ළිදට වැටුණු හිරු ඡායාවෙන් හෙලි වූ පෘථිවි පරිධිය

මීට අවුරුදු 2550 කට පමණ පෙර, ග්‍රීක ජාතික පයිතගරස් නම් ගණිතඥයා පෘථිවිය ගෝලාකාර විය යුතු යැයි පැවසූවේ ගෝලයක් යනු හුදෙක් පරිපූර්ණ වස්තුවක් වීමත් සුවිශේෂී වූ පෘථිවිය දෙවියන් වහන්සේට ගෝලයකට වඩා සුවිශේෂී වූ හැඩයකින් මැවීමට නොහැකි වූයේ යැයි සිතූ නිසාය. ගණිතය නමැති විශේෂ විෂය හැදෑරීමෙන් ස්වභාවධර්මය හා දෙවියන් වහන්සේ වටහා ගැනීමට උත්සහකල

පයිතගරස්, පෘථිවිය ගෝලාකාර බව ප්‍රකාශ කර සිටියත් එය තහවුරු කිරීමට සාක්ෂි ගෙනහැර දැක්වූයේ නම් නැත. පෘථිවිය කුමන ආකාරයක වස්තුවක්ද යන වග පිළිබදව කුතුහලයකින් පසු වූ අතීත මිනිසා එහි හැඩය පිළිබදව විවිධ මත දරූහ. පයිතගරස්ගේ කාලයේ සිට අවුරුදු 100කට පමණ පසු ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් පෘථිවිය ගෝලාකාර බව සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමත් සමගම ගෝලාකාර පෘථිවිය පිළිබද වූ අදහස මනාව තහවුරු විය.

 

ඉරටොස්තනීස්

අප ජීවත් වන පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව තහවුරු කරගත් අවධියේ පටන්ම අතීත මිනිසාට තිබූ ඊලග ප්‍රධාන ගැටලුව වූයේ පෘථිවි ගෝලය කොපමණ විශාලද (අරය,විශ්කම්භය හෝ පරිධිය වැනි අගයක්) යන්නයි. පෘථිවියේ හැඩය කුමන ආකාරයේද යන්න යම් යම් දාර්ශණිකයින් විවිධ ආකාරයෙන් විවිධ කාල වලදී පැහැදිලි කලාක් මෙන් පෘථිවි ගෝලයේ තරම සදහාද විවිධ අගයන් ඉදිරිපත් විණි. මේ අතර අතීත ග්‍රීක දැණුමේ කේන්ද්‍රස්ථානයව පැවති ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා මහා පුස්තකාලයේ ප්‍රධාන පුස්ථකාලාධිපතිවරයාව සිටි ඉරටොස්තනීස් ඉදිරිපත් කල අගය වඩාත් නිරවද්‍ය හා පිළිගත හැකි අගයක් වන්නේ එය පරීක්ෂණාත්මක පදනමක් මත පිහිටා ගණනය කරන ලද්දක් වන හෙයිනි. පෘථිවි පරිධිය පමණක් නොව පෘථිවි භ්‍රමණ අක්ෂයේ ආනතිය සහ හිරු, පෘථිවිය, චන්ද්‍රයා අතර දුර සෙවීම ආදී සොයාගැනීම් නිසාද ඉරටොස්තනීස් කීර්ති නාමය ඉතිහාසයේ සටහන්ව පවතී. ඔහුගේ පරීක්ෂණයෙන් ලද අගය වර්ථමානයේ අප දන්නා පෘථිවි පරිධියේ අගයටද බොහෝ දුරට සමාන වීමෙන් පැහැදිලි වන්නේ මීට අවුරුදු 2250 කට පෙර ඔහු කල පරීක්ෂණයේ ඇති වැදගත්කමයි.

ළිදට වැටුණු හිරු ජායාව

සෑම වසරකම ජූනි මස 21 වන දින ඊජිප්තුවේ සයීන් (වර්ථමානයේ අස්වාන් ලෙස හැදින්වෙන) ප්‍රදේශයෙන් සුවිශේෂී වූ සංසිද්ධියක් නිරීක්ෂණය වන බව ඉරටොස්තනීස් හට දැනගැනීමට ලැබුණි. එනම් මෙදින මධ්‍යහන 12.00 ට එම ප්‍රදේශයේ ඇති ළිදක පතුල නිරීක්ෂණය කරන්නෙකුට සූර්යයාගේ ජායාව දර්ශණය වන බවයි(ඔහු මේ බව මුහුදු කොල්ලකරුවෙකුගේ පොතකින් දැනගත් බවද සදහන් වෙයි). අවුරුද්දේ අනෙකුත් දිනයන්හීදී මධ්‍යහන 12.00 ටත් අදුරු ලෙස දිස් වන ළිං පත්ල මෙම දිනයේදී පමණක් සූර්යයා ලෝකයෙන් ඒකාලෝක වී දර්ශණය වන්නේ, මෙම දිනයේදී සූර්යය කිරණ ඍජුවම අස්වාන් ප්‍රදේශය වෙත පතිත වන හෙයිනි. වෙනත් අයුරකින් දක්වතොත් ඉතා ඍජුවම මෙම ප්‍රදේශයට ඉහලින් සූරයයා පිහිටන බැවිණි.

අස්වාන් සහ ඇලෙක්සැන්ඩ්‍රියා නගර දෙක රතු පාටින් සලකුණු කර ඇත.

මෙම නිරීක්ෂණය දැනගත් වහාම ඉරටොස්තනීස් හට ඇති වූ කුතුහලය වූයේ තමා වෙසෙන ඇලෙක්සැන්ඩ්‍රියා නගරටත් හිරු රැස් ඍජුවම පතිත වනවාද යන්න සොයා බැලීමයි. මන්ද එසේ නොවේනම් පෘථිවිය පැතලි වස්තුවක් නොව ගෝලයක් බව මනාව පැහැදිලි වන බැවිනි. හිරු කිරණ වැටෙන ආනතිය සෙවීම, තවත් වැදගත් සොයාගැනීමකට මග පාදන බවද ඔහුට පෙනෙන්නට විය. එය වෙනකක් නොව සියලු දෙනා සෙවීමට කුතුහලයෙන් පසු වන පෘථිවි පරිධියයි.

පරිධිය හෙව්වේ මෙහෙමයි

ඉහත රූපයේ සයීන් ප්‍රදේශයේ ඇති ලිදට හිරු කිරන ඍජුවම වැටෙන ආකාරය දැක්වෙයි. කණුවක් පිහිටුවා ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේය. පෘථිවියේ ගෝලාකාර බව නිසා ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පිහිටි කණුවට හිරු කිරණ ආනතව පතින වන බැවින් එහි සෙවනැල්ලක් දැක ගත හැකිය. ඉරටොස්තනීස් මේ සෙවනැල්ලේ ප්‍රමාණය ලබාගත් අතර එමගින් හිරු කිරණ පතිත වන ආනතිය Ɵ සොයාගැණුනි. රූපයේ දක්වා ඇති ආකාරයට මෙම කෝණය, ලිද සහ කණුව පෘථිවි කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයටද සමාන වෙයි. ඉරටොස්තනීස් ලබාගැනීමට යෙදුනු මෙම කෝණයේ අගය ආසන්න වශයෙන් අංශක7.2 කි. මේ නිසා නගර දෙක අතර දුර පෘථිවි කේන්ද්‍රයේ ආපාතනය කරන කෝනයේ අගය 7.2 කි.

කේන්ද්‍රය වටා මුලු කෝණය 360 වන බැවින්, 7.2/360 = 1/50

මේ නිසා අදාල නගර දෙක අතර දුර පෘථිවි පරිධිය මෙන් 1/50 ක් ගුණයක් බව පැහැදිලිය. මේ අනුව නගර දෙක අතර දුර දන්නේ නම් එය 50න් ගුණ කල විට පෘථිවි පරිධියේ අගය ලැබේ.

ඉරටොස්තනීස් සොයාගත් ආකාරයට මෙම දුර ස්ටේඩියා 5000 කි. ස්ටේඩියා යනු අතීතයේදී දිග මැනීමට භාවිතා වූ ඒකකයක් වූ අතර අද අප දන්නා පරිදි ස්ටේඩියා 1 යනු මීටර 185 පමණ අගයකි. නගර දෙක අතර දුර සෙවීම සදහා ඉරටොස්තනීස් ඇලෙක්සැන්ඩ්‍රියා සිට සයීන් දක්වා පුත්ගලයෙකු පිටත් කර යැවූ බවද ඉතිහාසයේ සදහන් වෙයි.කෙසේ වෙතත් එලෙස ගණනය කිරීමෙන් ලද පෘථිවි පරිධියේ අගය වූයේ ස්ටේඩියා 250,000 කි. එය කිලෝමීටර වලින් දක්වතොත් 46,250km කි. අද අප දන්නා පෘථිවි පරිධියේ අගය 40,075.02 km (නීරක්ෂීය) කි. මේ නිසා ඉරටොස්තනීස් ලද අගය අද අප දන්නා අගයට බොහෝ දුරට සමාන වන බව පැහැදිලිය. පෘථිවි පරිධිය සෙවීම සදහා ඉරටොස්තනීස් කල පරීක්ෂණය අපට අමතක කල නොහැකි එකක් වන්නේ එහි ඇති නිරවද්‍යතාව නිසාවෙනි.

Read More

නිල් චන්ද්‍රයා

සාමාන්‍යයෙන් එක් මසකට දර්ෂණය වන්නේ එක් පූර්ණ සදක් පමණි. නමුත් මසකට පූර්ණ චන්ද්‍රයින් දෙකක් පිහිටන අවස්ථාවක් ඔබට සිහිපත් කල හැකිද?

ඇත්තටම මසකට පූර්ණ චන්ද්‍රයින් දෙකක් ඇතිවෙන්න පුලුවන්. යම් මාසයක පළවන හෝ දෙවන දින පූර්ණ සදක් දර්ෂණය වන විට එම මාසයේම තවත් පූර්ණ සදක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. මෙලෙස සිදු වන්නේ පූර්ණ චන්ද්‍රයින් දෙකක් අතර කාලය දින 29 1/2 වන බැවිනි. නමුත් මෙම සිදුවීම නිතර සිදු වන්නක් නොවන බව දින දර්ෂණයක් ගෙන පරීක්ෂා කර බැලීමේදී ඔබට පැහැදිලි වේවි. තවද මෙවැනි අවස්ථා ඇතිවන්නේ සමහර අවුරුදු වලදී පමණයි. මේ නිසා මසකට පූර්ණ සදවල් දෙකක් පිහිටීම කලාතුරකින් ඇතිවන සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ තරම්ම වැදගත්කමක් උසුලනවා. මෙලෙස යම් මාසයක දෙවන වරට දර්ෂණය වන පූර්ණ චන්ද්‍රයා ‘නිල් චන්ද්‍රයා'(Blue Moon)ලෙස හැදින් වෙනවා. නමුත් මෙම දිනයේදී චන්ද්‍රයා නිල් පැහැයෙන් දිස් වීමක් සිදුවන්නේ නම් නැහැ. මෙම දෙවන වරට ඇතිවන පූර්ණ චන්ද්‍රයා දර්ෂණය වන්නේත් සාමාන්‍යය පොහොය දිනයකදී චන්ද්‍රයා දර්ෂණය වන ආකාරයටමයි. නමුත් මෙම සංසිද්ධිය නිල් චන්ද්‍රයෙකු ලෙස හැදින්වීමට හේතුව නම් තරමක් අවිනිශ්චිතයි.

ඉහත පැහැදිලි කිරීමට අමතරව නිල් චන්ද්‍රයා සදහා තවත් අර්ථදැක්වීම් කිහිපයක්ද පවතිනවා. මෙයින් එකකට අනුව නිල් චන්ද්‍රයා ලෙස හැදින්වෙන්නේ යම් ඍතුවක පූර්ණ චන්ද්‍රයින් 4ක් ඇතිවන විට එයින් 3 වෙනියට පූර්ණ චන්ද්‍රයෙකු ඇති වන දිනයටයි. වැඩිදුරටත් පැහැදිලි කලහොත්, ඍතුවක් යනු මාස 3 ක කාලයකි. මේ නිසා සාමාන්‍යයෙන් එක් මසකදී එක් පූර්ණ සදක් ඇතිවන බැවින් එක් ඍතුවක් සදහා පවතින්නේ පූර්ණ චන්ද්‍රයින් 3ක් පමණයි. නමුත් අප ඉහත සදහන් කල ආකාරයට එක් මසකදී පූර්ණ සදවල් දෙකක් ඇති වන විට එක් ඍතුවකදී ඇති වන පූර්ණ චන්ද්‍රයින් ගණන 4ක් බවට පත් වෙනවා. මෙවැනි ඍතුවකදී 3වන වරට දර්ෂණය වන පූර්ණ චන්ද්‍රයා ‘නිල් චන්ද්‍රයා'(Blue Moon)ලෙස අතීතයේදී හදුන්වා තිබෙනවා. කෙසේ වෙතත් වර්තමානයේ නිල් චන්ද්‍රයා ලෙස හැදින්වෙන්නේ ඉහත පැහැදිලි කිරීමට අනුව අර්ථදැක්වෙන සංසිද්ධියයි.

1999 වසරේ මාර්තු මාසයේදී දර්ෂණය වූ නිල් චන්ද්‍රයා සංසිද්ධිය

1/03/1999

 

31/03/1999

නිල් චන්ද්‍රයා සංසිද්ධිය දර්ෂණය වන දිනයන්

Year

Month

Date

Time that moon becomes a Full Moon

2001 Nov

1

11h 11m

 

 

30

Dec-1 2h 19m

2004

Jul

2

16h 39m

 

 

31

23h 35m

2007

Jun

1

6h 34m

 

 

30

19h 19m

2009

Dec

2

13h 00m

 

 

31

2010 Jan-1 00h 43m

2012

Aug

2

8h 57m

 

 

31

16h 13m

2015

Jul

2

7h 50m

 

 

31

16h 13m

2018

Jan

2

7h 54m

 

 

31

18h 57m

 

March

2

6h 21m

 

 

31

18h 07m

2020

Oct

1

Oct-2 2h 35m

 

 

31

20h 19m

2023

Aug

1

Aug-2 00h 01m

 

 

31

7h 5m

  • ඉහත සියලු වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත පැය 24 ඔරලෝසු වේලාවෙන් දක්වා ඇත.
  • ඉහත දක්වා ඇති සියලු දිනයන් ශ්‍රී ලංකාවේ අප භාවිතා කරන දින දර්ෂණයන්ට අනුව පොහොය දිනයන් නොවිය හැක. එසේ වන්නේ චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයෙකු බවට පත් වන සෑම දිනයක්ම පොහොය දිනයක් ලෙස නොගන්නා හෙයිනි.
  • චන්ද්‍ර කලාවන් ආරම්භවන වේලාවන්ද සහිත 2009 වර්ෂයේ දින දර්ෂණය පහත පිවිසුමෙන් ලබාගත හැක.

http://documents.gov.lk/Calendar/Calendar-2009/Englihs.pdf

Read More

තාරකා බබළන්නේ ඇයි?

රාත්‍රි අහස නිරීක්ශණය කරන ඔබ තාරකා නිවෙමින් දැල්වෙමින් බබළන ස්වභාවයකින් දිස් වෙනවා දැක ඇති. නමුත් පුත්ගලයකුගෙන් ඇසිය හැකි සරලම ප්‍රශ්ණයක් වන තාරකා බැබළීමට හේතුව ඔබට පැහැදිලි කල හැකිද?


රාත්‍රී අහසේ දිස් වන තාරකා සුවිශේෂ වූ වස්තු විශේෂයන් නොව අප සූර්යයා වැනි තවත් එවැනිම අකාරයේ සූර්යන්ය. රාත්‍රී අහසේ තාරකා ඉතා කුඩාවට ලක්ෂීය වස්තූන් ලෙස දිස් වන්නේ පෘථිවිය සහ සූර්යයා අතර දුර මෙන් දස දහස් ගුණයකින් පමණ වන දුරින් පිහිටන නිසාය. තාරකා වලින් ආලෝකය නිකුත් කරද්දී අලෝකය දිදුලන ආකාරයෙන් නිකුත් කිරීමක් සිදු නොවෙයි. අහසේ අප දකින තාරකා වලින් ආලෝකය නිකුත් වන්නේ සූර්යය රශ්මිය අප පෘථිවිය වෙත ලැබෙනවාක් මෙන් ස්ථාවර ආකාරයෙනි.

එසේ නම් බබළන්නාක් මෙන් පෙනෙන ස්වභාවයක් ගැනීමට තාරකාවේ සිට ආලෝකය පෘථිවි පෘෂ්ටය වෙත ලැබීම අතරතුරදී කිසියම් හෝ දෙයක් සිදුවෙයි. මේ සදහා බලපාන්නේ අන් කිසිවක් නොව පෘථිවිය වටාම ඉතා ඝණව පිහිටන වායුගෝලයයි. පෘථිවි වායුගෝලය සෑම තැනම එකම ආකාරයෙන් පැතිර නොමැත. වායු ඝණත්වය අනුව පෘථිවි පෘෂ්ටයේ සිට ඉහල වායුගෝලය දක්වා ස්තර විශාල සංඛ්‍යාවකට වෙන්ව පවතී. තවද වරින් වර සිදුවන උෂ්ණත්වයේ වෙනස් වීම් මත ස්තරවල පිහිටීමද වෙනස් වෙමින් පවතී. මේ නිසා ඈත අභ්‍යාවකාශයේ සිට පෘථිවි වායුගෝලය හරහා පැමිණෙන ආලෝක කිරණ ඝණත්වය වෙනස් මාධයන් දෙකක් ඔස්සේ යාමේ දී සුලු නැවීමකට (වර්තනයකට) භාජනය වෙයි. වායු ස්තර විශාල සංඛ්‍යාවක් පවතින බැවින් පෘථිවි පෘෂ්ටය වෙතට පැමිණෙන විට අදාල ආලෝක තරංගය විශාල වාර ගණනකින් එහි දිශාව වෙනස් කර ගනියි.

වායු ස්ථර වල පිහිටීම වරින් වර වෙනස් වෙමින් පවතින බව අප පෙර සදහන් කළෙමු. මෙහි ප්‍රතිපලයක් වශයෙන් වර්තනය වෙමින් පැමිනෙන ආලෝක කිරන පෙර පැවති ආකාරයෙන් මදක් වෙනස් වෙයි. වෙනත් ආකාරයකින් සදහන් කලහොත් විවිධ ස්තර ඔස්සේ වර්තනය වීමේ ස්වභාවය වරින් වර වෙනස් වේ. අවසාන ප්‍රතිපලය වන්නේ අපට ලැබෙන ආලෝකයේ විචලනය මත අප තාරකාව දකින පිහිටුම වරින් වර වෙනස් වීමයි. මෙම වෙනස තත්පරයකට කිහිප වාරයකින් සිදුවෙයි. මේ වෙනස් වීම මිනිස් ඇස තේරුම් ගන්නේ තාරකාවෙන් නිකුත් වන ආලෝකය අඩු වැඩි වෙමින් පවතින්නාක් මෙනි. අප තාරකා බබලනවාක් මෙන් නිරීක්ෂණය කරන්නේ මේ නිසාවෙනි.

තාරකා බබලනවාක් මෙන් දිස් වීම නිරීක්ෂණයන්ට බාධාවකි. මේ නිසා එය මගහරවා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත යුතුය. සමහර දුරේක්ෂ තාරකා බබලනවාක් මෙන් දිස් වීම යම් තාක් දුරකට අවම කර ස්ථාවර ආකාරයෙන් ලබාගැනීම සදහා විශේෂ වූ කාච සහ දර්පන වර්ග භාවිතා වේ. මේවා Adaptive optics ලෙස හැදින්වෙයි. නිරීක්ශණාගාර ඉතා උස කදු මුදුන් වල ඉදිකරන්නේද වායුගෝලීය බලපෑම අවම කිරීමේ උපක්‍රමයක් ලෙසිනි. වායුගෝලීය බලපෑම සහමුලින්ම නැති කිරීමට නම් නිරීක්ෂණාගාර අභ්‍යවකාශයේ රැදවිය යුතුය. අප සියලු දෙනාම හොදින් හදුනන හබල් දුරේක්ෂය පෘථිවිය වටා කක්ෂ ගත කොට පවතිනේ මේ නිසාවෙනි. හබල් දුරේක්ෂයෙන් ලබා ගන්නා ඡායාරූප ඉතා පැහැදිලිව දිස් වන්නේ වායුගෝලීය බලපෑමක් නොමැති බැවිනි.

Read More

අහස නිල් පාට ඇයි?

මෙම ප්‍රශ්ණයට පිලිතුර ආලෝකයේ එක් ගුණාංගයක් වන ප්‍රකිරණය නමැති සන්සිද්ධිය උපයෝගී කරගෙන පැහැදිලි කල හැකිය. සූර්යාගේ සිට එන එක් ආලෝක කිරණයක් ගැන සිතන්න. මෙම ආලෝක කිරණය ඉතා කුඩා දුහුවිලි අංශුවක්(ආලෝකයේ තරංග ආයාමයන්ට සාපේක්ෂව කුඩා වන) මතට පතිත වූ විට සිද්ධීන් දෙකක් සිදුවිය හැකිය. එකක් නම් එය දුහුවිලි අංශුව මගින් උරාගැනීමයි. දෙවැන්න එහි දිශාව වෙනස් වීමයි. අහස නිල්පැහැ වීමට හේතුව පැහැදිලි කිරීම සදහා අපට අවශ්‍යය වන්නේ දෙවන කාරණයයි.

දුහුවිලි අංශුවක් මතට පතිත වන සුදු ආලෝක කිරණය එහි දිශාව වෙනස් කර ගන්නේ සුදු ආලෝකයේ උප වර්ණ වලට වෙන් වීමෙනි. තවත් ආකාරයකින් පැහැදිලි කලහොත් සුදු ආලෝක කිරණය තවත් වර්ණ කිහිපයක ආලෝක කිරණ වලට විසිරී යාමෙනි. මෙවැනි ආකාරයේ සිදුවීමක් සුදු ආලෝකය වීදුරු ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදීද සිදුවෙනවා. එලෙස සුදු ආලෝකය තවත් වර්ණ වලට වෙන් වන්නේ ආලෝකයේ තවත් ගුණාංගයක් වන වර්ථනය(Refraction) නිසාවෙනි. නමුත් වර්ථනය හා ප්‍රකිරණය(Scattering)යනු සම්පූර්නයෙන්ම එකිනෙකට වෙනස් සිද්ධීන් දෙකක් බව වටහා ගත යුතුයි. වර්තනයේදී මෙන් නොව ප්‍රකිරණයේ දී උප වර්ණ වලට වෙන් වන ආලෝක කිරණ සියලු දිශාවන් කරා විහිදී යනවා. මෙලෙස ප්‍රකිරණයට භාජනය වීම සදහා වැඩිම නැබුරුවක් දක්වන්නේ නිල් පැහැති (කොල, නිල්, ඉන්දිගෝ, දම්) ආලෝකයයි(රේලි ප්‍රකිරණය මගින් පැහැදිලි කල හැක). රතු පැහැයට හුරු ආලෝකය ප්‍රකිරණය සදහා වැඩි නැබුරුවක් නොදක්වයි. මෙහි ප්‍රතිපලය වන්නේ සුදු ආලෝක කිරණයක් දුහුවිලි අංශුවක් මතට වැටුනු විට නිල් පැහැයට හුරු ආලෝකය වැඩි වශයෙන් විසිරී යාමයි.

නිල් පැහැයට හුරු ආලෝකය වැඩි වශයෙනුත් රතු පැහැති ආලෝකය අඩුවෙනුත් ප්‍රකිරනයට භාජනය වේ.

අප මෙතෙක් වේලා කතා කලේ එක් අංශුවක් හා එක් ආලෝක කිරණයක් ගැන පමනි. නමුත් පෘථිවි වායුගෝලයේ දුහුවිලි අංශු විශාල වශයෙන් පැතිර තිබෙනවා. මෙවැනි අංශු හරහා යන සූර්යාගේ සිට පැමිණෙන අනන්ත වූ ආලෝක කිරණ ප්‍රකිරණයට භාජණය වී අනන්ත අප්‍රමාණ ලෙස නිල් පැහැති ආලෝකය විහුදුවනවා. අහස නිල් පැහැයෙන් දිස් වන්නේ මෙ නිසාවෙනි.

සූර්යයා පොලොවට සමාන්තරව පවතින අවස්ථා වලදී( හිරු බැස යන විටදී ) සූර්යාගේ සිට අප වෙතට එන ආලෝක කිරණ වායු ගෝලය හරහා, සූර්යයා මුදුන් වී ඇති අවස්ථාවන් වලට සාපේක්ෂව වැඩි දුරක් ගමන් කරනවා. මේ නිසා එම තරංග හරහා පවතින දුහුවිලි අංශු ප්‍රමාණයත් වැඩියි. එලෙසම ප්‍රකිරණයට භාජනය වන නිල් පැහැති ආලෝකයත් විශාල අගයකි. මේ නිසා අවසානයේ අප වෙත ලැබෙන්නේ අඩුවෙන් ප්‍රකිරණයට භාජනය වන රතු පැහැයට හුරු ආලෝකයයි. සැන්දෑ අහස රතු පැහැයට හුරු ආලෝකයෙන් වර්ණවත් වී පෙනෙන්නටත් සූර්යා රතු පැහැයෙන් දිස් වීමටත් හේතු වන්නේ මේ සන්සිද්ධියයි.

Read More

එක හදට මාස දෙකක්

අප චන්ද්‍රයා පෘථිවිය වටා වරක් ගමන් කිරීමට ගත වන කාලය චන්ද්‍ර මාසයක් ලෙස හැදින්වෙනවා. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් සිදු කරන ගමනේදි එක්තරා තැනකින් පටන් ගෙන අප නැවත චන්ද්‍රයා අදාල ස්ථානය පසු කරන කාලය ගණනය කලහොත් ඉන් ලැබෙනුයේ චන්ද්‍ර මාසයේ (පරිභ්‍රමණ කාලය) අගයයි. මේ ආකාරයට සිතුවහොත් අපට චන්ද්‍ර කලාවන් උපයෝගී කොටගෙන චන්ද්‍ර මාසය ගණනය කරගන්න පුලුවන්. උදාහරණයක් ලෙස පහසුවෙන් නිරීක්ෂණය කල හැකි පුර පසලොස්වක පොහොය දෙකක් අතර කාලය (දින ගනන) ගණනය කලේ නම් ඉන් ලැ‍‍බෙනුයේ චන්ද්‍ර මාසය බව පැහදිලිය. එම කාල පරතරය ගනනය කිරීම සදහා ඉතා පහසුවෙන් දින දර්ෂණයක් භාවිතා කර පොහොය දින දෙකක් අතර කාලය (දින ගනන)ලබා ගත හැකියි. වහාම දින දර්ෂණයක් ගෙන පරීක්ෂා කර බලන්න. ඔබ එලෙස ගනනය කර බැලුවානම් දින 30 යන පිලිතුරක් ලැබේවි. මෙයින් පැහැදිලි වන්නේ චන්ද්‍ර මාසයක අගය දළ වශයෙන් දින 30ක් බවයි. වෙනත් ආකාරයකින් පැවසුවහොත් චන්ද්‍රයා පෘතිවිය වටා පරිභ්‍රමණය වීමට ගත වන කාලය දින 30ක් බවයි. මෙම කාලය අප මතකයේ රදවාගෙන, චන්ද්‍ර මාසය තවත් ආකාරයකින් විමසා බලමු.

දැන් චන්ද්‍රයා පිලිබද දක්ත අඩන්ගු වී ඇති මූලාශ්‍ර කිහිපයක් ගෙන එහි පරිභ්‍රමණ කාලය පිලිබද අවධානය යොමු කරන්න. මෙවැනි වූ දක්ත ඔබට සෞරග්‍රහ මන්ඩලය පිලිබද ලියවුනු පොත් පත් වලින් හෝ ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි. එවැනි මූලාශ්‍ර වල සදහන් වන චන්ද්‍ර මාසයක අගය කොපමණද? ඔබ නිවැරදිව සොයා බැලුවේ නම් ඔබට සමහරවිට වෙනස් පිලිතුරක් (දින 27 1/3 වැනි) ලැබේවි. සමහරවිට පරිභ්‍රමණ කාලයන් දෙකක් සදහන් කර තිබෙන්නටද පුලුවන. මෙලෙස එකම චන්ද්‍රයාගේ පරිභ්‍රමණ කාලයේ වෙනසක් පවතින්නේ ඇයි? එලෙස වන්නේ පොත් පත් වල ඇති මුද්‍රණ දෝෂ නිසාවත්ද? ඔබ මීට පෙර මෙවැනි වූ වෙනසක් නිරීක්ෂණය කර තිබෙනවාද? මෙම ප්‍රශ්ණයට පිලිතුරු සෙවීමට නම් අපට පෘතුවිය සහ චන්ද්‍රයා පමනක් වන ආකෘතියෙන් මදක් බැහැර වීමට සිදු වෙනවා. මෙහීදී අපට පෘථිවිය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වන ගමන්ම පෘථිවියද සූර්යයා වටා පරිභ්‍රමණය වන බව අමතක නොකිරීමට සිදුවෙනවා.

රූපය-1

රූපය-1 දෙස විමසිලිමත්ව බලන්න. එහි පෘථිවිය චන්ද්‍රයා සහ සූර්යයාගේ ගමන් මාර්ග දැක්වෙනවා. ඉහත (1) ලෙස නම් කර ඇති පද්ධතියෙන් දැක්වෙන්නේ පෘථිවියට චන්ද්‍රයා අමාවක දිනයක් ලෙස දර්ශණය වන ආකාරයයි. වෙනත් ආකාරයකින් පැවසුවහොත් චන්ද්‍රයා දර්ශණය නොවන දිනයයි. චන්ද්‍රයාගේ පරිභ්‍රමණය කාලය (චන්ද්‍ර මාසය) යනු පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයා එක් ස්ථානයක පිහිටා නැවත එම ස්ථානයටම පැමිණීම තෙක් කාලය ලෙස අප පෙර හැදින් වූවා. (2) ලෙස නම් කර ඇති පද්ධතියෙන් දැක්වෙන්නේ එවැනි ඉහත (1) පද්ධතියේ පිහිටුමට අදාලව නැවත චන්ද්‍රයා එම පිහිටුමටම පැමින ඇති ආකාරයයි. මෙම දෙවන පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් (1) පද්ධතියට සාපේක්ෂව චන්ද්‍රයා පෘථිවිය වටා එක් වටයක් පරිභ්‍රමණය වී ඇති බව ඔබට පැහැදිලිව හදුනා ගන්න පුලුවන්. පලමු පිහිටුමේ සිට මෙම දෙවන පිහිටුම දක්වා පැමිණීම තෙක් කාලය දින 27 1/3 කි (සෛධාන්තිකකව පෙන්විය හැක). නමුත් අපව පුදුමයට පත් කරන කාරණය වන්නේ මෙදින අමාවක දිනයක් නොවීමයි. අමාවක දිනයක් ලැබීමට නම් චන්ද්‍රයා හා පෘතිවිය ඇතුලු පද්ධතිය තවත් කුඩා කාලයක් ඉදිරියට ගමන් කල යුතු බව රූප සටහන අධ්‍යනය කිරීමෙන් ඔබට පැහැදිලි වේවි. මෙම කාලය ආසන්න වශයෙන් දින දෙකකි.

ඉහතදී අපට පොහොය දින දෙකක් අතර කාලය දින 30ක් ලෙස ලැබීමටත් චන්ද්‍රයාගේ දක්ත සටහන් පරීක්ෂා කිරීමේදී එහි අගය වෙනස් වී තිබීමටත් හේතු වූයේ වෙනකක් නොව පෘථිවියේ පරිභ්‍රමණයයි. චන්ද්‍රයාගේ නියම පරිභ්‍රමණ කාලය ආසන්න වශයෙන් දින 27 1/3 කි. මෙම කාල පරාසය Sidereal month ලෙස හැදින්වෙනවා. එකම චන්ද්‍රකලාවන් දෙකක් අතර කාලය චන්ද්‍ර මාසයක් ලෙස සැලකීම පෘතුවියට සාපේක්ෂව නිවැරදියි. මෙම කාල පරාසයේ බොහෝ දුරට නිවැරදි අගය දින 29 1/2 කි. මෙම චන්ද්‍ර මාසය Synodic month ලෙස හැදින්වෙනවා. එකම චන්ද්‍රයාට මාස දෙකක් පවතින්නේ මේ නිසායි.

Read More

පෘතුවි භ්‍රමණය පෙන්වන අවලම්බය

පෘතුවිය නිෂ්චලය, ඉර හද අතුලු තාරකා පෘතුවිය මැදිකරගත් ගෝලයක් ආකාරයෙන් පෘතුවිය වටා කරකැවෙයි. මේ පැරණි දාර්ශනිකයන් බොහෝ විට ග්‍රීසියේ විසූවන් නිර්මාණය කරගෙන තිබූ සෞරග්‍රහ මන්ඩලය පිලිබද ආකෘතියයි. ක්‍රි.පු. 310-230 අතර කාලයේ විසූ ඇරිස්ටාකස්(Aristacas) නම් විද්වතා පෘතුවිය ඇතුලු ග්‍රහවස්තු පිලිබද දැරූ මතය එකල පැවති මතයෙන් බොහෝ වෙනස් වන්නේ පෘතුවිය පිහිටි තැන සූර්යාට දීමත් පෘතුවිය සූර්යා වටා පරිභ්‍රමණය වනවා යැයි ප්‍රකාශ කිරීමත් නිසාය. ඔහුට පසුව බිහිවූ හිපාකස්(Hipparchus) හා ටොලමි(Ptolemy) වැනි දාර්ෂනිකයන් ඇරිස්ටාකස්ගේ ආකෘතිය තරයේ ප්‍රතික්ෂේප කලේ කරුණු දෙකක් හේතුවෙනි. පලමුවැන්න තරු වලට අසම්පාත කෝණයක් නොතිබීමයි. දෙවැන්න පෘතුවිය බ්‍රමණය වන්නේ නම් එය අපට නොදැනෙන්නේ ඇයි ද යන ප්‍රශ්ණයයි.

මෙම ප්‍රශ්ණ දෙකට කිසිවෙකුටත් පිලිතුරු දීමට නොහැකි වූ නිසා භූකේන්ද්‍ර වාදය බොහෝ කාලයක් විවාදයකින් තොරව පැවතිණි. භූකේද්‍රවාදය බිද වැටෙන්නේ නිකලස් කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍ර වාදය නමැති නව චින්තනය ඔස්සේ සිදුවන කෙප්ලර්, ගැලීලියෝ, නිව්ටන් වැනි විද්වතුන්ගේ නිරීක්ෂණ හා සොයාගැනීම් හරහාය. කෙසේ නමුත් විවිධ හැල හැප්පීම් මත සූර්ය කේන්ද්‍ර වාදය අද වන විට ස්ථාපනය වී තිබුණත් මෙම ආකෘතියේ පෘතුවි භ්‍රමණය පෙන්වීමට පරික්ෂණාත්මක ක්‍රමයක් 1851 වසර වන තෙක් ඉදිරිපත් වූයේ නැත. එවැනි සුවිෂේශී සොයාගැනීමක සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ තනි පුත්ගල‍‍යකුටය. ඔහු නමින් Jean Bernard Leon Foucault ය.

 


කව්ද මේ ජේන් ෆෝකල්ට්?

 

ජේන් ෆෝකල්ට් උපත ලැබුවේ 1819 සැප්තැම්බර් 18 වැනිදාය. ඔහු ප්‍රංශ ජාතිකයෙකි. කුඩා කල යාන්ත්‍රික සෙල්ලම් බඩු නිපදවීමේ මහත් ඇල්මක් දැක්වූ ඔහු ඉගෙන්ගත් විෂය ක්ෂේත්‍රය වූයේ වෛද්‍යය විද්‍යාවයි. නමුත් පසු කලකදී ඔහු වෛද්‍යය විද්‍යාව අතහැර භෞතික විද්‍යාව කෙරෙහි යොමු වූවා පමනක් නොව අවසානයේදී ශ්‍රේෂ්ට භෞතික විද්‍යාඥයකුද විය. ඔහුගේ කීර්ති නාමය භෞතික විද්‍යාවේ ක්ෂේත්‍ර කිහිපයක් අතර පැතිර පවතී. සූර්යා චායාරූපගත කල පලමු විද්‍යාඥයා වීම, ආලෝකයේ වේගය නිවැරදිව නිර්නය කිරීම, ප්‍රකාෂ උපකරණ වැඩි දියුණු කිරීම හා Gyroscope මූලධර්මය ඉන් කිහිපයකි. නමුත් ජේන් ෆෝකල්ට් වඩාත් ප්‍රසිද්ධ වන්නේ පෘතුවිය භ්‍රමණය වන බව පෙන්වීමට කල පරීක්ෂණයක් හේතුවෙනි.

පරීක්ෂණය කලේ මෙහෙමයි.

ජේන් තම පරීක්ෂණයට යොදා ගත්තේ සරල මූලධර්මයකි. රූපය 2 දෙස බලන්න. එහි විශාල අර්ධ ගෝලයෙන් දක්වා ඇත්තේ පෘතුවි උත්තරධ්‍රැවයයි. ඒ මත රූපයේ ආකාරයට විශාල කනු දෙකක් අධාරයෙන් විශාල අවලම්බයක් එල්වා ඇතැයි සිතන්න. අපට මෙම අවලම්භයට එක් සිරස් තලයක දෝලනය වන ලෙස බලයක් ලබා දිය හැකිය. වාත ප්‍රතිරෝධයක් නැත්නම් දෝලනය වීම විශාල කාලයක් පුරා පවතී. ඔබ මෙම ඇටවුමේ නිරීක්ෂකයා යැයි සිතන්න. පැය කිහිපයකට පසු ඔබ දකින නිරීක්ෂණය කුමක් විය හැකිද? උදාහරණයක් ලෙස අවලම්බය එය රදවා ඇති ආධාරකයේ තලයට ලම්භක තලයක දෝලනය වෙමින් පැවතියා යැයි සිතුවහොත් පැය කීපයකට පසු අවලම්භය පවතින තලය කලින් තිබූ ආකාරයෙන් වෙනස්ව පවතින බව නිරීක්ෂණය කල හැකිය. මෙවැනි නිරීක්ෂණයක් ලැබීමට නම් අවලම්බය මත බාහිර බලපෑමක් ක්‍රියාත්මකව පැවතිය යුතුය. නමුත් ඉහත විස්තර කල ආකාරයට එවැනි බාහිර බලපෑමක් නොතිබුන බවද අපි දනිමු. මේ නිසා අපට එක් නිගමනයකට එලබීමට සිදු වේ. එනම් අවලම්බයේ චලිත තලය නොවෙනස්ව තිබියදී ආධාරකය පවතින තලය වෙනස් වීමයි. නමුත් ආධාරකය පොලොවට හොදින් සම්බන්ධය. මේ නිසා පොලොවේ පිහිටීම වෙනස් විය යුතුය. ලැබුණු නිරීක්ෂණයට හේතුව අන් කිසිවක් නොව පෘතුවියේ භ්‍රමණයයි. රූපය 2 හි අවලම්බය පහල රේඛා ලෙස සටහන්ව ඇත්තේ අවලම්බ බට්ටාගේ ගමන් මාර්ගයයි.

පෘතුවිය තමා වටා එක් වටයක් ගමන් කිරීමට පැය 24 පමණ ගතවේ. එවිට පැය 24 කදී අවලම්බය මගින් අදින රේඛා සම්පූර්ණ වෟර්තයක් පුරා පැතිරෙයි. වෙනත් ආකාරයකින් කිවහොත් අවලම්බයේ තලය ආධාරකයේ තලයෙන් අංශක 360ක විස්තාපනයක් පෙන්වයි. මෙම පරීක්ෂණය පෘතුවියේ සමකය අසලදී සිදු කලහොත් කුමක් සිදු වේද? මෙවිට කලින් ආකාරයේ වෙනසක් සිදු නොවන බව පැහැදිලි වේ. එවිට පැය 24 ක් ගත වුවත් අවලම්බයේ චලිත තලය එකම වෙයි. නමුත් ප්‍රශ්ණය වන්නේ මෙම පරික්ෂණය පෘතුවියේ ඉහත ස්ථාන දෙක අතර තැනකදී සිදු කලහොත් කුමක් වේද යන්නයි. මෙවිට පෘතුවියේ උත්තරධ්‍රැවය මෙන් අවලම්බය විස්තාපනය වන කෝණය අංශක 360 නොවේ, 0 ද නොවේ. නමුත් ඒ අතර අගයකි.

ගණිතමය ලෙස විස්තර කරන්නේ නම් එම කෝණයේ අගය n= 360 sinӨ යන සම්බන්ධතාවයෙන් ලැබේ. n යනු අවලම්බ තලය පෘතිවිය එක් වටයක් භ්‍රමනය වන විට විස්තාපනය වන කෝණයයි.

ෆෝකල්ට් මූලධර්මය මගින් පෘතුවියේ භ්‍රමණය පරීක්ෂණාත්මකව පෙන්වීම සදහා සුදුසුම ස්ථානය වන්නේ පෘතුවි උත්තරධ්‍රැවයයි. නමුත් ජේන් ෆෝකල්ට් තම පරීක්ෂණය සිදු කලේ 1851 දී පැරීසියේ දේවස්ථානයකදිය. ඔහු මේ සදහා යොදා ගත් අවලම්බය 28kg ස්කන්ධයකින් යුත් ගෝලයකින් හා 67m පමණ දිග ලණුවකින් සැදි එකක් විය. මෙය අද ෆෝකල්ට් අවලම්බය (Foucault Pendulum) නමින් හදුන්වයි. ඇටවුමට ආධාරකය වූයේ දේවස්තානයේ විශාල උසකින් යුත් වහලයි. විශාල ස්කන්ධයකින් යුත් ගෝලයක් අවලම්බ බට්ටා ලෙස ගැනීමට හේතුව වූයේ වාත ප්‍රතිරෝධය නිසා ඇති විය හැකි බලපෑම අවම කිරීමටය. දේවස්තානය තුල සිදු කල නිසා ඒ බලපෑම තවත් අඩු වෙයි.
එල්ලා තැබීම සදහා විශාල දිගක් යොදාගැනීමටද හේතුවක් ඇත. ඒ දිග වැඩි වන තරමට අවලම්බයේ කාලාවර්තයද ව්ශාල වන බැවිනි. අවලම්බ තලයේ විස්තාපනය සටහන් කිරීම සදහා යොදාගත්තේ විශාල තෙත් කල වැලි පුවරුවකි. ගෝලයේ පහල කෙලවරට සම්බන්ධ කල කුඩා තුඩක් මගින් වැලි පුවරුවේ එහි චලිතය සටහන් විය.


ජේන් ෆෝකල්ට් පරීක්ෂණය සිදු කල ස්ථානය හා පරීක්ෂණ ඇටවුම

ඔබ භෞතික විද්‍යාවේදී සරල අවලම්භය ඉගෙනගෙන ඇත්නම් Foucault Pendulum හි ආවර්ත කාලය ගණනය කර බැලිය හැක.

ජේන් තම පරීක්ෂණය සිදු කල ස්ථානයට පෘතුවි සමකයේ සිට ඇති කෝණය අංශක 48.6 කි. මෙහිදී අවලම්බයේ චලිත තලය වෙනස් වූයේ කුමන කෝණයකින් දැයි ගණනය කර දක්වන්න.

පිලිතුර
n= 360 sinӨ අනුව
n= 360 sin 48.6◦
n= 360 sin 48◦ 36′
n= 270.07◦

මේ අනුව ජේන් ෆෝකල්ට් පරීක්ෂණය කල ස්ථානයේදී අවලම්බයේ භ්‍රමණ තලය පැය 24 කදී අංශක 270.07 කෝණයකින් විස්තාපනය වී ඇත.

 

Read More

රාත්‍රි අහස

රාත්‍රි අහස ඉතා චමත්කාර දර්ශනයක් මෙන්ම කුතුහලයෙන් විද්‍යාවෙන් පිරුණු ස්ථානයක් බව දැන් ඔබ කාටත් නොරහසකි. එසේ නම් මේ රාත්‍රි අහසේ අපට නිරීක්ෂණය කළ හැක්කේ මොනවාදැයි විමසා බලමු.

රාත්‍රි අහසේ නිරීක්ෂණය කළ හැකි දෑ රාශියකි. තරු,ග්‍රහලෝක,සඳ, වල්ගාතරු,උල්කාපාත,උල්කාපාත වර්ෂා,තරු රටා,තරු පොකුරු,නිහාරිකා,මන්දාකිණි,කෘතිම චන්ද්‍රිකා,උප ග්‍රහයින් යනු මේවාය.
දුරේක්ෂයක් නොමැතිව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වස්තූන්.

1. ග්‍රහලෝක
බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු

2. මන්දාකිණි
උදා – ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, ක්ෂීරපථය

3. නිහාරිකා
උදා – ඔරායන් නිහාරිකාව

4. තරු පොකුරු
උදා – හත්දින්නත් තරු

5. සඳ, වල්ගාතරු, උල්කාපාත, චන්ද්‍රිකා, තරු, තාරකා රාශි

නමුත් මෙම වස්තූන් පිළිබඳ වැඩි දුර අධ්‍යයනය සඳහා දුරේක්ෂයක් භාවිතා කළ යුතුයි. මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ රාත්‍රී අහසේ මන්දාකිණි හැරුණූ විට අපට පෙනෙන සියලූම ආකාශ වස්තූන් අප අයත්වන ක්ෂීරපථ මණ්දාකිණියට ඇති බව යි.

තාරකා රාශි

ඔබ අසා ඇති පරිදි තාරකා රාශියක් යනු තරු වලින් සෑදුණු කිසියම් සතෙකුගේ හෝ වස්තුවක හැඩයක් පමණක් යැයි ඔබ සිතන්න පුලූවන්. නමුත් සත්‍ය වශයෙන්ම අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ අර්ථ දැක්වීමට අනුව තාරකා රාශියක් යනු “අන්තර්ජාතිකව පිළිගත් නිශ්චිත සීමා සහිතව අහසේ ඛෙදා වෙන් කරන ලද එක්තරා ප්‍රදේශයකි. ” සැබැවින් ම මෙම තාරකා රාශි වලට විවිධ හැඩයන් ඇත. එමෙන්ම විවිධ තරු සංඛ්‍යා වලින් සමන්විත විවිධ ප්‍රමාණයේ තාරකා රාශි ඇත.

පැරැන්නන් රාත්‍රී අහස තාරකා රාශි 48කට ඛෙදා තිබුණි. පසුව 1928 වර්ෂයේ දී අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය විසින් තවත් තාරකා රාශි 40ක් එක් කරමින් තාරකා රාශි 88 ඛෙදන ලදී.

ආකාශ වස්තු තාරකා රාශි වල චලිතය හා පෘථීවි පරිභ්‍රමණය අතර සම්බන්ධය

ඕනෑම දිනයක රාත්‍රී අහස නිරික්ෂණය කිරීමේදී තාරකා රාශි නැගෙනහිරින් පායා බටහිරින් බැස යනු දැකිය හැකි ය. මීට හේතුව ලෙස පැරැන්නන් සිතුවේ භූකේන්ද්‍රවාදය අනුව මෙම තාරකා රාශි පෘථීවිය වටා කැරකෙන බවයි. නමුත් සත්‍ය වශයෙන්ම එය සිදු වන්නේ පෘථීවිය තම අක්ෂය වටා භ්‍රමණය වන බැවිනි. විශේෂයෙන්ම සමකාසන්න රටක් වන අප රටට මෙම සිද්ධිය වඩා පැහැදිලිව දැකිය හැකි ය.

රාත්‍රී කාලය එළඹීමත් සමග ඉතා සුපරීක්ෂාකාරීව අහස නිරීක්ෂණය කළහොත් රාශි චක්‍රයට අයත් තාරකා රාශි වලින් එම දිනයේදී සූර්යයා පවතින රාශිය හා එය අසල පෙදෙස හැර අනෙක් සියලූම තාරකා රාශි එක් රැයකදී අපට නිරීක්ෂණය කළ හැකිය. නමුත් මාස කීපයක් අහස නිරීක්ෂණය කරන විට විවිධ මාස වලදී එකම වේලාවේදී අහසේ එකම ස්ථානය පිහිටන තාරකා රාශිය වරින්වර එකිනෙකට වෙනස් වේ.

උදාහරණයක් ලෙස යම් දිනක රාත්‍රී 9.00 ට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන තාරකා රාශිය නිරීක්ෂණය කර නැවත මාසයකට පමණ පසු රාත්‍රී 9.00 ට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන තාරකා රාශිය නිරීක්ෂණය කළහොත් මසකට පෙර අප දුටුවා වු තාරකා රාශිය නොව වෙනත් තාරකා රාශියක් උදා වනු දක්නට ලැබේ. තවද මසයකට පෙර නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවනවා දුටු තාරකා රාශිය නැගෙනහිර ක්ෂිතිජයෙන් ඉහළට ගමන් කර තිඛෙනු දැකිය හැකිවේ. සැබැවින්ම මෙම සිද්ධිය සූර්යයා වටා පෘථීවිය ගමන් කිරීම නිසා සිදුවන සංසිද්ධියකි. සූර්යයා වටා පෘථීවිය ගමන් කරන නිසා මෙලෙස ක්‍රමයෙන් නව තාරකා රාශි කලින් කලට දිස්වීම සිදුවී ඇත. මෙය සූර්ය කේන්ද්‍රවාදය නිවැරදි බවටද කදිම සාක්ෂියකි.

ඔබ මෙලෙස රාතී අහස හොඳින් නිරීක්ෂණය කළහොත් පෘථීවියේ භ්‍රමණය හා පරිභ්‍රමණයත් තාරකා රාශි දිස්විමේ රටාවත් ඔබට පැහැදිළිව අවබෝධ කර ගත හැකි වනු ඇත.
මෙහිදි ආකාශ වස්තූ එක දිනයකදි නැගෙනහිරින් පායා බටහිරින් බැස යනවා සේ පෙනෙන සංසිද්ධිය -දෛනික චලිතය- ලෙස හඳුන්වයි. මෙය පෘථීවි භ්‍රමණය නිසා (තමා වටා කැරකැවීම) නිසා සිදුවේ. අහසේ එකම ස්ථානයක එකම වේලාවක දී, පිහිටන තාරකා රාශිය (තරු) වර්ෂයේ විවිධ කාලයන් හිදී වෙනස්වීමේ සංසිද්ධිය -වාර්ෂික චලිතය- ලෙස හඳුන්වයි. මෙය සිදුවන්නේ පෘථීවි පරිභ්‍රමණය නිසා ය.

නිරීක්ෂණ කටයුතු සඳහා සූදානම් වීම

1. මේ සඳහා නිරීක්ෂණයට සුදුසු ස්ථානයක් සොයා ගත යුතුය. මෙහිදී අවට ගස් වලින් බාධාවක් නොමැති අහසේ වැඩි ප්‍රමාණයක් පෙනෙන බාහිර ආලෝකයන්ගෙන් තොරවූ (ආලෝක දූෂණය නොමැති) ස්ථානයක් විය යුතුය. එමෙන්ම එය කෘමින්, සර්පයින්, කටු පඳුරු වැනි උපද්‍රව වලින් තොර ස්ථානයක් විය යුතුය.

2. මෙහිදී නිරීක්ෂණයට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය උපකරණ, කඩදාසි, පැන්සල්, තරු සිතියම්ල, සූදානම් කර ගත යුතුය රතු ආලෝකය සහිත විදුලි පන්දම ආදී දෑ සූදානම් කර ගත යුතුය.

අඳුරට ඇස හුරු කර ගැනීම

හොඳ නිරීක්ෂණ වාරයක් ඇරඹීමට ප්‍රථම අඳුරට ඇස හුරු කර ගත යුතුය. ආලෝකය ඇති තැනක සිට අඳුරට ගොස් අඳුරට හුරු වීමට අප ඇසට විනාඩි 15 – 20 ක් පමණ ගතවේ. අප ආලෝකයේ සිටින විට ඇසේ කණීනිකා සිදුර කුඩාවී ඇසට ඇතුළුවන ආලෝකය අඩු කර ගනී. නමුත් අඳුරට පැමිණි විට කණීනිකාව විශාල වී ඇස ආලෝකය වැඩිපුර ඇතුළු කර ගැනීමට උත්සාහ කරයි. තවද දෘෂ්ටි විතානයේ අඩු ආලෝකයට සංවේදී සෙල (යෂ්ටි ෙසෙල) කි්‍රයාකාරීත්වය වැඩිවී ඇස ආලෝනය කෙරෙහි දක්වන සංවේදීතාවය වැඩී වේ. අඳුරට හුරු විමට විනාඩි 20ක් පමන ගත වන්නේ මේ නිසාය. මෙහිදී අඳුරට හුරු වූ ඇසට රතු වර්ණය හැර නිල්, කහ, කොළ ආදී වර්ණයක් ලැබුණහොත් නැවත ඇස ක්ෂනිකව එම ආලෝක වෙත ඇදි යයි. මීට හේතුව අඳූරේ පවතින ඇස එම වර්ණ වලට වැඩි සංවේදීතාවයක් දැක්වීමයි. මෙයිනුත් නිල් වර්ණය වැඩිම සංවේදිතාවයක් දක්වයි. මෙහිදී නැවත වරක් ඇස අඳුරට හුරු කරගැනීමට විනාඩි 15 – 20ක් ගත වේ. එනිසා නිරීක්ෂණය කරන විට එවැනි වර්ණ භාවිතා නොකළ යුතුය. නමුත් අඳුරේදී ඇස ආලෝකයට අඩු සංවේදීතාවයක් දක්වයි. මේ නිසා රාත්‍රී අහස නිරීක්ෂණයේදී ආලෝකය අවශ්‍යතාවයක් වූ විට දී අප රතු ආලෝකය භාවිතා කළ යුතුය. ඉන් අඳුරට හුරු වූ ඇස ඉන් මිදීමක් සිදු නොවේ.

ප්‍රථම වරට රාත්‍රී අහස නිරීක්ෂණය කරන විට තරු සිතියම භාවිතා කිරීමට අවශ්‍ය නැත. ප්‍රථමයෙන්ම අප රාත්‍රී අහසේ ඇති දෑ පියවි ඇසින් තරු සිතියමක ආධාරයකින් තොරව හඳුනාගැනීමට උත්සාහ කළ යුතුය. පසුව සාර්ථක නිරීක්ෂණ සඳහා තරු සිතියම දුරේක්ෂ භාවිතා කිරීම සිදු කළ හැක. තරු සිතියම භාවිතය තරු, තරු රටාල ගැඹුරු අහසේ ආකාශ වස්තු හා අහස් ගෝලය ඉතා පහසුවෙන් අධ්‍යයනය කිරීමට උපකාරී වනු ඇත.

නිරීක්ෂණ වාර්තාවක් සකසන්නේ කොහොමද ?

රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේදී නිරීක්ෂණ වාර්තා කිරීම ඉතා වැදගත් කාර්යයකි. අප යම් සොයා ගැනීමක් කිරිමට බලාපොරොත්තු වේ නම් මෙබඳු නිරීක්ෂණ වාර්ථාවකින් ලැඛෙන්නේ විශාල පිටුවහලකි. නමුත් අපට අවශ්‍ය ආකාරයට මෙබඳු නිරීක්ෂණ වාර්ථාවක් සකස් කළ නොහැක. අප සකස් කළ යුත්තේ ජාත්‍යන්තරව පිලිගත් ආකාරයේ නිරීක්ෂණ වාර්ථාවකි එවැනි නිරීක්ෂණ වාර්ථාවක අනුරුවක් පහත පරිදි වේ.

OBSERVATION REPORT – නිරීක්ෂණ වාර්තාව

Name (නම) – නිරීක්ෂණය සිදු කරන පුද්ගලයාගේ නම
Date (දිනය) – නිරීක්ෂණය සිදු කරන දිනය
Place (ස්ථානය) –
City (නගරය) – නිරීක්ෂණය සිදු කරන ස්ථානයට අදාළ විස්තර
Country (රට) –
Time (වේලාව) – :1-
Longtitude (දේශාංශ) – නිරීක්ෂණය සිදු කරන ස්ථානයේ අක්ෂාංශ හා දේශාංශ
Latitude (අක්ෂාංශ) – (දන්නේ නම්)
Sky Condition (අහසේ තත්ත්වය) – :2-
Other (වෙනත්) – :3-

(1) (2) (3) ලෙස දක්වා ඇති කරුණු පහත සවිස්තරව දක්වා ඇත.

වේලාව
(1) අප නිරීක්ෂණය ඇරඹු වේලාවත්, එය අවසන් කළ වේලාවත් නිවැරදිව සටහන් කළ යුතුය. මේ සඳහා ජාත්‍යන්තරව සම්මත වී ඇත්තේ ග්‍රිනිච් මධ්‍යනය වේලාවයි. (Grinwichwich mean Time – GMT) මෙය ලබා ගැනීමට අපගේ ඔරලෝසු වේලාවෙන් පැය 5.30ක් අඩු කළ යුතුය. එසේ නොමැති නම් අපගේ ඔරලෝසු වේලාවද (Local Civil Time – LCT) සඳහන් කළ හැක. සෑමවිටම වේලාව පැය 24 ඔරලෝසුවේ ආකාරයටම තැබිය යුතු අතර එයට ඉදිරියෙන් GMT ද LCT යන වග පැහැදිලිව දැක්විය යුතුය.

අහසේ තත්ත්වය
(2) අහසේ තත්ත්වය කොටස් 5කට වර්ග කෙරේ ඒවා රෝම කැපිටල් ඉලක්කමෙන් සඳහන් කළ යුතුය.
i වලාකුළු නොමැත අඳුරු ඉතා පැහැදිලි අහසකි.
ii වලාකුළු නොමැතිමුත් අහස් තත්ත්වය 1 දීට වඩා අපැහැදිලිය.
iii වලාකුළු මද වශයෙන් ඇත නමුත් ඒවා ඉක්මණින් ගමන් කරයි.
iv වලාකුළු සහිතය ඒවා ගමන් නොකරයි.
v වලාකුළු වලින් සම්පූර්ණ අහසම පාහේ වැසි පවති.
මෙම තත්ත්ව වලට අමතර අවස්ථා නොමැත. එසේම එකම නිරීක්ෂණ වාර්ථාවක් සඳහා අහසේ තත්ත්ව කිහිපයක් ද තිබිය නොහැක.

අනෙකුත් දේ
(3) මෙහිදී අප සඳහත් කළ යුත්තේ අප දුටු වස්තූන් පිළිබඳ විස්තර ( ඒවායේ නම් ) හා අප නිරීක්ෂණයට භාවිතා කරන උපකරණ පිළිබඳවයි.

දුරේක්ෂයක් නම්

Telescope (දුරේක්ෂය) – දුරේක්ෂයේ වෙළඳ නාමය
Telescope Type (දුරේක්ෂ වර්ගය) – දුරේක්ෂය නිව්ටෝනියානුද,වර්තකද,පරාවර්තකද,කැසිග්‍රේනියානුආදී වූ කුමන
වර්ගයේ ද යනවග
Eye piece (උපනෙත) – අප භාවිතා කරන උපනෙත (එහි නාභි දුර සඳහන් කරන්නග)
F Number (ත‍ අංකය) – මෙය යම් දුරේක්ෂයක් සඳහා නියත අගයක් වේ (අවනෙතේ නාභි දුර/අවනෙතේ විශ්කම්භය )
Magnification (විශාලනය) – මෙය (අවනෙතේ නාභි දුර/උපනෙතේ නාභි දුර) මගින් ලැබේ

දෙනෙතියක් සඳහා

Binocular (දෙනෙතිය) – වෙළෙඳ නාමය
Binocular Type (දෙනෙති වර්ගය) – 7×50, 10×50, 10×70 ආකාරයට
(මෙහි ඉදිරියෙන් ඇති අංකයන් විශාලනයත් පසුපස අංකයෙන් අවනෙත් කාචයේ විශ්කම්භය mm වලිනුත් සඳහන් කර ඇත.)

විශේෂ කරුණු

1 අප යම් නිරීක්ෂණයක් කිරීමේදී රාත්‍රී 12 පසුවුනි නම් පසුදිනද අපගේ නිරික්ෂණයට අදාළ නිසා එයද අපගේ නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කරන්න.
2 අප විශේෂ නිරීක්ෂණ කිරිමේදී (උල්කාපාත වර්ෂා වැනි දේ) අපගේ නිරික්ෂණ වාර්තා වලට මෙයට අමතරව වෙනත් කරුණු බොහොමයක් ඇතුළු විය හැක ඒවා වෙනත් ලෙස දක්වා ඇති මාතෘකාව යටතේ සඳහන් කරන්න.
3 නිරීක්ෂණ වාර්තා සැකසීම ඔබගේ නිරීක්ෂණයට බාධාවක් සේ නොසැළකිය යුතුය. නිරීක්ෂණ කඳවුරු වැනිදේට ඔබ සහභාගි වීමේදී ඔබට මේ සඳහා අවශ්‍ය පුහුණුව ඉබේම ලැඛෙනු ඇත. එසේ නොවුනද ඔබගේ ස්වෝත්සාහයෙන් නිරීක්ෂණ වාර්තා තැබීමද ඉතා වැදගත්ය. එබඳු නිරීක්ෂණ වාර්තා දන්නා අයෙකුට පෙන්වා එහි ඇති දෝෂ මග හරවා ගත හැකි ය. එසේ වීමෙන් ඔබටද හොඳ නිරීක්ෂකයෙකු විය හැක.

මීට අමතරව විවිධ නිරීක්ෂණ කඳවුරුල තරගාවලි වැනි වැඩසටහන් වලදී විවිධ ආකාරයට සැකසු නිරීක්ෂණ වාර්තා සම්පූර්ණ කිරීමට ලැඛෙනු ඇත. එහිදී එහි විමසා ඇති කරුණු වලට අදාළව නිරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කරන්න.

 

Read More

සෞරග්‍රහ මණ්ඩලය

ක්ෂීරපථය නම්වූ තරු නිහාරිකා පිරිවරා ගත් අති විශාල මන්දාකිණියේ ඉතා කුඩාවූ ස්ථානයක අප සෞරග්‍රහ මණ්ඩලය පවතින බව අපි දනිමු. අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන බලවතා වන්නේ සූර්යයා යි. තවද ඊට අමතරව එයට ග්‍රලෝක 08ක් අයත් වේ.

ඒවා පිළිවෙළින් බුධ,සිකුරු,පෘථීවිය,අඟහරු,බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්,නෙප්චූන් යන ග්‍රහලෝක 08 වේ. තවද මෙය වාමන ග්‍රහලෝක වලින් ද, ඊට අමතරව ග්‍රහක වළල්ලක් මෙන්ම ග්‍රහයන්ගේ උප ග්‍රහයන් ගෙන්ද සමන්විත වෙයි. ප්ලුටෝ,චාරොන්,සෙරස් හා ඒරිස් මෙහි ඇති වාමන ග්‍රහලෝක වේ.

බුධ
මෙය සූර්යයාට ළඟම ග්‍රහයා ය. අවාට බහුළව ඇත. ඉතා තුනී වායුගෝලයක් පවති. උප ග්‍රහයින් නැත.


සිකුරු
සූර්යයාගේ සිට 2ට පවති. ඉතා විශාල වායුගෝලයක් පවති. එහි කාබන්ඩයොක්සයිඩ් වායුව බහුලව පවති. එනිසා හරිතාගාර ආචරණය පවති. මතුපිට උෂ්ණත්වය අධිකය.


පෘථීවිය
සූර්යයාගේ සිට 03 වැනියට පවති. ජීවය පවතී. ජීවය පැවතීමට අවශ්‍ය සියලූ සාධක හොඳින් පවති. උප ග්‍රහයා චන්ද්‍රයා වේ.


අඟහරු
සූර්යයාගේ සිට 04 වැනියට පවති. රතු පාටින් දිස්වෙයි. මීට හේතුව වන්නේ අඟහරු මතුපිට යකඩ ඔක්සයිඩ් (මළකඩ) බහුලව පැවතීමයි. කාබන්ඩයොක්සයිඩ් ඇත. ෆෝබෝස් හා ඩීමෝස් ලෙස උප ග්‍රහයන් දෙදෙනෙකි.


බ්‍රහස්පති
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වේ. ඉතා වේගයෙන් භ්‍රමණය වන්නේ ද මොහුය. භ්‍රමණ කාලය පැය 10කි. උප ග්‍රහයන් රාශියක් ඇත. ඒ අතරින් ගැනිමීඩ් උප ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම උප ග්‍රහයා වේ. ඉතා පැහැදිලි රතු පාට විශාල ලපයක් ඇත එය බ්‍රහස්පතිගේ රතු ලපය නමින් හඳුන්වයි. වායුමය ග්‍රහලොවකි. ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් (H), හීලියම් (He), යන වායු වලින් සෑදී ඇත.


සෙනසුරු
සෞරග්‍රහ මණ්ඩලයේ අලංකාරම ග්‍රහලොව මෙයයි. වළලූ පද්ධතියක් ඇත. තවද සෙනසුරු වායුමය ග්‍රහලොවකි. උප ග්‍රහයන් විශාල සංඛ්‍යාවකි. උදා – ටයිටන්, ඩියෝන්,රිහා
යුරේනස්
සිරසේ සිට අංශක 98ක ඇලවීමක් සහිතව භ්‍රමණය වේ. උප ග්‍රහයන් කීපයකි. ටයිටේනියා, ඒරියල්, අම්බ්‍රයල් ඒ අතර වේ.


නෙප්චූන්
මීතේන් අඩංගු වායුගෝලය නිසා නිල් පාටට දිස්වේ. උප ග්‍රහයන් කීපයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම භූමිය වන, ට්‍රයිටන් උප ග්‍රහයා ඇත. වායුමය ග්‍රහලොවකි.


ග්‍රහක වළල්ල
අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ලක් පවති. මෙහි ග්‍රහක නමින් හැඳින්වෙන විවිධ ප්‍රමාණයේ පාෂාණ කොටස් පවති. මෙම ග්‍රහක වළල්ල අඟහරු ග්‍රහයා හා බ්‍රහස්පති අතර පිහිටා ඇත. මෙහි පරතරය කිලෝමීටර 5503900 පමණ වන අතර පල්ස්,වෙස්ටා හා ජූනෝ යනු එහි ඇති ප්‍රධාන ග්‍රහක 03කි. මෙම ග්‍රහක වළල්ලට ඇතුළතින් ඇති බුධ,සිකුරු,පෘථීවිය,අඟහරු අභ්‍යන්තර ග්‍රහලෝක ලෙසද,මෙම ග්‍රහක වළල්ලට පිටතින් ඇති බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්,නෙප්චූන් බාහිර ග්‍රහලෝක ලෙසින් ද හඳුන්වයි.


වාමන ග්‍රහලෝක හා ප්ලුටෝ
කලින් ප්‍රධාන ග්‍රහලෝකයක් ලෙස පැවති ප්ලුටෝ මෑතකදී වාමන ග්‍රහයෙක් ලෙස වර්ග කර ඇත. එරිස් ලෙස හඳුන්වන නව ග්‍රහ වස්තුවක් මෙලෙස වාමන ග්‍රහලෝක ලෙස නව වර්ගීකරණයක් ඇති කිරීමට ප්‍රධාන හේතුව විය. මෙහිදී ප්ලුටෝට තම සෞරග්‍රහ මණ්ඩලයේ 9වන ස්ථානය අහිමි වී වාමන ග්‍රහලෝක ලෙස හැඳින්වෙන වර්ගයට අයත් වීමට සිදුවිය. තවද මෙහිදී ප්ලුටෝගේ උපග්‍රහයා ලෙස පැවති චාරොන් ද, ග්‍රහක වළල්ලේ විශාලතම ග්‍රහකය ලෙස පැවති සෙරස් ද, අලූතින් සොයාගත් ඒරිස් ද වාමන ග්‍රහලෝක ලෙස කෙරිණි.
මෙම සියලූම ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ග වල ගමන් කරයි. තවද මේවාට සූර්යයා වටා සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලයද එකිනෙකට වෙනස් ය. එපමණක් නොව මීට අමතරව අප සෞරග්‍රහ මණ්ඩලයද ක්ෂීරපථ මණ්දාකිණිය වටා ගමන් කරයි. මෙම ගමන් කරන වේගය තත්පරයට කිලෝමීටර 200ක් පමණ වන අතර එක් වටයක් ගමන් කිරීමට වසර මිලියන 240ක පමණ කාලයක් ගතවේ.


චන්ද්‍රයා
චන්ද්‍රයා හෙවත් සඳ යනු අප නිවහන වන පෘථීවියේ උප ග්‍රහයාය. එය පෘථීවිය වටා පරිභ්‍රමණය වන එකම ස්වාභාවික චන්ද්‍රිකාව යි. චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය මෙන්ම පරිභ්‍රමණ කාලයද දින 29.5 වන එකම අගයකි. මේ හේතුව නිසා අපට සෑම විටම පෙනෙන්නේ සඳේ එක් පැත්තක් පමණි. චන්ද්‍රයාගේ පෘෂ්ටයේ අවාට බහුල වන අතර චන්ද්‍රයා සතුව වායුගෝලයක්ද නොමැත. වර්ෂ 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් ඇපලෝ 11 යානය මගින් සඳ වෙත ගොස් ප්‍රථමයෙන්ම සඳ මත පා තබන ලදී. සඳේ උපත පිළිබඳව ද ප්‍රධාන මත 04ක් පැවතුනද, දැනට වඩාත් එයින් වඩාත් පිළිගන්නා මතය වී ඇත්තේ මහා ගැටුම් කල්පිතයයි.


වල්ගාතරු
සෞරග්‍රහ මණ්ඩලයේ වල්ගාතරු ලෙස හැඳින්වෙන වස්තූන් විශේෂයක් ද පවති. මේවා ප්‍රධාන වශයෙන්ම ඇතිවන්නේ ඌට් වළාවේ හා කුයිපර් පටියේ ඇති වස්තූන් ගෙනි. අප සෞරග්‍රහ මණ්ඩලය වටකරමින් යෝධ වළා පටලයක් පවති මෙය ඌට් වළාව ලෙස හැඳින්වේ. තවද නෙප්චූන් ග්‍රහලොවට පිටතින් කුයිපර් පටිය නම් ප්‍රදේශයක් පිහිටයි. මෙම ඌට් වළාව හා කුයිපර් පටිය තුළ කුඩා හිම බෝල වැනි පාෂාණ කැබලි පවති. එම සමහර පාෂාණ කැබලි ඌට් වළාවෙන් හා කුයිපර් පටියෙන් ඉවතට පැමිණ සූර්යයා වටා ගමන් කිරීම අරඹයි. මේවා සූර්යයාට ළං වන විට ඒවායේ තිබූ මිදුනු හිම වාශ්ප වී ගොස් දිගු වල්ගයක් ලෙස දිස් වේ. මෙවිට මෙය වල්ගා තරුවක් ලෙස හඳුන්වයි.


උල්කාපාත
රාත්‍රි කාලයේ අහස නිරීක්ෂණය කිරීමේදී එකවරම කඩා වැටෙන තරු මෙන් ආලෝකය විහිදුවමින් එකවරම නැතිවී යන එළි දැකීමට හැකිවේ. මේවා උල්කාපාත ලෙස හැඳින්වේ. සෞරග්‍රහ මණ්ඩලයේ තැනින් තැන පිහිටි කුඩා පාෂාණ කැබලි පෘථීවියේ ගුරුත්වාකර්ෂණයට හසුවී පෘථීවිය තුළට ගමන් කිරීමට පටන් ගනි. මේවා පෘථීවි වායුගෝලය හරහා ගමන් කිරීමේදී ඇතිවන ඝර්ෂණයෙන් දැවී යයි. එවිට මේවායෙන් ආලෝකය විහිදෙන අතර එවිට එය උල්කාපාතයක් ලෙස හඳුන්වයි.


චන්ද්‍රිකා
ග්‍රහලොවක් වටා කක්ෂගත වී පෘථීවිය වටා පරිභ්‍රමණය වන වස්තු චන්ද්‍රිකා වේ. සඳ යනු පෘථීවිය වටා පරිභ්‍රමණය වන ස්වාභාවික චන්ද්‍රිකාවයි මීට අමතරව පෘථීව්ය වටා පරිභ්‍රමණය වන මිනිසා විසින් නිපදවා අභ්‍යවකාශ ගත කළ කෘතිම චන්ද්‍රිකා පවති. මේවා චන්ද්‍රයා මෙන් පෘථීවිය වටා විවිධ වේග වලින් පරිභ්‍රමණය වේ. මෙම චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව ප්‍රථම වරට ලොවට මතයක් ඉදිරිපත් කලේ ලාංකික තාරකා විද්‍යාඥයෙකු වන ශ්‍රිමත් ආතර් සී ක්ලාක් මහතා විසිනි. ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව ස්පුට්නික් 1 නම් චන්ද්‍රිකාවයි. එය වර්ෂ 1957 දී රුසියාව මගින් ගුවන්ගත කරන ලදී. අභ්‍යාවකාශ යුගයේ ආරම්භයද ස්පුට්නික් 1 අභ්‍යාවකාශ ගත කිරීම සමග සිදුවීය. චන්ද්‍රිකා මගින් ඉටු වන සේවාවන් ද රාශියකි. ලොව පණිවුඩ හුවමාරු කිරීම, කාලගුණික තොරතුරු ලබා ගැනීම, විවිධ ග්‍රහක ග්‍රහලෝක ගැන පරික්ෂණ සිදුකිරීම ඉන් සමහරකි. මෙම චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයේ පණිවුඩ හුවමාරුව ඉතා ශීඝ්‍ර ලෙස සිදුකිරීමට ඛෙහෙවින් ඉවහල් වී ඇත.

Read More

තාරකා විද්‍යා ඉතිහාසය හා එහි මූලික පසුබිම

සඳ ගිලගත් රැයක දහසක් තාරකා දිලෙන්නාවූ රාත්‍රී අහස් ගැබ අප කාගේත් නෙත් සිත් වසඟ කරවන චමත්කාර දසුනකි. ඒ නිසාම මෙය අතීත සිංහල සාහිත්‍යයේ චමත්කාර ලෙස වර්ණනයට ලක්වී ඇති අවස්ථා එමට ය. පූජාවලිය රචිත බුද්ධපුත්‍ර හිමියන් රාත්‍රී අහස වර්ණනා කර ඇත්තේ මේ ආකාරයට ය.
“එකෙනෙහි නිශා නැමැති කාන්තා තොමෝ තරු පෙළ නැමැති ගෙළේ මුතුදම් පැළඳ නිල්වලා නැමැති වැටි තනා දික් නැමැති හස්තයෙන් සඳරැස් නැමැති දිවසළු විදා…….”

අදින් වසර දහස් ගණනකට ඉහත ආදී මුතුන් මිත්තන්ගේ නෙත් සිත් අභියස මැවුණු මේ මනරම් දසුන් ඔස්සේ කුතුහලයෙන් පිරුණු ඔවුන්ගේ චෛතසිකය මෙහෙයවීමේ ප්‍රතිඵල වශයෙන් තාරකා විද්‍යාව බිහිවූ බව කිව හැකි ය. කුතුහලය මගින්ම ඇතිවූ මෙම තාරකා වීද්‍යාව අනෙකුත් සෑම විද්‍යාවකම උපත බවද කිව හැකි ය. ඒ නිසා තාරකා විද්‍යාව හදාරන අප එහි සුන්දර වූ ඉතිහාසය ගැන බිඳක් හෝ දැන ගැනීම යුතුකමකි.

උතුරු බැබිලෝනියාවේ මීට වසර 4500 කට පමණ පෙර විසූ අක්කාසියන්වරු පුරාණතම කාලයේ දී තාරකා විද්‍යා වාර්තා තැබූවන් අතර කැපී පෙනේ. ඔවුනට හිරු හා සඳුගේ චලනයන් ගැනද, පසු කාලීනව ග්‍රහයන්ගේ චලනයන් ගැනද, අදහසක් තිබූ බවට සාක්ෂි ඇත. දින දසුනේ මුල්ම නිපැයුම් කරුවන් ලෙසින් සැලකෙන චීන ජාතිකයන් ක්‍රි පු 2500 දී, ප්‍රධාන ග්‍රහලෝකවල සමීප වීමක් වාර්තා කර ඇත. ක්‍රි පු 400 දී, මුල්ම වල්ගා තරු සිතියමද ඔවුන් විසින් නිපදවන ලදී. ඇරිසෝනාහි ජීවත් වූ ආදි ඉන්දියන්වරු විසින් දිගු ලී දණ්ඩක දිනෙන් දින සිදුවන කාලගුණික විපර්යාස විවිධ සළකුණු වලින් ලකුණු කර එය දින දර්ශනයක් ලෙස භාවිතා කර ඇත. දේහය පුරාම තරු අඩංගු වී තිබූ සමස්ත විශ්වයටම සිටි එක් එක් දේවතාවියක් විසින් සෘතුමය වෙනස්වීම ඇතුළු විශ්වයේ සියලූ කටයුතු කළ බව ඊජිප්තු වාසීන්ගේ විශ්වාසය විය.

සුර්යයාගේ හා චන්ද්‍රයාගේ දෘශ්‍ය ගමන්මග නිරීක්ෂණය කිරීම සඳහා විශාල ගල් කුළුණු භාවිතා කරමින් වඩාත් විධිමත් ක්‍රියා මාර්ගයක් ක්‍රි පු 2800-2200 අතර කාලයේ ජීවත්වූ එංගලන්ත වාසීන් විසින් අනුගමනය කළ බවට වාර්තා සහ ඇමරිකාවේ දකුණු හා බටහිර ප්‍රදේශවල ජීවත්වූ ස්වදේශික ඇරිසෝනා ඉන්දියන්වරුන්ද චන්ද්‍රයාගේ හැසිරීම අනුව වසරක් මාස 12ක කාලයකට පමණ ඛෙදා තිබුණි.

හදිසි දේව හස්තයක බලපෑමකින් තොරව ස්වභාවික සංසිද්ධීන් සිදුවන බව පෙන්වා දීමට ග්‍රීකයන්පෙළඹුණහ. මිත්‍යාවිශ්වායන් ගෙන් තාරකා විද්‍යාව මුදා වර්ධනය කිරීමෙහිලා ග්‍රීක චින්තකයෝ පුරෝගාමී වූහ.ක්‍රි පු 636-546 අතර ජීවත් වු තැලස් අප දන්නා පැරණිතම තාරකා විද්‍යාඥයා වේ. සූර්යයා සහ තරු දෙවියන් නොව ගිනි බෝල බව ඔහු ප්‍රකාශ කළේය. ක්‍රි පු 540-570 අතර කාලයේ විසූ පයිතගරස් චන්ද්‍රයා මතට වැටෙන පෘථීවියේ සෙවනැල්ල අධ්‍යයනය කර ඒ අනුව පෘථීවිය ගෝලාකාර බව ප්‍රථම වරට හෙළි කළේය.
ලොව සුප්‍රසිද්ධ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් පෘථීවිය විශ්වය මැද පිහිටන බවත්, ග්‍රහලෝක හා අනෙක් සියලූම ආකාශ වස්තු පෘථීවිය වටා ගමන් කරන බවත් ප්‍රකාශ කළේය. නමුත් ක්‍රි පු 310-236 කාලයේ විසූ ඇරිස්ටාකස් සූර්යයා වටා පෘථීවිය හා සෙසු ග්‍රහවස්තු ගමන් කරන බව කීවේය. ඒ අනුව මොහු මුලින්ම පෘථීවි කේන්ද්‍රවාදය පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. තවද පසුව එරොස්තනීස් නම් විද්‍යාඥයා පෘථීවිය එහි සිරසට අංශක 23 1/2 ඇල බව කීවේය.

ක්ලෝඩියස් ටොලමි
ක්‍රි පු 150 දී පමණ ජීවත්වූ මොහු පෙළොව (පෘථීවිය) විශ්වයේ මැද බවත් සියලූ ග්‍රහලෝක ඒ වටා වෘත්තාකාර මාර්ගවල චලිත වන බවත් පැවසෙන භූකේන්ද්‍රවාදය ඉදිරිපත් කළේය. මෙම වාදය වසර 1500ක් පමණ අභියෝගයකින් තොරව පැවතුණි. තවද මොහු තමාගේ සොයාගැනීම ඇතුළත් අල්මැජෙස්ටම් නම් ග්‍රන්ථයක් ලීවේය.

නිකොලස් කොපර්නිකස් (ක්‍රි ව 1473-1543)
මොහු විසින් සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ මැද ඇති බවත්, අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතින බවත් ප්‍රකාශ කරමින් සූර්යකේන්ද්‍ර වාදය ඉදිරිපත් කළේය. මෙමගින් ටොලමිගේ භූකේන්ද්‍රවාදය අභියෝගයට ලක් විය. එය භූකේන්ද්‍රවාදය බිඳ දැමීමට ඉවහල් විය. මොහු De Revolutionibus orbitum celestium යන ග්‍රන්ථයෙන් සූර්ය කේන්ද්‍රවාදය ලොවට ඉදිරිපත් කළේය.

ටයිකෝ බ්‍රාහේ (ක්‍රි ව 1543-1607)
පියවි ඇසින් අහස දෙස බලා වාර්තා තැබූ හොඳම තාරකා විද්‍යාඥයා මොහු විය. මොහු සුපර් නෝවා පිපුරුමක් පියවි ඇසින් නිරීක්ෂණය කළේය. තවද මොහුට එකල ඩෙන්මාර්කයේ සිටි 11 වන ෆ්‍රෙඩ්‍රික් රජු ඔහුගේ පරීක්ෂණ කටයුතු වලට (HVEN) දූපත පරිත්‍යාග කළේය. මොහු චන්ද්‍රයාට වඩාත් ඈතින් සෙසු ග්‍රහලෝක හා තරු පිහිටා ඇති බව ප්‍රකාශ කළේය.

ජොහැන්නස් නෙප්ලර් (ක්‍රි ව 1571-1630)
කෙප්ලර් තාරකාවිද්‍යාවට අත්පොත් තැබුවේ ටයිකෝ බ්‍රාහේ ගෙනි. මොහු ග්‍රහ වස්තුවල චලිතය පිළබඳ ඉතා වැදගත් නියම 03 ක් ඉදිරිපත් කළේය.

ගැලීලියෝ ගැලිලි (ක්‍රි ව 1504-1642)
දුරේක්ෂයක් නිපදවා එය ප්‍රථමයෙන් අහසට යොමුකර අහස නිරීක්ෂණය කරනු ලැබුවේ ගැලීලියෝ විසිනි. තවද මොහු ප්‍රථමයෙන්ම බ්‍රහස්පති ග්‍රහයාගේ උප ග්‍රහයන් 04ක් නිරීක්ෂණය කළේය. එනම් ගැනිමීඩ්,කැලිස්ටෝ,යුරෝපා,අයෝ යන උප ග්‍රහයන්ය. මේවා ගැලීලියානු චන්ද්‍රයන් නම් වේ. මීට අමතරව මොහු සඳේ ඇති කඳු වල උස ගණනය කළේය.

මීට අමතරව සර් අයිසැක් නිවිටන්, ඇල්බට් අයින්ස්ටයින්, විලියම් හර්ෂල් හා හාලෝ ෂාප්ලි යන විද්‍යාඥයින් දල තාරකා විද්‍යාවට අති විශාල සේවාවක් කළහ.


Read More

ඛගෝලය

 

ඔබට රාත්‍රී අහස නිරීක්ෂණයේදී අහසේ ඇති තරු කුමන දුරකින් පිහිටන්නේ දැයි සොයාගත හැකිද? කුමන තරුව දුරින්ම පිහිටන්නේද කුමන තරුව ළඟින්ම පිහිටන්නේදැයි අපට සොයා ගත හැක.අපට පෙනෙන්නේ සියළුම තරු එකම දුරකින් පිහිටන්නා සේය. එම නිසා අධ්‍යයනය කිරීමේ පහසුව තකා පෘථීවිය වටා පිහිටි මනඃකල්පිත ගෝලයක මෙම තරු පිහිටන්නේ යැයි උපකල්පනය කෙරේ. එම ගෝලය ඛගෝලය ලෙස හඳුන්වනු ලබයි.මෙහිදී ඛගෝලයේ එක් එක් තරුවට නියමිත ස්ථානයක් ඇති අතර, පෘථීවියේ රටවල් ඛෙදා ඇති ලෙස ඛගෝලය තාරකා රාශිවලට ඛෙදා ඇත. මෙලෙස ඛගෝලය තාරකා රාශි 88කට ඛෙදා දක්වා ඇත.

පෘථීවි ඛණ්ඩාංක පද්ධතිය.
රටවල් සොයාගැනීමට අක්ෂාංශ දේශාංශ භාවිතා කරන්නා සේම තරු රටා වෙන් කර හඳුනා ගැනීමට ඛණ්ඩාංක පද්ධතිය භාවිතා කරයි. මෙහිදී පෘථීවියේ සමකය මඟින් සමාන කොටස් දෙකකට ඛෙදා වෙන් කර උතුරු කොටස උත්තරාර්ධගෝලය ලෙස හා දකුණු කොටස දක්ෂිණාර්ධගෝලය ලෙස හඳුන්වයි. තවද සමකයට සමාන්තරව අඳිනු ලබන රේඛා අක්ෂාංශ රේඛා ලෙසද, සමකයට ලම්භකව අඳිනු ලබන රේඛා දේශාංශ රේඛා ලෙසද හඳුන්වයි. මෙම ඛණ්ඩාංක පද්ධතියෙන් පෘථීවියේ ඕනෑම ස්ථානයක පිහිටීම දැක්විය හැක.

ඛගෝල ඛණ්ඩාංක පද්ධති.

සමක පද්ධතිය (Equatorial System) :-
පෘථීවියේ රටවල් හඳුනා ගැනීමට ඉහත ඛණ්ඩාංක පද්ධතිය භාවිතා කරන්නා සේම ඛගෝලයේ තරු රටාවල පිහිටීම සොයා ගැනීමටද ඛණ්ඩාංක පද්ධතියක් ඇත. පෘථීවියේ ඛණ්ඩාංක පද්ධතිය ඛගෝලය තෙක් ප්‍රඬේපණය කිරීමට හැකිනම් එමගින් ඛගෝල පද්ධතියද අවබෝධ කරගැනීම පහසු වනු ඇත.

පෘථීවි සමකයට අදාල ඛගෝලයේ ඇඳි රේඛාව ඛගෝල සමකයයි. තවද අක්ෂාංශ වලට අනුරූප රේඛා Declination(DEC) ‍- නම්වන අතර දේශාංශ වලට අනුරූප රේඛා Right Ascension(RA) – නම් වේ. මෙම ඛණ්ඩාංක පද්ධතිය සමක පද්ධතිය නම් වේ.

මෙහිදී අක්ෂාංශ වලට අනුරූප රේඛා Declination මනිනු ලබන්නේ අංශක වලිනි. මෙහිදී උතුරු අර්ධයෙ Declination හි අගය ධන(+) ලෙසත්, දකුණු අර්ධ ගෝලයේ Declination අගය ඍණ(-) ලෙසත්, සළකනු ලැබේ. තවද දේශාංශවලට අනුරූප රේඛා වන RA රේඛා අනෙකුත් ඛණ්ඩාංක මෙන් අංශක වලින් මනින්නේ නැත. එය මනිනු ලබන්නේ පැය වලිනි. මෙහිදී ඛගෝල සමකය පැය 24කට ඛෙදා ඇති අතර එක් පැයක් මිනිත්තු 60ක් හා මිනිත්තුවක් තත්පර 60කට ඛෙදා ඇත. උදාහරණයක් ලෙස ගත්විට සීරියස් තරුවේ ඛණ්ඩාංක වනුයේ RA}06 h 45’2m yd Dec}-16Ÿ 43Z ය.

ඬිතිජ පද්ධතිය (Horizontal System) :-

ඛගෝලයේ නිවැරදි ඛණ්ඩාංක පද්ධතිය ඉහත දක්වා ඇති සමක පද්ධතිය වන නමුත් තවත් ඛණ්ඩාංක පද්ධතියක් ඇත. එය ඬිතිජ පද්ධතියයි. මෙය ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැක අහසේ කිසියම් ආකාශ වස්තුවක් තිබේ යැයි සිතන්න. එම වස්තුවට ඬිතිජය දිගේ උතුරේ සිට දක්ෂිණාවර්ථව තිඛෙන කෝණය උද්දිගංශය වශයෙන්ද, එයට ඬිතිජයේ සිට ඉහළට ඇති අවම කෝණය උච්චය ලෙසද හඳුන්වයි.මෙය ඬිතිජ පද්ධතිය නම් වේ.

ඛණ්ඩාංක පද්ධති දෙකක් අවශ්‍ය වන්නේ ඇයි ?

ඔබ යම්කිසි වස්තුවක පිහිටීම ඬිතිජ පද්ධතිය ඇසුරෙන් යමෙකුට පැවසුවා යැයි සිතන්න. එහිදී
ඔබ ඔහුට එය නැරඹිය යුතු වේලාව,දිනය,ස්ථානය සඳහන් කළ යුතුය.එනම් එම වස්තුවේ පිහිටීම කාලය සමඟ
වෙනස් වේ. පෘථීවිය පැයකට අංශක 15ක ප්‍රමාණයක් භ්‍රමණය වන බැවින් මෙලෙස කාලය සඳහන් කළ යුතුය. එම නිසා කාලය සමඟ ඕනෑම වස්තුවක පිහිටීම ඬිතිජ පද්ධතියට සාපේක්ෂව වෙනස් වේ. මෙම වෙනස්වීම සමක පද්ධතියට අදාල නොවන අතර සමක පද්ධතියේ ඛණ්ඩාංක කාලයට අනුව වෙනස් වන්නේ නැත.
විෂුවයන් හා ක්‍රාන්ති වලය.

සූර්යයාද අප සළකන්නේ ඛගෝල වස්තුවක් ලෙසය. නමුත් මෙයට ඛගෝලයේ නිශ්චිත ස්ථානයක්
නොමැත. එහෙත් ඛගෝලයේ සූර්යයා තිබේ යැයි ඇඳිය හැකි ප්‍රදේශය රේඛාවකින් ලකුණු කර දැක්විය හැක.මේ
රේඛාව ක්‍රාන්තිවලය ලෙස හඳුන්වයි. සඳ ඇතුළු අනෙකුත් ග්‍රහලෝක ගමන් කරන්නේ ක්‍රාන්තිවලය ආසන්න ගමන් මාර්ග වලය. බොහෝ විට ග්‍රහලෝක නිරීක්ෂණයේදී ක්‍රාන්තිවලයට ආසන්නව නිරීක්ෂණය කළ යුතුය. මෙයට අමතරව මෙම ක්‍රාන්තිවලය සමකය ස්ථාන දෙකකදී ඡේදනය කරනු ලබයි. එම ලක්ෂ්‍යයන් විෂුවයන් ලෙස හැඳින්වේ. සූර්යයා තම චලිතයේදී දක්ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධ ගෝලයට පැමිණෙන ස්ථානය වසන්ත විෂුවය නමින්ද, උත්තරාර්ධ ගෝලයේ සිට දක්ෂිණාර්ධ ගෝලයට පැමිණෙන ස්ථානය සරත් විෂුවය නමින්ද හඳුන්වයි. සූර්යයා මෙම ස්ථානයන්ට පැමිŒම මාර්තු 21 හා සැප්තැම්බර් 21 ආසන්න දිනවලදී සිදු වේ.

නිරීක්ෂණ තාරකා වි්‍යවේදී දැන සිටිය යුතු පද:

Zenith :- අපගේ හිස කෙළින්ම මනඃකල්පිත රේඛාවක් ඇන්ද විට එය ඛගෝලය හමුවන ස්ථානය මෙම නමින්
හැඳින්වේ.

Nadir :- අපගේ දෙපතුල දිශාවට මනඃකල්පිත රේඛාවක් ඇන්ද විට එය ඛගෝලය හමුවන ස්ථානය මෙනමින්
හැඳින්වේ. හරියටම zenith එකට විරුද්ධ දිශාවේ පිහිටයි.

Celestial :-පෘථීවි අක්ෂය දික්කළ විට එය ඛගෝලය ස්ථාන දෙකකදී ස්පර්ශ වේ. මේවා උතුරු හා දකුණු ඛගෝලCelestial Pole)ද, දික් කළ අක්ෂය ඛගෝල අක්ෂය ද වන අතර ඛගෝලය මෙයවටා භ්‍රමණය වේ.

Meridian :- නිරීක්ෂකයාගේ හිස මුදුනේ (Zenith) සිට ඬිතිජයේ උතුර හා දකුණ යාකරන වෘත්තයි. මෙය පැය වෘත්තය(Hour circle) නමින්ද හන්වයි.

Vertical Circle :- මෙය නිරීක්ෂකයාගේ හිස මුදුන(Zenith) හා (Nadir) හරහා ගමන් කරන වෘත්තයයි. Vertical යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඬිතිජයට ලම්භකව පිහිටන නිසාය.

©පුලස්ති කනත්තගේ

 

Read More