ග්‍රහණ ඉතිහාසය

තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබදව නිවැරදි, තර්කානුකූල වටහා ගැනීමක් නොතිබූ ආදී මිනිසා, වරින්වර ඇති වූ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ සලකන ලද්දේ අත්භූත සිද්ධීන් ලෙසය. ඔවුන් මෙවැනි සිද්ධීන් තමන්ට නරක කාලයන් උදා කරන්නන් ලෙස සැලකූ අතර ඒවා නැරබීමටද මහත් බියක් දැක්වූ බවටද සදහන් වේ.

විවිධ සංස්කෘතීන් හරහා පැවතගෙන එන පුරාවෟත වල සදහන් වන පරිදි ග්‍රහණ ඇති වීමේදී චන්ද්‍රයා හෝ සූර්යයා අවහිර කර ඇත්තේ යම් ආකාරයක සත්වයෙකු විසිනි. මෙහිදී ඉන්දියානුවන්, චීන ජාතිකයන් හා ඉන්දුනීසියානුවන් මකරෙකු පිළිබදවත්, වියට්නාම ජාතිකයින් විශාල ගෙම්බෙකුද, ආර්ජන්ටිනාවේ වෙසෙන්නන් ජගුඅර්(Jaguar) නම් දිවියන් වර්ගයට අයත් සත්වයකුද, සයිබීරියානුවන් වැම්පයර්(Vampire) ලෙස හැදින්වෙන ලේ උරා බොන සත්වයෙකුද, යනාදී වශයෙන් සත්වයින් ග්‍රහණ ඇති කිරීමට හේතු වන බවට විශ්වාස කර ඇත.

අද යුගයේ සෑම අයෙකුටම වාගේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු කුමන ආකාරයක සංසිද්ධීන්ද යන්න පිළිබදව යම් කිසි ආකාරයක හෝ අවබෝධයක් පවතී. මේ නිසා අද යුගයේ ජීවත් වන බොහෝ දෙනා ග්‍රහණ තවදුරටත් නරක විපත් ආදිය හෝ බිය උපදවන සංසිද්ධීන් ලෙස නොසලකන අතර චන්ද්‍රග්‍රහණ  හා සූර්යග්‍රහණ යනු දුර්ලභ, තම ජීවිතයේ එක් වරක් හෝ අත්දැකිය යුතු පුදුමය දනවන සිද්ධීන් ලෙස හැදින්වීමට පුරුදුව සිටී.

ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධ ග්‍රහණ කිහිපයක් හා ඒ හා බැදුනු තවත් තොරතුරු පිළිබදව පහත දැක්වෙයි. වරින්වර සිදුවූ මෙවැනි ග්‍රහණ පිළිබදව ලොව විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවෙන් එවැනි ආකාරයක  සටහනක් හමු නොවේ.

  • සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ පිළිබදව ඇති පැරණිතම සටහනක් පිළිබදව නිවැරදි තොරතුරක් නොමැති වූවත්, හදුනාගෙන ඇති පරිදි පැරණිතම සටහන ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 2134 ඔක්තෝම්බර් 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන චීනයෙන් වාරතා වන සටහනකි.
  • බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් ක්‍රි.පු. 700 සිට ක්‍රි.පු. 50 දක්වා හ්‍රහණ පිළිබදව අධ්‍යනය කල බවට සාධක ඇති අතර සාරෝස්(Saros) චක්‍රය ලෙස අද අප හදුන්වන ග්‍රහණ චක්‍රය මුල්වරට හදුනා ගත් පුත්ගලයින් ලෙස බැබිලෝනියානු ජාතිකයින් දැක්විය හැකිය. ග්‍රහණ ඇති වීමේ රටාවන් පිළිබදව ලොව පැවති තවත් ශිෂ්ටාචාර වලින් තොරතුරු සටහන් වී ඇති නමුත් එවැන්නක් පිළිබදව ඉතා පැහැදිළි සටහනක් පවතින්නේ බැබිලෝනියානුවන් සතුවය.
  • මිලේටස් හි තෙලේස් ලෙස හැදින්වෙන ප්‍රසිද්ධ දාර්ශණිකයා බැබිලෝනියානුවන්ව අධ්‍යනය කර ක්‍රි.පු. 585 මැයි මාසයේ 28 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවිය හැකි බවට අනාවකි පලකොට ඇත. මෙය සිදුවී ඇත්තේ මැද පෙරදිග රටවල් දෙකක් යුද වදින සමයකදී වන අතර මේ සූර්යග්‍රහණයෙන් එකල මිනිසා කොතරම් බියට පත් වූවා දැයි කිවහොත් මේ නිසා යුද්ධ කිරීම නවතා සාමකාමී වීමටද මෙය හේතු වූ බවටද සටහන් වේ. තවද මෙය ඉතිහාසයේ සිදු වූ ප්‍රසිද්ධම සූර්යග්‍රහණය ලෙසද හැදින්වේ.
  • 1453 මැයි 29 වන දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව කොන්ස්තන්තිනෝපල්  නගරයෙන් වාර්තා වන අතර එතැන් සිට දින කිහිපයකට පසුව කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි හමුදාවන්ට යටත් වීමට මෙම චන්ද්‍රග්‍රහණය හේතු වූ බවද සදහන් වේ.
  • කොලොම්බස් ඔහුගේ පස් වන ගවේශණයේදී, 1504 පෙබරවාරි 29 දින සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබදව වාර්තා කරයි.
  • 1999 අගෝස්තු 11 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය, 20 වන සියවසේ සිදු වූ අවසාන සූර්යග්‍රහණයයි. ඉතිහාසයේ, ආදී මිනිසා සූර්යග්‍රහණ වලට ඉතා බියකින් පසු වූවාක් මෙන් මෙම සියවස තුල සිදු වූ මේ අවසාන පූර්ණ සූර්යග්‍රහණය පිළිබදව මිනිසුන් තුල පැවතියේ එය දරුණු විපත් ලගා කරවිය හැකි ආකාරයේ සිද්ධියක් විය හැකි බවයි. නමුත් එවැනි විපත් පිළිබදව වාර්තා නොමැත. කෙසේ වෙතත් තර්කාණුකූලව බලන කල මෙය 20 වන සියවසේදී සිදුවූ අවසාන සූර්යග්‍රහණය නොවන බවද පෙන්විය හැකිය. එනම් 21 වන ශතවර්ශය ආරම්භ වන්නේ වසර 2000 දී නොව 2001 දීය. ඊට හේතුව බිංදුව ලෙස වසරක් ගණනය කොට නොතිබීමයි.

 

Read More

විශ්වයේ තතු සොයන දුරේක්ෂවල තාක්ෂණය -1

පසුගිය ලිපිපෙළකින් දුරේක්ෂවල එදා ඉතිහාසය හා ක්‍රමයෙන් වර්ධනය වී අභ්‍යාවකාශ දුරේක්ෂ දක්වා ආ ගමන්මඟ පිළිබඳව සාකච්ඡා කලෙමු.එමඟින් දුරේක්ෂ ප්‍රාථමික අවධියේ සිට එය වර්ධනය වූ ආකාරයත් පුරෝගාමී වූ පුද්ගලයින් යනාදිය පිළිබඳවත් අවබොධයක් ලැබෙන්නට ඇතැයි සිතමි.මෙම ලිපියේ සිට දුරේක්ෂවල යාන්ත්‍රනය හා ඒහා සබැඳි තාක්ෂණය පිළිබඳත් දුරෙක්ෂ වල වර්ගීකරණය පිළිබඳව විමසා බලමු.

 

දුරේක්ෂක් යනු………..

දුරේක්ෂයක් යනු කෙටියෙන්ම හැදින්වූවහොත් දුර ඇති දේ ලංකර නිරීක්ෂණය කළ හැක. නමුත් එම නිර්වචනය එතරම් සාධාරන යැයි කීව නොහැක. ඒ කෙසේද යත් දුරේක්ෂයක් තුලින් ඊට වඩා වැදගත් තොරතුරු ලබා ගත හැකි බැවිනි.ඒ අනුව දුරේක්ෂක් යනු විද්යුත් චුම්භක තරංග ඔත්සේ වස්තුවක විවිධ වූ තොරතුරු ග්රහණය කරගන්නා මෙවලමක් ලෙස හැදින්වීමට වඩා සාධාරණ වේ.(ඇතැම් විට පොළව යට ස්ථාපණය කර ඇති නියුට්රිනෝ අනාවරකද දුරේක්ෂ ලෙස හඳුන්වයි.ඊට හේතු වන්නේ ඒවාද සූර්යයාගේ සිට පෘථිවියට පැමිනෙන  නියුට්රිනෝ අංශු අනාවරනය කිරීමට නිර්මානය කර ඇති නිසාය ).

විද්‍යුත් චුම්භක වර්ණාවලිය (Electromagnetic Spectrum)

භූගත නියුට්රිනෝ අනාවරක (Neutrino Detectors)


දුරේක්ෂ වර්ගීකරණය……

17 වන ශතවර්ෂයේ මුල් කාලයේ සිට වර්ථක දුරේක්ෂ මඟින් ඇරඹි පසුව පරාවර්ථක දුරේක්ෂද, රේඩියෝ දුරේෂද ආදී ලෙස විවිධ ව්‍යුහයන් ( කාච සැකැස්ම, දර්පණ සැකැස්ම ලෙස ) යටතේ දුරේක්ෂයන් නිර්මාණය කෙරිණි.මෙසේ විවිධාංගීකරණය යටතේ දුරේක්ෂ නිර්මාණය වීමත් සමඟ ඒ පිළිබඳ කතා බහ කිරීමේදී අධ්‍යනය කිරීමේ පහසුව උදෙසා දුරේක්ෂ  වර්ගීකරණය ලොවට බිහිවිය.

දුරේක්ෂ පිළිබඳ සමස්ත වර්ගීකරණය ඉදිරිපත් කිරීමට ප්‍රථම යමක් සඳහන් කලයුතුය. එනම් ලෝකයේ දැන්ට විවිධාකාරයේ වූ දුරේක්ෂ වර්ගීකරණයන් ඇති බවය.දුරේක්ෂ පිහිටි ස්ථාන අනුව ඒවා  යමක් විශේෂයෙන් නිරීක්ෂණය කිරීමට නිර්මාණය කර ඇතිද යන්න  ආදී පදනම් කරගෙන දුරේක්ෂ වර්ගීකරනයක් පවතී.උදාහරණ :

  • පිහිටි ස්ථානය අනුව වර්ගීකරණය

අභ්‍යාවකාශ දුරෙක්ෂ / භූ දුරේක්ෂ / අහස මුදුනට යොමු වූ දුරේක්ෂ

  • විශේෂයෙන් යමක් නිරීක්ෂනය කිරීම සඳහා

සූර්ය්‍ය දුරේක්ෂ / ග්‍රහලෝක නිරීක්ෂනය කරන දුරෙක්ෂ

මෙසේ වර්ගීකරණය  කර ඇතත් මේවා සුළු වර්ගීකරණයන් වේ. නමුත් දුරේක්ෂ ගැන අධ්‍යනය කරන විට ප්‍රධාන වර්ගීකරණයට අමතරව මෙම සුළු වර්ගීකරණය පිළිබඳව අවබෝධ කරගෙන තිබීම වඩා පහසුවේ.

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය

ඇටකමා කාන්තාරයේ පිහිටි  Very Large Telescope (VLT)

Arecibo රේඩියෝ නිරීක්ෂණාගරය

ස්වීඩනයේ පිහිටා ඇති Swedish 1-m සූර්යය නිරීක්ෂණාගාරය

ග්‍රහලෝක නිරීක්ෂණය කරණ ස්පිට්සර්  (Spitzer) අභ්‍යාවකාශ දුරේක්ෂය

ප්‍රධාන වර්ගීකරණය

මෙහිදී ප්‍රධාන වශයෙන් දුරේක්ෂවල ව්‍යුහයන් කිරන සටහන් යොදා ගන්නා ප්‍රකාශ කොටස් (කාච, දර්පණ ) හා නිරීක්ෂණය කරනු ලබන්නේ කුමන තරංග විශේෂයද යන්න පදනම් කරගෙන මෙම වර්ගීකරණය ඉදිරිපත් කර ඇත.

දුරේක්ෂ වර්ගීකරණය (විශාල කර බැලීමට රූප සටහන මත ක්ලික් කරන්න )

මෙම එක් එක් දුරේක්ෂ වර්ග හා  ඒවායේ භාවිත පිළිබඳවතවත් දුරේක්ෂ පිළිබඳ තොරතුරු පසු ලිපිවලින් බලාපොරොත්තු වන්න.

Read More

විශ්වය ලොවට විවරකල දුරේක්ෂයක කථාපුවත -3

පසුගිය පළමු හා දෙවන ලිපි 2ක මගින් දුරේක්ෂවල ප්‍රථම යුගයන් 2ක පිළිබඳව අප ඔබට සමිප කළෙමු. මෙම ලිපිය මඟින් අප විසින් 3 වන යුගය පිළිබඳ තොරතුරු විමසා බලමු.මෙතෙක් කලක් එනම් 1931 වනතෙක් ප්‍රකාශ යුගය හෙවත් දෘශ්‍ය ආලෝකය භාවිතා කරමින් පමණක් නිරීක්ෂණ කරන්නට යෙදුනත් ඉන් ඔබ්බට අනෙකුත් විද්‍යුත් චුම්භක තරංග භාවිතා කරමින් නිරීක්ෂණ කිරීමට තාරකා විද්‍යාඥයින් පෙළඹුනි.

 

1931 වන විටත් මිනිසා රේඩියෝ තරංග ප්‍රායෝජනයට ගනු ලැබූවත් මෙම තරංග තාරකා විද්‍යාත්මක නිරීක්ෂණයන් සඳහා උපයෝගී කරනොගත්තේය. ඊට හේතුව වූයේ එකල ආකාශ වස්තූන් මඟින් විමෝචනය කරන විවිධ වූ තරංග, විකිරණ පිළිබඳව හරියමන් නිවැරදි අවබෝධයක් විද්‍යාඥයින් තුල නොමැතිවීමයි. නමුත් මෙම තත්වය වෙනස් කරමින් කාර්ල් ජැන්ස්කි (Karl Jansky) විසින් ප්‍රථම වරට ක්ෂීරපථය මඟින් රේඩියෝතරංග නිකුත් වන බව හඳුනා ගන්නා ලදී. ඒ අනුව තාරකා විද්‍යාවේ දුරේක්ෂ ඉතිහාසයේ තවත් පරිඡේදයක් සළකුණු කිරීමට ජැන්ස්කී සමත් විය.

කාර්ල් ජැන්ස්කි (Karl Jansky) ඔහු විසින් භාවිත කල රේඩියෝ ඇන්ටනාව

මෙයින් පසුව 1937 වන විට ප්‍රථම වරට රේඩියෝ දුරේක්ෂයක් නිපදවීමට ග්‍රොට් රෙබර් (Grote Reber) සමත්විය. මෙකළ රේඩියෝ තරංග ග්‍රහණය කරගත හැකි ඇන්ටනා ආදිය පැවැතුනත් තාරකා විද්‍යාවට රේඩියෝ දුරේක්ෂයක් නිර්මාණය කර නොතිබිනි.

ග්‍රොට් රෙබර් (Grote Reber) ඔහු විසින් භාවිත කල රේඩියෝ ඇන්ටනාව

මෙම රේඩියෝ දුරේක්ෂය මඟින් එකළ පැහැදිලි කිරීමට නොහැකි වූ විවිධ රේඩියෝ තරංග නිකුත් කරන විවිධ ආකාශ වස්තු හඳුනා ගැනීමටද ඔහු සමත් විය.

මෙසේ විශ්වයේ සිට පැමිණෙන රේඩියෝ තරංග පිළිබඳ අවබෝධ වීමෙන් පසුව ක්‍රමයෙන් අනෙකුත් තරංග (පාරජම්බුල, X- කිරණ ,ගැමා කිරණ ) පිළිබඳව අවබෝධ කරගැනීමට විද්‍යාඥයින් සමත්විය. ඒ අනුව 1948දී සූර්යාගේ සිට පැමිණෙන X-කිරණ ද, 1962 දී පාරජම්බුල කිරණද හඳුනා ගන්නාලදී. එසේම 1960දී පමණ සිට ගැමා කිරණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවත් නියමිත ගැමා කිරණ තාරකා විද්‍යාව ආරම්භවන්නේ 1967දී, OSO-3 (Orbiting Solar Observatory) නැමති අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය යැවීමත් සමඟය.

OSO-3 (Orbiting Solar Observatory)

එසේම රේඩියෝ තාරකා විද්‍යාව යටතේ 1964 අන්තරීක්ෂ ක්ෂුද්‍ර පසුබිම් විකිරණය (Cosmic Background Radiation) අහම්බුලෙස මෙන් හඳුනාගන්නා ලදී. ඒ රොබට් විල්සන් හා ආර්නෝ පෙන්සියාස් (Robert Wilson and Arno Penzias) යන විද්‍යාඥයන් විසිනි. මෙයද තාරකා විද්‍යාවේ වැදගත් සංදිස්ථානයක් ලෙස හැදින්විය හැකිය.

රොබට් විල්සන් හා ආර්නෝ පෙන්සියාස් –පසුතලයේ ඔවුන්ගේ රේඩියෝ දුරේක්ෂය

රේඩියෝ තරංග පෘථිවියට පාරදෘෂ්‍ය වූවත් X-කිරණ ආදී අධිශක්ති විකිරණ පෘථිවියට පාරඅන්ධවේ. එහෙයින් ඒවා නිරීක්ෂණයට අභ්‍යාවකාශයට යා යුතුයි. ඒ අනුව මෙම අධිශක්ති විකිරණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙන්නේ 1957න් පසු චන්ද්‍රිකා යුගයෙන් පසුවබව පැහැදිලිය. එමෙන්ම මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් ඇත, එනම් 1948 සූර්ය X-කිරණ හසුකර ගනු ලැබූයේ උපකාක්ෂික රොකටයක්(Sub Orbit Rocket) මගින් වීමයි.

චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමටත් ප්‍රථම අභ්‍යාවකාශ දුරේක්ෂ සංකල්පය වර්ධනය වෙමින් පැවතුනි.ඒ අනුව ප්‍රථම වතාවට මෙම සංකල්පය පිළිබඳව අදහස් දැක්වීමට ඇමරිකානු ජාතික තාරකාවිද්‍යාඥයෙකු වූ ලයිමන් ස්පිට්සර් (Lyman Spritzer) සමත් විය. 1946 ඔහු විසින් රචිත Astronomical advantages of an extraterrestrial observatory නම් වාර්තාව මගින් ඔහු පෘථිවියට පාරඅන්ධ තරංග නිරීක්ෂණය හා වායුගෝලයේ බලපෑම්වලි තොර පැහැදිලි වත් නිවැරද්‍ය වත් තොරතුරු /ඡා‍යාරූප අභ්‍යාවකාශ දුරේක්ෂ මගින් ලබාගත හැකිබව පෙන්වාදුනි. මෙම සංකල්පයේ පුරෝගාමියා වූ මොහු අභ්‍යාවකාශ දුරේක්ෂ සංකල්පය ලොවට හඳුන්වාදෙමින් අභ්‍යාවකාශ දුරේක්ෂයේ පියා ලෙස විරුදාවලිය ලැබීය.

ලයිමන් ස්පිට්සර් (Lyman Spritzer)

තවද මෙහිදී විශේෂයෙන් සඳහන් කලයුතේ කාච යුගය සහ දර්පණ යුගය එහි ආරම්භයේ සිට තවමත් පැතිරෙමින් පවතින බවයි.මෙයට හොදම උදාහාරණය නම් අප විසින් එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු ලබනේ කාච සහ දර්පණ වලින් තැනූ දුරේක්ෂවීමයි. එසේම වරතමානයේ අප විසින් භාවිතා කරණු ලබන දුරේක්ෂ ඉතා නිවරද්‍යවූත්  දෝෂවලින් අවම වූත් ඒවාය. නමුත් වර්තමානයේ විශාල කාච භාවිතා කිරීම වෙනුවට විශාල දර්පණ භාවීතා කරයි.

මෙසේ කෙමෙන් වර්ධනය වූ අභ්‍යාවකාශ දුරේක්ෂ තාක්ෂණයේ අද වන විට පුළුල් පරාසයක පැතිරෙමින් විශ්වයේ රහස් හෙලිකරමින් ලොව පුරා තාරකා විද්‍යා ලෝලීන්ගේ ප්‍රමුඛ මූලාශ්‍රයක් බවට පත්ව තිබෙන අතර මෙම දැවැන්ත අභ්‍යාවකාශ දුරේක්ෂ තාක්ෂණය පිලිබඳ තොරතුරු පසු ලිපිවලින් බලාපොරොත්තුවන්න.

පළමු ලිපිය

දෙවන ලිපිය

Read More

විශ්වය ලොවට විවරකල දුරේක්ෂයක කථාපුවත -2

දූරේක්ෂ පිළිබඳ ඉතිහාසයෙන් කාච යුගය හා එම කාච යුගයේ සිදූවූ විශේෂතා පිළිබඳව අප විසින් මීට පෙර ලිපියෙන් විමසා බැලුවෙමු.මෙහි දෙවන ලිපිය වන මෙයින් දර්පණ යුගය හා ඒහා සම්බන්ඳ සූවිශේෂී සිදුවීම් පිළිබඳව සොයා බලමු.

 

දර්පණ යුගය

මෙතෙක් භාවිතාවූ කාච වෙනුවට දුරේක්ෂ සඳහා දර්පණ යොදා ගැනීම මෙම යුගයේ සුවීශේෂත්වයකි.ප්‍රථමවරට ස්කොට් ජාතික ගනිතඥයෙකු වූ ජේම්ස් ග්‍රෙගරි විසින් 1663 දී පරාවර්තක දුරේක්ෂයේ සැලැස්ම ඔහුවිසින් “Optica Promota” නම් ග්‍රන්ථයේ ඉදිරිපත් කරනලදී.නමුත් ඔහුවිසින් මෙම දූරේක්ෂය නිවවූයේ නැත.කෙසේ වූවද ලොව ප්‍රථම පරාවර්තක දුරේක්ෂය පිලිබඳ අදහස ඉදිරිපත්කිරීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතුයි.

“Optica Promota” නම් ග්‍රන්ථය

ජේම්ස් ග්‍රෙගරි

ග්‍රේගරියානු දුරේක්ෂය

ග්‍රෙග්‍රරි හට දුරෙක්ෂය නිපදවීමට නොහැකි වූ බව ඉහත සඳන්කරනලදී,එබැවින් ප්‍රථම පරාවර්ථක දූරේක්ෂය නිපද්වීමේ ගෞරවය හිමිවන්නේ ඉංග්‍රීසී ජාතික භෞතික විද්‍යාඥයකු වන අයිසෙක්ට් නිව්ටන් හටයි.ඔහු ග්‍රෙගරිගේ සැලැස්මෙන් ලබාගත් ආභාෂයෙන් තමගේම ක්‍රමයට 1668 දී පරාවර්ථක දුරේක්ෂයක් නිපදවනලදී.මෙම දුරේක්ෂය අද නිව්ටෝනියානු දුරේක්ෂය ලෙස නම්කර ඇත.වර්තමානය භාවිතාකරන බොහෝ දුරේක්ෂයන් නිව්ටෝනියානු ඒවායි.

අයිසෙක්ට් නිව්ටන්

නිව්ටෝනියානු පරාවර්තක දුරේක්ෂය

මෙයින්පසු ක්‍රමක්‍රමයෙන් දර්පන භාවිතාකරමින් පරාවර්ථක දුරේක්ෂ නිපද්වීම වැඩිවූ අතර වර්ථක දුරේක්ෂ නිපදවීම අඩුවිය.

පසුව 18වන සියවස වනවිට පරාවර්තක දූරේක්ෂ නිපදවීමේ ස්වර්නමය යුගයක් උදාවිය.එකල ලොව විවිධ රටවල විවිධ පුද්ගලයින් විසින් විවිධාකාරවූ පරාවර්තක දුරේක්ෂ නිපදවනු ලැබීය.ඒ අතර විලියම් හර්ෂල් වැදගත් ස්ථානයක් ගනී.

ඔහුවිසින් ඉතා යෝධ හා විශාල වූ පරාවර්තක දුරේක්ෂ විශාල ප්‍රමානයක් නිපදවූ අතර ,ඔහු ජීවිතකාලයේ දුරේක්ෂ 400ක් පමණ නිපදවන ලදී.එයට ඔහුගේ බිරිඳගෙන්ද ඉතා මහඟු සහයක් ලැබී ඇති බව සඳහන්ය.

ඔහුවිසින් නිපදවූ දුරේක්ෂ මඟින් ඔහු ,

  • ක්ෂීරපථයේ හැඩය කිනම් ස්භාවයක්ද යන්න පිළිබඳ සොයා ගැනීමට ඉතා විශාල උත්සාහයක් දැරීය.
  • නිහාරිකා, මන්දාකිනි , තරු පොකුරු වැනි ගැඹුරු ආකාශ වස්තූන්ද , අද අප භාවිතාකාරන NGC – New General Catalogue නාමාවලියට මුල් පුරුක වන්නේ හර්ෂල්ය.
  • සෞරග්‍රහමණ්ඩලයේ 7වන ග්‍රහලෝකය ලෙස යුරේනස් ග්‍රහයාද සොයාගන්නා ලදී.(යුරේනස් දුරේක්ෂයක් මගින් සොයාගත් පළමු ග්‍රහලොව වන අතර 1781 මාර්තු 13 වන දින් හඳුනාගන්නා ලදී.)

විලියම් හර්ෂල්

හර්ෂෙල්ගේ ඉතාවිශාල පරාවර්තක දුරේක්ෂය

පරාවර්තක දුරේක්ෂ ගැන සඳහන් කිරීමේදී විලියම් පාසන් ගැන යමක් සඳහන් කලයුතුය.19වන සියවසයේදී අයර්ලන්තයේ විසූ ඔහු 19වන සියවසයේ විශාලතම පරාවර්තක දුරේක්ෂය නිපදවීමට සමත් විය.විශ්කම්භය මිටර 1.8වූ දූරේක්ෂය එකල පාර්සන් නගරයේ යෝධයා ලෙස හැදින්විය.මෙවන් විශාල දර්පණයක් සමඟ පෙරට වඩා හොදින් ගැඹුරු ආකාශ වස්තූන් නිරීක්ෂණය කළ හැකි විය.එමඟින් ඔහු වර්ල්පූල් මණ්දාකිණිය ප්‍රථම වරට නිරීක්ෂණය කරන ලදී.

විලියම් පාසන්

19 වන සියවසයේ පාර්සන් විසින් නිර්මාණයකරණ ලද විශාල දූරේක්ෂය.

පාර්සන් විසින් චිත්‍රයට නැගූ වර්ල්පූල් මණ්දාකිණිය

1668දී නිව්ටන් විසින් නිව්ටෝනියානු පරාවර්ථක දුරේක්ෂය නිපදවීමෙන් අනතුරුව වෙනත් පුද්ගලයින්ද නිව්ටන්ගේ සැලසුමෙ ඇති අඩු පාඩු මගහරිමින් වෙනස් ආකාරයේ නිර්මාන කිරීමට තැත්කර ඇත.ඒ අනුව 1672දී ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියකු වූ ලෝරන්ට් කැසිග්‍රේන් විසින් කැසිග්‍රේන් නම් වූ පරාවර්තක දුරේක්ෂයක් හදුන්වාදෙන ලදී.

තවද 1930දී බර්නාඩ් ස්චිමිද් විසින් ස්ච්මිද් කැසිග්‍රේන් නම් වූ දූරේක්ෂයක් කැසිග්‍රේන්ගේ දුරේක්ෂය නවීකරනය කරමින් හදුන්වාදෙන ලදී.

බර්නාඩ් ස්චිමිද්

ස්ච්මිද් කැසිග්‍රේන් දූරේක්ෂය

1718දී හා 19වන සියවසෙහි අගභාගයේ නිපදවූ යෝධ පරාවර්තක දුරේක්ෂ තාරකා විද්‍යත්මක නිරීක්ෂණ සඳහා යොදා ගත් අතර ඒවායේ පාලන කටයුතු සිඳුකිරීමට සේවකයින් 4ක්පමණ සේවයට ගෙන ඇත.මෙයට හේතුව වූයේ තාක්ෂණය වර්තමානයේ මෙන් දියුනු මට්ටමක නොපැවතීමයි.

පළමු කොටස

Read More

විශ්වය ලොවට විවරකල දුරේක්ෂයක කථාපුවත -1

මෙතෙක් ඉතිහාසයේ මිනිසා විසින් නිපදවන ලද ඉතාම වටිනා උපකරණය ලෙස දුරේක්ෂය හැදින්විය හැකිය.කාචවලින් ආරම්භව අද වන විට අභ්‍යාවකාශ දුරේක්ෂ දක්වා වර්ධනය වී ඇති දුරේක්ෂ තාක්ෂණය විශ්වයේ අසක් මුල්ලක් නෑර පිරිස්සමින්, විශ්වයේ රහස් සෙවීමෙහි නිරතවේ. ඉතාම සරල තත්ව‍යෙන් පටන් ගෙන අදවනවිට ඉතාම දියුණු තත්වයට පත්ව ඇති මේ මහා අනගි නිර්මාණයේ වසර 400කට වඩා පැරණි ඉතිහාසය මෙතැන්සිට විමසා බලමු.

මෙහිදී දුරේක්ෂ  ඉතිහාසය අධ්‍යනය කිරීමේ පහසුව තකා ඉතිහාසය කොටස් 3කට බෙදා දැක්විය හැකිය.

1.කාච යුගය

2.දර්පණ යුගය

3.අභ්‍යාවකාශ යුගය  හා ප්‍රකාශ නොවන දූරේක්ෂ යුගය.

 

කාච යුගය

දුරේක්ෂ සම්බන්ධ කාච පිළිබඳ සඳහන් කිරීමට පෙර කාච පිළිබඳ යමක් සඳහන් කළයුතුය.එනම් දුරේක්ෂ නිපදවීමට පෙරත් එසේම වීදුරු උණුකර සාමන්‍ය දියුනු මට්ටමේ කාච නිපදවීමටත් ශතවර්ෂ ගණනාවකට පෙර සිටම කාච තිබී ඇත.ඒබව පැරැණි ශිෂ්ඨාචාරවලි හමුවූ ආලෝකය වර්තනය කල හැකි ස්ඵටික(Crystals)  සාක්ෂී දරයි.

ස්ඵටික(Crystals)

මිනිසාට ඈත  ඇතිදේ  පෙනෙන්නේ කුඩාවටය, එමනිසා ඈත ඇති වස්තුන් ලංකර බැලීමේ සංකල්පය බොහෝ ඈත අතීතයේ එනම් දුරේක්ෂ නිපදවීමට  ශතවර්ෂ ගණනනකට පෙර තිබෙන්නට ඇත.නමුත් එම සංකල්පය 17වන සියවස ආරම්භය වන විටත් සපුරා ගැනීමට නොහැකිවිය.1608 දී ජර්මනියේ මිඩ්ල් බර්ග් නගරයේ විසූ ඕලන්ද ජාතික (වර්තමාන නෙදර්ලන්තය ) ඇස් කණ්නාඩි සාදන්නෙකු වූ හැන්ස් ලිපර්ෂී (Hans Lippershey) දුරේක්ෂයේ සිහිනය සැබෑ කරගන්නා ලදී.

හැන්ස් ලිපර්ෂී (Hans Lippershey)

මේ නිර්මාණය ඔහු විසින් නිමකිරීම සඳහා යොමුවූ අහඹු සිදුවීම පිළිබඳ වීවිධ කටකතා පැවැතියද ප්‍රසිධතම කතාපුවතක් පවති .එක්තාරා දිනයක ඔහු කාණ්නාඩි සෑදීමට යොදාගන්නා කාච සමඟ සෙල්ලම් කරන්නට යෙදුන ළමුන් දෙදෙනෙකු විසින් එම කාච ඇත්කරමින් හා ලංකරමින් ඒ අසල තිබූ කතෝලික පල්ලියක ඉහල කුළුනක් දෙසට එල්ල කරමින් උන්නා එක් අවස්ථාවක එම ඈත ඇති කුළුන ලංවන බවක් එම ලමුන්දෙදෙනා දුටුවා මේ අවස්ථාවේ පුදුමයට පත්වූ ඔවුන් කෑගසන්නට පටන් ගත්තා මෙ සිද්ධිය දුටු ලිපර්ෂී මේ පිළිබඳ සොයා දුරේක්ෂය නිර්මාණය කරන්නට විය.

හැන්ස්ලිපර්ෂී විසින් කාච එහා මෙහා කරමින් නිරීක්ෂණය කරන අයුරු චිත්‍ර ශිල්පියකුගේ ඇසින්

උත්තල කාච 2ක් සීරු මාරු කල විට ඈත ඇති වස්තූන් ලංවී පෙනෙන බව ඔහුට නිරීක්ෂණය කරන්නට ලැබීමෙන් අනතුරුව දුරේක්ෂයේ උපත සිදුවිය.

ඕලන්දයේ හා ස්පාඤ්ඤය අතර 80 වසරක සිට යුද්ධයක් පැවැති අතර මෙම නිර්මාණය යුද්ධයේදී ඈතින් පැමිණෙන සතුරන් නිරීක්ෂණය කිරීමට බොහෝ වැදගත් විය.ලිපර්ෂි විසින් මේ නව නිර්මාණය සිය රටේ රජු වන මෝරිට්ස් කුමරාට පෙන්වීමෙන් අනතුරුව එම දුරදක්නය යුධ කටයුතු සඳහා යොදා ගනු ලැබූ අතර එකල එය ඕලන්දයේ යුධ රහසක්වද පැවත ඇත.

නමුත් මෙම දුරදක්නය කිසිවිටෙකත් අහස දෙසට යොමුකර නිරීක්ෂණ සඳහා භාවිතා නොකල බව කිවයුතුය.

මෙම ලිපර්ෂිගේ දුරේක්ෂය පිළිබඳ සඳහන් කිරීමේදී එහි පේටන්ට් බලපත්‍රය ගැන විශේෂයෙන් සඳහන් කලයුතුය මන්දයත් , එකල ඔහුට මේ නිර්මාණය සඳහා පේටන්ට් බල පත්‍රයක් රජය විසින් ලබාදී නොමැත.මෙයට හේතුව වූයේ සකරියාස් ජැන්සන් (Zacharias Janssen) නම් වෙනත් පුද්ගලයකුද මෙම දුරේක්ෂය නිර්මාණයට සහය වූ බවට අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමයි.සැබැවින්ම දුරේක්ෂයේ සැබෑ නිර්මාතෘ තවමත් අභිරහසකි.

සකරියාස් ජැන්සන් (Zacharias Janssen)

දුරේක්ෂයක් මඟින් ප්‍රථම වරට අහස නිරීක්ෂණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලිටයි.ෆෙලෙමිං නම් පුද්ගලයකු විසින්ද දුරේක්ෂයක් නිර්මාණය කර ඇති බව අසන්නට ලැබූ ඔහුට මෙම දුරේක්ෂය නිපදවා ගැනීමට අත්‍යාවශ්‍ය විය.පසුව ඔහුවිසින් ඉතා අඩුවියදමකින් තමන්ගේම කියා දුරේක්ෂයක් නිපදවීය. එමගින් ඔහු අහස නිරික්ෂණය කොට නොයෙකුත් අලුත් දෑ දේ හඳුනා ගන්නා ලදී.

ගැලීලියෝ ගැලීලි නිපදවූ දූරේක්ෂය හා ගැලීලියෝ ගැලීලි චිත්‍ර ශිල්පියකුගේ ඇසින්

මෙම දුරේක්ෂය උත්තල හා අවතල කාච යුගලකින් නිපදවා ඇති අතර එහි අවනෙත ලෙස විශ්කම්භය මිලිමීටර 37 හා නාභීය දුර මිලිමීටර් 980ක් වූ තල උත්තල කාචයක්ද , උපනෙත ලෙස මිලිමීටර 22ක විශ්කම්භයක් හා මිලිමීටර 50ක නාභිය දුරක් සහිත තල අවතල කාචයක්ද යොදාගෙන ඇත.මෙම දුරේක්ෂයේ උපනෙත් කාචය අස්ථානගතවී ඇති අතර මේ පිළිබඳ වාර්තාවක් ගැලීලියෝ විසින් රචිත ග්‍රන්ථයක තිබී හමුවී ඇත.

ගැලීලියෝ විසින් මෙම දුරේක්ෂය භාවිතා කරමින් කල නිරීක්ෂණ කීපයක්.

  • ආවාට සහිත චන්ද්‍රයාගේ මතුපිට

මොහුගේ මෙම නිරීක්ෂණය සිදුකිරීමට පෙර මොහු සිතාසිටියේ සඳ යනු සුමට මතුපිටක් සහිත ග්‍රහවස්තුවක් බවයි.

 

  • බ්‍රහස්පතීගේ විශාලම උපග්‍රහයින් සතරදෙනා

බ්‍රහස්පතී ග්‍රහයාට උපග්‍රහයින් සිටින බවත් ඉන් විශාලතම උපග්‍රහයින්වන  අයෝ,යුරෝපා,ගැනිමිඩ් හා කැලිස්ටෝ යනුවෙන් හදුන්වන උපග්‍රහයින් සිවුදෙනාගේ කලින් කලට සිදුවන වෙනස්වීම් ගැලීලියෝ විසින් අධ්‍යනයක කරනලදී.මෙම උපග්‍රහයින් වර්තමානයේ ගැලීලියෝ චන්ද්‍රයින් ලෙස හඳුන්වයි.

  • සිකුරු ග්‍රහයාගේ සිදුවන කලා වෙනස්වීම්.

අපගේ චන්ද්‍රයාගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේද  කලින් කලට විවිධවූ කලා වෙනස් වීම් සිදුවන බව ගැලීලියෝ විසින් නිරීක්ෂණය කරනලදී.

  • සෙනසුරුග්‍රහයා වටා ඇති වළලු

මෙකල ග්‍රහයින් වටා වලලු ඇතිබවට සංකල්පයක් හෝ නිරීක්ෂණයක් පිළිබඳ කිසිදු අදහසක් නොපැවතුනි.ඔහු විසින් සෙනසුරු ග්‍රහයා නිරීක්ෂණය කිරීමේදී සෙනසුරු ග්‍රහයා වටා අමුතු වස්තූවක් ඇති බවට වාර්තාවක් තබා ඇත.

  • සූර්යයාගේ මතුපිට ඇතිවන සූර්යය ලප

සූර්යයා මතුපිට ඇතිවන සූර්යය ලප පිළිබඳ ගැලීලියෝ විසින් අධ්‍යනය කලබවටද වාර්තා හමුවී ඇත.

ගැලීලියෝ විසින් සිදුකල මෙම නිරීක්ෂණ අනුව බෝහෝ කලක් පැවැති භූකේන්ද්‍ර ආකෘතිය බිඳ වැටී සූර්යය කේන්ද්‍රවාදී ආකෘතිය තහවුරු විය.මෙසඳහා සිකුරු ග්‍රහයාගේ කලා වෙනස්වීම මහඟු සාක්ෂියක් විය.

මෙම ලිපිපෙලෙහි තවත් කොටසක් ලගදීම බලාපොරොත්තුවන්න.

Read More

සූර්ය ගිණිදළු වර්ගීකරණය කිරීම

සෑම වසර 11කට වරක්ම සූර්යයා සක්‍රීය වන අතර මෙම අවධියේදී සූර්ය ගිණිදළු වැඩි වශයෙන් සිදුවේ. 2012 සහ 2013 වසර වලදී සූර්යයා මෙවර සක්‍රීය කාලය පසුකරනු ඇත. නැවතත් සක්‍රීය කාලයක් එළඹෙන්නේ 2023දී පමණ ය.

සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍ර ඇඹරී, කෑඩී, නැවත එකතුවන විට සූර්යය වායුගෝලයේ ඇති වන පිපිරීම් නිසා හයිඩ්‍රජන් බෝම්බ බිලියන ගණනක ශක්තියක් නිපදවෙන අතර මෙම ශක්තිය සූර්ය ගිණිදළුවක් (Solar flares) ලෙස අභ්‍යවකාශයට මුදාහැරේ.

සූර්ය ගිණිදළු වල ප්‍රබලතාවය අනුව ඒවා වර්ගකර ඇත. ‍මේ අනුව විශාලතම සූර්ය ගිණිදළු X-ඛාණ්ඩයේ ඒවා ලෙස හැඳින්වේ. අඩුම ප්‍රබලතාවයෙන් යුත් ඒවා A-ඛාණ්ඩයේ ඒවා ලෙසත් ප්‍රබලතාවය අනුව පිළිවෙලින් A, B, C, M, සහ X ලෙස වර්ග කර ඇත. මේ එක් ඛාණ්ඩය පෙර ඛාණ්ඩයේ ප්‍රබලතාවයට වඩා 10ක් වැඩි ය. එනම්  C ඛාණ්ඩය B ඛාණ්ඩයට වඩා 10ක් ප්‍රබලතාවය වැඩි ය. එමෙන්ම සෑම අකුරක් තුලම 1 සිට 9 දක්වා තවත් උප පරිමාණයන් ඇත.

C ඛාණ්ඩය යනු ඉතා දුර්වල ගිණි දළු ය. මේවා පෘථිවියට එතරම් බලපෑමක් ඇති නොකරයි. M ඛාණ්ඩයේ ගිණි දළු නිසා පෘථිවියේ ධ්‍රැව ආශ්‍රිත චන්ද්‍රිකා සහ රේඩියෝ සන්නිවේදන පද්ධතීන් සුළු කාලයකට අක්‍රිය වීමක් සිදුවිය හැකි ය.

X ඛාණ්ඩයේ ගිනි දළු විශාලතම ඒවා වන නමුත් X9ට වැඩි ගිණි දළුද වාර්තා වී ඇත. දැනට වාර්තා වී ඇති විශාලතම සූර්ය ගිණි දළුව වාර්තා වූයේ 2003 වසරේදී ය. සූර්ය ගිණිදළුවේ ප්‍රබලතාවය මනින උපකරණ මගින් එය X17ක් ලෙස මැන්නද එය X28ක් පමණ විශාල බව විද්‍යාඥයින් පවසයි.

 

{youtube}Uj6t841hg-w{/youtube}

මෙවර සූර්ය චක්‍රයේ ප්‍රථම X ඛාණ්ඩයේ ගිනි දළුව 2011 පෙබරවාරි 15වන දින ඇතිවූ අතර ඉන් පසුවද ගිණිදළු බොහෝ ලෙස ඇති විය. පසුගිය ජනවාරි 23වන දින සූර්යයා විසින් M8.7 ප්‍රමානයේ ගිණිදළුවක් නිකුත්කල අතර (ඡායාරූපය) ඉන්  විශාල විකිරණ කුණාටුවක් ඇති විය. මෙවන් කුණාටු පෘථිවිය දෙසට ඇති වුවහොත් ඒමගින් පෘථිවිය අවට කක්ෂගතකර ඇති චන්ද්‍රිකාවලට හානි විය හැකි ය.

නාසා ඇසුරිණි

Read More

රාත්‍රී අහස නිරීක්ෂණය කරමු


රාත්‍රී කාලයේ තරු පිරි අහසක් මොනතරම් සිත් වශී කරවන සුළු ද? අහසේ ඇති තරු රටා නිරීක්ෂණය කිරීමට ඒ තරම් විශාල උපකරණ හෝ මහන්සියක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍යවන්නේ ඔබේ උවමනාව සහ කාලය පමණි.

පැය කිහිපයක් තුල අහස නිරීක්ෂණයෙන් පමණක් ඔබට බොහෝ දේ ඉගෙනගත හැකි ය. නැගෙනහිරින් උදාවන තරු රටා පැය කිහිපයක් තුලදී ක්‍රමයෙන් අහස මුදුනට පැමිණෙන ආකාරයත් අහස මුදුනේ තිබූ තාරකා ක්‍රමයෙන් නැගෙනහිරින් බැස යන ආකාරයටත් අමතරව දෛනිකව හෝ දිගු කාලයක් පුරා තරු රටා නිරීක්ෂණ‍යෙන් දිනෙන් දින අහසෙහි ඇති වන සුළු වෙනස්කම් ඔබට දැකගත හැකිවනු ඇත.

‍අද දින චන්ද්‍රයා උදා වන්නේ ඊයේ උදා වූවාට වඩා විනාඩි 40ක් ප්‍රමාද වී ය. ඊට අමතරව චන්ද්‍රයාගේ කලාව ද, තරු අතර චන්ද්‍රයාගේ පිහිටීමද දිනෙන් දින වෙනස් වේ. ග්‍රහලෝක අහස හරහා සෙමින් චලනය වුවද කලින් කලට ඒවායේ තරු අතර පිහිටීම සහ දීප්තිය අඩු වැඩි වන ආකාරයක්ද දැකිය හැකි ය.

අහස වඩාත් පැහැදිලි දවසක් නම් අප ක්ෂිරපථයේ එහා ඉමත්, ඔරායන් නිහාරිකාවත්, ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියත් පියවි ඇසින් වුවද දැකගත හැකි ය.

නිරීක්ෂණය සඳහා සූදානම් වීම
හිරු ක්ෂිතිජයෙන් නොපෙනී ගියද අහස සම්පූර්ණයෙන්ම අඳුරුවන්නේ නැත. සූර්යයාලෝකය අහසෙන් සම්පූර්ණයෙන්ම නැතිවී තරු පැහැදිලිවම දැකගත හැකි අවස්ථාව Astronomical twilight ලෙස හැඳින්වේ. මෙහිදී සූර්යයා ක්ෂිතිජයෙන් අංශක 18ක් හෝ ඊට පහලින් තිබිය යුතු ය. ඒ අනුව රාත්‍රී අහස නිරීක්ෂණය සඳහා සුදුසුම කාලය Astronomical twilight අවස්ථාවෙන් පසු කාලය යි.කෙසේ වෙතත් ඔබ ජීවත් වන්නේ ආලෝක දූෂණය බහුල ප්‍රදේශයක නම් මේ අවස්ථාවෙන් පසුවද ක්ෂිතිජය ආසන්නයේ තරු දැකගැනීමට අසීරු වනු ඇත.

නිරීක්ෂනය කරන ස්ථානය ගහ කොළ සහ ගොඩනැගිලි අඩුවෙන් ඇති ප්‍රදේශයක් විය යුතු ය. නමුත් අපට මෙවන් ස්ථාන සොයාගැනීමට අපහසු නම් අහස උපරිම ලෙස අහස පෙනෙන උස් ස්ථානයක් වුවද යොදාගත හැකි ය.

ඔබ නාගරික ප්‍රදේශයක වාසය කරන්නේ නම් ආලෝක දූෂණය අහස නිරීක්ෂණයට විශාල බාධාවක් වනු ඇත. දීප්තිමත් ආ‍ලෝකය උදාහරණයක් ලෙස වීදි ලාම්පු ආලෝකය මඟහැරීමට හැකීයාවක් ඇත්තේම නැත්නම් ගොඩනැගිල්ලක වහලයක් හෝ වෙනත් වස්තුවක් ආලෝක බාධකයක් ලෙස යොදා යම්තාක් දුරකට ගැටළුව නිරාකරණය කරගත හැකි ය.

මීළඟට නිරීක්ෂණය කරන ස්ථානයට ගෙනයා යුතු උපකරණ ආදිය ගැන සලකා බලමු. ඔබ සිදු කරන්නට බලාපොරොත්තු වන නිරීක්ෂණය අනුව ඔබ රැගෙන යායුතු උපකරණ සහ ද්‍රව්‍ය වෙනස් වේ. තරු සිතියමක්, ලිපි ද්‍රව්‍ය, පෑන් පැන්සල් වලට අමතරව ඒවා රඳවා තබාගැනීමට ලිපි ගොනුවක්ද, ඇතැම්විට කවකටු පෙට්ටියක්ද රැගෙන යාම වැදගත් වනු ඇත.

රාත්‍රී කාලයේ එලිමහන බොහෝවිට ශීත සහිත විය හැකි බැවින් ඊට ගැලපෙන ඇඳුම් ඇඳ සිටීම පහසුවෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට උපකාරී විය හැකි ය. උදාහරණයක් ලෙස ඔබ නිරීක්ෂණය කරන්නේ උල්කාපාත වර්ශාවක් නම් දිගු වේලාවක් එළ මහනේ ගත කිරීමට සිදුවන බැවින් හිස ආවරණය වන ලෙස කැප් තොප්පියක් පැළඳීම යෝග්‍ය ය.

සිදු කරන නිරීක්ෂණය අනුව පහසු ඉරියව්ද තිබේ. ඔබ උල්කාපාත වර්ශාවක් නිරීක්ෂණය කරයි නම් එකතැන සිටගෙන ඉහල බලනවාට වඩා බිය දිගාවී ඉහල බැලීම පහසු ය. මේ සඳහා පැදුරක් භාවිතා කල හැකි ය. එසේම දුරේක්ෂයකින් නිරීක්ෂණය කරනවානම් සුදුසු උසකින් යුත් අසුනක් නිරීක්ෂණ ස්ථානයට රැගෙන යාම වඩාත් සුදුසු ය. මීට අමතරව මදුරුවන්ගෙන් බේරී සිටීමට සුදුසු ක්‍රීම් වර්ගයක් ඇඟ තැවරීමත්, දිගු කාලයක් එලිමහනේ ගත කරන්නේ නම් උණුසුම් පානයක් රැගෙන යාමත් හොඳ අදහසකි.

ඇස අඳුරට හුරු කිරීම (Dark Adaptation)
දීප්තිමත් පරිසරයක සිට අඳුරු කාමරයකට පැමිණි විට විනාඩි කිහිපයක් යනතෙක් කිසිවක් හැරිහැටි ඔබට නොපෙනෙන බව ඔබ අත් දැක ඇත. මීට හේතුව වන්නේ අප සිටින පරිසරයේ ආලෝක තත්වය අනුව ඇසට ඇතුල්වන ආලෝක ප්‍රමාණය ඇසේ ඇති කණිනිකාව නම් කොටස මගින් පාලනය කිරීමයි. එනම් දීප්තිමත් පරිසරයකදී කණිනිකාව කුඩා වන අතර අඳුරු පරිසරයකදී කණිනිකාව විශාල කිරීමෙන් ඇසට තවතවත් ආලෝකය ඇතුල් වීමට ඉඩ ලබා දීමයි. නමුත් කණිනිකාවේ ප්‍රමාණය වෙනස් වීමට සැලකිය යුතු කාලයක් ගතවේ. සාමාන්‍යයෙන් මෙම කාලය විනාඩි 20ක් පමණ වේ.

අපට අහසේ වැඩි තරු ප්‍රමාණයක් දකින්නට නම් අපේ ඇසේ කණිනිකාව හැකි තරම් විශාල විය යුතු ය. ඒ සඳහා නිරීක්ෂණයට ප්‍රථම ඇස අඳුරට හුරු කිරීම (Dark Adaptation) සිදු කල යුතු ය. සාමාන්‍යයෙන් අහස නිරීක්ෂණය ඇරඹීමට ප්‍රථම විනාඩි 20ක් පමණ සම්පූර්ණ අඳුරේ ගත කිරීම මගින් ඇස දීප්තියෙන් ඉතා අඩු වස්තු සඳහා සංවේදී කරගත හැකි ය.

එළියේදී සහ අඳුරේදී ඇස සංවේදී වන වර්ණද එකිනෙකට වෙනස් ය. හොඳින් හිරු එළිය පවතින විට ඇස කොළ පැහැයට වඩාත් සංවේදී වන අතර අඳුරේදී නිල් පැහැයට සංවේදී ය. ඇස් අඳුරට හුරු වූ පසු දීප්තිමත් ආලෝකයට ඇස නිරාවරණය වීම වැලැක්විය යුතු ය. යම්කිසි ලෙසකින් ඇස දීප්තිමත් ආලෝකයකට නිරාවරණය වුවහොත් ඇස අඳුරට හුරු වීමට ගතකල කාලයෙන් පලක් නැති වනු ඇත. නමුත් නිරීක්ෂණ සිදුකිරීමේදී, නිරීක්ෂණ සටහන් කරගැනීමට යම් කිසි ආලෝක ප්‍රභවයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා ඇසට අඩුවෙන්ම සංවේදී වර්ණයකින් යුතු ආලෝක ප්‍රභවයක් තොරාගත හැක. මේ සඳහා සාමාන්‍ය විදුලි පන්දමකට රතු පෙරහනයක් යොදා භාවිතා කල හැකි යි. විදුලි පන්ද‍මේ ආලෝකය උවමනාවට වඩා දීප්තිමත් වීමට අවශ්‍ය නැති අතර මඳ එළියක් ප්‍රමාණවත් ය.

මීට අමතරව දීප්තියෙන් අඩු වස්තු දෙස බැලීමේදී සෘජුව ඒ දෙස බලනවාට වඩා “නෙත් කොනින්” ඒ දෙස බැලීමෙන් සාර්ථක ප්‍රතිථල ලැබිය හැකි ය. මීට හේතුව වන්නේ අපගේ දෘෂ්ඨි විතානයේ මධ්‍යයේ ඇති සෛල වලට වඩා ඉන් බැහැරව පිහිටි සෛල දීප්තියෙන් අඩු ආලෝකයට වඩාත් සංවේදී වීමයි.

තරු අතර දුර අතැඟිලි ආධාරයෙන් මැණීම
තරු අතර දුර මැණීම සඳහා උපකරණ වෙනුවට ඔබේ අතැඟිලි වුවද යොදාගත හැකි ය. ඔබේ අත හැකිතරම් ඈතට කර ඇඟිලි මගින් වැසී යන ප්‍රදේශයේ දුර ආසන්න වශයෙන් මෙසේ මැනගත හැකි ය. විවිධ මිමි සඳහා පහත රූපය අධ්‍යයනය කරන්න. උදාහරණයක් ලෙස ඔ‍බගේ සුළැඟිල්ල භාවිතයෙන් දුර මනින්නේ නම්, සුළැඟිල්ල දෙපස තරු දෙකක් ඇතිනම්, ඒ තරු දෙක අතර දුර අංශක එක කි.

තාරකා
රාත්‍රී අහසේ ඇති තරු යාකොට තනන ලද මනඃකල්පිත හැඩතල තරු රාශි ලෙස නම් කරයි. මෙලෙස තනන ලද රාශිවල ඇති තරු අතර සැබැවින්ම කිසිදු සම්බන්ධයක් නොමැත. 1930දී අන්තර්ජාතික තාරකාවිද්‍යා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද තාරකා රාශි 88ක් ඇත. මේ සෑම රාශියකටම නමක් ඇති අතර බොහෝ විට ඒවා ග්‍රීක කතා වල එන චරිත වල නම් වලින් හෝ ඇතැම් ඒවා ලතින් නම් වලින් නම් කර ඇත.

තාරකා රාශියක තරු සඳහාද වෙන වෙනම නම් ඇත. දීප්තියේ අනුපිළිවෙලින් වැඩිම දීප්තිය ඇති  තරුව ඇල්ෆා (α) ලෙසත්, දෙවනුව දීප්තියෙන් වැඩි තරුව බීටා (β)ආදී වශයෙන් ග්‍රීක හෝඩියේ අනුපිලිවෙලින් නම් කරනු ලැබේ. රාශි අතර තරු හඳුනාගැනීම පහසු වන ලෙස තරුවේ නමේ අගට තරුව අයත් තාරකා රාශියේ නමෙහි කෙටිකරන ලද යෙදුමක්ද යොදනු ලැබේ. මේ අනුව ඔරායන් (Orion) රාශියේ දීප්තිමත්ම තරුව αOriනම් වේ. මීට අමතරව ඇතැම් තාරකා සඳහා වෙනම නම්ද භාවිතා වේ. උදාහරණ ලෙස  αLeo යනු රෙගියුලස් තාරකාව යි, oCet යනු මීරා තාරකාව යි, αUMi යනු පෝලාරිස් තාරකාව යි.

තරුවල දීප්තිය මැනීම සඳහා ක්‍රි.පූ. 150 දී පමණ විසූ හිපාකස් නම් විද්‍යාඥයා විසින් දීප්තතා පරිමාණයක් නිර්මාණය කර ඇත. මෙහිදී ඔහු අහසේ දුටු දීප්තිමත්ම තරුවට 1 ලෙස දීප්තතා අගයක් ලබා දී ඇසට පෙනෙන මානයේ ඇති දීප්තියෙන් අඩුම තරුවට 6 ලෙස අගයක් ලබා දුන්නේය. අතරමැදි දීප්තතාවයන් ඇති තරු සඳහා 1 සිට 6 දක්වා අගයන් ඔහු විසින් ලබා දුන්නේ ය. මෙම පරිමාණය අනුව තරුවක දීප්තිය අඩුවන විට දීප්තතා අගය වැඩි වන බව ඔබට පැහැදිලි ය. එම නිසා ඇන්ටාරස් තරුවේ දීප්තතාවය 1ක් වන නමුත් ඊට වඩා සැබැවින්ම දීප්තියෙන් වැඩි සීරියස් තරුවේ දීප්තතාවය -1.43කි.

තරු සිතියමක් කියවීම
රාත්‍රී අහසේ වස්තූන් ඇති තැන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා අහසේ තරු සිතියම් කියවීමට ඉගෙනගැනීම ඉතාමත්ම වැදගත් ය. skylk වෙබ් අඩවිය මගින් ඔබට නොමිලේ තරු සිතියම් ලබාදෙන අතර එවා පහසුවෙන් මුද්‍රණය කරගත හැකි යි.

තරු සිතියම භාවිතා කල යුත්තේ මෙසේ ය. මුලින්ම දකුණු දිශාවට මුහුණලා සිටගන්න. තරු සිතියම ඔබේ හිසට ඉහලින් අල්ලා තබාගන්න. එවිට සිතියමේ ඉහල සහ පහල පිළිවෙලින් උතුරු සහ දකුණු දිශාවන්ට යොමුවිය යුතු ය. එමෙන්ම සිතියමේ ඇති නැගෙනහිර සහ බටහිර සැබෑ නැගෙනහිර සහ බටහිරටද යොමුවී තිබිය යුතු ය.

සිතියමේ පහල ඇති දින පරිමාණයෙන් අදාල දිනය තොරාගන්න. එහි සිට උතුර සහ දකුණ යා කෙරෙන මනඃකල්පිත රේඛාවෙන් පෙන්නුම් කරනුයේ එදින රාත්‍රී 8.00ට අහස මුදුනේ දර්ශණය වන තාරකා රාශි ය. උදාහරණ ලෙස අගෝස්තු 18වන දින රාත්‍රී 8.00ට අහස මුදුනේ දර්ශණය වන තාරකා රාශි වන්නේ Scorpius, Ophiuchus සහ Hercules ය. ඉහත කී මනඃකල්පිත රේඛාව වමට පැය6ක් ගෙනගියහොත් නැගෙනහිර ක්ෂිතිජයත්, දකුණට පැය6ක් ගෙනගියහොත් බටහිර ක්ෂිතිජයත් පෙන්නුම් කරයි.

සිතියම භාවිතයෙන් වෙනත් වේලාවක දර්ශණය වන තාරකා රාශිද නිරීක්ෂණය කල හැක. උදාහරණයක් ලෙස දෙසැම්බර් 21වන දින රාත්‍රී 8.00 අහස මුදුනේ දර්ශණය වන්නේ Cetus තරු රාශිය නම්, ඉන් පැය 4කට (වමට පැය හතරක්) පසුව අහස මුදුනට පැමිනෙන්නේ Orion රාශියයි.

රාත්‍රී අහසේ තරුරාශි හඳුනා ගැනීමට මූලික දැනුම දැන් ඔබ සතු යයි සිතමි. මෙම ලිපියේ මා දැක්වූයේ අහස නිරීක්ෂණයට අදලා මූලිකම කරුණු කීපයක් පමණි. තරු සිතියම් ගැන තවත් අවබෝධ කරගැනීමට ඛගෝලය පිළිබඳව සහ කණ්ඩාංක පද්ධති පිළිබඳව ඔබට මෙම ලිපිය කියවා තේරුම් ගත හැකි ය. රාත්‍රී අහසේ තරු වලට අමතරව ගැඹුරු ආකාශ වස්තු, සහ ග්‍රහලෝක බොහොමයක් උපකරණ රහිතව පියවි ඇසින් වුවද නිරීක්ෂණය කළ හැකි ය. ඒ පිළිබඳව වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

Read More

තාරකා විද්‍යා ප්‍රශ්ණ තරඟයක් පරදින්නේ කෙසේද? How to Lose an Astronomy Quiz Competition

බැලූ බැල්මටම ඉතා මෝඩ ප්‍රශ්ණයක් ලෙස පෙනුනද, සෑම ප්‍රශ්ණ තරඟයකදීම එක් කණ්ඩායමක් හැර, අනික් සියල්ලටම පරාජය පිළිගන්න සිදු වෙනවා. ප්‍රශ්ණ තරඟයකට සහභාගි වෙන හැමෝම හිතන්නේ තමුන්ට දිනුම ලැබෙයි කියල. ඒත් එහෙම නොවෙන්නේ ඇයි? සමහරු පිට පිට අවුරුදු ගණන් තරඟ දිනද්දී, තවත් අයට කිට්ටුවටවත් එන්න බැරි ඇයි?

 

 

මේ සටහන තාරකා විද්‍යා තරඟ පැරදීම ගැන අත්වැලක්. මේවා පිළිපැද්දොත්, අනිවාර්යයෙන් පරාජය ලඟාකර ගන්න ඔබට හැකි වෙනවා.

සැලසුම කිරීමට අසමත් වීම, අසමත් වීමට සැලසුම් කිරීමකි (Failing to plan is planning to fail)

ප්‍රශ්ණ තරඟයක් තිබෙන බව දැනදැනත්, ඒ ගැන මොකුත් නොකර සිටීමෙන් ඔබට ඉතා පහසුවෙන් ඔබේ ඉලක්කය වෙත (පරාජය වෙත) ලඟා වෙන්න පුළුවන්. තරඟයකට සූදානම් වෙන්නේ කෙසේද කියා දැන ගෙන ඒ කිසිවක් නොකර සිටීමත්, තරඟ පැරදීමේ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයකි.

තාරකා විද්‍යා පොත පත නොකියවීම, තාරකා විද්‍යා පුවත් නොකියවීමෙන් මෙන්ම අන්තර් ජාලයේ සමාජ වෙබ් අඩවි ඔස්සේ තාරකා විද්‍යා ලිපියක් දුටුවද, නොදැක්කා මෙන් සිටීම සාර්ථක ප්‍රතිඵල ළඟාකර දෙයි.

තරඟ නීති රීති (Rules and Regulations) වැරදීමකින් වත් කියවන්න එපා

එක් වරක් වත් තරඟ නීති රීති කියවීම මදි පුංචි කමක් නම්, ඔබ පරාද වීමට උපන් හපනෙකි. නීති රීති උල්ලංගනයෙන් ඔබට සහ ඔබේ කණ්ඩායමට තරඟයට සහභාගි නොවීමට, තරඟය අතරමැද ඉන් ඉවත් කරනු ලැබීමට හෝ රැස් කරගත් ලකුණු අහිමි කරගැනීම වැනි ඕනෑම ආකාරයකට තරඟ පරාජයට ලක් වෙන්න පුළුවන්.

වැරදිලාවත් ඔබ අතින් නීති රීති කියවුනොත්, වහාම එය අමතක කර දැමීමෙන් සහ තරඟයට එය රැගෙන නො ඒමෙන්, ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල නෙලා ගත හැක.

පුහුණු වෙන්නේ මෝඩයෝ

Practice makes perfect කියල සුද්දා කිවුවේ නිකං කට කහනවට. වැරදිලාවත් තරඟෙට කලින් පුහුණු වෙන්න එපා, නැත්තං කොහොමද පරදින්නේ? මලල ක්‍රීඩකයෝ තත්පර කීපයක තරඟෙට අවුරුදු ගනන් පුහුණු වෙන්නේ දිනන්න බලාගෙනනේ. පුහුණු නොවීම පරාජයට ඇති කෙටිම පාරකි.

ප්‍රශ්ණ තරඟ වලට පුහුණු වෙන වෙනත් අයට හිනා වෙන ගමන්, පුහුණු වෙන්න විදියක් නෑ කියන එකත් අපේ මේ කාර්යයට වැදගත්. මෙන්න මේවා තමයි නොකර ඉන්න අවශ්‍ය,

  • තාරකා විද්‍යා පොත් වල ඇති ප්‍රශ්ණ (Review questions) නොකිරීම
  • කණ්ඩායමේ අනික් අයගෙන් ප්‍රශ්ණ නෑසීම
  • අන් අය අසන ප්‍රශ්ණ ගණන් නොගැනීම
  • පසුගිය ප්‍රශ්ණ පත්‍ර (Past papers) පරිශීලනය නොකිරීම
  • අන්තර් ජාලයේ සජීවී ප්‍රශ්ණ (online quizzes) නොකිරීම
  • සිද්ධාන්ත අමතක කර කරුණු පමණක් මතක තබා ගැනීම (Facts vs Concepts)

කරුණ මතක තියාගන්න එක යමක් තේරුම් ගන්නවට වඩා ලේසියි නේ. ඉතින් කරුණු විතරක් මතක තියාගන්න. තාරකා විද්‍යාව කියන්නේ විද්‍යාවක්. ඒක නිසා බොහෝ කරුණු වලට පසුබිම් වන හේතුවක් තියෙනවා. ධූම කේතුවකට (Comet) වලිග දෙකක් තියෙන්නත් හේතුවක් තියෙනවා. ධූලි (Dust)සහ වායු (Gas) අංශු වෙන වෙනම වල්ග දෙකක් හදනවා. ධූලි අංශු බර වැඩි නිසා කක්ෂයේම නවතිනවා, කක්ෂය වක්‍රාකාර නිසා ධූලි වල්ගයත් වක්‍රාකාරයි. ධූලි අංශු බර නිසා සූර්ය සුළඟෙන් වැඩි බලපෑමක් නෑ. වායු අංශු සැහැල්ලුයි. අයණීකරනය වූ මේවා සූරිය සුළඟට (Solar wind) පහසුවෙන් ගසා ගෙන යයි. ඒ නිසා වක්‍ර වීමකුත් නෑ. කරුණ වෙන වෙනම මතක තියාගන්න ගියා නම් එතනම කරුණු කීයක්ද?

සිද්ධාන්තය මතක නම් ප්‍රශ්ණ කොහොම කරකවල ඇහුවත් උත්තර තියෙනවා. ඒත් කරුණු පාඩම් කලොත් ඒ කරුණම ඒ විදියට ඇහුවොත් ගොඩ, නැත්තන් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ.

කරුණු පාඩම් කිරීමේ අනිත් වාසිය ඒවා ඉතා පහසුවෙන් අමතක වීම සහ, කලබලෙන් මතක් කරන විට පටලැවීම. ඒ නිසා පරදින්න කැමති අය කරුණු විතරක් පාඩම් කරන්න.

සාර්ථකත්වයට කෙටි මං නැතත්, අසාර්ථකත්වයට ඕනෑ තරම් කෙටි මං ඇත

There are no short-cuts to success! ඒත් ඉතින් පරදින්න ඕනේ නිසානේ මේ සටහන මෙච්චර දුර කියෙව්වේ. මහන්සි නොවී තරඟ දිනන්න සිහින මැවීම පරාජයට අත වැනීමකි. ඉහත කරුණු හොඳින් පිලිපැද්දේ නම් තරඟය පටන් ගන්නා මොහොත වන විටම පරාජයේ දොරටුව ඔබට විවර වී අවසානයි. ඕනෑම තරඟයක් දිනීමට වාසනාවත් යම් පමණකට උපකාර වෙනවා. ඒත් කියමනක් තියෙනවා, වාසනාව යනු සූදානම් වූ පුද්ගලයාට ලැබෙන අවස්ථාව කියල (Luck is what happens when preparation meets opportunity)

පැරදීමේ රහස් දන්නා නිසා, දැන් ඔබට අවස්ථාවක් ලැබුනද, තාරකා විද්‍යා ප්‍රශ්ණ තරඟයකින් පරාජය වීම ඔබට ඉතා පහසු කාර්යයකි.

ඒ වගේම පැරදුනාට පස්සේ, ප්‍රශ්ණ හදපු අයට, දිනපු කණ්ඩායමට වගේම අවාසනාවටත් දොස් පරවන්න අමතක කරන්න එපා.

 

Read More

පෘථිවියේ පැවැත්මට චන්ද්‍රයාගේ බලපෑම

පෘථිවියට ලගින්ම ඇති ආකාශ වස්තුව වන්නේ චන්ද්‍රයාය. සෞරග්‍රහ මන්ඩලයේ අනෙකුත් ආකාශ වස්තු අතුරෙන් වැඩිපුරම විද්‍යාඥයින් අධ්‍යනය කොට ‍ඇති ආකාශ වස්තුව වන්නේද චන්ද්‍රයාය. විවිධ කාල වලදී විවිධ කලාවන්ගෙන් දිස් වන චන්ද්‍රයා රෑ අහසට එක් කරනුයේ අමුතුම අලංකාරයකි.

රෑ අහසේ ඉතා පහසුවෙන් හදුනාගත හැකි, ඕනෑම අයෙකුට බොහොම සුපුරුදු ආකාශ වස්තුව වන සද තවත් එක් ආකාශ වස්තුවක් ලෙස හැදින් වීම සුදුසුද? පෘථිවි සමබරතාවට චන්ද්‍රයාගේ බලපෑම කෙබදුද? ජීවීන්ගේ පැවැත්මට චන්ද්‍රයාගේ බලපෑමක් තිබේද? පෘථිවි කාලගුණය කෙරෙහි චන්ද්‍රයා බලපානු ලබයිද? විද්‍යාඥයින් උනන්දු වන වැදගත් ගැටලුවක් වන පෘථිවිය සතුව චන්ද්‍රයෙකු නොතිබුනා නම් කුමක් සිදුවේද? යන ගැටලු පිළිබදව මදක් සොයා බැලීම වටී.

චන්ද්‍රයාගේ බිහිවීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් මත 4ක් ඉදිරිපත් කරන අතර එයින් වඩාත් පිලිගැනෙන්නේ ‘මහා ගැටුම් කල්පිතය’ යන මතයයි. මෙමගින් පෘථිවිය බිහිවෙමින් පැවති යුගයේ අගහරු ප්‍රමාණයේ වූ වස්තුවක් පැමිණ පෘථිවිය සමග ගැටී, එයින් අවකාශයට මුදාහල කොටස් වලින් චන්ද්‍රයා නිර්මාණය වූ බව කියැවේ. අහම්බෙන් මෙන් සිදු වූ මේ සුවිසල් ගැටුම නොවන්නට පෘථිවිය සතුව චන්ද්‍රයෙකු නොතිබෙන්නටද ඉඩ තිබුණි. එසේ වූවා නම් අද යුගයේ පෘථිවිය පවතිනුයේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකිනි. සමහරවිට පෘථිවියේ ජීවයක් හට නොගැනීමටද ඉඩ තිබුනි.

මෙවැනි සුවිශේෂී වූ වැදගත්කමක් ඇති මෙම ගැටුමට පෙර පැවති පෘථිවිය විද්‍යාඥයින් හදුන්වනුයේ Earth mark-1 ලෙසයි. පෘථිවිය හා ගැටුනු වස්තුව Orphius ලෙසත් ගැටුමෙන් පසු අද යුගය දක්වා පරිණාමය වූ පෘථිවිය Earth mark-2  ලෙසද හදුන්වනු ලබයි.

පෘථිවිය හා චන්ද්‍රයා පද්ධතිය නිර්මානය වෙමින් පැවති මුල් යුගයේ පෘථිවි භ්‍රමණ වේගය ඉතා විශාල අගයක් වූ අතර එකල පෘථිවි දිනයක කාලය පැය 4ක් වැනි ඉතා කෙටි කලකට සීමා වී පැවතිනි. චන්ද්‍රයා පැවතියේ පෘථිවියට ඉතා සමීපවය. නමුත් කාලයාගේ අවෑමෙන් චන්ද්‍රයා තම මවු ග්‍රහයාගෙන් ඈත් වීමට පටන් ගත් අතර පෘථිවි භ්‍රමණ වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වී අවසානයේ අද පවතින අගය දක්වා පරිණාමය වී පවතී. නමුත් චන්ද්‍රයා පෘථිවියෙන් ඈත්වීම තවමත් නතරකර නොමැත. එය දිගටම පෘථිවියෙන් ඈත් වෙමින් පවතී. චන්ද්‍රයාගේ මේ ඈත් වීම පෘථිවිවාසීන් වන අපට නොපෙනෙනුයේ එය ඉතාමත්ම සෙමින් සිදුවන ක්‍රියාවක් හේතුවෙනි.

ඇපොලෝ විපෘතිය යටතේ සද මතට ගිය ඇපොලෝ සදගාමීන් එහි සිදුකල ක්‍රියාකාරකම් වලින් එකක් ලෙස සද මතුපිට පරාවර්තක(Reflectors) සවි කිරීම සිදු විය. අද යුගයේ පවා ක්‍රියාත්මකව පවතින මේ පරාවර්තක වෙත විශේෂ අවධානයක් යොමුව පවතිනුයේ ටෙක්සාස් හි මැක්ඩොනල්ඩ්(McDonald) නිරීක්ශණාගාරයේ විද්‍යාඥයන්ය. ඔවුන් තම නිරීක්ශණාගාරයේ සිට අතිවිශාල ලේසර් ධාරාවක් චන්ද්‍රයා මත පිහිටුවා ඇති පරාවර්තක වෙත යොමු කරනු ලබයි. නැවත පරාවර්තනය වී පැමිණෙන ලේසර් ධාරාව ලබාගෙන ඒ අනුව එම අදාල මොහොතේ පෘථිවියේ සිට චන්ද්‍රයාට පවතින දුර ගණනය කරනු ලබයි. මෙලෙස බොහෝ කාලයක් පුරාවට සිදුකල ගණනය කිරීම් නිරීක්ශණය කල විට පැහැදිලි වන්නේ පෘථිවිය හා චන්ද්‍රයා අතර පවතින සාමාන්‍යය දුර එක් වසරකදී අගල් 1 1/2 පමණ වන අගයකික් දිගු වන බවයි. 

සූර්යග්‍රහණ ඇති වන්නේ ඉතා සරලව චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත වසා දැමීම නිසා බව ඔබ දනී. පූර්ණ සූර්යග්‍රහණයකදී සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වැසී යයි. නමුත් තව බොහෝ කාලයකට පසු පෘථිවිවාසීනට පූර්ණ සූර්යග්‍රහණ දැක බලා ගැනීමට නොහැකි වනු ඇත.මන්ද යත් චන්ද්‍රයාගේ ඈත් වීම නිසා සූර්යය මුහුණත එයට සම්පූර්ණයෙන්ම වැසී නොයන හෙයිනි.

උදම් බලපෑම

චන්ද්‍රයා සහ සූර්යයාගේ ගුරුත්ව බලයන් හේතුවෙන් පොලොව යම් ආකාරයක ඇදීමකට(Tidal force) ලක්වේ. පොලොවේ මේ ඇදීමට වැඩි වශයෙන් දායක වන්නේ චන්ද්‍රයා වන අතර මෙම සංසිද්ධියේ වැඩි බලපෑමක් පවතිනුයේ සාගර ජලය උස් පහත් වීමටය. ‘වඩදිය’ හා ‘බාදිය’ ලෙස අප හදුන්වනුයේ මෙයයි.

පොලොව තමා වටා භ්‍රමණය වනුයේ උදම් බලපෑමත් සමගය. ප්‍රධාන වශයෙන් චන්ද්‍රයා, මුහුදු ජලය තමා දෙසට ඇද බැද තබා ගැනීමට උත්සහ දරයි. නමුත් මේ බලපෑමත් සමග පෘථිවිය භ්‍රමණය වීම හේතුවෙන් සාගර ජලය හා සාගර පතුල්(Ocean floors) අතර සියුම් ඝර්ශණයක්(Tidal friction) නිර්මාණය වේ. මේ ඝර්ශණය නිසා පෘථිවි භ්‍රමණයට විරුද්ධව ගොඩනැංවෙන බලය, භ්‍රමණ වේගය හීන කිරීමට හේතු වේ.

අවුරුදු මිලියන 600කට පෙර පෘථිවි දිනයක අග‍ය පැය 22කට මදක් අඩු අගයක්ව පැවත ඇත. පැරණි සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ වාර්ථා අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ මීට අවුරුදු 2000කට පමණ පෙර, දිනයක අගය අද පවතින පැය 24 වන අගයට වඩා කුඩා ප්‍රමාණයක් අඩුව පැවති බවයි. මේ ආකාරයට තවත් බොහෝ කාලයකට පසු පෘථිවි දිනයක අගය පැය 24 කට වඩා වැඩි වනු ඇත.

පූර්වායනය

ඉතා ඈත අතීතයේ එනම් ක්‍රි.පූ. දෙවන සියවසේදී විසූ ග්‍රීක ජාතික තාරකා විද්‍යාඥයකු වන හිපාකස්(Hipparchus) තාරකා විද්‍යා ඉතිහාසයේ සටහන් වන ඉතා වැදගත් පුත්ගලයෙකි. පෘථිවියේ පිහිටුම දැක්වීමට ප්‍රථම වරට අක්ශාංෂ දේශාංෂ ක්‍රමය හදුන්වා දීම, ප්‍රථම වරට තාරකා නාමාවලියක් සකස් කිරීම, තාරකා වල දීප්තිය සදහා ප්‍රථම වරට මිනුම් දන්ඩක් ඉදිරිපත් කිරීම, ඔහු විසින් සිදුකල ක්‍රියාකාරකම් වලින් කිහිපයකි.

හිපාකස් තමාගේ නිරීක්ශණ මත පදනම් වෙමින් ඔහුගේම තරු සිතියමක් නිර්මාණය කිරීමට යෙදුණි. ඔහු තමා විසින් නිර්මාණය කල සිතියම මීට අවුරුදු 150කට පමන පෙර නිර්මානය වූ තරු සිතියමක් සමග සංසන්දනය කර බැලීමේදී පැහැදිලි වූයේ ඒවායේ පැහැදිලි වෙනසක් නිරීක්ශණය වන බවයි. එනම් මේ සිතියම් දෙකෙහි පැය වටයන්(Right Ascension)වල පිහිටීම තරමක් දුරට වෙනස්ව පැවතීමයි. මේ වෙනසේ විශාලත්වය මත, එය තම නිරීක්ශණ දෝශ හේතුවෙන් සිදු නොවූවක් බවට නිගමනය කල හිපාකස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පැය වටයන් කාලයත් සමග වෙනස් විය හැකි බවයි. නමුත් ඔහුට මෙලෙස සිදු වීමට හේතුව පිලිබදව කිසිදු අදහසක් නොතිබුණි.

මෙම ක්‍රියාවලිය සියලු දෙනාට අවබෝධ කර ගැනීම පිණිස තවත් සරලව දක්වතොත්, හිපාකස් යුගයේ භාවිතා කල තරු සිතියමේ තාරකා රටා පිහිටි ස්ථාන අද අප භාවිතා කරන තරු සිතියමේ තාරකා රටා පිහිටන ස්ථාන වලින් මදක් වෙනස් වේ. මේ වෙනසට හේතුව පසුකාලීනව විද්‍යාඥයින් පූර්වායනය(Precession) නමැති සංසිද්ධිය හේතුවෙන් සිදු වන්නක් බව හදුනාගෙන ඇත.

 

රූපය-1

පෘථිවිය තමා වටා භ්‍රමණය වන බවත් භ්‍රමණ අක්ශය අංශක 23 1/2 ක ඇලයකින් යුතුව පවතින බවත් අපි දනිමු. සමස්ත සෞරග්‍රහ මන්ඩලය තුල පෘථිවිය සැලකීමේදී සෙසු වස්තූන් වල පැවැත්ම පෘථිවි පැවැත්ම කෙරෙහි බලපායි. එනම් ඉතා ප්‍රභල ලෙස ලගින්ම පිහිටන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය, චන්ද්‍රයා තරම් ප්‍රභල නොවූවත් සූර්යයාගේ ගුරුත්ව බලය හා ඉතා සුළු ප්‍රමාණයකින් සෙසු ග්‍රහවස්තු වල ගුරුත්ව බලපෑම පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලවීම වෙනස් කිරීමට උත්සහ දරයි. නමුත්(gyroscope මූලධර්මයට අනුව ) පෘථිවිය තමා වටා වේගයෙන් භ්‍රමණය වීම හේතුවෙන් බාහිර බලපෑම් පැවතුනත් තමාගේ අක්ශයේ ඇලවීම වෙනස් නොකර ගන්නා අතර ඒ වෙනුවට අක්ශයේ පිහිටීම වෙනස් කර ගනී. රූපය-1 අධ්‍යනය කිරීමේදී ඔබට මෙය පැහැදිලි වනු ඇත. පූර්වායනය ලෙස හදුන්වනුයේ මෙයයි.  

මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් වෙයි. එනම් පූර්වායනය යනු පෘථිවි භ්‍රමණ අක්ශය ඇල වී ඇති ප්‍රමාණය වන අංශක 23 1/2 ක අගය වෙනස් නොවීමකි. මෙහිදී සිදු වනුයේ භ්‍රමණ අක්ශයේ පිටීම වෙනස් වීම පමණි. මෙය ඉතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර භ්‍රමණ අක්ශයේ වෙනස සම්පූර්ණ වටයක් සලකුණු කිරීම සදහා ආසන්න වශයෙන් අවුරුදු 26,000 පමණ ගතවනු ඇත. එකල හිපාකස් පෙන්වා දුන් වෙනසට හේතුව ඉහත සංසිද්ධියයි. පූර්වායනය සදහා ප්‍රභල ලෙස බලපානුයේ අන් කිසිවක් නොව අපට ලගින්ම පිහිටි චන්ද්‍රයාය.

චන්ද්‍රයා නොතිබුණහොත්…

Dr. Jacques Laskar

ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වන ආචාර්‍යය ජැක් ලැස්කා (Dr. Jacques Laskar) පෙන්වා දෙන පරිදි පූර්වායනය සදහා(භ්‍රමණ අක්ශයේ පිහිටීම වෙනස් කිරීමට ) චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපෑවත් භ්‍රමණ අක්ශයේ ඇලය වන අංශක 23 1/2 ක් වන අගය නියතව පවත්වා ගැනීම සදහාද චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපානු ඇත. ඔහුගේ ගණනය කිරීම් අනුව චන්ද්‍රයා නොමැතිව පෘථිවිය පමණක් සලකා බැලීමේදී එහි භ්‍රමණ අක්ශය කාලයත් සමග ඉතා විශාල වශයෙන්, අංශක 0 සිට 90 දක්වා පරාසයක් තුල වෙනස් වීමට ලක්වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.  

අගහරු ග්‍රහයා සැලකීමේදී එය සතුව පවතිනුයේ බොහෝ දුරට ග්‍රහකයන් ලෙසට හැදින් විය හැකි කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකි. පෘථිවියේ මෙන් විශාල උපග්‍රහයෙකු නොපැවතීම හේතුවෙන් අගහරුගේ භ්‍රමණ අක්ශයේ ඇලවීම කාලයත් සමග ක්‍රමයෙන් වෙනස් වේ.

ආචාර්‍යය ලැස්කා පවසන පරිදි චන්ද්‍රයා නොතිබුණා නම් පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලය කලින් කලට වෙනස් වනු ඇත. මෙම තත්වය පෘථිවි දේශගුණය විශාල වශයෙන් වෙනස් වීම කෙරෙහි බලපායි. විද්‍යාඥයින් සදහන් කරන පරිදි භ්‍රමණ අක්ශයේ ඇලවීම ඉතා කුඩා ප්‍රමාණයකින් උවද වෙනස් වීම දේශගුණය සැලකිව යුතු ප්‍රමාණයකින් වෙනස් වීම කෙරෙහි බලපානු ඇත.

පෘථිවිය මත ජීවය

 

Dr. Norman Sleep

Stanford විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යය නෝර්මන් ස්ලීප්(Norman Sleep) ප්‍රකාශ කරන ආකාරයට පෘථිවි ජීවයේ ආරම්භය සදහා චන්ද්‍රයා බිහිවීම සදහා බලපෑ සුවිසල් ගැටුම ඉතා ප්‍රභල ලෙස හේතු වී තිබේ. මේ ගැටුම සිදු නොවූවා නම් අද යුගයේ පවතිනුයේ Earth mark-1 ලෙස හැදින්වෙන පෘථිවියයි. මෙම පෘථිවිය අද අප ජීවත් වන පෘථිවිය මෙන් නොව සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී පැවතීමට ඉඩ තිබූ බවත් මේ අනුව ජීවයට සුදුසු පරිසරයක් නිර්මාණය නොවීමට ඉඩ තිබූ බවත් ඔහු පවසයි.

Earth mark-1 හා Orphius අතර සිදු වූ ගැටුම පෘථීවිය මත බිහිවෙමින් පැවති මුහුදු වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් වාශ්ප කර දමන්නට හේතු වී ඇත. ඉන් පසුව අද යුගය දක්ව පරිණාමය වී ඇති Earth mark-2   පෘථිවිය මත ජීවයට සුදුසු පරිසරයක්(ජීවයක් නිර්මාණය වීමට අවශය කරන සාධක ) නිර්මාණය වූයේ මේ ගැටුම හේතුවෙනි.

සෞරග්‍රහ මන්ඩලය මෙන් අනෙකුත් තාරකා වටා පැවතිය හැකි ග්‍රහමන්ඩල සෙවීම කෙරෙහි විද්‍යාඥයින් මහත් උනන්දු වෙයි. මෙවැනි පද්ධතීන් අතරින් පෘථිවිය වැනි ජීවය පවතිය හැකි ආකාරයේ ග්‍රහලොවක් හදුනා ගැනීම ප්‍රභල සොයා ගැනීමක් වනු නිසැකය. නමුත් ජීවයක් පැවතිය හැක්කේ අදාල ග්‍රහලොව මත අවශ්‍ය කරන සාධක නිර්මාණය වී ඇත්නම් පමණි. පෘථිවියේ පැවත්මට චන්ද්‍රයාගෙන් එල්ල වනුයේ දැඩි බලපෑමකි. මේ අනුව පෘථිවිය වැනි පිටස්තර ග්‍රහයෙකු සෙවීමේදී එහි ස්ථාවර පැවැත්ම කෙරෙහි පෘථිවියේ මෙන් විශාල චන්ද්‍රයෙකු පිහිටීමේ වැදගත්කම පිලිබදවද සලකා බැලිය යුතුය. මේ වන තෙක් මේ ආකාරයේ පද්ධතියක් හදුනාගෙන නම් නැත.

පූර්වායනය පිළිබද වැඩිදුර තොරතුරු..

Read More

ඔල්බර්ස්ගේ විසංවාදය

රාත්‍රී අහස අඳුරු ඇයි කියා කෙනෙකු ඔබෙන් ප්‍රශ්ණ කලොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? මෙය කුඩා ළමයකුට වුවද පිළිතුරු දිය හැකි සරල ප්‍රශ්ණයකි. අප සැම ජීවත් වන ලෝකය හෙවත් පෘථිවිය ගෝලාකාර වස්තුවකි. සූර්යයා වටා කක්ෂගතව පවතින පෘථිවිය මතට සූර්යයාලෝකය පතිත වනුයේ හිරු මුහුණලා සිටින දිසාවට පමණි. අනෙක් පසට සූර්යයාලෝකය පතිත නොවන බැවින් අඳුර හෙවත් රාත්‍රිය උදා වෙයි.

රාත්‍රිය ඇති වනුයේ මෙලෙසිනි. රාත්‍රී අහස අදුරු වනුයේ සූර්යයා අහසේ දර්ශණය නොවන නිසාවෙනි. රාත්‍රී අහස අදුරු ඇයි යන සරල ගැටලුවට ඔබ දෙන පිළිතුර වන්නේ මෙය බවට කිසිදු සැකයක් නැත.

19 වන සියවසේ ජීවත් වූ ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙකු හට රාත්‍රී අහස අදුරු ඇයි යන ගැටලුවට මේ පිළිතුර ප්‍රමාණවත් නොවිනි. ඔහු මේ ගැටලුව ඉතා තදින් ගැඹුරට අධ්‍යනය කලේය. ඔහුගේ ගණනය කිරීම් වලට අනුව සූර්යයා නොතිබුනත් රාත්‍රීයට උනත් හිරු පායා ඇතිවාක් මෙන් අහස ආලෝකමත්ව තිබෙනු ඇත. මේ පුද්ගලයා නමින් හෙන්රිච් ඔල්බර්ස්ය (Heinrich Olbers). මොහු ජර්මන් ජාතික තාරකා විද්‍යාඥයෙකි.

Heinrich Olbers

ඔල්බර්ස් ඉදිරිපත් කරන තර්කය මෙසේය. රාත්‍රී අහසේ තාරකා අති විශාල ප්‍රමාණයක් පවතී. තාරකා යනු සූර්යයා වැනි වස්තූන් බව ඔබ හොදින් දනී. ඔල්බර්ස් මතු කරන තර්කය වන්නේ මෙතරම් වූ තාරකා තිබෙනවා නම් ඒවා සියල්ලගේම ආලෝකය අප පෘථිවිය මතට පැමිණිය යුතු බවයි. උදාහරණයක් ලෙස ඔබ විශාල වනාන්තරයක් මැද සිටිනවා යැයි සිතන්න. ඔබ වට පිට බැලුවහොත් ඔබට පෙනෙනුයේ ගස් කොලන් පමණි. වනාන්තරයට එපිටින් ඇති කිසිවක් ඔබට නොපෙනෙනුයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින ගස් වලින් අවට සියලු දේ වැසී යන බැවිනි. පෘථිවියට එපිටින් ඇති තාරකාද අපට දිස් වන්නේ මෙලෙසිනි. මේ නිසා මුලු අහසම දීප්තිමත්ව පැවතිය යුතුය. නමුත් ඇත්තටම මෙලෙස සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේනම් ඔහුට වැරදී ඇත්තේ කොතැනද?

ඔල්බර්ස් තම තර්කය ඉදිරිපත් කරනුයේ ගණනය කිරීමක්ද සහිතව ඉතා සවිස්තරාත්මක ප්‍රකාශයක් ලෙසිනි. මෙය පැහැදිලිව අධ්‍යනය කල විට ඔහු ඉදිරිපත් කරන තර්කයේ වැරද්දක් නැති බව පැහැදිලිය. බොහෝ කාලයක් පුරාවට විද්‍යාඥයින් මේ ගැටලුවට පිලිතුරු සෙවීමට උත්සහ කොට ඇත. නමුත් මෑතක් වනතුරුම රාත්‍රී අහස අදුරු ඇයි යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් නොලැබුණි.

මෙහිදී පැහැදිලිව සදහන් කල යුතු කරුණක් වෙයි. එනම් ඔල්බර්ස් තමන්ගේ මේ විසංවාදය ඉදිරිපත් කරන්නේ 1826 වර්ෂයේදීයි. නමුත් රාත්‍රී අහස අදුරු ඇයි යන මේ ගැටලුව මතු කල ප්‍රථමයා ඔහු නොවෙයි. සමහර පොත්පත් වල සදහන් වන පරිදි, මේ ගැටලුවේ ඉතිහාසය 16 වන යුගය තරම් ඈතකට දිව යන්නකි. රාත්‍රී අහසේ අඳුරු බව යන ගැටලුව මතු කල ප්‍රථමයා ලෙස දැක්විය හැක්කේ 1576දී තෝමස් ඩිග්ස්(Thomas Digges) යන පුද්ගලයාය. ඔහුගේ මතයට අනුව තාරකා අතර අවකාශය අඳුරු ලෙස දිස් වන්නේ ඈතින්ම ඇති තාරකා වලින් එන අලෝකය ඉතා දුර්වල වන හෙයිනි. ඉන් පසු මේ ගැටලුව මුල්වරට තරමක් ගැබුරින් සාකච්චාවට බඳුන් කොට ඇත්තේ 1610දී ජොහැන්නස් කෙප්ලර් (Johannes Kepler) විසිනි. ඔහුගේ මතයට අනුව අහස අඳුරු ලෙස දිස් වන්නේ විශ්වය පරිමිත බැවිනි. ඉන් පසු 18 වන ශතවර්ශයේදී එඩ්මන්ඩ් හැලී(Edmund Halley) සහ Cheseaux විසින්ද මේ ගැටලුවම මතු කර ඇති බවට තොරතුරු ඇත. කෙසේ වෙතත් රාත්‍රී අහස අඳුරු ඇයි යන ගැටලුව පසු කලෙක ප්‍රසිද්ධ වූයේ ඔල්බර්ස්ගේ විසංවාදය නමිනි. 

රූපය-1

ඔල්බර්ස්ගේ විසංවාදය නිර්මාණය වී ඇත්තේ මූලික උපකල්පන 3ක් මත පිහිටාය. එනම් විශ්වය යනු වෙනස් වීමක් නැති (ස්ථාවර), අපරිමිත ලෙස පැතිර පවත්නා සහ ඒ තුල තාරකා ඒකාකාරීව විසිරී ඇති යන උපකල්පනයන්ය. අප වෙසෙන පෘථිවියේ සිට R දුරකින් (අරයකින්) පැතිර පවතින මනංකල්පිත ගෝලයක් සලකමු. මෙම ගෝලයේ පිටත පෘෂ්ඨයේ ඝණකම හෙවත් පළල a ලෙස ගනිමු. පිටත පෘශ්ඨ කොටසේ පරිමාව ආසන්න වශයෙන් 4πR2a  ලෙස ගත හැක(මෙහිදී ගෝලයේ පෘශ්ඨ වර්ගපලය ගණනය කිරීමේ පහසුව සදහා තිරස් ලෙස පැතිර ඇතැයි උපකල්පනය කොට ඇත). ඉහත රූපය-1 හි O ලක්ෂයෙන් පෘථිවිය ද ඊට එපිටින් පෙර සදහන් කල ආකාරයට නිර්මාණය කල හැකි ගෝලයන් දෙකක් A හා B ලෙස දැක්වේ. ඒකක වර්ගඵලයක් තුල පවතින තාරකා ප්‍රමාණය N ලෙස ගත් විට මෙම මනංකල්පිත ගෝලය වටා ඇති තාරකා ප්‍රමාණය 4πR2aN වන බව පැහැදිලිය.

තේරුම් ගැනීමේ පහසුව සදහා විශ්වයේ සියලු තාරකා එකම දීප්තියකින් යුක්ත හා එහි අගය L ලෙස ගනිමු. මෙවැනි එක් තාරකාවක් සියලු දිශාවන් කරා අලෝකය හෙවත් විකිරණ විහිදුවනු ලබයි. මෙවැනි තාරකාවක සිට පෘථිවියට පවතින දුර ආසන්න වශයෙන් R වන බැවින් තාරකාවේ සිට O ලක්ශය හෙවත් පෘථිවිය හරහා යන දුර R වන ගෝලයක් නිර්මාණය කලහොත්  පෘථිවිය හරහා ඒකක වර්ගඵලයක් තුලින් යන විකිරණ ප්‍රමාණය L/4πR2 වේ. මේ අගය ගෝලය පිටත පෘශ්ටය වටා පවතින තාරකා ප්‍රමාණයෙන් ගුණ කල විට ලැබෙන පිලිතුර LNa කි. එම නිසා මෙයින් පැහැදිලි වන්නේ මේ ගෝලය වටා පවතින තාරකා මගින් පෘථිවිය වෙත ලැබෙන මුලු විකිරණ ප්‍රමාණය LNa වන බවයි.  

විශ්වය අපරිමිත යැයි උපකල්පනය කල බැවින් මෙවැනි ආකාරයේ රූපය-1 හි දැක්වෙන්නාක් මෙන් A හා B ආදී ගෝලයන් අපරිමිත ප්‍රමාණයක් අපට නිර්මාණය කල හැකිය. මේ නිසා මේ සියල්ලන්ගෙන්ම ලැබෙන ආලෝකය රාත්‍රී අහසේ අදුරු බව මකා දැමීමට තරම් ප්‍රබල වේ. ඔල්බර්ස් ඉදිරිපත් කල තර්කය මෙයයි.

ඈතින් ඇති තාරකා දිස් වන්නේ අඩු දීප්තියකිනි. මේ නිසා රාත්‍රී අහස අදුරු වන්නේ ඈතින්ම ඇති තාරකා වලින් ලැබෙන ආලෝකය නොගෙනිය හැකි තරම් දුර්වල වන නිසා නොවේදැයි ඔබට එක් වරම සිතෙනු ඇත. නමුත් ඔල්බර්ස්ගේ විසංවාදය දෙස තරමක් ගැබුරින් බැලූ කල තාරකා වලට ඇති දුර බලනොපාන බව පැහැදිලි වනු ඇත. මන්ද යත් අරය වැඩි වීමේදී නිර්මාණය වන ගෝලයන්ගේ ප්‍රමාණයද විශාල වේ. මේ අනුව බලන කල දුර වැඩි වීමේදී තාරකාවල දීප්තිය අඩු වූවත් එම අදාල ගෝලය අවට ඇති තාරකා ගණනද ඊට අනුලෝමව වැඩි වේ. මේ නිසා අප මනංකල්පිතව නිර්මාණය කරන සෑම ගෝලයකින්ම ලැබෙන අලෝක ප්‍රමාණය එකම වේ. ඉහත ගනණය කිරීමට අනුව මේ නිය‍ත අගයකි.  

ඔල්බර්ස්ගේ විසංවාදය ඉදිරිපත් වූ කාලය මිනිසා විශ්වය පිළිබදව අද යුගය මෙන් බොහෝ දේ නොදැන සිටි කාලයකි. මේ නිසා විසංවාදය තුල ආලෝක මූලයන් ලෙස සදහන් වන්නේ තාරකා පමණි. නමුත් අද අප දන්නා පරිදි අහසේ අපට දර්ශණය වන සියලු තාරකා අප ක්ශීරපථ මන්දාකිණියට අයත් ඒවා වේ. අප මන්දාකිණියට එපිටින් තාරකා පවතිනුයේ තාරකා පොකුරු හෙවත් මන්දාකිණි ලෙසිනි. මේ නිසා ඔල්බර්ස්ගේ විසංවාදය අද යුගයේදී කථා කරන විට එහි ආලෝක මූලයන් විය යුත්තේ තාරකා පමණක් නොව තාරකා හා මන්දාකිණි යන දෙකම බව විශේෂයෙන් සදහන් කල යුතුය.

ඔල්බර්ස් ගේ තර්කය ඉතා සුපරික්ශාකාරීව විමසා බැලූ විට එහි යම් අඩුපාඩුවක් සිදු වී ඇති බව පෙනෙනු ඇත. එනම් ලගින් පිහිටන තාරකා හෝ මන්දාකිණි මගින් ඈත තාරකා (මන්දාකිණි)වසා දැමීමයි. මේ නිසා තාරකා පිහිටන ගෝල අපරිමිතව නිර්මාණය කලත් එයින් අහසේ දීප්තිමත් බව සදහා වැදගත් වනුයේ පරිමිත අගයකි. නමුත් මෙහිදීද සම්පූර්ණ අහසම තාරකා හා මන්දාකිණි වලින් වැසී යන බැවින් එය විසංවාදය බිද දැමීමට හේතු වන්නක් නොවේ. 

විවිධ අදහස්..

රාත්‍රී අහස අදුරු ඇයි යන ගැටලුවට ඈත අතීතයේ සිටම විවිධ ආකාරයේ අදහස් විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කෙරිණි. ඒවායින් බොහොමයක් ප්‍රතික්ශේප වේ. පහත දැක්වෙනුයේ මෙවැනි ආකාරයේ පිලිතුරුය.

විශ්වයේ ඇති වායු වලාවන් මගින් ඈත තාරකා හා මන්දාකිණි අවහිර කරනු ලබයි. මෙය එක්වරම  පිලිතුරක් ලෙස පෙනුනත් මෙය පිලිගත හැකි අදහසක් නොවේ. මන්ද යත් අන්තර්තාරීය මාධ්‍යය (දුහුවිලි සහ වායු වලාවන්) විකිරණ උරාගෙන ඒවා බැබලීමට පටන් ගන්නා හෙයිනි.

ඔල්බර්ස්ගේ විසංවාදය නිර්මාණය වී ඇත්තේ විශ්වය අපරිමිත යන උපකල්පණය මත පිහිටාය. නමුත් මහා පිපුරුම් වාදයට(Big Bang theory) අනුව විශ්වය පරිමිත විය යුතු බව පැහැදිලි වේ. මේ නිසා අපට දිස් වනුයේ මේ පරිමිත අවකාශය තුල පවතින ආලෝක මූලයන් පමණි. මෙය මේ ගැටලුවට යම්තාක් දුරට පිලිගත හැකි පිලිතුරක් උනත් නියම පිලිතුර නොවේ.

මෙන්න මේකයි හේතුව..

ඈතින්ම පිහිටන සමහර තාරකා වල ආලෝකය තවමත් අප වෙත ලැබී නොමැත. ඉතා විශාල වේගයකින් ආලෝකය ගමන් කරත් විශ්වයේ විශාලත්වය අනුව බොහෝ ඈතින් ඇති මන්දාකිණිවල අලෝකය අප වෙත තවමත් ලැබී නොතිබීමට හැකියාවක් පවතී. බොහෝ දෙනා පිලිගන්නා ආකාරයට විශ්වයේ උපත සිදුවී ඇත්තේ මහා පිපුරුම් වාදයට අනුවය. ඒ අනුව විශ්වයේ වයස දල වශයෙන් අවුරුදු බිලියන 15 පමණ වේ. මේ හේතුවෙන් අපට පෙනෙනුයේ ආලෝක වර්ෂ බිලියන 15 ක පරාසය තුල ඇති විශ්වය පමණි. මෙය ‘නිරීක්ෂිත විශ්වය’ (Observable universe) ලෙසද හැදින් වේ. මෙය රාත්‍රී අහසේ අඳුරු බව සදහා පිලිගත හැකි ප්‍රභල පිළිතුරකි.

හබල් නියමයට අනුව විශ්වය යනු නියතව පවතින්නක් නොව කාලයත් සමග ප්‍රසාර‍ණය වන්නකි. මේ නිසා යම් මන්දාකිණි දෙකක් අතර දුර කාලයත් සමග වැඩි වනු ඇත. පෘථිවියේ සිට අප දකින සියලුම මන්දාකිණි අපෙන් ඈත්වෙමින් පවතී. හබල් නියමයෙන් පෙන්වා දෙන්නේ මන්දාකිනියකට ඇති දුර වැඩි වන විට එය ඈත්වෙන වෙගයද ඊට අනුලෝමව වැඩි වන බවයි. ඩොප්ලර් ආචරන මූලධර්මයට අනුව ඈත් වෙමින් ඇති මන්දාකිණිවල ආලෝකය අපට ලැබෙනුයේ රක්ත විස්තාපනයට (redshift) ලක්වය. එනම් මන්දාකිණියෙන් පිටවන ආලෝකයේ සංඛ්‍යාතය නියම අගයට වඩා අඩුවය. මේ නිසා බොහෝ ඈතින් ඇති මන්දාකිණි වල ආලෝකය ඉතා දැඩි ලෙස රක්ත විස්තාපනයට ලක්ව විද්‍යත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය කලාපයෙන් බැහැරට යාම නිසා අපට නොපෙනී යයි. මෙයද ඔල්බර්ස් විසංවාදය බිද දමන ප්‍රබල පිළිතුරකි.

ඉහත සදහන් කල අදහස් වලින් රාත්‍රී අහස අඳුරු වීමට ප්‍රබල ලෙසම බලපානුයේ අවසාන වශයෙන් සදහන් කල කරුණු දෙකය.

රාත්‍රී අහස අඳුරු ඇයි යන ගැටලුව සමාන්‍යය තාරකා විද්‍යාවේ එන සරල ඒවාගේම ප්‍රබල ගැටලුවකි. නමුත් එයට පිළිතුරු දිය යුතු වන්නේ සාමානය තාරකා විද්‍යාවෙන් නොව Cosmology හෙවත් විශ්ව න්‍යාය විද්‍යාවෙනි.

Read More