයකින් යුත් ගෝලයක් අවලම්බ බට්ටා ලෙස ගැනීමට හේතුව වූයේ වාත ප්‍රතිරෝධය නිසා ඇති විය හැකි බලපෑම අවම කිරීමටය. දේවස්තානය තුල සිදු කල නිසා ඒ බලපෑම තවත් අඩු වෙයි.
එල්ලා තැබීම සදහා විශාල දිගක් යොදාගැනීමටද හේතුවක් ඇත. ඒ දිග වැඩි වන තරමට අවලම්බයේ කාලාවර්තයද ව්ශාල වන බැවිනි. අවලම්බ තලයේ විස්තාපනය සටහන් කිරීම සදහා යොදාගත්තේ විශාල තෙත් කල වැලි පුවරුවකි. ගෝලයේ පහල කෙලවරට සම්බන්ධ කල කුඩා තුඩක් මගින් වැලි පුවරුවේ එහි චලිතය සටහන් විය.


ජේන් ෆෝකල්ට් පරීක්ෂණය සිදු කල ස්ථානය හා පරීක්ෂණ ඇටවුම

ඔබ භෞතික විද්‍යාවේදී සරල අවලම්භය ඉගෙනගෙන ඇත්නම් Foucault Pendulum හි ආවර්ත කාලය ගණනය කර බැලිය හැක.

ජේන් තම පරීක්ෂණය සිදු කල ස්ථානයට පෘතුවි සමකයේ සිට ඇති කෝණය අංශක 48.6 කි. මෙහිදී අවලම්බයේ චලිත තලය වෙනස් වූයේ කුමන කෝණයකින් දැයි ගණනය කර දක්වන්න.

පිලිතුර
n= 360 sinӨ අනුව
n= 360 sin 48.6◦
n= 360 sin 48◦ 36′
n= 270.07◦

මේ අනුව ජේන් ෆෝකල්ට් පරීක්ෂණය කල ස්ථානයේදී අවලම්බයේ භ්‍රමණ තලය පැය 24 කදී අංශක 270.07 කෝණයකින් විස්තාපනය වී ඇත.

 

Read More